ශ්‍රී ලංකාව තුල තම වැඩපිලිවෙල “රුදුරු අත්හදාබැලීමක්” බව ජාමූඅ ප්‍රකාශ කරයි

මෙය, IMF declares its Sri Lankan program a “brutal experiment” මැයෙන් 2023 මාර්තු 25 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.

වසර හතරක් පුරා ලංකාවේ ආන්ඩුවට ගෙවනු ලබන, එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක ඇප නයක් අනුමත කිරීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධායක මන්ඩලය සඳුදා පියවර ගත්තේ ය. ඉන් දවස් දෙකකට පසුව, ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 330ක් වන එහි පලමු වාරිකය ලැබුනි.

අතීතයේ දී ජාමූඅ කප්පාදු පියවරයන් පැනවීම පිලිබඳ ව කුප්‍රකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නය අනුමත කිරීම පිලිබඳ ව ප්‍රීති ප්‍රමෝදයට පත් විය. ජාතිය අමතා නිකුත් කල විශේෂ ප්‍රකාශයක් තුල “ශ්‍රී ලංකාව තව දුරටත් බංකොලොත් රටක් ලෙස නො සලකනු ඇතැ” යි ඔහු ප්‍රකාශ කලේ ය.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

සිය නය මුදල සාපේක්ෂ ව කුඩා වුවත්, එම නය ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් හා අනෙකුත් අයගෙන් තවත් ඩොලර් බිලියන 7ක් ලබා ගනුවස්, උත්ප්‍රේරකයක් වනු ඇතැයි ජාමූඅ සඳහන් කලේ ය.

“ජාමූඅ, දිවි ගලවා ගැනීමේ යොතක් රටට දිගුකොට ඇතැ” යි ආදී මාතෘකා සහිතව ලංකාවේ මාධ්‍ය ද ප්‍රමුදිත විය. ජාමූඅ තීරනය උත්කර්ෂයට නැංවූ මහ ව්‍යාපාරික කන්ඩායම්, එයට සහයෝගය දෙන ලෙස සෑම දෙනාට කැඳවුම් කලෝ ය.

යථාර්ථයේ දී, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආයතනයක් වන ජාමූඅ හි පාලනය යටතේ රට තබන පෙර නුවූ විරූ කප්පාදු ක්‍රියා මාර්ගයකට, මෙම නය ගැට ගැසී ඇත.

ජාමූඅ ශ්‍රී ලංකා දූත මන්ඩල ප්‍රධානී, පීටර් බෲවර් අඟහරුවාදා මෙසේ විස්තර කලේ ය: “ජාමූඅ විසින් පාලිත, රෝග විනිශ්චය අභ්‍යාසයකට බඳුන් කරන ආසියා-පැසිෆික් කලාපයේ පලමු රට වනු ඇත්තේ ශ්‍රී ලංකාව යි.” අභිලාෂී ආදායම් මත පාදක වන ආදායම් ශක්තිමත් කිරීම, නය සමතුලිතතාව හා ඉතා හොඳ විනිමය අනුපාත නම්‍යශීලීත්වයක් ඇතුලු කුලුනු පහක් මත අභ්‍යාසය රඳා පවතින බව ඔහු කීවේ ය.

මෙම නය ලබා ගනුවස්, සමාජ සේවාවන්, රැකියාවන් හා ජීවන කොන්දේසි වලට ගැඹුරු ප්‍රහාර දැනට මත් එල්ල කිරීමට ලංකාවේ ආන්ඩුවට සිදු වී තිබේ. බෲවර් මෙසේ පිලිගත්තේ ය: “කිසිදු බාහිර සහයෝගයකින් තොර ව, එක් සමතුලිතතාවක සිට තවෙකක් කරා ආර්ථිකය සීරුමාරු කරනුවස්, රුදුරු අත්හදා බැලීමක් සිදු කල යුතු බව එමගින් පෙන්වා දී තිබෙනවා.”

