ජනාධිපති වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පලාත් පාලන මැතිවරනය නවතා දමයි

[මෙය Sri Lankan president anti-democratically shuts down local government elections යන මැයෙන් 2023 ‌මාර්තු 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඡන්දයකින් තේරී පත් නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, මාර්තු 19 ට පෙර පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනය අවහිර කර ඇත.

රටේ පවතින පලාත් පාලන ආයතන 340 හි—මහ නගර සභා 29 ක, නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275 ක—නීතිමය අධිකාරිය දැන් කල් ඉකුත් වී ඇති අතර, තෝරා පත් කර නොගත් විශේෂ කොමසාරිස්වරුන්ගේ අධීක්ෂනය යටතේ දැන් මෙම ආයතන ක්‍රියාත්මකවේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු විසින් පාලනය කරනු ලබන මෙම විශේෂ කොමසාරිස්වරුන් පසුව යම් දිනක පලාත් පාලන මැතිවරනය පවත්වන තෙක් සෘජුවම ආන්ඩුව යටතේ වැඩ කරයි.

2023 පෙබරවාරි 4 සෙනසුරාදා කොලඹ දී පැවති 75වැනි නිදහස් දින සැමරුමේ දී, ගුවන් හමුදාපි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන (පිටුපස වමේ) හා පොලිස්පති චන්දන වික්‍රමරත්න (දකුනේ) සමග පෙනී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන, පසුපෙල වමේ, සහ පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්න සමඟ, දකුනින්, 2023 පෙබරවාරි 4 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹදී 75 වැනි නිදහස් දින උත්සවය නරඹමින්. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන]

නිර්දය ලෙසත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසත් මෙම මූලික ඡන්ද අයිතිය ප්‍රතික්ෂේප කිරීම කම්කරු පන්තියට තියුනු අනතුරු ඇඟවීමක් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන්ට එරෙහි සියලු විරුද්ධත්වය මැඩලීමේ වික්‍රමසිංහ තන්ත‍්‍රයේ අධිෂ්ඨානය පිලිබඳ තවත් සංඥාවකි.

වසර හතරක් පාසා පැවැත්වෙන පලාත් පාලන මැතිවරනය 2022 මාර්තු 19 දින පැවැත්වීමට නියමිතව තිබියදී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එය මාස 12 කට කල් දමන ලදී.

කම්කරුවන් හා දුප්පතුන් තුල සිය පාලනය කෙරෙහි නැගෙන කෝපය මධ්‍යයේ, රාජපක්ෂගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (එස්එල්පීපී) පරාජයට බියෙන් මැතිවරනය කල් දැමීය. අප්‍රේල් මාසයේ දී, ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් එම මහජන විරෝධය, දැවැන්ත විරෝධතා තුලින් පුපුරා ගියේය. ජුලි මාසයේ පැවති විරෝධතා සහ වැඩවර්ජන හේතුවෙන් රාජපක්ෂට රටින් පලා යාමට සහ ඉල්ලා අස්වීමට සිදු විය.

මාර්තු 9 වැනිදා පලාත් පාලන මැතිවරනය පවත්වන බව මැතිවරන කොමිසම (මැකො) ප්‍රකාශ කලද, මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති වික්‍රමසිංහ සියලු අරමුදල් අවහිර කලේය. කැබිනට් අනුමැතිය ඇතිව ඔහු භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට උපදෙස් දුන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමනක් මුදල් නිකුත් කරන ලෙස ය, ඊට පලාත් පාලන මැතිවරනය ඇතුලත් නොවීය. මෙම අරමුදල් නොමැතිව, ඡන්ද පත්‍රිකා මුද්‍රනය කිරීම, පොලිසියට සහ අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා ගෙවීමට මැකොට නොහැකි විය.

වික්‍රමසිංහගේ නියෝගවලට පටහැනිව, නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කර දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ජාතික අයවැයෙන් පලාත් පාලන මැතිවරනය සඳහා රුපියල් බිලියන 10 ක් ඒවනවිටත් වෙන් කර තිබුනි. ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් “ආර්ථික ප්‍රකෘතිය” කරා පැමිනීම තම ප්‍රමුඛතාවය බව ප්‍රකාශ කරමින්, මුදල් නිදහස් නොකිරීමට ගත් තීරනය සාධාරනීකරනය කිරීමට වික්‍රමසිංහ උත්සාහ කලේය.

