ආන්ඩුවේ ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත: ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි දැවැන්ත ප්‍රහාරයක්

[මෙය Sri Lankan government’s Anti-Terrorism Bill: A sweeping attack on democratic rights යන මැයෙන් 2023 ‌අප්‍රේල් 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් මාර්තු 22 දා ගැසට් කරන ලද ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකි.

ආන්ඩුවේ ප්‍රකාශයන්ට පටහැනිව, ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතට ත්‍රස්තවාදය නැවැත්වීම සමග කිසිදු සම්බන්ධයක් නැත, එහි අරමුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද සමාජ ප්‍රහාරවලට එරෙහිව නැගෙන මහජන විරෝධය තලා දැමීමයි. වික්‍රමසිංහ දැනටමත් ඔහුගේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව විරෝධතා දක්වන අයට 'ෆැසිස්ට්වාදීන්' සහ 'ත්‍රස්තවාදීන්' ලෙස ප්‍රසිද්ධියේ අපහාස කර ඇත.

2023 පෙබරවාරි 4 සෙනසුරාදා කොලඹ දී පැවති 75වැනි නිදහස් දින සැමරුමේ දී, ගුවන් හමුදාපි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන (පිටුපස වමේ) හා පොලිස්පති චන්දන වික්‍රමරත්න (දකුනේ) සමග පෙනී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ප්‍රතිස්ථාපනය කිරීමේ කඩතුරාව යටතේ මෙම පනත වර්ධනය කර ඇති අතර, එය එහි සියලු දුෂ්ටකම් රඳවා තබා ගනී. 2015 දී බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව 2016 දීත්, නැවත 2018 දීත් මෙම ප්‍රති-ත්‍රස්ත පනත සම්මත කර ගැනීමට උත්සාහ කල නමුත් පුලුල් ජනතා විරෝධය හමුවේ එය හකුලා ගැනීමට සිදු විය.

දෙමල සටන්කාමී කන්ඩායම්වලට එරෙහිව සටන් කිරීමේ කඩතුරාව මත 1979 දී කුරිරු පීටීඒ පනත ක්‍රියාත්මක කරන ලද අතර එය දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 30 වසරක වාර්ගික යුද්ධයේදී දෙමල ජනයාට එරෙහිව පුලුල් ලෙස භාවිතා කරන ලදී. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, 1988 සහ 1990 අතර දිවයිනේ දකුනේ ග්‍රාමීය නොසන්සුන්තාව මැඩපැවැත්වීමේදී ද ඇතුලුව, ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව එය භාවිතා කර ඇත.

පසුගිය වසරේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපති ලෙස පත් කල වික්‍රමසිංහ දැනටමත් දේශපාලන ක්‍රියාකාරිකයින්ට සහ ශිෂ්‍ය නායකයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කර ඇත. කෙසේ වෙතත්, නව ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත, දේශපාලන විරුද්ධවාදීන්ට සහ විශේෂයෙන්ම කම්කරු පන්තියට එරෙහිව ඊටත් වඩා දැඩි පියවර ගැනීමට මග විවර කරයි.

වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව ඇතුලු සමස්ත පාලක පන්තියම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හරින ලද පසුගිය වසරේ මහජන ව්‍යාපාරයේ යලි පිබිදීමක් පිලිබඳ බියෙන් පසුවෙති. නව පනතේ බොහෝ විධිවිධාන එවැනි නැගිටීමක් වැලැක්වීම අරමුනු කර ගෙන ඇත.

දැවැන්ත ලෙස ඉහල ගොස් ඇති බදු, විදුලිය හා ජල ගාස්තු, බැංකු පොලී අනුපාත සහ අහස උසට නැඟ ඇති උද්ධමනය ආදියෙන් දැනටමත් බැට කා සිටින කම්කරුවෝ, දැන් ජාමූඅ නියෝග කරන ලද නව වටයක ප්‍රහාරවලට මුහුන දී සිටිති.

වසර හතරක් පුරා ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9 ක ඇපදීමේ නයක් වෙනුවෙන්, වික‍්‍රමසිංහ ජාමූඅ විසින්ම මෑතකදී “කුරිරු අත්හදා බැලීමක්” ලෙස විස්තර කරන ලද නියෝග පැටවීමට පටන් ගෙන තිබේ. රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනින් කපා දැමීම සහ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන්හි ඉතිරිව ඇති දේ විනාශ කිරීම මෙයට ඇතුලත් වේ.

