ඉරාන නාවිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ “මානුෂීය” මවාපෑම් එක්සත් ජනපද සංදේශයෙන් හෙලිදරව් කෙරේ

[මෙය US memo exposes Sri Lankan “humanitarian” posturing over Iranian sailors’ rescue මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

මාර්තු 4 වන දින, ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල දී, එක්සත් ජනපද සබ්මැරීනයක් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරයකින් අයිරිස් ඩෙනා (IRIS Dena) නමැති ඉරාන නෞකාව, ගිල්වා දැමූ අතර, එහි සිටි නාවිකයින් 108 දෙනෙක් මිය ගියහ. ඉන්දියාව විසින් පවත්වන ලද බහුජාතික නාවික අභ්‍යාසවලින් පසු නෞකාව ආපසු යමින් සිටිය දී ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී අනතුරු ඇඟවීමකින් තොර ව ප්‍රහාරය සිදු විය.

මැද පෙරදිග සිට කිලෝමීටර් දහස් ගනනක් දුරින් සිදු කෙරුනු මෙම සමූහ ඝාතන ක්‍රියාව, ඉරානයට එරෙහි ව වොෂින්ටනය උත්සන්න කරමින් පවතින යුද්ධයේ කොටසක් විය. එය නිසැක පනිවිඩයක් යැවී ය: ජාත්‍යන්තර නීතියෙන් හෝ සම්මුතියෙන් සීමා නොවී, එක්සත් ජනපදය තෝරා ගන්නා ඕනෑ ම තැනක ගැටුම ඉදිරියට ගෙනයනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අයිරිස් ඩෙනා යුධ නෞකාවෙන් බේරා ගන්නා ලද ඉරාන නාවිකයෙකු 2026 මාර්තු 5 වන බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකාවේ ගාල්ලේ ජාතික රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරියෙකු වෙත ගර්නියකින් ගෙනයනු ලැබේ. [AP ඡායාරූපය/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

ශ්‍රී ලංකා නාවික හමුදාව අලුයම 4 ට සහ අලුයම 5 ට ගිලෙන ඉරාන නෞකාවෙන් ලැබුනු ආපදා ඇමතුම් දෙකකට ප්‍රතිචාර දක්වමින්, බේරාගත් නාවිකයන් 32 දෙනෙක් ප්‍රතිකාර සඳහා ගාල්ලේ කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබීම හේතුවෙන් ඔවුනගේ දිවි රැක ගැනීමට හැකි ව ඇත.  පසුව නාවික හමුදාව ගිලුනු නෞකාවෙන් නාවිකයින් දුසිම් ගනනකගේ මල සිරුරු සොයා ගත්තේ ය.

මාර්තු 4 වන දින, කාර්ය මන්ඩල සාමාජිකයින් 208 දෙනෙකු රැගත් දෙවන ඉරාන නාවික නෞකාවක් වන අයිරිස් බුශර් (IRIS Bushehr), කොලඹ වරායට ඇතුලුවීමට අවසර ඉල්ලා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට පනිවිඩයක් යවන ලදී. මුලින් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, කලබලයට පත් ශ්‍රී ලංකා ආන්ඩුව, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා රාශියකින් පසු ව, අවසානයේ මාර්තු 5 වන දින නෞකාවට කොලඹ වරායට ඇතුලුවීමට අවසර දුන්නේය. එහි කාර්ය මන්ඩලය ගොඩබස්වා ඇති අතර යාත්‍රාව රටේ අනෙක් පැත්තේ ත්‍රිකුනාමල වරායට ගෙන යන ලදී.

එදින රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ තම ආන්ඩුව “රටේ ගෞරවය ආරක්ෂා කරන” ආකාරයෙන් ක්‍රියා කර ඇති බවයි. තමන් “ඉක්මන් තීරනයක්” නොගත් බව ඔහු පැවසීය, මන්දයත්, “මෙය යුද්ධයක එක් පාර්ශවයකට අයත් නාවික යාත්‍රාවක් වීම” සහ “අපි මධ්‍යස්ථ රාජ්‍යයක්” වීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බැවිනි.

