රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආන්ඩුවේ බදුබරට එරෙහි වෛද්‍යවරුන්ගේ අරගලය අවමංගත කිරීමේ තැතක

රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් උපයනවිට බද්ද කිහිප ගුනයකින් ඉහල දැමීමට එරෙහිව රජයේ වෛද්‍යවරුන් අතර මතු වී ඇති බරපතල විරෝධය සහ අරගලය අවමංගත කොට විසුරුවාලීමේ තැතක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) නිරතව සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු පිලිවෙතේ කොටසක් ලෙස, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් යෝජිත උපයන විට ගෙවීමේ නව බද්ද යටතේ යටතේ රුපියල් 100,000 හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට 6 සිට සියයට 36 දක්වා බද්දක් අයකෙරෙයි. ඒ අනුව වෛද්‍යවරුන්ගේ වැටුපෙන් රුපියල් 10,000 සිට 70,000 දක්වා වූ බද්දක් අයකෙරෙන බව වෛද්‍යවරු පවසති.

වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් හිඟයන් සහ ඉහල බදු වලට එරෙහිව, කොලඹ තදාසන්න ප්‍රදේශයේ, මහරගම අපේක්ෂා පිලිකා රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වයි [සෞඛ්‍ය සේවකයින්ගේ ඡායාරූපයකි] [Photo by Health workers]

මෙම බදු පැනවීම ඇතුලු වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ජාමුඅ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව රජයේ වෛද්‍යවරුන් අතර මෙන් ම කම්කරු පන්තිය තුල බරපතල විරෝධයක් සහ එම ප්‍රහාරයන් ට එරෙහිව සටන් කිරීමේ බලගතු උවමනාවක් ද ඇත.

උපයන විට ගෙවීමේ නව බද්දට විරුද්ධව රවෛනිස සහ ඇතුලු වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ විදුලිබල, වරාය, තෙල් සහ ලංකා බැංකු සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති සන්ධානය විසින් පෙබරවාරි 8 වෙනිදා එක්දින දීපව්‍යාප්ත වර්ජනයක් කැඳවන ලදී. හදිසි ප්‍රතිකාර හා දැඩි සත්කාර වැනි අත්‍යාවශ්‍ය අංශවල හැර සෙසු සියලු අංශවල වෛද්‍යවරුන් ගෙන් බහුතරයක් 8 වෙනිදා වර්ජනයට සම්බන්ධවුහ. එදින දිවයින පුරා නගර ගනනාවක උද්ඝෝෂන පැවති අතර කොලඹ හයිඩ්පාර්ක් පිටියේ රැලියක් ද පැවැත්වුනි. මෙම වර්ජනයට සහ උද්ඝෝෂනයට වෛද්‍යවරු ඇතුලු වෘත්තිකයන් සහ සෙසු රාජ්‍ය අංශයේ සේවකයන් 50,000 අධික පිරිසක් සහභාගී වුහ.

එහෙත් රවෛනිස, රාජ්‍ය අංශයේ සෙසු වෘත්තීය සමිති සමග පෙලගැසෙමින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහි කම්කරු පන්තියේ අරගලය ආන්ඩුවට පීඩනය යෙදීමේ සීමිත හා නිස්සාර උද්ඝෝෂනවලට කොටු කර අවමංගත කොට විසුරුවා හැරීමේ දැනුවත් ව්‍යායාමයක යෙදී ගෙන සිටී.

උද්ඝෝෂනය හුදෙක් උපයන විට ගෙවීමේ බද්දට සීමාකොට තිබේ. එමගින් ජාමුඅ විධානයන් යටතේ වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීම රවෛනිස ඇතුලු වෘත්තීය සමිති 40 ක සන්ධානය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පෙබරවාරි 8 වෙනිදා වර්ජනය හා රැලිය සම්බන්ධව ඊට පෙර දින මහනුවර රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරයේ දී වෛද්‍යවරුන් දැනුවත් කිරීම සඳහා යයි පැවති රැස්වීමේ දී රවෛනිස සැබෑ භූමිකාව එලිදරව් විය. එහිදී කතාකල රවෛනිස නිලධාරීන්, වර්ජනය කැඳවීම ප්‍රමාද වීමට හේතුව ලෙස දැක්වූයේ, පවතින අර්බුදය හමුවේ වේලාසන වර්ජනයක් කැඳවූයේ නම් ආන්ඩුව වෛද්‍යවරුන්ට අවාසිදායක ලෙස ප්‍රහාරයක් එල්ල කිරීමට එය යොදා ගැනීමට ඉඩ පැවතිබව යන්නයි.

සත්‍යය එහි අනෙක් පැත්තයි. රවෛනිස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපේ) ආන්ඩුව බලයට ගෙන ඒමට ඍජුව දායක වූ සංවිධාන වලින් එකකි. එය රාජපක්ෂ ආන්ඩුවේ සහ දැන් වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත් වලට විරුද්ධ නැත. රවෛනිස උද්ඝෝෂනය ප්‍රමාද කලේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව වෛද්‍යවරුන්ගේ අරගලයක් මඟහැරීමේ දැනුවත් අරමුන ඇතිවය. එමගින් උද්ඝෝෂනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ආන්ඩුවට කාලය සහ 'වාසිය' ලබා දී ඇත්තේ රවෛනිස සංගමය විසින්ම ය.

