ට්‍රෙන්ඩ් සෙටර්ස් ඇඟලුම් සමාගමේ දොට්ට දැමු කම්කරුවන් සේවයේ පිහිටුවීම සහ හිඟ වැටුප් ගෙවීම හාම්පුතා යලිත් මඟ හරියි

ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගමේ ඇඟලුම් කම්හල් වසා දමා කම්කරුවන්ගේ සේවය අත්හිටුවීම, හිඟ වැටුප් සහ වන්දි නොගෙවීම සම්බන්ධයෙන් මාර්තු මස 22 වැනි දින කොලඹ ප්‍රධන කම්කරු කාර්යාලයේ දී පැවැති පරීක්ෂනය විසඳුමකින් තොරව අවසන් වී ඇත. එදින පරීක්ෂනය පැවැත්වුනේ සිව්වන වතාවට ය.

කොග්ගල ආයෝජන කලාපයේ කම්කරුවෝ

ඊට පෙරාතුව පැවති පරීක්ෂන අවස්ථා තුන ට ම ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගමේ පාර්ශවයෙන් කිසිවෙකුත් ඉදිරිපත් නොවී පරීක්ෂනය මඟ හැරි අතර එදින පරීක්ෂනය ට සමාගම වෙනුවෙන් සමාගමේ හිමිකරු වන අධ්‍යක්ෂ ජෝසන් චොකාටේ ගේ බිරිඳ සහ පුත්‍රයා සහභාගී වී ඇත. කම්කරුවන්ගේ පාර්ශවයෙන් කම්කරුවන් 10 දෙනෙකු ද නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගම යේ සමලේකම් ඇන්ටන් මාකස් සහ සංගමයේ ක්‍රියාකාරියෙකු වන ලලිත් සහභාගී වී තිබේ.

ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන්ට 'සාධාරනයක්' ඉටු කරන ලෙස මාකස් ඉල්ලා ඇති අතර ඒ පිලිබඳ 'තීරනය පසුව දැනුම් දෙන' බව සමාගමේ නියෝජිතයන් පවසා තිබේ. කම්කරු නිලධාරීන් හෝ නිවෙකපොසේස නියෝජිතයින් ඊට විරුද්ධ වී නැත.

සමාගමේ නියෝජිතයන් විසින් තීරනය පසුව දැනුම් දෙන බවට කර ඇති ප්‍රකාශය කම්කරුවන්ගේ රැකියා, හිඟ වැටුප් හෝ ප්‍රමානවත් වන්දි මුදලක් නොගෙවා මගහැරීමට දැරෙන ප්‍රයත්නයේ තවත් රංගනයක් විය හැකියි..

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ, බෙලිඅත්තේ සහ බෙලිඅත්ත සිටිනාමලුව කාර්මික උද්‍යානයේ පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හල් තුන, ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගම විසින් 2022 සැප්තැම්බර් මාසයේ වසා දැමීමෙන් කම්කරුවන් 1,500 ට පමන රැකියා අහිමි විය. එය තාවකාලික පියවරක් බවත් ඇනවුම් ලැබුන වහාම කම්හල් යලි විවෘත කරන බවත් කම්කරුවන්ට දැනුම් දුනි.

ඔවුන්ගේ හිඟ වැටුප් සහ කම්හල වසා තැබෙන කාලය තුල රුපියල් 30,000ක මූලික වැටුපක් මාසිකව ගෙවන බවට අධ්‍යක්ෂ චොකාටේ කම්කරුවන්ට පොරොන්දු විය. පසුව ඇනවුම් ලැබීම පිලිබඳව නිශ්චිත කාල වකවානුවක් නැති හෙයින් සමාගම පවත්වාගෙන ගිය කම්හල් හා කාර්යාල වසා දමන බවත් තම පවුලේ නිවස සහ සමාගම සතු සියලු දේපොල විකුනා දෙසැම්බර් මාසය තුල හිඟ වැටුප් සහ වන්දි ගෙවන බවට ඔක්තෝබර් 1 දිනැති ලිපියකින් චොකාටේ කම්කරුවන්ට යලි පොරොන්දු විය. චොකාටේ විසින් මෙම පොරොන්දු කඩකර ඇති තතු තුල රැකියා, වැටුප් හෝ වන්දි පිලිබඳව 'පසුව තීරනය' දැනුම් දීම ගැන ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන් කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු ය.

නිවෙකපොසේස යේ ශාඛාවක් ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගමේ කම්හල් තුල ක්‍රියාත්මක නොවේ. කම්කරුවන් වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පමිනිල්ල ගොනු කලේ ස්ත්‍රී මධ්‍යස්ථානය විසිනි. ස්ත්‍රී මධ්‍යස්ථානය යනු නිවෙකපොසේස සමග පෙලගැසී සිටින රාජ්‍ය නොවන සංවිධානයකි. කම්කරුවන්ගේ අරගල පාවාදෙමින් හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන් ට කම්කරුවන් යටත් කිරීමේ කුප්‍රකට වාර්තාවක් ස්ත්‍රී මධ්‍යස්ථානයට සහ නිවෙකපොසේස සතුව ඇත.

