කුසගින්නේ අධ්‍යාපනයේ නියැලීමට සිදුව ඇතිබව ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පවසති

පසුගිය දිනවල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අතර සමාජ සමාජනතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සිදු කල දේශපාලනික මැදිහත්වීම්වල දී බහුතරයක් සිසුන් පැවසුවේ, ඔවුන්, දෛනිකව ආහාරවේල් අත්හරිමින් කුසගින්නේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බවයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අතර සමාජනතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) කැඳවුම්කරු දේශපාලනිකව මැදිහත්වෙමින්

සාකච්ඡාවට සම්බන්ධවූ අයගෙන් බහුතරය අනුභව කරන්නේ පෝෂන ගුනයෙන් හා ප්‍රමානයෙන් ඌන විශ්වවිද්‍යාලයේ හා නේවාසිකාගාරයේ ආපනශාලවල ආහාරපානයන් ය. නගරයේ පිහිටි ආපනශාලාවල සාමාන්‍ය බත් පැකට්ටුවක් රුපියල් 300-350 ත් අතර මිලක් වේ. පාන්, බනිස් ඇතුලු වෙනත් ආහාර වර්ගවල මිල ගනන් ද සිසුන්ට දැරිය නො හැකි ය.

විශ්වවිද්‍යාලයේ ආපනශාලාවල බත් පැකට්ටුවක් රුපියල් 100-150 ත් අතර පැවතුනත් සාකච්ඡාවට සම්බන්ධ වූ ශිෂ්‍යන්ගෙන් බහුතරය දිනකට ගන්නේ ආහාර වේල් දෙකක් පමනි. වඩාත් දරුනු තත්වය වන්නේ ඉන් ද කොටසක් ඇතැම් දිනවල එක වේලකින් දවස ගෙවීමයි.

එම ආපනශාලාවලින් ආහාර වේල් තුනම ලබා ගතහොත් දිනකට අවම වශයෙන් රුපියල් 500 ක් අවශ්‍ය වෙයි. ආහාර වියදමත් සමග අධික ලෙස ඉහල ගොස් ඇති බස් ගාස්තු, පොත්පත්, ලිපි ද්‍රව්‍ය හා අත්‍යාවශ්‍ය වෙනත් භාන්ඩවලට අවම වියදමක් දැරුව ද, එක ශිෂ්‍යයෙකුගේ මාසික වියදම රුපියල් 20,000 ක් පමන වේ.

පාසල් අධ්‍යාපනයේ නියැලෙන තම බාල සහෝදර සහෝදරියන්ගේ ආහාර හා අධ්‍යාපන වියදම් දැරීමටවත් සිය දෙමාපියන්ගේ ආදායම් ප්‍රමානවත් නො වන තත්වයක් තුල රුපියල් 20,000 ක් තරම් මුදලක් තමුන් වෙනුවෙන් වැය කිරීමට දෙමාපියන්ට නොහැකි බව ඔවුහු පෙන්වා දුන්හ. ආන්ඩුවෙන් ලබා දෙන සොච්චම් මාසික ශිෂ්‍යාධාරය රුපියල් 5,000 කි. එය ද මාස්පතා අඛන්ඩව ගෙවීමක් සිදු වන්නේ නැති බව ශිෂ්‍යයෝ වැඩිදුරටත් ප්‍රකාශ කලහ.

ගාල්ලේ සිට පැමිනි ශිෂ්‍යාවන් දෙදෙනෙක් සසජාතශි සමග සාකච්ඡාවට සම්බන්ධ වූහ. ඉන් එක් අයෙකුගේ පවුල රැකෙනුයේ කුලී වැඩ කිරීමෙන් තම පියා උපයන ආදායමෙනි. ඇය මෙසේ කීවාය: “අපි ගැන කියන්න අපිටම දුකයි. අපි ගොඩක් දවස්වලට රෑට තේ එකක් බීලා නිදා ගන්නවා. සමහරදාට එක වේලයි දවසටම කන්නේ. හොස්ටල් එකේ කෑම එකක් රුපියල් 120 යි. මට පාසල් යන නංගිලා දෙන්නෙකුයි එක මල්ලියෙකුයි ඉන්නවා. තාත්තට හැමදාම වැඩ ලැබෙන්තේ නෑ. පවුලේ අනික් අය ජීවත් වෙන්නෙත් ගොඩක් අමාරුවෙන්“.