“අදාල තානාපති කාර්යාල” සමඟ සාකච්ඡා පවත්වා ඇති බව දිසානායක පිලිගත් නමුත් ඒවා හැඳින්වූයේ නැත. “පාර්ශ්ව අතර ඇති කරගත් ගිවිසුම් සහ අවබෝධයන්ට යටත් ව” ශ්‍රී ලංකාව කාර්ය මන්ඩලය සහ යාත්‍රාව භාරයට ගැනීමට එකඟ වී ඇති බව ඔහු ප්‍රකාශ කල නමුත්, පාර්ශවයන් හෝ ගිවිසුම්වල නියමයන් හෙලිකලේ නැත.

වෙනත් වචන වලින් කිවහොත්, දිසානායක මෙම සිදුවීම මධ්‍යස්ථ රාජ්‍යයක් විසින් සිදු කරන ලද සාමාන්‍ය මානුෂීය මෙහෙයුමක් ලෙස ඉදිරිපත් කල අතර සංයමය පෙන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ විරුද්ධ පක්ෂ විසින් ඔහුට ප්‍රශංසා කරන ලදී.

මාර්තු 7 වන දින පල කරන ලද රොයිටර් වාර්තාවක් මගින් එම ප්‍රබන්ධය දැන් බිඳ දමා ඇති අතර, එම වාර්තාව, ශ්‍රී ලංකාවේ ආන්ඩුව දෙවන නෞකාවට රට තුලට ඇතුලු වීමට හේතු වූ දේ පිලිබඳව කරුනු කාරනා හෙලිකරයි.

මාර්තු 6 දිනැති එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කේබල් පනිවිඩයකට අනුව, කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකාර ජේන් හොවෙල්, ආන්ඩුව අයිරිස් බුෂෙහර් නෞකාවේ කාර්ය මන්ඩලය හෝ අයිරිස් ඩෙනා නෞකාවෙන් බේරාගත් නාවිකයින් 32 දෙනා හෝ ඉරානයට ආපසු නොයැවිය යුතු බව අවධාරනය කලේ ය.

නවදිල්ලියේ පිහිටි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා සාකච්ඡාවලට සම්බන්ධ වූ බව ද කේබලයෙන් දැක්වේ. කේබලයට අනුව, හොවෙල් ඊශ්‍රායල තානාපතිවරයාට පැවසුවේ නාවිකයින් ඉරානයට ආපසු ගෙන්වා ගැනීමේ කිසිදු සැලැස්මක් නොමැති බවයි - ජනාධිපති දිසානායක එකඟ වූ බව එයින් පෙන්නුම් කෙරේ.

“තම ප්‍රචාරනය සඳහා රැඳවියන් යොදා ගැනීමට ඉරානය දරන උත්සාහයන් අවම කල යුතු ය” යන්න ගිවිසුම්වලට ඇතුලත් විය. වෙනත් වචන වලින් කිවහොත්, ඉරාන නාවිකයින්ගේ කට බඳිනු ඇත, එයින් අදහස් කරන්නේ ඔවුන් නිරන්තර නිරීක්ෂනය යටතේ රඳවා තබන බවයි. කේබලයේ සඳහන් කර ඇති පරිදි, අයිරිස් බුෂෙහර් නෞකාව “ගැටුම පවතින කාලය සඳහා ශ්‍රී ලංකා අත්අඩංගුවේ පවතිනු ඇත.”

“පලායාම” සඳහා නාවිකයන් දිරිමත් කිරීම - වෙනත් වචන වලින් කිවහොත්, ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමනශීලී යුද්ධය සඳහා ප්‍රචාරක මෙවලම් බවට නාවිකයන් පත්කර ගැනීම සඳහා - කාර්ය මන්ඩලය සමඟ කිසියම් කතාබහක් සිදු වී ඇත්දැයි ඊශ්‍රායල නියෝජිතයා හොවෙල්ගෙන් විමසීය. තමා, ඊශ්‍රායල තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කල නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු බව රොයිටර් වාර්තාකරු වාර්තා කලේ ය.

ශ්‍රී ලංකාවේ “මධ්‍යස්ථභාවය” සහ “මානුෂීය මෙහෙවර” පිලිබඳ දිසානායකගේ ඉරියව්ව මූලික වශයෙන් අසත්‍යයකි. කොලඹ පැවති ජාත්‍යන්තර කාන්තා දින උත්සවයක දී, අනෙකුත් රටවල් යුද්ධ කරන අතරතුර, ශ්‍රී ලංකාව “මනුෂ්‍යත්වයේ ධජය ඉදිරියට ගෙන යන” බවට ඔහු පුරසාරම් දෙඩුවේ ය.

