[මෙය Sri Lanka: Cyclone-affected plantation workers demand decent houses in safe places යන මැයෙන් 2025 දෙසැම්බර් 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
දෙසැම්බර් 6 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ, කොලඹ සිට කිලෝමීටර 140 කට වඩා දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ මධ්‍යම වතු දිස්ත්‍රික්කය වන නුවරඑලියේ, තලවකැලේ ප්‍රදේශයට ගොස්, දිට්වා සුලි කුනාටුවෙන් පීඩාවට පත් වතු කම්කරුවන් සමඟ කතා කලහ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ, දෙමල භාෂාව කතා කරන සහ දරිද්‍රතා මට්ටමේ වැටුප් ලබන තේ වතු කම්කරුවන් ය. එම ප්‍රදේශය, සුලි කුනාටුවෙන් ඇති වූ අධික වර්ෂාපතනය, ගංවතුර, නාය යෑම් සහ ගල් කුලු කඩා වැටීම් වලින් වැඩිපුර ම පීඩාවට පත් වූ කලාප අතර පවතී. තහවුරු වූ මරන 89 ක් සමඟ, එම කලාපය, මරන සංඛ්‍යාව අතින් මහනුවරට සහ බදුල්ලට පසුව තුන්වන ස්ථානයේ සිටී. තවත් පුද්ගලයින් 37 දෙනෙකු අතුරුදහන් වී ඇත—එය මහනුවර සහ කෑගල්ලට පසු තුන්වන ඉහලම අගයයි. එමෙන්ම, එහි පුද්ගලයින් 63,121 දෙනෙකු අවතැන් ව තාවකාලික නවාතැන් 211 ක රැඳී සිටින අතර එය මහනුවර දිස්ත්‍රික්කයට පසු, දෙවන ඉහලම අගය බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය (ඩීඑම්සී) පැවසී ය.
වාර්තාකරුවෝ, තලවකැලේ සිට කිලෝමීටර් 17 ක් දුරින් පිහිටි, පවුල් 280 ක් අවතැන් ව සිටින එල්ජින් වතුයායට ගියහ. එහි දී එක් කම්කරුවෙක් මෙසේ පැවසී ය: “අපි ජීවත් වුනේ, ඕනෑ ම මොහොතක නාය යෑම් වෙන්න පුලුවන් ඉතා භයානක ප්‍රදේශයක. දැන් අපේ ගෙවල්වලට ආපහු යන්න අපට කිසිම අදහසක් නැහැ. අපි ඉල්ලන්නෙ, අපේ පවුල් වලට ආරක්ෂාව ඇති තැනක ශිෂ්ටසම්පන්නව ජීවත් වෙන්න පුලුවන් ගෙවල්, අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කෙරෙන පරිසරයක්.”
එල්ජින් වත්තේ ඉහල කොටසේ කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවා ය: “අපේ ගෙවල් ජීවත් වෙන්න සුදුසු නෑ. අවුරුදු අටකට ඉස්සර ආන්ඩුවේ ඉඩම් මනින නිලධාරීන් පවා අපේ ඉඩම ජීවත් වීමට නුසුදුසු බව වාර්තා කර ඇතත්, ඒකට කවුරුත් අවධානය යොමු කලේ නැහැ. දැන් අපි දැඩි දුෂ්කරතාවන්ට මුහුන දී සිටිනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්නයෙන්ම කඩාකප්පල් වෙලා—මෙහි උසස් අධ්‍යාපනය සඳහා පහසුකම් නැහැ, ඔවුන්ට තලවකැලේ හෝ කොටගල පාසල්වලට යන්න වෙනවා. අපේ වත්තේ ප්‍රවාහනය බිඳ වැටිලා. බස් එකකට නගින්න කිලෝමීටර් පහක් පයින් යන්න වෙනවා; එහෙම නැතිනම්, ත්‍රීවීලරයකට රුපියල් 500 ක් ගෙවන්න ඕන. සියල්ලටත් වඩා, අපි ඉල්ලන්නෙ, අපේ පවුල් සඳහා යහපත් හා ආරක්ෂිත නිවාස ලබා දෙන්න කියලා.”