රවෛද්‍යනිස ආන්ඩුවට බලපෑම් දැමීමෙන් උපයනවිට බද්ද අඩුකරගත හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරන නමුත්, බද්දට අමතරව රාජකාරි දීමනාවෙන් සියයට 15 ක් කැපීමට ද ආන්ඩුව පිඹුරුපත් සකසමින් ඇත. එමගින්, වෛද්‍යවරුන් ඇතුලු වෘත්තිකයන්ට තම මාසික වැටුපෙන් තවත් රුපියල් දහස් ගනනක් අහිමි වනු ඇත. මෙම බදු අයකිරීම හුදෙක් වෛද්‍යවරුන්ට පමනක් නොව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ශ්‍රේනීන් ට බලපාන අයුරින්, ඉදිරියේදී .රුපියල් ලක්ෂයේ සීමාව තවදුරටත් පහලට ගෙන එමින් මාසික වැටුප රු 40,000 වඩා ලැබෙන සියලු කම්කරුවනට බදු අයකලයුතු බවට ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, ඇමති බන්දුල ගුනවර්ධන මාධ්‍යයට ඉඟි කලේ ය.

වර්ජනයට ජනතාවගෙන් එල්ලවන විරෝධය අවම කර ඔවුන්ගේ සහයෝගය ගොනුකර ගැනීමේ අටියෙන්, “ඖෂධ හිගයට පිලියම් යොදනු” යන සටන් පාඨය එකතු කල බව සංගමයේ එක් කථිකයෙක් පැවසීය. මොනතරම් ප්‍රෝඩාවක් ද ? ඖෂධ හිඟයට හෝ සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයට රවෛනිස විරුද්ධ නැත. එමෙන් ම, 'වගකිවයුතු වෘත්තීය සමිතියක් විදිහට' රවෛනිස 'බදු ගැසීමට විරුද්ධ නැති' බවද ඔහු සඳහන් කලේ ය.

ඒ අනුව රුපියල් ලක්ෂයේ බදු සීමාව ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම, බදු ප්‍රතිශතය අඩු කිරීම සහ අමතර රාජකාරි දීමනාවට බදු නොගසන ලෙස රවෛනිස ආන්ඩුවට යෝජනා කර ඇත.

මෙහිදී මහනුවර සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික වෛද්‍ය වරයෙක් මෙම යෝජනාවලට විරුද්ධව අදහස් ප්‍රකාශ කරමින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහි අරගලය හුදෙක් බදු පැනවීමට සීමා නොකලයුතු බවද පුද්ගලීකරනය, අත්‍යවශ්‍ය බඩු මිල සහ විදුලි හා ජල ගාස්තු ඉහල දැමීම ඇතුලු සමස්ත ප්‍රහාරයන් ට එරෙහිව වෛද්‍යවරු හා සියලු සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කලේ ය.

ජීවන වියදම වේගයෙන් ඉහල යන කොන්දේසි යටතේ සටන් කල යුත්තේ බදු අඩුකර ගැනීමට නොව කම්කරු පන්තිය මත පටවන බදු මුලුමනින් ප්‍රතික්ෂේප කිරීමට සහ ඉහලයන ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තියේ අර්බුදය ලෝක ධනපති ක්‍රමයේ අර්බුදයේ කොටසක් බව ද කොරෝනා වසංගතය සහ රුසියාවට එරෙහි යුක්‍රේන යුද්ධය තුලින් එය වඩා තීව්‍ර වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. “සෑම රටකම පාලක පන්තීන් කම්කරු පන්තියේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට සමාන ප්‍රහාරයක් එල්ල කරනවා. මෙම ප්‍රහාරවලට එරෙහිව ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය ඇතුව සියලුම රටවල කම්කරුවන් අරගලයට පිවිසෙමින් සිටිනව. එමගින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා කොන්දේසි නිර්මානය වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ධනවාදයේ ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනකින් තොරව කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත නොහැකි බවත් ඔහු පැවසීය.

'රවෛනිස ඇතුලු කිසිදු වෘත්තීය සමිතියක් හෝ විපක්ෂයේ කිසිදු පක්ෂයක් ජාමුඅ කප්පාදු පිලිවෙලට විරුද්ධ නැහැ. ජාමුඅ විධානයන් අනුව ක්‍රියාවට දමන කප්පදු සැලසුම් සහ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට කම්කරු පන්තියේ පොදු අරගල;යක් අවශ්‍යයි. ඒ සඳහා වෛද්‍යවරු හා සියලු සෞඛ්‍ය සේවකයන් ඒකාබද්ධ කරන කම්කරු ක්‍රියාකාරී කමිටු ධනපති පක්ෂ සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩ නගා ගත යුතු' බවත් එවන් ක්‍රියාකාරී කමිටු හරහා කම්කරු පන්තියේ අවශේෂ කොටස් සමග එකමුතුව තහවුරු කරගතයුතු බවත් ඔහු සඳහන් කලේ ය.

