ගුරුවරුන්ගේ වැඩ වර්ජන තහනම් කරමින් අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවන බවට ජනාධිපති තර්ජනය කරයි

[මෙය Sri Lankan president threatens to impose essential services orders banning strikes on teachers යන මැයෙන් 2023 ‌මාර්තු 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

බ්‍රහස්පතින්දා (23), ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු ගුරුවරුන්ට එරෙහිව වර්ජන විරෝධී අත්‍යවශ්‍ය මහජන සේවා පනත ක්‍රියාත්මක කරන බවට තර්ජනය කලේය. මෙම ප්‍රහාරය එල්ල වූයේ ලංකාව පුරා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 500 ක් පමන කොලඹදී උද්ඝෝෂන කිරීමෙන් දිනකට පසුවය.

ආන්ඩුව විසින් ගුරු මාරු මන්‌ඩලය විසුරුවා හැරීමට එරෙහිව, 2023 මාර්තු 22 වැනි දින කොලඹ දී ශ්‍රී ලංකාවේ ගුරුවරු විරෝධතාවයක නිරත වෙමින්. [ඡායාරූප: ලෝසවෙඅ]

ආන්ඩුව විසින් ගුරු මාරු මන්ඩලය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස විසුරුවා හැරීමට එරෙහිව, බදාදා උදෑසන කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක් කැඳවුම් කරනු ලැබීය. 12,000 ක පමන ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම්වලට මෙම තීරනය බලපා තිබේ.

කොලඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති දේශනයකදී වික්‍රමසිංහ සිය වර්ජන-විරෝධී තර්ජනය නිකුත් කලේය. විවිධ කන්ඩායම් විසින් පාසල් සිසුන් ප්‍රාන ඇපයට ගැනීමට ඉඩ නොදෙන බව ඔහු ප්‍රකාශ කලේය. “අධ්‍යාපනය පාසලෙන් පැමිනිය යුතු ආදර්ශයක්. පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ආදර්ශමත් විය යුතුයි” වික්‍රමසිංහ පැවසීය.

විභාග පැවැත්වීම ඇතුලුව සම්පූර්න අධ්‍යාපනය සැපයීම 'බාධාකාරී' හෝ 'කඩාකප්පල්කාරී' ක්‍රියාවන්ට යටත් කල නොහැකි බව පැවසූ ජනාධිපති තවදුරටත්, ගුරුවරුන්ගේ විරෝධතා දිගටම පැවතුනහොත් අධ්‍යාපනය “අත්‍යවශ්‍ය සේවාවක්” බවට පත් කිරීමට තම ආන්ඩුව නීති සම්පාදනය කරන බවට අනතුරු ඇඟවීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් පැනවීම සඳහා රාජ්‍ය මර්දනය භාවිතා කිරීමට ආන්ඩුව පසුබට නොවන බව වික්‍රමසිංහගේ තර්ජන පැහැදිලි කරයි. එය ගුරුවරුන්ට පමනක් නොව, සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමකි.

බස්, දුම්රිය සහ ගුවන් ගමන් ඇතුලුව ශ්‍රී ලංකාවේ වරායන් සහ ප්‍රවාහන සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ කොටසක් බවට, පෙබරවාරි 28 දා ආන්ඩුව නියෝග කලේය.

සෞඛ්‍ය, ඛනිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්‍ර සඳහා මාස කිහිපයකට පෙර අත්‍යවශ්‍ය මහජන සේවා පනත පනවන ලදී.

මාර්තු 22 ගුරු විරෝධතාවය ලංකා ගුරු සංගමය (ලංගුසං), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා අනුබද්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) සහ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය (සලංඑගුසං) ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් විසින් සංවිධානය කරන ලදී. උද්ඝෝෂකයෝ, “ගුරු මාරුවීම්වලට දේශපාලන අතපෙවීම් එපා!” සහ 'ජනාධිපතිවරයාගේ අනිසි මැදිහත්වීමට විරුද්ධ වනු' යනුවෙන් සඳහන් පුවරු රැගෙන පැමින සිටියහ.

පසුගිය ආන්ඩුවේ නියෝගවලට අනුකූලව යමින්, ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්‍යාංශය දෙසට විරෝධතාකරුවන් ගමන් කිරීම නතර කරන ලෙස පොලිසිය කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයෙන් නියෝගයක් ලබා ගත්තේය. එම නියෝගය, උසස් පොලිස් නිලධාරියෙකු විසින් විරෝධතාවයේ නිරත ගුරුවරුන් ඉදිරියේ කියවන ලදී.

