ආන්ඩුවේ කප්පාදුවලට එරෙහිව කම්කරුවන්ගේ වැඩෙන අරගල මර්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව

[මෙය Sri Lankan trade unions’ treacherous role in suppressing the growing struggles of workers against government austerity යන මැයෙන් 2023 මාර්තු 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කුරිරු පියවරයන්ට එරෙහිව නැගී එන කම්කරු පන්ති අරගල මැඩලීමට සහ සීමා කිරීමට ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති මංමුලා සහගත උත්සාහයක යෙදී සිටී.

ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව, දිවයින පුරා මිලියන භාගයක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරුවන් කාර්මික ක්‍රියාමාර්ග වලට එලඹුනු මාර්තු 1 දා, මෙය ඉතා පැහැදිලිව පෙනී ගියේය. වැඩ වර්ජන විරෝධී අත්‍යාවශ්‍ය සේවා නියෝග නොතකා ඔවුන් මෙම ක්‍රියාමාර්ග වෙත යොමුවී තිබුනි.

2023 මාර්තු 1 වැනි බදාදා, ශ්‍රී ලංකාවේ කොලඹ වරායේ පිවිසුම් දොරටුවෙන් පිටත, අලුතින් වැඩි කරන ලද උපයන විට ගෙවීමේ ආදායම් බද්දට එරෙහිව ශ්‍රී ලංකා වරාය සේවකයෝ විරෝධතාවයේ නිරත වෙති. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

වික්‍රමසිංහ තන්ත්‍රය හා ධනපති රාජ්‍යය සමග බලගතු විප්ලවවාදී ගැටුම්වලට තුඩුදෙන, පසුගිය වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකෙරුනු ආකාරයේ ව්‍යාපාරයක්, නැගී එන වැඩ වර්ජන හා විරෝධතා රැල්ල මගින් යලි පැන නංවනු ඇතැයි වෘත්තීය සමිති බියෙන් ඇලලී සිටිති.

ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ කාර්මික ක්‍රියාවන් සංවිධානය කරන ලෙස කම්කරුවන් කරන ඉල්ලීම්, තම සංගමය විසින් යටපත් කරන බව, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ (සෞවෘස) සභාපති රවී කුමුදේශ්, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීමත් සමඟ, මෙම උත්සුකයන් විවෘතව ම ප්‍රකාශයට පත් විය.

“(සෑම සෞඛ්‍ය සේවකයෙක්ම) එක හඩින් ඉල්ලා සිටින්නේ (වැඩවර්ජනයකට යන්න කියලා). ඔබ හිතන්නේ, මේ ඔක්කොම වර්ජනය කලොත් මොකක් වෙයි කියලාද? අපිට එහෙම කරන්න බෑ කියලා හිතාගෙන ඉන්නවද කවුරුහරි? නෑ.” කුමුදේශ් කීවේය.

“අපි එක දවසක කිව්වොත් මිනිස්සු එනවා එලියට..මිනිස්සුන්ව මර්දනය කරගෙන අපි ඉන්නෙ යන්න බෑ මේ වෙලාවෙ කියලා.,” ඔහු ප්‍රකාශ කලේය.

රවී කුමුදේශ් (ලෝසවෙඅ)

කුමුදේශ්ගේ මෙම ප්‍රකාශය වනාහි, ජාමූඅ හි කප්පාදුවලට එරෙහි එක්සත් ක්‍රියාවන් කම්කරුවන්ට අවශ්‍ය කෙරී ඇතිබව පමනක් නොව, ඔවුන්ගේ ඉල්ලීම් වෘත්තීය සමිති විසින් හිතාමතාම යටපත් කරමින් සිටින බව, පැහැදිලිව පිලිගැනීමකි. වෘත්තීය සමිති වැඩ වර්ජන සහ විරෝධතා කැඳවන විට, ඒවා තම අත යට තබාගැනීම සඳහා එම වෘත්තීය ක්‍රියාමාර්ග එක් දින හෝ වරුවක වැඩ වර්ජනවලට සීමා කරයි. එවැනි විරෝධතා සෑම විටම තනි ප්‍රශ්නයකට සීමා කෙරේ. මාර්තු 1 දා කුමුදේශ්ගේ සංගමය අනෙකුත් සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති සමග එක්ව ගත් කාර්මික ක්‍රියාමාර්ගය, පැය හතරක වැඩ වර්ජනයකට සීමා කලේය.

