ඉදිරිදර්ශන

ශ්‍රී ලංකාව තුල වැඩෙමින් පවත්නා විප්ලවවාදී ගැටුමේ ජාත්‍යන්තර අර්ථභාරය

[මෙය The international significance of the developing revolutionary confrontation in Sri Lanka යන මැයෙන් 2023 මාර්තු 01 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ලංකාවේ කම්කරු පන්තිය, වෛරයට පාත්‍ර වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පන්නා දැමූ මහජන නැගිටීමෙන් මාස අටකට පසු, ඔහුගේ අනුප්‍රාප්තිකයා වන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග බලාත්මක කරන්නෙකු ලෙස කුප්‍රකට සහ එක්සත් ජනපද-ගැති අධිරාජ්‍යවාදයේ අතවැසියෙකු වන රනිල් වික්‍රමසිංහ සමඟ මුහුනට මුහුන ගැටුමක් කරා ඉදිරියට එමින් සිටී.

අද දින, ඛනිජ තෙල්, විදුලිය, ජල සම්පාදන හා සෞඛ්‍ය සේවා කම්කරුවන් ඇතුලු කම්කරුවන් මිලියන භාගයක්, වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන පුලුල් ප්‍රහාර වලට විරෝධය දැක්වීම සඳහා එක්දින මහා වැඩ වර්ජනයකට එක්වනු ඇත. මීට අමතරව, ලක්ෂ සංඛ්‍යාත ගුරුවරුන්, අනෙකුත් රජයේ සේවකයින් සහ රාජ්‍ය අංශයේ කම්කරුවන් දිවා ආහාර පැයේ පිකට් උද්ඝෝෂන සහ අනෙකුත් විරෝධතාවලට සම්බන්ධ වෙමින් ජාමූඅ කප්පාදු වලට විරුද්ධත්වය ප්‍රකාශ කරනු ඇත.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ රුදුරු වැඩ වර්ජන විරෝධී විධිවිධාන කම්කරු පන්තියේ තවත් ක්ෂේත්‍රයන් කරා පුලුල් කරමින් වික්‍රමසිංහ සඳුදා (පෙබරවාරි 07) රාත්‍රියේ දුන් නියෝගය හමුවේ, වරාය කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති කිහිපයක්, අද පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහභාගී වීම අවසන් මොහොතේ දී අවලංගු කර ඇත. එසේ වුව ද, පනත යටතේ ආන්ඩුව විසින් වෘත්තීය ක්‍රියාමාර්ග සාපරාධීකරනය කිරීම සහ මුදල් දඩ, අවුරුදු දෙකේ සිට පහ දක්වා වන සිර දඬුවම් සහ රැකියා අහිමි කිරීමේ තර්ජන සෘජුවම නොතකා හරිමින් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වැඩවර්ජනය කරනු ඇත.

පාලක පන්තියේ කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ධූරයට ඔසවා තැබුනු වික්‍රමසිංහ, රාජ්‍ය සේවාවන් අලලාගත් සුවිසල් කප්පාදු, රාජ්‍ය අංශයේ දැවැන්ත රැකියා විනාශයන්, ඉසිලිය නොහැකි පරිමානයෙන් විදුලි බිල වැඩිකිරීම්, බදු වැඩිකිරීම් හා මහා පරිමාන පුද්ගලීකරනය ආදී නග්න අධිකාරීවාදී පියවරයන් වෙත එකදිගට යොමුවෙමින් සිටී.

පසුගිය සතියේ, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින්, මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත ව තිබූ දීප-ව්‍යාප්ත පලාත් පාලන මැතිවරනය වික්‍රමසිංහ විසින් අවලංගු කරන ලදී. පලාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල වික්‍රමසිංහ ආන්ඩුවේ නීත්‍යනුකූල පාර්ලිමේන්තු පැවැත්මට සෘජු බලපෑමක් ඇති නොකරනු ඇත. එහෙත්, මැතිවරනයේදී ආන්ඩුවට අත්වීමට නියමිත දැවැන්ත මහජන ප්‍රතික්ෂේපනය මගින්, එයට මහජන සහයෝගයක් නොමැති බව සහ මුලුමනින්ම යුක්තියුක්ත නොවන බව අවධාරනය කරනු ඇතැයි ඔහු නිවැරදිව ගනන් බැලුවේය.

වික්‍රමසිංහ විසින් පලාත් පාලන මැතිවරනය අහෝසි කිරීමට විරෝධය පලකරමින් ජවිපෙ විසින් සංවිධානය කරන ලද පෙලපාලියකට පහර දීම සඳහා පසුගිය ඉරිදා ආන්ඩුව දැඩි ලෙස සන්නද්ධ පොලිස් කන්ඩායමක් යෙදවුවේය. පොලිස් ප්‍රචන්ඩත්වයේ ප්‍රතිඵලය වූයේ, ජවිපෙ අපේක්ෂකයෙකු වන එක් විරෝධතාකරුවෙකු මිය යාම සහ තවත් දුසිමකට වැඩි පිරිසක් රෝහල් ගත කිරීමයි.

