(මෙය 2 months after Cyclone Ditwah: Sri Lanka’s humanitarian catastrophe continues මැයෙන් 2026 පෙබරවාරි 2දා පල කල ලිපියේ පරිවර්තනය යි.)
දිත්වා සුලි කුනාටුව 2025 නොවැම්බර් 27-28 දිනවල ලංකාවට පහර දුන්නේ, 2004 ඉන්දියන් සාගර සුනාමියෙන් පසු රටෙහි ඇති වූ දරුනුම ස්වාභාවික ව්‍යසනය මුදාහරිමිනි. මෙම ව්‍යසනයෙන් මාස දෙකක් ගෙවෙන තැන, විනාශයේ පරිමානයට ප්‍රමානවත් ලෙස ආමන්ත්‍රනය කිරීමට ආන්ඩුව අසමත් වී ඇත. කම්කරුවන් හා අවතැන් වූ පවුල් ආරක්ෂිත නිවාස සහ අව්‍යාජ යලි ගොඩනැගීම් ඉල්ලමින් විරෝධතා පවත්වන අතරතුර, මිලියන ගනනක් ජනයා ගැඹුරු වන දරිද්‍රතාවට මුහුන දෙමින් සිටිති.
සංඛ්‍යා ලේඛන, ආපදාවේ සැබෑ විශාලත්වය අනාවරනය කරයි. නිල වසයෙන් ප්‍රකාශිත මරන ගනන 649ක් වන අතර, 173 දෙනෙකු තවමත් අතුරුදන් ය. ලංකාවේ ජනගහනයෙන් ආසන්න වසයෙන් සියයට 10ක් වන, පුද්ගලයින් මිලියන 2.3ක්, සෘජු ව ම ගංවතුරට නිරාවරනය කෙරී ඇත.
ලෝක බැංකුව තක්සේරු වලට අනුව, සෘජු භෞතික හානිය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.1ක් වන අතර, එය දල දේශීය නිශ්පාදිතයෙන් (දදේනි) සියයට 4කට සමාන වේ. සමස්ත ආර්ථික හානිය ඩොලර් බිලියන 6ත් 7ත් අතර වේ. හෙක්ටෙයාර මිලියන 1.1ක් යට කල සුලි කුනාටුව ගොඩනැගිලි 720,000කට හානි කලේ ය -ඒ අතරින් නිවාස 6,000ක් සම්පූර්නයෙන් විනාශ කර තවත් 108,000කට අධික ප්‍රමානයකට අර්ධ හානි සිදු කලේ ය.
තහවුරු කල මරන 243ක් හා අතුරුදන් වීම් 69ක් සමගින් මහනුවර නගරය ඉහල ම මරන සංඛ්‍යාව වාර්තා කලේය. දෙමල කතා කරන වතුකම්කරුවන් ජීවත් වන නුවරඑලියෙන්, මරන 81ක් හා අතුරුදන්වීම් 32ක් වාර්තා විය.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ප්‍රතිචාරයේ හා එයට ආපදාවන්ට සූදානම්වීමේ කිසිදු වැඩපිලිවෙලක් නොමැති කමේ කුදුමහත් අසාර්ථකත්වය මෙම විනාශයෙන් හෙලිදරවු කෙරෙයි.
මිලිමීටර 200 සිට 300 දක්වා වර්ෂාපතනයක් ද සමහර ස්ථානවලට මිලිමීටර 500ක වර්ෂාපතනයක් ද පුරෝකථනය කරමින්, කාලගුන විද්‍යාඥයෝ සති දෙකකට පමන පෙර අනතුරු ඇඟවීම් නිකුත් කල හ. මෙම අනතුරු ඇඟවීම් නො තැකූ බලධාරීහු, බහුභාෂීය කෙටි පනිවුඩ නියමිත කාලයේ දී නිකුත් කිරීමට, ඉහල අවදානමක් සහිත අය ඉවත් කිරීමට, ප්‍රාදේශීය පරිපාලන ආයතන බලමුලුගැන්වීමට හෝ මුදාගැනීමේ කන්ඩායම් කල්තබා ස්ථානගත කිරීමට අසමත් වූ හ.
