සසජාතශි ජාත්‍යන්තර යුද විරෝධී රැස්වීම් මාලාවේ එක්සත් ජනපදයේ රැස්වීම් නිමාවකට ගෙනෙයි

[මෙය, IYSSE concludes US part of international anti-war meeting series යන මැයෙන්, 2023 මැයි 03 දා, ලෝසවෙඅ හි පල වූ ලිපියේ පරිවර්තනයකි.]

පසුගිය සතියේදී සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කල හැක්කේ කෙසේද?” නම් වූ සිය ජාත්‍යන්තර රැස්වීම් මාලාවේ එක්සත් ජනපදය තුල රැස්වීම් නිමාවකට ගෙන ආවේය. පසුගිය මාස දෙක පුරා විවිධ ප්‍රාන්ත දහයක පිහිටි වේන් ස්ටේට්, මිචිගන්, ඈන් ආබර්, නිව් යෝර්ක්, ටෙක්සාස්, ඩලාස්, ඉලිනොයිස්, චිකාගෝ, ඇපලාචියන්, කැලිෆෝනියා, බර්ක්ලි සහ ලොස් ඇන්ජලිස් යන විශ්ව විද්‍යාල 12 ක රැස්වීම් පැවැත්වීය.

මෙම රැස්වීම් මාලාව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෲ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ගේ දේශනයක් සහිතව 120 කට වඩා ශිෂ්‍යයින්ගේ සහභාගීත්වයකින් යුතුව කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්ව විද්‍යාලයේ පැවැත්වූ රැස්වීමෙන් කුළු ගැන්විනි.

2023 අප්‍රේල් 25 වනදා මුව ආවරන සහිත ශ්‍රාවකත්වයකට ඩේවිඩ් නෝර්ත් සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේදී ආමන්ත්‍රනය කරයි. (ඡායාරූප: ලෝසවෙඅ)

මෙම ජාත්‍යන්තර රැස්වීම් මාලාවේදී ඇමරිකාවද ඇතුලත්ව (බ්‍රසීලයේ සිට එක්සත් ජනපදය, කැනඩාව දක්වා) මහාද්වීප පහක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය ඇතුලත්ව රටවල් හතක් තුල මීට පෙර රැස්වීම් පැවැත්වුනු අතර, දැන් ජර්මනියේ සහ එක්සත් රාජධානියේ පැවැත්වෙයි.

මෙම රැස්වීම් මාලාව එහි ජාත්‍යන්තර ස්වභාවයෙන් සහ දේශපාලන අන්තර්ගතයෙන් යන දෙපාර්ශවයෙන්ම අනන්‍යභාවයක් අත් කර ගත්තේය. එක්සත් ජනපද රාජ්‍යය සහ යුද යන්ත්‍රය සමග තදින් බැඳී ඇති, නිව්‍ යෝක්, බර්ක්ලි සහ මිචිගන් වැනි විශ්ව විද්‍යාල තුලද, සසජාතශි රැස්වීම් පැවැත්වීය. ජෙනරල්වරුන්ගේ මෙන්ම, බයිඩන් පාලනාධිකාරියේ සහ යුක්‍රේන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහිතව පසුගිය වසර පුරා මෙම විශ්ව විද්‍යාලයන්හි යුද ගැති රැස්වීම් පැවැත්වුනි.

2022 අප්‍රේල් 7 චිකාගෝ හි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේදී ජෝශප් කිශෝර් අමතයි. [ඡායාරූප:ලෝසවෙඅ]

මෙම රැස්වීම් ගොඩ නැගීමේදී සසජාතශි සාමාජිකයෝ සහ හිතවතුන් දහස් ගනනින් අත් පත්‍රිකා බෙදා හරිමින්, සිය ගනන් සාකච්ඡා පවත්වමින් නිව්‍ යෝක් විශ්ව විද්‍යාලය ඇතුලු තැන්වල ශිෂ්‍ය පුවත්පත් තුල ලිපි පල කරමින් මැදිහත් වූහ.

