වෘත්තීය සමිති නිලධරය ප්‍රති-ත්‍රස්ත පනතට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වැලැක්වීමේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරයි

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මූලිකත්වය යටතේ පෙලගැසී සිටින වෘත්තීය සමිති එකමුතුවේ නායකයන් විසින් බ්‍රහස්පතින්දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙලිදරව්වූයේ, ප්‍රති-ත්‍රස්ත පනත “පරාජය කිරීමේ” නමින් සඳුදා සිට අරඹන හුදු විරෝධතා උද්ඝෝෂන ව්‍යාපාරයක් තුල කම්කරුවන් කොටු කිරීමේ වැඩපිලිවෙලක් ඔවුන් විසින් ක්‍රියාවට නැංවීමට යන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ වෘත්තීය සමිති එකමුතුව (වෘසඑ) කැඳවුම්කරු වසන්ත සමරසිංහ. වෛද්‍ය රසායනාගාර විද්‍යා විද්‍යාලයේ සභාපති රවී කුමුදේශ් සමරසිංහගේ වම් පසින් සිටී. [ඡායාරූපය: WSWS]

මෙම වෘත්තීය සමිති එකමුතුවට (වෘසඑ), ජවිපෙ විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) සංවර්ධන නිලධාරි සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, සියලු ටෙලිකොම් සේවක සංගමය (සිටෙසේස) සහ ලංකා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති දුසිම් ගනනක් අයත්වේ.

මාධ්‍ය හමුව පැවැත්වුනේ එදිනම පැවති වෘසඑ සාකච්ඡාවකින් ඉක්බිතිවයි. එම මාධ්‍ය හමුවේ දී ප්‍රති-ත්‍රස්ත පනතට එරෙහිව එලඹෙන සතියේ “පුලුල් උද්ඝෝෂනයක්” ආරම්භ කිරීමට ද ඊට අමතරව ජීවන වියදමට සරිලන දීමනාවක්, බදු පනත සංශෝධනය කිරීම, රාජ්‍ය ආයතන විකිනීම නතර කිරීම සහ විදුලි බිල අඩුකිරීම ද උද්ඝෝෂනයේ ඉල්ලීම් වලට ඇතුලත් වන බව සමිති නිලධරය නිවේදනය කලේය.

ප්‍රති-ත්‍රස්ත පනත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ කලින් නිවේදනය කර තිබුනි. නැගෙන මහජන විරෝධය මධ්‍යයේ රාජපක්ෂ සෙනසුරාදා සඳහන් කලේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවකින් උත්සුකයට ලක්වූ වගන්ති “වෙනස්කම් කිරීමෙන්” පසු පනත ගෙනෙන බවයි. කෙසේවෙතත්, පනත ඉදිරිපත් වනු ඇත්තේ එහි රුදුරු වගන්තිවල කිසිදු මූලික වෙනස් කිරීමකින් තොරව වනු ඇත.

ජවිපෙ ප්‍රමුඛ නායකයෙකු සහ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් කල පරිදි ප්‍රති-ත්‍රස්ත පනතට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාරවලට එරෙහිව “ජනතාව දැනුවත් කිරීම” සඳහා අප්‍රේල් 24 වෙනි සඳුදා අත් පත්‍රිකාවක් බෙදීම, පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අඟහරුවාදා වැඩපොලවල් ඉදිරිපිට උද්ඝෝෂනයක් කිරීම ඇතුලු වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන බවයි.

එතැනින් නතර නොවී තවත් බලගතු වැඩපිලිවෙලක් ගෙනයන බව පෙන්වීමට සමරසිංහ ප්‍රකාශ කලේ සමිති නිලධරය විදේශ තානාපතීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සියලු මානව හිමිකම් සංවිධාන, සියලු දේශපාලන පක්ෂ නායකයන්, ත්‍රයිනිකායික මහ නායකයන් සහ අගරදගුරු හා අනෙකුත් පූජකයන් හමු වී ප්‍රති-ත්‍රස්ත පනත ගැන කරුනු පැහැදිලි කිරීමට ද සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන් හමු වී පනත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන ලෙස ඉල්ලා සිටීමට ද පියවර ගන්නා බවයි. පනත පරාජය කිරීමට මහ ජනතාව බලමුලු ගන්වා “පාරට බස්සන බවට” සමරසිංහ ගුගුලේය.