දශක ගනනක පාරිසරික දුෂ්-කලමනාකරනය, කඳුකර ප්‍රදේශවල අපාලිත ඉදිකිරීම්, වනාන්තර විනාශය සහ ඉව-බව නැති ඉඩම් ප්‍රතිපත්ති, මෙම අපරාධකාරී නො තකා හැරීම සමග එක්වී, පුරෝකථනය කල හැකි වූ ස්වාභාවික සිද්ධියක් සමාජීය ව්‍යසනයක් බවට පරිවර්තනය කෙරුනි.
සුලි කුනාටුවෙන් මාස දෙකකට අධික කාලයක් ගත වී ඇති තැන, පුද්ගලයන් 170,000ක් තවමත් අවතැන් වී හෝ වෙනත් පවුල් සමග ජීවත් වෙමින් සිටිති. ජනවාරි 23දා වන විට, පුද්ගලයන් 6,680ක් වෙන්කෙරුනු සහන මධ්‍යස්ථානවල ජීවත් වෙමින් සිටි අතර, එම සහන මධ්‍යස්ථාන යනු, පාසල්, ආගමික ස්ථාන සහ ප්‍රජා ගොඩනැගිලි වැනි මහජනයාට දීර්ඝ කාලයකට නවාතැන් සැපයීමට සුදුසු යයි කිසිදිනක අදහස් නො කල තාවකාලික ලැගුම් ස්ථානයන් ය.
අවතැන් වූ පවුල්වලට කුලී නිවාස සොයා ගන්නා ලෙස දිරිමත් කිරීමේ ආන්ඩුවේ මූලෝපාය, යතා තත්වයට පත් කිරීම පෞද්ගලීකරනය කර, ගොදුරු වූ පවුල් ගැඹුරු නයබරිත භාවයට ඇද දමා ඇත. අප්‍රමානවත් පුද්ගලිකත්වය, දුර්වල ආලෝකය සහ අප්‍රමානවත් ඉඩකඩ ඇතුලු ආරක්ෂාව පිලිබඳ සැලකිය යුතු ගැටලුවලට ආරක්ෂිත ස්ථාන මුහුන දෙන්නේ, විශේෂයෙන් ම කාන්තාවන්ට හා ගැහැනු ලමුන්ට ප්‍රචන්ඩත්වයේ අවදානම ඉහල දමමිනි.
අධි-අවදානම් ප්‍රදේශවල පවුල් තවමත් නායයාම්වල තර්ජනයට මුහුන දෙති. නුවරඑලිය දිස්ත්‍රික්කයේ, වර්ෂාපතනය මිලිමීටර 100ට ලඟා වන්නේ නම් සෝදිසියෙන් සිටින ලෙස ද,, එය මිලිමීටර 150ට ලඟාවන වහා ම පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙස ද වැසියන්ට උපදෙස් ලැබී ඇත.
සුලි කුනාටු ප්‍රහාරය එල්ල වූ විට, ජවිපෙ/ජාජබ ආන්ඩුව රුපියල් බිලියන 72.2ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 232ක) සහන පැකේජයක් නිවේදනය කලේ ය. බලපෑමට ලක් වූ සෑම පවුලකට ම නිවාස පිරිසිදු කරගැනීම සඳහා ජනාධිපති දිසානායක රුපියල් 25,000ක් පොරොන්දු වූයේ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට තවත් රුපියල් 50,000ක් ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.
පවුල් 109,000ට අධික ප්‍රමානයකට රුපියල් 50,000 දීමනාවෙන් සියයට 70ක් සහ නිවාස පිරිසුදු කරගැනීමේ දීමනාවෙන් සියයට 97ක් බෙදා දී ඇති බව ආන්ඩුවේ නිලධාරීහු පසුගිය මාසය අවසානයේ කියා සිටිය හ.
එහෙත් නිල ප්‍රබන්ධය පසුබිමේ සිදු වන අඳුරු යථාර්ථයන් සඟවයි. නුවරඑලියේ නෝවුඩ්හි ස්ටොක්හෝම් වත්තේ තත්ත්වය සැබෑ දෙය හෙලිදරවු කරයි. පවුල් 65ක් ජීවත් වන වත්තේ ලයින් කාමර නොහොත් බැරැක්ක වර්ගයේ නිවාසවලට දරුනු ලෙස හානි සිදුවිය. දෙසැම්බර් 17දා, කම්කරුවන් 700ක් පමන තම වත්තේ දී විරෝධතාවක් පැවැත්වූයේ ආරක්ෂිත ස්ථානවල ශිෂ්ට සම්පන්න නිවාස ඉදිකිරීමට ඉඩම් ඉල්ලමිනි.