ඩේවිඩ් නෝර්ත් ට අමතරව තවත් කථිකයන් හතර දෙනෙක් දේශන පැවැත්වූහ. ඊට එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති ජෝ කිෂොර්; යුක්‍රේනය තුල යුද්ධය පිලිබඳ ලෝසවෙඅ ප්‍රමුඛ රචකයෙක් සහ සසප(එජ) දේශපාලන කමිටු සාමාජික ඇන්ඩෘ ඩේමොන්; සසප (එජ) ජාතික කමිටු සාමාජික ටොම් කාටර්; සහ විශේෂයෙන්ම විද්‍යාව පිලිබඳව ලෝසවෙඅ ලේඛකයෙකු වන බ්‍රයන් ඩයින් ඇතුලත් ය. මෙම සෑම දේශනයකදීම සසජාතශි යුද්ධයේ ඓතිහාසික මූලයන් පිලිබඳ මාක්ස්වාදී විශ්ලේශනයක් සහ යුද්ධයට විරුද්ධ වීම සඳහා තරුනයින්ට සහ ශිෂ්‍යයින්‍ට අත්‍යාවශ්‍ය දේශපාලන පදනම් සම්පාදනය කලේය.

මෙම රැස්වීම් තුලදී ඉදිරිපත් කෙරුනු වාර්තා, “අප්‍රකෝපකාරී යුද්ධය” නම් වූ බොරුව ප්‍රතික්ෂේප කලේය. ඒවා තුලදී ගැටුම අවබෝධ කර ගැනීමට අත්‍යාවශ්‍ය මූලධර්මාත්මක කරුනු පහක් අවධාරනය කලේය.

1.මෙම යුද්ධය වටහා ගත හැක්කේ 1991 ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම සහ එහි ප්‍රතිවිපාක අතර සම්බන්ධයෙනි.

2.මෙම යුද්ධය තේරුම් ගත යුත්තේ පසුගිය දශක තුන තුල එක්සත් ජනපදයේ නායකත්වය යටතේ අඛන්ඩව සහ වර්ධනය කරන යුද්ධයන්ගේ දිගුවක් ලෙසය.

3.රුසියාවේ ආක්‍රමනය දශක ගනනක අධිරාජ්‍යවාදී වටලෑමට එරෙහිව රුසියානු ප්‍රභූවේ ප්‍රතිගාමී ප්‍රතිචාරයකි.

4.මෙම යුද්ධය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තමන්ගේ අධිපතිවාදී ලෝක තත්වයට අනතුරුදායක තර්ජනයක් ලෙස දකින චීනයට එරෙහිව උත්සන්න කරන භූදේශපාලනික ගැටුම සමග සම්බන්ධිතය.

5.මෙම යුද්ධය ප්‍රධාන ධනපති රටවල්වල විශේෂයෙන් එක්සත් ජනපදයේ වර්ධනය වන ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයෙන් බැහැරව තේරුම් ගත නොහැක.

2022 අප්‍රේල් 25 වනදා ඇන්ඩෘ ඩේමොන් ඇපලාචියන් විශ්ව විද්‍යාලය තුලදී අමතයි. [ඡායාරූප: ලෝසවෙඅ]

කැනඩාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව තුල මෙන්ම අන්ත දක්ෂිනාංශික යුක්‍රේන ජාතිකවාදී බලවේග එක්සත් ජනපදයේ සසජාතශි රැස්වීම් කිහිපයක්ම කඩාකප්පල් කිරීමට උත්සහ දැරීය. නිව් යෝක් විශ්ව විද්‍යාලයේදී මෙම බලවේග, නිව්‍ යෝක් විශ්ව විද්‍යාලයේ අබු ඩාබි පීඨයේ නියෝජිතයින් සමග සහ යුක්‍රේනයේ සමාජවාදී ව්‍යාපාරය (එස්එම්යූ) නම් ව්‍යාජ වාම, නැටෝ ගැති සංවිධානය සමග පෙල ගැසුනි. වොෂින්ටනයට සහ සීඅයිඒ සංවිධානයට එස්ම්යූහි පවතින සමීප සම්බන්ධකම් ලෝසවෙඅ විසින් හෙලිදරව් කර ඇත. කෙසේ නමුත් මෙම බලවේග වල උද්ඝෝෂනය අසාර්ථක විය.

යුක්‍රේනයේ සහ රුසියාව තුල සසජාතශි සහයෝගී සංවිධානයක් වන තරුන බොල්ශෙවික් ලෙනින්වාදී රැකවලේ නියෝජිතයෝ, සසජාතශි පුටින් තන්ත්‍රයේ “ක්ෂමාලාපකයෙකු” යැයි කියමින් ඉහත බලවේග එල්ල කරන ව්‍යාජ චෝදනා සහ යුක්‍රේනය තුල යුද්ධය “ප්‍රජාතන්ත්‍රවාදයේ” ආරක්ෂාව සඳහා කෙරෙන්නක් යන්න බලගතු ලෙස ප්‍රතික්ෂේප කලහ.

