ශ්‍රී ලංකා ආන්ඩුව ජාමූඅ කප්පාදු පනවද්දී ආර්ථික විනාශය වඩාත් නරක අතට හැරේ

[මෙය Economic devastation worsens as Sri Lankan government imposes IMF austerity යන මැයෙන් 2023 ‌මාර්තු 20 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු න්‍යාය පත‍්‍රය අඛන්ඩව පැටවීමත් සමග ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය හා වෙහෙසී වැඩකරන ජනතාව මුහුන දෙන විනාශකාරී තත්වය වඩ වඩාත් නරක අතට හැරෙමින් තිබේ. මෙම පියවර ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට රටේ පැහැර හරින ලද නය ගෙවීම වෙනුවෙන් ඩොලර් බිලියන 2.9 ක ජාමූඅ ඇපදීමේ නයක් ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසිය වේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වමේ, 2023පෙබරවාරි 8 බදාදා, කප්පාදු ප්‍රතිපත්ති දේශනය පැවැත්වීමට පාර්ලිමේන්තුවට පැමිනෙමින්. මැද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන. [AP Photo/Eranga ] [AP Photo/Eranga Jayawardena]

මාර්තු 7 දා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආන්ඩුව ජාමූඅ පූර්ව කොන්දේසි සියල්ල සම්පූර්න කර ඇති බවටත්, මාර්තු තුන්වන හෝ හතරවන සතියේදී නය සඳහා විධායක මන්ඩලයේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවටත් පුරසාරම් දෙඩුවේය. ශ්‍රී ලංකාව ජාමූඅ වැඩසටහන් ක්‍රියාත්මක කල පෙර අවස්ථා 16 දී මෙන් නොව, මෙවර ජාමූඅහි නියෝග මග හැරීමට ආන්ඩුවට නොහැකි බවට ඔහු අනතුරු ඇඟවීය. ආන්ඩුව සිය සමාජ ප‍්‍රහාරයට එරෙහි සියලූ මහජන විරෝධතා තලා දැමීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවට, මෙය කම්කරු පන්තියට පැහැදිලි තර්ජනයකි.

ජාමූඅ ඇපදීමේ නය වසර හතරක කාලයක් තුල ලබා ගැනීමට ආන්ඩුව අපේක්ෂා කරයි. ජාමූඅ නය අනුමත කිරීමෙන් පසු මූල්‍ය ආයතන සහ ද්විපාර්ශ්වික නය දෙන්නන්ගෙන් ඩොලර් බිලියන 7 ක් ලබා ගැනීමට ආන්ඩුව අපේක්ෂා කරන බව රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නිවේදනය කලේය. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ස්වෛරී නය පැහැර හැරීම හේතුවෙන්, ආන්ඩුවට ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ වානිජ නය සඳහා එකඟතාවන් ලබාගැනීමේ අවකාශ අහිමි විය.

ජාමූඅ කොන්දේසිවලට, මහ බැංකුවේ 'ස්වාධීනත්වය', රාජ්‍ය ව්‍යවසාය 'ප්‍රතිසංස්කරන', රාජ්‍ය ආදායම වැඩි කිරීම සහ රාජ්‍ය වියදම් 'පාලනය කිරීම' ඇතුලත් බව වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැවසීය.

මහ බැංකුවේ 'ස්වාධීනත්වය' පිලිබඳ ඔහුගේ සඳහනෙන් අදහස් වන්නේ, බැංකුව ජාමූඅහි සෘජු නියෝජිතායතනයක් ලෙස කටයුතු කල යුතු අතර කොලඹ ආන්ඩුවෙන් ස්වාධීනව පොලී අනුපාත ඉහල දැමීම දිගටම කරගෙන යා යුතු බවයි.

