ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයෝ වික්‍රමසිංහ පාලනයට පීඩනය යෙදීම සඳහා “පුලුල් එකමුතුවක්” ඉල්ලා සිටිති

(මෙය, Sri Lankan trade union leaders call for “broader unity” to pressure the Wickremesinghe regime මැයෙන්, 2023 මැයි 08 දා ලෝසවෙඅ හි පල වූ ලිපියේ පරිවර්තනයකි.)

ශ්‍රී ලංකා වෘත්තීය සමිති සහ අනෙකුත් සංවිධානවල සන්ධානයක් පසුගිය සතියේ මැද කොලඹ සිරිසේන ක්‍රීඩා පිටියේදී මැයි දින රැලියක් පැවැත්වීය. උත්සවය අමතමින් වෘත්තීය සමිති නායකයින් සියලු වෘත්තීය සමිති අතර “පුලුල් එකමුතුවක්” ඉල්ලා සිටි අතර, ඔවුන් කියා සිටියේ, එය වික්‍රමසිංහ ආන්ඩුවට එහි කප්පාදු පියවර සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර අවසන් කිරීමට දේශපාලන පීඩනය වැඩි කරනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ කොලඹ දී මැයි දින වේදිකාව මත සිටින වෘත්තීය සමිති නිලධාරීන්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ඒ හා සමාන මිත්‍යාවන් තොරොම්බල් කරන ලද මාර්තු 1 සහ 15 යන දිනවල පැවැත්වූ සීමිත වැඩ වර්ජන සහ විරෝධතා වලදී ද, එක් එක් අවස්ථාවට කම්කරුවන් මිලියන භාගයක් සහභාගී වූහ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ධනවාදය මුහුන දෙන ආර්ථික අර්බුදය විසඳීමට ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවර අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරන ජනාධිපති වික්‍රමසිංහ, ඒ කිසිවක් වෙනස් නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේ පැවති රැලියට වෘත්තීය සමිති 14 ක් සම්බන්ධ විය. මෙයට නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ලංකා ගුරු සංගමය (ලංගුස), සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය (සෞවෘස), වානිජ හා කාර්මික සේවක සංගමය (සීඑම්යූ), ලංකා බැංකු සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, සහ සමස්ත ටෙලිකොම් සේවක වෘත්තීය සමිති ඇතුලත් විය. දාබිඳු සාමූහිකය, කාන්තා මධ්‍යස්ථානය, මානව සංවර්ධනය සඳහා වූ විප්ලවීය පැවැත්ම (මාසංවිපැ) ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ගොවි ව්‍යාපාරය, ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සඳහා වන වැවිලි ව්‍යාපාරය සහ සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වූ ජාතික සංගමය වැනි විවිධ රාජ්‍ය නොවන සංවිධාන ද සම්බන්ධ විය.

පසුගිය සතියේ මැයි දින රැලිය කැඳවූ වෘත්තීය සමිති, විවිධ ක්ෂේත්‍ර අලලාගත් කම්කරුවන් 100,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන නමුත් ඊට සහභාගී වූයේ 1,500 ක් හෝ ඊට වැඩි පිරිසක් පමනි. මෙයින් පෙන්නුම් කරන්නේ වෘත්තීය සමිති තන්ත්‍රය කෙරෙහි මෙන්ම, ඕනෑම මහජන බලමුලු ගැන්වීමක් අවහිර කිරීමට එම සමිතිවල අධිෂ්ඨානයට එරෙහිව කම්කරු පන්තියේ පුලුල් ස්ථරවල වැඩෙන අවිශ්වාසය සහ සතුරුකමයි.

නිවෙකපොසේසේසයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් රැලියට පැවසුවේ, කොවිඩ්-19 වසංගතය අතරතුර කම්හල් 40ක් වසා දැමීමෙන් ඇඟලුම් කම්කරුවන්ට රැකියා 150,000ක් සහ කුඩා කර්මාන්තශාලා ගනනාවක් වසා දැමීම හේතුවෙන් තවත් 73,000කට රැකියා අහිමි වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම කුරිරු රැකියා විනාශයට තම සංගමය ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි පැහැදිලි කිරීමට ඔහු අසමත් විය. ඇත්ත වශයෙන්ම, 2020 දී වසංගතය ආරම්භ වූ දා සිටද, යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය පුපුරා යාමෙන් පසුවද, ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය ගැඹුරු වීමෙන් කම්කරුවන් අඛන්ඩ රැකියා අහිමිවීම්වලට මුහුන දුන්හ.

රැකියා ආරක්ෂා කරනවා වෙනුවට, නිවෙකපොසේසේස සහ අනෙකුත් වෘත්තීය සමිති ආන්ඩුවට කොවිඩ්-19 වසංගතය සඳහා ක්‍රියාත්මක කෙරුනු පියවර ඉවත් කිරීමට සහාය දෙමින්, අවම ආරක්ෂන පියවර නොමැතිවද සහ අඩු වැටුප්වලටද කම්කරුවන් නැවත ඔවුන්ගේ කර්මාන්තශාලා සහ සේවා ස්ථාන වෙත යැවූහ. පසුගිය සැප්තැම්බරයේ, එස්කුවෙල් සමාගම කර්මාන්තශාලා කිහිපයක් වසා දමන බව නිවේදනය කල විට, මාකස් කම්කරුවන්ට නියෝග කලේ සොච්චම් වන්දියක් සමඟ ඊනියා ස්වේච්ඡා විශ්‍රාම ගැනීම් භාර ගන්නා ලෙසයි.

මැයි දින රැලියට සුලු පිරිස පමනක් පැමිනීම යුක්තියුක්ත කිරීම සඳහා උත්සාහ කරමින් මාකස් ප්‍රකාශ කලේ වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රති-ත්‍රස්ත පනතට (ඒටීබී), ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට (පීටීඒ) එරෙහිව සහ වැටුප් මත උපයන විට ගෙවන (උවිගෙ) බද්ද අහෝසි කිරීම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම සඳහා බොහෝ අරගල පැවති බවයි.

“ඒ අරගලවලට සම්බන්ධ අය අද මෙතැන සිටිය යුතුයි. නමුත් ඔවුන් වෙනත් දේශපාලන පක්ෂවල මැයි දින සැමරුමට සම්බන්ධ වෙලා” යැයි ඔහු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සමගි ජන බලවේගය (සජබ), පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනාදියට අවධානය යොමු කරමිනි.

'අපි කෙතරම් සටන් කලත්, ආන්ඩුවේ වැඩපිලිවෙල නැවැත්වීමට අප අසමත් වී ඇත' යනුවෙන් මාකස් පැවසුවේ වෘත්තීය සමිතිවල නිෂ්ඵල ස්වභාවය පිලිගනිමිනි. කෙසේවෙතත්, වැඩි පීඩනයක් යෙදීම සඳහා වෘත්තීය සමිති “එක්සත්කම” අවශ්‍ය බව ඔහු අවධාරනය කලේය.

මෙය ලංගුස යේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විසින් ප්‍රතිරාවය කරන ලදී. 'සියලු වෘත්තීය සමිති එකතු විය යුත්තේ ඇයි?' යනුවෙන් පූච්චානම් සහගතව ප්‍රශ්න කල ඔහු එයට පිලිතුරු දෙමින් කියා සිටියේ, තම ප්‍රධාන සතුරා 'වැඩ කරන ජනතාව සහ වෘත්තීය සමිති' ලෙසත් වෘත්තීය සමිති නායකයින් 'ත්‍රස්තවාදීන්' ලෙසත් වික්‍රමසිංහ සලකන බැවින් එය එසේ වියයුතු බවයි. මෙලෙස [ඔහුගේ කතාවෙන්] ඔහු සඳහන් කලේ කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාමාර්ග 'ත්‍රස්තවාදය' ලෙස සලකනු ලබන සහ එවැනි ක්‍රියා කැඳවන්නන් 'ත්‍රස්තවාදීන්' ලෙස හඳුන්වන්නා වූ ආන්ඩුව විසින් සැලසුම් කරනලද ඒටීබී [කෙටුම්පත] ගැනයි.