නිව් යෝක් රැස්වීමේදී යුක්‍රේනයේ තරුන බොල්ශෙවික් ලෙනින්වාදී රැකවල වෙනුවෙන් කතා කල ස්ටෙෆාන් ගෙලර් කීවේ:

“යුක්‍රේනයේ සියලු ජනයා මෙම යුද්ධයට සහය දක්වන බව සැබෑවක්ද? මගේ පිලිතුර වන්නේ: නැත! සියළුම යුක්‍රේනියානුවන් යුද්ධයට සහය දක්වන බව කීම පචයක්. යුද්ධයේ ප්‍රධාන සහායකයා වනුයේ සිය තත්වය ඛාදනය වෙමින් පවතින කම්කරු පන්තිය සහ යුක්‍රේන ජනතාව නොවේ. මෙම යුද්ධයේ ප්‍රධාන සහායකයා යුක්‍රේන ධනපති ජාතිකවාදීන් සහ ඔවුන්ට සේවය කරන්නන් ය.”

ගෙලර් යුක්‍රේනයේ සමාජවාදී ව්‍යාපාරය වැනි ව්‍යාජ වාම සංවිධාන හෙලිදරව් කරමින්, ඒවා වසර ගනනාවක් “මහජනතාවට එරෙහිව තස්ත්‍රය භාවිතා කල සහ බටහිර යුක්‍රේන භූමියේ ජාතික සහ දේශපාලන සමූල ඝාතනයක් සිදු කල යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ සහ යුක්‍රේනියානු කැරලි හමුදාවේ, ෆැසිස්ට්වාදී මැර කන්ඩායම් වල සහායකයින් සහ දෘෂ්ටිවාදී අනුගාමිකයින් යැයි සඳහන් කරන යුක්‍රේන ධනපති ජාතිකවාදීන් සමග තමන් වැඩ කරමින් සිටින” බව කීවේය.

රුසියාවේ සිට සිය සුබ පැතුම් ඉදිරිපත් කරමින් ආන්ද්‍රෙයි රිට්ස්කි සාවධානව පැහැදිලි කලේ පුටින් තන්ත්‍රයට තරුන බොල්ෂෙවික් ලෙනින්වාදී රැකවලේ විරුද්ධත්වය, 1917 ඔක්තෝබර් විප්ලවය පාවාදී රුසියානු සහ යුක්‍රේන කතිපයාධිකාරයට නැග ඒමට ඉඩ සම්පාදනය කල ස්ටැලින්වාදීන්ට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙන ගිය සමස්ත අරගලයේම ඉතිහාසය මත පදනම් වන බවයි.

නිව් යෝක් විශ්ව විද්‍යාලය තුල සිය දේශනය අවසාන කරමින් ජෝෂප් කිෂෝර් මෙසේ කීවේය:

“නිව් යෝක් වැනි විශ්ව විද්‍යාල මන්ඩපවල යුද්ධයේ සැබෑ මූලාරම්භය සහ ප්‍රතිවිපාක පිලිබඳ කිසිදු බැරෑරුම් සාකච්ඡාවක් නොපැවැත්වීම පිලිබිඹු කරන්නේ ඉහල මධ්‍යම පන්තියේ ස්ථර රාජ්‍යය තුලට අන්තර්ග්‍රහනය වීමයි. ඔවුන්ගේ සමාජ හා ආර්ථික ආස්ථානයන් වෝල් වීදියට, එනම් එක් අතකින්, ජාත්‍යන්තරව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අඛන්ඩ ආධිපත්‍යයයට, සහ අනෙක් අතට, රට තුල කම්කරු පන්තිය කුරිරු ලෙස සූරාකෑමට සම්බන්ධ වී ඇත.

නමුත් යුදවාදීන් දුර්වල සහ හුදෙකලාවූවන් වන අතර ඔවුන් එය දනී. ලෝකය පුරා සමස්ත පෘථිවි ගෝලයේම බලගතු සමාජ බලවේගය වන කම්කරු පන්තියේ වැඩෙන ලෝක ව්‍යාපාරයක් පවතී. සමාජවාදී ඉදිරිදර්ශනයකින් සහ ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ වුවහොත් කම්කරු පන්තියට අධිරාජ්‍යවාදී යුද්ධය, අසමානතාවය සහ ධනපති ක්‍රමයේ සියළු ප්‍රතිවිපාක වලට නැවතීමේ තිත තැබිය හැක. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ එහි තරුන හා ශිෂ්‍ය සංවිධානය, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ දේශපාලනික වැඩකටයුතු එල්ල කෙරී ඇත්තේ කම්කරු පන්තිය තුල සමාජවාදී සහ විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීමටය. සමස්ත මානවයාගේම අනාගතය පවතින්නේ එය මතය.”