ඒ හා සමානව, සෞවෘස සහ වෘත්තිකයින් අඩංගු කරගන්නා බොහෝ වෘත්තීය සමිති, දහස් ගනනක් කම්කරුවන්ගේ අතට ලැබෙන වැටුපට දැඩි ලෙස බලපා ඇති, ආන්ඩුවේ නව ප්‍රතිගාමී 'උපයන විට ගෙවන' බදු අනුපාත මතට ඔවුන්ගේ සියලු විරෝධතා කේන්ද්‍රගත කර ඇත.

පසුගිය නොවැම්බරයේ අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද නව රේට්ටු, ජාමූඅ හි රුදුරු විධානයන්ගෙන් එකක් පමනි. ප්‍රතිව්‍යූහකරනය, පුද්ගලීකරනය හා රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම, වැටුප් හා අතිකාල කප්පාදු කිරීම්, ඉහල විදුලි ගාස්තු සහ විවිධ සමාජ සහනාධාර ඉවත් කිරීම අනෙක් ඒවාට ඇතුලත් වේ.

වෘත්තීය සමිති විසින්, උපයනවිට ගෙවන බදු අනුපාත ජාමූඅ හි වැඩසටහනෙන් වෙන් කිරීම අහම්බයක් නොවේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් වලට ඔවුන්ගේ සහ අනුබද්ධ පාර්ශවයන්ගේ සහයෝගයට අනුකූල වේ. පසුගිය ජූනි මාසයේදී, ජාමූඅ කන්ඩායමක් කොලඹට පැමින, එවක පැවති ආන්ඩුවෙන් කප්පාදු වැඩපිලිවෙලක් පනවන ලෙස ඉල්ලා සිටි විට වෘත්තීය සමිති—සමහරක් විවෘතව සහ තවත් සමහරක් නිහඬව—එකඟ වූහ.

කුමුදේශ් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වීම පුදුමයක් නොවේ. පසුගිය ජූනි මාසයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී කුමුදේශ් කියා සිටියේ, දැඩි කොන්දේසි පනවනු ඇති බව පිලිගන්නා අතරම හදිසි අරමුදල් සඳහා ජාමූඅ වෙත යාමට තමා 'පෞද්ගලිකව' සහාය දුන් බවයි.

එහි සාමාජිකයින්ගේ පීඩනය යටතේ, ලංකා බැංකු සේවක සංගමය (ලංබැංසේසං) බදාදා එක්දින වැඩ වර්ජනයක් කැඳවීය. ලංබැංසේසං සභාපති චන්න දිසානායක වාචාල ලෙස ප්‍රකාශ කලේ, 'ආන්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් වලට ධනාත්මකව ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ලංබැංසේසං සහ තවත් බොහෝ අංශවල වෘත්තීය සමිති ඉදිරි දිනවලදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට දැනටමත් තීරනය කර ඇති' බව යි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව 'බැංකු අංශයේ සිදුවිය හැකි අර්බුදයකට' මුහුන දී ඇති බවත්, ජාමූඅ ආධාර ඉල්ලා සිටින ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටි බවත්, දිසානායක, පසුගිය වසර මුලදී මෝනිං වෙත පැවසීය.

බදු වැඩි කිරීම අහෝසි කරන ලෙස ඉල්ලා සිටිනවාට වඩා, වෘත්තීය සමිති දැන් වික්‍රමසිංහ ආන්ඩුවට කන්නලව් කරන්නේ “සාධාරන බදු” ක්‍රමයක් සඳහා ය. මෙම කැඳවුම්වල ප්‍රමුඛයින් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (විආස) යි.

රවෛනිසං, අනෙකුත් සෞඛ්‍ය සංගම් සමග එක්ව බදාදා කාර්මික ක්‍රියාමාර්ග පැය හතරක වැඩ වර්ජනයකට සීමා කල අතර, එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය: “ආන්ඩුව දිගටම අපව නොසලකා හරින්නේ නම්, අපි මාර්තු 8 වෙනිදායින් පස්සේ ඕනෑම මොහොතක දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරනවා.'