කොග්ගල නිවෙක හි කම්හල් දෙකක් ඇතුලුව එස්කුවෙල් සමාගමේ ඇඟලුම් කම්හල් 5 වසා දමා 6000 ට අධික කම්කරුවන්ගේ රැකියා අහෝසි කිරීමේ දී නිවෙකපොසේස සහ මාකස් ප්‍රමුඛ ද්‍රෝහී භුමිකාවක නිරත වූහ. එස්කුවෙල් සමාගම සහ නිවෙකපොසේස අතර මාස 18 ක් දිගස්සුන සාකච්ඡා වලින් පසුව සොච්චම් වන්දියකට යටත් කොට කම්කරුවන්ගේ රැකියා අහිමි කෙරුනි. මාකස් විසින් කම්කරුවන් එයට එකඟ කරගනු ලැබුවේ මෙම වසරේ මාර්තු මාසයේ වෙනත් ආයෝජකයෙකු විසින් කම්හල් විවෘත කරන බවට හා ඒ වන විට කම්කරුවන් ට ගෙවමින් පැවති වැටුප් මට්ටම් වලට අනුකුලව යලි රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දුවක් දී ඔවුන් ව නොමග යැවීමෙනි.

ට්‍රෙන්ඩ් සෙටර්ස් පරීක්ෂනයට මාකස්ගේ මැදිහත්වීමේ අරමුන වන්නේ කම්කරුවන්ගේ අයිතීන් දිනාදීම නොව, හාම්පුතාගේ අරමුනුවලට ගැලපෙන ආකාරයේ විසඳුමකට කම්කරුවන් යටත් කිරීමයි.

ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන් හාම්පුතුන් මෙන් ම නිවෙකපොසේස කෙරෙහි ද විශ්වාසය නොතැබිය යුතුය. තම අයිතීන් දිනා ගැනීම සඳහා ඔවුන් හැරිය යුත්තේ ශ්‍රී ලංකාවේ සහ සෙසු රටවල සහෝදර ඇඟලුම් කම්කරුවන් වෙතට ය. කොග්ගල කම්කරු ක්‍රියාකාරී කමිටුව ඇඟලුම් කම්කරුවන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ. එම උද්ඝෝෂන අවශේස ඇඟලුම් කම්කරුවන් අතරට ගෙන යමින් පුලුල්කර ශක්තිමත් කල යුතු ය .

එම උද්ඝෝෂනය තුල දී ට්‍රෙන්ඩ් සෙටර්ස්, එස්කුවෙල් සහ අවුරා ඇතුලු රැකියා අහිමිකල සියලු ඇඟලුම් කම්කරුවන්

* කොන්දේසි විරහිත නැවත සේවයේ පිහිටුවන ලෙසත්

*හිඟ වැටුප් ලබාදෙන ලෙසත්

*කම්හල වසා දමන්නේ නම් ජීවන වියදමට සරිලන සහ විශ්‍රාම කාලයට අනුව ගනනය කෙරුන පූර්න වන්දි මුදලක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිය යුතුය.

ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් අහිමි කිරීම සමස්ත ඇඟලුම් කම්කරුවන්ට මෙන් ම කම්කරු පන්තියට එරෙහි පොදු හා පුලුල් ප්‍රහාරයක කොටසකි.

අවුරා කම්හල ජුලි මාසයේ වසා දැමුනි. කොක්ගල බ්‍රැන්ඩික්ස් කම්හල මාර්තු 28 වන දින සිට වසා දමා ඇති අතර අප්‍රේල් 18 වෙනිදා එය නැවත විවෘත කරන බවට දැනුම් දී ඇත. 'දැනට ඕඩර් නැහැ කිව්වා. නැවත අලුත් ඕඩර් එක්ක පටන් ගන්නවා කිව්වා. මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ' යනුවෙන් බ්‍රැන්ඩික්ස් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

මාස්හෝල්ඩින්ග්ස් සමාගමට හිමි කොග්ගල යුනිචෙලා හි කම්කරුවන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර පසුගිය මාස කිහිපය තුල නිෂ්පාදනය පවත්වාගෙන යන්නේ විටින් විට වැඩ පේලි (ලයින්) සංඛ්‍යාව අඩුකරමිනි. එම සමාගමට අයත් කුරුනෑගල මත්තේගම කැෂුවල් ලයින් කම්හලේ වැඩ දින ගනන සතියකට දින දෙකක් දක්වා අඩුකර ඇත.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මුහුන දී ඇති අර්බුදය කම්කරුවන්ගේ වියදමින් පියවා ගැනීමට ධනපති හාම්පුතුන් උත්සාහ කරන්නේ ඒ ආකාරයට යි.