වික්‍රමසිංහගේ වාචාල කතා තිබියදී, ඔහුගේ පාලන තන්ත‍්‍රය මුලුමනින්ම රඳා පවතින්නේ, කම්කරුවන්ගේ ඉල්ලීම් හුදකලා කර එක්දින ක‍්‍රියාවන්වලට සහ නිෂ්ඵල විරෝධතාවලට සීමා කරමින්, ඒවා පාලනය කිරීමට සහ විසුරුවා හැරීමට වෙර දරන වෘත්තීය සමිති මත ය. වෘත්තීය සමිති විසින් කම්කරුවන්ගේ අරගල පීලි පැන්නීම වික‍්‍රමසිංහ විසින් භාවිතා කරනු ලබන්නේ ආඥාදායක පාලනයක් කරා තම ධාවනය වේගවත් කිරීමට ය.

ලංගුස සහ ජවිපෙ විසින් පාලිත ලංකා ගුරු සේවා සංගමය මෙම ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත. 2021 දී, ඔවූහු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 250,000 කට වැඩි පිරිසක් විසින් වැඩි වැටුප් සඳහා කෙරෙනු දින 100 වැඩ වර්ජනය පාවා දුන් අතර ගුරුවරුන්ගේ මුල් වැටුප් ඉල්ලීමෙන් තුනෙන් එකක් සඳහා ගිවිසුමක් අත්සන් කලහ.

රැලිය අමතමින් සෞවෘස නායක රවී කුමුදේශ්, හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බිඳ දැමූ පසුගිය වසරේ අප්‍රේල්-ජූලි මහජන නැගිටීමෙන් පසු වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කම්කරුවන්ට නරුම ලෙස දොස් පැවරීය. “අපි බනින්න ඕනා අපිව පාලනය කරන්න ජාත්‍යන්තරේ උවමනාවන්ට වැඩ කරන නියෝජිතයෙක් පත් කරල නිකම් බලාගෙන ඉන්න අපිට,” යැයි ඔහු ප්‍රකාශ කලේය.

කුමුදේශ්ගේ ව්‍යාජ ප්‍රකාශ වෘත්තීය සමිති නිලධරයට මනාව ගැලපෙන්නකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂවල පිටුබලය ලත් වෘත්තීය සමිති, රාජපක්ෂ යටතේ අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ සජබ සහ ජවිපෙ ඉල්ලීම් පිටුපස මහජන ව්‍යාපාරය අවමන්ගත කලහ. මේ අනුව, ඔවූහු රාජපක්ෂ පාලනයට හා ශ්‍රී ලංකාවේ ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීමත් සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අවශ්‍ය අරගලයත් වැලැක්වූහ.

කවර හෝ අනාගත මැතිවරනයක දී “නැවතත් රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් බලයට පත්වුනොත් ඔහුට එක්කො උගන්වන්න ඕනා මේ රටේ මිනිස්සුත් එක්ක පාලනය කරන හැටි, නැත්තම් එහෙම පාලනය කරන්න දන්න කෙනෙක් පත් කරගන්නට ඕනේ,” කුමුදේශ් තවදුරටත් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, වෘත්තීය සමිති නිලධරයට අනාගත ආන්ඩු සමග වැඩි සහයෝගීතාවයක් අවශ්‍ය වන අතර කම්කරු පන්තිය ඔවුන්ගේ (නිලධරයේ) අවශ්‍යතාවලට යටත් කිරීමෙහිලා සිය භූමිකාව පවත්වා ගනු ඇත.

ව්‍යාජ වාම පක්ෂ සහ සංවිධාන ද ඇතුලුව රැලියේ කථිකයන් ප්‍රන්සයේ මහා වැඩ වර්ජන සහ විරෝධතා සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය ගැන මුලුමනින්ම නිශ්ශබ්ද වූහ. ඒ වෙනුවට, දිවයිනේ මූල්‍ය දුෂ්කරතාවය ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසක් යන කාරනය වසන් කරමින්, ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය සඳහා අතීත සහ වත්මන් පාලකයන්ගේ දූෂන වගකිව යුතු බව දොස් පැවරූහ.

