අධ්‍යාපනය "අත්‍යවශ්‍ය සේවාවක්" කරන බවට ජනාධිපති වික්‍රමසිංහ කල තර්ජනය

ගුරුවරුන්ගේ වැඩවර්ජන අයිතිය ආරක්ෂා කරමු!

මාර්තු 23 දා, කොලඹ සංඝමිත්තා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල කතාව තුල, අධ්‍යාපනය 'අත්‍යවශ්‍ය සේවාවක්' බවට පත් කරන බවට තර්ජනය කලේය. 'ගුරු මාරු මන්ඩල' අහෝසි කිරීමට වික්‍රමසිංහ ගත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට එරෙහිව, රජයේ පාසල් ගුරුවරුන් කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට පසුදින ඔහු කල මෙම තර්ජනය ගුරුවරුන්ගේ වැඩවර්ජන අයිතිය උදුරා ගැනීමට එල්ල කෙරුනකි.

ආන්ඩුව විසින් ගුරු මාරු මන්‌ඩලය විසුරුවා හැරීමට එරෙහිව, 2023 මාර්තු 22 වැනි දින කොලඹ දී ශ්‍රී ලංකාවේ ගුරුවරු විරෝධතාවයක නිරත වෙමින්. [ඡායාරූප: ලෝසවෙඅ]

ජනාධිපතිගේ මෙම බුරා පැනීම දැඩිලෙස හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප), එයට එරෙහිව ඒකාබද්ධව නැගී සිටිමින් ගුරුවරුන්ගේ වැඩවර්ජන අයිතිය ආරක්ෂා කිරීමට පෙරට එනලෙස සමස්ත කම්කරු පංතියෙන් ඉල්ලා සිටී.

'ගුරුවරුන්ගේ වැඩ වර්ජන තහනම් කරමින් අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවන බවට ජනාධිපති තර්ජනය කරයි' යන හිසින්, මාර්තු 24 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපියෙන් පෙන්වාදුන් පරිදි, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් පැනවීම සඳහා රාජ්‍ය මර්දනය භාවිතා කිරීමට ආන්ඩුව පසුබට නොවන බව වික්‍රමසිංහගේ තර්ජන පැහැදිලි කරයි. එය ගුරුවරුන්ට පමනක් නොව සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමකි.'

අධ්‍යාපනය යනු 'ආදර්ශයක්' බවත්, පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් ඒ 'ආදර්ශය' ලබාදිය යුතු බවත් පැවසූ වික්‍රමසිංහ, ඔවුන් තම 'හැසිරීම' සහ 'යුතුකම් ඉෂ්ඨ කිරීම' දෙස බැලිය යුතු බව කියා සිටියේය. විභාග පැවැත්වීම ඇතුලුව සම්පූර්න අධ්‍යාපනය සම්පාදනය කලයුතු බවත්, එය 'අවහිර කිරීම් වලට' හෝ 'කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට' යටත් කිරීමට ඉඩදිය නොහැකි බවත් ඔහු දේශනා කලේය.

අනතුරුව, රටේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 'ප්‍රානඇපකරුවන්' හැටියට ගැනීමට ඉඩ නොදෙන බව පැවසූ ජනාධිපති, ගුරුවරුන්ගේ විරෝධතා දිගටම පැවතුනහොත් අධ්‍යාපනය “අත්‍යවශ්‍ය සේවාවක්” බවට පත් කිරීමට තම ආන්ඩුව නීති සම්පාදනය කරන බවට ගුගුලේය.

'ප්‍රානඇපකරුවන්' පිලිබඳ කුතර්කය, තම අයිතීන් වෙනුවෙන් සටන් වදින කම්කරුවන්ට එරෙහිව අනෙකුත් මහජනතාව පෙලඔවීම සඳහාත්, එම සටන් මර්දනය සාධාරනීකරනය සඳහාත්, ධනපති පාලක පංතිය නිරතුරුව යොදා ගන්නකි. ඔවුනට අනුව, සෞඛ්‍ය සේවකයන්ගේ සටනක දී රෝගීන් ප්‍රානඇපකරුවන් ය; දුම්රිය සේවකයන්ගේ සටනක දී මගීන් ප්‍රානඇපකරුවන් ය: විදුලිබල කම්කරුවන්ගේ සටනක දී පාරිභෝගික මහජනතාව ප්‍රානඇපකරුවන් ය. මේ ආදී වශයෙන් ඔවුන්, සෑම සටනක් තුලම 'ප්‍රාන ඇපකරුවන්' සොයා ගනී. මේ අර්ථයෙන් ගත්කල ඔවුනට 'ප්‍රාන ඇපකරුවන්ගෙන්' තොර ක්ෂේත්‍රයක් නොමැත.

ප්‍රානඇපකරුවන් ලෙස ගැනීම ගැන ජනාධිපතිගේ බොරු බන දේශනා සහ ඔහුගේ ඇබිත්ත ලියනප්පුලාගේ සදාචාරය දෙකොනින් බේරේ. අතීත වාර්තා දිග හැරියේ නැතත්, වික්‍රමසිංහ පලාත්පාලන ඡන්දයට වල කපමින් මහජනයාගේ ඡන්ද අයිතිය උදුරා ගත්තේ මේ ඊයේ පෙරේදා ය.

ධනපති ව්‍යවස්ථාවට අනුව, 'අත්‍යවශ්‍ය සේවා' ලෙස නම් කරන ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට වැඩවර්ජන තහනම් ය. එම තහනම කඩකලහොත් රැකියාවෙන් නෙරපීම සහ සිරගත කිරීම් ඇතුලු බරපතල දඬුවම් වලට ලක් කිරීමේ රුදුරු නීතිමය බලතල රජය සතු වේ.

කම්කරුවන් දසදහස් ගනනක වැඩවර්ජන අයිතිය උදුරා ගනිමින් වික්‍රමසිංහ දැනටමත් ක්ෂේත්‍ර ගනනාවක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කොට ඇත. පෙබරවාරි 28දා, බස්, දුම්රිය සහ ගුවන් ගමන් ඇතුලුව රටේ වරායන් සහ ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරෙන බවට වික්‍රමසිංහ ආන්ඩුව නියෝග කලේය. සෞඛ්‍ය, ඛනිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්‍ර සඳහා අත්‍යවශ්‍ය සේවා නියෝගය මාස කිහිපයකට පෙර පනවන ලදී.

යුතුකම් සහ වගකීම් ඉදිරියට දමමින් ගුරුවරුන් ඇතුලු කම්කරුවන්ගේ අරගල තලා දැමීම සඳහා වික්‍රමසිංහ ගෙනයන ප්‍රජාතන්ත්‍ර-විරෝධී වැඩපිලිවෙලට, ධනපති මාධ්‍යයන්ගේ පූර්න පිටුබලය ලැබෙමින් පවතී. මාර්තු 24 දා, දි අයිලන්ඩ් පුවත්පත පලකල කතුවැකිය මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන උදාහරනයකි. එය මෙසේ පවසයි: 'කම්කරුවන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල යුතුය. ඔවුන් එසේ නොකරන්නේ නම්, එය කරන්නේ වෙන කවුද? නමුත් ඔවුන් තම වගකීම් නොසලකා හැරිය යුතු නැත. සියල්ලටම වඩා, ඔවුන් මිනිසුන්ගේ ඉවසීම පරීක්ෂා නොකල යුතුය.'

මෙම ප්‍රකාශය වික්‍රමසිංහගේ රාජ්‍ය මර්දනය අනුමත කරනවා පමනක් නොව, මිනිසුන්ගේ 'ඉවසීම පරීක්ෂා නොකල යුතු' බව පවසමින් කම්කරුවන්ගේ අරගල වලට එරෙහිව මැර නඩ කඩා පැන්නවීම සඳහා ආන්ඩුව දැනටමත් ආරම්භකොට ඇති ප්‍රකෝපකාරී වැඩකටයුතු වලට ආවරනයක් සපයා දෙයි.

මාර්තු 22 දා පැවති ගුරු විරෝධතාවට එරෙහිව දැඩි පොලිස් ඇනි යෙදීමට අමතරව දක්ෂිනාංශික මධ්‍යම පන්තික කොටස් සහ කොලඹ පීඩිත ස්ථරයන්ගෙන් උකහා ගත්, ප්‍රකෝපකාරීන් 50 දෙනෙකුගෙන් පමන සමන්විත කන්ඩායම් දෙකක් ආන්ඩුව සංවිධානය කලේය. ඉන් එක් මැරයෙක් විරෝධතාවයේ යෙදුනු ගුරුවරුන්ට තර්ජනය කලේ තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම තවදුරටත් 'නොඉවසන' බව පවසමිනි.

සැබැවින්ම, සිසුන් පමනක් නොව සමස්ත කම්කරු-පීඩිත මහජනතාව, තම ලාභ අවශ්‍යතා වෙනුවෙන් 'ප්‍රාන ඇපයට' ගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනය යි. වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව එහි පොලිස්කාර සේවයෙහි නිරතව සිටිති.

පෙරනොවූවිරූ ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පාලක පංතිය, ඉන් ගොඩ ඒමට ඇති එකම විකල්පය ලෙස ජාමූඅ න් ලබා ගන්නා ඩොලර් බිලියන 2.9 ක ඇපනය දැක ගනී. ඒ වෙනුවෙන් පනවා ඇති රුදුරු කප්පාදු අකුරටම ක්‍රියාත්මක කරන බවට ජාමූඅ ට සපථ වී සිටින ආන්ඩුව, එම කප්පාදු වලට එරෙහිව පැන නගින පංති අරගල කුරිරු ලෙස තලා දැමීමට අදිටන් කරගෙන සිටී.