ඇනවුම් පහත වැටීම නිසා 2023 මුල මුල් මාස හය තුල ඇඟලුම් අපනයනය සියයට තිහකින් පහත යනු ඇති බවත් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික හේවාලියනගේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවසීය. රුසියාවට එරෙහි යුක්‍රේන යුද්ධය සහ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ප්‍රධාන වෙලඳපොලවල් වන ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් ආර්ථික අවපාතයකට ඇද දමන උද්ධමනකාරී පීඩනයකට ලක්ව ඇති නිසා ඉදිරියේ දී ගෝලීය බාධාකාරී තත්වයන් බලාපොරොත්තු විය හැකි බව ද ඔහු සඳහන්කර තිබුනි.

එම තතු තුල ඇඟලුම් කම්කරුවන් මත ප්‍රහාර ද තීව්‍ර කෙරෙනු ඇත. ඒ සඳහා සුදානමේ කොටසක් ලෙස බෙටර් වර්ක් ශ්‍රී ලංකා (Better Work-Sri Lanka) නම් වූ වැඩපිලිවෙල යටතේ කම්කරුවන් සූරාකෑමේ ක්‍රම වැඩි වර්ධනය කෙරෙයි. එය ක්‍රියාවට දැමෙන්නේ ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය, ලෝක බැංකුව සහ ඊට අනුබද්ධ මුල්‍ය සංස්ථාවන්, වෘත්තීය සමිති හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහභාගිත්වය ඇතිවය. ඇඟලුම් කම්කරුවන්ගේ 'සේවා සහ සෞඛ්‍ය සුරක්ෂිත' කිරීම යන්න ඒ සඳහා යොදාගෙන ඇති කඩතුරාවයි.

මෙම වැඩපිලිවෙලේ අරමුන ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදයේ ලේකම් යොහාන් ලෝරන්ස් ගේ පහත ප්‍රකාශයෙන් පැහැදිලිවෙයි:

“2021 දෙසැම්බර් මාසයේදී, විශේෂයෙන් වසංගතය අතරතුර සහයෝගී ප්‍රවේශයක් හරහා අපි ආරක්ෂිත සේවා ස්ථාන ගොඩනැගීම සහතික කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති සමඟ වැදගත් අවබෝධතා ගිවිසුමකට එලඹුනා. බෙටර් වර්ක් වැඩසටහනේ කොටස්කරුවෙකු වීමෙන් අපි යන ගමන තව තවත් ශක්තිමත් වුනා'

කම්කරු අමාත්‍යංශයේ සහභාගිත්වය ද ඇති ව අත්සන් කෙරුනු අවබෝධතා ගිවිසුම මගින් කෙරුනේ වෘත්තීය සමිතිවල ඍජු සහයෝගයෙන් කම්කරුවන්ගේ වැටුප් සියයට 50 කින් කැපීම සහ 150,000 ක පමන රැකියා අහෝසිකිරීමකි.

බෙටර් වර්ක් වැඩ සටහනේ ප්‍රධානි මුරලි කේෂව කනපති ගේ ප්‍රකාශයකින් එහි අරමුන පැහැදිලි වෙයි. ඔහු මෙසේ කියයි: “අපගේ බලාපොරොත්තුව වන්නේ නීතිරීති අගයන සේවා සංස්කෘතියකට වඩා වෘත්තීය සුරක්ෂිතභාවය අගයන සංස්කෘතියක් ඇති කිරීමයි. මෙම වැඩසටහන සේවා ස්ථාන සහයෝගීතාව ප්‍රවර්ධනය කරන ආකාරය පිලිබඳ සාක්ෂියක්. අපට දැන් අවශ්‍ය වන්නේ ජාතික සංවාදයක් ඇති කිරීම සහ සේවා ස්ථානයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අපගේ කම්කරු නීති ශක්තිමත් කිරීමයි.'

මෙහි අර්ථය වනුයේ, වැඩ වේගවත් කිරීම, වැටුප් කැපීම ඇතුලු කොන්දේසි මත ධනපති හාම්පුතුන්ට කඹුරන සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමෙන 'සංස්කෘතියකට' කම්කරුවන් යටත් විය යුතු බවයි.

වැඩපොල තුල පවත්නා, සේවා සහ සෞඛ්‍ය සුරක්ෂිතභාවය පිලිබඳ යථා තත්වය පැහැදිලි කරමින් කොග්ගල ගාමන්ට් හි කම්කරු කාන්තාවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවාය: 'දැන් දවල් කාලේ දෙන කෑම එක නවත්තලා. තේ එකට විස්කෝතු දීපු එකත් නවත්තල. කිසිම නඩත්තුවක් නැහැ. .'

බෙටර් වර්ක් වැඩ සටහනට කරබදු වෙමින් නිවෙකපොසේස, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ලංකා වෙලඳ කාර්මික සහ පොදු සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති කරන්නේ ධනපති හාම්පුතුන්ගේ මෙම ප්‍රතිගාමී සැලසුම් වලට මුක්කු ගැසීමකි.

Loading