සුලි කුනාටුව බොහෝ වතු කම්කරුවන්ට විනාශය කැඳවී ය. මහනුවර, නුවරඑලිය, බදුල්ල, මාතලේ, කෑගල්ල හා කුරුනෑගල දිස්ත්‍රික්කවල ඇති වූ නායයාම් හා ගංවතුර හේතුවෙන් ආසන්න වසයෙන් වතු කම්කරුවන් 50ක් පමන මිය ගියහ. නිවාස සිය ගනනක් විනාශ කෙරී දහස් ගනනකට හානි සිදුවූයේ, ඒ වන විටත් අන්ත දරිද්‍රතාවේ ජීවත් වුනු කම්කරුවන් ව බරපතල දුෂ්කරතාවන්ට ඇද දමමිනි.
ස්ටොක්හෝම් වත්තට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල නිවැසියෝ, දැන් සැබෑ ලෙස ම මර උගුල් බවට පත් ව ඇති නිවාස වෙත තමන් ආපසු යැවීම ගැන බලධාරීන්ට චෝදනා කල හ. ඊනියා “නිවාස පිරිසිදු කරගැනීමට” වෙන් කල සොච්චම් රුපියල් 25,000 දීමනාව ඇතුලු ආන්ඩුවේ සහනාධාර පවා නො ලැබුනු බව ඔවුහු කීවෝ ය.
රාජ්‍ය නො වන සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන අතලොස්සක් විසින්, දිත්වා සුලි කුනාටුවෙන් ක්ෂනික ඉක්බිත්තේ සීමිත ආධාර සැපයුන ද එතැන් පටන් එම සහයෝගය වියැකී ගොස් ඇත. “කවුරුවත් අපි ගැන බලන්නේ නැහැ” යි විපතට පත්වූවෝ කීවෝ ය.
මස්කෙලියේ ගවරවිල වත්තේ ද ඒ හා සමාන තත්ත්වයක් පවතින අතර, වතු කම්කරු පවුල් නවයක පුද්ගලයින් 30ක් පමන එම නො තකා හැරීම හා මංමුලා සහගත තත්ත්වය වාර්තා කලේ, ඔවුන් ව තම ඉරනමට මුලුමනින් ම අත්හැර දමා ඇති බව ප්‍රකාශ කරමිනි.
විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්තානය හෙලිදරවු කර ඇත්තේ, බ්‍රැම්ලි වත්තේ හා අනෙකුත් ප්‍රදේශවල ප්‍රජාවට සුලි කුනාටුවෙන් දවස් 40ක් ගෙවෙද්දී පවා, කිසිදු ආකාරයක සහයෝගයක් නො ලැබී ඇති බව යි.
කෝපයට පත් වැසියන්ගේ තර්ජන ද සමගින්, පුත්තලම දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරීන් ආන්තික පීඩනයට මුහුන දුන්හ. රුපියල් 25,000 පිරිසිදු කිරීමේ දීමනාව ඉල්ලා 3,000ට අධික ආයාචනා ප්‍රමානයක් ලැබී ඇතත්, නිලධාරීන් සමත් වී ඇත්තේ දිනකට නිවාස 50ක් පමන පරීක්ෂා කිරීමට යි. දිස්ත්‍රික්කයේ නිලධාරීන්ගෙන් තුනෙන් පංගුවක් දෙනා සුලි කුනාටුවේ බලපෑමට ලක් වී ඇත්තේ, ඉල්ලා ගත් ඇඳුම් ඇඳ වැඩ කිරීමට බල කෙරෙමිනි.
සිය අප්‍රමානවත් සූදානම හා ප්‍රතිචාරයට මහජන විරුද්ධත්වය මතුවීම පූර්වාපේක්ෂා කල ආන්ඩුව, ව්‍යසනයෙන් ක්ෂනික ව ඉක්බිත්තේ විෂඝෝර හදිසි නීති බලතල පැනවී ය. අතෘප්තිය මර්දනය කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි යොදා ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විවෘත ව පොලීසිය උනන්දු කලේ ය. සහනාධාර බෙදීම දේශපාලනීකරනය කෙරෙමින් පවතින බව ග්‍රාම නිලධාරීන් ඇතුලු බොහෝ දෙනෙක් මාධ්‍යයට ප්‍රකාශ කලහ. උතුරේ හා නැගෙනහිර දෙමල ප්‍රජාවන් නො තකා හරිමින්, තෝරාගත් ප්‍රදේශවල සහයෝගය ගොනු කරගැනීම සඳහා ආධාර යොමු කෙරුනු බව ඔවුහු පැවසූහ.
