[මෙය Trump and Miller’s “iron law” of imperialist barbarism මැයෙන් 2026 ජනවාරි 6දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
සෙනසුරාදා (ජනවාරි 3) එක්සත් ජනපදය වෙනිසියුලාවට පහර දී ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමෙන් ඉක්බිති ව, ට්‍රම්ප් පරිපාලනය, කියුබාව, කොලොම්බියාව, ඉරානය, චීනය හා රුසියාව ඉලක්ක කරමින්, ලොව පුරා රටවලට එරෙහි තර්ජන මාලාවක් මුදා හැර ඇත.
සෙනසුරාදා මදුරෝ පැහැරගැනීමෙන් අනතුරු ව, වෙනිසියුලාවේ විදෙස් හා ආර්ථික පිලිවෙත එක්සත් ජනපදයේ භූ-දේශපාලනික හා සංගත අවශ්‍යතාවන්ට යටත් කිරීම ඉලක්ක කරමින්, ට්‍රම්ප් පරිපාලනය එරටේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොද්‍රිගෙස්ට විධානයන් මාලාවක් ඉදිරිපත් කලේ ය. ඒබීසී නිව්ස් මාධ්‍ය ජාලයට අනුව, කැරකස් නුවර පලමුවෙන් ම “චීනය, රුසියාව, ඉරානය හා කියුබාව පලවා හැර ඒවා සමග ආර්ථික සබඳතා බිඳ දැමිය යුතු” බව රොද්‍රිගෙස්ට කී එක්සත් ජනපද නිලධාරීහු, “තෙල් නිෂ්පාදනයේ දී එක්සත් ජනපදය සමග මුලුමනින් ම හවුල්කාරී වීමටත්, බොරතෙල් විකිනීමේ දී ඇමරිකාවට ප්‍රමුඛතාව ලබාදීමට එකඟ වීමටත්” සූදානම් විය යුතු බව කීහ.
මෙය සාරභූත වශයෙන්, එක්සත් ජනපදයේ යටත් විජිත රාජ්‍යයක් බවට වෙනිසියුලාව පරිවර්තනය කිරීමකි. වෙනිසියුලාවේ තෙල් හොරකම් කර, තෙල් සමාගම් ජනසතු කිරීම ආපසු හැරවීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය අධිෂ්ඨාන සහගත වන අතර, එය හුදෙක් වෙනිසියුලාවට පමනක් නොව, රුසියාව හා චීනයට ද එරෙහි ව එල්ල කෙරී පවතී. රොද්‍රිගෙස් “නිවැරදි දෙය නො කරන්නේ නම්, මදුරෝටත් වඩා විශාල මිලක් ගෙවීමට ඇයට සිදුවනු ඇතැ“ යි කියමින්, ට්‍රම්ප් රොද්‍රිගෙස්ට ඍජු තර්ජනයක් නිකුත් කලේ ය.
සති අන්තයේ දී, යුරෝපා සංගමයේ හා නැටෝ සංවිධානයේ සාමාජික ඩෙන්මාර්කයට අයත් භූමි ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය, මිලිටරිය බලය යොදා ඈඳා ගැනීමේ අභිප්‍රාය ද ට්‍රම්ප් යලි ප්‍රකාශ කලේ ය.
සඳුදා සීඑන්එන් සමග සම්මුඛ සාකච්ඡාවකට පැමිනි ධවල මන්දිරයේ නියෝජ්‍ය කාර්ය මන්ඩල ප්‍රධානී ස්ටීවන් මිලර්, වෙනිසියුලාවට එල්ල කරන ප්‍රහාරයේත්, සමස්තයක් ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදයේත් සාපරාධී ස්වභාවය ගෙන හැර දැක්වී ය. වෙනිසියුලාව “පාලනය කරනවා“ යයි කීමේ දී ට්‍රම්ප් අදහස් කලේ කුමක්දැයි විමසූ විට, “අප ජීවත් වන්නේ, ශක්තිය, බලහත්කාරය හා බලය විසින් පාලනය කෙරෙන ලෝකයක. කාලය ආරම්භයේ පටන් පැවතී ඇති ලෝකයේ අයෝමය නීති මේවායි” යි මිලර් ප්‍රකාශ කලේ ය.
“ජාත්‍යන්තර සභ්‍යත්වයන්” ලෙස ජාත්‍යන්තර නීතිය නො තකා හල මිලර්, ඍජු ව මෙසේ ප්‍රකාශ කලේ ය: “ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව පාලනය කරමින් සිටිනවා ...රටින් පිටත එක්සත් ජනපද මිලිටරිය රඳවා සිටින නිසා, අපි එම කාර්යය භාර ගෙන සිටිනවා. සීමා හා කොන්දේසි පනවන්නේ අපි. ඔවුන්ගේ සමස්ත තෙල් මතත්, වෙලඳාමේ යෙදීමට ඔවුන්ට ඇති හැකියාව මතත්, සම්පූර්නයෙන් කොන්දේසි තිබෙන්නේ අප සතු ව.”