“දැවැන්ත බදු අය කිරීම හරහා සිදු කරන වැටුප් කප්පාදුව පරාජය කරනු” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපිය වෛද්‍යවරුන් අතර බෙදමින්, මහනුවර රෝහලේ පිහිටුවා ඇති සෙෘඛ්‍ය ක්‍රියාකාරී කමිටුවට බැ‌ඳී සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදින ලෙස ඔහු වෛද්‍යවරුන් ට ඇරයුම් කලේ ය. එම ලිපියෙන්, ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට වෛද්‍යවරුන් ඇතුලු කම්කරුවන්ට කැඳවුම් කෙරේ.

“ඔබේ ජීවිතය බරපතල අනතුරක” හිසින් පත්‍රිකාවක් රවෛනිස විසින් රෝගීන් අතර බෙදා හරිමින් සිටී. එම පත්‍රිකාවේ ඖෂධ හිගයට හේතුව හුදෙක් ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය තුල පැවැති දුෂිත ගනුදෙනු හා පරිගනක පද්ධති දුර්වලතා බව සඳහන් කරමින් ඖෂධ හිඟයට සැබෑ හේතුව ආන්ඩුව සෞඛ්‍ය සේවය සඳහා ප්‍රතිපාදන කප්පාදු කිරීම බව හිතාමතාම වසන් කර ඇත. කම්කරු -පීඩිත ජනයාගේ අරගල මැඩීම සඳහා ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට රුපියල් බිලිය 539 ක් මෙවර අයවැයෙන් වෙන් කල ආන්ඩුව මහජන සෞඛ්‍ය සේවය සඳහා වෙන් කලේ බිලියන 322 ක් පමනි.

ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් තුලින් මුහුන දෙන දුෂ්කර කොන්දේසි ගැන පේරාදෙනිය රෝහලේ වෛද්‍යවරියන් දෙදෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් ප්‍රකාශ කලහ. ඉන් එක් වෛද්‍යවරියක් මෙසේ පැවසුවාය.

“බදු මුදල් කැපුවාට පසු අතට ලැබෙන්නෙ රුපියල් හැත්තෑ දහසක් පමන. ඒකෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමත් ඇතුලු අනෙකුත් කාර්යයන් කිරීම අතිශය දුෂ්කරයි. වෘත්තීය සමිති මේ ප්‍රශ්නය විසඳාවි කියා විශ්වාසයක් නැහැ, උද්ඝෝෂනයට සහභාගි වීම සඳහා කොලඹ යෑමට මම උනන්දු නුනෙ ඒ නිසයි. ඔවුන් ආන්ඩු පත්කරන්න උදව් කරනවා. ඊට පස්සේ අපිට ඇවිල්ල කියනවා එලවන්න කියලා. ආන්ඩු ගැති ප්‍රතිපත්තිය නිසාම මම වෘත්තීය සමිතියෙ තනතුරුවලින් ඉල්ලා අස් වුනා.'

මෙවැනි බද්දක් කිසිසේත්ම දරාගත නොහැකි බවත් සියලු ආන්ඩු විශාල සමාගම්වලට බදු සහන දෙමින් වැඩකරන ජනතාවට බදු ගසන ක්‍රමය වෙනස් විය යුතු බවත් ඇය සඳහන් කලා ය. ක්‍රියාකාරි කමිටු පිලිබඳව තවදුරටත් පැහැදිලි කරගැනීමේ සාකච්ඡාවකින් පසුව සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධවීම්ට තීන්දුවක් ගන්නා බව ද ඇය පැවසුවාය.

වෘත්තීය සමිති වගේම ධනපති ආන්ඩුව කම්කරුන් භේද කිරීමට, ශ්‍රේනි, ජාති, ආගම් පාවිච්චි කරන බව අනෙක් වෛද්‍යවරිය සඳහන් කලාය. 'ජනතා විමුක්ති පෙරමුන ගැන විශ්වාශයක් නැහැ. ආන්ඩුවේ වැඩපිලිවලට විකල්ප වැඩපිලිවෙලක් ඒ ගොල්ලන්ට නැහැ”

'කෝවිඩ් වසංගතය පැතිරීමට ඉඩදීමෙන් ධනපති පන්තිය කම්කරුවන්ට අපරාධයක් කලා. ඒ නිසා විශාල ජනතාවක් දීර්ඝකාලීන ප්‍රතිවිපාක විඳිනව. ඒ ගැන මම පරීක්ෂනයක් කරනවා. ඒ පරීක්ෂනය තුලින් ව්‍යසනයේ ස්වභාවය එලිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා' යැයි සඳහන් කල ඇය ක්‍රියාකාරී කමිටුවට බැඳීමට එකඟතාවය පල කලාය.

Loading