[මෙය “There is a real danger of a nuclear war”: Sri Lankan workers and students oppose Iran war යන මැයෙන් 2026 මාර්තු 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගෙන යන අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ, කම්කරුවන් සහ ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා සිදු කලහ.
සසප සහ සසජාතශි මාර්තු 17දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී “ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නවත්වනු” මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.
ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයේ බරපතල නීති විරෝධී ස්වභාවය, මැද පෙරදිග වර්ධනය වන ව්‍යසනකාරී තත්වය සහ එය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ තර්ජනයක් ඇති යුද්ධය අවසන් කිරීමේ දී, කම්කරු පන්තිය සහ තරුනයින් අබිමුව පවතින කර්තව්‍යයන්, සසප/සසජාතශි උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. ඔවුහු, එම උද්ඝෝෂනයට මැදිහත්වූයේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් රචිත 'ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වනු!' ප්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් බෙදාහරිමිනි. කම්කරුවෝ සහ සිසුහු සාකච්ඡාවන්ට සම්බන්ධවීමට සැලකිය යුතු උනන්දුවක් දැක්වූහ.
කොලඹට දකුනින් පිහිටි රත්මලාන දුම්රිය අංගනය අසල සසප/සසජාතශි සාමාජිකයින්ට හමුවූ තරුන කම්කරුවෙකු වන සමීර සඳහන් කලේ, තමන් යුද්ධයට “සම්පූර්නයෙන්ම විරුද්ධ” බව යි.
'මේ යුද්ධයේ අරමුන, ඉරානයේ වගේම, අනෙකුත් මැද පෙරදිග රටවල තෙල් සම්පත් කොල්ලකෑම බව ඉතා පැහැදිලියි,' ඔහු පැවසීය. 'මෙම යුද්ධය දියත් කලේ, ඉරාන ජනතාවට ප්රජාතන්ත්රවාදය ගෙන ඒමට කියලා ට්‍රම්ප් කියනකොට ඒක අමුම අමු බොරුවක්.'
එක්සත් ජනපදයේ ම සංක්රමනිකයින්ට සහ කම්කරුවන්ට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය විසින් සිදු කරනු ලබන කුරිරු මර්දනය පිලිබඳව අදහස් දක්වමින් සමීර මෙසේ පැවසීය: “තමන්ගේම රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් පාගා දමන පාලකයෙක්, වෙනත් රටක ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්න යුද්ධයක් දියත් කරනවා ඇති කියලා මෙලෝ මනුස්සයෙක් විශ්වාස කරන එකක් නෑ.”
පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුලු පොදු යටිතල පහසුකම්වලට බෝම්බ හෙලීම සහ විශේෂයෙන් පාසල් සිසුන් ඝාතනය කිරීම ගැන ඔහු කතා කලේ කෝපයෙනි.
යුද්ධයේ පුලුල් ඇඟවුම් වෙත හැරෙමින්, ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එහි බලපෑම පෙන්වා දුන්නේය.
'අපි දැන් ශ්‍රී ලංකාව ගැන හිතුවොත්, මේ රට බොහෝ ඇඟලුම් අපනයනය කරන්නේ ඇමෙරිකාවට. එතකොට තේ වැඩිහරියක් අපනයනය කරන්නේ ඉරානයට. මේවා තමයි රටේ ප්‍රධාන අපනයන නිෂ්පාදන. යුද්ධය දිගටම ඇදිලා ගියොත් ඒක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෙලින්ම බලපානවා ඇති. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම තෙල් මිල ඉහල යාමට ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. ඔබ කියන විදිහට, යුද්ධය දිගටම ගියොත්, ඒකට රුසියාව සහ චීනය සම්බන්ධ වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මෙහෙම බැලුවම, න්‍යෂ්ටික ලෝක යුද්ධයක හැබෑම අනතුරක් පවතිනවා.'
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය හෙලා දැක නැති බව ද සමීර සඳහන් කලේය. “මධ්‍යස්ථ” බව කියා සිටිය ද, 'ප්‍රායෝගිකව ගත්තම ආන්ඩුව අනුගමනය කරන්නේ ඇමෙරිකාව එක්ක පෙලගැහිලා ඉන්න ප්‍රතිපත්තියක්,' යැයි ඔහු පැවසීය.