'ආර්ථික ප්‍රකෘතිය' එලඹෙන තෙක් මැතිවරනය කල් දැමිය යුතු බවත්—එයින් ඔහු අදහස් කරන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ මිනී කන ගිජු ලිහිනියන්ට නය ගෙවීම නැවත ආරම්භ කල හැකි මට්ටම දක්වා ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා වෙහෙස වී වැඩ කරන්නන් මත සූරාකෑම තීව්‍ර කිරීමයි—එම 'ආර්ථික ප්‍රකෘතිය' සඳහා 'මහජන සාමය' අවශ්‍ය බවත් වික්‍රමසිංහ උඩඟු ලෙස ප්‍රකාශ කර ඇත. ඔහු පසුගිය වසරේ මහජන නැගිටීම යලි යලිත් හෙලාදකිමින්, ත්‍රස්ත විරෝධී නීති යටතේ විරෝධතා නායකයින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති අතර රට “අරාජිකත්වයට” පත්වීමට ඉඩ නොදෙන බවට දිවුරා පැවසුවේය.

දැඩිසේ කප්පාදු කෙරුනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලින් පවා මහජන විරුද්ධත්වය මතුවීම සඳහා අන්තරායකාරී මාවතක් සම්පාදනය කරන බව, ඔහු සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය පැහැදිලිවම දකින අතර, කම්කරු පන්තික අරගලයේ නව පිපිරීමක් මැඩපැවැත්වීම සඳහා ධනේශ්වර රාජ්‍යයේ සම්පූර්න බලය—ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ සහ අධිකරනයේ ඒකාධිපති බලතලවල සිට පොලිසිය සහ හමුදාව දක්වා—යොදා ගැනීමට ඔවුහු සැරසී සිටිති.

කම්කරු පන්තිය සහ ගම්බද ජනයා සම්බන්ධයෙන් ගත්කල, උද්ධමනය සියයට 50 ඉක්මවා ඉහල යාමෙන් ඔවුන් මත පැටවෙන නිමක් නොමැති බර ඔවුන්ට දරාගත නොහැක. ශ්‍රී ලාංකිකයින්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමානයකට තම දෛනික ආහාර වේල් ප්‍රමානය අඩු කිරීමට බල කෙරී ඇති තතු තුල, කුසගින්න, මන්දපෝෂනය සහ පූර්න හාමත දිවයින වෙලා ගනිමින් පවතී.

පසුගිය වසරේ සිවුමසක මහජන නැගිටීමේ සටන්කාමිත්වය සහ පුලුල්බව නොතකා එයින් කිසියම් සාරභූත වෙනසක් ගෙන ඒමට අසමත් වීම සම්බන්ධයෙන් වැඩකරන ජනතාවගේ පුලුල් කොටස් අතර පැවති ව්‍යාකූලත්වය සහ කලකිරීම ගසාකෑමට මුලදී වික්‍රමසිංහ සමත් විය. ආන්ඩුව, විරුද්ධ පක්ෂවල සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව තල්ලු කරගත්, හාත්පසින්ම ව්‍යසනකාරී ජාමූඅහි නියෝග මාලාවක් හරහා ප්‍රහාරය යලි ආරම්භ කලේය.

එහෙත් දැන් වැඩි වැඩියෙන් අධිකාරීවාදී පියවරයන් වෙත යොමුවීම ඇතුලු සියල්ල, කම්කරු පන්තික විරුද්ධත්වයේ යලි නැගීම වෙත ඉලක්ක කෙරි පවතී. මෙම විරුද්ධත්වය තම පාලනයෙන් ගිලිහී යනු ඇතැයි බියෙන්, අන්තර්-සමාගම් සේවක සංගමයේ ප්‍රධානී සහ ජවිපෙ නායකයෙකු වන වසන්ත සමරසිංහ ඇතුලු සමහර වෘත්තීය සමිති නායකයෝ, අඛන්ඩ මහා වැඩවර්ජනයක හැකියාව ගැන දොඩවති.

ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ දේශපාලන නියෝජිතයන් තමන්ට “දැරියහැකි” යැයි කියන දේ සඳහා නොව, මහජන අවශ්‍යතා මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ඉල්ලීම්වලින් සමන්විත ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කරනුවස්, තමා පසුපස ගම්බද ජනයා පෙලගස්වා ගත් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පංතිය බලමුලු ගැන්වීමට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන (සසප) අරගලය, මෙම ආන්තික පන්ති ආතතියේ කොන්දේසි යටතේ වඩාත් හදිසි වේ.

