ඉල්ලීම් කීපයක් මත රජයේ වෛද්‍ය නිලධාරීන් මේ දිනවල ගෙන යන විරෝධතා ක්‍රියාමාර්ගයන්ට සහයෝගය දක්වමින්, සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (සෞසේක්‍රික) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත්කර ඇති උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සෞසේක්‍රික සහ සසප සාමාජිකයෝ, පසුගිය සතියේ, රජයේ රෝහල් ගනනාවක වෛද්‍යවරුන්, හෙද-හෙදියන්, අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සහ ප්‍රතිකාර ලබා ගැනීමට පැමින සිටි මහජනතාව සමග සාකච්ඡාවක නිරත වූහ.
“රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයට සහාය දෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය බලමුලු ගන්වමු!” යන හිසින්, 2026 ජනවාරි 27 දා, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් නිකුත් කෙරුනු ප්‍රකාශයේ පිටපත් සෞඛ්‍ය සේවකයන් අතර බෙදා හරිම්න් සිදු කෙරුනු මෙම සාකච්ඡාවන් හි දී, රාජ්‍ය රෝහල් පද්ධතිය ඇතුලු සමස්ත මහජන සෞඛ්‍ය සේවය මුහුන දී සිටින දැඩි අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් විවිධ කරුනු අනාවරනය විය.
පහත දැක්වෙන්නේ, තම දුෂ්කර සේවා කොන්දේසි පැහැදිලි කරමින්, මහනුවර ප්‍රදේශයේ රජයේ රෝහලක රුධිර මධ්‍යස්ථානයේ (Blood Centre) සේවයේ නියුතු හෙද නිලධාරිනියක් කල ප්‍රකාශය යි:
දැන් ඕපීඩී (බාහිර රෝගී ප්‍රතිකාර අංශය) එකට එන රෝගීන් ප්‍රමානය ඉතා වැඩියි. එයට ප්‍රධාන හේතුව, කලින් පුද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගත් බොහෝ දෙනෙක්, ඔවුන්ගෙ ආර්ථික තත්වය පහත වැටීම නිසා, යලි රජයේ රෝහල් වලට යොමුවීම. අතමිට නැති නිසා ඔවුන්, එතරම් වැය නොවන වෛද්‍ය පරීක්ෂන පවා පෝලිමේ ඉඳලා ඉඳලා කොහොම හරි කරගන්නවා.
පසුගිය අවුරුදු දෙක තුල, ඕපීඩී යට එන රෝගීන් දෙගුනයකටත් වඩා වැඩි වෙලා කියලයි මම විශ්වාස කරන්නේ. නමුත් ඊට සාපේක්ෂව කාර්ය මන්ඩල වැඩි වී තිබෙන්නෙ ඉතාමත් සුලු ප්‍රමානයක්. ඉස්සර වැඩ කරන අතරතුර යම් හෝ නිදහසක් තිබුනා. දැන් එහෙම නෑ. රුධිර මධ්‍යස්ථානයේ රෝගීන් පෝලිමේ ඉන්න කාලය අඩු කරන්න කියලා, රෝහල් අධ්‍යක්ෂගෙන්, හෙද පාලිකාවන්ගෙන් සහ හෙද සොයුරියන්ගෙන් අපිට දැඩි පීඩනයක් එල්ල වෙනවා. පුලුවන් උපරිම වේගයෙන් වැඩ කලත් ඒකටත් සීමාවක් තියෙනවනෙ. රෝහල් පරිපාලනය පැත්තෙන් ගත්ත ම, සේවක හිඟයෙ බර අපිට පැටවීම හැර වෙනත් විසඳුමක් ඔවුන්ට නෑ.
උදේ 7.30 සිට හවස 4.00 දක්වා අපිට එක දිගට වැඩ කරන සිද්ධවෙලා තියෙනවා. දවසකට රෝගීන් 400 ක් පමන එන තත්වයක් ඇතුලෙ, එක හෙදියකට අඩුම තරමේ 100 කගෙවත් ලේ ගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඉපදිලා සති දෙකේ, අවුරුද්දේ වගේ කුඩා ලමුන් ආපු වෙලාවට විනාඩි 20ක් විතර යන අවස්ථා තියෙනවා. උදේ ආහාර නොගෙන එන රෝගීන් පෝලිමේ ඉන්න නිසා අපි මුහුන දෙන්නේ අතිශය දුෂ්කර සහ පීඩාකාරී තත්ත්වයකට. උදේ සිට හවස් වෙනකම් අපි වැඩ කරන්නේ මැෂින් වගේ. මෙහෙම තියෙද්දිත් සමහර වෙලාවට පොඩි වැරැද්දක් වුනොත් රෝගීන් අපිට බනිනවා. ඇත්තෙන් ම මෙතන තියෙන අඩුපාඩු වලට කාර්ය මන්ඩලය හැටියට අපිට මුකුත් කරන්න බැහැ. කොච්චර රෝගීන් ආවත් අපි ඔවුන්ට සේවය සලසනව. ඔවුන්ගේ දුෂ්කරතා අපිට තේරෙනව.
