ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහිවත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමටත් ලංකාවේ කම්කරු පන්තිය සටන් කල යුත්තේ කෙසේද?

[මෙය How the Sri Lankan working class must fight IMF austerity and defend democratic rights යන මැයෙන් 2023 අප්‍රේල් 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]්‍රී

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රේල් 3 දා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ රැස්වීමකදී කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නය ගිවිසුම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එය අනුමත කර ගැනීමට ඡන්දයක් පවත්වන බවත්‍ ය. 'මෙයින් පසුව, ගිවිසුමේ ප්‍රධාන කරුනු නීතියක් බවට පත් වනු ඇතැ' යි ඔහු ප්‍රකාශ කලේය.

ඊට සමගාමීව, නව ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත (ඒටීබී) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද වික්‍රමසිංහ ප්‍රකාශ කලේය. මෙම කුරිරු පියවර, ජාමූඅ වැඩපිලිවෙල ද ඇතුලුව ඔහුගේ ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහි සියලු මහජන විරෝධයන් තලා දැමීමට ජනාධිපතිට පොලිස් රාජ්‍ය බලතල ලබා දෙයි.

මෙම ක්‍රියාමාර්ග දෙකම අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඉන් අනතුරුව ප්‍රකාශ කර ඇත.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

ජාමූඅ වැඩපිලිවෙල රටේ නීතියට එක් කිරීමේ වික්‍රමසිංහගේ සැලැස්ම කම්කරු පන්තියට හා දුප්පතුන්ට එරෙහි දරුනු තර්ජනයක් බවටත්, එහි දැඩි පියවරයන්ට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් නීති විරෝධී කරනු ඇති බවටත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි. වික්‍රමසිංහගේ මෙම ක්‍රියාව, ඒටීබී ය පැනවීමත් සමග එකට ගත්කල ජනාධිපති ආඥාදායකත්වයක් ශක්තිමත් කිරීම සඳහා වන තවත් බරපතල පියවරකි.

මෙම නග්න ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පරාජය කර වික්‍රමසිංහ තන්ත්‍රය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය සිය ස්වාධීන කාර්මික ශක්තිය බලමුලු ගැන්වීම හදිසි කර්තව්‍යයකි. මෙය කල හැක්කේ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමෙන් පමනි.

ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පිටුපස ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සෘජුවම සිටී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන ඇම්බැට්ටයෙකු වන වික්‍රමසිංහ, පසුගිය වසරේ මහජන නැගිටීම නිසා ඔහුගේ පූර්වගාමියා වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය නින්දිත ලෙස බිඳවැටීමෙන් පසු ජනාධිපති ලෙස පත් කෙරුනි.

ජාමූඅ වැඩ සටහන ලංකාව තුල “කුරිරු අත්හදා බැලීමක් ” වන බව ඉහත දී පැහැදිලිකර ඇති ජාමූඅ ශ්‍රී ලංකා දූත මන්ඩලයේ ප්‍රධානී පීටර් බෲවර්, වික්‍රමසිංහගේ ප්‍රකාශයන්ට අවධාරනය දෙමින් අප්‍රේල් 9 දා මෙම අදහස් නැවත වරක් ප්‍රකාශ කලේය.

“ජාමූඅ උපකාර කිරීමට සූදානම්ව ඉන්නවා,” යයි කියා සිටි බෲවර් මෙසේ ප්‍රකාශ කලේය, නමුත් “පහසු විසඳුම් නැත... මෙම දැවැන්ත ගැටලුව විසඳීමට සියලු දෙනා එක්විය යුතුය. ප්‍රතිසංස්කරනවලින් ලැබූ දුෂ්කර ජයග්‍රහන ජනතාවට ප්‍රයෝජනවත් වන බවත්, අර්බුදය නැවත සිදු නොවන බවත් සහතික කර ගැනීම ඉතා වැදගත් ය.”

රුපියල තියුනු ලෙස අවප්‍රමාන කිරීම, ආනයන කප්පාදුව සහ එකතු කල අගය මත බදු, විදුලි ගාස්තු සහ ආදායම් බදු වැඩි කිරීම වැනි ජාමූඅ මූලික ඉල්ලීම් ආන්ඩුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති අතර තවත් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත ය. මෙයට පුද්ගලීකරනය, සුභසාධන සහනාධාර කප්පාදුව, රැකියා ලක්ෂ ගනනක් අහෝසි කිරීම සඳහා රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අය-වැය පරතරය ඉවත්කිරීම සඳහා වෙනත් පියවර ඇතුලත් වේ. මෙම පියවර සියල්ල ඉලක්ක කර ඇත්තේ, පැහැර හැර ඇති විදේශ නය ආපසු ගෙවීමට ලංකාවේ කම්කරුවන් සහ දුගීන් මිරිකා ගැනීම සඳහා ය.