පසුගිය වසරේ මහජන නැගිටීම ආරම්භයේ සිටම, ධනපති ගැති වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් කම්කරු පන්තිය මුදා ගැනීමට සසප සටන් කලේය. වැඩ වර්ජන සහ අනෙකුත් වෘත්තීය ක්‍රියාමාර්ග හරහා කම්කරුවන් පන්තියක් ලෙස මැදිහත් වීම වැලැක්වීමට මුලදී උත්සාහ කල වෘත්තීය සමිති, ජාමූඅ කප්පාදු පිලිවෙතට භක්තිමත්ව කැපවූ අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සඳහා ධනේශ්වර විපක්ෂයේ කැඳවීම ඔජවඩමින්, පසුව එක්දින විරෝධතා වැඩ වර්ජනය අනුමත කලහ.

වාර්ගික රේඛා කපා දමමින් කම්කරු පන්තිය එක්සත් කිරීමටත්, වෘත්තීය සමිතිවලින් සහ පාලක පන්තියේ සියලුම දේශපාලන නියෝජිතයන්ගෙන් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා එහි ස්වාධීන ආරම්භකත්වයන් වර්ධනය කිරීමටත් සසප සටන් වදී. සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත පාලක පන්තිය එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව ක්‍රියාත්මකවීමට සහ කම්කරු බලය සඳහා අරගලය වැඩිදියුනු කිරීමට, කම්කරු පන්තියේ සහ ගම්බද වැඩකරන ජනයාගේ පුලුල්තම කොටස් බලමුලු ගැන්වීමේ මාධ්‍යයන් බවට මෙම කමිටු පත්විය යුතුය.

ජූලි මාසයේදී, රාජපක්ෂ රටින් පලවා හැරීමෙන් දින කිහිපයකට පසු, ජාමූඅ කප්පාදු බලාත්කාරයෙන් පැටවීමට සහ තම දැවැන්ත ධනස්කන්ධය ආරක්ෂා කර ගැනීම සඳහා ආන්ඩුව වඩාත් ඵලදායි උපකරනයක් බවට හැඩගස්වා ගැනීමට පාලක පන්තිය උපාමාරු දමමින් සිටියදී, සසප කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා අරගලය ආරම්භ කලේ ය.

වැඩකරන ජනයාගේ ක්‍රියාකාරී කමිටු මත පදනම්ව, 'ගෝඨාභය රාජපක්ෂගේ ද ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපතිවන හා ඒකාධිපතියාවීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජමිතුරන් විසින් අටවමින් තිබෙන ප්‍රතිගාමී ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවට විප්ලවවාදී දේශපාලන විකල්පයක්” සම්මේලනය විසින් මූර්තිමත් කරනු ඇතැ යි සසප පැහැදිලි කලේය.

මෙම මූලෝපායෙන් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට සසප අද දින පැවැත්වෙන මහා වැඩවර්ජනයට ධෛර්යසම්පන්නව මැදිහත් වේ. 'ආන්ඩුවේ මුර්ග කප්පාදු ප්‍රහාරවලට එරෙහි වර්ජනයට සහාය ගොනුකරමු! ජනාධිපතිගේ කුරිරු අත්‍යවශ්‍ය සේවා නියෝග ඉවත් කරනු! සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකීමට සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිමු!'' යන හිසින් පල කෙරුනු සසප ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේය:

“ධනපති ක්‍රමය තුල කම්කරුවන්ට සහ දුප්පතුන්ට විසඳුමක් නැත. කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම වික්‍රමසිංහ ආන්ඩුවේ පන්ති යුද වැඩපිලිවෙලට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීම සඳහා අන් කවරදාකටත් වඩා හදිසි වේ.'

වික‍්‍රමසිංහට කරන කනිපින්දන් මගින් හෝ ආන්ඩු මාරුවකින් ජාමූඅ කප්පාදු වැඩසටහනේ සැරබාලකල හැකියැයි ප‍්‍රකාශ කරමින්, බංකොලොත් වූ ශ‍්‍රී ලංකාවේ ධනවාදයට හා එහි කුනු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලට කම්කරු පන්තිය ගැටගැසීමට වැඩකරන වෘත්තීය සමිති, ජවිපෙ සහ ව්‍යාජ වාම සංවිධානවලට මෙම ප‍්‍රකාශය චෝදනා එල්ල කර සිටී.