මෙම “අයෝමය නීතිය” පැරනි යටත් විජිතවලට පමනක් නොව, යුරෝපීය බලයන්ගේ භූමිප්‍රදේශයන්ට අදාල වන බව මිලර් පැහැදිලි කලේ ය. ග්‍රීන්ලන්තය පිලිබඳ ව විමසූ විට, “ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයේ කොටසක් විය යුතු” බව ප්‍රකාශ කල මිලර්, මිලිටරි බලය යොදා ගැනීම බැහැර කිරීම ප්‍රතික්ෂේප කලේ ය. “ග්‍රීන්ලන්තයේ අනාගතය සම්බන්ධයෙන් කිසිවෙක් එක්සත් ජනපදය සමග මිලිටරිමය ලෙස සටන් කරනු නැතැ” යි ඔහු සරදම් කලේ ය.
මෙය වනාහි, හිට්ලර්ගේ මෙයින් කම්ෆ් (මගේ අරගලය) කෘතියෙන් සහ එහි එන වර්ගයන් හා වාර්ගික-රාජ්‍යය අතර ගැටුමට සම්බන්ධිත “ස්වභාව ධර්මයේ අයෝමය නීති” ගැන කෙරෙන විස්තරයෙන් උකහාගත් නාසීන්ගේ භාෂාව යි.
මිලර්ගේ ප්‍රකාශයන්ගේ සුවිශේෂී දෘෂ්ටිවාදාත්මක බලපෑම් වලින් ඔබ්බේ, ඔහු ප්‍රකාශ කරමින් සිටින්නේ අධිරාජ්‍යවාදී පිලිවෙතෙහි සාරභූත ස්වභාවයයි. විවිධ බැංකු හා සංගත සමූහයන් අතර තරඟය විශ්ලේෂනය කරමින්, අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහල ම අවධිය නමැති 1916 දී පල කල කෘතිය තුල, “භාන්ඩ නිශ්පාදනය හා ධනවාදය යටතේ බෙදීමේ වෙනත් ක්‍රමයක් පැවතිය නො හැකි නිසා,” බලපෑම හා බලය බෙදී පවතින්නේ “‘ප්‍රාග්ධනයට සමානුපාතික ව’, ‘ශක්තියට සමානුපාතික ව’” බව ලෙනින් විස්තර කලේ ය.
ධනවාදයට සාමකාමී සංවර්ධනය වීමේ හැකියාවක් පවතින බවට කියා පෑ කාල් කෞට්ස්කි ඇතුලු අයට එරෙහි ව, තර්ක කරමින් ලෙනින් මෙසේ ලීවේ ය:
ඒකාධිකාර, කතිපයාධිකාරය, නිදහස වෙනුවට ආධිපත්‍යය සඳහා පවතින අභිලාෂය, ධනවත් ම හෝ වඩාත් බලගතු ජාතීන් අතලොස්සක් විසින් කුඩා හෝ දුර්වල ජාතීන් වැඩි ප්‍රමානයක් සූරාකෑම යන මේ සියල්ල, පරපෝෂිත හෝ පිරිහෙමින් පවතින ධනවාදය ලෙස අධිරාජ්‍යවාදය නිර්වචනය කිරීමට අපට බල කරන සුවිශේෂී ලක්ෂනවලට උපත ලබා දී ඇත.
දැවැන්ත සමාජීය නැගීටීම් සහ නාසි පාලන තන්ත්‍රයේ අපරාධයන් පිලිබඳ යෝධ මහජන කෝපයේ කොන්දේසි යටතේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ව, රාජ්‍යයන් අතර සබඳතා පාලනය කරනු වස්, ජාත්‍යන්තර නීතියේ එක්තරා මූලධර්මයන් සටහන් කර විස්තාරනය කිරීමට ධනවාදී බලයන් ක්‍රියා කලේ ය. නාසි පාලන තන්ත්‍රයේ ඉතිරි වී සිටි නායකයන් සීමිත පිරිසකට එරෙහි ව, සාමය, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අරබයා නඩු පවරන ලදී. “විශාලත ම ජාත්‍යන්තර අපරාධය“ වන්නේ, “ආක්‍රමනකාරී යුද්ධය” බව ජාත්‍යන්තර අධිකරනය තම නිගමනය තුල ප්‍රකාශ කලේ ය.