මෙම දිග හැරෙමින් පවතින ප්‍රහාර හා කම්කරු පන්තියට එරෙහි භයානක තර්ජන මධ්‍යයේ, වෘත්තීය සමිති 100 ක නායකයෝ, ඒටීබීයේ සහ ආන්ඩුවේ වියදම් කැපීමේ ප්‍රහාරවලට ඔවුන්ගේ ප්‍රතිචාරය ගැන සාකච්ඡා කිරීම සඳහා යයි, අප්‍රේල් 10 දා කොලඹ දී රැස්වූහ. රැස්වීම අවසන් වූයේ ආන්ඩුවේ මෙම තර්ජන පරාජය කිරීමට වෘත්තීය සමිති කිසිවක් නොකරන බවට ඇඟවුම් කරන බයාදු ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එෆ්යූටීඒ, ජීඑම්ඕඒ සහ එස්එල්එම්ඒ ඇතුලු ගතානුගතික වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති දැනටමත් ජාමූඅ සමඟ ඉහල මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති අතර, අනෙකුත් කලින් සඳහන් කල වෘත්තීය සමිති, එලිපිට හෝ රහසිගතව ජාමූඅ කප්පාදු පියවරයන්ට සහාය දක්වති.

අප්‍රේල් 10 රැස්වීම ආන්ඩුවේ අත්තනෝමතික ආදායම් බදු ක්‍රමය හකුලා ගන්නා ලෙසත්, ජාතික වත්කම් විකිනීම නවත්වන ලෙසත්, අධික ජීවන වියදමට සහන සලසන ලෙසත් ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් නිකුත් කලේය.

මේවා දිනා ගැනීමට “ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගනු වස් නොපසුබට උත්සාහයෙන් අප්‍රතිහත ධෛර්යයෙන් හා තිර අදිටනින් යුක්තව කටයුතු කරන බවටත්, පාලකයන් විසින් අර්බුදකාරී තත්වයට පත් කරන ලද අපගේ ආදරනීය මාතෘ භුමිය ඉන් මුදා ගැනීම සඳහා වැඩකරන ජනතාව ඇතුලු සියලු වෘත්තිකයන් ලෙස සහෝදර ශ්‍රී ලාකික පුර වැසියන් සමග එක්ව එකාවන්ව එක්සත්ව එක්සිත්ව කටයුතු කරන බවටත්, ඒ වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමානයෙන් කැපවන බවටත් දැඩි අධිෂ්ටානයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු” යනුවෙන් වෘත්තීය සමිති නිලධාරීහු ප්‍රතිඥා දුන්හ.

මෙම ජාතිකවාදී මැත දෙඩවිලි කර ඇත්තේ, දුක්විඳින ජනතාව රැවටීම සඳහායි. මෙම වෘත්තීය සමිති වර්ජන, විරෝධතා හෝ පෙලපාලි වැනි කිසිදු ක්‍රියාමාර්ගයක් යෝජනා නොකල අතර සහන ලබා ගැනීම සඳහා ආන්ඩුවට බලපෑම් කල හැකිය යන මිථ්‍යාව යලිත් ප්‍රචාරය කලේය.

රැස්වීම අතරතුර, එස්එල්එම්ඒ සභාපති මහාචාර්ය ඉන්දික කරුනාරත්න ජාමූඅ අරමුදල් “බුද්ධිමත් ලෙස භාවිතා කිරීම” ඉල්ලා සිටියේය. එෆ්යූටීඒ වෙනුවෙන් කතා කරමින්, මහාචාර්ය අරුන ශාන්තආරච්චි සිංගප්පූරුවේ ටෙමාසෙක් සහ මැලේසියාවේ ඛසානා, රජය සතු සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ මොඩලයන් ලෙස වර්නනා කලේය. ආන්ඩුවට අයත් ඊනියා ස්වෛරී අරමුදල් මත පදනම් වූ මෙම සමාගම්, පුද්ගලීකරනය ක්‍රියාවට දමන තවත් විධි ක්‍රමයකි.

