ජාමූඅ කප්පාදු මුදාහැරීමෙන් පසු, ජනාධිපතිවරයා දුගීන් සඳහා “සහන” වැඩසටහනක් ආරම්භ කරයි

(මෙය After unleashing IMF austerity, Sri Lankan president initiates “compensation” welfare program for the poor මැයෙන් 2023 මැයි 12දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති වික්‍රමසිංහ, රටෙහි දුගීන් සඳහා “අස්වැසුම” නමැති සමාජ සුභසාධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය (පීඑම්ඩී) අඟහරුවාදා නිවේදනය කලේ ය.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

කෝවිඩ් වසංගතය සහ එක්සත් ජනපදයේ නායකත්වයෙන් නැටෝව යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධය විසින් ජනනය කරන ලද, ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමට ප්‍රතිචාර වසයෙන්, කම්කරුවන් හා ගම්බද පීඩිතයින් මතට ආන්ඩුව එල්ල කරන සමාජ ප්‍රහාර සහ අති-උද්ධමනය අරබයා ඉහල යමින් තිබෙන මහජන කෝපය වාෂ්ප කිරීමට දරන මංමුලා සහගත උත්සාහයක් ලෙස මෙම වැඩසටහන පවතී.

සිය ඊනියා වන්දි වැඩසටහන සඳහා, රුපියල් බිලියන 485ක් වෙන් කිරීමට ආන්ඩුව තීරනය කර ඇත. සංක්‍රමනීය, ගොදුරුවනසුලු, දුගී හා ආන්තික දුගී වසයෙන් වෙනස් කාන්ඩ හතරකට අනුව ප්‍රතිලාභ බෙදා දෙනු ඇත.

ජූලි 1දා සිට දෙසැම්බර් 31දා දක්වා, සංක්‍රමනීය ප්‍රතිලාභීන් 400,000කට පමන මාසයකට රුපියල් 2,500ක් ලැබෙනු ඇත; 2024 මාර්තු 31දා දක්වා ගොදුරුවන මට්ටමේ ප්‍රතිලාභීන් 400,000කට මාසයකට රුපියල් 5,000ක් ලැබෙනු ඇත; දුගී ප්‍රතිලාභීන් 800,000ක් හා ආන්තික දුගී ප්‍රතිලාභීන් මීලඟ වසර තුන සඳහා පිලිවෙලින් මාසයකට රුපියල් 8,500ක් හා රුපියල් 15,000ක් බැගින් ලබනු ඇත.

විවිධ විෂමාබාධවලින් පෙලෙන්නන්, වකුගඩු‌රෝගීන් හා වැඩිහිටියන්ට දැනට මත් ගෙවන සුභසාධන ගෙවීම්වලට අමතර ව, මුලින් සඳහන් කල කාන්ඩ දෙකට මාසයකට රුපියල් 5,000ක් හා අවසන් කාන්ඩයට මාසයකට රුපියල් 2,000ක් බැගින් ගෙවනු ඇත.

ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340ට, මෙම සුභසාධන සඳහා අයදුම්පත් මිලියන 3.7ට වැඩි ප්‍රමානයක් ලැබී ඇති බවත්, මිලියන 3.3ට අධික පිරිසක් සුදුසුකම් ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කලේ ය. මින් වැඩි ම අයදුම්පත් ප්‍රමානයක් -සියයට 95ට වැඩියෙන්- පැමිනියේ, දිවයිනේ යුද්ධයෙන් ඉරිතැලී ගිය උතුරු හා නැගෙනහිර පලාත්වලිනි.

දැනට පවතින “සමෘද්ධි” සුභසාධන ගෙවීම්වලට සිදුවන්නේ කවරක්දැයි ආන්ඩුව තවමත් නිල වසයෙන් ප්‍රකාශ කර නැතත්, “අස්වැසුම” වැඩසටහන එය විස්ථාපනය කිරීමේ හැකියාව පවතී. 2022 දී සමෘද්ධි ප්‍රතිලාභීන් 1,762,661ක් සිටි අතර, ආර්ථික අර්බුදය තවදුරටත් අගාධයට යන තතු යටතේ, එම සංඛ්‍යාව මේ වසරේ දී අනිවාර්යයෙන් ඉහල යනු ඇත.

ඉහල උද්ධමනයේ ද ආන්ඩුවේ වියදම් හා රැකියා කප්පාදුවේ ද කොන්දේසි යටතේ, වික්‍රමසිංහගේ ඊනියා සහන සුභසාධන වැඩසටහන, අතිශයින් ම ප්‍රමානවත් නො වන අතර, පවුලකට දිනකට එක් වේලක්වත් සැපයීමට පවා ප්‍රමානවත් නො වේ.