මාර්තු 12 දා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු ඇඟවූයේ ජාමූඅ කප්පාදුව දීර්ඝ කෙරෙනු ඇති බවයි. 'ශ්‍රී ලංකාව දැන් පෙර පැවති තිරසාර නොවන ආර්ථික ආකෘතියෙන් බිඳී යමින් නව ආකෘතියකට සංක්‍රමනය වෙමින් පවතී,' ඔහු පැවසීය: 'කෙසේ වෙතත්, මෙය කතාවේ අවසානය නොවේ. බොහෝ අය සිතන්නේ දේවල් සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බවයි. නැහැ, මේ අලුත් ගමනක ආරම්භයයි.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව, විදුලිය, ඉන්ධන සහ පිහුම් ගෑස් මිල ඉහල දමමින් සහ පොහොර ඇතුලු සහනාධාර කපා හරින අතරේ ආන්ඩුව වැඩකරන ජනතාව මත අධික ලෙස බදු වැඩිකර ඇත. වැඩ කරන ජනතාව දුගී භාවයට හෙලන අතරම, ආන්ඩුව ඉතා සොච්චම් “සමාජ ආරක්ෂන ජාලයක්” පිරිනැමීමට නියමිත නමුත් ඒ අන්ත දුප්පතුන් සඳහා පමනි.

මහ බැංකුව ඉහල පොලී අනුපාත පවත්වා ගෙන යාම සහ වෙලෙඳපොල විනිමය අනුපාත පිලිබිඹු කිරීමට රුපියලට ඉඩ සැලසීම නිසා උද්ධමනය තවමත් සියයට 50 ඉක්මවයි. මෙම පියවරයන් මගින් ආර්ථිකයේ බරපතල හැකිලීමකට සහ රැකියා හා කම්කරුවන්ගේ වැටුප්වල සැබෑ වටිනාකම විනාශ කිරීමකට මග පෑදී ඇත. විදේශ නය ගෙවීම සඳහා විදේශ මුදල් සංචිත යොදා ගනිමින්, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සීමා කර ඇත.

මෙම පියවර කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ජීවන කොන්දේසි විනාශභාග් කර ඇත.

එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය විසින් ඩුබායි හි මෑතකදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රනයක් වාර්තා කලේ, 2022 වසරේ ආහාර නිෂ්පාදනය පහත වැටීම සහ උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පවුල්වලින් සියයට 59 කට අවශ්‍ය ආහාර මට්ටම සපුරා ගැනීමට නොහැකි වූ බවයි. සියයට 28 ක් හෙවත් මිලියන 6.3 ක් පමන ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුන දුන්හ.

අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරන නොමැති නිසා රටේ සෞඛ්‍ය අංශය “සම්පූර්න බිඳවැටීමක්” කරා ගමන් කරන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය මාසයේ අනතුරු ඇඟවීය.

ග්‍රාමීය ගොවීන් ව්‍යසනයට මුහුන දී සිටින්නේ, පොහොර සහ පලිබෝධනාශක ඇතුලු සියලුම යෙදවුම්වල අධික පිරිවැය සහ—මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ආන්ඩුව විසින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා නියම කරන—සොච්චම් මිල ගනන් නිසා ය.

ස්වයං-රැකියා කම්කරුවන් ඇතුලු බොහෝ කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර, ඉහල යන පොලී අනුපාත, යෙදවුම් හිඟය සහ අහස උසට නැඟ ඇති වියදම් මගින් විනාශ කර දමා ඇත.

මේ මස මුලදී, ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාර සන්ධානය, පොලී අනුපාත අඩු නොකලහොත් රටේ “පාරිභෝගික වෙලෙඳපොල අප්‍රේල් වන විට සියයට 60 කින් හැකිලෙනු ඇතැයි” අනතුරු ඇඟවීය. මාර්තු මාසයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව, පොලී අනුපාත පදනම් ලකුනු 100 කින් ඉහල නැංවීය.

එක් අධ්‍යයනයකට අනුව, 2015 පැවති පරිභෝජන මට්ටම පවත්වා ගැනීම සඳහා වැඩ කරන ජනතාවගේ ආදායම සියයට 160 කින් වැඩි විය යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වයන් 2015 මට්ටමට සාපේක්ෂව සියයට 160 කින් හැකිලී ඇත.