වික්‍රමසිංහ විසින් පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට ප්‍රතිචාර වශයෙන්, අනෙකුත් ධනේශ්වර විරුද්ධ පක්ෂ සමග, ජවිපෙ, බටහිර බලවතුන්ගේ මැදිහත්වීම සඳහා ආයාචනා කර ඇත. මෙයාකාරයෙන්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් ලෙස හුරේ දමමින් සිටින්නේ, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ට ය. මෙම බලවතුන්, රුසියාවට එරෙහි යුද්ධය අනවරතව තීව්‍ර කරමින් සිටී. එමතු නොව, ඔවුහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවල සුවිසල්ම අද්වකාත්වරුන් වන අතර, දෙමල සුලුතරයට එරෙහි දශක තුනක සිවිල් යුද්ධයේදී සිංහල අධිපතිවාදී ශ්‍රී ලංකා රාජ්‍යයට සහය දුන්හ. එක්සත් ජනපදය සම්බන්ධයෙන් තවත් දෙයක් මීට එකතු කල යුතුය: එය, චීනයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමේ සූදානම් සඳහා දිවයින මුලුමනින්ම යොදා ගැනීමේ අරමුනින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය නිර්දය ලෙස ගසාකමින් සිටී.

සසප ප්‍රකාශය, මහජනතාවගේ අවශ්‍යතා ප්‍රකාශයට පත් කරන සහ ඔවුන්ගේ ස්වාධීන බලමුලු ගැන්වීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කල හැකි, සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් මාලාවක් ගෙනහැර දක්වයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම; සියලුම අත්‍යාවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම; සියලුම ජාමූඅ කප්පාදු පියවර අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය දරාසිටින විදේශ නය ප්‍රතික්ෂේප කිරීම මේවාට ඇතුලත්වෙයි.

ඉන්පසුව එය මෙසේ පැහැදිලි කරයි: “රට පුරා කම්කරුවන්ගේ සහ ගම්බද දිලිදු ජනයාගේ ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් සමන්විත කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ඉහත ඉල්ලීම් සඳහා සටන් කිරීමේ ක්‍රියාමාර්ගය තීරනය කරනු ඇත. මේ අනුව එය සමාජවාදී වැඩපිලිවෙලකට කැපවී සිටින කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා පදනම දමනු ඇත.”

ශ්‍රී ලංකාවේ විප්ලවය සහ ප්‍රතිවිප්ලවය අතර වර්ධනය වන ගැටුම ලොව පුරා කම්කරුවන්ට පූර්ව නිමිත්තක් මෙන්ම අනතුරු ඇඟවීමකි.

සෑම තැනකම පාලක පන්තිය, ජනගහනයේ අවශ්‍යතාවන් කෙරෙහි මුලිමනින්ම අසංවේදී ය. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල පාලක පන්තිය රුසියාවට එරෙහි සිය යුද්ධයට අරමුදල් සම්පාදනය කරගැනීම සඳහාත්, දැනටමත් දුරදිග ගොස් ඇති චීනය සමග යුද සූදානම පිනිසත් කම්කරු පන්තියේ සමාජ අයිතීන්වලින් ශේෂවූ යමක් වේ නම් ඒවා මත දැවැන්ත ප්‍රහාරයන්ගේ නව රැල්ලක් දියත් කරමින් සිටී.

එමෙන්ම වැඩෙන සමාජ විරෝධය හමුවේ, වැඩ වර්ජන විරෝධී නීති සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි අනෙකුත් ප්‍රහාර යොදාගනිමින් කම්කරු පන්තියේ ප්‍රතිරෝධය සාපරාධීකරනය කිරීම දක්වාත්, පොලිස් රාජ්‍ය මර්දනයේ සහායකයින් ලෙස සේවය කිරීම සඳහා ෆැසිස්ට් බලවේග වගාදිගා කිරීම දක්වාත් එය ගමන් කරයි.

තම පන්ති අවශ්‍යතා තහවුරු කිරීමට, එහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වීමට සහ රාජ්‍ය දේශසීමා හා මහාද්වීප හරහා එහි අරගල එක්සත් කිරීමට කම්කරු පන්තිය අරගලයේ නව සංවිධාන ගොඩනැගීම මගින්, ජාතිකවාදී-සංගත ගැති වෘත්තීය සමිති නිලධරයන් දිගු කලක් තිස්සේ සිර කර ඇති යකඩ සැට්ටය කපා හැරිය යුතුය.

කම්කරු පන්තිය දේශපාලන බලයක් බවට පරිවර්තනය කිරීම, නව සමාජ පර්යායක ප්‍රධානියා සහ එහි අරගල ඒකාබද්ධ කිරීම, සියල්ලටත් වඩා, ඉතිහාසයේ පාඩම් තුල මුල් බැසගත් විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම ඉල්ලා සිටී— ඒ වනාහි, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය සහ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා එහි ජාතික ශාඛාවන් ය.

Loading