අප්‍රේල් 25 වනදා සැන් දියේගෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමෙමෙදී ඩේවිඩ් නෝර්ත් ගේ දේශනය ඇසීමට 120 කට අධික සිසුන් සංඛ්‍යාවක් සහභාගී වූ අතර එය එක්සත් ජනපදයේ රැස්වීම් මාලාවේ කුළු ගැන්වීම වූ අතර ජාත්‍යන්තර උද්ඝෝෂන මාලාවේම ඉහලම ස්ථානය සනිටුහන් කලේය. ඔහුගේ එකතු කිරීම් වලදී ඩේවිඩ් නෝර්ත් යුද්ධයේ ඓතිහාසික මූලයන් සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී විනාශයෙන් නිපන්, නේටෝවේ පිටුබලය ලබන සෙලෙන්ස්කි ආන්ඩුව සහ කතිපයාධිකාරී පුටින් තන්ත්‍රය යන දෙකෙන් කවරක් හෝ අනුයන 'ජාතික ආරක්ෂාවේ' පිලිවෙත් කෙරෙහි මාක්ස්වාදී විරුද්ධත්වය පැහැදිලි කලේය.

ඩේවිඩ් නෝර්ත් 2023 අප්‍රේල් 25 වැනි දින IYSSE රැස්වීමෙන් පසු සැන් ඩියාගෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාල සිසුන් සමඟ කතා කරයි. [ඡායාරූපය: WSWS]

ශිෂ්‍යයින් සමග සාකච්ඡාවේදී ඩේවිඩ් නෝර්ත් මෙසේ අවධාරනය කලේය:

“අපි ජාතික ආරක්ෂාවේ සංකල්පය පිලිගන්නේ නෑ. සෑම රටක්ම පන්ති වලට බෙදිලා තියෙන්නෙ...සෑම ධනපතියෙක්ම ජාතික අවශ්‍යතා යයි පෙන්වමින් ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කරනවා. කම්කරු පන්තියට රුසියාව තුල ලිතියම් හෝ කොපර් හෝ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය වලට ඇමරිකාවේ අන්තර්ජාතික සහ බහුජාතික සමාගම්වල අයිතිය ආරක්ෂා කරන්න කිසිම උවමනාවක් නෑ. මේවායෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුද?

අද ලෝකයේ, වෛෂයිකව ගෝලීය ආර්ථිකයක් බිහිවී තිබුනද එය එකිනෙකට හතුරු ජාතික රාජ්‍යයන්ට බෙදී තිබීම මූලිකම සහ වඩා මූලික ප්‍රතිවිරෝධය වීම නිසා ජාතික ආරක්ෂාව පිලිබඳ සංකල්පයම ප්‍රතිගාමී එකක්. අධිරාජ්‍යවාදීන් මෙම පරස්පර විරෝධය විසඳන්න උත්සාහ දරන්නේ තව තවත් ප්‍රදේශ අත් පත් කර ගැනීමෙන්. ඔව්, ඔවුන්ගේ වැඩ කටයුතු යුක්ති සහගත කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිලිබඳ දෘෂ්ටිවාදය ප්‍රචාරය කරනවා.”

https://twitter.com/DavidNorthWSWS/status/1652674236257906688?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1652674236257906688%7Ctwgr%5E67f549c155f54c282d48be9c0b187f1ff329738c%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.wsws.org%2Fen%2Farticles%2F2023%2F05%2F03%2Fqgio-m03.html

පලමු ලෝක යුද්ධය සමග සමාන්තරයන් අඳිමින් ඩේවිඩ් නෝර්ත් කීවේ, පාලක පන්තිය යුද්ධය දෙසට ධාවනය කරන එම පරස්පර විරෝධයන්ම කම්කරු පන්තිය සමාජවාදි විප්ලවය දෙසට තල්ලු කරන බවයි. තරුන ජනයා යොමුවිය යුතු වෛෂයික සන්තතිය මෙයයි.