“මර්දනයන්ට, තර්ජනයන්ට අපි යටත් වෙන්නේ නැහැ. ඒ වගේම සමස්ත ජනතාව තමන්ට එල්ල වන ප්‍රහාර වලට එරෙහිව නැගී සිටිද්දී ඒක මර්දනය කරන්න ප්‍රති-ත්‍රස්තවාදී පනත ගෙනල්ල සූදානම් වෙනවා නම් ඒක පරාජය කරන්න අපි සියලුදෙනා (වෘසඑ) සූදානම්' බවට ලංගුසේස ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පුරසාරම් දෙඩීය. ටෙලිකොම් සිටෙසේස ලේකම් ජගත් ගුරුසිංහ ද ආන්ඩුවට එබඳුම ගර්ජනාවක් කලේය.

එක දෙයක් පැහැදිලිය. එනම්, සමිති නිලධරය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමට එරෙහිව සිටින බවයි. මාර්තු 1 දින හා 15 දින මෙම වෘත්තීය සමිතිවල සන්ධාන දෙකක් ඉහල ආදායම් බදුවලට, පුද්ගලීකරනයට හා ජීවන වියදම් බරට එරෙහිව සීමිත වර්ජන හා විරෝධතා කැඳවූහ. එහෙත්, එම දින දෙකේ මිලියන භාගයක් බැගින් කම්කරුවන් මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වී පෙන්නුම් කලේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට තමන්ට පවතින අධිෂ්ටානය යි.

ආන්ඩුව මෙන්ම සමිති නිලධරයෝ ද කම්කරුවන්ගේ අරගල ගැන බියට පත්ව සිටිති. ඔවුන් සියලු දෙනා ධනපති ක්‍රමයට හා රාජ්‍යයට කැපවී සිටිති. ජාමුඅ වැඩපිලිවෙල ගැන විටින්විට ඔවුන් කරන “විවේචන” කම්කරුවන්ගේ ඇස්වලට වලට වැලි ගැසීමේ ව්‍යාජයන් ය.

පලමු වැන්න විදේශ තානාපතීන්ට, එජා සංවිධානයට හා මුල්‍ය අරමුදලට මෙන්ම බෞද්ධ මහා නායකයන්ට හා අනෙකුත් පූජකයන්ට, දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට කන්නලවු තුලින් ප්‍රති-ත්‍රස්ත පනත පරාජය කල හැකිය යන්න තවත් බේගලකි. මේ සංවිධාන හා පුද්ගලයන් සියලු දෙනා ත්‍රස්ත විරෝධී නීති අවශ්‍යයයි එකහෙලා පිලිගන්නවුන්‍ ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට හා මන්ත්‍රීවරුන්ට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි. ජේ.ආර්.ජයවර්ධන ගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් 1979 ක්‍රියාවට දැමූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුප්‍රාප්තික සියලු ධනපති ආන්ඩු විසින් ද දෙමල මහජනතාවට සහ කම්කරු පන්තියට විරුද්ධව රුදුරු මර්දනය සදහා යොදා ගනු ලැබූහ.

සමිති නායකයන්ගේ විරෝධතා කැඳවීම් කම්කරුවන්, දුගීන් හා සිසුන් අතර ත්‍රස්ත විරෝධී නීති කෙරෙහි පවතින විරුද්ධත්වය වාෂ්පකර විසුරුවා හැරීම සඳහා දැරෙන උපාමරුවකි. විරෝධතා දැක්වීම් මගින් වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන ජාමුඅ මුර්ග ප්‍රහාර හෝ රුදුරු මර්දනකාරී පාලනය වෙනස් කල නොහැකිය.

ජවිපෙ සමිති මූලිකත්වය ගනිමින් ගෙනයන ආන්ඩු විරෝධී උද්ඝෝෂනවල තවත් දුෂ්ට උවමනාවක් ද පවතී. එනම්, ජවිපෙ නායකත්වයෙන් පවතින ජාතික ජනබල වේගය අතට ආන්ඩු බලය ගැනීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් සහ රාජ්‍ය මර්දනයට එරෙහි මහජන වෛරය ගසාකෑමයි.