මෑත සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ හැකිලීම සියයට 3 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර පසුගිය වසරේ සමස්ත ආර්ථිකය සියයට 8 කට ආසන්න ප්‍රමානයකින් හැකිලී ඇත.

එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවඩ් සහ අනෙකුත් ප්‍රධාන මහ බැංකු විසින් පොලී අනුපාත ඉහල දැමීම්, එක්සත් ජනපද ඩොලරයේ ඉහල යන අගය, අධික ආනයනික බදු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත පැනවෙන අනෙකුත් වක්‍ර බදු ශ්‍රී ලංකාවේ ආර්ථික හැකිලීමට දායක වී ඇති අතර එහි ඉහල යන උද්ධමන අනුපාත අඛන්ඩව පවත්වා ගෙන යාම සහතික කර ඇත.

මෙම හැකිලීම නිසා විදේශ මුදල් සඳහා ඇති ඉල්ලුම පහත වැටීමක් සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ මෑත කාලීන වටිනාකමේ ආන්තික වැඩි වීමක් දක්නට ලැබේ. මෙය 'ආර්ථික ප්‍රකෘතියේ' ඇඟවීමක් ලෙස ආන්ඩුව විසින් වහා ඩැහැගන්නා ලද අතර එහි ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල 'නිවැරදි මාවත' විය.

කෙසේ වෙතත් රුපියලේ අගය සුලු වශයෙන් ඉහල යාම තාවකාලික බව ෆිච් ශ්‍රේනිගත කිරීම් අවධාරනය කරයි. 'ගෝලීය මූල්‍ය කොන්දේසි දැඩි කිරීම මගින් ශ්‍රී ලංකා රුපියල ද පීඩනයට ලක් විය හැකි' බව ෆිච් ශ්‍රේනිගත කිරීම් පැවසීය. වසර අවසන් වන විට මුදලේ අගය සියයට 20 කින් පහත වැටෙනු ඇතැයි එය පුරෝකථනය කර ඇත.

කොලඹ ආන්ඩුව කුරිරු සමාජ පියවරයන් පවා සැලසුම් කරයි. රාජ්‍ය අංශයේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් කපා හැරීම, රාජ්‍ය ව්‍යවසාය වානිජකරනය සහ පෞද්ගලීකරනය ඊට ඇතුලත් ය. ආන්ඩුව දැනටමත් රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් අත්හිටුවා, විශ්‍රාම යන වයස අඩු කර, ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රම හඳුන්වා දී, රාජ්‍ය අංශයේ සේවකයන්ට විදේශයන්හි හෝ පෞද්ගලික අංශයේ සේවය කිරීමට වැටුප් රහිත දීර්ඝ නිවාඩු ලබා ගැනීමට අවසර දී ඇත.

කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුනවර්ධන ට අනුව, 2023 පලමු මාස හය තුල ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික නය දෙන්නන් වෙත, සිය විදේශ නයවලින් ඩොලර් බිලියන 2.6 ක් ගෙවීමට සිදුවනු ඇත.

2029 වන තෙක් ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 6 සිට 7 දක්වා විදේශ නය නය ගෙවීමට සිදුවන බව වික්‍රමසිංහ පවසා ඇත. මින් පැහැදිලි වන්නේ වැඩකරන ජනතාව මත දරුනු සමාජ ප්‍රහාරයන් පටවන්නේ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ සෘජු ඒජන්තයෙකු ලෙස ක්‍රියා කරන පාලන තන්ත‍්‍රයක් බවයි.

සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) යන ප්‍රධාන විරුද්ධ පක්ෂ, ආන්ඩුව වාචාල ලෙස විවේචනය කරයි. ඔවුන්ගේ හෙලාදැකීම් ව්‍යාජ වන අතර නැගී එන මහජන විරෝධය සූරාකෑම හා දේශපාලනිකව පාලනය කිරීම අරමුනු කර ඇත.