යථාර්ථයේ දී, දිසානායක ආන්ඩුව රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විසින් නියම කරන ලද පරිදි එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ මූලෝපායික අරමුනු සඳහා අනුකූල අතරමැදියෙකු ලෙස ක්‍රියා කලේ ය. ඩෙනා ගිලී යාම වටා ඇති සිදුවීම්, ඉරානයට එරෙහි ව දියත් කරන අධිරාජ්‍යවාදී යුද්ධයට කොලඹ සහ නවදිල්ලියේ හවුල්කාරිත්වය හෙලි කරයි.

ඉරාන නැව් තුනක් - අයිරිස් ලවාන් (IRIS Lavan), අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂ්හර්- මෑතකදී බෙංගාල බොක්කෙහි ඉන්දියාව විසින් පවත්වන ලද බහුජාතික නාවික අභ්‍යාසවලට සහභාගී වී තිබුනි. අභ්‍යාසයෙන් පසු, පෙබරවාරි 27 වන දින, මෙම යාත්‍රා කොලඹ වරායට සුහද සංචාරයක් සඳහා අවසර ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

නව දිල්ලිය හෝ කොලඹ යන දෙක ම, එක්සත් ජනපදය ඩෙනා නෞකාවට එල්ල කල ප්‍රහාරය හෝ එහි කාර්ය මන්ඩලය ඝාතනය කිරීම හෝ නීති විරෝධී යුද්ධය ම හෙලා දැක නැත. ඔවුන්ගේ නිහඬතාවය අහම්බයක් නොවේ. ආන්ඩු දෙක ම වොෂින්ටනය සමඟ දේශපාලනික ව පෙලගැසී සිටින අතර චීනය සමඟ යුද්ධයට සූදානම් වන විට ඉන්දු-පැසිෆික් කලාපයේ එහි මිලිටරි හා මූලෝපායික රාමුවට වැඩි වැඩියෙන් ඒකාබද්ධ වී ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ, ඉන්දියාව එක්සත් ජනපදයේ ප්‍රධාන “මූලෝපායික සහකරුවෙකු” බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ දිසානායක ආන්ඩුව ද එම ගමන් පථය ම අනුගමනය කරමින්, වොෂින්ටනය සමඟ තම මිලිටරි සහයෝගීතාව ගැඹුරු කරමින් සහ නවදිල්ලිය සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කරමින් සිටී.

ඉරාන යුද්ධයේ දී කොලඹ ආන්ඩුවේ භූමිකාව, ආන්ඩුවේ සහ එයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලන ස්වභාවය පිලිබඳව ද අනාවරනය කරයි. මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී වාචාලකමේ නිතිපතා නිරත වූ සන්නද්ධ අරගලය මත පදනම් වූ සුලු ධනේශ්වර සංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුන, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ගැත්තෙකු බවට පරිනාමය වී ඇත.

විදේශයන්හි “මනුෂ්‍යත්වය” ආරක්ෂා කරන බව කියා සිටින දිසානායක පරිපාලනය, රට තුල, මිලියන ගනනක් ජනතාව දරිද්‍රතාවයට ඇද දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රතිපත්ති නිර්දය ලෙස ක්‍රියාත්මක කරමින් සිටී. මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා, දිසානායක පොලීසියේ සහ හමුදාවේ බලතල පුලුල් කරමින් සිටින අතර, කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ විරෝධය මැඩපැවැත්වීම සඳහා කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි සහ අත්‍යවශ්‍ය සේවා නීතිය භාවිතා කරයි.

ඉරානයට එරෙහි විනාශකාරී යුද්ධයේ කොටසක් ලෙස අයිරිස් ඩෙනා ගිල්වීම, ගෝලීය ආධිපත්‍යය නැවත තහවුරු කිරීමේ ඉවබව නොමැති උත්සාහයක නියැලී සිටින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝකය ව්‍යසනයකට ඇද දමමින් සිටින බවට තවත් අනතුරු ඇඟවීමකි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පාලක පන්ති මෙම නව යටත් විජිත න්‍යාය පත්‍රය සමඟ පෙල ගැසී ඇත. මෙම ම්ලේච්ඡත්වයට ඇද වැටීම නැවැත්වීමට හැකියාව ඇති එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරනු ලබන ව්‍යාපාරයේ කොටසක් ලෙස මාර්තු 17 වන දින කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. 

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමට අවශ්‍ය දේශපාලන ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ලබන මෙම රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්, තරුනයින් සහ ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading