ට්‍රෙන්ඩ් සෙටර්ස් ඇඟලුම් සමාගම කම්කරු දෙපාර්තමේන්තුවේ පරීක්ෂනය මඟහරියි

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ (කොනිවෙක) ට්‍රෙන්ඩ් සෙටර්ස් ඇඟලුම් කම්හල වසා දමා කම්කරුවන් ගේ සේවය අහෝසි කිරීම, හිඟ වැටුප් සහ වන්දි නොගෙවීම සම්බන්ධයෙන්, ජනවාරි 23 වෙනිදා කොලඹ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති පරීක්ෂනයට සහභාගිවීම එම සමාගමේ හාම්පුතුන් විසින් මඟහැර ඇත. සමාගමේ පාර්ශවයෙන් සහභාගී නොවීම නිසා කම්කරු දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් පරීක්ෂනය දින නියමයක් නැතිව කල් දමා ඇත.

කොග්ගල ආයෝජන කලාපයේ කම්කරුවෝ

සමාගම සතුව බෙලිඅත්ත සහ බෙලිඅත්තේ සිටිනාමලුව කාර්මික උද්‍යානයේ පැවති කම්හල් දෙක ද කොග්ගල කම්හලට සමගාමීව වසා දැමුනි. කම්හල් ත්‍රිත්වයේම දහසකට අධික කම්කරුවන්ට රැකියා අහිමිවිය.

කම්හල් වසා දැමුනේ පසුගිය සැප්තැම්බර් මාසයේ ය. වසා දැමීමට හේතුව ඇනවුම් ලැබීම ප්‍රමාද වීම බවත් ඇනවුම් ලැබුන වහාම කම්හල යලි විවෘත කරන බවත් එතෙක් වෙනත් රැකියාවක ට නොයන ලෙසත් කම්කරුවන් ට දැනුම් දී තිබුනි. කම්හල වසා දමන විට නොගෙවා තිබුන හිඟ වැටුප් ගෙවන බව සහ වසා තබන කාලය තුල රුපියල් 30,000 ක මූලික වැටුපක් ගෙවන බව ද සමාගමේ අධ්‍යක්ෂ ජෝසන් චොකාටේ කම්කරුවන් ට ලිඛිතව දැනුම් දී තිබුනි.

කම්හල් යලි විවෘත නොකෙරුන අතර පොරොන්දු වූ පරිදි හිඟ වැටුප් හෝ රුපියල් 30,000 මූලික වැටුප ද කම්කරුවන්ට නොලැබුනි. ඉක්බිතිව, අපේක්ෂිත ඇනවුම් නොලැබුන නිසාත්, ඉදිරියේ දී ද ඇනවුම් ලැබීම ගැන විශ්වාසයක් නැති නිසාත් කම්හල් සහ කාර්යාල සියල්ල ස්ථීරව වසා දමන බව ද සමාගම සතු දේපල විකුනා 'හිඟ වැටුප් සහ සියලු ව්‍යවස්ථාපිත' ගෙවීම් කරන බවට චොකාටේ විසින් ඔක්තෝබර් 01 දාතමැති ලිපියකින් කම්කරුවන් ට පොරොන්දු විය.

පොරොන්දු කඩකල සමාගමේ හාම්පුතුන් කම්කරු දෙපාර්තමේන්තුවේ පරීක්ෂනයට ද සහභාගී නොවීමෙන් ඇඟවුම් කෙරෙන්නේ කම්කරුවන්ට හිඟ වැටුප් හෝ කිසිදු වන්දියක් නොලැබෙන බවය. කම්කරුවන් ට බොරු පොරොන්දු දෙමින් අධ්‍යක්ෂ චොකාටේ ඇතුලු සමාගමේ හාම්පුතුන් කලේ රැකියා අහෝසිකිරීමට, හිඟ වැටුප් සහ වන්දි නො ගෙවීමට විරුද්ධව කම්කරුවන්ගේ විරුද්ධත්වය සහ අරගලයක් ඇතිවීම වලක්වාලමින් ඔවුන් ව නොමග යැවීමකි. ධනපති ආන්ඩුවේ කම්කරු දෙපාර්තමේන්තුව සහ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට මවාපාන ස්ත්‍රී මධ්‍යස්ථානය ඒ සඳහා සමාගමේ හාම්පුතුන් ට කාලය ලබා දුන්නේ ය.

