බංග්ලාදේශ ආන්ඩුව නව “අත්‍යවශ්‍ය සේවා” වැඩ වර්ජන විරෝධී නීති සභාගත කරයි

මෙය Bangladeshgovernmenttablesnew “essentialservices” anti-strikelaws යන මැයෙන් 2023 ‌ අප්‍රේල් 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.

අප්‍රේල් 6දා, බංග්ලාදේශ ආන්ඩුව විසින් නවීකරනය කරන ලද අත්‍යාවශ්‍ය සේවා පනත් කෙටුම්පතක් සභාගත කල අතර, මෙය අගමැතිනි ෂීක් හසීනාගේ පාලන තන්ත්‍රයට ඕනෑම අංශයක් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ සියලු කාර්මික ක්‍රියාවන් නීති විරෝධී කිරීමට ඉඩ සලසයි. මර්දනකාරී පියවර හඳුන්වා දෙනු ලැබුවේ ඉහල යන උද්ධමනය හා නරක අතට හැරෙන ජීවන තත්වයන් පිලිබඳව කම්කරුවන් හා දුගීන් අතර නැගෙන කෝපය මධ්‍යයේ ය.

අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වී නව මැතිවරනයක් පවත්වන ලෙස බල කිරීම සඳහා හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ ප්‍රධානත්වයෙන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේආධාරකරුවන් 2022 දෙසැම්බර් 10 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වූ රැලිය. [AP ඡායාරූපය/ මහමුද් හොසෙඉන් ඔපු] [AP Photo/Mahmud Hossain Opu]

පාර්ලිමේන්තු ස්ථාවර කමිටුවට ඉදිරිපත් කෙරුනු පනත් කෙටුම්පත දින 30ක් ඇතුලත යෝජිත වෙනස්කම් සමඟ නැවත වාර්තා කරනු ඇත. සම්මත වුවහොත්, අවශ්‍ය යැයි සලකන ඕනෑම සේවාවක් 'අත්‍යවශ්‍ය' යයි ප්‍රකාශ කිරීමට ද, වැඩ වර්ජන තහනම් කිරීමට ද සහ 'නීති විරෝධී වැඩ වර්ජන' වලට සම්බන්ධ ඕනෑම අයෙකුට මාස හයක සිරදඬුවමක් සහ ටකා 50,000 (ඇමරිකානු ඩොලර් 470) දඩයක් පැනවීමට ද, නව නීතිය ආන්ඩුවට ඉඩ සලසනු ඇත.

දැනටමත් පවතින අත්‍යාවශ්‍ය සේවා පනතේ දිගුවක් වන මෙම පනත් කෙටුම්පත ආන්ඩුවේ ඒකාධිපති බලතල පුලුල් කිරීමේ තවත් පියවරකි. 2018 දී හසීනා ආන්ඩුව සම්මත කල ඩිජිටල් ආරක්ෂක පනත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමටත්, බංග්ලාදේශ විරුද්ධ පක්ෂ නායකයින් සිරගත කිරීම සම්බන්ධයෙන් විරෝධතා මැඩපැවැත්වීමට ත් භාවිතා කෙරිනි.

වත්මන් අත්‍යාවශ්‍ය සේවා පනත මගින් විදුලිබල උත්පාදනය සහ බෙදාහැරීම් ආශ්‍රිත ක්‍රියාකාරකම්, තැපැල් හා විදුලි සංදේශ, ඊ-වානිජ්‍යය, අන්තර්ජාල සහ ඩිජිටල් සේවා, මෙන්ම දුම්රිය හා ගංගා, මහා මාර්ග සහ ගුවන් මගින් සියලුම භාන්ඩ හා මගීන් ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල සේවකයින්ගේ වැඩ වර්ජන දැනටමත් තහනම් කරනු ලැබ ඇත.

මාධ්‍ය වාර්තාවලට අනුව, නව පනත් කෙටුම්පතට තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය; වරාය හෝ වරාය ආශ්රිත සේවා; සහ සන්නද්ධ හමුදා සම්බන්ධ ඕනෑම සේවා සහ ව්‍යාපාර ඇතුලත් වේ. අනෙකුත් අංශවලට රජය සතු හෝ පාලිත සංරක්ෂන පද්ධති, ජල සම්පාදන හෝ අපද්‍රව්‍ය පද්ධති සහ රෝහල්, සායන, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ බෙහෙත් ශාලා වැනි අදාල සෞඛ්‍ය සේවා ඇතුලත් වේ.

