ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ ආන්ඩුවේ කප්පාදුවලට එරෙහිව එක්දින වැඩ වර්ජනයක නිරත වෙති

[මෙය Hundreds of thousands Sri Lankan workers join one-day strike against government austerity යන මැයෙන් 2023 ‌මාර්තු 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාව පුරා ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරුවෝ ආන්ඩුවේ අත්‍යාවශ්‍ය සේවා නියෝග නොතකා, වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහිව ඊයේ එක්දින වැඩ වර්ජනයක නිරත වූහ.

2023 මාර්තු 15 වැනි දින, හෝමාගමදී, ගුරුවරුන් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව උද්ඝෝෂනය කරමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

වෛද්‍යවරු, හෙදියන් ඇතුලු මහජන සෞඛ්‍ය සේවකයින්, වරාය, විදුලිබල, තැපැල් හා ටෙලිකොම් සේවකයින් සහ දුම්රිය එන්ජින් රියැදුරන් වැඩ වර්ජනයේ නිරත වූහ. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ බැංකු සේවකයන්, විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන් සහ පාසල් ගුරුවරුන් ද කාර්මික ක්‍රියාමාර්ගවල යෙදී ගත්හ. රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල, තැපැල් දෙපාර්තමේන්තුව, ටෙලිකොම්, විදුලිබල මන්ඩලය වැනි සේවාවන් ඇනහිටියේය.

පාලක ප්‍රභූවේ කොටස් විසින් ප්‍රවර්ධනය කරන වාර්ගික බෙදීම් කපාගෙන උතුරේ යුද්ධයෙන් විනාශ වූ යාපනයේ කම්කරුවන් ද ඇතුළුව සිංහල හා දෙමල කතා කරන කම්කරුවෝ ඊට සහභාගී වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද පියවරවලට, කම්කරුවන්ගේ වැටුප් මත උපයන විට ගෙවන (උවිගෙ) බද්ද, ඉහල බැංකු නය පොලී අනුපාත, වැඩි කරන ලද විදුලිය සහ අනෙකුත් ගාස්තු, අතිකාල ගෙවීම් කැපීම, රාජ්‍ය අංශය පෞද්ගලීකරනය සහ රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනින් කප්පාදු කිරීම ඇතුලත් වේ. වර්ජකයින් ඉල්ලා සිටියේ මෙම සියලු පියවර ආපසු හරවා, ජීවන වියදමට හිලවු වන පරිදි රුපියල් 20,000 ක දීමනාවක් ගෙවන ලෙසයි.

වර්ජනය බිඳ දැමීමේ උත්සාහයක් ලෙස වික්‍රමසිංහ, අඟහරුවාදා, අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි—ඒ වන විටත් විදුලිය, ඛනිජ තෙල්, වරාය, සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල ක්‍රියාමාර්ග තහනම් කර තිබුනි—දුම්රිය හා තැපැල් සේවා දක්වා විස්තාරනය කලේය. තැපැල් සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කර ඇත.

ජාතික වැඩ වර්ජනයට පෙරාතුව, කැබිනට් ප්‍රකාශක සහ මාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මාධ්‍ය වෙත පැවසුවේ, කම්කරුවන්ගේ ක්‍රියාව 'ද්‍රෝහීකමක්' බවත්, ඔවුන් ජාමූඅ න් ඩොලර් බිලියන 2.9 ක 'විස්තෘත අරමුදල් පහසුකම්' (ඊඑෆ්එෆ්) ලබා ගැනීම සඳහා වන සාකච්ඡා 'කඩාකප්පල් කරන' බවත් ය. අත්‍යවශ්‍ය සේවා නියෝගය කඩ කරන ඕනෑම අයෙක්, “නීතියේ සම්පූර්න බලයට මුහුන දෙනු ඇත” යි ඔහු ප්‍රකාශ කලේය.

