ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා අරගලය

මෙය ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර විසින් අප්‍රේල් 30 දින පැවති 2023 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ඉදිරිපත් කරන ලද වාර්තාවයි. සියලුම දේශන නැරඹීමට, wsws.org/mayday සබැඳිය වෙත පිවිසෙන්න.

ප්‍රිය සහෝදරවරුනි,

දකුනු ආසියානු කලාපය, යුක්රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය සහ නැටෝ සංවිධානය ගෙනයන යුද්ධය මගින් උත්සන්න කෙරෙන වැඩෙන ලෝක යුද තර්ජනයේ බලපෑමට වඩ වඩා ලක් වෙමින් තිබේ. රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීමට අමතරව, එක්සත් ජනපදය චීනයට එරෙහි සිය යුද සූදානම ද උත්සන්න කරමින් සිටියි. අගමැති නරේන්ද්‍ර මෝදිගෙග් ආන්ඩුව යටතේ, ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ.

2023 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය

එක්සත් ජනපදය සහ ඉන්දියාව, චීනයට එරෙහි ඔවුන්ගේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරක ව්‍යාපාරයට ශ්‍රී ලංකාව ඇතුලු දකුනු ආසියානු රටවල් ඒකාග්‍ර කර ගැනීමට ආක්‍රමනශීලි ලෙස වැඩ කරමින් සිටියි. එම තතු යටතේ, සමස්ත දකුනු ආසියානු කලාපය ම, න්‍යෂ්ටික තෙවන ලෝක යුද්ධයක තර්ජනය මතු කරන උත්සන්න වන භූ-දේශපාලනික ආතතීන්ගෙන් යුක්ත වාසුලියක් තුලට වේගයෙන් ඇද ගනිමින් පවතී. මෙම වර්ධනයන්, දකුනු ආසියාවේ කම්කරුවන් සහ තරුනයන්, හජාජාක මගින් ගෙන යනු ලබන සමාජවාදී පිලිවෙත් මත පාදක වුනු ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලය තුල ලොව වටා සෙසු කම්කරුවන් සහ තරුනයන් සමග එක් වීම වඩා හදිසි කර්තව්‍යයක් බවට පත් කර තිබේ.

රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උත්සන්න කෙරෙන ධනවාදයේ ගෝලීය අර්බුදයේ මෙම සන්දර්භය තුල, ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය තීරනාත්මක හැරුම් ලක්ෂ්‍යයක් කරා ලඟාවී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ ගම්බද දුගීන්ගේ මූලික සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව ගෙනයන ප්‍රහාරය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඩොලර් බිලියන 2.9 ඇප නය මුදල අනුමත වීමත් සමග, නව ඉහල අදියරකට ලඟාවී තිබේ.පසුගිය වසරේ දී, කම්කරු පන්තිය කේන්ද්‍රීයව ක්‍රියාකලාපයක් ඉටු කල මහජන නැගිටීමකින් රාජපක්ෂ ආන්ඩුව බලයෙන් පහ කෙරුනි. රාජපක්ෂගේ පසුප්‍රාප්තිකයා වන වික්‍රමසිංහ, මහජන විරුද්ධත්වය නිසා රාජපක්ෂට කිරීමට නොහැකි වූ දෙය, එනම් ජාමූඅ විසින් නිර්දේශිත රුදුරු කප්පාදු පිලිවෙත්, ක්‍රියාවට දමමින් සිටී. කම්කරු පන්තිය, වික්‍රමසිංහ ආන්ඩුව ඔවුන්ගේ සමාජ අයිතීන්ට එල්ල කරන මෙම ප්‍රහාරයට විරුද්ධව අරගලවලට අවතීර්න වෙමින් සිටියි.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

වික්‍රමසිංහ ආන්ඩුව, කම්කරු පන්තියේ වර්ධනය වන මෙම අරගල තලා දැමීම ඉලක්ක කර ගෙන රාජ්‍ය මර්දනය උත්සන්න කරමින් සිටියි. ඔහු රාජ්‍ය අංශයේ ආයතන ගනනාවක කම්කරුවන්ගේ වර්ජන සහ සෙසු පන්ති ක්‍රියා නීති විරෝධී කරමින් අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා තිබේ.