එල්ජින් වත්තේ පහල කොටසේ තවත් කම්කරු කාන්තාවක වන 38 හැවිරිදි ලුයිස් මේරි මෙසේ පැවසුවා ය: “2019 දී අපේ වතුයාය අසල ජල විදුලි බලාගාරයක් ඉදි කලා. ඉදිකිරීම් අතරතුර, ඔවුන් විශාල පාෂාන කැඩීමට පුපුරන ද්‍රව්‍ය භාවිතා කලා; එමඟින් කන්දේ ප්‍රදේශ කිහිපයක ඉරිතැලීම් ඇති වුනා. ආරක්ෂිත පරිසරයක් සහ නිසි නිවාස ඉල්ලා අපි මානව හිමිකම් සංවිධානයක් හරහා නඩුවක් ගොනු කලා. නමුත් බලධාරීන් අපව සම්පූර්නයෙන් ම නොසලකා හැරියා.”
70 හැවිරිදි විශ්‍රාමික කම්කරුවෙකු වන අමිර්තා වසහා මෙරි මෙසේ පැහැදිලි කලා ය: “අපේ ගෙවල් වතුරෙන් යට වුනා ම, අපි අපේ ගෙවල්වලට ඉහලින් තිබිච්ච පල්ලියේ නවාතැන් ගත්තා. ග්‍රාම නිලධාරි ඇවිත් අපිට කිව්වා, ආපහු එන්න එපා කියලා; අපි එහෙම කලොත් අපට ඉන්න වෙන්නෙ තනියම කියලා අනතුරු ඇඟෙව්වා. නමුත් පසුව, ඔහු අපට ආපසු එන්න කියලා බල කලා, ආහාර සැපයීම නැවැත්තුවා. ගං වතුර බැහැල ගියත්, අපේ ගෙවල් වටා ඇති කඳු අනතුරුදායක තත්වයේ පවතින නිසා, අපි තවමත් ඉන්නෙ නාය යෑම් අවදානමක.”
නොවැම්බර් 27 වන දින, කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ම, අඹේවෙල ජලාශ වේල්ලේ දොරටු විවෘත කල බව ඇය පැවසුවා ය. කලින් අපට දැනුම් දුන්නේ නම් “අපේ ගවයන් සහ කුකුලන් බේරා ගත හැකි ව තිබුනා,” යැයි ඇය පැවසුවා ය.
66 හැවිරිදි විශ්‍රාමික කම්කරුවෙකු වන සහයා මෙරි තත්වය විස්තර කලේ මෙසේ ය: “දින තුනකට පස්සෙ, 476/L කොටසේ ග්‍රාම නිලධාරී සමලි අපට කිව්වා, ගෙදර යන්න කියලා; ආපහු වතුර නැග්ගොත් පල්ලියට එන්න කිවුවා. නමුත් වතුර ඉහල යන කොට, විශේෂයෙන්ම ඒ වෙලාවෙ අපි නිදාගෙන හිටියොත්, අපි කොහොමද ඒක දැනගන්නේ? එක පාරට ම එහෙම වුනොත් අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ආන්ඩුව හෝ වතු කලමනාකාරිත්වය මේක බැරෑරුම් විදිහට සලකන බවක් පේන්න නැහැ.”