මෑත සතිවල, වරාය, ඛනිජ තෙල්, ටෙලිකොම්, බැංකු, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවකයින් ආන්ඩුවේ වැඩ වර්ජන විරෝධී “අත්‍යවශ්‍ය සේවා” නියෝග වලට පිටුපාමින් මෙම ප්‍රහාරවලට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇත.

පසුගිය සතියේ, ඛනිජ තෙල් කම්කරුවන්ගේ පුද්ගලීකරන විරෝධී වැඩ වර්ජනයක් බිඳ දැමීම සඳහා ආන්ඩුව දහස් ගනනක් මිලිටරි සහ පොලිස් භටයින් යෙදවීය. වැඩ වර්ජනය කල කම්කරුවන් 20 ක් අනිවාර්ය නිවාඩු යවා ඇත, ඉන් වැඩි දෙනෙක් වෘත්තීය සමිති නායකයින් ය. ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ වර්ජනයේ නිරත සේවකයන්ට එරෙහිව අත්‍යාවශ්‍ය සේවා පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි. චෝදනාවට ලක්වූවන් විශාල දඩ මුදල් හා සිරදඬුවම් සහිතව රැකියාවෙන් නෙරපා හැරිය හැකිය.

වික්‍රමසිංහගේ නව ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ගවල දේශපාලන පසුබිම එයයි. පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තියට අනුව, “ත්‍රස්තවාදී” වරදක් කර ඇතැයි සැලකෙන ඕනෑම අයෙකුට මරන දඩුවම, වසර 20 ක් දක්වා සිර දඬුවම හෝ රුපියල් මිලියනයක දඩයක මුදලකට මුහුන දීමට සිදුවේ.

මෙම පනත් කෙටුම්පත කෙතරම් පුලුල් සහ අපැහැදිලි බවක් දරන්නේද යත්, ඕනෑම ආන්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරකමක් ත්‍රස්තවාදය ලෙස අර්ථ දැක්විය හැකිය. “මහජනයා හෝ එහි යම් කොටසක් බිය ගැන්වීම; යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව හෝ වෙනත් යම් ආන්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් යොමු කිරීම; එවැනි යම් ආන්ඩුවක් විසින් කටයුතු ඉටු කිරීම නීති විරෝධී ලෙස වැලැක්වීම” මෙයට ඇතුලත් වෙයි.

මෙම පනත් කෙටුම්පත, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල හරහා සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවල කුරිරු පන්ති ස්වභාවය හෙලිදරව් කිරීම, ත්‍රස්තවාදී වරදක් බවට පත් කරනු ඇත. ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය ගැන වැඩ කරන ජනතාව දැනුවත් කිරීම මහජනතාව 'බිය ගැන්වීමක්' ලෙස ද අර්ථ දැක්විය හැකිය.

කම්කරුවන්ගේ කප්පාදු විරෝධී වැඩ වර්ජන සහ විරෝධතා, 'යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව හෝ වෙනත් යම් ආන්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් යොමු කිරීම ' යටකේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය හැක.

පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය “ත්‍රස්තවාදය” අර්ථ දක්වා ඇත්තේ මෙසේ ය: “යම් මහජන භාවිත ස්ථානයකට, රාජ්‍ය හෝ ආන්ඩුවේ පහසුකමකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතල අලාභ හානි සිදු කිරීම; යම් අත්‍යාවශ්‍ය සේවාවකට හෝ සැපයීම් වලට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමග සම්බන්ධ යම් තීරනාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම; මහජනතාවගේ හෝ එහි යම් කොටසක සෞඛ්‍ය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම; ඉහත ඡේදවල දක්වා ඇති යම් ක්‍රියාවක් හෝ නීති විරෝධී නොකර හැරීමක් සිදු කිරීම සඳහා වන අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම.”

එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොලිසිය හෝ එහි ප්‍රකෝපකරන්නන් විසින් සිදු කරන ලද ඒවා ද ඇතුලුව, දේපොල 'හානි' පිලිබඳ බොරු චෝදනා මත පදනම්ව ඕනෑම ආන්ඩු විරෝධී විරෝධතාකරුවෙකුට හෝ කන්ඩායමකට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය. අත්‍යාවශ්‍ය මහජන සේවා පනත මගින් දැනටමත් දැඩි දඬුවම් පමුනුවන අත්‍යාවශ්‍ය සේවාවන්හි වැඩ වර්ජන, නව පනත් කෙටුම්පත යටතේ ත්‍රස්තවාදය ලෙස අර්ථ දැක්විය හැකිය.