නය නිදහස් කිරීමට පෙර, ජාමූඅ දීර්ඝ කප්පාදු පියවර ලැයිස්තුවක් විධානය කල අතර, ආන්ඩුව ඉලක්ක 15 ම ඉටු කර ඇති බවට වික්‍රමසිංහ උදම් ඇනුවේ ය. රුපියල සුවිසල් ලෙස අවප්‍රමානය කිරීම, ආනයන අඩු කිරීම, එකතු කල අගය මත බද්ද (වැට්) ඉහල දැමීම, බොහෝ කම්කරුවන් මත ආදායම් බදු පැනවීම, ඉන්ධන මිල හා විදුලි බිල ඉහල දැමීම හා විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම් මෙම පියවරයන්ට ඇතුලත් වේ.

මිල ගනන් අහස උසට නැංවූ හා මූලික භාන්ඩවල පලල් හිඟයන් නිර්මානය කල, පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයක විපාක මත්තේ, වැඩකරන ජනයාගේ සමාජ තත්ත්වය මතට මෙම ව්‍යසනකාරී ප්‍රහාර පැමිනියේ ය.

පසුගිය අප්‍රේල් මාසයේ දී, පීඩනයට පත් මහජනයාගේ නැගිටීමක් සිදු වූ අතර, එම නැගිටීම අවසානයේ දී හිටපු ජනාධිපතිට රටින් පලා ගොස් ජූලි මාසයේ ඉල්ලා අස්වීමට බල කලේ ය. අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය සහිත ව, ලංකාවේ දේශපාලන සංස්ථාපිතය, ජාමූඅ අවශ්‍යතා පටවනුවස්, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස වික්‍රමසිංහ ජනාධිපති ධූරයෙහි ස්ථාපිත කලේ ය.

මේ සතියේ දී නය අනුමත වීමෙන් පසුව, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය හෝ වානිජකරනය, නිදහස් සෞඛ්‍ය සේවාවේ හා අධ්‍යාපනයේ ඉතුරු පහදු කප්පාදු කිරීම සහ රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් කප්පාදු කිරීම ඇතුලු මෙම “රුදුරු අත්හදා බැලීමේ” වැඩිදුර පියවරයන් පැමිනීමට නියමිත ය.

රජයට අයත් ව්‍යවසායයන් හතක රජයට හිමි කොටස් ඉවත් කිරීම අඟහරුවාදා කැබිනට් මන්ඩලය විසින් අනුමත කල අතර, එම ක්‍රියා දාමය අධීක්ෂනය කිරීම සඳහා රජයට අයත් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් ස්ථාපිත කලේ ය.

බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක දී කතා කල වික්‍රමසිංහ, රජයට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ග්‍රෑන්ඩ් හයාත් සහ හිල්ටන් හෝටල්, ලිට්‍රෝ ගෑස් ලංකා හා ලංකා රෝහල් සංස්ථාව විකුනා දමනු ඇති බව ප්‍රකාශ කලේ ය.

එහි දී අසන ලද ප්‍රශ්නවලට පිලිතුරු දුන් වික්‍රමසිංහ ඍජු ව මෙසේ ප්‍රකාශ කලේ ය: “ඒ සියල්ල පාඩු ලබන ආයතන නෙවෙයි. අපි නය ආපසු ගෙවිය යුතු යි. මේවා ලඟ තබාගෙන අපට නය ගෙවන්න බැහැ.” පාඩු නො ලබන රජයට අයත් ව්‍යවසායයන් විකිනිය යුත්තේ මන්දැයි විමසූ විට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වී ය: “රජය ව්‍යාපාරවල නියැලෙන්නේ ඇයි? ඒක අපේ ජනවරම නෙවෙයි.”

ජාමූඅ මාධ්‍ය හමුවේ දී, කම්කරුවන් හා වෘත්තිකයන් අතර පැතිරුනු පලල් කෝපය හා විරෝධය මධ්‍යයේ, ආදායම් බදු ඉහල දැමීම්වලට එරෙහි ව මෑත විරෝධතා කැඳවීමට වෘත්තීය සමිතිවලට බලකෙරී තිබීම ගැන ලංකාවේ ජනමාධ්‍යවේදියෙක් විමසුවේ ය.