අනෙක් ශිෂ්‍යාවගේ පියා වී ගොවිතැනෙ හි යෙදේ. ඇයට තම දෙමාපියන්ගෙන් මුල්‍යමය ආධාරයක් ලැබෙන්නේ නැති තරම් ය. පොත්පත්, ලිපි ද්‍රව්‍යවල වියදම පමනක් නොව සබන්, සීනි, තේ කොල වැනි ද්‍රව්‍යවල මිල ගනන් කොහෙත්ම දැරිය නො හැකි බව එම ශිෂ්‍යාවෝ ප්‍රකාශ කලහ.

සුපරි වෙලඳ සැල් වැනි ආයතනවල අර්ධ කාලීනව රැකියා කල සිසුන්ගේ සංඛ්‍යාව පසුගිය දෙවසර තුල වැඩි වී ඇතිබව මෙම සාකච්ඡාවන්හි දී අනාවරනය විය. සිසුන්, එවැනි ස්ථානවල පූර්නකාලීනව රැකියාවේ නිරත වීමද වර්ධනය වී ඇත.

ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන, මහරගම නගරාසන්නයේ පිහිටි සුපිරිවෙලඳසැලක පූර්න කාලීනව රැකියාවක නිරත ශිෂ්‍යාවක් සිය රැකියා හා ජීවන කොන්දේසි මෙසේ පැහැදිලි කලා ය: “මම දැන් පැය 09 ක් විතර මුදල් කවුන්ටරයේ වැඩ කරනවා. දවසෙම හිටගෙන. මාසයකට මට රුපියල් 34,000 ක වැටුපක් ලැබෙනවා. ඒ මුදල මගේ වියදම්වලට ඇති. නමුත්, දේශන ගොඩක් මග ඇරෙනවා. රෑ වෙලා පාඩම් වැඩ කරන්න බෑ මහන්සියි, ඒ නිසා මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් ඇන හිටලා තියෙන්නේ.“

උදෑසන දේශනවලට සම්බන්ධ වී දහවල් 2 සිට මුද්‍රනාලයක වැඩට යෑම සඳහා කලබලයෙන් ගමන් කල සිසුවෙක් ප්‍රකාශ කලේ මාසිකව වැඩ කිරීමට තරම් වැඩ ප්‍රමානයක් මුද්‍රනාලය තුල නො වන බවයි. “වැඩ ලැබෙන කොට මට ප්‍රෙස් එකෙන් කෝල් කරනවා. මට දවසකට රුපියල් 2,000 ක් දෙනවා. සතියකට දින තුනක් විතර වැඩ ලැබෙනවා. ඒ මුදල්වලින් තමයි ජීවත් වෙන්නේ“ යැයි ඔහු පැවසීය.

පාසල් සිසුන් සඳහා අමතර පන්ති කිරීමෙන් ආදායමක් සොයාගත් සයුරි, අවසන් වසරේ විභාග කටයුතු බාධාවකින් තොරව කර ගෙන යෑම සඳහා එම පන්ති නවතා ඇත. ඇය මෙසේ කීවාය: “අපි තේ එකක් බොන්නෙත් කිහිප දෙනෙක්ගේ සල්ලි එකතු කරලා. මොකද හැමෝටම ඒ සඳහා මුදල් නෑ. මට ඉන්නේ වැඩිමහල් සහෝදරයෝ දැන් විවාහකයි. ඒ නිසා තාත්තා කූලි වැඩ කරලා මට සතියකට කීයක් හරි එවනවා. ගොඩක් ලමයිට නිසි පෝෂනයක් ලැබෙන්නේ නැ.“