වික්‍රමසිංහ ආන්ඩුව, පුද්ගලීකරනයට එරෙහි ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන්ගේ මෑත වර්ජනය බිද දැමීමට මිලිටරිය මැදිහත් කලේය. එමෙන්ම, ප්‍රධාන වශයෙන් සමිති නායකයන් ඇතුළුව වර්ජකයන් 20 ක්,අනිවාර්ය නිවාඩු යැවීය. මෙම පියවර, ජාමූඅ කප්පාදු පිලිවෙත්වලට එරෙහි එවන් ඕනෑම වර්ජනයකට ආන්ඩුව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද යන්න පිලිබදව සමස්ත කම්කරු පන්තියට ම භයංකර අනතුරු ඇගවීමකි.

වික්‍රමසිංහ ආන්ඩුව, දැනට පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) විස්ථාපනය කිරීමට නව වඩා රුදුරු ප්‍රති-ත්‍රස්ත පනතක් (ඒටීබී) ගෙන විත් ඇත. අනුප්‍රාප්තික ආන්ඩු, සිය දේශපාලන විරුද්ධවාදීන්ට, කම්කරුවන්ට, තරුනයන්ට සහ ගම්බද දුගීන්ට එරෙහිව, ඔවුන්ගේ අරගල මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගෙන තිබේ.

වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධය උත්සන්න කරමින් සිටියි.

දැන්, ධනපති පාලනය මුහුන දී ඇති අර්බුදයේත් පන්ති අරගලයේත් වර්ධනය නව මට්ටම් කරා ලගා වී ඇති තතු යටතේ, එම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රමානවත් නැති බවත්, වඩා රුදුරු මර්දන නීති අවශ්‍ය බවත් ආන්ඩුව දකියි. නව ප්‍රති-ත්‍රස්ත පනත ගෙනිවත් ඇත්තේ ඒ නිසා ය. මෙම නව පනත, ජාමූඅ කප්පාදු පිලිවෙත් ඇතුලු, ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් මෘග ලෙස මර්දනය කිරීමට රාජ්‍ය බලය මුදා හැරීම පිනිස ජනාධිපතිට පුලුල් බලතල ලබා දී ඇත.

මෙම තත්වය තුල, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව තමන්ගේ මූලික සමාජ අයිතීන් රැකගැනීමට අරගලවලට එලඹෙන කම්කරු පන්තිය තල්ලු වන්නේ, ආන්ඩුව සමග මුහුනට මුහුන ලා කෙරෙන ගැටුමකට ය. ශ්‍රී ලංකාව තුල වර්ධනය වන්නේ, කම්කරු පන්තිය සහ ධනපති පාලක පන්තිය අතර විප්ලවවාදී ගැටුමකි.

කම්කරු පන්තිය, එම ගැටුම සදහා දේශපාලනිකව, න්‍යායිකව සහ සංවිධානාත්මක ලෙස සූදානම් වීම අවශ්‍ය ය.

ධනේශ්වර විරුද්ධ පක්ෂ, ප්‍රධාන කොටම සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කුමන විවේචන මතු කල ද, ඔවුන්ට ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් සමග කිසිදු අතිමූලික මතභේදයක් නැත. ඔවුනුත් ආන්ඩුව මෙන් ම ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට කැප වී සිටිති.

සජබ සහ ජවිපෙ උත්සුකතාව වී ඇත්තේ, වික්‍රමසිංහ ආන්ඩුව, එය අතිශයින් ම අපකීර්තියට පත්ව සිටින තතු යටතේ, මහජන විරුද්ධත්වය තලා දමමින් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට අසමත් වේවි ද යන්න යි. ඒ නිසා මෙම පක්ෂවල අභිප්‍රාය වී ඇත්තේ, තමන්ගේ ම ආන්ඩුවක් පිහිටුවා, මහජන විරුද්ධත්වය මෘග ලෙස තලා දමමින්, මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල තමන්ම ක්‍රියාවට දැමීම යි.