ගැඹුරු වන සමාජීය ව්‍යසනය ඉමහත් කෝපයක් ජනනය කර ඇත. ජනවාරි 5දා, කඳපොල කොන්කෝඩියා හා එස්කඩාල් වතුවල කම්කරුවන් 200ක් පමන විරෝධතා පෙලපාලියක් පැවැත්වූයේ, සුරක්ෂිත වාසස්ථාන සම්පාදනය කරන තෙක් තමන් තාවකාලික වාසස්ථානවලින් ඉවත් නො වන බව ප්‍රකාශ කරමිනි. “වහල් ලයින් කාමර පද්ධතිය” අවසන් කරන ලෙස කම්කරුවන් ඉල්ලා සිටියේ, බරපතල පිපුරුම් සහ ඉරිතැලීම් සහිත ඔවුන්ගේ ලයින් කාමර මර උගුල් බව සඳහන් කරමිනි. ආන්ඩුව ස්ථිර නිවාස සඳහා ඉඩම් පරිත්‍යාග යෝජනා ක්‍රමයක් ප්‍රකාශයට පත් කර ඇතත්, නිලධාරිවාදී ප්‍රමාදයන් සහනාධාර බෙදා හැරීමට බාධා කරමින් විකල්ප නවාතැන් සැපයීම ප්‍රමාද කිරීම දිගටම කරගෙන යයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය මාසයේ දී තහවුරු කලේ, දිත්වා සුලි කුනාටුව බොහෝ ලාංකිකයන් දරිද්‍රතාවට ඇද දමමින් පවතින බව යි. ප්‍රාදේශීය නිලධාරීන් 510ක් හා වඩාත් ම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 22හි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 85ක ප්‍රජා නියෝජිතයන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම් වන එම වාර්තාව පවසන්නේ, අස්වනු හා පශු සම්පත් අහිමි වීම, රැකියා අහිමි වීම හා ව්‍යාපාර වැසීයාම නිසා තම ජීවිකාවන් බලපෑමට ලක් වී ඇති බව සියයට 93ක් කී බව යි.
සමීක්ෂනයට සහභාගි වූවන්ගෙන් සියයට 40ක් පොලියට නය දෙන්නන් මත යැපෙමින් නයබරිතභාවයට ඇද වැටෙමින් සිටින අතර, සියයට 76ක් පවසා ඇත්තේ, ආන්ඩුවේ ආධාර ආරක්ෂනවාදී මූලෝපායක් ලෙස සලකන බවයි. ව්‍යසනයට ගොදුරු වූවන් ජීවත් වීම සඳහා, “පශුසම්පත් (ගවයන්, එළුවන් ආදී සතුන්) ස්වර්නාභරන හා වාහන ඇතුලු පුද්ගලික වත්කම් විකිනීම සහ අතිරේක ක්‍රියාකාරකම් මත වැඩි වැඩියෙන් රැඳෙන” බව වාර්තාව සුවිශේෂී ලෙස සටහන් කලේ ය.
එක්සත් ජාතීන් එහි “මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලෙන්” ඩොලර් මිලියන 4.5ක් පමනක් වෙන් කර ඇති අතර, වඩාත් ම පහසුවෙන් ආපදාවන්ට ලක්වනසුලු ශ්‍රී ලාංකිකයන්ගෙන් 658,000කට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 35.3ක් ලබාදීමේ අපේක්ෂාවෙන්, දෙසැම්බරයේ දී, “මානවවාදී ප්‍රමුඛතා සැලසුම” දියත් කලේ ය. ලෝක බැංකුව එය සතු ව්‍යාපෘතීන්ගෙන් ඩොලර් මිලියන 120ක් ප්‍රදානය කල ද එම මුදල ආපදාවට පත් දිස්ත්‍රික්කවල සෞඛ්‍යාරක්ෂනය, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය හා සන්නිවේදනය සඳහා බෙදාදිය යුතු ය. දැනට මත් ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින රටකට මෙම ප්‍රමානයන් නින්දිත ලෙස අප්‍රමානවත් වේ.