වික්‍රමසිංහ ආන්ඩුව සම්බන්ධයෙන් ජවිපෙට සහ ජාතික ජන බලවේගයට (ජාජබ) ඇති චෝදනාව එයට ජනවරමක් නැතිකමයි. බ්‍රහස්පතින්දා සාකච්ඡාවේ දී සමරසිංහ මෙසේ පැවසීය: 'මේ රටේ ජාතික සම්පත් විකුනන්න තීරන ගන්නේ ජනවරමක් නැති ආන්ඩුවක්. ජනවරමක් නැති ජනාධිපති කෙනෙක්.' ජාමුඅ වැඩපිලිවෙලට යාමේ 'අවශ්‍යතාවය' විටින්විට ප්‍රකාශකර ඇති අනුර කුමාර දිසානායක ඇතුලු ජවිපෙ නායකයෝ, 'ජන වරමක්' සහිතව බලයට එන ජාජබ ආන්ඩුවක් යටතේ අර්බුදයේ බර දරා ගනිමින් දැඩි ක්‍රියාමාර්ගවලට අවුරුදු කිහිපයක් මහජනයා ඉඩදෙනු ඇතැයි රැස්වීම් ගානේ ප්‍රකාශ කරති. ජවිපෙ ආන්ඩුවක් ද තම පිලිවෙත්වලට එරෙහිව මතුවන අරගල රුදුරු ලෙස මර්දනය කරමින් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමනු ඇත.

ප්‍රති-ත්‍රස්ත පනත ගෙන එමින් හා කම්කරු පන්තියේ අරගල වලට එරෙහිව අත්‍යාවශ්‍ය සේවා නියෝග ක්‍රියාවට නංවමින්, රුදුරු රාජ්‍ය මර්දනයක් මුදා හැර ඇත්තේ ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව මතුවන කවර හෝ විරෝධයක් තලා දැමීමට ය. පුද්ගලීකරනයට එරෙහිව මාර්තු මාසයේ වර්ජනයේ යෙදුනු තෙල් සංස්ථාවේ සේවකයන් මර්දනය කිරීමට දහසක පමන සන්නද්ධ පොලිස්-මිලිටරි බලකායක් මුදාහල වික්‍රමසිංහ ආන්ඩුව වෘත්තීය සමිති නායකයන් ද ඇතුලු කම්කරුවන් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවී ය. ඔවුන් සම්බන්ධව පරීක්ෂනයක් පවත්වන ලෙස බලශක්ති රාජ්‍ය ඇමති කාංචන විජේසේකර පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. රාජ්‍ය මර්දනයට විරුද්ධව ලොකු අරගලයක් කරන බවට මැත දොඩවන මෙම වෘත්තීය සමිති තෙල් සංස්ථාවේ කම්කරුවන්ට එරෙහි දඩයමට විරුද්ධව කිසිදු අරගලයක් සංවිධානය කිරීම මඟහැර සිටිති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අප්‍රේල් 17 “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහිවත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමටත් ලංකාවේ කම්කරු පන්තිය සටන් කල යුත්තේ කෙසේද?” මැයින් නිකුත් කල ප්‍රකාශයේ වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී සැලසුම් ගැන අනතුරු අඟවමින් ඊට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙලක් කම්කරු පන්තියට ඉදිරිපත් කලේය: ප්‍රකාශය මෙසේ සඳහන් කරයි: “ජාමූඅ වැඩපිලිවෙල රටේ නීතියට එක් කිරීමේ වික්‍රමසිංහගේ සැලැස්ම කම්කරු පන්තියට හා දුප්පතුන්ට එරෙහි දරුනු තර්ජනයක් බවටත්, එහි දැඩි පියවරයන්ට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් නීති විරෝධී කරනු ඇති බවටත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි. වික්‍රමසිංහගේ මෙම ක්‍රියාව, ඒටීබී (ප්‍රති-ත්‍රස්ත පනත) පැනවීමත් සමග එකට ගත්කල ජනාධිපති ආඥාදායකත්වයක් ශක්තිමත් කිරීම සඳහා වන තවත් බරපතල පියවරකි”.

“මෙම නග්න ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පරාජය කර වික්‍රමසිංහ තන්ත්‍රය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය සිය ස්වාධීන කාර්මික ශක්තිය බලමුලු ගැන්වීම හදිසි කර්තව්‍යයකි. මෙය කල හැක්කේ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමෙන් පමනි”.

Loading