එයට දුන් පිලිතුර, වැඩකරන ජනයා මත පටවනු ලබන යෝධ බර පිලිබඳ ජාමූඅහි ආකල්පය හෙලිදරවු කරයි.

“ජීවන වියදම දැරිය නො හැකි ලෙස ඉහල යාම ඇතුලු” දුෂ්කරතාවන් තමන්ට අවබෝධ වන බව කියමින් බෲවර් පිලිතුරු දීම ආරම්භ කලේ ය. “...මහජනයාට ද විශේෂයෙන් ම දුගීන්ට හා පීඩිතයන්ට බරපතල ලෙස පහර දී ඇති රැකියා අහිමි වීම, ජීවන මාර්ග අහිමි වීම, ඉහල යන බලශක්ති පිරිවැය හා ඇද වැටෙන මූර්ත ආදායම් ගැන අපට වැටහෙනවා.”

එහෙත් බෲවර් පැහැදිලි කලේ, ජාමූඅහි ප්‍රමුඛතාව නීර්නය කරනු ලබන්නේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයෙහි අවශ්‍යතා විසින් බව යි. 2021 දී සියයට 19.9ක් වූ වියදම්වලට සාපේක්ෂ ව දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් වූ “ලෝකයේ අඩු ම රාජ්‍ය ආදායම එකතු කරන රට” ශ්‍රී ලංකාව බවට බෲවර් කනිපින්දම් කීවේ ය.

“එම පරතරය පිරවීමට බාහිර නය දෙන්නන් මනාප නැහැ. එම නිසා මෙම විෂමතුලනය නිවැරදි කිරීමට බදු ප්‍රතිසංස්කරන අත්‍යවශ්‍යයි” බෲවර් ඍජු ව ප්‍රකාශ කලේ ය.

2021 දී රාජ්‍ය වියදමට සාපේක්ෂ ව දල දේශීය නිෂ්පාදිතතයෙන් සියයට 5.7ක් වූ ඍන ආදායම් පරතරය, 2025 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට ධන 2.3ක් දක්වා පරිවර්තනය කල යුතු බවට ජාමූඅ අවධාරනය කලේ ය. “එය සැලකිය යුතු අධිෂ්ටානයක්. එහෙත් පවතින විකල්පය කවරක් ද?” යි ඔහු ඇසී ය.

ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික එකමුතුව වන ලංකා වානිජ මන්ඩලය, ආන්ඩුවට සුභ පැතුවේ ය. “තිරසාර ආර්ථික ප්‍රකෘතිමත් වීමකට, බොහෝ කල් පමා වූ මෙම ආර්ථික ප්‍රතිසංස්කරන තීරනාත්මක ප්‍රේරකයක්” යයි එය නිකුත් තල ප්‍රකාශයේ සඳහන් විය. සියලු දේශපාලන පක්ෂ, සිවිල් සමාජය, වෘත්තීය සමිති හා මහජනතාවගෙන් එය ඉල්ලා සිටියේ “ජාමූඅ වැඩපිලිවෙල ධනාත්මක ව දැකගෙන, (එයට) සහයෝගය දෙන” ලෙසයි.

බදාදා පාර්ලිමේන්තුව ඇමතූ වික්‍රමසිංහ, වෙනත් විකල්පයක් පවතීනම් පෙන්වා දෙන ලෙස, විරුද්ධ පක්ෂවලට අභියෝග කලේ ය. වැඩෙමින් පවතින විරෝධතා හා වැඩ වර්ජන රැල්ලකට මුහුන දෙන ඔහු, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය තල්ලු කරගැනීමේ දී තමන් සමග එකමුතු වන ලෙස ඔවුන්ට ආරාධනා කලේ ය. ඒ අතර ම, කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි මර්දනය ඔහු තීව්‍ර කරමින් සිටී.