කොවිඩ්-19 වසංගතය සහ දැනට සිදු කෙරීගෙන යන රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය මගින් නරක අතට හැරුනු සමාජ තත්වයන් පිරිහීමට එරෙහිව කම්කරු පන්ති අරගල පිපිරීමක් පිලිබඳ බංග්ලාදේශ පාලක පන්තියේ උත්සුකයන් විසිනුයි අත්‍යවශ්‍ය සේවා පනත දිගු කිරීම පිනිස පොලඹවනු ලබන්නේ.

පසුගිය අගෝස්තුවේ දී, බංග්ලාදේශ ඉතිහාසයේ ඉහලම අගය ලෙස පෙර නොවූ විරූ ලෙස ඉන්ධන මිල ඉහල දැමීම් වලට ප්‍රතිචාරයක් වශයෙන්, කම්කරුවන්, සිසුන් සහ දුගීන්ගේ රටපුරා විරෝධතා ආන්ඩුවට එරෙහිව පුපුරා ගියේය.

ජනවාරි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) දැඩි කප්පාදු පියවර මාලාවක් ක්‍රියාවට නැංවීමේ කොන්දේසි යටතේ හසීනා ආන්ඩුවට ඩොලර් බිලියන 4.7 ක නය මුදලක් ලබා දුන්නේය. බිස්නස්ස්ටෑන්ඩර්ඩ් පුවත්පතට අනුව, “ඉන්ධන මිලෙහි ගතික ගැලපීම, [එනම් විනිමය අනුපාතිකය වෙලඳපොල බලවේගවලට යටත් කිරීම] රාජ්‍ය බැංකුවල දේශීය පැහැර හැරීම් නය සියයට 10 දක්වා පහත හෙලීම, පැහැර හරින ලද නය ආපසු අයකර ගැනීම සඳහා වත්කම් කලමනාකරන සමාගම් පිහිටුවීම සහ විනිමය අනුපාතිකය වෙලඳපොල බලවේගයන්ට යටත් කිරීම” මෙයට ඇතුලත් විය.

ජාමූඅ නය අනුමත වීමටත් පෙර, මෙහි ඉල්ලීම් වලට අනුකූල වීම සඳහා ආන්ඩුව රජයේ සහනාධාර අඩු කිරීම සඳහා ගෑස් සහ විදුලි ගාස්තු ඉහල දැමීය.

ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවටත් සහ උද්ධමනය, ඉන්ධන මිල වැඩිකිරීම, ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරවලට එරෙහිවත් සහ නව මැතිවරනයක් ඉල්ලා විපක්ෂයේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (බීඑන්පී) විසින් දෙසැම්බර් 10දා කැඳවනු ලැබූ විරෝධතාවලට දස දහස් ගනනක් ජනයා සහභාගී වූහ.

පෙබරවාරි 5දා, ඩකාහි ඇඟලුම් කම්කරුවෝ, වැඩිවන නිවාස කුලී සහ ජීවන තත්වයන් දැඩි ලෙස කප්පාදු කිරීමට වන්දි ගෙවීම සඳහා අවම මාසික වැටුප ටකා 8,000 (ඇමරිකානු ඩොලර් 75) සිට ටකා 23,000 (ඩොලර් 215) දක්වා වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂන කලහ.

බංග්ලාදේශ වෘත්තීය සමිති නායකයින් ආන්ඩුවේ නව අත්‍යවශ්‍ය සේවා පනත විවේචනය කර ඇති අතර, ඔවූහු ආන්ඩුවේ උත්සන්න කරමින් පවතින මර්දනකාරී පියවරයන්ට එරෙහිව කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීමට විරුද්ධ වෙති.

ජලය මතින් කෙරෙන ප්‍රවාහන අංශය පිලිබඳ කම්කරු සංගමයක් වන බංග්ලාදේශ නූජන් ස්‍රමික් සම්මේලනය “පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තැබීමට පෙර පාර්ශ්වකරුවන්” සමග - එනම් වෘත්තීය සමිති නිලධරය සමග - කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වීම සම්බන්ධයෙන් ආන්ඩුව විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කල අතර ඔවූහු අනාගත විරෝධතා පිලිබඳ නොපැහැදිලි තර්ජනයක් කලහ.

වෛද්‍යවරු සහ හෙදහෙදියෝ 'ඉතා වලංගු' ඉල්ලීම් මත විරෝධතා පැවැත් වූහ. “අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ නාමයෙන් විරෝධතා දැක්වීමේ මූලික අයිතිය තහනම් කිරීමට ඉඩ නොදිය යුතු” බව එම සංගමය ප්‍රකාශ කළේය. විරෝධතා දැක්වීමට ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඝනය කරන ලද නීතියට එරෙහිව නීතිමය පියවර ගැනීමට එය තර්ජනය කලේය.

