ධීවරයන්ට අවශ්‍ය දේ දැරිය හැකි මිලට ලබා ගැනීමට සටන් කරනු! ශ්‍රී ලංකා ඉන්දියානු ධීවරයන් ජාතිකවාදී ව භේද කරන ප්‍රකෝපකරනයන් ප්‍රතික්ෂේප කරනු!

මෙය 2023 මාර්තු 20 වැනි දා Fight for fishing facilities at affordable prices! Reject communal provocations that divide Sri Lankan and Indian fishermen! මැයෙන් කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව විසින් පල කෙරෙනු ලැබූ ප්‍රකාශයේ පරිවර්තනයයි.

ශ්‍රී ලංකාවේ සෙසු කම්කරුවන් හා දුගීන් මෙන් ම ධීවරයන් වන අපි ද අප්‍රමානවත් ආදායම් උපයමින් ජීවනෝපායේ නිරත වෙමන් ජීවිතය ගැට ගසා ගැනීමට සිදු ව ඇත.

කයිට්ස්හි වයස්ගත ධීවරයෙකු තම දැල ගොඩට අදිමින්

ඉතා ම කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ ධීවර ආම්පන්න, භූමිතෙල් සහ ඩීසල් සමග හැල්මේ ඉහල යන ජීවන වියදමයි. ලාභය අරමුනු කර ගත් ධීවර කර්මාන්ත හේතු කොට ගෙන සාගර ජෛව පද්ධතීන්ගේ පැවැත්ම බිඳ වැටී මත්ස්‍ය සම්පත කඩා වැටීම‍ තවත් දැවැන්ත ගැටලුවකි.

පසුගිය අගෝස්තුවේ දී වික්‍රමසිංහ ආන්ඩුව එක් රැයකින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87ක සිට රුපියල් 340ක් දක්වා, එනම් සියයට 290කට වැඩි ප්‍රතිශතයකින්, වැඩි කලේ ය. මාර්තු 1 වැනි දා භූමිතෙල් මිල රුපියල් 50ක් වැනි නොතැකිය හැකි සුලු මුදලකින් පහත හෙලනු ලැබුනි. භූමිතෙල් සලාක ක්‍රමය දැන් නැතත් මේ ප්‍රශ්න තවමත් පවතී.

දරා ගත නොහැකි ඉන්ධන වියදම් නිසා සුලු පන්න ධීවරයන්ට ගැඹුරු මුහුදට යාම සීමා කරමින් අකාර්යක්ෂ ම සහ අනාරක්ෂිත යල් පිනූ මසුන් බෑමේ ක්‍රමෝපායන්ට පසු බැසීමට සිදු ව ඇත. දිනකට ප්‍රමානවත් මසුන් අස්වැන්නක් නෙලා ගැනීම සඳහා භූමිතෙල් ලීටර 20ක්වත් අවශ්‍ය වෙයි.

දැල් සහ දැල් නිපදවන අමුද්‍රව්‍ය මෙන් ම බෝට්ටු නඩත්තු කිරීමේ විදයම් ද ඉහල ගොස් ඇත. මාලු දැලක නිෂ්පාදන වියදම දැන් රුපියල් ලක්ෂයක් පමන වෙයි. මෙය වසර තුනකට පෙර පැවති මිල මෙන් දෙ ගුනයක වැඩි වීමකි. මුහුදු පතුල සූරමින් මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ට්‍රෝලර් යාත්‍රාවන් නිසා අප විසින් එලෙන දැල්වලට නිරතුරු හානි පැමිනෙයි. කට්ටුමැරම් පහුරුවලින් ධීවර කර්මාන්තයේ නිරත වූ විසාල පිරිසකට තම ජීවනෝපාය අත හැර දැමෙන තැනට බල කෙරී ඇත්තේ දශකයකට වඩා පැරනි එම පහුරු අලුත් වැඩියා කරගත නොහැකි වීමත් ඒවායේ මිල ගනනුත් ඉහල යාම නිසාවෙනි.

ධීවරයන් වන අපට තම අස්වැන්න වෙලඳපොලට ගෙන යාමට සහනදායී ප්‍රවාහන සේවාවන් ඇත්තේ නැත. අප අල්ලා ගන්නා මසුන්ට සහතික මිලන් නොමැති නමුත්, ධනවත් අතරමැදියන්, වෙලඳුන් සහ මුහුදු ආහාර අපනයන සමාගම් දැවැන්ත ලාභ ගරා ගනියි.

මත්ස්‍ය මිල ගනන්වල කඩා වැඩීමක් යනු අපේ ආදායමේ දැවැන්ත කඩා වැටීමකි. කයිට්ස් දූපතට ආසන්නයේ පිහිටා ඇති දූපතක් වන එලුවතීවු දූපතේ ධීවරයෝ නූතන දියුනු තාක්ෂනික ගබාඩ පහසුකම් නොමැති ව විකුනා ගත නොහැකි වූ මසුන් කිලෝ දහස් ගනනින් ඉවත දමන ආකාරය සුලභ දසුනකි.