“අපේ ගෙදර ගං වතුරට යට වුනා. ඒකෙන් රූපවාහිනිය ඇතුලු වටිනා දේවල් ගොඩක් විනාශ වුනා. ඕන කරන ආහාර ටික පවා ගන්න අමාරු අපේ දෛනික වැටුපෙන් ආයෙ ඒවා ගන්න අපට බැහැ. අපට, තේ දලු කිලෝග්‍රෑම් 18 ක දෛනික ඉලක්කයක් සපුරාලන්න වෙනවා—අපි එහෙම නොකලොත් අපේ වැටුප් කපනවා. අපේ ගෙදර ගඟට ගොඩක් කිට්ටුයි, ඒක නිසා හරි ම භයානකයි. අපි දවස් තුනක් පල්ලියේ හිටියා, නමුත් දැන් අපිට ආපහු ගෙදර යන්න කියලා දැනුම් දීලා තියෙනවා. ආන්ඩුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයින් ඇවිත් උදව් කරන බවට නොයෙකුත් පොරොන්දු දුන්නත්, අපි තවමත් ඉන්නෙ ඒ තත්වයේමයි.”
තවත් කම්කරු කාන්තාවක වන රාජේෂ්වරී රංගන් පැවසුවේ, ගංවතුරෙන් ඇගේ නිවස සම්පූර්නයෙන්ම විනාශ වූ බවයි. දැනට, ආන්ඩුව විසින් වඩාත්ම බලපෑමට ලක්වූවන් ලෙස හඳුනා ගෙන ඇති පවුල් 26 ක් පමනක් තවමත් පල්ලියේ රැඳී සිටිති. “නමුත්, අවතැන් වූ පවුල් 280 ම සහනාධාර මෙන්ම ඉඩම් සහ නිසි නිවාස ඉල්ලා සිටිනවා,” යැයි ඇය තවදුරටත් පැවසුවා ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් සමඟ කතා කල බොහෝ කම්කරුවෝ ආන්ඩුව, වතු සමාගම් සහ වතු වෘත්තීය සමිති තම දුක්ඛිත තත්වය සම්පූර්නයෙන්ම නොසලකා හැර ඇති බවට චෝදනා කලහ. ආන්ඩුව ආහාර ලබා දුන්නේ, පලමු දින තුන සඳහා පමනි. ඉන් පසු කම්කරුවන්ට ප්‍රදේශවාසීන්ගේ, පල්ලිවල සහ අනෙකුත් ප්‍රජා සංවිධානවල සහයෝගය මත විශ්වාසය තැබීමට සිදුවිය. වැසිකිලි පහසුකම් සීමිත වූ අතර ලමයින්ට සහ වැඩිහිටියන්ට මෙට්ට හෝ වෙනත් අත්‍යවශ්‍ය දෑ කිසිවක් නොමැති ව බිම නිදා ගැනීමට සිදුවිය.
එල්ජින් වතුයායේ ඉහල සහ පහල කොටස් දෙකේ ම අවතැන් වූ පවුල්, නොවැම්බර් 27 වන දින සිට තංගකැලේ දෙමල පාසලේ සහ සහයා මාතා පල්ලියේ නවාතැන් ගෙන සිටිති. එක් අවස්ථාවක, පවුල් 280 කට අයත් පුද්ගලයින් 930 කට එහි රැඳී සිටීමට සිදු විය.
එල්ජින් වතුයාය දැන් ඌවකැලේ වතුයාය සමඟ ඒකාබද්ධ කර හැටන් වැවිලි සමාගම විසින් කලමනාකරනය කරනු ලැබේ. වතුයාය, කඳු සහ අඹේවෙල ජලාශ වේල්ලෙන් වට වී ඇත. මහවැලි ගඟේ ශාඛාවක් වන එල්ජින් ඔය ගලා යන්නේ, කම්කරුවන්ගේ නිවාස අසලිනි.
මරායා නගරයේ සිට එල්ජින්, ඌවකැලේ සහ තංගකැලේ වතුයාය දක්වා මාර්ගයට ගංවතුරෙන් දැඩි හානි සිදුවිය. දැනට බස් රථ ධාවනය වන්නේ මරායා නගරය දක්වා පමනි; කම්කරුවන්ට තම නිවෙස් කරා ලඟා වීමට කිලෝමීටර පහකට වඩා පයින් යාමට සිදු ව තිබේ.