2023 මාර්තු 15 වන දින ජාතික වැඩවර්ජන ක්‍රියාමාර්ගය අතරතුර කොලඹ කොටුවේ ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් පිටත හමුදාව යොදවා තිබූ අයුරු. [ඡායාරූපය: ලෝසවෙඅ]

වර්ජනය බිඳ දැමීමට සූදානමින්, ආන්ඩුව දුම්රිය ස්ථානවල සහ කොලඹ වරායේ සන්නද්ධ සොල්දාදුවන් යොදවා තිබූ අතර, කම්කරුවෝ මෙම අංශවල කාර්මික ක්‍රියාමාර්ගයන්හි නියැලුනහ. වැඩවර්ජනයේ නිරත වරාය සේවකයින් වරාය පරිශ්‍රයෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී සෙබලුන් විසින් ඔවුන් අවහිර කරනු ලැබූ බැවින්, එහිදී නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.

ඊයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගය, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් තුල පවතින අධිෂ්ඨානය බලගතු ලෙස පෙන්නුම් කලේය. ක්‍රියාමාර්ගය කැඳවූ වෘත්තීය සමිතිවල—ප්‍රධාන වශයෙන් වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (වෘසසම), සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය (සෞවෘස) සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු දුසිම් ගනනක සංගම් එකතුවක් සහ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන (වෘසබසං)—අරමුන වූයේ මෙය නොවේ.

ජාමූඅ වැඩපිලිවෙලට කැපවී සිටින සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ සමග මෙම වැඩෙන මහජන ව්‍යාපාරය බැඳ තබා ගැනීමට වෘත්තීය සමිති මංමුලා සහගත ලෙස උපාමාරු යොදති.

මෙම න්‍යාය පත්‍රයට අනුකූලව, සෞඛ්‍ය, විදුලිබල හා ටෙලිකොම් සේවක සංගම් සියලු ක්‍රියාමාර්ග ලෙඩ-නිවාඩු ව්‍යාපාරයකට සීමා කලේය. කොලඹ වරායේ සේවකයින්ට ඔවුන්ගේ වෘත්තීය සමිති පැවසුවේ සේවයට වාර්තා කර, වැඩ නොකර සිටින ලෙසයි. බොහෝ අවස්ථාවන්හිදී, කම්කරුවන් නිවසේ රැඳී සිටීමට යොමු කරන ලද අතර මොනයම් හෝ විරෝධතාවක් සංවිධානය කිරීම අධෛර්යමත් කරන ලදී.

ඛනිජ තෙල් වෘත්තීය සමිති ජාතික වැඩ වර්ජනයට සහභාගි වීම ප්‍රතික්ෂේප කලේය. තම සංගමය වර්ජනයට සම්බන්ධ නොවන්නේ මන්දැයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය විමසූ විට ජවිපෙ විසින් පාලනය කරනු ලබන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ නායක අශෝක රන්වල ප්‍රකාශ කලේ, අනෙකුත් වෘත්තීය සමිති ආන්ඩුව සමග සාකච්ඡාවල යෙදී සිටින බවත් වැඩ වර්ජන සිදු නොවන බවත් ය.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති රැසක කම්කරුවන් දහස් ගනනක් ඊයේ ජාතික ක්‍රියාමාර්ගයට සම්බන්ධ වූහ. රන්වලගේ ආස්ථානය ගලා එන්නේ, ජවිපෙ ධනපති ගැති දේශපාලනයෙන් සහ ජාමූඅ ඉල්ලීම් සඳහා එහි සහයෝගයෙනි.

ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙකු සහ ජවිපෙ නායකත්වය දෙන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ද වන කේ. ඩී. ලාල් කාන්ත, සඳුදා පැවති වෘත්තීය සමිති සහ වෘතිකයින්ගේ සංගම් රැස්වීමකදී කියා සිටියේ, තම වෘත්තීය සමිති පෙරමුන, මාර්තු 15 න් ඔබ්බට යන “අඛන්ඩ වැඩ වර්ජනයක සැලසුම්වලට එකඟ නොවන” බවයි.

