ව්‍යාජ-වාම පෙසප සහ අවිශිබම, සසජාතශි සමාජවාදී උද්ඝෝෂකයාට එරෙහි ඔවුන්ගේ මැර ප්‍රහාරය ගැන මුනිවත රකියි

[මෙය Sri Lankan pseudo-left FSP and IUSF silent on their thuggish attack against IYSSE socialist campaigner යන මැයෙන් 2023 අප්‍රේල් 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ කැඳවුම්කරු වන කපිල ප්‍රනාන්දුගේ විවෘත ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල පල කර සති පහකට වැඩි කාලයක් ගතවී ඇත. මෙම ලිපිය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට (අවිශිබම) සම්බන්ධ සිසුන් කන්ඩායමක් විසින් සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්ට එරෙහිව පසුගිය පෙබරවාරියේදී මැර ප්‍රහාරයක් එල්ල කිරීම හෙලා දකිමින් නිකුත් කෙරිනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

අවිශිබමය සහ එය පාලනය කරන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), අපගේ සහෝදරවරුන්ට එරෙහිව මෙම මැරයන් මුදා හැරියේ මන්දැයි පැහැදිලි කරන ලෙස අපි ඉල්ලා සිටියෙමු. අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ මෙම සංවිධානවල නායකයා වන පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්, කපිල ප්‍රනාන්දු ඊමේල් පනිවුඩ මගින් කල සිහි කැඳවීම ද නොසලකා හැර, අපගේ විවෘත ලිපිය ගැන තවමත් නියඬව සිටිති.

විවෘත ලිපිය අවිශිබම ක්‍රියාකාරීන්ගේ ප්‍රකෝපකරනය පිලිබඳ විස්තර කර ඇත. පෙබරවාරි 23 වෙනිදා, සසජාතශිහි ප්‍රමුඛ සාමාජිකයෙකු වන සකුන්ත හිරිමුතුගොඩ, විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ පරිශ්‍රය අසල දී ශිෂ්‍යයෙකු සමඟ දේශපාලන සාකච්ඡාවක නිරත විය. ඒ අතර තුර, අවිශිබමයට අනුබද්ධ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ (එස්යූඑෆ්එච්එස්එස්) සාමාජිකයින් දෙදෙනෙක්, 'විශ්වවිද්‍යාල තුල පක්ෂ දේශපාලනයට ඉඩ දිය නොහැකි' යයි පවසමින්, හිරිමුතුගොඩට තර්ජනය කලහ.

හිරිමුතුගොඩ, විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල දේශපාලනය ගැන සාකච්ඡා කිරීමට ඔහුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරමින් කතා කල විට, ප්‍රකෝපකාරීන් ඔහුට ශාරීරිකව පහර දීමට උත්සාහ කල අතර, ඔවුන් විසින් කැඳවූ තවත් මැරයෝ ඔහුගේ ජංගම දුරකථනය උදුරා ගත්හ. අනතුරුව විනය භාර නිලධාරියෙකු, හිරිමුතුගොඩ විනය අධිකාරී කාර්යාලය වෙත රැගෙන ගිය විට ඔහු පොලිසියට භාර දෙන බවට විනය අධිකාරි ඔහුට තර්ජනය කලේය.

සසප ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙක් වන පානි විජේසිරිවර්ධන සහ වසන්ත රූපසිංහ සිද්ධිය ගැන දැනගත් වහාම හිරිමුතුගොඩගේ ආරක්ෂාවට පැමිනි විට, ප්‍රකෝපකාරීයෝ ඔවුන්ට ශාරීරිකව පහර දීමට උත්සාහ කරමින් රූපසිංහට හිරිහැර කලහ.

මෙම ප්‍රහාරය එල්ල වූයේ, පෙබරවාරි 7 දා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පානි විජේසිරිවර්ධන විසින් 'මහජන අරගලය සහ මාක්ස්වාදය' යන මැයෙන් පැවැත්වූ සසප ප්‍රසිද්ධ දේශනයකින් පසුවය.

විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යා අංශයේ ආරාධනයෙන් පැවැත්වුනු මෙම දේශනයට සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලු 100 කට අධික පිරිසක් සහභාගි වූහ. සසප විශ්ලේෂනය සහ එහි වැඩ පිලිවෙල ගැන උනන්දුවක් දැක්වූ සිසුන් සහ ගුරුවරු කිහිප දෙනෙක් දේශනයෙන් අනතුරුව සජීවී ප්‍රශ්නෝත්තර සැසියකට ද සහභාගී වූහ.