කෙසේ වෙතත්, මෙම තර්ජන, ආටෝපමය වෙනස්කම් කිහිපයක් කිරීම සඳහා රජයට කරන මංමුලා සහගත ආයාචනා වේ. වෘත්තීය සමිතිවලට, කම්කරුවන් හමුවේ තොරොම්බල් කිරීමට යමක් ලබා නොදුනහොත් නැගී එන නොසන්සුන්තාවය පාලනය කිරීමට නොහැකි වනු ඇති බවට එය අනතුරු ඇඟවීමකි.

මාර්තු 1 දා ඒකාබද්ධ ක්‍රියාමාර්ග වැලැක්වීමට වෘත්තීය සමිති නායකයින් ක්‍රියා කල ආකාරය පිලිබඳ ඕනෑ තරම් සාක්ෂි තිබේ. පසුගිය මාසයේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමය (සලංපොවසේසං) ආන්ඩුවට තර්ජනය කරමින්, බදු ක්‍රියාමාර්ග වෙනස් නොකලහොත් මාර්තු 1 දා වරායවල වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් අරඹනු ඇති බව ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත්, බදාදා එහි වැඩ වර්ජන තර්ජනය ඊනියා 'සෙමින් වැඩ ක්‍රියාමාර්ගයක්' බවට පත් කෙරුනි.

ආන්ඩුවේ අත්‍යාවශ්‍ය සේවා වැඩවර්ජන තහනමට යටත් වීම යුක්ති සහගත කිරීම සඳහා, සලංපොවසේස ලේකම් නිරෝෂන් ගොරකාන සුරංගනා කතාවක් ගොතමින් මෙසේ පැවසීය: “වරාය සේවකයින් වැඩ වර්ජනයක් කලේ නම්, මෙහෙයුම් සිදු කිරීම සඳහා කොලඹ වරායේ විවිධ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට පුහුනු වූ පුද්ගලයින් පිරිසක් යෙදවීමට ආන්ඩුව සැලසුම් කර තිබුනා.” ගොරකානාගේ කුතර්කයට අනුව, වෘත්තීය සමිතියේ 'සෙමින් වැඩ' ක්‍රියාමාර්ගය, ආන්ඩුවේ වැඩ වර්ජන බිඳීමේ සැලසුම් 'පරාජය' කලේය!

මෙම සතිය මුලදී, කම්කරු විරෝධතා වැලැක්වීම ඉතා අපහසු බව වටහා ගත් වෘත්තීය සමිති, බදාදා කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිලිබඳව තම සාමාජිකත්වය අඳුරේ තැබීය. මාර්තු 1 දාට සැලසුම් කර ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ අවශ්‍යතාවයෙන් වෘත්තීය සමිතිය වෙත එලැඹි විට, වෘත්තීය සමිති නායකත්වය තමන්ට තරවටු කර නිශ්ශබ්ද කල බව කොලඹ වරායේ කම්කරුවෝ ලෝසවෙඅ ට පැවසුහ.

එසේම, ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (ලංවිමඒවෘසස) මාර්තු 1 ක්‍රියාමාර්ගය “ලෙඩ නිවාඩු” දැමීමේ විරෝධතාවයකට සීමා කලේය.

ලංකා විදුලිබල මන්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානය (ලංවිමඑවෘසසං) නායක රන්ජන් ජයලාල් (ලෝසවෙඅ මාධ්‍ය)

ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ලංවිමඒවෘසස කැඳවුම්කරු රන්ජන් ජයලාල් පෙබරවාරි මාසයේ වැඩවර්ජනයක් අතරතුර ප්‍රකාශ කලේ, වික්‍රමසිංහ අප්‍රේල් මාසය වන විට බදු ප්‍රතිපත්තිය හකුලා නොගත්තේ නම්, “අපි ආන්ඩුව පලවා හරිනවා... ආන්ඩුවට අවශ්‍ය මහා වැඩවර්ජනයක් නම් අපි එය කරනවා. මෙම සටන ජයග්‍රහනයකින් අවසන් වන බව සහතිකයි” යනුවෙනි.