ඔහුගේ පූර්වගාමියා මෙන්, වික්‍රමසිංහ ද පලාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආධිපත්‍යය දරන ආන්ඩුවට විනාශකාරී පරාජයක් අත්කර දෙනු ඇතැයි බිය විය. වඩා වැදගත් දෙය නම්, මෙය ආන්ඩුවේ දේශපාලන අස්ථාවරත්වය ඉහල නංවා, ජාමූඅ සමාජ ප‍්‍රහාර පැනවීම පීලිපැන්නීමට තුඩු දෙනු ඇති බවට වික‍්‍රමසිංහ සහ පාලක ප‍්‍රභූවේ ප‍්‍රධාන කන්ඩායමක් බිය වීමයි.

මාර්තු 3 වැනි දින, විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරනය, භාන්ඩාගාර ලේකම්වරයාට සහ නීතිපතිවරයාට පලාත් පාලන මැතිවරනය සඳහා වෙන් කල මුදල් අත්හිටුවීම වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කලේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු පක්ෂ සහ විවිධ මානව හිමිකම් සංවිධාන වහාම ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක් ලෙස පැසසූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කලේය: “ශ්‍රේෂ්ඨාධිකරනයේ ඓතිහාසික නියෝගය... ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බෙහෙවින් ජීවමාන බවත්, අපගේ උතුම් අධිකරනයේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු වන බවත් පෙන්නුම් කරයි.” දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කලේ: “නීත්‍යානුකූලව නියම කරන ලද [මාර්තු] 19 ට පෙර දිනයක් මැකො විසින් නියම කරනු ඇතැයි බලාපොරොත්තු වෙන” බවයි.

ශ්‍රේෂ්ඨාධිකරනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ මෙවලමක් බවට කම්කරු පන්තියට මිත්‍යාවක් නොතිබිය යුතුය. ආන්ඩුව පලාත් පාලන මැතිවරන අරමුදල් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සමග එහි වර්තමාන නොඑකඟතා නොතකා, ධනේශ්වර රාජ්‍යයේ තවත් අන්ඩක් වන ශ්‍රේෂ්ඨාධිකරනය ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ අවශ්‍යතා ආරක්ෂා කරයි.

ශ්‍රේෂ්ඨාධිකරනයේ අතුරු නියෝගයෙන් පසුව, අරමුදල් ලබා ගත හැකි යැයි අපේක්ෂා කල මැකො, නව මැතිවරන දිනය ලෙස අප්‍රේල් 25 නියම කලේය. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය කිසිදු මුදලක් නිදහස් කර නොමැති අතර භාන්ඩාගාර ලේකම්වරයා ප්‍රශ්නය සාකච්ඡා කිරීමට මැකො හමුවීම ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරනයේ අතුරු නියෝගයක් අනුගමනය නොකිරීමට සිරිවර්ධන ගත් තීරනය, වික්‍රමසිංහගේ සහ ඔහුගේ ආන්ඩුවේ නියෝගය යටතේ පමනක් ගත හැක්කකි.

ආන්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු අධිකරනයට එල්ල කරන විවිධ චෝදනා ශ්‍රේෂ්ඨාධිකරනය බිය ගැන්වීමේ ගොරහැඩි ප්‍රයත්නයක් ලෙස පෙනී යයි. පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත ප්‍රකාශ කලේ ශ්‍රේෂ්ඨාධිකරනයේ අතුරු නියෝගය වරප්‍රසාද කඩ කිරීමක් බවත් මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීන්දුවක් දීමට එයට අයිතියක් නොමැති බවත් ය.

එය ම ප්‍රතිරාවය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂීහාන් සේමසිංහ මාර්තු 10 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ, ශ්‍රේෂ්ඨාධිකරනයේ අතුරු නියෝගය ඉදිරියට ගෙන යාම “බරපතල වරදක්” බවත්, එම කාරනය පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිලිබඳ කාරක සභාවට යොමු කර ඇති බවත් ය.

අඟහරුවාදා, සජබ සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කලේ, සිරිවර්ධන පලාත් පාලන මැතිවරන අරමුදල් ලබා නොදීමෙන් අධිකරනයට අපහාස කරන බවට චෝදනා කරමිනි. ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පලාත් පාලන මැතිවරනයට අදාල සියලු ප්‍රශ්න “අධිකරනයකදී විසඳා ගත යුතු” බව පුන පුනා ප්‍රකාශ කලේය.

ආන්ඩුව සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාර පිලිබඳ සජබ සහ ජවිපෙ සීමිත විවේචන ඉදිරිපත් කර ඇතත්, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය සමග ඔවුන්ට මූලික වෙනස්කම් නොමැත. රටපුරා නැගෙන පන්ති අරගලයේ රැල්ල පාලනය කිරීමට සහ මර්දනය කිරීමට නොහැකි වන තරමට ජනාධිපති වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් අපකීර්තියට පත්ව ඇතැයි ඔවුහු බිය වෙති.