සසප, මෙම තියුනු දේශපාලන වර්ධනයන් තුල මැදිහත් වන්නේ, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂවලට සහ ඔවුන්ගේ ඒජන්තයන් වන වෘත්තීය සමිතිවලට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධානවලට එරෙහිව, කම්කරු පන්තිය සදහා විප්ලවවාදී සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කිරීමට ය.

අපි, එවක පැවති රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන නැගීටීම තුල, පසුගිය වසරේ ජුලි මස මැද දී සසප දියත් කල කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ අපගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නෙමු. අපි එම අරගලය කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ආන්ඩුවේ මෘග ප්‍රහාරයට එරෙහි අපගේ උද්ඝෝෂනයේ හරි මැදට ගෙනවිත් තිබේ.

මෙම නව මූලෝපායික මූලිකත්වය නිවේදනය කරමින් නිකුත් කල පසුගිය වසරේ ජුලි 20 පක්ෂ ප්‍රකාශය තුල අප පැහැදිලි කර ඇති ආකාරයට, සම්මේලනය ගොඩනැගීමේ අපගේ ව්‍යාපාරයේ ඉලක්කය වන්නේ, ගම්බද දූගීන් රැලි කරගත්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. ඒ සමාජවාදී ජාත්‍යන්තරවාදී පිලිවෙත් මත පාදක වුනු කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීම සඳහා ය.

විරෝධතාකරුවන්, 2022 ජූලි 9 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි ජනාධිපති නිල නිවස දෙසට දිවෙන වීදියක රැස් ව සිටිති. (AP Photo/Amitha Thennakoon) [AP Photo/Amitha Thennakoon]

පසුගිය වසරේ මහජන නැගිටීමෙන් උකහා ගත යුතු තීරනාත්මක පාඩම නම්, කම්කරු පන්තියට, තමන්ට ඉවසිය නොහැකි බවට පත්ව ඇති ධනේශ්වර පාලනයට අභියෝග කිරීමට, ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් සහ මූලෝපායක් අවශ්‍ය බව යි. ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ විවෘත ඒජන්තයන් ලෙස ක්‍රියා කරමින්, ඔවුන්ගේ වැඩෙන අරගල යට ගැසීමට

ක්‍රියා කරන වෘත්තීය සමිති පිලිබද කටුක අත්දැකීම්වලින් කම්කරුවන් උකහා ගත යුතු පාඩම නම්, තමන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සදහා සටන් වැදීමට සමිතිවලින් ස්වාධීන තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු තනාගැනීමේ හදිසි අවශ්‍යතාව යි.

අප ගොඩනැගීමට සටන් වදින ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය පාදක වන්නේ, දිවයින පුරා එම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වන නියෝජිතයන් මත ය.

එමෙන්ම, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අපගේ අරගලය, සසජාතශි සහභාගිත්වය සහිතව හජාජාක දියත් කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ උද්ඝෝෂනය සමග බැදී පවතී.

කම්කරු පන්ති‍ය වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වර්ජන හා විරෝධතා ඇතුලු අරගලවලට අවතීර්න වන විට, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි

ව්‍යාජ-වාම සංවිධාන, ඔවුන් ධනපති පාර්ලිමේන්තු රාමුව තුල කොටු කිරීමට උත්සාහ කරමින්, කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය පීලිපැන්නවීමට කටයුතු කරති. පසුගිය වසරේ මහජන නැගිටීම තුල දී ද ඔවුන් කලේ මෙයම ය. ඔවුන් වැඩ කරන්නේ, තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍ර සහ සමාජ අයිතීන් සඳහා සටන් වදින කම්කරු පන්තියට පවතින ප්‍රධාන බාධකය ලෙස ය.

ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයේ එල්ලය වන්නේ, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම පිනිස, ගම්බද දුගින් රැලි කරගත්, කම්කරු පන්තියේ ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ අරගලය, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර පරිමානව සමාජවාදය සදහා වූ පුලුල් අරගලයක කොටසකි.

අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටින්නේ, කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීම පිනිස ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය ගොඩනැගීමේ මෙම ව්‍යාපාරය පෙරට ගැනීමට සසප සමග එක් වන ලෙස යි.

ස්තුතියි, සහෝදරවරුනි.

Loading