යුද්ධය නැවැත්වීමට කල හැක්කේ කුමක්දැයි සමීර විමසීය. ඊට ප්‍රතිචාර වශයෙන්, සසප/සසජාතශි සාමාජිකයින් පැහැදිලි කලේ, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම හරහා ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවයි. මෙම කරුනු තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මාර්තු 17දා පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන බව සමීර පැවසීය.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් වන බිම්සර මෙසේ පැවසීය: 'ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාරයට මම සම්පූර්නයෙන්ම විරුද්ධයි. ජනාධිපති ට්‍රම්ප්ට වෙනිසියුලාව වැනි රටවල් අත්පත් කර ගැනීමට හෝ ඉරානයේ නායකයින් ඝාතනය කිරීමට අවශ්‍ය නම්, ඔහු කිසිදු ජාත්‍යන්තර නීතියකට ගරු නොකර එය කරනු ඇති.'
ඉරානයට එරෙහි ප්‍රහාරය හුදෙක් එක් පුද්ගලයෙකුගේ කැමැත්තෙන් සිදු වූවක් නොවන බවත්, එය සේවය කරන්නේ මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා වෙනුවෙන් බවත්, ජීවන තත්වයන්ට සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට පහර දීමෙන් කම්කරු පන්තියට ඒ සඳහා ගෙවීමට බලකෙරෙනු ඇති බවත් උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.
ඉන්දියාව විසින් සංවිධානය කරන ලද නාවික ප්‍රදර්ශනයකට සහභාගී වී ආපසු යමින් සිටිය දී, ඉරාන නෞකාවක් වන අයිරිස් ඩෙනා ගිල්වා දැමූ ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරය, මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු විසින් දැඩි ලෙස හෙලා දකින ලදි. ප්‍රහාරයෙන් නාවිකයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
කෙසේ වෙතත්, නෞකාවේ සිටි නැවියන් 34 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව යෙදවීමෙන් සහ තවත් ඉරාන නෞකාවක නැවියන් 200 කට වැඩි පිරිසකට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට ඉඩ සැලසීමෙන්, ශ්‍රී ලංකා ආන්ඩුව ගත් ක්‍රියාමාර්ග සිසුන්ගේ පැසසුමට ලක් විය.
එහෙත් ඇත්තටම නම්, “දිසානායක ආන්ඩුව මෙහිලා කටයුතු කරන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ උපායමාර්ගික අරමුනු සඳහා ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් විසින් නියම කරන ලද ආකාරයටයි” යන්න පැහැදිලි කල, ඉරාන නාවිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ “මානුෂීය” මවාපෑම් එක්සත් ජනපද සංදේශයෙන් හෙලිදරව් කෙරේ” යන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපිය උපුටා දක්වමින් සසප/සසජාතශි සාමාජිකයෝ ඔවුන්ට කරුනු පැහැදිලි කලහ.
සාකච්ඡාව, කම්කරුවන් සහ පීඩිත ජනතාව මුහුන දෙන දුෂ්කරතා වෙත යොමු විය. 'මැද පෙරදිග යුද්ධය පුපුරා යාමෙන් පස්සෙ, සති දෙකකටත් අඩු කාලයක් ඇතුලත තෙල් මිල 2022 තිබිච්ච මට්ටම ඉක්මවා ඉහල ගිහින්; තවදුරටත් ඉහල යයි කියලයි හිතන්නෙ,' එක් සිසුවෙක් පැවසීය.
කොලඹ පාසලක අනධ්‍යයන සේවකයෙක් මෙසේ අදහස් දැක්වීය:
'ඉරානය ත්රස්තවාදයට සහාය දෙන නිසාය එයට පහර දෙන්නෙ කියන ට්‍රම්ප්ගෙ ප්‍රකාශය පචයක්; ඒක හරියට, ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන බවට කරන බොරුව වගේම තමයි. 2025 දී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන කිහිපයකට බෝම්බ දැම්මට පස්සේ ට්‍රම්ප් කීවේ, ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන විනාශ කලා කියලා. එහෙත් ඔහු ආයෙමත් 2026 පෙබරවාරි 28 ප්‍රහාරය සාධාරනීකරනය කලේ ඉරානයේ න්‍යෂ්ටික අවි එක්සත් ජනපදයට සහ මැද පෙරදිග රටවලට තර්ජනයක් කියමින්.'