අතිරේක නයගැනීමේ අන්තරායන්, ජාතිය “නය උගුලේ හිර කරනු ඇතැ ” යි සඳහන් කරමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යූඑන්ඩීපී) ශ්‍රී ලංකාවට “යලි ගොඩනැගීම සඳහා තව තවත් නයවලට කරගැසිය නො හැකියි” යි අනතුරු ඇඟවී ය. 2026 නය ගෙවීමට ආන්ඩුවේ ආදායමින් සියයට 85ක් දැනට මත් කැප කර තිබෙන තතු තුල, අව්‍යාජ යලි ගොඩනැංවීමක් සඳහා අත්‍යවශ්‍ය අරමුදල් වෙන් කිරීමට ආන්ඩුව අසමත් වනු ඇත.
දිත්වා සුලි කුනාටුවෙන් මාස දෙකකට පසු, ශ්‍රී ලංකාව මුහුන දෙන මානුෂීය අර්බුදයේ ආකාරයන් නො වරදින ලෙස පැහැදිලි ය. මවාපෑමක් වන ජවිපෙ/ජාජබ ආන්ඩුව සහනාධාර වැඩසටහන, අව්‍යාජ යලි ගොඩනැංවීමක් සිදු කිරීමට හෝ සුලි කුනාටුව අනාවරනය කර ඇති යටින් දිවෙන ගැටලුවලට ආමන්ත්‍රනය කිරීමට අසමත් වී ඇත.
ආරක්ෂිත නිවාස හා ඉඩම් අයිතීන් ඉල්ලමින් වතු කම්කරුවන් පවත්වන විරෝධතා, ආපදාවට ලක් වූ වතුවලින් ඔබ්බට ප්‍රසාරනය කල යුතු ය. ශිෂ්ට සම්පන්න නිවාස, සුරක්ෂිත ඉඩම් කට්ටි සහ සුරක්ෂිත වැඩ කොන්දේසි සඳහා ඔවුන් ගෙන යන සටන, විනාශයට පත් ප්‍රජාවන් යලි ගොඩනැගීම සඳහාත්, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි මතට ආන්ඩුව හා හාම්පුතුන් එල්ල කරන ප්‍රහාරවලට එරෙහි වත් කම්කරු පන්තිය කරන සටන සඳහා වන පලල් බලමුලුගැන්වීමක කොටසක් බවට පත් කල යුතු ය.
ජාත්‍යන්තර ආධාර මන්දගාමී හා කිසිසේත් ප්‍රමානවත් නො වීම පෙන්නුම් කරන්නේ, විශේෂයෙන් ම ඌන-සංවර්ධිත රටවල් ඇතුලු ලෝකය පුරා මහජනයාට බලපාන හා ගැඹුරු වන ස්වාභාවික විපත්වලට අව්‍යාජ විසඳුම් සම්පාදනය කිරීමට සෑම තැනක ම ධනපති ආන්ඩුව සමත් නො වන්නේය යන යථාර්ථය යි.
දිත්වා සුලි කුනාටුවෙන් නිර්මිත සමාජීය ව්‍යසනය සහ වසර ගනනාවක් පුරා ආන්ඩුවල නො තකා හැරීම ජයගැනීම සඳහා ගෙන යන සටන, ඉදිරියට ගෙන යා හැක්කේ කම්කරු පන්තිය හා ගම්බද ජනතාව ස්වාධීන ව බලමුලුගැන්වීම හරහා පමනි. මේ සඳහා, අව්‍යාජ යලි ගොඩනැගීමකට කැපවන හා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගලයෙහි කොටසක් ලෙස, ප්‍රජා හා වැඩපොල මට්ටමෙන් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය කෙරේ.
නව වර්ෂාවන් මගින් ඉදිරි ගංවතුර හා නායයාම්වලට අඛන්ඩ ව තර්ජනය කරද්දී, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ජීවිත යතා තත්වයට පත් කිරීම සඳහා වන කාලය ඉක්මවා යමින් පවතී. අප්‍රමානවත් ආධාර, නිලධාරිවාදී බාධාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) පනවා ඇති කප්පාදු වැඩපිලිවෙල ආදියෙන් සමන්විත වර්තමාන ගමන් මාවතට මූලික ව අභියෝගකොට ඒවා ආපසු නොහැරවුවහොත් සිදු වනු ඇත්තේ, මානුෂීය අර්බුදය ගැඹුරු වීම පමනි.