අවිශිබම සහ පෙසප, අනෙකුත් සියලුම පක්ෂවල දේශපාලනයට එරෙහිව තමන් විසින් පනවනු ලැබ ඇති ප්‍රජාතන්ත්‍ර-විරෝධී තහනමෙන් ශිෂ්‍යයන් බිඳී යාම ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටිති. අවිශිබම, තමන්ගේම ශිෂ්‍ය සංවිධාන පිහිටුවීමට එඩිතර වූ සිසුන්ට එරෙහිව මැර බලය යොදා ඇති බව කවුරුත් දන්නා සත්‍යයකි.

එස්යූඑෆ්එච්එස්එස් ක්‍රියාකාරීන් සිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කරමින් අප සමඟ සාකච්ඡා කල සිසුන් බිය ගැන්වීමට තැත් කරන බව සසප සහ සසජාතශි වෙත විශ්වාසනීය මාර්ගයන්ගෙන් දැනගැනීමට ලැබී තිබේ. ඔවුන් මෙම සිසුන්ට සසප/සසජාතශි සමාජ මාධ්‍ය කන්ඩායම්වලින් වහා ඉවත් වන ලෙස නියෝග කර ඇති අතර, එසේ නොකල හොත් ඔවුන්ට දරුනු ප්‍රතිවිපාකවලට මුහුන දීමට සිදුවන බවට අනතුරු අඟවා ඇත.

පෙසප සහ අවිශිබම මාධ්‍ය සම්මන්ත්‍රන සහ රැස්වීම් වලදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමට කැපවූ කප්පිත්තන් ලෙස වංචනිකව පෙනී සිටින නමුත් සසජාතශියට සහ විශ්ව විද්‍යාල තුල තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අනුව ක්‍රියා කරන සිසුන්ට ප්‍රචන්ඩ ලෙස විරුද්ධ වෙති. මෙම ආස්ථාන ගලා එන්නේ, අවිශිබම, ජනතා විමුක්ති පෙරමුන යටතේ පැවති සහ දැන් පෙසපයේ පාලනය යටතේ පවතින දිගුකාලීනව භාවිතා කල විධික්‍රම මගිනි.

පෙසප ලේකම් කුමාර් ගුනරත්නම් රැස්වීමක් අමතමින්. [ඡායාරූපය: ෆේස්බුක්] [Photo: Facebook]

පෙබරවාරි 23 ප්‍රකෝපකරනයට සම්බන්ධ වූවන් ප්‍රකාශ කලේ තමන්ට සුවිශේෂී සංස්කෘතියක් ඇති බවත්, ඔවුන්ගේ සම්ප්‍රදාය වන්නේ විශ්ව විද්‍යාල තුල සියලු පක්ෂ දේශපාලනය තහනම් කිරීම බවත් ය. නමුත් මෙම “සම්ප්‍රදාය” ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සම්පූර්නයෙන් උල්ලංඝනය කිරීමක් වන අතර, ඒවාට එකඟ නොවන සිසුන් නිහඬ කිරීම සඳහා මැරකම් සහ බිය ගැන්වීම් භාවිතා කරන සංස්කෘතියකි.

සසජාතශි මෙම “සම්ප්‍රදායට” සෘජුවම විරුද්ධ ය. අපි විවෘත ලිපියේ සඳහන් කල පරිදි, “ඔබේ සංවිධානය සහ ඒවායේ නායකයන් ද ඇතුලු අනෙකුත් සංවිධාන මත මුදා හරින ලද සෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයකට සහ රාජ්‍ය දඩයමකට එරෙහිව සටන් කිරීමේ ස්ථිර හා අනභියෝගී ඓතිහාසික වාර්තාවක් සසප හා සසජාතශි සතුව ඇත.”

අපගේ විවෘත ලිපියට පිලිතුරු දීමට නම්, අවිශිබම සහ පෙසප, සසපට හා සසජාතශිට විශ්ව විද්‍යාල තුල තම දේශපාලනය සඳහා උද්ඝෝෂනය කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිලිබඳ ආස්ථානයක් ගත යුතුව ඇත. අපගේ විවෘත ලිපිය සමඟ පෙසප හැංගිමුත්තම් කෙලීම, ඔවුන්ගේ දේශපාලනයට අනුකූල වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉල්ලා සිටින සියලුම මුර්ග කප්පාදු මුලුමනින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටිති. කම්කරු පන්තියේ සහ දුගීන්ගේ සියලු විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව අතිශය මර්දනකාරී ප්‍රති-ත්‍රස්ත නීති හඳුන්වා දෙමින් සිටියි.