පනත් කෙටුම්පත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහි මූලික ප්‍රහාරයකි. 10 වැනි වගන්තිය පවසන්නේ, “ජනතාවගේ ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිලිබඳ වරද සිදු කිරීමට ඒ සඳහා සූදානම් වීමට හෝ පෙලඹවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොලඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පල කරන්නා වූ හෝ පල කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපනය සිදු කරන්නා වූ” චෝදනා මත 'ත්‍රස්තවාදය' සඳහා නඩු පැවරිය හැකි බව යි.

වෙනත් වචන වලින් කිවහොත්, ආන්ඩුවේ කප්පාදු පියවර ඇතුලුව එහි ප්‍රතිපත්ති විවේචනය කරන ඕනෑම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සහ/හෝ මෙම ප්‍රතිපත්තිවලට විරෝධය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙකු 'ත්‍රස්තවාදී' චෝදනාවලට මුහුන දෙනු ඇත.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සැක කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට පුලුල් බලතල ලබා දෙනු ඇත. සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර පැය 48 ක් රඳවා තැබිය හැකි අතර පසුව කිසිදු අපරාධ සම්බන්ධ අධිකරන ක්‍රියා පටිපාටියකින් තොරව වසරක් රක්ෂිත බන්ධනාගාරගත කල හැකිය. මෙම කාලය මහාධිකරන විනිසුරුවරයෙකුට මාස තුනක් බැගින් යලි යලිත් දීර්ඝ කල හැකිය.

ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත ආඥාදායක පාලනයකට පාර කපයි. කම්කරුවන්ට හා පීඩිත ජනතාවට එරෙහිව ධනේශ්වර රාජ්‍යයේ සියලුම අවයව—අධිකරනය, මිලිටරිය, පොලීසිය, බන්ධනාගාර සහ පාර්ලිමේන්තුව—මුලුමනින්ම භාවිතා කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටින බව එයින් පැහැදිලි වේ.

වෘත්තීය සමිති, අත්‍යාවශ්‍ය මහජන සේවා පනතට දක්වන ප්‍රතිචාරය මෙන්ම මෙම නව ක්‍රියාමාර්ගවලට දක්වන ප්‍රතිචාරය ද මුලුමනින්ම බංකොලොත් ය.

මාර්තු 22 දා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සහ විපක්ෂ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකයෙකු වන වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත පැවසුවේ, “නව පනතේ අරමුන තමාට නොවැටහෙන” බවයි. ඔහු මෙසේ ද ප්‍රකාශ කලේය: 'ආන්ඩුවේ මෙම පියවර පිලිගන්නවාද නැද්ද යන්න ජාමූඅගෙන් ඇසීමට අපි, කැමතියි.' එය හරියට, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ මෙම උපකරනය, වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ අංශු මාත්‍රයක හෝ සැලකිල්ලක් දක්වන්නාක් මෙනි!

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක වසන්ත සමරසිංහ [ඡායාරූපය: JVP YouTube] [Photo: JVP YouTube]

සමරසිංහගේ ප්‍රතිචාරයෙන් ගම්‍ය වන්නේ ආන්ඩුවේ නව අත්තනෝමතික පියවරයන්ට පැහැදිලි අරමුනක් නොමැති බවයි. මෙය නිහීන වසන් කිරීමක් මිස අන් කිසිවක් නොවේ. කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් තුල ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමට රාජ්‍යය ශක්තිමත් කෙරෙමින් පවතී.

සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ සෙසු වෘත්තීය සමිති නිලධරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සහාය දක්වති. ඔවුහු, කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කිරීමටත් ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව තීව්‍ර වන ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් වැලැක්වීමටත් වැඩ කරමින් සිටිති.

ආන්ඩුවේ නව මර්දනකාරී පියවරවල අන්තරායකාරී ඇඟවුම් ඉවත දැමීමට කම්කරු පන්තියට නොහැකි අතර සටන් කිරීමට සූදානම් විය යුතුය. මෙම අරගලය ඉදිරියට ගෙනයාමට සහ රැකියා සහ සමාජ කොන්දේසි මත ආන්ඩුවේ උග්‍රවන ප්‍රහාර පරාජය කිරීමට කම්කරුවන් කාරනා තමන් අතට ගත යුතුය. මෙයින් අදහස් කරන්නේ සෑම කම්හලකම, වැඩබිමකම, වතුකරයේ සහ නාගරික අසල්වැසි ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රජාවන්හි, සියලු වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි.

එවැනි ක්‍රියාකාරී කමිටු නියෝජිතයන් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා අරගලය අතට ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටී. මෙය, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව, සමාජවාදී වැඩපිලිවෙලකට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට පදනම සපයනු ඇත.

Loading