කම්කරුවන් වෙනුවෙන් කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන් සහ ට්‍රෙන්ඩ් සෙටර්ස් පාලකයන් සමග සාකච්ඡාව සඳහා එයට බලය පවරන ලිපියකට ස්ත්‍රී මධ්‍යස්ථානය ජනවාරි 22 කම්කරුවන්ගෙන් අත්සන් ලබාගෙන ඇත. එහෙත් සාකච්ඡාවේ දී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කරන ඉල්ලීම් කවරේ දැයි කම්කරුවන් ට නිශ්චිතව සඳහන් කර නැත.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

පසුගිය වසරේ මාර්තු මාසයේ කොග්ගල ඇඟලුම් කම්හල් දෙකක් ඇතුලුව එස්කුවෙල් සමාගමේ කම්හල් 5 ක් වසා දමා සොච්චම් වන්දියකට යටත්කොට කම්කරුවන් 6000 පමන රැකියා අහිමි කෙරුනේ කම්කරු අමාත්‍යංශයේ අනුදැනුම සහ ඇන්ටන් මාකස් නායකත්වය දරන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) පූර්න පිටුබලය ඇතිවය.

ජූනි මාසයේ අවුරා කම්හල වසා කම්කරුවන් 300 ක් දොට්ට දැමුනි. නිවෙකපොසේසේස කම්කරුවන්ගේ අරගල දුර්මුඛ කර පාවාදෙමින් හාම්පුතුන්ට කත් ඇදීමේ කුප්‍රකට වාර්තාවක් සහිත වෘත්තීය සමිතියකි. එස්කුවෙල් කම්කරුවන් සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත් වන බවට කම්කරුවන්ගෙන් ලිපියකට අත්සන් ගෙන සොච්චම් වන්දියක් ගෙවා ඔවුන් ව දොට්ට දැමීමට සමාගමට කොන්දේසි සකසා දුන්නේ එහි නායක මාකස් ය.

නිවෙකපොසේසේස සමග එක්වී ස්ත්‍රී මධ්‍යස්ථානය වැඩට බැසගෙන සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයේ මඟ පෙන්වීම යටතේ කොග්ගල නිවෙක රැකියා අහිමි වූ කම්කරුවන් කන්ඩායමක් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගාගෙන රැකියා සහ සෙසු සමාජ අයිතීන් රැක ගැනීම සඳහා නිවෙක කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ අරගලයකට මූලිකත්වය ගෙන ඇති තතුතුල එයට වල කැපීම සඳහාය. එය නිසැකව ම කරනු ඇත්තේ කම්කරු කොමසාරිස් සහ හාම්පුතුන් එකඟ වන 'විසඳුමක්' කම්කරුවන් මත පැටවීමය. ට්‍රෙන්ඩ් සෙටර්ස් ඇතුලු නිවෙක කම්කරුවන් ඒ උගුලට අසු නොවිය යුතුය.

කම්කරුවන් එවන් විසඳුමක් ප්‍රතික්ෂේප කලයුතු ය. ඔවුන්ගේ ඉල්ලීම් විය යුත්තේ කොන්දේසි විරහිතව සේවයේ පිහිටුවනු! හිඟ වැටුප් ලබාදෙනු! යන්නයි. ඇනවුම් නොමැතිවීම මත කම්හල වසා දමන්නේනම් සේවය කල කාලයට සහ විශ්‍රාම යන කාලය දක්වා ජීවන වියදම ඉහල යාමට සරිලන ආකාරයට ගනනය කල පූර්න වන්දියක් කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය.

ධනපති ආන්ඩුවේ, කම්කරු අමාත්‍යංශය, වෘත්තීය සමිති හා ඒවා සමග පෙලගැසී සිටින ස්ත්‍රී මධ්‍යස්ථානය බඳු රාජ්‍ය නොවන සංවිධාන ද ආයෝජන මන්ඩලය ද පෙනී සිටින්නේ කම්කරුවන්ගේ අයිතීන් රැකීමට නොව ධනපති කර්මාන්තකරුවන්ගේ හා ආයෝජකයන්ගේ ලාබ මඩිගසා ගැනීමේ උවමනාවන් ආරක්ෂා කිරීමටය.

සෙසු කර්මාන්ත මෙන් ම ඇඟලුම් කර්මාන්තය ද ශ්‍රී ලංකාව තුලත් ජාත්‍යන්තරවත් මුහුන පා ඇත්තේ බරපතල අර්බුදයකටය. එය ලෝක ධනවාදයේ අර්බුදයේ ප්‍රතිවිපාකයකි. වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනප-නැටෝ යුද්ධය විසින් එම අර්බුදය වඩා ගැඹුරු කෙරෙමින් ඇත.