රාජ්‍ය ක්ෂේත්‍රයන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කොට වැඩවර්ජන අයිතිය පාගා දැමීම, පලාත් පාලන මැතිවරනයට අවශ්‍ය මුදල් ලබාදීම අවහිරකොට මැතිවරනය අහෝසි කිරීම, 'ත්‍රස්තවාදය වැලැක්වීමේ' රුදුරු පනත යටතේ ආන්ඩු විරෝධීන් සිරගත කිරීම සහ දරුනු පොලිස් සහ මිලිටරි ප්‍රහාරයන් මගින් විරෝධතා මැඩීම ඇතුලු වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර මාලාව මගින් එය තහවුරු කරයි. ගුරු මාරු මන්ඩල අහෝසි කිරීම, කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ-සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරමින් පවතින මෙම ප්‍රහාර මාලාවේම කොටසකි.

ශ්‍රී ලංකාවේ කම්කරු-පීඩිත මහජනතාව ජාමූඅ හි ප්‍රාන ඇපකරුවන් වන්නේ කෙසේද යන්න එහි දූත මන්ඩල ප්‍රධානී පීටර් බෘවර් විසින්ම අඟහරුවාදා මාධ්‍යයට කල ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඔහු මෙසේ පැවසීය: 'ජාමූඅ හි අධිකාරිත්වය යටතේ රෝග විනිශ්චය අභ්‍යාසයකට භාජනය වන ආසියා-පැසිෆික් කලාපයේ පලමු රට ශ්‍රී ලංකාව වනු ඇත.' එය 'රුදුරු' අභ්‍යාසයක් වනු ඇතැයිද ඔහු සඳහන් කලේය.

සිසුන්ගේ අධ්‍යාපනය ගැන වික්‍රමසිංහ පල කරන උත්සුකය මුලුමනින්ම වංචනිකය. ඔහු කැපවී සිටින්නේ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු රාජ්‍ය සේවාවන් දැවැන්තව කප්පාදු කරමින් ඒවායේ ඉතිරිපහදු ද විනාශකොට රාජ්‍ය වියදම් අවමකර දීමට යි. මෙම වසර අවසානය වන විට ගුරුවරුන් 30,000 ක් පමන විශ්‍රාම ගැන්වීමට නියමිත අතර, නව ගුරුවරුන් බඳවා නොගැනෙන තතු තුල, එමගින් දැනට පවත්නා ගුරු හිඟය වඩාත් උග්‍ර වනු ඇත. පාසල් ගොඩනැගිලි ඇතුලු අනෙකුත් භෞතික සම්පත්වල පවත්නා ඌනතාවය ද මෙම කප්පාදු සමග තවදුරටත් ඉහල යනු නිසැකය.

අනෙක් අතට, නිල වශයෙන් සියයට 50 කට අධික උද්ධමනය සහ දැවැන්ත බදුබර හේතුවෙන් මූර්ත ආදායම් පහත වැටී, දරුවන්ගේ පාසල් උපකරන පමනක් නොව, එදිනෙදා ආහාර සම්පාදනය කරදීම පවා කල නොහැකි තත්වයට මහජනතාවගෙන් අතිමහත් බහුතරය ඇද දමා ඇත.

ජාමූ හි කප්පාදු සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර පරාජය කල හැක්කේ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමෙන් පමනි. වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන, ධනපති ආන්ඩුවට පීඩනය යෙදීමෙන් සහ ආන්ඩුව සමග සාකච්ඡා කිරීමෙන් මෙම ප්‍රහාර ආපසු හැරවිය හැකිය යන මිත්‍යාව වපුරමින්, එවන් දේශපාලන ප්‍රතිප්‍රහාරයක් වලකා ලීමට දැනුවත්ව කටයුතු කරති.

2023 මාර්තු 14 දා නිකුත් කෙරුනු ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කම්ටුවල ඒකාබද්ධ ප්‍රකාශය පැහැදිලි කල පරිදි:

'ධනේශ්වර ක්‍රමයට දහසක් හුයපට වලින් බැඳුනු වෘත්තීය සමිතිවල පාලනය යටතේ අපේ අරගල පැවතියහොත් නිසැකව ම අපව පාවා දෙනු ඇත. අපගේ අයිතීන් සඳහා වන අරගලය අප අතට ගත යුතුය. මෙය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩබිමකම, කම්හලකම, වතුකරයකම සහ අපගේ අසල්වැසි ප්‍රදේශවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනි.'

වැඩවර්ජන අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා, 'අත්‍යවශ්‍ය මහජන සේවා පනත' අහෝසි කරනු!, 'ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත' අහෝසි කරනු!, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු! යන ඉල්ලීම් මත එම කමිටු ඒකාබද්ධව සටන් කල යුතු වේ.

ඉහත ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් 'කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා සසප උද්ඝෝෂනය කරයි. සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ දී, ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින්, කම්කරු පන්තියට සිය ශක්තිය බලමුලු ගැන්වීමට එවන් සම්මේලනයක් දේශපාලන මාධ්‍යයන් සපයනු ඇත.

Loading