අප මුහුන දෙන සමාජ කාලකන්නිභාවයේ තවත් ප්‍රධාන හේතුවක් වන්නේ 1983 දී අවුලුවනු ලැබ වසර 26ක් පුරා බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට විරුද්ධ ව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු ගෙන ගිය වාර්ගික යුද්ධයයි. මේ යුද්ධය සිදු කෙරුනු කාලය තුල යම් හෝ අවස්ථාවක දී උතුරු පලාතේ සැලකිය යුතු ජනකායකට තම උන් හිටි තැන් ද සියලු දේපල ද අහිමි ව ගොස් ඇත. 

1990 දී ශ්‍රී ලංකා මිලිටරි ආක්‍රමනයක් සමග ම යාපන අර්ධද්වීපයේ ජනතාවට වන්නියේ ආරක්ෂිත තැන කරා පලා යාමට සිදු විය. එම බෝමයක් පවුල් නැවතත් තම ගම්බිම් කරා පැමිනියේ 2000 වසරින් පසුවයි.

අපගේ නිවාස යුද්ධයෙන් විනාස විය. අපි තවමත් ජීවත් වන්නේ තාවකාලික ව අටවා ගත් හෝ අඩ වසයෙන් වැඩ නිම කල නිවාසවලයි. යාපනය අර්ධද්වීපයේ සෙසු ජනතාව මෙන් ම අපි ද පානීය ජල හිඟයෙන් පීඩා විඳිමු. මහමාර්ග ඉතාමත් අබලන් තත්ත්වයක පවතී. මේ සියලු සමාජ කොන්දේසි විසින් අපේ ජීවන තත්ත්වය නරක අතට හරවා ඇත. අපට අපේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර සහ ගුනාත්මක අධ්‍යාපනයන් ලබා දීමට පවා කොන්දේසි නැති කර දමා ඇත.

මෙම ගැඹුරු වන ප්‍රශ්න ස්වභාවික ව්‍යසනයන් නොව‍, ධනේශ්වර අර්බුදය, කෝවිඩ් 19 වසංගතය සහ යුක්රේනයේ දී රුසියාවට එරෙහි ව ගෙන යන ඇමරිකන් නේටෝ යුද්ධය විසින් තීව්‍ර කරනු ලැබ පෙර නුවූ විරූ මට්ටම්වලට ගැඹුරු වීමේ නිෂ්පාදිතයකි. ඉන්ධන මිල ඉහල යාමේ ප්‍රධාන හේතුවක් වන්නේ යුක්රේනයේ යුද්ධය නිසාවෙන් සැපයුම් දාම බිඳ වැටීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඇමරිකන් ඩොලර් බිලියන 2.9ක නය වැඩසටහනේ විධානයන්ට අනුව කප්පාදු ක්‍රියාවට දමමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුව අර්බුදයේ සමස්ත බර කම්කරු දුගී මහජනතාව මත පටවයි.

ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ තමන් ජාමූඅ වැඩපිලිවෙලට බාධා සිදු කෙරෙන කිසිවක් නොඉවසන බවයි. ඔහු වැඩවර්ජන වාරනය කරමින් කම්කරුවන්ගේ සිසුන්ගේ විරෝධතා තලා දැමීමට මිලිටරිය බලමුලුගන්වා තම ආන්ඩුවේ රුදුරු සමාජ ප්‍රාහරයන්ට විරුද්ධවන්නන් අත්තඩංගුවට ගනිමින් සිටියි. 

අප දරා ගත නොහැකි දරිද්‍රතාවයකටත් සමාජ කාලකන්නි බවකටත් මුහුන දුන්නත් දශක ගනනාවකට පෙර පිහිටුවනු ලැබ ඇති ධීවර සමූපකාර සමිති අපගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට කිසිවක් සිදු කරන්නේ නැත.

මෙම සමූපකාර සමිති බොහොමයක් ඉලංගෛයි තමිල් ඇරසු කච්චි (අයිටීඒකේ), දෙමල ජාතික සන්ධානය (දෙජාස), දෙමල මහජන සභාව සහ දෙමල ජාතික මහජන පෙරමුන (ටීඑන්පීඑෆ්) වැනි දෙමල ධනේශ්වර පක්ෂවලට තම සහය පල කරයි. එ මෙන් ම මෙම සමිතිත් පක්ෂත් ජාමූඅ පිලිවෙත්වලට තම සහය පල කරයි.

ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ මෙන් ම උතුරේ දෙමල දේශපාලන පක්ෂවලට එරෙහි වන ගමන් ම ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ඔවුන්ගේ ධනේශ්වර පන්ති සගයන්ගේ ද ප්‍රතිපත්ති අපි ප්‍රතික්ෂේප කරමු. මෙම සංවිධාන පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දුගී ධීවරයන් ජාතික භේදකරනයන් තුල ගිල්වීමට මාන බලයි.