ඇනවුම් අඩුවීම සහ ඉල්ලුම පහත වැටීම නිසා පසුගිය වසරේ නොවැම්බර්-දෙසැම්බර් මාස තුල දී ඇඟලුම් අපනයනය සියයට 30 කින් පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවා තිබුනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙලඳපොලවල් වන එක්සත් ජනපදය සහ යුරෝපය 'අවපාතයකට' ඇද දමන 'උද්ධමනකාරී පීඩනයකට' ලක්වී ඇති බවත් “ගෝලීය බාධාකාරී තත්වයන්” මෙම වසරේ මුල් මාස හය තුල ද අපනයන කෙරෙහි අඛන්ඩව බලපානු ඇති බවත් සංගමයේ සභාපති ඉන්දික ලියනහේවගේ පවසා තිබුනි.

යුද්ධය සහ ලංකාවේ ගැඹුරු වන ආර්ථික අර්බුදය තුල බදු ඉහල දැමීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුකාරකයන් බව ද, එම තත්වය 2023 මුල් මාස හය තුලත් පවතිනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබුනි.

සුලු පරිමාන ඇඟලුම් අපනයනයන කර්මාන්තය ද බරපතල අර්බුදයකට මුහුන දී ඇති බව සුලු පරිමාන ඇඟලුම් අපනයන කරුවන්ගේ සංගමයේ මහ ලේකම් හේමන්ත පෙරේරා පසුගිය සතියේ බිස්නස් ටයිම්ස් පත්‍රයට පැවසීය. සියයට 40කින් ඇනවුම් පහත වැටී ඇති බවත් එම තතු තුල සතියක වැඩ දින ගනන 3 ක් 4 ක් හෝ 5 දක්වා අඩු වී ඇති හෙයින් අතිකාල වැඩ නොමැති බවත් ඒ නිසා කම්කරුවන් රැකියාවෙන් ඉවත් ව යන බවත් ඔහු පවසා ඇත.

ඇඟලුම් කර්මාන්තය මුහුන දී ඇති අර්බුදයේ බර පැටවෙන්නේ කම්කරුවන් මතට ය. එය කම්කරු පන්තියට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසකි. රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධාන යටතේ රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ රැකියා හා වැටුප් කප්පාදු කිරීම, බදු පැනවීම, විදුලිය හා ජලය සඳහා වූ සේවා ගාස්තු ඉහල දමයි.

රැකියාව අහිමි වීමෙන් තමන් බරපතල දුෂ්කර කොන්දේසි වලට මුහුන දී සිටින බව ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්හලේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුහ.

එහි කැපුම් අංශයේ වසර දහයක් සේවය කල කම්කරුවෙක් මෙසේ පැවසීය. 'සමෘද්ධි බැංකුවෙන් ගත්ත නය වාරිකය රුපියල් 8200 ගෙවා ගන්නයි, ගෙදර වියදම ට යි මොකක් හරි කුලී වැඩක් හොයාගෙන යනවා. එහෙම වැඩක්වත් සොයා ගැනීම දැන් හරිම අමාරුයි. අපේ වයසත් එක්ක බර වැඩක් කරන්නත් බැහැ. ආන්ඩුව හැමදාම අලුත් අලුත් බදු ගහනවා.බඩුමිල ඉහල යනවා. අපිට මේවට උත්තර හොයන්න අපේම එකමුතුවක් අවශ්‍යයි.'

තවත් කාන්තාවක් පැවසුවේ රැකියාව අහිමිවීමෙන් පසු තමන් සහ දෙමාපියන් සහෝදරියන්ගේ උදව්වෙන් දිවි ගැට ගසා ගන්නා බව යි. 'තාත්තා අපිව පෝෂනය කලේ කුලී වැඩ කරලා. සියලු දුෂ්කරතා තිබිය දී අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගත්ත. වයස අවුරුදු 19 පටන් කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ ඇඟලුම් කම්හල්වල රක්ෂාව කලා.' තවම අවිවාහක බවත්, රැකියාව අහිමිවීමෙන් පසුව වෙනත් රැකියාවක් සොයා ගත නොහැකිව ගෙදර සිටින බවත් ය.

'ග්‍රාමීය බැංකුවේ සුලු මුදලක් තියෙනවා. බැංකුව බංකොලොත් නිසා ඒක ගන්නත් බැහැ.; වෘත්තීය සමිති කම්කරුවෝ ගැන බලන්නේ නැහැ.; ස්ත්‍රී මධ්‍යස්ථානය දාලා තියෙන නඩුවෙන් විසඳුමක් ලැබෙයි කියලත් හිතන්න බැහැ.; චන්දයක් තියෙන නිසා හැමෝම දැන් කියනවා අපේ ප්‍රශ්න විසඳනවා කියල. මට ධනපති පක්ෂ ගැනත් කිසිම විශ්වාසයක් නැහැ.; අපේ ප්‍රශ්න විසඳ ගන්න අපිම සංවිධානය වෙන්න ඕන. කොග්ගල ක්‍රියාකාරී කමිටුව වගේ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු හැමතැන ම හදන්න ඕන' ඇය සඳහන් කලාය.