2019 දී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කුටුම්බයක මාසික වියදම රුපියල් 63,130ක් බව වාර්තා කල අතර, ගෙවී ගිය වසර තුන පුරා ඉහල යමින් තිබෙන උද්ධමනය හා භාන්ඩ මිල නිසා, මේ වන විට කුටුම්බයක මාසික වියදම රුපියල් 100,000ට වඩා බොහෝ වැඩි ය.

ඩොලර් බිලියන 3ක ඇප නයට හිලවුව ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කරන වික්‍රමසිංහ ආන්ඩුවේ රුදුරු කප්පාදු පියවරයන් දරිද්‍රතාව පෙර නුවූ විරූ මට්ටම්වලට තල්ලු කරනු ඇත. පසුගිය වසරේ, ලංකාවේ ආර්ථිකය සියයට 7.8කින් හැකිලෙද්දී, සිවුවැනි කාර්තුවේ දී දල දේශීය නිෂ්පාදිතය සියයට 12.4කින් ඇදවැටුනි.

මහජනයා සම්බන්ධයෙන් මෙම අර්බුදයේ සමාජ පිරිවැය කවරක් ද?

දරිද්‍රතාව

පසුගිය වසරේ මහ බැංකු වාර්තාවට අනුව, 2022 දී ජාතික දරිද්‍රතා රේඛාව මාසික ව රුපියල් 13,777කින් ඉහල ගියේ, තවත් පුද්ගලයින් මිලියන 2.5ක් දරිද්‍රතාවට ඇද දමමින් වූ අතර, එය සියයට 74ක වැඩිවීමකි.

2021 දී සියයට 13ක් වූ දරිද්‍රතාව 2022 දී සියයට 25ක් දක්වා දෙගුනයක් වී ඇති බව, නවතම ලෝක බැංකු වාර්තාව සටහන් කරයි. “කුටුම්බයන්ගේ ජීවිකාවන් මුහුන දෙන බහුවිධ අන්තරායන් නිසා” එලඹෙන අවුරුදුවල දී දරිද්‍රතා මට්ටම් සියයට 25ට ඉහලින් පවතිනු ඇතැයි බැංකුව පුරෝකථනය කලේ ය.

ගිය වසරේ දී, පිලිවෙලින් සියයට 46කින් හා සියයට 94.9කින් ඉහල ගිය ඉහල යන භාන්ඩ මිල හා ආහාර උද්ධමනය, ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ක්‍රය ශක්තිය කඨෝර ලෙස පහත දැමුවේ ය. සේවා හා නිෂ්පාදන කර්මාන්ත තුල දරුනු රැකියා කප්පාදු ද මේ තත්ත්වයට දරුනු ලෙස බලපා ඇත.

ලෝක ආහාර වැඩසටහනේ දුරස්ථ කුටුම්බ ආහාර ආරක්ෂක සමීක්ෂනයට අනුව, “ජනගහනයෙන් සියයට 68ක්, ආහාර වේලේ ප්‍රමානය සීමා කිරීම, ආහාර වේල් ගනන අඩු කිරීම සහ අඩුවෙන් මනාපීය ආහාර ගැනීම ආදී, ආහාර පාදිත මූලෝපායන් අනුගමනය කරද්දී”, ලංකාවේ “ආහාර සුරක්ෂිතතා තත්ත්වය 2022 වසර අවසානය වන විට අවදානම් සහගත මට්ටමේ රැඳී පැවතුනි.”

“ජනගහනයෙන් සියයට 85ක්, මුදල් නයට ගැනීම, අධ්‍යාපනය හා සෞඛ්‍යය මත වියදම් කැපීම, ඉතුරුම් වියදම් කිරීම හෝ ගෙවිය යුතු නය අත්හැරීම වැනි ජීවිකා පාදක මූලෝපායන් මත රැඳී සිටින” බව ද සමීක්ෂනය වාර්තා කලේ ය.

ලංකාව සඳහා “2023 හා 2024 සඳහා ආර්ථික දැක්ම සෘනාත්මක වීම” සහ “ආදායම් උපයාගැනීමේ ප්‍රතිසංස්කරනවල අසතුටුදායක බලපෑම්” -එනම්, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින ජාමූඅ කප්පාදු පියවරයන්- “දරිද්‍රතා පුරෝකථනයන් වඩාත් නරක අතට හරවනු ඇතැ” යි ලෝක බැංකුව අනතුරු අඟවා ඇත.