ගොරකානගේ සහ ජයලාල්ගේ උපාමාරු සහ හිස් මවාපෑම් ජාමූඅ හි සමස්ත වැඩපිලිවෙලට කැපවී සිටින ඔවුන්ගේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුනේ විවෘත ධනේශ්වර පිලිවෙත් සමග ගැලපේ.

දුම්රිය, තැපැල්, ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති බදාදා ජාතික ක්‍රියාමාර්ගයට සහාය දෙන බව කියා සිටියද, ඔවුන් තම සාමාජිකයින් වර්ජනයට කැඳවීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට සීමිත විරෝධතා පැවැත්වූහ. ගුරු සහ විදුහල්පති සංගම් තම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ කලු ඇඳුමින් සහ කලු අත් පටි පැලඳ සේවයට වාර්තා කරන ලෙසයි.

පසුගිය වසරේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීමේදී මෙම වෘත්තීය සමිති ඉටු කලේ එම භූමිකාවම ය. වෘත්තීය සමිති අප්‍රේල් 28, මැයි 6 සහ 10 යන දිනවල එක්දින මහා වැඩවර්ජන කැඳවූයේ, කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව මහජන විරෝධතාවලට සම්බන්ධ වීමට පටන් ගැනීමෙන් පසුව පමනි. එපමනක් නොව, මෙම වැඩ වර්ජන, සමගි ජන බලවේගය සහ ජවිපෙ වැනි පාර්ලිමෙන්තුවේ විරුද්ධ පක්ෂ විසින් ඉල්ලා සිටි, අන්තර්වාර ආන්ඩුවක්—එනම් විකල්ප ධනේශ්වර ආන්ඩුවක්—සඳහා වන ඉල්ලීම් තුලට මහජන ව්‍යාපාරය අපසරනය කිරීමේ අරමුන ඇතිව දියත් කල ඒවා විය.

මේ අනුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධානවල පිටුබලය ලැබූ වෘත්තීය සමිති, මහජන ව්‍යාපාරය පාවා දෙමින්, වික්‍රමසිංහට බලයට ඒමට මග පෑදීය. දැන්, කම්කරු පන්තිය වික්‍රමසිංහ ආන්ඩුවේ ජාමූඅ ක්‍රියාමාර්ගවලට එරෙහි අරගලයට යලි පැමිනෙමින් සිටින විට, වෘත්තීය සමිති එම ද්‍රෝහී භූමිකාවම ඉටු කරමින් සිටී.

බදාදා, කම්කරුවන්ට බෙදා හරින ලද සසප ප්‍රකාශයක් මෙසේ පැහැදිලි කලේය: “ධනපති ක්‍රමයට, එහි පක්ෂවලට හා රාජ්‍යයට ගැටගැසී ඇති මෙම වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම සංවිධාන ධනපති ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සතුරු ය.

“කම්කරුවන් මෙම වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සිය සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා වූ අරගලය සියතට ගත යුතු ය. සසප අපි ඉල්ලා සිටින්නේ, ඒ සඳහා ඔවුන් සෑම වැඩපොලකම, කම්හලකම, වතුකරයේ සහ සිය නිවහන් ප්‍රදේශවල සියලු ධනපති පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසයි. එමෙන් ම ගම්බද දුගීන් ද එවන් ක්‍රියකාරී කමිටු ගොඩනගා ගැනීමට පියවර ගත යුතු ය.

“සසප සටන් කරන්නේ ගම්බද ජනයාගේ සහාය ලබන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා ය. කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආමන්ත්‍රනය කරන මූලික ඉල්ලීම් වටා මෙම බලමුලු ගැන්වීමට, ක්‍රියාකාරී කමිටු විසින් පහසුකම් සැලසිය යුතුය.”

මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වනු ඇති කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා සසප කරන කැඳවුම, එම ප්‍රකාශනේ පැහැදිලි කෙරුනි. සසප මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමට ආරම්භකත්වය ගත්තේ පසුගිය වසරේ ජුලි මාසයේ මහජන නැගිටීම අතරතුරදීය. එහි අරමුන වන්නේ දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත්වලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා, ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි. එම අරගලයට සසප සමග එක්වන ලෙස අපි කම්කරුවන් දිරිගන්වන්නෙමු.

Loading