සජබ සහ ජවිපෙ දැන් එකිනෙකා සමඟ තරඟ වදිමින්, ආන්ඩුව පලාත් පාලන මැතිවරනය නවතා දැමීම හෙලා දකී. ඒ ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන නිසා නොව, ආන්ඩුවට පලාත් පාලන මැතිවරන පරාජයක් ලැබීමෙන් මහ මැතිවරනයකට පාර කැපෙනු ඇතැයිද, එය ඔවුන්ට බලයට මග සලසනු ඇතැයිද ඔවුන් බලාපොරොත්තු වන නිසා ය.

උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද සහ සියයට 50 කට වඩා වැඩි අගයක පවතිමින් පිම්මේ ඉහල යන උද්ධමනය, විශ‍්‍රාම වැටුප් කප්පාදුව මෙන්ම රාජ්‍ය අංශය පුද්ගලීකරනය කිරීම කෙරෙහි විරුද්ධත්වය වැඩි වන තතු තුල, කම්කරු පන්තිය දැන් දිවයින පුරා අරගලයට පැමිනෙමින් සිටී. ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන් හෙලා දැකීමට, මිලියන පහකට අධික කම්කරුවෝ මාර්තු 8 දා සහ නැවත මාර්තු 15 දා වැඩවර්ජනය කල අතර විවිධ විරෝධතා පැවැත්වූහ.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ එක්සත් සමාජවාදී පක්ෂයේ පිටුබලය ඇතිව වෘත්තීය සමිති, මෙම අරගල සීමා කිරීමට සහ බෙදීමට යුහුසුලුව ක්‍රියා කරමින් සිටින අතර, මාවත වෙනස් කිරීමට වික්‍රමසිංහට බලපෑම් කල හැකිය යන මිත්‍යාව වපුරයි. කෙසේ වෙතත්, වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව—කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් තීව්‍ර කරන ලද පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බැවින්—ඔවුන්ගේ ප්‍රහාර වේගවත් කරනු ඇත.

මස්කෙලිය නගරයේ සසප උද්ඝෝෂකයෙකුට සවන් දෙන තරුනයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ධනේශ්වර අධිකරනයට ආයාචනා කිරීමෙන් හෝ වික‍්‍රමසිංහ තන්ත‍්‍රයට බලපෑම් කිරීමෙන් කම්කරු පන්තියට සිය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. වෘත්තීය සමිතිවල සහ ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ඇතිව සජබ සහ ජවිපෙ කම්කරු පන්තිය පාර්ලිමේන්තු හා ධනේශ්වර ක‍්‍රමයට ගැටගසන අතරේ වික‍්‍රමසිංහ ඒකාධිපති පාලන රූපයන් සූදානම් කරමින් සිටී. ආන්ඩුව, වර්ජන තහනම් කිරීම් වේගවත් කරමින්, කම්කරුවන්ගේ හා ශිෂ්‍ය විරෝධතාවලට එරෙහිව පොලීසිය හා මිලිටරිය බලමුලු ගැන්වීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කරමින් රාජපක්ෂ අනුගමනය කල ක්‍රමවේද ම භාවිතා කරමින් සිටී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැක්කේ, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වෙමින් තමා වටා ග්‍රාමීය දුප්පතුන් පෙලගස්වා ගෙන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනක් දියත් කිරීමෙන් පමනක් බවයි. කම්කරුවන් ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වැඩබිමකම හා වතුකරයේ සෑම වත්තකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු බව සසප පවසන්නේ එබැවිනි. මෙම කමිටු ග්‍රාමීය ජනතාව අතරද ගොඩනැගිය යුතුය.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙසත්, සමාජවාදී පිලිවෙත්වලට කැපවූ කම්කරුවන්ගේ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන අරගලයක් දියත් කිරීමේ පදනම ලෙසත්, මෙම ක්‍රියාකාරී කමිටු වලින් තෝරා පත් කරගත් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප සටන් කරයි.

අප්‍රේල් 3 වෙනිදා ප.ව. 3 ට කොලොන්නාවේදී, “ජනාධිපතිගේ පලාත් පාලන මැතිවරන මර්දනයට එරෙහිවනු! ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!” යන තේමාව යටතේ පැවැත්වෙන එලිමහන් මහජන රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්, තරුනයින් සහ අනෙකුත් සියලුම පීඩිත ස්ථරයන් දිරිමත් කරමු.

Loading