වෘත්තීය සමිති ඒටීබීය ට විරුද්ධ වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියම කර තිබූ දිනය කල් දැමූ බව කියමින් එන්ටීයූසී නායක වසන්ත සමරසිංහ ව්‍යාජ ලෙස සඳහන් කලේ ආන්ඩුවට “අඩියක් පස්සට ගැනීමට” බල කෙරුනූ බව යි. මෙම කිය පෑම, අප්‍රේල් මස අවසානයේ පනත් කෙටුම්පත සභාගත කරන බවට වික්‍රමසිංහ කල ප්‍රකාශයෙන් එලිදරවු විය.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ නායක දුමින්ද නාගමුව රැස්වීමට පැවසුවේ, සහන දිනා ගැනීම සඳහා “ආන්ඩුවට බලපෑම් කිරීමට පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනැගිය යුතු” බවයි. ඔහුට, සිංගප්පූරුවේ-හෝ මැලේසියාවේ ආකාරයේ පුද්ගලීකරන යෝජනා හෝ ජාමූඅ අරමුදල් 'බුද්ධිමත්' ලෙස භාවිතා කිරීමට ඉල්ලා සිටි අයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් හෝ කිසිදු මත භේදයක් නොවීය.

වෘත්තීය සමිතිවල මෙම ප්‍රතිචාර දැක්වීම සිදුවූයේ මාර්තු 1 සහ 15 යන දිනවල මහා වැඩ වර්ජන හා විරෝධතා වලින් පසුවය. මෙම ක්‍රියාමාර්ග සීමා කිරීමට වෘත්තීය සමිති දැරූ උත්සාහය නොතකා, දින දෙකේදීම කම්කරුවන් මිලියන බාගයක් බැගින් සහභාගී වූහ. තමන් සටන් කිරීමට සූදානම් බව කම්කරුවන් පෙන්නුම් කර ඇතත්, වික්‍රමසිංහ තන්ත්‍රය සහ සමස්ත පාලක පන්තිය මෙන් ම වෘත්තීය සමිති නිලධරයන් ද කම්කරු පන්ති අරගල රැල්ලේ යලි පිබිදීමක් පිලිබඳ බියෙන් පසුවෙති.

මෙම සියලු වෘත්තීය සමිති, ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇතිව, පසුගිය වසරේ රටපුරා පැවති විරෝධතා සහ අප්‍රේල් 28 සහ මැයි 6 මහා වැඩවර්ජන පාවා දුන් අතර, මෙම මහජන ව්‍යාපාරය, ජනාධිපති රාජපක්ෂ යටතේ අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් ඉල්ලා සිටි ජවිපෙහි සහ සමගි ජනබලවේගයේ (සජබ) ඉල්ලීම් වෙතට අපසරනය කලේ ය.

මෙම වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව පසුගිය මාසයේ මාර්තු 28 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) සේවකයින්ගේ වැඩ වර්ජනයේදී යලිත් ප්‍රදර්ශනය විය. ආන්ඩුව දහස් ගනනක් හමුදා සහ පොලිසිය යොදවා සේවකයන්ට දිගටම වැඩ කිරීමට බල කරමින් වර්ජනය බිඳ දැමුවේය. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත භාවිතා කල විදුලිබල අමාත්‍යවරයා, වෘත්තීය සමිති නායකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කලේය.

ජාමූඅ කප්පාදුවට කැපවී සිටින, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, සජබ, ජවිපෙ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාලනය කරනු ලබන සීපීසී වෘත්තීය සමිතිවල නිලධරයන් සියල්ල මෙම මර්දනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ 'හෙලාදකින' පුහු ප්‍රකාශවලිනි.

හමුදා සහ පොලිස් බලකායන් පරිශ්‍රයෙන් ඉවත් කිරීම, අත්‍යාවශ්‍ය සේවා පනත සහ වෘත්තීය සමිති නායකයින් මත පනවා ඇති අනිවාර්ය නිවාඩු නියෝග ඉවත් කිරීම හෝ සීපීසී සේවකයින් ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන්ගේ කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමක් සඳහා කිසිදු කැඳවුම් කිරීමක් මෙම ප්‍රකාශවල නොවීය.

වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව යලිත් වරක් තහවුරු කරන්නේ, ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ ද, කම්කරු පන්තිය තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ද තීරන ගැනීම තමන් අතට ගැනීමෙන් පමනක් බවයි. මේ සඳහා වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ද ඔවුන්ගේ ව්‍යාජ-වාම ගැත්තන්ගෙන් ද ස්වාධීනව, සෑම වැඩබිමකම, වතුකරයේ සහ අසල්වැසි කම්කරු නිවාස බද ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

තමාට ජාමූඅ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්දයක් අවශ්‍ය වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආන්ඩුව පිටුපසට ඒකරාශී කර ගැනීම සඳහා බව වික්‍රමසිංහ පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික කැලඹීමට ධනේශ්වර ක්‍රමය තුල ප්‍රතිසංස්කරනවාදී විසඳුමක් නොමැත. එය ගෝලීය ධනවාදයේ ඓතිහාසික අර්බුදයේ කොටසකි.

කොවිඩ්-19 සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද නැටෝ යුද්ධය අවුලුවා ඇති අධි උද්ධමනය, දැන් ශ්‍රී ලංකාවේ සියයට 50 වටා පවතී. 2022 දී කම්කරුවන් 500,000 කට රැකියා අහිමි විය. දරිද්‍රතාවය 2019 දී සියයට 13.1 සිට 2022 දී සියයට 25.6 දක්වා දෙගුනයක් වූ අතර තවත් මිලියන 2.7 ක ජනතාවක් දුක්ඛිත තත්වයට පත් ව ඇත. ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂනයට අනුව ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් සියයට 32 ක් “ආහාර අනාරක්ෂිතභාවයට පත්ව”, එනම් කුසගින්නෙන් හෝ හාමත අද්දර සිටිති.

වික්‍රමසිංහ තන්ත්‍රයේ ආඥාදායක පියවරයන්ට සහ ජාමූඅ හි කුරිරු ඉල්ලීම්වලට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (සසප), කම්කරුවන් හා ගම්බද දුගීන් විසින් ගොඩනගනු ලබන සිය ක්‍රියාකාරී කමිටු හරහා සටන් කල යුතු පියවර මාලාවක් පෙන්නුම් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන සටන ඉදිරියට ගෙන යාම සඳහා සසප, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා සිටී. ඒටීබී ඉවත ලනු! හදිසි නීතිය, අත්‍යාවශ්‍ය සේවා නියෝග, ප්‍රති-ත්‍රස්ත පනත ඇතුලු සියලුම මර්දන නීති අහෝසි කරනු! සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

මෙම අරගලය, ධනේශ්වර ක්‍රමයේ කාලකන්නිභාවය අවසන් කිරීමේ සටන සමග බැඳී පවතී. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීමේ පාලනය සියතට ගන්නා ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. මෙය කල හැක්කේ බැංකු, ප්‍රධාන සංගත සහ වතු ජනසතු කිරීම සහ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පාලනය යටතට පත් කිරීමෙනි. බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය පැහැර ගතයුතු අතර, සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුය.

මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට, ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගීම අවශ්‍යය. මෙය, සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටනට මග පාදනු ඇත. මෙම අරගලයේදී, කම්කරු පන්තිය බෙදීම හා දුර්වල කිරීම සඳහා ධනේශ්වර පන්තියේ ආයුධයක් වන සිංහල ස්වෝත්තමවාදයට හෝ දෙමල වර්ගවාදයට එරෙහිව, වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගිය යුතුය.

ශ්‍රී ලංකාවේ පන්ති අරගලය, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල මතු වී ඇති උද්ගමනයේ කොටසකි. මෙම උද්ගමනය, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මිලියන සංඛ්‍යාත ප්‍රංශ කම්කරුවන්ගේ මහජන විරෝධතා හා වැඩ වර්ජන තුල දක්නට ලැබේ. ධනේශ්වර අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට ආන්ඩු දරන උත්සාහයන්ට එරෙහිව කම්කරුවන්ගේ අරගල යුරෝපය, එක්සත් ජනපදය හා ඉන්දියාව තුල වර්ධනය වෙමින් පවතී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අරඹා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග තම පන්ති ක්‍රියාවන් සම්බන්ධීකරනය කිරීම මගින් ලංකාවේ කම්කරුවන්ට ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග තම අරගල එකමුතු කල හැකිය.

මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට සසපට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading