ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කුරිරු ජාමූඅ පියවර අනුමත කරයි

[මෙය Sri Lankan parliament approves savage IMF measures යන මැයෙන් 2023 ‌අප්‍රේල් 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ (වමේ) 2023 පෙබරවාරි 8 වැනි බදාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිනෙමින්. මැද සිටින්නේ පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන ය. [ඒපී ඡායාරූපය/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

සිකුරාදා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දින තුනක විවාදයකින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අනුමත කලේය. ප්‍රධාන වශයෙන්ම පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 ක් විසින් එය අනුමත කරන ලද අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් 25ක්—ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) තිදෙනෙක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් බිඳී ගිය කන්ඩායම්වලින් 22 දෙනෙක්—විරුද්ධව ඡන්දය දුන්හ.

ප්‍රධාන විපක්ෂ කන්ඩායම වන සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග ඉලංකෙයි තමිල් අරසු කච්චි (ඉතඅක) මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

විරුද්ධව ඡන්දය දුන් හෝ වැලකී සිටි අයට ජාමූඅ ඉල්ලීම් සමඟ මූලික නොඑකඟතාවයක් නැති මුත්, කප්පාදු පියවරයන්ට එරෙහිව නැගෙන මහජන විරෝධයෙන් ප්‍රයෝජන ගැනීමට නරුම ලෙස උත්සාහ කරමින් සිටිති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රේල් 26 දා ජාමූඅ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. 'අපට ජාමූඅ ගිවිසුම හැර වෙනත් විකල්පයක් නැහැ... අපි දෙපක්ෂයම එකතු වී මෙය සම්මත කරමු' යනුවෙන් ප්‍රකාශ කල ඔහු, එයට මෙසේ ද එකතු කලේය: 'මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක නොකලොත්, අපි කාටවත් තව අවුරුදු දෙක තුනක්වත් ඉන්න බැරි වේවි.”

ආන්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුම පසුගිය සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලදී. කෙසේ වෙතත්, ජාමූඅ විධායක මන්ඩලය, එහි ම්ලේච්ඡ ප්‍රහාර ක්‍රියාවට නැංවීමට කොලඹට ඇති හැකියාව සමාලෝචනය කිරීමෙන් පසුව මාර්තු 20 දා ඩොලර් බිලියන 3 ක ඇප නය අනුමත කලේය.

මෙම ක්‍රියාමාර්ගවලට ඇතුලත් වූයේ: සියලු භාන්ඩ හා සේවා සඳහා අගය එකතු කල බද්ද (වැට්) සියයට 15 දක්වා ඉහල නැංවීම; දහස් ගනනක් කම්කරුවන් සහ වෘත්තිකයන් මත උපයන විට ගෙවන බද්දෙහි නව අනුපාත පැනවීම; ඉන්ධන, විදුලිය සහ ජල සැපයුම් සඳහා සහන අහෝසි කිරීම සහ ගාස්තු ඉහල නැංවීම; වෙලෙඳපොල මත පදනම් වූ විනිමය අනුපාතය පවත්වා ගැනීම; ආනයන අඩු කිරීම; සහ 2006 න් පසු බඳවා ගත් අය සඳහා දායක යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම හරහා රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් කපා හැරීම යනාදියයි

ජාමූඅ මූලික වශයෙන් ඉල්ලා සිටි ක්‍රියාමාර්ගවලින් 15 කට වඩා දියත්කර ඇති බවට වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පුරසාරම් දෙඩුවේය. මෙම ප්‍රතිපත්ති,—පසුගිය වසරේ ඇස්තමේන්තු කර ඇති සියයට 7.8 කින් සහ මේ වසරේ පුරෝකථනය කරන ලද සියයට 3 ක—පෙර නොවූ විරූ ආර්ථික සංකෝචනයකට ද දායක වෙමින්, අධිඋද්ධමනය වැඩි කර, පවුල් මිලියන ගනනක් මුහුන දෙන දරිද්‍රතාවය සහ සාගින්න ඉහල නංවා ඇත.

ඇපදීමේ පැකේජය සහ ඩොලර් මිලියන 330 ක පලමු වාරිකය නිවේදනය කරමින්, ශ්‍රී ලංකාව සඳහා ජාමූඅ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කලේ රට “කුරිරු අත්හදා බැලීමකට” ලක් වෙමින් පවතින බවයි. ජාමූඅ සමාලෝචනයට සහ අධීක්‍ෂනයට යටත්ව, ඇපදීමේ නයේ ඉතිරි කොටස වාරික තුනකින් මුදා හරිනු ඇත.

වික‍්‍රමසිංහ ආන්ඩුව දැන් කැපවී සිටින්නේ රජය සතු ව්‍යවසායන් (රසව්‍ය) පුද්ගලීකරනය කිරීමට, තව තවත් බදු ආදායම වැඩි කිරීමට, අධ්‍යාපනය සහ සෞඛ්‍යය තව දුරටත් කප්පාදු කිරීමට ය. එය තවත් පුද්ගලික ආයෝජන සඳහා මග පාදනු ඇති අතර ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින්ගේ රැකියා විනාශ කරනු ඇත.

ආන්ඩුව දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම ද සිදු කල යුතුය. ආන්ඩුවට ප්‍රධාන දේශීය නය දෙන්නන් වන්නේ රාජ්‍ය බැංකු සහ ප්‍රධාන විශ්‍රාම වැටුප් අරමුදල් වන සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලයි. මෙම නයවල යම් අඩුවීමක් කම්කරුවන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ ඉතුරුම් සහ ජීවනෝපාය කෙරෙහි දැඩි ලෙස බලපානු ඇත.

නය ප්‍රතිව්‍යුහගත කිරීමට අකමැති බැංකු වලට වික්‍රමසිංහ තර්ජනය කලේය. ඔවුන්ට 'මෙම තත්වයට මුහුන දිය නොහැකි' නම් 'මෙම වගකීම භාරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයැ'යි පැවසූ ඔහු කියා සිටියේ 'කොටස් වෙලඳපොල පවසන්නේ එය කඩා වැටෙනු ඇති බව යි. එය සිදු වුවහොත්, මම එය [කොටස් වෙලඳපොල] වසා දමනවා” යනුවෙනි.

මෙම ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ, කම්කරුවන්ට සහ දුප්පතුන්ට ගෙවීමට සලස්වන බවට විදේශ නය හිමියන්ට සහතික වෙමින්, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ නියමයන් සඳහා වික්‍රමසිංහගේ සම්පූර්න කැපවීමයි.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පිලිබඳ පාර්ලිමේන්තු විවාදය සරදමකි. විපක්ෂයේ සජබ කලින් ජාමූඅ වෙත නොයෑම ගැන ආන්ඩුව හෙලා දුටුවේ එය එකම විකල්පය බව අවධාරනය කරමිනි. කොවිඩ්-19 ගෝලීය වශයෙන් පැතිරීම සහ නොනැසී පැවතීමත්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයත් මගින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන විදේශ නය සහ ආර්ථික අර්බුදය තීව්‍ර විය.

ආන්ඩුව ජාමූඅ වෙත යාම 'නිවැරදි' නමුත් 'සාකච්ඡා කරන ලද විසඳුම් වැරදි' බවත්, සාමාන්‍ය ජනතාව මත පනවා ඇති කප්පාදු පිලිවෙත් වලට තමා එකඟ නොවන බවත් සජබ නායක සජිත් ප්‍රේමදාස නරුම ලෙස පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේය. ඔහුට ජාමූඅ ගිවිසුම්ගත කරුනු සමග ගනුදෙනු කල නොහැකි බව දන්නා ප්‍රේමදාසගේ ප්‍රකාශ, ජනතාව රැවටීමේ උත්සාහයකි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිංගප්පූරුව සහ මැලේසියාව විසින් අනුගමනය කරන ලද පුද්ගලීකරන මොඩල හුවා දැක්වූ අතර, මේවා රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය සඳහා කදිම ක්‍රම ලෙස ඉදිරිපත් කෙරිනි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ප්‍රධාන විපක්ෂයේ සංවිධායක වන ලක්ෂ්මන් කිරිඇල්ල ජාමූඅ කප්පාදු පියවර පැසසුමට ලක් කරමින්, එය 'සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ නය තිරසාරත්වය ප්‍රතිෂ්ඨාපනය කරන' සහ 'ශ්‍රී ලංකාවේ වර්ධන විභවයන් අගුලු හරින' බව පැවසීය.

සජබ උත්සුකය වූයේ ආන්ඩුව 'ජාමූඅ වෙත දුන් පොරොන්දු ඉටු කරයිද නැද්ද' යන්න බව ඔහු පැවසීය. මෙය, 2019 නොවැම්බරයේ බලයට පත්වීමෙන් පසු ඔහුට පෙර පැවති ආන්ඩුවේ ජාමූඅ ක්‍රියාමාර්ග නවතා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිලිබඳ සඳහනකි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජාමූඅ වැඩපිලිවෙල කුහක ලෙස විවේචනය කලේ එය, පැවති දූෂිත ආන්ඩු විසින් ම නිර්මානය කලා වූ වත්මන් සමාජ ගැටලු තවත් නරක අතට හරවනු ඇති බව පවසමිනි. පසුගිය ආන්ඩුවල දූෂන පිලිබඳ විවිධ උදාහරන ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ, අත්‍යවශ්‍ය කප්පාදු ක්‍රියාවට නංවන තම පක්ෂය සම්බන්ධ දූෂිත නොවන ආන්ඩුවක්, ඉදිරියට යා හැකි එකම මග බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දිසානායක “ස්වර්නවාහිනී” සාකච්ඡා වැඩසටහනකදී, ශ්‍රී ලංකාව විදේශ නය පැහැර හැරීම නිසා “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි” බවත්, “සමාජය යම් පිරිවැයක් දැරිය යුතු” බවත්‍ පැවසුවේ ය.

ජනවාරි 24 දා දිසානායක කොලඹ පැවති මහා ව්‍යාපාරික හමුවකදී, අධ්‍යාපනය සහ සෞඛ්‍යය තවත් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම අවශ්‍ය බව පැවසුවේය. ඔහු අවධාරනය කලේ: “අපට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය නම්, අප එය කල යුතුය. වේදනාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අපට බල කෙරෙනු ඇත.”

ප්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි, ආර්ථික අර්බුදයට ඇති එකම විසඳුම ලෙස ජාමූඅ නය පැකේජය සඳහා ප්‍රසිද්ධියේ උද්ඝෝෂනය කර ඇත. එය සිය තානය වෙනස් කරමින්, දෙමල ජනතාව අතර නැගෙන විරෝධය අපසරනය කර හැරීම සඳහා වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති විවේචනය කිරීමට පටන් ගෙන තිබේ.

පසුගිය සතියේ අප්‍රේල් 25 දා, ප්‍රධාන වශයෙන් දෙමල හා මුස්ලිම් කම්කරුවන් සහ දුගීන්, ආන්ඩුවේ ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතට විරුද්ධ වෙමින් සහ ජීවන හා සමාජ කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයට එරෙහිව සිය කෝපය ප්‍රකාශ කරමින්, රටේ උතුරු හා නැගෙනහිර මුලුමනින්ම පාහේ වසා දැමීමක් දියත් කලහ.

මාර්තු 1 සහ 15 යන දිනවල ශ්‍රී ලංකාව පුරා කම්කරුවන් මිලියන භාගයක් පමන, වැඩි වූ ආදායම් බදු අනුපාත සහ පුද්ගලීකරනයට එරෙහිව වැඩ වර්ජන හා විරෝධතාවල නිරත වූහ. ජාමූඅ ප්‍රතිපත්තිවලට සෘජුව හෝ වක්‍රව සහාය දෙන වෘත්තීය සමිති නිලධරයන්, ආන්ඩුවට එහි කප්පාදු පිලිවෙත් සහ මර්දන නීති නතර කිරීමට බලපෑම් කල හැකි බවට මිත්‍යාවන් වපුරමින් මෙම අරගල සීමා කලේය.

අප්‍රේල් 28 දා, කොලඹ දිනපතා පුවත්පත් දෙකක්—ඩේලිමිරර් සහ අයිලන්ඩ්—ජාමූඅ පියවරයන්ට සහාය දක්වන කතුවැකි ප්‍රකාශයට පත් කලේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට හෝ වෙනත් ඕනෑම දෙයකට සහාය දැක්වීමට හෝ විරුද්ධ වීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය ප්‍රශ්න කල නොහැක. නමුත් යාචකයින්ට තේරීමක් නොමැති බව ඔවුන් අමතක නොකල යුතුය,” අයිලන්ඩ් ප්‍රකාශ කලේය. ඩේලිමිරර් මෙසේ පැවසීය: 'අපි එකට වැඩ නොකරන්නේ නම්, රන්ඩු දබර කිරීම ආරම්භ කරන්නේ නම් සහ කේලාම් කියන්නේ නම්, අපි අතීතයේ පැවති හෝ ඊටත් වඩා නරක තත්වයකට මුහුන දීම අපේක්ෂා කල යුතු ය.'

මෙම කතුවැකිවලින් පෙන්නුම් කරන්නේ, නැගී එන මහජන විරෝධය සහ කම්කරු පන්තියට හා දුප්පතුන්ට එරෙහිව ප්‍රති-විප්ලවවාදී බලවේග ඒකරාශී කිරීමේ අවශ්‍යතාවය ගැන පාලක ප්‍රභූව දැඩි සැලකිල්ලක් දක්වන බවයි.

2022 අප්‍රේල් සහ ජූලි මාසවල කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ මහජන නැගිටීම, ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ පාලන තන්ත‍්‍රය බිඳ දැමූ අතර, ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ලත් වෘත්තීය සමිති නිලධරය, වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ඔසවා තැබීමට ඉඩ හලේය.

දැවැන්ත සමාජ අර්බුදයට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් නියම කරන ලද ප්‍රහාරවලට, කම්කරුවන් සහ දුප්පතුන් සඳහා විසඳුමක් ධනේශ්වර ක්‍රමය තුල නම් නැත. සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියට තමන්ගේම ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කර ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් කැඩී වෙන්වන ලෙස ඉල්ලා සිටින්නේ එබැවිනි.

ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කිරීමටත්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙන යාමටත් කම්කරුවන් සෑම වැඩබිමකම සහ ගම්බද ප්‍රදේශයකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

එවැනි ආන්ඩුවක් බැංකු සහ වතු ඇතුලු ප්‍රධාන සංගත ජනසතු කල යුතු අතර, ඒවා ප්‍රජාතන්ත්‍රවාදී මහජන පාලනය යටතට පත් කරමින්, සුපිරි ධනවතුන්ගේ ධනය අත්පත් කරගෙන විදේශ නය ප්‍රතික්ෂේප කල යුතුය.

ප්‍රන්සයේ සහ යුරෝපය පුරා, කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ දිග හැරෙන කම්කරු අරගල ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැඟී එන පිබිදීමක කොටසකි. ඉහත වැඩපිලිවෙල සඳහා අරගලය ඉදිරියට ගෙන යාමට නම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු, සමඟ සම්බන්ධීකරනය කල යුතුය.

Loading