“විප්ලවවාදී බලවේගයන් පෙනෙන පරිදි කෙතරම් හුදෙකලා වී තිබුනත්, ඔවුන් ඉදිරිපත් කරන පිලිවෙත් සහ අවශ්‍යතා අවසානයේදී මහජනතාවගේ සහය දිනාගනු ඇත. එය 1917 පෙබරවාරියේදී, යුද්ධය විසින් ජනනය කල අර්බුදය හේතුවෙන් අධිරාජ්‍යවාදය එහි දුර්වලම පුරුකෙන් බිඳී යාමෙන් තහවුරු විය. රුසියාවේ මහජනතාව ක්‍රියාවට එලැඹි අතර එක්සත් ජනපදය ඇතුලුව සමස්ත ලෝකයම වෙනස් කිරීම සඳහා විප්ලවවාදී අරගලයට ගාමකය සැපයුවේය.”

රැස්වීමට සහභාගී වූ ශිෂ්‍යයෝ සහ කම්කරුවෝ, රැස්වීමේදී ඉදිරිපත් කෙරුනු ඓතිහාසික සහ දේශපාලනික පැහැදිලි කිරීම් ද, සසජාතශි යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සටන් වදින එකම බලවේගය යන සත්‍යයද අනුමත කලහ.

රැස්වීමට සහභාගී වූ නිව් යෝක් විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යා ශිෂ්‍යයෙකු සසජාතශිට සඳහන් කලේ “මා මෙම රැස්වීමට පැමිනීමට උනන්දු වූයේ රුසියාව සමග යුද්ධයක් පවතින්නේ මන්දැයි දැනගන්න. මින් යුද්ධයේ හේතුන් පිලිබඳ නව තොරතුරු ජනතාවට දැනගත හැකිවුනා.'

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සසජාතශි යුද විරෝධී රැස්වීමට සහභාගී වූ රිකී. [ඡායාරූප:ලොසවෙඅ]

ජෝසෆ් කිශෝර් ආමන්ත්‍රනය කල ලොස් ඇන්ජලිස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සසජාතශි රැස්වීමට සහභාගී වූ රිකී දේශනයෙන් පසුව මෙසේ කීවේය: “මම මීට පෙර මෙවන් රැස්වීමකට සහභාගී වී නෑ. කැලිෆෝනියා හි මෙම රැස්වීම මගේ විශ්වාසය නැවත තහවුරු කලා පමනක් නොවේ, වඩා හොඳ හෙටක් සඳහා ක්‍රියාශීලීව වැඩ කරන මිනිසුන් සිටින බව මට පෙන්වා දුන්නා.”

https://twitter.com/IYSSE_US/status/1651758830685126657?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1651758830685126657%7Ctwgr%5E67f549c155f54c282d48be9c0b187f1ff329738c%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.wsws.org%2Fen%2Farticles%2F2023%2F05%2F03%2Fqgio-m03.html

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ රැස්වීමට සහභාගී වූ තවත් අයෙක් වන ක්‍රිස්ටෝ කීවේ, “යුක්රේනයේ යුද්ධයට තුඩු දෙන පන්ති අවශ්‍යතා පිලිබඳව ඉදිරිපත් කිරීම ඉතා පැහැදිලියි. බොහෝ සහභාගිවන්නන් සිටීම සහ, යුද්ධයට සහ ධනවාදයේ විනාශකාරී අර්බුදයට කම්කරු පන්තිය ස්වාධීනව බලය ලබා ගැනීම හැර වෙනත් විසඳුමක් නොමැති බව වැඩි වැඩියෙන් ශිෂ්‍යයන් සහ කම්කරුවන් අවබෝධ කරගනිමින් සිටින බව දැකීම වඩාත් සතුටට කරුනක්.”

ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ඇමතූ ඇපලාචියන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සසජාතශි යුද විරෝධී රැස්වීමට සහභාගී වීමට පැය දෙකකට ආසන්න කාලයක් ගෙවා පැමිනි ප්‍රජා විද්‍යාලයක තරුන සේවකයෙකු සහ ශිෂ්‍යයෙකු වූ මයිකල් මෙසේ කීවේය: “[සසජාතශි අදහස් වලට] විරුද්ධත්වයක් ඇති අය මෙහි සිටිනු දැකීම මම ප්‍රිය කලා. ඔවුනගේ අදහස් ප්‍රකාශ කිරීම වැලැක්වූයේ නෑ, ඒවා පැහැදිලි කෙරුනා. මම හිතන්නේ තරුනයන්ට සහ පන්ති සවිඥානික වැඩිහිටියන්ට යුද්ධය නරක බව තේරුම් ගත හැකි බැවින් නැවත විශ්ව විද්‍යාල තුල යුද විරෝධී ව්‍යාපාරයක් ගැන දැන ගැනීම සතුටක්. ”

