වටවල කෝටෝල්ඩ්ස් ක්ලෝතින් ඇඟලුම් කම්හල් කම්කරුවෝ අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව ඉල්ලා වැඩ වර්ජනය කරති

සිංහල සහ දමිල අලුත් අවුරුද්ද නිමිත්තෙන් තමන්ට හිමි රුපියල් 7,500 ක උත්සව ප්‍රසාද දීමනාව ඉල්ලා නුවරඑලිය දිස්ත්‍රික්කයේ වටවල පිහිටි කෝටෝල්ඩ්ස් ක්ලෝතින් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ 750 ක් මාර්තු 23 දා සිට සතියක වැඩවර්ජනයක නිරත වූහ. පෙර වසරවල උත්සව දීමනාව ගෙවූ නමුත් කම්හල පාඩු ලබන බව පවසා මෙම වසරේ එය ගෙවීම පාලකයන් ප්‍රතික්ෂේප කර ඇත.

වටවල කෝටෝල්ඩ්ස් ක්ලෝතින් ඇඟලුම් කම්හලේ කම්කරු අරගලය - ලෝසවෙඅ

කම්කරුවන් වර්ජනයට එලඹුනේ එම තතු තුලය. කෝටෝල්ඩ්ස් ක්ලෝතින් අපනයනය සඳහා කාන්තා සහ පිරිමි ඇඳුම් නිෂ්පාදනය කරන කම්හලකි.

උත්සව දීමනාව ඉල්ලා සටන් කරනවා නම් කම්හල වැසීමට සිදුවන බව හා රැකියා අහිමි වන බව කියමින් පාලකයන් තමන් ට තර්ජනය කලබව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාස කලහ.

'වැඩවර්ජනය සමාජ මාධ්‍යවල පල කෙරුනු නිසා ලෝකයේ අපේ නමට කැලලක් ඇතිවුනා. ඇමරිකාව එහි ඇනවුම් නවත්වන්න උත්සාහ කරනවා. ඇනවුම් නොලැබුනොත් කම්හල වහන්න වෙනවා. සේවකයින්ට රස්සාවල් අහිමි වෙනවා' යැයි පවසමින් නිලධාරියෙක් කම්කරුවන් ට දොස් පවරා ඇත.

පාලනාධිකාරයේ තර්ජනය නොතකා අරගලය අඛන්ඩව ඉදිරියට ගෙනයාමට කම්කරුවෝ උත්සාහ කලහ. ඉක්බිතිව වර්ජනය කඩාකප්පල් කිරීමට දුරබැහැර සිට පැමිනෙන සමහර කම්කරුවන්, මාර්තු 28 දා, බස්රථ මගින් බලහත්කාරයෙන් කම්හල තුලට ප්‍රවාහනය කිරීමට පාලකයන් කටයුතු කර ඇත. ඔවුන් ට තමන් සමග එක් වීමට අවසර දෙන ලෙසට වැඩවර්ජනයේ යෙදී සිටි කම්කරුවන් පාලනාධිකාරයට බල කර සිටි නමුත් පාලකයන් එයට ඉඩ නොදුනි.

“ලියෝ කියන නිලධාරියා අරගලයේ හිටපු කාන්තා කම්කරුවන් දෙන්නෙකුට පහර දීමට උත්සහ කලා. පාලකයෝ අපිට සලකන්නෙ වහලුන් ට වගේ' යැයි කම්කරුවෝ කීහ.

බලහත්කාකාරයෙන් වැඩට යොමු කෙරුනු කම්කරුවන්ට ආහාර ගෙනයාම සඳහා පැමිනි වෑන් රථය සටනේ සිටි කම්කරුවෝ නැවැත්වූහ. පසුව පාලනාධිකාරය විසින් කම්හලට පොලීසිය කැඳවන ලදී. පොලීසියේ පිටුබලය ඇතිව කම්හලේ ආරක්ෂක නිලධාරීන් විසින් වෑන් රථය වෙනත් ගේට්ටුවකින් කම්හල තුලට ගෙන ගොස් ඇත. පාලනාධිකාරය කම්කරුවන් ට සාකච්ඡාවක් ලබා දෙන බව පැවසුව ද එයද සිදු නොකෙරිනි. එය කම්කරුවන් නොමග යවා වර්ජනය කඩාකප්පල් කිරීමේ උප්පරවැට්ටියකි.

පාලකයන්ගේ කඩාකප්පල් කිරීම් සහ පොලීසිය කැඳවීම යටතේ වර්ජනය නතර කිරීමට බල කෙරුන නමුත් අරගලය වර්ධනය කල යුතු බව කම්කරුවෝ පැවසුහ. පොලීසියේ මැදිහත්වීම හෙලා දුටු කම්කරුවවෙකු මෙසේ පැවසීය: 'පාලකයො අපේ අයිතීන් අහෝසි කරන අතරෙ පොලීසිය ඔවුන්ට සහය දෙනවා. අපිට උත්සව දීමනා ඉල්ලීම්ට පමනක් සීමා වෙන්න බැහැ. අපිට සිද්ධ වෙනවා අඩුම ගානෙ මසකට රුපියල් 30,000 ක මූලික පඩියක් සඳහා සටන් කරන්න.'