සෞඛ්‍යය

ඔක්තෝබරයේ දී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය (පසෞකා) අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂන තත්ත්වයෙහි විනාශකාරී පරිහානියක් වාර්තා කල අතර, එයට හේතුව කුටුම්බ ආදායම් ඛාදනය වීම යි. අවුරුදු පහට අඩු කාන්ඩයේ දරුවන් තුල, කුරුබව, වැහැරීම හා අඩු බර යන ප්‍රධාන පෝෂන දර්ශක සියල්ලක් ම බරපතල ලෙස නරක අතට හැරෙමින් පවතින බව එය සටහන් කලේ ය.

2021 දී සියයට 12.2ක් වූ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ අඩු බර ප්‍රතිශතය 2022 දී සියයට 15.3 දක්වා ඉහල ගියේ ය. එම වයස් කාන්ඩයේ ම දරුවන්ගේ කුරුබව හා වැහැරීම පිලිවෙලින් සියයට 7.4 හා 9.2 සිට සියයට 8.2 හා 10.1 දක්වා ඉහල නැගුනි.

තම ආන්ඩුව ලංකාවේ ආර්ථික අර්බුදය විසඳමින් සිටින බව හා 2026 වන විට රට සෞභාග්‍යය කරා ගෙන වන බවට වික්‍රමසිංහගේ කියාපෑම් නො තකා, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය පල කල 2022 තිරසර සංවර්ධන වාර්තාව කියා සිටියේ, ලංකාව 2030 වන විට ශූන්‍ය කුසගිනි ඉලක්කය කරා ලඟා වීමට පිටුපසින් ගාටන බව යි.

අධ්‍යාපනය

කෝවිඩ් වසංගතය රටට දරුනු ලෙස බලපෑ 2020 දී හා 2021 දී, අධ්‍යාපනයට හා තාක්ෂනයට සම්බන්ධ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ආන්ඩුව අසමත් වීමේ හා ආන්ඩුවේ පිරිවැය කප්පාදුවේ ප්‍රතිඵලය ලෙස, ගෙවී ගිය වසර තුන පුරා සෞඛ්‍යයේ මෙන් ම, නිදහස් අධ්‍යාපන සේවාවන් හා අධ්‍යාපනික ප්‍රතිඵලවල අසමානතාවන් ගැඹුරු වී ඇත.

ලිපි ද්‍රව්‍ය හා අනෙකුත් පාසල් සැපයුම්වල ඉහල මිල ගනන් දැරීමට නො හැකි අඩු-ආදායම්ලාභී කුටුම්බයන්ගේ ලමුන්ට, ඉහල යන උද්ධමනය වැඩිදුර දුෂ්කරතාවන් ජනනය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෑත සමීක්ෂනයට අනුව, 3 ශ්‍රේනියේ සිසුන්ගේ සාක්ෂරතාවේ හා සංඛ්‍යා හැකියාවේ මූලික කුසලතා මට්ටම දැවැන්තව ඇද වැටී ඇත. මෙම සිසුන්ගෙන් සාක්ෂරතා මූලික හැකියාවන් කරා ලඟා වී ඇත්තේ සියයට 6ක් පමනක් වන අතර, ගනන හැකියාවන් කරා එලැඹී ඇත්තේ සියයට 7ක් පමනි.

ලංකාවේ කම්කරුවන්ට හා ගම්බද පීඩිතයින්ට, ගැඹුරු වන දරිද්‍රතාව හා ආන්තික සමාජ අසමානතාව ධනවාදය යටතේ ජයගත නො හැක. වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ සමාජ ප්‍රහාර පරාජය කොට ජයගනුවස්, ජාමූඅ කප්පාදුවට සහයෝගය දෙන සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු පාර්ලිමේන්තු පක්ෂවලින් ද වෘත්තීය සමිතිවලින් ද ස්වාධීන ව කම්කරු පන්තිය සංවිධානය විය යුතු ය.

වැඩපොල, කම්හල්, වතු හා ගම්බද ප්‍රදේශවල තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනාගත යුතු කම්කරුවන් හා ගම්බද දුගීන්, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සමාජවාදී සමානතා පක්ෂය කරන කැඳවුම සියතට ගත යුතු ය.

ඉහත ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයන් මත පදනම් වන මෙම සම්මේලනයේ අභිප්‍රායය වන්නේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි. විදෙස් නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු හා ප්‍රධාන සංගත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කරමින්, දරිද්‍රතාව නිමාවකට ගෙන ඒමට එවන් ආන්ඩුවක් ක්‍රියාත්මක කරනු ඇත.

Loading