2023 මාර්තු 15 වැනි දින, හෝමාගමදී, ගුරුවරුන් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව උද්ඝෝෂනය කරමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

පසුගිය වසරේ අගභාගයේ පටන් කම්කරු පන්තිය ආන්ඩුවට එරෙහි අරගලයට පැමින ඇත. මාර්තු 15 දා, ආන්ඩුවේ කප්පාදුවට එරෙහිව සහ වැඩ වර්ජන-විරෝධී අත්‍යාවශ්‍ය සේවා නියෝග නොතකමින්—රට පුරා රාජ්‍ය හා පුද්ගලික අංශයේ—කම්කරුවන් මිලියන භාගයක් පමන වැඩ වර්ජන හා විරෝධතාවලට සම්බන්ධ වූහ. මෙම වැඩෙන ව්‍යාපාරය ප‍්‍රන්සය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය තුල දැක ගත හැකි පරිදි ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගී එන අරගලයක කොටසකි.

වර්ජන හා විරෝධතා කැඳවීමට වෘත්තීය සමිතිවලට බලකෙරී ඇති මුත්, මේවා එක්දින සිදුවීම්වලට සීමා වී ඇත. විරුද්ධ පාර්ලි‌මේන්තු පක්ෂ මෙන් ම, ජාමූඅ අනපනත් සමඟ ඔවුන්ට මූලික වෙනස්කම් නොමැති අතර විරුද්ධ පාර්ලි‌මේන්තු පක්ෂවල මැතිවරන න්‍යාය පත්‍රයට කම්කරුවන් ගැට ගැසා තබාගැනීමට උත්සාහ කරති.

ආන්ඩුව, විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති යන මේ සියල්ලෝම කම්කරු පන්තියේ කෝපය නැඟී එනු ඇතැයි බිය වන්නේ පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හරින ලද ආකාරයේ ව්‍යාපාරයකට මග පෑදිය හැකි නිසා ය. පසුගිය වසරේ රාජපක්ෂට එරෙහි මහජන නැගිටීමෙන් පාඩම් උකහාගත් වික‍්‍රමසිංහ, විරෝධතා සහ වැඩ වර්ජන වලට එරෙහිව රාජ්‍ය යන්ත‍්‍රය—පොලීසිය හා මිලිටරිය සහ අත්‍යාවශ්‍ය සේවා නියෝග ඇතුලු කුරිරු නීති—භාවිතා කරයි.

ශ්‍රී ලංකා හමුදාවේ සෙබල කන්ඩායමක් 2023 පෙබරවාරි 8 වන දින කොලඹ කොටුව විරෝධතා අසල බලමුලු ගැන්වා තිබූ අයුරු [Photo: Facebook Malainadu ]

මෙම ධනේශ්වර ප්‍රහාරයට එරෙහි වීමට කම්කරු පන්තියට තමන්ගේම මූලෝපායක් අවශ්‍ය වේ. මේ සඳහා කම්කරුවන් තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය තම අතට ගත යුතුය. මෙය කල හැක්කේ සෑම වැඩපලකම, කම්හලකම, වතුකරයේ, අසල්වැසි ප්‍රදේශවල සහ ගම්බද දුගීන් අතර, සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, ඔවුන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමෙන් පමනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) රට පුරා කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවුම් කර සිටී. මෙම සම්මේලනයේ අරමුන වන්නේ සමාජවාදී පිලිවෙත්වලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙන යාමයි. මෙය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයක කොටසක් වනු ඇති අතර, එයට කලාපයේ සහ ගෝලීය වශයෙන් ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ එකමුතුව අවශ්‍ය වේ. මෙම ඉදිරිදර්ශනය සඳහා අරගලය භාර ගන්නා ලෙස අපි කම්කරුවන් හා තරුනයන් දිරිමත් කරමු.

Loading