ප්‍රසාද දීමනා කප්පාදුව කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් පැවැති කප්පාදු මාලාවක කොටසකි. 'පියවරෙන් පියවර පාලකයෝ අපගේ අයිතිවාසිකම් උදුරා ගන්නව. මුලදී අතිකාල නැවැත්තුවා. දැන් ප්‍රසාද දීමනාවත් නවත්වනවා. ජීවන වියදම අහස උසට නැගල, බඩු මිල කිහිප ගුනයකින් ඉහල ගිහිල්ල. මේ තත්වය තුල රුපියල් 20,000 ක මූලික පඩියකින් ජීවත් වෙන්නෙ කොහොමද. දැන් තියෙන තත්වය යටතේ රුපියල් 60,000 ක මූලික පඩියක් වුනත් මදි.'

කම්කරුවන්ගේ සේවා කොන්දේසි අතිශයින් ම දුෂ්කරය. දෛනික සේවා කාලය උදේ 7.30 සිට සවස 5.30 දක්වා පැය 12 කි. දිවා ආහාරයට සහ තේ විවේකය ට ලැබෙන්නේ පැයක් පමනි. අතිකාල නොගෙවන තත්වය යටතේ කම්කරුවන්ගේ උපරිම මාසික ඉපයීම් රුපියල් 35,000 ට සීමා වී ඇත. රෝගී වුවහොත් කම්හලට පැමින නිවාඩු දැමිය යුතුය. එසේ කිරීමට යමෙක් අපොහොසත් වුවහොත් වැටුප් රහිත නිවාඩු ලෙස සැලකෙයි. එමගින් මාසික පැමැනීමේ දීමනාව මුලුමනින් ම අහිමි වෙයි

කම්හල් හිමියෝ මෙම පලාතේ වතුකම්කරු ජනතාවගේ පවතින දුගීභාවය ලාබ ශ්‍රමය සූරාකෑමට වැඩැවැඩියෙන් භාවිතා කරති. වතුවල පවතින අඩු වැටුප් සහ ඉහල නැගෙන විරැකියාව හේතුවෙන් වතු කම්කරුවන්ගේ දරුවන් ඇඟලුම් කම්හලේ වැඩට ඒමට පෙලඹී ඇත. ඉන් බහුතරයක් තරුනියෝ ය.

අනුප්‍රාප්තික ආන්ඩු විසින් පසුගිය දශක කිහිපය පුරාම ක්‍රියාත්මක කෙරෙමින් පවතින කප්පාදු වැඩ පිලිවෙල දිවයිනේ සමස්ත ජනතාවට බලපා ඇති අතර, වතු කම්කරුවන් එය වැඩියෙන් ම බල පා ඇති එක් කොටසකි. ප්‍රමානාවත් අධ්‍යාපන පහසුකම් වතුකරයේ දරුවන්ට නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු ලමා ශ්‍රමිකයින් බවට වේගයෙන් පත්වෙති.

ආසියානු බුද්ධි මන්ඩලයක් වන වෙරිටේ රිසර්ච් (Verite Research) විසින් ‘ශ්‍රී ලංකාවේ කඳුරට දෙමල ජනතාව’ යන මැයෙන් 2022 පෙබරවාරි මාසයේ නිකුත් කල සමීක්ෂන වාර්තාවක ට අනුව: 'වතුවගාව සහිත ප්‍රදේශවල අධ්‍යාපනයේ ගුනාත්මකභාවය පසුගිය දශක කිහිපය පුරා අඩුවී ඇත. .....කෝවිඩ්-19 පැවැතීම මගින් මෙම අසමානතාවය තවදුරටත් නරක අතට හැරී ඇත.' වසංගතය සමයේදී තාක්ෂනික පහසුකම් නොමැති නිසා පාසැල් හැරයාම වැඩිවූ බවත් වතු අංශයේ කුටුම්බවල ආදායම සියයට 23 කින් අඩුවී ඇති බවත් එම නිසාම දරුවන් ලමා ශ්‍රමිකයින් බවට පත්වන බවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

වසර ගනනාවක් පුරා ලාභ පොදි ගසාගෙන ඇති කෝටෝල්ඩ්ස් ක්ලෝතින් පාලකයන් දැන් පාඩු ලබන හෙයින් ප්‍රසාද දීමනාව හෝ වැටුප් වැඩිවීම් ගෙවිය නොහැකියි යන්න බොරුවකි. ඇඟලුම් කර්මාන්තය සමස්තයක් ලෙස පසුගිය වසරවල දැවැන්ත ලෙස ලාභ වැඩි කරගෙන ඇත.

කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදය තුල වැඩ වේගවත් කිරීම, වැටුප් සහ සෙසු දීමනා කප්පාදු කිරීම මගින් ඇඟලුම් කර්මාන්තය ලාභ ලබා ඇත. කම්කරු නීති මගින් නිර්දේශිත සොච්චම් වන්දි ද නොගෙවා කම්හල් වසා දැමීමෙන් රැකියා දහස් ගනනක් විනාශ කෙරුනි.

පසුගිය වසර දෙක තුල කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ, යක්කල, ජාඇල ඒකල සහ කෑගල්ල යන ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා එස්කුවල් සමාගමේ කම්හල්, සොච්චම් වන්දි ගෙවා කම්කරුවන්ගේ රැකියා අහිමි කලේය. කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ පිහිටි අවුරා සහ ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන්ට ගෙවිය යුතු හිඟ වැටුප් නොගෙවා කම්හල් වසා දැමිනි. මෙම වසා දැමීම් හේතුවෙන් පුද්ගලයන් 7,500 කට පමන රැකියා අහිමි විය.

පාඩු ලබන්නේයයි ව්‍යාජ ලෙස මවාපාමින් කම්කරුවන්ට උත්සව ප්‍රසාද දීමනා ඇතුලු වැටුප් වැඩි කිරීම් ප්‍රතික්ෂේප කලද, ආර්ථික අර්බුදය තුල වුවත් රටේ සමස්ත අපනයනවලින් සියයට 40 ක් පමන හිමිවන්නේ ඇඟලුම් කර්මාන්තයට යි. පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා ඩේලි එෆ්ටී පුවත්පතේ වාර්තාවකට අනුව, 2022 වසරේ පලමු මාස 11 තුල ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.14 ක එදාමෙදා තුර ඉහල ම අගයකට ලඟා වී තිබිනි. එය 2021 වසරේ මෙම කාලයට සංසදානාත්මකව සියයට 12.3 ක වර්ධනයකි. තවද, මෙය කොරෝන වසංගතයට පෙරාතු එනම් 2019 වසරේ ආදායම වූ ඩොලර් බිලියන 4.84 ද ඉක්මවා යාමකි.

කෙසේවෙතත් උග්‍ර වෙමින් පවතින ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තයේ අපනයන ඉපැයීම් පසුගිය වසරට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සියයට 14.75 කින් අඩු වී ඇති බව මාර්තු 25 ඩේලි එෆ්ටී පුවත්පත වාර්තා කලේය.

මෙම තත්වය යටතේ ඇඟලුම් කම්කරුවන් 50,000 ට රැකියා අහිමි වී ඇති අතර සමහර ඇඟලුම් කම්හල්වල වැඩ කරන කාලය අඩු කරනු ලැබීමෙන් කම්කරුවන්ගේ වැටුප් පහත වැටී ඇති බව නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස) ලේකම් ඇන්ටන් මාකස් මාර්තු 19 දා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසාතිබුනි.

එහෙත් නිවෙකපොසේස ඇතුලු කිසිදු වෘත්තීය සමිතියක් කම්කරුවන්ගේ අයිතීන් රැකීමට සටන් නොකරනවා පමනක් නොව, රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ දී හාම්පුතුන්ගේ ඍජු ඒජන්තයෝ ලෙස ක්‍රියා කරති. එස්කුවෙල් සමාගමේ කම්හල් පහ වසා දමා කම්කරුවන්ගේ රැකියා අහෝසි කිරීමේ දී නිවෙකපොසේස ලේකම් ඇන්ටන් මාකස් ප්‍රමුඛ භූමිකාවක යෙදුනි.

කොටෝල්ස්ඩ් ක්ලෝතින් කම්කරුවන් වෘත්තීය සමිතියක් තුල සංවිධානය වී නැත. එහෙත් ඔවුහු ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුලු වතුකරයේ වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ කෙරෙහි තමන් තුල පවතින අප්‍රසාදය පල කලහ.

'වතුකරයේ වෘත්තීය සමිතිවත් දේශපාලන පක්ෂවත් අපට සහය දෙන්නෙ නැහැ. අපේ අරගලයට සහය දෙන අපි සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ උනුසුම්ව පිලි ගන්නවා' යැයි කම්කරුවෙක් පැවසීය.

රුසියාවට එරෙහි යුද තර්ජනයත් කොරෝනා වසංගතයත් මගින් උග්‍ර කෙරුනු ගෝලීය ආර්ථික අර්බූදය වටවල කෝටෝල්ඩ්ස් ක්ලෝතින්ග් කම්කරුවන් මෙන්ම කටුනායක සහ කොග්ගල නිදහස් වෙලඳ කලාප ඇතුලු අනෙකුත් ස්ථානවල පිහිටා ඇති ඇඟලුම් කම්හල්වල කම්කරුවන්ටද බලපා ඇති ආකාරයත් රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා කම්හල් තුල ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් සටන තම අතට ගැනීමේ අවශ්‍යතාවයත් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ ඔවුන්ට පැහැදිලි කලහ. සසප වැඩපිලිවෙල පිලිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට කම්කරුවෝ එකඟතාවය පල කලහ.

Loading