මයිකල්, ඇපලාචියන් රාජ්‍ය විශ්වවිදයාලයේ සසජාතශි රැස්වීමට සහභාගිවූ තරුන කම්කරුවෙක් (ඡායාරූප: ලෝසවෙඅ)

මෙම රැස්වීම් මාලාව පැවැත්වුණේ දැඩි ප්‍රති-කෝවිඩ් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමිනි. සෑම රැස්වීමක්ම පිලිබඳවම ප්‍රචාරය කරන ලද පෝස්ටර් මත, සසජාතශි විසින් N-95 මුව ආවරන පැලඳීම නිර්දේශ කරන ලද අතර, සහභාගිවන්නන්ට ඒවා රැස්වීම් ස්ථානවලදී නොමිලේ ලබා දෙන ලදී. සසජාතශි විසින් සියලුම සහභාගිවන්නන්ගේ උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා පාරජම්බුල කිරන උපකරන සහ HEPA ෆිල්ටර (කොවිඩ් වෛරසය වාතය හරහා පැතිරීම අවම කරන උපකරන දෙකකි.) භාවිතා කල අතර, ප්‍රේක්ෂකයන්ට මෙම පියවර ගැන පැහැදිලි කරන ලදී. ඔවුන්ගෙන් බහුතරයක් පහසුවෙන්ම මුව ආවරන පැලඳීම තෝරා ගත්හ. සසජාතශි විශේෂයෙන් සැන් දියෝගෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ගන්නා ලද විද්‍යාත්මකව පදනම් වූ ප්‍රති-කෝවිඩ් ක්‍රියාමාර්ග ලොව පුරා කම්කරුවන්, තරුනයින් සහ විද්‍යාඥයින් අතර උද්යෝගිමත් ප්‍රතිචාරයක් ජනනය කලේය.

https://twitter.com/DavidNorthWSWS/status/1651737244464553985?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1651737244464553985%7Ctwgr%5E67f549c155f54c282d48be9c0b187f1ff329738c%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.wsws.org%2Fen%2Farticles%2F2023%2F05%2F03%2Fqgio-m03.html

මෙම රැස්වීම් මාලාවේදී සසජාතශි විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රති-කෝවිඩ් ක්‍රියාමාර්ගවලට ලැබුනු ධනාත්මක ප්‍රතිචාරය, ධනේශ්වර ක‍්‍රමයට එරෙහි සටනක් තුල පමනක් සාක්ෂාත් කල හැකි, කෝවිඩ්-19 වසංගතය අවසන් කිරීමේ හැකියාව සහ වසංගතයට එරෙහි සටන සහ යුද්ධයට එරෙහි සටන අතර ඇති අවියෝජනීය සම්බන්ධය යන දෙකම අවධාරනය කරයි.

දෙසැම්බර් 10දා පැවත්වුනු සසජාතශි ජාත්‍යන්තර ඔන්ලයින් රැලිය මත පාදක වූ ජාත්‍යන්තර රැස්වීම් මාලාව, ජාත්‍යන්තර කම්කරු පන්තිය හා ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික ඉදිරිදර්ශන තුල මුල් බැසගත් ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසජාතශි සංවිධානය ගෙන යන සටනේ වැදගත් දේශපාලන වර්ධනයක් සනිටුහන් කරයි. සසජාතශි සම සත්කාරකත්වය දැරූ පසුගිය ඉරිදා පැවති ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී, ඉහත රැස්වීම්වල ගෙනහැර දැක්වූ ඉදිරිදර්ශනය තවදුරටත් විස්තාරනය කෙරිනි.

එලඹෙන සති මාස වලදී, සසජාතශි අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සහ තරුන ජනයා ට්‍රොට්ස්කිවාදයේ දේශපාලනයෙන් සහ ඉතිහාසයෙන් අධ්‍යාපනගත කිරීමට සිය ප්‍රයත්නය ඉහල නංවනු ඇත. අපි අපගේ රැස්වීම් වලට සහභාගී වූ සහ ඒවා අධ්‍යයනය කල අයගෙන් පහත ෆෝරමය පුරවා සසජාතශි වෙත බැඳෙන ලෙස ඉල්ලා සිටිමු.

Loading