තහවුරු වී ඇති ලෙස, මෙම මූලධර්ම වලට තමා බැඳී සිටින බව, එක්සත් ජනපදය කිසිදා කල්පනා කලේ නැත. නියුරම්බර්ග් නිගමනයන්ගෙන් වසර පහක් ඇතුලත, එය කොරියානු යුද්ධය දියත් කලේ ය. ඉන් පසු ව, වියට්නාම් යුද්ධය ද, ඉරානය, ඉන්දුනීසියාව, කොංගෝ ජනරජය, ගුවාතමාලාව හා චිලී රාජ්‍යය තුල විවිධ මෙහෙයුම් ක්‍රියාවේ යෙදවුනු අතර, ලතින් ඇමරිකාව පුරා ඝාතක කල්ලිවල පිටුබලය ලැබීය.
එහෙත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එහි ආක්‍රමනකාරීත්වය සාම්ප්‍රදායික ව නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂාව තුල සඟවා ගත්තේ ය. 1920 ගනන්වල දී ට්‍රොට්ස්කි සෝපහාසයෙන් සඳහන් කල පරිදි, “ඇමරිකාව සෑම විට ම කවරෙකු හෝ විමුක්ත කරගන්නවා, එය ඇයගේ වෘත්තීය යි.” විල්සන්ගේ “කරුනු දාහතර,“ රූස්වෙල්ට්ගේ “චතුර් නිදහස,“ කාටර්ගේ “මානව හිමිකම්“ යන ඒවා මගින් පිලිබිඹු කෙරුනේ, ඇමරිකානු පිලිවෙත පාලනය කරන ලද්දේ කොල්ලකාරී අවශ්‍යතා විසින් නොවේය යන කඩතුරාව ඉස්මතු කර දැක්වීමට පැවති ප්‍රයත්නයකි.
යුක්තිය වන්නේ ශක්තිය ය යන “අයෝමය නීතිය” අවධාරනය කිරීමේ දී, නව ධර්මතාවක් සොයා නොගන්නා ට්‍රම්ප්, ඇමරිකානු ආක්‍රමනකාරීත්වය සමග වරෙක එක් ව පැවති ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාවන් විසිකර දමමින් සිටී. අලුත් යමක් සොයා නො ගන්නා ඔහු, සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් ඉක්බිති ව දශක ගනනක් පුරා තීව්‍ර වෙමින් පවතින අපරාධකාරීත්වය මත ගොඩනැගෙමින් සිටී. එහෙත් මෙහි ගුනාත්මක වර්ධනයක් පවතී.
මෙම පරිවර්තනය මුල් බැස තිබෙන්නේ, ඇමරිකානු ධනවාදයේ ගැඹුරු වෙමින් පවතින අර්බුදය තුල ය. ජාත්‍යන්තර ආයතනවල හා නෛතික සම්මතයන්ගේ පශ්චාත් දෙවැනි ලෝක යුද රාමුව, අන්තර්-අධිරාජ්‍යවාදී ආතතීන් පාලනය කර, එක්සත් ජනපදයේ නායකත්වය යටතේ ගෝලීය ධනවාදය ස්ථාවර කිරීම සඳහා එක්තරා කාලයක් සේවය කලේ ය. දැන්, එම රාමුව බිඳ වැටී ඇත. ඩොලරයේ ගෝලීය ආධිපත්‍යය පවතින්නේ වැඩෙන තර්ජනය යටතේ ය. එක්සත් ජනපදයේ නය පෙර නුවූ විරූ මට්ටම් කරා පිම්බී ඇත. ඇමරිකානු පිලිවෙත නීර්නය කරනු ලබන්නේ, නග්න අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවට වෙනත් දෙයක් විසින් බවට ඉදිරිපත් කරන ඕනෑ ම කඩතුරාවක් හැල්මේ පසෙකට දැමෙමින් පවතී.
ට්‍රම්ප් පරිපාලනය තම සාපරාධී ඉලක්ක ප්‍රකාශයට පත් කරන අවංකභාවය, පාලක පන්තියේ ම කොල්ලකාරී ඉලක්ක ප්‍රකාශයට පත්කරයි. ලෝකයේ දෙවැනි ධනවතා වන ජෙෆ් බෙසෝස්ට අයත් වොෂින්ටන් පෝස්ට් පත්‍රය, “මදුරෝ අත්අඩංගුවට ගැනීම නීතියේ යථා ස්වභාවය හෙලිදරවු කරයි” යන මාතෘකාව සහිත කතුවැකියක් පල කල අතර, එහි උප-මාතෘකාවක් වූයේ “(ට්‍රම්ප්) පරිපාලනය තම විදෙස් පිලිවෙත් අරමුනක් උදෙසා නෛතික තර්කයක් ගොතයි. ඒකෙ ප්‍රශ්නයක් නෑ.” යන්න යි.
“ජාත්‍යන්තර නීතිය සෑමවිට ම රාජ්‍යයන්ගේ චර්යාව මත තුනී සීමා පැනවීමක් ලෙස පැවතී ඇති අතර, එක්සත් ජනපදයට එය හා එහි මිතුරන් ආරක්ෂා කරගැනීමට වෙනත් මෙවලම් අවශ්‍ය කරයි” යන ප්‍රකාශයෙන් පෝස්ට් කතුවැකිය සමාප්ත වේ.