මේ අතර, නුවරඑලිය, මස්කෙලියේ ඕල්ටන් වතුයායේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ (වකක්‍රික) සාමාජිකයින් මාර්තු 8දා යුද්ධය පිලිබඳ සාකච්ඡා කිරීමට රැස්වූහ. වකක්‍රික පිහිටුවන ලද්දේ, යහපත් ජීවන වැටුපක් සහ වැඩිදියුනු කල සේවා කොන්දේසි ඉල්ලා විරෝධතා දැක්වීමෙන් පසු, වතුකරයේ දුසිම් ගනනක් කම්කරුවන්ගේ රැකියා අත්හිටුවීම් සහ අත්අඩංගුවට ගැනීම්වලට මුහුන දෙමින් එම කම්කරුවන් ගෙනගිය කටුක අරගලයක් අතරතුර, 2021 දී ය.
'ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වනු!' යන ප්‍රකාශය රැස්වීම ඒකමතිකව අනුමත කල අතර, සහභාගිවන්නන්, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරුවන් සහ තරුනයින් බලමුලු ගැන්වීමේ හදිසි අවශ්‍යතාව අවධාරනය කලහ.
වකක්‍රික සභාපති සහ සසප දේශපාලන කමිටු සාමාජික කේ. කාන්දීපන්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ සසප, දශකයකට වැඩි කාලයකට පෙර සිටම දිග හැරෙන අධිරාජ්‍යවාදී ආක්රමනය පුරෝකථනය කල ආකාරය පැහැදිලි කලේය.
2011 දී ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පොතෙන් ඔහු උපුටා දැක්වීමක් සිදු කලේ ය: “පසුගිය දශක දෙක තුල චීනයේ සහ තරමක් දුරට ඉන්දියාවේ නැගීම, ලෝක දේශපාලනයේ ගුරුත්ව කේන්ද්‍රය ආසියාව දෙසට නාටකාකාර ලෙස මාරු කර ඇත. 1990 දී ලෝකයේ 10 වන විශාලතම ආර්ථිකයේ සිට, චීනය 2010 දී ජපානය අභිබවා ගොස් එක්සත් ජනපදයෙන් පසු දෙවන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත....
'... ශ්‍රී ලංකාව ඇතුලු ආසියාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම මෙම එදිරිවාදිකම්වලට හසු වී ඇති අතර එය නොවැලැක්විය හැකි ලෙස විනාශකාරී ගැටුමකට මඟ පාදයි. අත්ලාන්තික් සහ පැසිෆික් සාගර කෙරෙහි අවධානය යොමු කල පලමු ලෝක යුද්ධ දෙක මෙන් නොව, නව වහ්නි ජාලාවක් ඉන්දියානු සාගරයේ කේන්ද්‍රගත වීමට ඉඩ තිබේ.'
කම්කරු කාන්තාවක් වන දේවි මෙසේ පැවසුවාය: 'යුද්ධය නැවැත්විය යුතුයි. යුද්ධය අපට විශාල ගැටලු ඇති කරනවා. අප වැනි කම්කරුවන් වෙනත් රටවලත් ජීවත් වෙනවා. යුද්ධය නිසා වැඩිපුරම මිය යන්නේ කම්කරුවන්.”
තවත් කාන්තාවක් වන සෙල්වකුමාරි: 'ශ්‍රී ලංකාවේ කම්කරුවනුත් විදේශ රැකියාවන්ට ගිහින් තියෙනවා. යුද්ධයක් ඇති වුනොත් ඔවුන්ගේ ජීවන තත්වය තවත් නරක අතට හැරේවි.'
දේවසාකායම් මෙසේ පැවසීය: 'ඉදිරි කාලය තුල සමාජවාදී විප්ලවයක් සිදු නොවන්නේ නම්, මිනිස් සංහතියේ සංස්කෘතියට ව්‍යසනයකින් තර්ජනය කරන බවට මම එකඟයි. ධනවාදය කිසි විටෙක සාමය කරා යන්නෙ නෑ. එය ආයුධ නිෂ්පාදනය අත්හරින්නේ නෑ. ධනවාදයට යුද්ධය අවශ්‍යයි. ඒ හින්ද, ධනවාදය පෙරලා දැමීමෙන් තොරව යුද්ධය නවත්වන්න බෑ. එය පෙරලා දැමීමට නම්, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවලක් අවශ්‍ය බවට මමත් එකඟයි. ඔබ සඳහන් කල විදිහට අපි වතුකරයේ, නගරවල සහ රෝහල්වල සහ සේවා ස්ථාන හැම තැනකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුයි. අපි යුද විරෝධී ව්‍යාපාරයක් ද ගොඩනැගිය යුතුයි.'