ආන්ඩුව මෙන් ම වෘත්තීය සමිති ද, නැගී එන කම්කරු පන්තියේ විරුද්ධත්වයට බිය වන අතර, මෙම ව්‍යාපාරය මැඩපැවැත්වීම සඳහා ඔවුන්ට හැකි උපරිමය කරමින් සිටිති.

සෞවෘස සභාපති රවී කුමුදේශ් පසුගිය එක්දින ජාතික වැඩවර්ජනයෙන් දිනකට පසු මාර්තු 2 දා මෙය විවෘතව පිලිගත්තේය. “ඒකාබද්ධ අරගලයකට සහභාගි වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියොත් සියලු දෙනාම පාරට ඒවි. අපි මිනිසුන්ව මැඩපවත්වමින් ඔවුන්ට කියා සිටියේ අපට මෙවැනි වැඩ වර්ජන කැඳවිය නොහැකි බවයි,” ඔහු ප්‍රකාශ කලේය.

කෝවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් තීව්‍ර වූ දැවැන්ත මූල්‍ය ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින වික්‍රමසිංහ ආන්ඩුව, කම්කරුවන් හා ගම්බද දුගීන් මත එහි සම්පූර්න බර පැටවීමට අධිෂ්ඨාන කරගෙන සිටී. ආන්ඩුවට වැඩි වැඩියෙන් පීඩනය යෙදීමෙන් එහි සමාජ ප්‍රහාර ආපසු හැරවීමට බල කෙරෙනු ඇතැයි වෘත්තීය සමිති අවධාරනය කරන අතරේ, ජාමූඅ වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කල යුතු බව වික්‍රමසිංහ යලි යලිත් අවධාරනය කර ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල සාමාජිකයින් බදාදා වැඩවර්ජනයට මැදිහත් වූ අතර, “සෑම සේවා ස්ථානයකම ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු! ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව එක්සත් අරගලයක් සඳහා සටන් කරමු!' යන මැයෙන් වූ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශයේ පිටපත් බෙදාහරින ලදී.

“අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය වෘත්තීය සමිති රාමුවේ යකඩ සැට්ටයට සිර කල නොහැකි” බව එම ප්‍රකාශය අවධාරනය කලේය. එය මෙසේ අනතුරු ඇඟවීය, “අපගේ අරගල, ධනේශ්වර ක්‍රමයට දහසක් හුයපටවලින් බැඳී ඇති වෘත්තීය සමිතිවල පාලනය යටතේ පවතී නම්, අපි නිසැකවම පාවා දෙනු ඇත.

“අපගේ අයිතීන් සඳහා වන අරගලය අප අතට ගත යුතුය. මෙය කල හැක්කේ වෘත්තීය සමිති සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සෑම සේවා ස්ථානයකම, කම්හලකම, වතුකරයේ සහ අපගේ අසල්වැසි ප්‍රදේශවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනි.'

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා ද, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකට කරන අරගලයක් සඳහා අත්තිවාරම් දැමීමට කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා ද වන සසප කැඳවුම, එම ප්‍රකාශය පැහැදිලි කලේය.

ඊයේ සසප සාමාජිකයන් සමග කතා කල වර්ජනයේ නියුතු කම්කරුවෝ, ආන්ඩුව කෙරෙහි සිය කෝපය පල කල අතර වෘත්තීය සමිති හෙලා දුටහ.

කොලඹට කිලෝමීටර් 22 ක් දුරින්, හෝමාගම ප්‍රදේශයේ පාසල් කිහිපයක වර්ජනයේ නියුතු ගුරුවරුන් 200 ක පමන පිරිසක් පෙරවරු 10 සිට පැයක කාලයක් හෝමාගම නගරයේ විරෝධතාවයක නිරත වූහ. ඔවුහු, 'දැරිය නොහැකි ජීවන වියදම හෙලනු', 'අසාධාරන බදු ප්‍රතිපත්තිය ආපසු හරවනු' සහ 'ගුරු-විදුහල්පති වැටුප් විෂමතා විසඳනු' ඇතුලු විවිධ සටන් පාඨ සහිත පුවරු අතදරා සිටියහ.