රැකියාව අහිමි වී මාස හතරක් ගත වී ඇති තතු තුල ගෙදර වියදම ට මුදලක් උපයා ගැනීමට වත් නොහැකි තත්වයකට මුහුන දී සිටින බව තවත් කම්කරු කාන්තාවක් සඳහන් කලාය. 'ෆැක්ටරි කිහිපයකට ම වැඩ සොයාගෙන ගියා. ; වේකන්සි නැහැ කිව්වා. . ස්ටාර් ගාමන්ට් එකේ පසුගිය දවස්වල තාවකාලික අය ගත්තා. ; දැන් නතර කරලා. . රැකියාව කරපු කාලෙත් හම්බවුනේ රුපියල් විසිදාහක් විතර. දැන් ඒකත් නැතිකොට ජීවත් වෙන්නේ කොහොම ද කියල හිතා ගන්නත් බැහැ . ලමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට උගන්න ගන්න එකත් කන බොන එකත් ලොකු ප්‍රශ්නයක්” යැයි ඇය පැවසුවාය.

විපක්ෂයේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. රට 'අර්බුදයෙන් ගොඩ ගැනීමට' එම පිලිවෙත් අවශ්‍යයෙන් ම ක්‍රියාවට දැමිය යුතු බව ඔවුහු කියති. ශ්‍රී ලංකා පොදු පෙරමුන ට සහ වික්‍රමසිංහ ට වැඩකරන ජනතාවගේ විරෝධය සහ පන්ති අරගල මැඩගෙන ජාමුඅ විධානයන් ක්‍රියාවට දැමීමට හැකිවෙතැයි ඔවුන්ට විශ්වාසයක් නැති හෙයින් පලාත් පාලන මැතිවරනයේ දී සහ එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරනයක දී තමන්ට 'ජනවරමක්' ලබා දෙන ලෙස මෙම පක්ෂ ඉල්ලා සිටින්නේ ඒ සඳහාය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති වල භූමිකාව වන්නේ මෙම පක්ෂවලට කම්කරු පන්තිය යටත් කොට කම්කරුවන්ට එරෙහි ප්‍රහාර සඳහා ධනපති පාලක පන්තියේ සහ හාම්පුතුන්ගේ අත් ශක්තිමත් කිරීමය.

කම්කරු පන්තියට ධනපති ක්‍රමය තුල රැකියා සහ සෙසු සමාජ අයිතීන් රැකගත නොහැකිය. රැකියා සහ සමාජ අයිතීන් විනාශ කරමින් අර්බුදයේ බර කම්කරුවන් මත පටවන ධනපති ආන්ඩුවේ සහ නිෂ්පාදකයන්ගේ ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තියට අයිතීන් රැක ගැනීමේ විකල්ප වැඩ පිලිවෙලක් ඇත.

එනම්, කම්හල්, මහා ව්‍යාපාර, වතු සහ බැංකු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටතට ගැනීමේ සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමයි. කොග්ගල නිවෙක කම්කරුවන්ගේ කටුක අත්දැකීම් පෙන්නුම් කෙරෙන්නේ මෙම වැඩපිලිවලට සටන් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

එවන් අරගලයක් සංවිධානය කිරීමට සියලු ධනපති පක්ෂවලින් සහ ධනපති හාම්පුතුන්ගේ සහ ආන්ඩුවේ උපකරන ලෙස ක්‍රියාත්මක වන ව්‍යාජ වාම පක්ෂ, වෘත්තීය සමිති සහ ස්ත්‍රී මධ්‍යස්ථානය බඳු රාජ්‍ය නොවන සංවිධාන වලින් ස්වාධීන ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් තම අයිතීන් සඳහා අරගලය කම්කරුවන් සියතට ගත යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂයේ මඟ පෙන්වීම යටතේ කොග්ගල නිවෙක කම්කරු ක්‍රියාකාරී කමිටුවක් දැනටමත් ගොඩනගා ඇත. එය අනෙකුත් ඇඟලුම් කම්කරුවන් අතරට පුලුල් කල යුතුය. ධනපති ප්‍රහාර වලින් බැටකන අනෙකුත් ක්ෂේත්‍රයන් හි කම්කරුවන්ගේ ද ජාත්‍යන්තර කම්කරුවන්ගේ ද ක්‍රියාකාරී කමිටු සමග සන්ධානගතවීමෙන්, මෙම ප්‍රහාරයන්ගේ මූලය වන ධනවාදයට එරෙහි ඒකාබද්ධ ජාත්‍යන්තර අරගලයක් පෙරට ගැනීම සඳහා පදනම සැකසෙනු ඇත.

Loading