රම්බොඩ, කොත්මලේ, රාගල, පූඩලුඔය සහ තලවාකැලේ ඇතුලු නුවරඑලිය දිස්ත්‍රික්කයේ අනෙකුත් නගරවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.
රම්බොඩ හි තවලන්තැන්න හන්දිය අසල දී දැවැන්ත ගල් පර්වතයක් නිවස මතට කඩා වැටීම නිසා පුද්ගලයින් තිදෙනෙක් මිය ගියහ. නාය යෑමෙන් විශාල හානියක් සිදු වූ අතර මහනුවර-නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටසක් විනාශ විය. පවුල් 70 ක් පමන සමග ගම්මාන තුනක්—ගැරඩි ඇල්ල, රම්බොඩගම සහ අම්පත්තලාව—කොත්මලේ ජලාශ වේල්ලට ගසාගෙන ගොස් ඇත. මල සිරුරු දහතුනක් සොයා ගෙන ඇති මුත්, බොහෝ දෙනෙක් තවමත් අතුරුදහන් ව සිටිති. ප්‍රදේශයේ ප්‍රවාහනය සහ විදුලිය දින 11 ක් විසන්ධි විය.
රාගල හයි ෆොරස්ට් තේ වතුයායේ නායයෑමකින් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගියහ. මල සිරුරු අටක් සොයා ගෙන ඇති අතර, 27 දෙනෙක් තවමත් අතුරුදහන් ව සිටිති. ඇතැම් නිවාස සම්පූර්නයෙන්ම විනාශ වී ඇති අතර අනෙක් නිවාසවලට අර්ධ වශයෙන් හානි සිදු වී තිබේ.
පූඩලුඔය ඊටන් සහ චොයිසි වතුයායන් දැනට නායයෑම් අනතුරු ඇඟවීමක් යටතේ පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 105 දෙනෙකු අවතැන් ව ඇති අතර ඔවුහු වෙනත් ස්ථානවල ආරක්ෂාව සොයමින් සිටිති. තලවකැලේ ඔක්ස්ෆර්ඩ් වතුයායේ පවුල් 70 ක් ද එම අවදානම හේතුවෙන් අවතැන් විය.
බොහෝ වතු කම්කරුවන් තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී, එනම්, මීට සියවසකට වැඩි කාලයකට පෙර ඉදිකරන ලද—යන්තම් අඩි 10 x 12 ප්‍රමානයේ—බැරැක්ක වැනි ලයින් කාමර තුල ය; අනුප්‍රාප්තික ආන්ඩු සහ වතු සමාගම්වල දීර්ඝකාලීන නොසැලකිල්ල මෙයින් පැහැදිලි වේ. මෙම නිවහන් ප්‍රදේශවල, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන පහසුකම් ඇතුලු මූලික යටිතල පහසුකම් කිසිවක් නොමැත.
විපතට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් වාර්තාකරුවන්ට පැවසුවේ, තමන්ට තවමත් සැලකිය යුතු තරමේ ආධාරයක් ලැබී නොමැති බවත්, සුලි කුනාටුවෙන් විපතට පත් වූවන්ගේ ජීවිත “යථා තත්වයට පත් කරන” බව දිගට ම ප්‍රකාශ කරන ආන්ඩුව කෙරෙහි තමන් තුල කිසිදු විශ්වාසයක් නොමැති බවත් ය.
වැඩිදුර කියවන්න
- දිට්වා සුලි කුනාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ දැවැන්ත මානුෂීය අර්බුදයක් වැඩෙමින් පවතී
- දිට්වා කුනාටු ව්‍යසනය කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය මැද, නිදහස් භාෂනය මැඩීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව හදිසි බලතල යොදාගයි
- දිට්වා සුලි කුනාටුවෙන් ලංකාවේ දුම්රිය මාර්ග සහ මහා මාර්ග පද්ධතියට දරුනු හානි
- යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් ජනයා ආන්ඩුවේ නොතැකීම ගැන චෝදනා නගති