අත්තනෝමතික ස්ථානමාරුවලට එරෙහි ව ගුරුවරුන් විරෝධතා දැක්වීම ඇරඹී තිබෙන තතු තුල, විරෝධතා හා වැඩ වර්ජන තහනම් කරනුවස්, විෂඝෝර අත්‍යවශ්‍ය මහජන සේවා පනත බලාත්මක කරන බවට ජනාධිපති තර්ජනය කලේ ය. බදාදා රටෙහි දිස්ත්‍රික්ක 25 තුල ම සන්නද්ධ හමුදා සීරුවෙන් තබන ප්‍රකාශයකට ඔහු අත්සන් තැබී ය. දැනට මත් විදුලිබල, දුම්‍රිය, වරාය, තැපැල්, ටෙලිකොම්, ඛනිජ තෙල් හා සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

කම්කරුවන්ගේ අරගල සීමා කොට පීලිපැන්නවීම සඳහා, වික්‍රමසිංහ, වෘත්තීය සමිති මත පදනම් වී ඇත. වැඩ වර්ජන හා විරෝධතා කැඳවීමට බලකෙරනු අවස්ථාවන් හි දී, සහන පතා ආන්ඩුවට කරන නිෂ්ඵල ආයාචනා තුලට එම අරගල අපසරනය කිරීමට වෘත්තීය සමිති කටයුතු කර ඇත. කප්පාදු වැඩපිලිවෙල කිසි ලෙසකින් හෝ වෙනස් නො කරන බවට වික්‍රමසිංහ එකහෙලා ප්‍රකාශ කර ඇත.

විරුද්ධ පක්ෂ ජාමූඅ කප්පාදු පියවරයන්ට විරුද්ධ නැත. නය අනුමත වීමෙන් පසුව, සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී, හුදෙක් ජාමූඅ කොන්දේසි හෙලිදරවු කරන ලෙස ඉල්ලා සිටියේ ය. ජාමූඅ ඇප නය මීට පෙර ලබා නො ගැනීම ගැන පසුගිය වසරේ දී සජබ ආන්ඩුව එක හෙලා විවේචනය කලේ ය.

පසුගිය ඔක්තෝබරයේ දී, “ස්වර්නවාහිනී” රූපවාහිනිය සමග පැවති සංවාදයක දී, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක කීවේ, ශ්‍රී ලංකාව විදෙස් නය ගෙවීම පැහැර හැර ඇති නිසා, “ජාමූඅ වෙතට යාම හැර වෙනත් විකල්පයක් නැති” බව යි. ඊයේ පාර්ලිමේන්තුවේ දී කතා කල එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් එය ම අවධාරනය කලේ, ජාමූඅ වෙතට යාම සම්බන්ධයෙන් තම පක්ෂය විරුද්ධ නොවන බව පවසමිනි.

මේ සියලු පක්ෂ ජාමූඅ කප්පාදු වැඩසටහනට සහයෝගය දීමෙන් පැහැදිලි වන්නේ, වැඩකරන ජනයා මත නව බර පැටවීම් හැර, ධනපති ක්‍රමය තුල යෝධ ආර්ථික අර්බුදයට විකල්පයක් නැති බව යි. කම්කරුවන්ට පවතින එක ම විකල්පය වන්නේ, දේවල් තමන්ගේ ම අතට ගෙන, සුපිරි ධනවත් සුලුතරයකගේ ලාභ වෙනුවට, වැඩකරන ජනයාගේ දැවෙන සමාජ අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කරන සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා සටන් වැදීම යි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් ම කම්කරුවන්ට එවන් ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරයි: වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩපොලක ම හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, ගම්බද දුගීන්ට ද ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කරමු. සියලු නය ප්‍රතික්ෂේප කලයුතුයැයි කියා සිටින අපි, සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල නිෂ්පාදනය හා බෙදාහැරීම වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනය යටතේ තැබියයුතු බව අවධාරනය කරන්නෙමු.

ජාමූඅ කප්පාදු විධානයන්ට එරෙහි ව සංවිධානය වීමටත්, සමාජවාදී පිලිවෙත්වලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමටත්, මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවුම් කරයි.

Loading