පසුගිය මාසයේ ධීවර ඇමති ඊපීඩීපී (ඊලම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) නායක ඩග්ලස් දේවානන්ද බලපත්‍ර ක්‍රමයක් යටතේ ඉන්දියානු යාත්‍රාවන්ට ලංකාවට අයත් සාගර සීමාවේ මසුන් ඇල්ලීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව නිවේදනය කලේ ය. මේ ප්‍රකාශය පැමිනියේ ලංකාවේ මුහුදු සීමාවට ඇතුලු වීම නිසා ශ්‍රී ලංකා නාවික හමුදාව දිගින් දිගට ම තමිල්නාඩු ධීවරයන් අත්තඩංගුවට ගන්නා පසුබිමකයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්තඩංගුවට ගනු ලැබ කරෛනගර් දූපතේ රඳවා ඇති ඉන්දියානු ධීවර යාත්‍රා

පෙබරවාරි 28 වැනි දා, ධීවර සමිති 40කට වැඩි ගනනක් අයිටීඒකේ, දෙජාස සහ සිංහල වර්ගවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ රැස්වීමක් පැවැත් වීය. ඔවුන් ධීවර ඇමතිගේ ප්‍රකාශයට විරෝධය පල කරමින් ප්‍රකාශයක් නිකුත් කරමින් තර්ජනය කලේ තම බෝට්ටු මහ පාරට ඇද ගෙන විත් විරෝධතා පවත්වන බවටයි. කෙසේ නමුත් ඉන්දියන් විරෝධය ඇවිල වීමේ ඉතිහාසයක් ඊපීඩීපීයට ද ඇත.

ශ්‍රී ලංකාවේ දෙමල සිංහල ධනේශ්වර පක්ෂ සහ ඉන්දියාවේ ධනේශ්වර පක්ෂ කම්කරුවන් සහ දුගීන් අතර වැඩෙන කෝපය අවමංගත කොට තම තමාගේ ජාතික රාජ්‍යවලටත් එනයින් ලාභ පද්ධතියටත් ඔවුන් ගැට ගැසීමට මෙලෙස ජාතිකවාදය අවුලුවාලයි.

තමිල්නාඩුවේ ලක්ෂ දෙකකට ආසන්න ධීවර පවුල් අතරින් සියයට 91ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට පහලිනි. ඔවුහු ඉන්දියානු මධ්‍යම ආන්ඩුවත් තමිල්නාඩු ප්‍රාන්ත ආන්ඩුවත් උත්සන්න කරන සමාජ ප්‍රහාරයන්ට මුහුන දෙති.

අපගේ සතුරන් වන්නේ ඉන්දියාවේ වෙසෙන අපගේ පන්ති සහෝදරයන් නොවේ; අධිරාජ්‍යවාදයේ සුවච කීකරු අතවැස්සන් වන ශ්‍රී ලංකාවෙත් ඉන්දියාවේත් පාලක පන්තීන් ය. අපගේ වෛරය එල්ල විය යුත්තේ උන්ට එරෙහි ව යි; ඉන්දියානු ධීවරයන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට එරෙහි ව නොවේ.

අපගේ අයිතීන් දිනා ගැනීමට මෙම ධනේශ්වර පක්ෂ සහ ධීවර සමිතිවලින් ස්වාධීන ව ධීවරයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය.

අපි කයිට්ස්හි ධීවර ක්‍රියාකාරී කමිටුව ගොඩනගා ඇත්තේ උතුරේ පමනක් නොව සමස්ත කම්කරු පන්තිය සමග ම සබඳතා ඇති කර ගනිමිනි. ඔබගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට සහය වීමට අපි සූදානම් වෙමු. සෑම වැඩපලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කැඳවුම් කරන මාර්තු 10 වැනි දා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධ ප්‍රකාශයට ද අපි අපගේ එකඟතාව පල කරන්නෙමු. 

අපි පහත ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙමු:

  • භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් පෙර පැවති මිල ගනන් යටතේ ධීවරයන්ට ලබා දෙනු!
  • දැරිය හැකි මිල ගනන් යටතේ ධීවර ආම්පන්න ලබා දෙනු!
  • ධීවරයන්ගේ සියලු නය අහෝසි කරනු! අවාරයේ දී සියලු ධීවරයන්ට දීමනාවක් ලබා දෙනු! 

ඒ සමග ම අපි අවධාරනය කරන්නේ ජාමූඅ නියම කරන සමාජ ප්‍රහාරයන් පරාද කල හැක්කේ තම ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ වූ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරු පීඩිත මහජනතාවගේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනක් බවයි.

ධීවරයන් ද ඇතුලු ගම්බද සහ කම්කරු ජනතාවන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ කැඳවුමට ද අපි සහය පල කරන්නෙමු. සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලය එබඳු සම්මේලනයක් තම අතට ගනු ඇත. එබඳු ක්‍රියාමර්ගයක් සියලු විදේශ නය ප්‍රතික්ෂේප කර කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා සමාගම්, වතු පිටි සහ බැංකු ජනසතු කරනු ඇත.

මෙම අරගලය හා එක්වන්නැයි අපි ඉල්ලා සිටිමු. මෙම විද්‍යුත් ලිපිනය හරහා අප සම්බන්ධ කරගන්න.

action.committees.sl@gmail.com

Loading