මේ රුධිර මධ්‍යස්ථානෙ හෙදියන් හතර දෙනෙක් වැඩ කරනවා. මේකෙ හැරෙන්නවත් ඉඩ නෑ, හරිම අපහසුවෙන් තමයි වැඩ කරන්නේ. හරිහමන් පුටුවක්වත් නෑ. මේ ගැන පරිපාලනයට වෘත්ති සමිති වලට මොන තරම් කිව්වත් වැඩක් වුනේ නැහැ. පුටුවක්, කබඩ් එකක් ගන්න හරිම අමාරුයි. ලියලා ලියලා වුනත් කාලෙකට පස්සේ තමයි ඒවා හම්බවෙන්නේ.
රෝගීන්ට සහ කාර්ය මන්ඩලයට තියෙන පහසුකමුත් ටිකෙන් ටික කප්පාදු කරනවා. අපි 13 දෙනාට වැසිකිලියක් නැහැ. ඉස්සර රෝගීන් පාවිච්චි කරපු පොදු වැසිකිලියක් තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අහිමිවුන නිසා රෝගීන්ට එලියේ තියෙන අපිරිසිදු වැසිකිලියකට යන්න වෙලා තියෙනවා.
සෞඛ්‍ය සේවයට යොදන මුදල් කප්පාදු කරන ගමන් වැඩි සේවාවක් අපෙන් බලාපොරොත්තු වෙනවා.මේ ප්‍රශ්න ගැන පරිපාලනය සමඟ හෝ වෙනත් කා සමඟ හෝ කතා කරන්න කැමති නෑ. එලෙස කතා කලොත් එම සේවකයා මීට වඩා අන්ත දුෂ්කර සේවා කොන්දේසි ඇති තැන් වලට මාරු කරනවා. එතකොට කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක් වෙන්නේ ඒ හින්දා මේක ඉවසගෙන කරනවා. මේ පීඩනය නිසා පසුගිය කාලේ මානසික සායන වලින් බෙහෙත් ගත්ත සේවකයින් හිටියා.
ඔබ පැහැදිලි කලේ නැත්නම්, සෞඛ්‍ය සේවය මේ තරම් පිරිහුනේ කොහොමද කියල මම දන්නෙත් නෑ. මේ පරිහානිය ලංකාවට විතරක් සීමාවුනු එකක් නොවන බවත්, එය, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ලෝක ධනපති ක්‍රමය මුහුනදෙන අර්බුදයේ ප්‍රතිඵලයක් බවත් දැන් මට තේරෙනව. මේ කප්පාදු වලට විරුද්ධව, 2022 වගේ මහජන නැගිටීමක් වෙන්න පුලුවන්. එහෙම නැගිටීමක්, සමාජවාදී වැඩපිලිවෙලක් මත සංවිධානය නොකලොත්, ඔබ කියනව වගේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ (ජාමූඅ) කප්පාදු අපි මත පටවන ධනපතියන්ගෙ ආන්ඩුවක් තමයි එන්නෙ.
සෞකක්‍රික ප්‍රකාශයේ තිබෙන මේ කොටස ඉතා වැදගත් කියල මම හිතනව.
“පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මෙන් ම වත්මන් ජනාධිපති දිසානායක පාලනය ද, ධනපති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේ යෙදී සිටි. 2022 ආර්ථික කඩාවැටීමේ දී අත්හිට වූ විදේශ නය ආපසු ගෙවීමට හා ආයෝජකයන්ගේ ලාභ තර කිරීමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම ආන්ඩුවේ ප්‍රමුඛතාවයි. ඒ සඳහා භාන්ඩාගාරයට පොම්ප කිරීමට බදුබර වැඩිකර, අත්‍යවශ්‍ය දේවල මිල ඉහල දමමින් සහ රජයේ ව්‍යවසායන් පුද්ගලීකරනයට, ලක් කරන අතර නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය අතුගා දැමීමේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමෙයි.”
ඇත්තටම දැන් තියෙන ආන්ඩුව ධනපති ආන්ඩුවක් නොවෙයි කියලා තමයි අපි හිතුවේ. අනිත් දේශපාලන පක්ෂ එපා වෙලා තිබුන හින්දා අපේ චන්දත් මේ ආන්ඩුවට දුන්න. දැන්, රනිල් වික්‍රමසිංගෙ ආන්ඩුව ආරම්භ කරපු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අනුර කුමාර දිසානායකත් ඉදිරියට ගෙනියනව.
සෞඛ්‍යය සහ අධ්‍යාපනය ආරක්ෂා කර ගන්න, අනෙක් කප්පාදු පරාජය කරන්න, කම්කරුවෝ ඔක්කොම එකතුවෙල ධනවාදය පෙරලන්න, සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් කරන්න ඕන කියන අදහසට මම එකඟයි. ඒ අනුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සටනට අපි සහාය දෙන්න ඕන. ඒත්, වෛද්‍ය සේවය වෙනම 'කැටගරියක් ' කරන්න කියන ඉල්ලීමට එකඟ වෙන්න බෑ. ඒක කම්කරුවන් බෙදන ඉල්ලීමක්.