රැස්වීම අවසානයේ දී, සියලුම සහභාගිවන්නන් මාර්තු 17දා රැස්වීමට එක්වන බවට ප්‍රතිඥා දුන් අතර, කිහිප දෙනෙක් තම සගයන් සමඟ බෙදා ගැනීම සඳහා ප්‍රකාශයේ දෙමල භාෂා පිටපත් ලබා ගත්හ.
කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් අතර සිදුකල උද්ඝෝෂනයේදී ද එහි කම්කරුවන් ගනනාවක්ම යුද්ධයට එරෙහිව සිය වෛරයත් පිලිකුලත් ප්‍රකාශයට පත් කලෝ ය. මොනරාගල සිට පැමිනි දැනට මාස තුනක් පමන ටාකට් නමැති පෞද්ගලික ආයතනයක් යටතේ කටුනායක ගුවන් තොටුපලේ වැඩ කරන තරුන කම්කරුවන් දෙදෙනෙකු වන නිපුන ශ්‍රීමාල් සහ හංසක මේ අතරින් දෙදෙනෙකි.
ගාසා තීරය තුල ඊස්රායලය ගෙනියන ජනසංහාරය මෙන්ම ආතති සහගත යුද තත්වය පිලිබඳව සමාජ මාධ්‍ය හරහා දැනුවත්වී සිටි ශ්‍රීමාල්, ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් මෙම තත්වය මේසා බිහිසුනුවී ඇති බව සඳහන් කලේ ය. “අපේ කට්ටියත් යාලුවෝ ඊශ්‍රාලයේ වැඩ කරනව. අපිට මැසේජ් දානවා කොයි වෙලාවෙ අනතුරක් වෙයිද කියල දන්නේ නැහැලු. අපේ නැන්ද කෙනෙක් ඉන්නවා කුවේට් වල. සයිරන් තමයි ඇහෙනවා කියන්නේ නිතරම” සඳහන් කරමින්, යුද්ධයේ බිහිසුනු අත්දැකීම් තමන්ට පෞද්ගලිකවම දැනෙන ආකාරය ගැන විස්තර කලේ ය..
ඇමෙරිකා-ඊස්රායල් ප්‍රහාර හමුවේ තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිප්‍රහාර දීමේ අයිතියක් ඉරානයට ඇති බව සඳහන් කල තරුන කම්කරුවා මෙසේද කීවේ ය: “මේ යුද්ධයේ මෙතනින් නතර වුනේ නැත්තං දරුනු වෙනවා. ලෝක යුද්ධයක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා”.
ඉරානය පහසුවෙන් යටත්වීමට සූදානම් නැති තත්වයක් තුල යුද්ධය හිතුවාට දිග් ගැස්සීමෙන් යන කොන්දේසි යටතේ, ඇමරිකාව න්‍යෂ්ටික ආයුධ පවා යොදා ගැනීමේ හැකියාව ගැන සඳහන් කල ඔහු, “ඇමරිකාව න්‍යෂ්ටිය ප්‍රහාරයට ආරම්භ කලොත් අනිත් රටවලුත් ඒ රටවලුත් සම්බන්ධ වෙයි. ඒ වගේ තත්වයකදී, ලංකාව වගේ රටවල් මැප් (සිතියමෙන්) එකෙන් වුනත් අයින් වෙයි” යනුවෙන් ලංකාවට ඇති යුද තර්ජනය පිලිබඳව ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේය.
මෙම යුද්ධයේදී දිසානායක ආන්ඩුව, ඇමෙරිකානු අධිරාජ්‍යවාදය පිටුපස ගාල්වීම ගැන සඳහන් කල ශ්‍රීමාල් කීවේ, මේ තත්වයේදී ට්‍රම්ප් ලංකා භූමිය යුද්ධයට යොදා ගැනීමේ භයානක අනතුරක් පවතින බවයි.