ආන්ඩුවේ කුරිරු ක්‍රියාමාර්ග පෙරාතුවද යලි යලිත් ක්‍රියාත්මක කිරීමට එරෙහිව වෘත්තීය සමිති වල මෙවැනි ප්‍රකාශ සහ මෙම සමිති විසින් කැඳවන ලද හානිකර නොවන විරෝධතා නිෂ්ඵල බව සනාථ වී ඇත.

2022 ඔක්තෝම්බර් මාසයේදී, හසීනා ආන්ඩුව, රටේ විශාලතම වෘත්තීය සමිති සම්මේලනය වන කම්කරුවන්ගේ හා සේවකයින්ගේ එක්සත් පෙරමුනේ (ශ්‍රමීක් කර්මචාරි ඔයිකියා පරිශාද්) විරෝධතා නොසලකා හරිමින්, අත්‍යාවශ්‍ය සේවා පනතේ පෙර අනුවාදය සම්මත කළේය. ආන්ඩුව පෙරලීමට කම්කරුවන් බලමුලු ගැන්වීමට වඩා, 'පවත්නා නීතිය තුල වැඩ වර්ජන නියාමනය කිරීමට අවකාශයක්' ඇති බවට ආන්ඩුවට උපදෙස් දෙමින්, පනත් කෙටුම්පත අවලංගු කරන ලෙස සම්මේලනය ආයාචනා කලේය.

බංගලාදේශය එහි “ආර්ථික ප්‍රගතිය” පිලිබඳව මහත්සේ ප්‍රශංසාවට ලක් වූවද දැන් එය පිරිහෙමින් පවතින්නේ වැඩෙන මූල්‍ය ගැටලුවලට රට මුහුන දෙමිනි. ලෝක බැංකුව 2022-23 මූල්‍ය වර්ෂය සඳහා රටේ වර්ධන වේගය සියයට 6.7 සිට සියයට 5.2 දක්වා පහත දමා ඇත. මාර්තු මාසයේදී උද්ධමනය සියයට 9.33 දක්වා ඉහල ගොස්, විදේශ විනිමය සංචිත වසර හයක අඩු අගයක් වන ඩොලර් බිලියන 31.14 දක්වා පහත වැටී ඇත.

බංග්ලාදේශයේ වර්ධනය වන සමාජ අසමානතාවය පිලිබඳව කනස්සල්ල පල කරමින්, නිව්ඒජ් පුවත්පත අප්‍රේල් 10 කතුවැකිය මෙසේ ලිවීය: 'අතීතයේ දී, අන්ත ධනවත් ජනගහනය බංග්ලාදේශයේ වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් වර්ධනය විය', යනුවෙන්ද නමුත් මිලියන 35 ක් බංගලිදේශ ජනතව එනම් සියයට 20 ක් පමන ජනගහනය දැනට දරිද්රතා රේඛාවට පහලින් ජීවත් වන්නේ යයි යනුවෙන්ද අනතුරු ඇඟවීය.

දැන් පහත වැටෙන විදේශ සංචිතවලට සහ ඉහල යන සමාජ ආතතීන්ට මුහුන දී සිටින බංග්ලාදේශයට ගෝලීය ආර්ථික අර්බුදයේ තීව්‍ර වන බලපෑම ශ්‍රී ලංකාව හා සමාන්තර වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය බිඳවැටීම සහ පසුගිය වසරේ මහජන ආන්ඩු විරෝධී විරෝධතා සහ වැඩ වර්ජන පුපුරා යාම හේතුවෙන් ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ පාලනයට ඉල්ලා අස්වීමට බල කෙරුනි.

ජාමූඅ විසින් නියම කරන ලද ' මුර්ග අත්හදා බැලීම' පනවන වික්‍රමසිංහ තන්ත‍්‍රය විසින් ක‍්‍රියාවට නංවන මර්දනකාරී අත්‍යාවශ්‍ය සේවා වර්ජන විරෝධී තහනම් කිරීම් සහ අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන් ම හසීනා ආන්ඩුව අනුකරනය කරමින් සිටී. කාලයක් පුරා පැවති විශ‍්‍රාම වැටුප්වලට එරෙහි ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගේ ප‍්‍රහාරවලට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයින් මාස තුනක අරගලය දිගටම කරගෙන යන ප‍්‍රන්සයේ පුපුරන සුලු තත්වය දෙස ඇගේ ආන්ඩුව නොසන්සුන්ව බලා සිටින බවට සැකයක් නැත.

Loading