ප්‍රමානවත් ආහාර, නිසි ඇඳුම් පැලඳුම් සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකම නිසා ඇගේ පවුලේ අයට සහ ඇගේ සිසුන් කිහිප දෙනෙකුට මුහුන දීමට සිදුව ඇති දරාගත නොහැකි ජීවන තත්වයන් එක් ගුරුවරියක් විස්තර කලාය.

“මට තියෙන ප්‍රශ්නය නම්, මෙම [වර්ජන] ක්‍රියාමාර්ග කිසිදු ස්ථීරභාවයකින් සිදු නොවීමයි. මේ විරෝධතාව දිහා බලන්න, අපි ඊලඟට කරන්නේ මොකක්ද කියන එක ගැන කිසිදු අදහසක් නැතිව, වෘත්තීය සමිති ටික වෙලාවකින් මේකත් නවත්තලා දායි,” ඇය පැවසුවාය.

ඊයේ පැවති කාර්මික ක්‍රියාමාර්ගයට පෙර පැවති ගුරු-සිසුය-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ රැස්වීමකට සහභාගී වූ හෝමාගම ප්‍රදේශයේ තවත් ප්‍රධාන පාසලක ගුරුවරයෙකු වන රුචිර මාධව මෙසේ පැවසීය: “මම මෙම වර්ජනයට සම්පුර්නයෙන්ම සහය දක්වනවා, එය ධනේශ්වර ක්‍රමයට එරෙහි ඒකාබද්ධ අරගලයක කොටසක් විය යුතුයි. නමුත් අපි කම්කරුවන් වශයෙන්, අනිවාර්යයෙන්ම වෘත්තීය සමිතිවලින් කැඩී ස්වාධීන අරගලයක් කල යුතුයි.

රුචිර මාධව [ඡායාරූපය: ලෝසවෙඅ]

“ශ්‍රී ලංකාවේ කම්කරුවන් ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට අභිමුඛ වෙලයි ඉන්නෙ. ඒ හින්දා, වෘත්තීය සමිති කියන විදිහට ධනේශ්වර ක්‍රමය තුල මෙම තත්වය වෙනස් කරන්න අපට කොහෙත් ම බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති පරාජය කල හැක්කේ ධනේශ්වර ක්‍රමය බිඳ දැමීම සඳහා ජාත්‍යන්තර පරිමානයේ අරගලයක් විදිහට විතරයි,” ඔහු පැවසීය.

කොලඹ සිට කිලෝමීටර් 193 ක් දුරින් පිහිටි බන්ඩාරවෙලදී තැපැල් සේවකයෙක්, වෘත්තීය සමිති විසින් අරගලය පීලි පැන්නීමට උත්සාහ කරන ආකාරය පැහැදිලි කලේය.

“උදේ 10 ට නගර මධ්‍යයේ උද්ඝෝෂන කරනවා කියලා මට ආරංචි වුනා. අපි ඒ වෙලාවේ එතනට ගියත් ඒක තිබුනේ නැහැ. තියෙන්නේ 1 ට බවට තවත් ආරංචියක් ආවා. ඉතින් මම ආයෙත් ගියා. එහි සිටියේ කිහිප දෙනෙක් විතරයි, කිසිදු වෘත්තීය සමිති නායකයෙකු මම දැක්කේ නැහැ. ඇත්තටම අපිව අධෛර්යමත් කරලා මේ සටන දියකර හැරීමට වෘත්තීය සමිති නායකයෝ කටයුතු කරනවා. සසප කියන දේ ඇත්ත. අපේම සංවිධාන ලෙස අපේ සේවා ස්ථානවල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු බව මේ සටනින් වඩාත් පැහැදිලි වෙනවා.”

මතුගම පැලවත්ත ප්‍රදේශයේ ලංකා බැංකුවේ සේවකයෙකු පැහැදිලි කලේ ඊයේ වැඩවර්ජනයට සහභාගී වූ සේවකයින් බහුතරයක් එසේ කලේ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ තර්ජනාත්මක විනය ක්‍රියාමාර්ග නොතකා බව ය.