මෙම කොන්දේසි යටතේ, අවිශිබම හා පෙසප “පක්ෂ දේශපාලනය එපා” යන පිලිවෙත සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රම අරමුනු කර ඇත්තේ කම්කරුවන්, සිසුන්, තරුනයින් සහ පීඩිත මහජනතාවට, තමන්ට එරෙහිව උග්‍රවන රාජ්‍ය ප්‍රහාරවලට විරුද්ධව සටන් කිරීමට අවශ්‍ය සාකච්ඡාව හා අරගලය වැලැක්වීමටයි.

මෙම සංවිධාන දෙකම, ධනේශ්වර සමාජයේ එකම ස්ථිර විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය ය යන මාක්ස්වාදී ආස්ථානය ප්‍රතික්ෂේප කරයි. ලෙනින් පැවසූ පරිදි: 'ධනපති පන්තිය පෙරලා දැමීමේ කටයුත්ත ඉටු කල හැක්කේ නිර්ධන පන්තියට පමනකි. ස්වකිය ආර්ථික පැවැත්මේ කොන්දේසි විසින් මෙම කර්තව්‍යය සඳහා සූදානම් කරනු ලබන සහ එය ඉටු කිරීම සඳහා හැකියාව සහ ශක්තිය ලබන පන්තිය එයයි.'

අප දැන් එලඹ සිටින්නේ, ධනවාදයේ ඓතිහාසික ගෝලීය අර්බුදයේ බර ජනතාව මත පැටවීමට උත්සාහ කරන ධනේශ්වර පාලක පන්තීන්ට විරුද්ධව ජාත්‍යන්තරව කම්කරු පන්තිය අභියෝග කරන කාල පරිච්ඡේදයක ය. සසජාතශි සහ සසප, ගෝලීය වශයෙන් අපගේ සහෝදර සංවිධාන සමග එක්ව, ධනේශ්වර ව්‍යසනයට, අධිරාජ්‍යවාදී යුද ධාවනයට සහ තුන්වන ලෝක යුද්ධයක තර්ජනයට තිත තැබීමට ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්ව කම්කරු පන්ති නායකත්වයෙන් පීඩිත මහ ජනතාව මෙහෙයවීම සඳහා සටන් කරයි.

අවිශිබම සහ පෙසප ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට සතුරු ය. සමාජ ප්‍රතිසංස්කරන ලබා ගැනීමට ආන්ඩුවට බලපෑම් කිරීම සඳහා ඔවුන් යෝජනා කරන්නේ 'ජන සභා' සහ 'ජනතා ව්‍යාපාර' ගොඩනගන ලෙසයි.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර මෑත ලිපියකින් පැහැදිලි කල පරිදි: “වැඩකරන ජනතාව භයානක දේශපාලන ආවෘත අන්තයක් කරා ගෙන යන පෙසප විසින් යෝජිත ‘ජන සභා’ සහ ‘ජනතා ව්‍යාපාරය’ යනු ආන්ඩුවට සහ පාර්ලිමේන්තුවට හිඟන පාත්තරයක් රැගෙන යෑම හැර අන් කිසිවක් නොවේ.”

අපගේ සහෝදරවරුන්ට එරෙහි අවිශිබම මැර ක්‍රියා සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝග හෙලා දකින ලෙස අපි සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විශ්වවිද්‍යාල තුල දේශපාලන වැඩ කටයුතු කිරීමට සහ සංවිධානය වීමට සසජාතශි/සසප සතු අයිතිය ආරක්ෂා කරන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලමු.

ඒ අතරම, පෙසප සහ අවිශිබම ඔවුන්ගේ නිශ්ශබ්දතාවය අවසන් කර, සසජාතශි විවෘත ලිපියට පිලිතුරු නොදීමට හේතුව සිය ශිෂ්‍ය සාමාජිකයින්ට සහ කම්කරුවන්ට පැහැදිලි කරන ලෙසට අපි අභියෝග කරමු.