කෝවිඩ්-19 වසංගතය හා උද්ගත වී ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් විශ්වවිද්‍යාල ජීවිතය බලාපොරොත්තු වූ පරිදි ගත කිරීමට නො හැකි වූ බව ඇය කනගාටුවෙන් පැවසුවා ය. “අපේ කාලේ කොහොම හරි ගෙවුනා. දැන් පලමු වසරට ඇතුල් වෙච්ච අය දරුනු ප්‍රශ්නවලට මුහුන දෙන්නේ. උසස් පෙලින් විශ්වවිද්‍යාල වරම් ලැබූ ලමයි, ඒ අයගේ දෙමාපියන් දැන් විශ්වවිද්‍යාලයකට එන්න දෙපාරක් හිතන තත්වයක් තියෙන්නේ“.

කුසගින්න, ඖෂධ හිගය හා උද්ධමනය වර්ධනය වීමට හේතුව ලෙස බහුතරයක් සිසුන් දැක්වූයේ ලංකාවේ බලයට පත් ආන්ඩුවල නායකයන්ගේ “දූෂන වංචා, කලමනාකරනයක් නොමැති වීම, රට තුල තිබෙන ඉඩම් වගා කොට ජාතික නිෂ්පාදනය ඉහල නො නැංවීම“ වැනි කරුනු ය.

කම්කරු පන්තියේ ශ්‍රම ශක්තිය සූරාකෑම මත පදනම් වන ධනේෂ්වර ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය මගින්, කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන් ඇතුලු පීඩිතයන් ලොව පුරා මුහුන දී තිබෙන ව්‍යසනකාරී සමාජ කොන්දේසි නිර්මානය කෙරී ඇති බව සසජාතශි සාමාජිකයෝ සිසුන්ට පෙන්වා දුන්හ.

සමාජයීයකෘත නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය අතර ද, භූගෝලීයකෘත නිෂ්පාදනය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද පවත්නා ඓතිහාසික පරස්පරවිරෝධයන් ධනපති ක්‍රමය මුහුන දී සිටින දැවැන්ත අර්බුදයේ මූලය බව ද, කෝවිඩ් වසංගතයෙන් සහ යුක්‍රේන යුද්ධයෙන් එම අර්බුදය වඩාත් ගැඹුරු කෙරෙමින් පවත්නා බවද සාකච්ඡාවට භාජනය විය. ඒ සමගම, දූෂනය හා වංචාව ධනපති ක්‍රමයේ නෛසර්ගික ගුනයක් බව ද සසජාතශි සාමාජිකයෝ සිසුන්ට පෙන්වා දුන්හ.

“දූෂනය හා වංචාව ඉවත් කිරීමෙන් හා ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් ධනපති ආර්ථිකය තුල ම මෙම අර්බූදය විසඳිය හැකි“ යයි ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), වෘත්තීය සමිති නිලධරය හා ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) හා ඒ යටතේ ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) වැනි සංවිධාන විසින් වගාදිගා කරන බංකොලොත් ජාතිකවාදී ධනපති ක්‍රියාමාර්ගවලට එරෙහිව, සසජාතශි සාමාජිකයෝ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කලහ.

වසංගතයේ ආරම්භයේ සිටම සෑම රටකම ධනපති පාලක පන්තීන් වසංගතයෙන් මහා ව්‍යාපාරිකයන්ට එල්ල වූ බලපෑම අවම කිරීම සඳහා අනුගමනය කල පිලිවෙත වූයේ, බිලියන සංඛ්‍යාත මුදල් මුද්‍රනය කරමින්, ශුන්‍ය හෝ ඒ ආසන්න පොලී අනුපාතයක් යටතේ එම මුදල් මහා සංගතයන් හා මූල්‍ය ආයතන වෙත නිකුත් කිරීමයි. ලෝක පරිමානව උද්ධමනය ඉහල යෑමට ප්‍රධාන හේතු කාරකය වූයේ එයයි.

මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තැබීමේ මෙම පිලිවෙත සමාජ අසමානතාවය ගැඹුරු කර, භූ-දේශපාලනික ආතතීන් තීව්‍ර කරමින් ධනේෂ්වර ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය ගැඹුරු කලේ ය.

දැන් වසරක් ඉක්මවා ඇති, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් යුක්‍රේන තුල රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය ලොවපුරා කෘෂි නිෂ්පාදන ඇතුලු නිෂ්පාදන සැපයුම් දාමයට එල්ල කර ඇත්තේ බරපතල ප්‍රහාරයකි.

ලෝකයේ තිරිඟු ඇතුලු ධාන්‍ය නිෂ්පාදනයෙන් සියයට 30 කට දායකත්වය සැපයූවේ යුක්‍රේනයයි. ඉන්දන, ගෑස් හා පොහොර අපනයනය කරන රුසියාවට ඇමරිකාව පනවා ඇති සම්බාධක ආහාර උද්දමනයට බලපෑ තවත් ප්‍රබල සාධකයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැද පෙරදිග, අප්‍රිකානු හා ආසියාවේ දිලිඳු රටවල කුසගින්න දැවැන්ත ලෙස ඉහල ගොස් තිබේ.

මෑත ම ලෝක බැංකු වාර්තාවකට අනුව 2022 වසරේ ලෝකයේ ආහාර උද්ධමනය සියයට 90 ක් විය. ලංකාව ආහාර උද්ධමනය අතින් 5 වන ස්ථානයේ පසුවෙයි. ලෝක ආහාර වැඩසටහන පසුගිය දෙසැම්බර් නිකුත් කල ‘ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිලිබඳ අධීක්ෂන වාර්තාවට‘අනුව ලංකාවේ පවුල්වලින් සියයට 33ක් ආහාර අනාරක්ෂිතභාවයට ඇඳ වැටී ඇත. සියයට 67ක් අකමැති ආහාර ගනිමින් ද සියයට 43 ක් ආහාර සීමා කරමින් ද තවත් සියයට 35ක් ආහාර වේල් අඩු කරමින් ද ජීවත් වෙති.

ලංකාවේ පවුල්වලින් සියයට 40ක් තම මාසික වැටුපෙන් සියයට 75ක් වැය කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බව ද සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වියදම් කල හැක්කේ ඉතා ම ස්වල්පයක් බව ද යුනිසෙෆ් සංවිධානය මෑත වාර්තාවකින් පෙන්වා දී තිබේ. මේ තත්වය තුල පාසල් හැර යෑමේ ප්‍රවනතාවය වර්ධනය වී ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හෙලිකල දෑ, ඉහත යුනිසෙෆ් වාර්තාවේ කරුනු ප්‍රබල ලෙස සනාථ කරයි.

වර්ධනය වන මෙම ලෝක අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ අපනයන ආදයම් කඩා වැටෙමින් විදේශ නය අර්බූදය ගැඹුරු කරන තත්වයේ දී රසායනික පොහොර ඇතුලු ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීම නතර කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගත් මංමුලා සහගත පියවර හමුවේ දේශීය සහල්, බඩඉරිඟු හා කිරි, බිත්තර මස් වැනි ආහාර නිෂ්පාදනවල හිඟයක් නිර්මානය කර ඇති අතර මිල ගනන් ඉහල දමා තිබේ.

ලොවපුරා ආහාර අර්බූදය, ඖෂධ මිල ගනන් ඉහල යෑම ඇතුලු සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරය පරාජය කලහැක්කේ දැවැන්ත කම්හල්, බැංකු සහ වතු කම්කරු පන්තියේ පාලනයට ගෙන, දැවෙන මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය සහ බෙදාහැරීම සමාජවාදී පිලිවෙත් මත ගෝලීය පරිමානව ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි.

Loading