“අද අර්බුදය, සමාජයේ සියලුම පීඩිත කොටස් ග්‍රහනය කර ගෙනයි තියෙන්නෙ, ඒ හින්දා සෑම කෙනෙකුටම ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍යයි. ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට සෑම අවස්ථාවක්ම තියෙනවා. ඔබ පැහැදිලි කරපු විදිහට, අපට මේ ආකාරයේ ඒකාබද්ධ අරගලයක් කල හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් විතරයි,” ඔහු පැවසීය.

2023 මාර්තු 15 දින වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව මොරටුව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විරෝධතාවයේ යෙදෙති. [ඡායාරූපය: ලෝසවෙඅ]

මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයට විරුද්ධ වීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති විවේචනය කලේය: “අපි මෙම වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ අරගලයක් කරන්නේ කොහොමද? බදු ගෙවීමට, විද්වතුන්ගේ සංගම් දැනටමත් එකඟ වෙලා. ඔවුන්ගේ එකම ඉල්ලීම බදු අඩු කිරීමයි. අනධ්‍යන සේවකයින්ට බදු ගෙවීමට ප්‍රමානවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. නව බදු ප්‍රතිපත්තිය ඉවත් කර, ජීවන වියදමට ගැලපෙන වැටුපක් ලබා දෙන ලෙස අප සියලු දෙනා ඉල්ලා සිටිය යුතුයි.”

ඔහු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නායක සමන් රත්නප්‍රිය ගැන සඳහන් කරමින්, 'සංගම් කම්කරුවන් පාවා දෙන ආකාරය පිලිබඳ හොඳම උදාහරනය' ඔහු බව පැවසීය. රත්නප්‍රිය ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල ආරක්ෂා කරයි.

යාපනයේ වර්ජනයේ නිරත ගුරුවරුන් ප්‍රධාන බස් නැවතුම්පොල අසල විරෝධතාවයේ නිරත වූ අතර ඊට යාපනය විශ්වවිද්‍යාලයේ සේවකයින් ද එක්ව සිටියහ. ඔවුහු, 'සියලු බදු අවලංගු කරනු', 'පාසල්වල විදුලි ගාස්තු දෙමාපියන් මත පටවන්න එපා', 'උසස්වීම් ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙනු', 'විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට දීමනා ලබාදෙනු' වැනි සටන් පාඨ සහිත අතින් ලියූ පුවරු අතැතිව සිටියහ.

2023 මාර්තු 15 වන දින, යාපනයේ දී, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව උද්ඝෝෂනය කරන ගුරුවරුන්. [ඡායාරූපය: ලෝසවෙඅ]

එක් ගුරුවරයෙක් මෙසේ පැවසුවේය: “පෙර නොවූ විරූ ලෙස සෑම දෙයකම මිල ඉහල යාම නිසා, රජයේ සේවකයෙකු ලෙස මට මගේ පවුල නඩත්තු කරන්න බැහැ. අපට වැටුප් වැඩිවීමක් අවශ්‍ය වන්නේ රජයේ සේවකයන්ට තම ආදායම් දියුනු කර ගැනීමට වෙනත් මාර්ගයක් නැති නිසයි. ඇත්ත වශයෙන්ම, මට මගේ බිරිඳගේ තාලි [විවාහක හින්දු කාන්තාවන් විසින් පලඳින වටිනා සම්ප්‍රදායික ආභරනයකි] උකස් කිරීමට සිදු වී ඇති අතර, අද, මම මගේ මුද්ද පවා උකස් කිරීමටයි යන්නේ.'

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසින්, බොහෝ ගුරුවරුන්ට විදේශ රැකියා සඳහා යාමට බල කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. “මෙය ගුරු හිඟන් ඇති කරන අතර බොහෝ පාසල්වල උසස් පෙල සිසුන්ට විද්‍යා විෂයයන් සඳහාත්, ඉංග්‍රීසි භාෂාව සඳහාත් ගුරු හිඟයක් පවතිනවා,” යැයි ඔහු පැවසීය.

Loading