සුපුරුදු දැඩි පොලිස් ආරක්ෂාවට අමතරව, ආන්ඩුව ප්‍රධාන වශයෙන් දක්ෂිනාංශික මධ්‍යම-පන්තික කොටස් සහ කොලඹ පීඩිත ස්ථරයන්ගෙන් එක් කරගත් ප්‍රකෝපකාරීන් 50 දෙනෙකුගෙන් පමන සමන්විත කන්ඩායම් දෙකක් සංවිධානය කර තිබුනි.

'දරුවන්ගේ අනාගතය සඳහා වූ සන්ධානය' ලෙස තමන්ව හඳුන්වා ගත් මෙම කන්ඩායම්, අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට චෝදනා කරමින් විරෝධතා දක්වන ගුරුවරුන්ට එරෙහිව සටන් පාඨ කීහ. ඔවුන්ගේ සටන් පාඨවලට ඇතුලත් වූයේ: “අධ්‍යාපනය විනාශ කිරීමේ පියා [ලංගුසං ලේකම්] ජෝසප් ස්ටාලින්,” “ලේකම් ජෝසප් ස්ටාලින් පලවා හරිමු,” “ගුරුවරුන්ගේ කඩාකප්පල්කාරී වැඩ වර්ජන නවත්වනු” සහ “දරුවන්ගේ අධ්‍යාපන අයිතියට අත නොතබනු.”

දරුවන්ගේ අනාගතය සඳහා වන සන්ධානයේ ලේකම් ඉන්දික රාජපක්ෂ මාධ්‍ය වෙත පැවසුවේ: “මේ මොහොතේ ගුරු වර්ජනයක් අවශ්‍ය නැහැ. වසර තුනක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී තිබෙනවා.”

ලගුස ලේකම් ස්ටාලින් මාධ්‍ය වෙත පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වත්මන් ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා වන වජිර අබේවර්ධන විසින් මෙම ප්‍රකෝපකරනයන් උසිගන්වා ඇති බවයි. අබේවර්ධන, ජනාධිපතිවරයාගේ “අන්තේවාසිකයෙකු” ලෙස හෙලා දුටු ස්ටාලින්, ගුරුවරුන්ගේ විරෝධතා මෙම සංවිධානවලින් කඩාකප්පල් කල නොහැකි බව කියා සිටියේය.

ගුරුවරුන්ට එරෙහිව වික‍්‍රමසිංහගේ ව්‍යාජ ප‍්‍රකාශ සහ ඔහුගේ ආන්ඩුව ප්‍රකෝප කරන්නන් බලමුලු ගැන්වීම මගින් පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තියේ වැඩෙන අරගලවලට එරෙහිව මර්දනයකට ආන්ඩුව සූදානම් වන බවයි. ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සහ සිවිල් නිදහසට එල්ල කරන ප‍්‍රහාරයට එරෙහිව තම සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ ඒකාබද්ධ අරගලයක දී ගුරුවරුන් කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග එක්විය යුතුය.

ලාංකික ගුරුවරුන් පිරිසක් 2023 මාර්තු 22 වන දින කොලඹදී විරෝධතාවයක නිරත වෙමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ඔවුන්ගේ වාචාල වාචාල කතා නොතකා, බදාදා විරෝධතාව සංවිධානය කල ලංගුසං, ලංගුසේසං සහ සලංඑගුසං නායකයෝ, ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ බලමුලු ගැන්වීමක් වැලැක්වීමට අඛන්ඩව වැඩ කර ඇත.

2021 අග භාගයේ සිට ගුරුවරුන් 200,000 ක් පමන වැඩි වැටුප් ඉල්ලා දින 100 වැඩ වර්ජනයක් දියත් කලහ. මෙය සිදු කෙරුනේ රාජපක්ෂ ආන්ඩුවේ මර්දනකාරී පියවර නොතකමිනි. ගුරුවරුන්ගේ ධෛර්යසම්පන්න සහ සටන්කාමී ක්‍රියාමාර්ගය වෘත්තීය සමිති විසින් පාවා දෙන ලද අතර, වැඩි කරන ලෙස ඉල්ලා සිටි වැටුපෙන් තුනෙන් එකක් පමනක් ලබා දෙන බවට ආන්ඩුව දුන් පොරොන්දුවෙන් පසුව වෘත්තීය සමිති වර්ජනය අවසන් කිරීමට බල කරන ලදී.

ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සෙසු කොටස් සමග එක්ව ගුරු සංගම් නායකත්වය, රාජපක්ෂ පාලනයට එරෙහි මහජන නැගිටීම පීලි පැන්නවීමට උදව් කලේය. සමගි ජන බලවේගය සහ ජවිපෙ වැනි පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ විසින් කැඳවන ලද අන්තර්වාර ආන්ඩුවක් සඳහා වූ යෝජනා පිටුපසට මෙම ව්‍යාපාරය අපසරනය කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඔවුන් විසින් ඉටු කරන ලදී. මෙය, රාජපක්ෂ පැටවීමට උත්සාහ කරමින් සිටි න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුවට මග පෑදීය.

යහපත් වැටුප්, සේවා කොන්දේසි සහ උසස් තත්වයේ අධ්‍යාපනය සඳහා අරමුදල් වැඩි කිරීමට නම් ගුරුවරුන්, වෘත්තීය සමිති හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් තම අරගලය තමන්ගේ අතට ගත යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මුලපිරීම මත පිහිටුවන ලද ගුරු-සිසු-දෙමාපි ක්‍රියාකාරී කමිටුව, උග්‍රවන ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව පොදු අරගලයක් තුල ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් එක්සත් කිරීමට සටන් කරයි. එය, ගුරුවරුන්ට අවශ්‍ය සියලුම උපකාර සහ මගපෙන්වීම් ලබාදීමට සූදානමින් සිටී.

සසප දිවයින පුරා කම්කරුවන්ගේ හා ගම්බද වෙහෙසී වැඩ කරන්නන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. මෙය සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනේ පලමු පියවර වේ. මෙම අරගලයට සසප සමග එක්වන ලෙස අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

ලෝසවෙඅ වාර්තාකරුවෝ පසුගිය බදාදා කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාවයේ යෙදී සිටි ගුරුවරුන් සමග කතා කලහ..

කොලඹ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් ගුරු මාරු මන්ඩලය විසුරුවා හැරීම තම පාසලේ ගුරුවරුන්ට බලපෑ ආකාරය පැහැදිලි කලාය. “මානුෂීය හේතූන් මත ගුරුවරුන් ස්ථාන මාරුවීම් ඉල්ලා තිබෙනවා. නමුත් ඇතැමුන්ගේ අත්තනෝමතික වැඩ නිසා මේවා නැතිවෙලා. ඒකට සාධාරනයක් ඉටු කර ගන්න තමයි අද ගුරුවරු මෙතැනට ඇවිත් ඉන්නේ. ආන්ඩුව අත්තනෝමතික ලෙස ගුරු මාරු අවහිර කිරීම ගැන කතා කරන්න ඕන,” ඇය කීවාය.

'මාත් ස්ථාන මාරුවක් ඉල්ලා සිටියත් ඒක නතර වුනා. මම වසර දහයක් කොලඹ පාසලක සේවය කරලා තියෙනවා, මගේ ස්ථාන මාරු ඉල්ලීම කොලඹ තුලම යි. මගේ පාසලේ වසර දහය සම්පූර්න කල ගුරුවරුන් විශාල පිරිසක් සිටිනවා” යැයි ගුරුවරිය වැඩිදුරටත් පැවසුවාය.

'පාසැලට එන ලමයින් බොහෝ ගැටලුවලට මුහුන දෙනවා, දෙමාපියන්ට [ඔවුන්ගේ දරුවන්] පාසල් යැවීම සඳහා කොපමන මුදලක් වැය වේද යන්න අපි කවුරුත් දන්නවා,' ඇය පැවසුවාය.

පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ වසර 17 ක පලපුරුද්දක් ඇති විද්‍යා ගුරුවරයෙකු පැවසුවේ ස්ථාන මාරු ප්‍රශ්නයෙන් තමාට දැනට බලපෑමක් නොමැති බවයි. කෙසේ වෙතත්, එය ප්‍රතිපත්තිමය කරුනක් බැවින් විරෝධතාවයට එක්වීමට ඔහු තීරනය කර තිබේ. ගුරුවරුන්ගේ ස්ථාන මාරු අයිතීන් උල්ලංඝනය කිරීම, 'ගෝලීය ප්‍රාග්ධනය සමග ජාමූඅ විසින් එල්ලකරන ලද විශාල ප්‍රහාරවල කොටසක්' බව ඔහු පැවසීය.

ගුරුවරුන්ගේ විරෝධතාව යටපත් කිරීමට උත්සාහ කිරීම සඳහා ආන්ඩුව සිදු කරන සමාජ ප්‍රහාර සහ එහි ප්‍රකෝප කරන්නන් සංවිධානය කිරීම ඔහු හෙලා දුටුවේය. 'ඔවුන් [ආන්ඩුව] එම ලුම්පන් මැර කන්ඩායම් ගෙන ඒමෙන් මෙම අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා,' ඔහු පැවසීය.

Loading