[ඡායාරූපය: ලෝසවෙඅ]

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) වාර්තාකරුවෝ රැලියට සහභාගී වූ සමහර කම්කරුවන්ට කතා කලහ.

කොලඹ සිට කිලෝමීටර් 20ක් පමන දුරින් පිහිටි රාගම නගරයේ ගුරුවරියක් වෘත්තීය සමිතිවල පාවාදීම් සම්බන්ධයෙන් සිය අතෘප්තිය ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කලාය: “මෙය ජාත්‍යන්තර කම්කරු පන්තියේ දිනයක්, ඒ නිසායි අප මේ ආකාරයේ සිද්ධියකට සම්බන්ධ විය යුත්තේ. මම සමාජවාදය විශ්වාස කරනවා නමුත් මම කිසිම වෘත්තීය සමිතියකට හෝ දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. මම ඕනෑම අරගලයකට සූදානම්, ඒ නිසා තමයි මම පොතක් ගත්තේ,” යනුවෙන් රුසියානු විප්ලවය හැදැරිය යුත්තේ මන්ද? යන සිංහල භාෂාවෙන් පලවූ තමා සසප සාහිත්‍ය මේසයෙන් මිලදී ගත් පොත ගැන සඳහන් කරමින් ඇය පැවසුවාය.

කොලඹ සිට කිලෝමීටර 40ක් පමන දුරින් පිහිටි මීගමුව නගරයේ ධීවර ප්‍රජාවේ දරුවන් දෙදෙනෙකුගේ මවක් මෙසේ පැවසුවාය: “අපි අද කම්කරු දිනයට ආවා. අපි ධීවර අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ අපි දුක් විඳින නිසාත් අපේ දරුවන්ට අනාගතයක් නැති නිසාත්. මටයි මගේ මහත්තයටයි ජීවත් වෙන්නත් අපේ එදිනෙදා වියදම් පියවන්නත් ගොඩක් මහන්සි වෙන්න වෙනවා.” රාජපක්ෂ පාලනයට එරෙහි මහජන නැගිටීමට සහභාගී වූ ඇය, “අපි ගිය අවුරුද්දේ ආරම්භ කල අරගලය තවමත් කරගෙන යනවා” යැයි පැවසුවය

වික‍්‍රමසිංහ තන්ත‍්‍රයට එරෙහිව නැගෙන මහජන කෝපය හා සමිතිවලට එරෙහිව ගැඹුරු වන කම්කරු පන්තික අවිශ්වාසය හමුවේ වෘත්තීය සමිති නිලධරය විසින් 'සියලු වෘත්තීය සමිතිවල එකමුතුව' සඳහා වන කැඳවුම් සහ ආන්ඩුවට හා හාම්පුතුන්ට වැඩි පීඩනයක් යෙදවීමට කම්කරුවන්ට කෙරෙන බංකොලොත් කැඳවුම් [නිලධරය] ඉදිරියට දමමින් තිබේ.

කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ දේශපාලන හා කාර්මික අරගලය සඳහා තමන්ගේම ස්වාධීන සංවිධාන ගොඩනැගීමෙන් පමනි. වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීනව වැඩබිම්වල, වතුකරයේ සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

කම්කරු පන්තියේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම, වික්‍රමසිංහ තන්ත‍්‍රයට හා ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් සමග එකට බැඳී පවතී. සෑම රටකම කම්කරු පන්තිය මුහුන දෙන යථාර්ථය මෙයයි.

සසප මෙම සටන ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන ඉදිරිදර්ශනයක් සහ වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇත. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සහ නොවිසඳුනු සියලු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ආමන්ත්‍රනය කිරීමට ක්‍රියාකාරී කමිටු වලින් තෝරා පත් කරගත් නියෝජිතයින්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් අප කැඳවුම් කර සිටිමු.

Loading