මදුරෝ පැහැර ගැනීමට එරෙහි විරෝධතා “බොරු ජාත්‍යන්තර නීතිය” ලෙස නොතකා හරින වෝල් ස්ට්‍රීට් ජර්නලය, “නිදහස් ලෝකය ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතීන් ගෙන එන යෝජනා දහසකට වඩා වැඩි දෙයක්, එක්සත් ජනපදයේ ශක්තිය හා මිලිටරි බලය ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවනු ඇත” යැයි ප්‍රකාශ කරයි. එක්සත් ජනපදය සිදු කල දෙය, ඇමරිකානු මිලිටරි බලය එය නීතියට ඉහලින් පිහිටුවන්නේ ය යන්න සමග බැඳුනු අපරාධයක් බව, විවෘත ව පිලිගැනීම, මෙම කතුවැකිවල අර්ථය යි.
ට්‍රම්ප් යනු, ප්‍රෝඩාව, සමපේක්ෂනය හා කොල්ලකෑම හරහා සිය ධනය කඳු ගසා ගෙන ඇති සාපරාධී කතිපයාධිකාරයක නියෝජිතයා වේ. වෙනිසියුලානු ආක්‍රමනය පිලිබඳ ව ලෝසවෙඅ පල කල පලමු ප්‍රකාශය තුල ලියූ පරිදි, “ප්‍රජාතන්ත්‍රවාදී හෝ නෛතික මාධ්‍යයන් හරහා තව දුරටත් ක්‍රියාත්මක කල නො හැකි පිලිවෙත් පැටවීමට කතිපයාධිකාරීන් විසින් බලය කරා ආරෝහනය කෙරුනු මැරයා ලෙස ඇමරිකානු පාලක පන්තිය තෝරාගත් උපකරනය ඔහු ය.”
මෙමගින් ප්‍රදර්ශනය කරන්නේ, සියලු ප්‍රතිසංස්කරනවාදී බෙහෙත් වට්ටෝරුවල ව්‍යාජ ස්වභාවයයි. මෙය වනාහි, ගෝලීය යුද්ධයේ හා ආඥාදායකත්වයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින පාලක පන්තියකි.
මදුරෝ පැහැර ගැනීම තුල ප්‍රකාශයට පත් වන එම නීති-විරෝධීභාවය ම, එම අනුකම්පා විරහිත භාවය ම, එම සාපරාධීත්වය ම, මහා පරිමාන පිටුවහල් කිරීම්, මාධ්‍ය මත ප්‍රහාර, සිවිල් සේවය විරේක කිරීම සහ මහජනයාට එරෙහි ව මිලිටරිය දිගේලි කිරීම හරහා රට තුල ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය ලෙස ක්‍රියාත්මක වේ. මේ දෙපැත්ත කතිපයාධිකාරය කම්කරු පන්තියට එරෙහි ව දියත් කරන එක ම යුද්ධයේ පැති දෙකයි.
එහෙත් අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ “අයෝමය නීතිය,” පන්ති අරගලයේ “අයෝමය නීතිය” සමග ගැටෙනු ඇත. ට්‍රම්ප් හා මිලර් මෙහෙයවෙන්නේ, ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා කිසිදු විපාකයක් නොමැති ව ඕනෑ ම දෙයක් ඔවුන්ට කල හැකිවාක් මෙනි. ට්‍රම්ප් පරිපාලනයේ සෑම අපරාධකට ම යටත් ව සිටින, පාලක පන්තිය තුල ම වූ ඔවුන්ගේ විරුද්ධවාදී කල්ලි වලට මෙය සත්‍ය විය හැක. එහෙත් කම්කරු පන්තිය සම්බන්ධයෙන් එය සත්‍ය නොවේ. වෙනිසියුලාවට එරෙහි යුද්ධය ගැඹුරින් ම අපකීර්තිමත් ය. ඇමරිකානු ජනයා අතර පවතින යෝධ විරුද්ධත්වය, මත විමසුම් මගින් පෙන්වා දෙයි.
එක්සත් ජනපද හා ජාත්‍යන්තර කම්කරු පන්තිය අවශ්‍ය නිගමන උකහා ගත යුතු ය. ලෝකයට හා කම්කරු පන්තියට එරෙහි ව කතිපයාධිකාරය යුද ප්‍රකාශ කර ඇත. අධිරාජ්‍යවාදයටත්, එය නිෂ්පන්න කරන ධනපති ක්‍රමයටත් එරෙහි ව, සමාජවාදී ලෙස සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ සටන සියතට ගන්නා ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට හා තරුනයන්ට කැඳවුම් කර සිටී.