වැඩකරන ජනයා සහ තරුනයින් අතර පැතිර පවත්නා යුද්ධය නැවත්වීමේ අවශ්‍යතාව ඉහලින් ප්‍රකාශයට පත්කල ශ්‍රීමාල් කීවේ, “ජනතාව මේ යුද්ධය නතර කරන්න ඕනා. ඒත් දේශපාලකයෝ නවත්වන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට තමයි මේක නවත්වන්න වෙන්නෙ” යනුවෙන් ඔහු පැවසූ විට මෙම ජනතාව තුල සුවිශේෂ හා මූලික වශයෙන් කම්කරු පන්තිය මැදිහත් වීමේ අවශ්‍යථාව ගැන සසප උද්ඝෝෂකයා ඔහුට පැහැදිලි කලේ ය. මෙයට පිලිතුරු දුන් ඔහු “පහර වදින්නේ කම්කරු ජනතාවටයි, ලොකු ලොක්කො හැංගිලා ඉන්නවා පහල ඉන්න මිනිස්සු තමයි තැලෙන්නේ” යනුවෙන් සඳහන් කරමින් අවසානයේදී යුද්ධයේ බර පැවරෙන්නේ කම්කරු පීඩන ජනතාවට බව පිලිගත්තේ ය.
වසර 11 ක් පමන සපත්තු මේස් නිෂ්පාදනය කරන කටුනායක ඉසබෙලා ඇඟලුම් කම්හලේ වැඩ කරන, මහියංගනයේ සිට පැමින කුමාරිහාමි ද යුද්ධයට සිය දැඩි විරුද්ධත්වය පල කලාය. ලංකාවේ තමන් මෙන්ම ආසියානු කලාපයේ වැඩකරන කම්කරුවන්ට යුද්ධයේ ප්‍රතිවිපාක තදින්ම දැනෙනු ඇති බව සඳහන් කරමින්, “මේකෙන් මැදපෙරදිග රැකියා කරන ගොඩ දෙනෙක්ට රැකියාවලින් අයින් වෙන්න සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේ ම දැනට ප්‍රශ්නයක් නැතිවුනත්, ෆැක්ටරිවල ඕඩර් යවාගන්න අමාරු තත්ත්වයක් එන්න පුලුවන්”, ඇය කීවා ය.
කොලඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ නාට්‍ය කලාව හදාරන ශිෂ්‍යාවක් වන නවෝද්‍යා ද ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලට විරුද්ධත්වය පල කලේ, මෙම යුද්ධයේ ආක්රමනිකයා වන්නේ ඇමෙරිකාව බව අවධාරනය කරමිනි.
“යුද්ධයේ බලපෑම තව ටික කාලයක් තිබුනොතින් සියලුම රටවල්වලට ඒකේ බලපෑම ඇති වෙන්න පුලුවන්. මිනිසුන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා” ඇය සඳහන් කලාය.
මෙම යුද්ධය නැවත්වීමට සියලු දෙනා එකතු වීමේ අවශ්‍යතාව අවධාරනය කල නවෝද්‍යා, මෙය නැවත්වීමට මැදිහත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකිවී ඇති බව අවධාරනය කලා ය. ඊශ්‍රාලය විසින් සිදු කරන ලද ජනඝාතන මධ්‍යයේදීත්, “එක්සත් ජාතීන්ගේ සංවිධායනයට තවමත් හරියට ඒක (පලස්තීන ජනතාවට එරෙහි ප්‍රහාර) නවත්වා ගන්න බැරුව ගියා”.
ලෝක ධනේශ්රව ක්රමයේ ප්රතිවිරෝධී ස්වභාවය සමග යුද්ධය අභේද්‍ය බැඳී ඇති ආකරය මෙන්ම, විද්‍යාවේ ප්රගමනයක් ලෙස ඉස්මත්තට විත් තිබෙන කෘතීම බුද්ධිය හෙවත් ඒඅයි, මානව වර්ගයාගේ සුභ සිද්ධියට නොව, ධනවාදී ලාභ සඳහා උපයෝගි කරගැනීම මගින් ධනවාදයේ අයථා ස්වභාවය ප්‍රකාශයට පත්වෙන ආකාරය ගැන ද මෙහිදී පුලුල්ව සාකච්ඡාවට ගැනුනි. ආයුධ නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, නැව් ගත කිරීම, යනාදි ක්ෂේත්රවල නියැලී සිටින කම්කරුන් සහ සෙසු කම්කරුවන් යුද්ධයට එරෙහිව නැගී සිටීම මගින් යුද්ධය නැවැත්වීම සඳහා බලගතු මැදිහත්වීමක් කල හැකිය යන කාරනය සමඟ ඇය එකඟවූවා ය.
