කම්කරුවෝ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඉරානයට එරෙහි එකසත්-ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ බලපෑම සහ එය නතර කල හැක්කේ කෙසේදැයි සාකච්ඡා කරති

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) “ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නවත්වනු!” යන තේමාව යටතේ පවත්වන ප්‍රසිද්ධ රැස්වීම් මාලාවේ දෙවැන්න, අප්‍රේල් 7 වන දින පස්වරු 3:30 ට මහනුවර පේරාදෙනිය විශ්ව විද්‍යාලය අසල හිඳගල ඔරියන්ට් අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වීමට නියමිත ය. මෙම රැස්වීමට සහභාගී වන ලෙස කම්කරුවන්, තරුනයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සසප සහ සසජාතශි ඉල්ලා සිටී.

රැස්වීම ගොඩනැගීම සඳහා මේ දිනවල, සසප සහ සසජාතශි සාමාජිකයෝ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන්, අනධ්‍යයන කාර්ය මන්ඩලය සහ ගුරුවරුන් මෙන් ම පේරාදෙනිය රෝහලේ සෞඛ්‍ය සේවකයින් සහ විශ්ව විද්‍යාලයට තදාසන්න ප්‍රදේශවල අනෙකුත් කම්කරුවන් සහ තරුනයින් අතර උද්ඝෝෂනයක නිරත ව සිටිති.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර උද්ඝෝෂනයේ යෙදෙන සසජාතශි සාමාජිකයෙක්

පසුගිය දින කිහිපය තුල පැවැති උද්ඝෝෂනයේ දී, “ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල සාපරාධී යුද්ධය නවත්වනු!” යන මැයෙන් යුත් පොත් පිංචේ පිටපත් 70 කට වඩා අලෙවි කල අතර රැස්වීම් නිවේදනයේ පිටපත් 2000 කට වඩා බෙදා හැර තිබේ.

දිනෙන් දින උත්සන්න කරන යුද්ධය සම්බන්ධයෙන් කම්කරුවන්, තරුනයින් සහ විශ්ව විද්‍යාල ගුරුවරුන් අතර යුද්ධයට එරෙහි ව වැඩෙන විරෝධයක් පවතින අතර මෙය ලෝක පරිමාන ව වැඩෙන යුද විරෝධී මනෝගතියේ ප්‍රකාශයකි.

එක්සත් ජනපද අතවැසියෙකු වන ජනාධිපති අනුර කුමාර දිසානායක යුද්ධය සම්බන්ධයෙන් තොරොම්බල් කරන ඊනියා මධ්‍යස්ථභාවයේ ව්‍යාජය මහජනයා සීග්‍රයෙන් අවබෝධ කර ගනිමින් සිටින අතර, යුද්ධයේ බර සෘජු ව ම මහජනයා මත පටවමින් ආන්ඩුව ඉන්ධන සහ ගෑස් මිල මෙන් ම විදුලි ගාස්තු ද වැඩි කිරීම ගැන මහජනයා අතර දැඩි කෝපයක් අවුලුවා ඇත.

පේ‍රාදෙනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ඉෂාන් හෙට්ටිආරච්චි:

ජාත්‍යන්තර නීති මුලුමනින් ම උල්ලංඝනය කරමින් ට්‍රම්ප් සහ ඊස්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට එරෙහි ව ගෙනියන යුද්ධය තමන් දැඩි ව හෙලාදකින බව සඳහන් කලේ ය.

“ට්‍රම්ප්ගේ තීරුබදු සහ යුද්ධය ආර්ථිකයට දැඩි ලෙස බලපානවා. ඒ නිසා ඇමරිකානු ජනතාවත් යුද්ධයට එරෙහි ව විරෝධතා දක්වනවා. ඒ වගේ ම ලෝකයේ හැමෝම මේ යුද්ධයට විරුද්ධ විය යුතුයි.”

එක්සත් ජනපද-ඊස්‍රායල් ප්‍රහාරවලින්, ලමුන් ඇතුලු දහස් ගනනක් දැනටමත් මිය ගොස් තිබුනත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන සංවිධාන ඒ ගැන මුලුමනින්ම නිහඬ ව සිටින බව ඔහු සඳහන් කලේ ය.

“ඉරානයට ගොඩබිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න ඇමරිකාව සුදානම් වෙනවා කියල ඔබ කිව්වා. ඒ වගේ ප්‍රහාරයකින් ලක්ෂ ගනනකගේ ජිවිත බිලි ගන්නවා ඇති. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සහ භාන්ඩ ප්‍රවාහනය අවහිර කිරීම මුලු ලෝකයට ම බලපාලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තේ අපනයනය, සංචාරක ව්‍යාපාරය වගේ ම කර්මාන්ත කඩාගෙන වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ම විශාල වසයෙන් ආහාර මිල ඉහල යාමටකට වගේ ම, ආහාර හිඟයකට මුහුන දෙන්න සිදු වේවි.”

යුද්ධය සම්බන්ධයෙන් ධනේශ්වර මාධ්‍ය විසින් නිරන්තර වගා දිගා කරන ව්‍යාකූල අදහස් පොදුවේ මහජනයා අතර ඇතිකරන බලපෑම පෙන්නුම් කරමින්, “යුද්ධය අවශ්‍ය වුනේ ඊශ්‍රාලයට”, “ට්‍රම්ප් ඊශ්‍රායලයේ උගුලට අසුවුනා”, “ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනවයි කියන සැකය නිසා යුද්ධය ඇති වුනේ” වැනි දේවල් සාකච්ඡාව තුල දී ඔහු විසින් මතු කලේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) විශ්ලේෂන ගෙනහැර දක්වමින් සසප/සසජාතශි සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලේ, යුද්ධයේ මූලයන් ඉරානයේ තෙල් හා ගෑස් සම්පත් කොල්ලකෑමේ එක්සත් ජනපද මුලෝපායික උත්සුකතාවයන්ට සම්බන්ධ බවත්, අවසන් වසයෙන් එය චීනයට සහ රුසියාවට එරෙහි යුද්ධයට සූදානම් වීමේ කොටසක් බවත් ය. ඇත්ත ම කාරනය වන්නේ, ඊශ්‍රායල උගුලට හසුවීමක් නොව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම කොල්ලකාරී අවශ්‍යතා සඳහා, ඊශ්‍රායලය මැදපෙරදිග කලාපයේ දඩ බල්ලෙකු ලෙස භාවිතා කරමින් තිබීමය යන්න උද්ඝෝෂකයෝ ඔහුව පෙන්වා දුන්හ.

ඔහු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර පාසලක සීමාවාසික ගුරුවරයෙකු ලෙස උගන්වයි. තෙල් අර්බුදය ඔහුගේ ගමනාගමනයට බරපතල ලෙස බලපාන බව ද ඒ නිසා මාර්ගගත ක්‍රමයට උගන්වන නමුත් එය එතරම් සාර්ථක නොවන නොවන බවත් පැවසීය.

ගෑස් හිඟය නිසා විශ්වවිද්‍යාල කැන්ටිම් වල ආහාර පිලියෙල නොකරන බවත්, ශිෂ්‍යයන්ට ආහාර වැඩි මිලට පිටින් මිල දී ගැනීමට සිදු වී ඇති බවත් ඔහු කීවේ ය.

“කැන්ටිමක කෑම එකක් රුපියල් 80යි. පිටින් ගන්න කොට රුපියල් 250-300 ක් වෙනවා. ඒ කියන්නේ තුන් ගුනයකටත් වඩා වැඩි මිලක්. හම්බන්තොට වගේ දුෂ්කර ප්‍රදේශවලින් ඇවිල්ල ඒ විදිහට වියදම් කරන්න මුදල් නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් දවසකට එක් වේලයි කන්නේ. මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 10,000යි දෙන්නේ. ඒක සෑහෙන්නේ යන්තම් දින 10 කට. ආහාර සහ ලිපි ද්‍රව්‍ය මිල ඉහල යාම අධ්‍යාපනයට තදින් බලපාලා තියෙනවා. ඒ වගේ ම පැවරුම් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලත් වැඩි වෙලා.”

ධනවාදයට එරෙහි ව සටන් නොකර යුද්ධය නැවැත්විය නොහැකි බවත්, ධනවාදයට විකල්පය සමාජවාදය බව තමන් පිලිගන්නා බවත් සඳහන් කල විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, අප්‍රේල් 7දා රැස්වීමට සහභාගී වන බවට ද පොරොන්දු විය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවිකාවක්: එක්සත් ජනපද-ඊස්‍රායල් යුද්ධය දැඩි ව හෙලා දකිමින් කතා කල ඇය, සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය තුලින් ඉරානය තුල සිදු ව ඇති විනාශය ගැන අකම්පාල වෙමින් මෙසේ කීවා ය. “මම අම්ම කෙනෙක් විදියට මේ යුද්ධයේ දී දරුවෝ මැරිලා හිටිය හැටි දැක්කා. ඒකෙන් මට දරාගන්න බැරි වේදනාවක් ආවා. මට මේ ගැන කතා කරන්න කෙනෙක් නෑ. හස්බන්ඩ් එක්ක කියන්නද? දරුවන් එක්ක කියන්න? කියන්න කෙනෙක් නෑ. ඇත්තටම මට මගේ විරෝධය පෙන්නන්න විදියක් නෑ.” ඇය සඳහන් කලා ය.

යුද්ධයේ ප්‍රතිවිපාක තමන් මතට ම දැන් පැමින ඇති ආකාරය ඇය පැහැදිලි කලා ය. “යුද්ධය හැමෝට ම බලපාල තෙල් මිල ගිහින් තියෙන්නේ හැමදේම මිල ඉහල යනවා. දැන් ලයිට් බිල වැඩි කලා; වතුර බිලත් වැඩි වෙයි ද දන්නෙ නැහැ. අපේ ගමන් බිමන් යන්න විදිහක් නෑ. online විදියට උගන්වන එක හරියන් නෑ. අපේ ඩිපාට්මන්ට් එකේ කොම්පියුටර් උගන්වන්නේ. ඒවා online උගන්වන්න බෑ. සමහර ලමයින්ට ස්මාට් ෆෝන් එකක්වත් නෑ. එතකොට නිශ්චිත කාලයක් තුල ශිෂ්‍යයන්ට ඔය කියන දේවල් උගන්නන්න බැරි වෙනවා. අනෙක් අතට දැන් වැඩ කරන ස්ටාෆ් එකටත් සෙනසුරාදා ඉරිදා බදාදා ඕටී නැති වෙනවා. පඩිය අඩු වෙනවා බඩු මිලත් එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා.”

යුද්ධයට එරෙහි සසප/සසජාතශි උද්ඝෝෂනය අගය කරමින් ඇය කීවේ, තමන් යුද්ධයට එරෙහි වීම සඳහා සංවිධානයක් හොයමින් සිටි බවත්, සසප/සසජාතශි හරහා තමන් ඒ සංවිධානය සොයාගත් බවත් ය.

යුද්ධය නැවතිය හැකි ප්‍රමුඛ සහ එක ම සමාජ බලවේගය වන්නේ ලංකාවේ ද ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය ය යන සසප පැහැදිලි කිරීමට එකඟතාව පලකල ඇය මෙසේ සඳහන් කලා ය. “මම හිතන්නේ කම්කරු පන්තිය යුද්ධය නවත්තනවා කියන එක කරන්න පුලුවන්. ඒ වගේ ම හැමෝම මේ ගැන දැනුවත් කරන්න අවශ්‍යයි. මේක ගැන තේරුම් ගන්න යම් පිරිසක් නිශ්චිත ව ම ඉන්නවා.” යුද්ධයට එරෙහි දැවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම පිලිබඳ විස්වාසය පලකරමින් ඇය කීවේ, “කම්කරු පන්තියට සංවිධානය උනොත් ඕන දෙයක් කරන්න පුලුවන්. ඔවුන් භේද භින්න කරන්න හදන දේශපාලනඥයින්ට විරුද්ධ ව, කම්කරු පන්තිය අතරේ එකමුතුකම වැදගත්” බවයි.

එවැනි ඒකාබද්ධ ව්‍යාපාරයකට එරෙහි ව ධනපති පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිති ක්‍රියා කරමින් සිටින ආකාරය සම්බන්ධයෙන් සසප සාමාජිකයා කල පැහැදිලි කිරීමට ඇය උද්‍යෝගයෙන් සවන් දුන්නා ය. මෙහිදී ඇමෙරිකාවේ හා ප්‍රංශය වැනි රටවල කම්කරුවන් අරගලවලට එලැඹ ඇති ආකාරය තමා දැනුවත් බවත් එම අරගලවලට ඔවුන් එලැඹ ඇත්තේ කවර සංවිධාන හරහා ද යන කාරනය සම්බන්ධයෙන් ඇයට දැන ගැනගැනීමට අවශ්‍ය විය. වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකාරකම් හෙලිදරව්වීමත් සමග ඒවා කෙරෙහි අවිස්වාසය වේගයෙන් කම්කරුවන් අතර වැඩෙමින් හා ඒවාට පිටතින් මෙම අරගල පැන නගිමින් පවතින ආකාරය සසප සාමාජිකයා ඇයට පැහැදිලි කලේ ය. මෙම සංවිධානවලට එරෙහි ව කම්කරුවන් තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගෙන අරගලය තමන් අතට ගැනීම සම්බන්ධ ව සිදුකෙරුනු පැහැදිලි කිරීමට ඇය එකඟ වූවා ය.

යුද්ධය සම්බන්ධ ධනපති මාධ්‍ය තුල වගා දිගා කෙරෙන ව්‍යාකූල කිරීම් ප්‍රකාශයට පත් කරමින් “ට්‍රම්ප් වෙනුවට වෙනත් ජනාධිපතිවරයෙක් සිටියේ නම් මේ යුද්ධය නවතී ද?” යන ප්‍රශ්න ඇය මතු කලා ය. ට්‍රම්ප් යනු අර්බුදයේ කිඳුනු ඇමෙරිකානු කතිපයාධිකාරීයේ මුහුනත පමනක් බවත්, යුද්ධය එම අර්බුදයෙන් ගොඩ ඒමේ මංමුලා සහගත වෑයමින් ඉරානයේ තෙල් ඇතුලු ඛනිජ සම්පත් තමන් සන්තකයට ගෙන ඒම සඳහා ගෙනියන අධිරාජ්‍යවාදී යුද්ධයක් බවත් සසප සාමාජිකයා ඇයට පැහැදිලි කලේ ය. මෙම පැහැදිලි කිරීමට ඇයගේ එකඟතාව පල විය.

සාකච්ඡාව ඉදිරියට යත් ම, යුද්ධයට එරෙහි ව අරගලයේ දී කම්කරු පන්තිය මෙහෙයවිය හැකි එක ම විප්ලවවාදී ව්‍යාපාරය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික ශාඛාවන් ලෙස සමාජවාදී සමානතා පක්ෂ ඉස්මතු වී ඇති ආකාරය පිලිබඳ පැහැදිලි කෙරුනි. සියලු ම ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් බෙදී වෙන් වී ගෙන තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු නිර්මානය කර ගනිමින් නිවැරැදි ඉදිරි දර්ශනයක් හා වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ විට ජාත්‍යන්තර කම්කරු පන්තියට මුදාහැරිය හැකි දැවැන්ත ශක්තිය සම්බන්ධයෙන් ‌ඓතිහාසික අත්දැකීම් ඇසුරින් පැහැදිලි කෙරුනි. “කම්කරු පන්තියේ එකමුතු උනොත් ධනපතියන්ට යුද්ධ කරන්න නෙමෙයි කිසි දෙයක් කරන්න බැරි වෙනවා. ඒ ගැන කතා දෙකක් නෑ, ධනපතියන්ට වෙන දේවල් තේරෙනවා” ඇය එම පැහැදිලි කිරීම අනුමත කලා ය.

සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල කම්කරුවන් අතර තහවුරු වී තිබුනේ නම්, 2022 මහජන අරගලය පරාජය නොවනු ඇති බව කී ඇය, දැන් යලිත් එවැනි අරගලයක් මතුවෙමින් තිබෙන තත්වයක දී මෙම වැඩපිලිවෙලේ අවශ්‍යතාව මතු වී ඇති බව සඳහන් කලා ය.

වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපය විවේචනයට ලක් කල ඇය සඳහන් කලේ, “ ඒවා කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්නේ නෑ. අපේ අනධ්‍යයන අරගලේදිත් අපෙන් ඇහුවේ නෑ. අපෙන් ඇහුව නම් අපි ඉල්ලීම් දිනාගෙන මිසක් වැඩ වර්ජනය නවත්තන්න එපා කියනවා.”

යුද්ධයට එරෙහි අරගලයේ දී, ශිෂ්‍යයන් හා තරුනයින් යුද්ධය පිලිබඳ ලෝසවෙඅ විශ්ලේෂන හැදෑරීම වැදගත් බව අවධාරනය කල ඇය, 7වැනි දා රැස්වීමට සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වීම වැදගත් බව අවධාරනය කලා ය. “කොහොම වුනත් මම හිතන්නේ ඒ රැස්වීමට ගොඩාක් එනවද නැද්ද කියන එක නෙවෙයි වැදගත්. ඒ කීය වුනත් ඒ අයට මේ නිවැරදි අවබෝධය ලබා දුන්නොත් මේ වැඩපිලිවෙල ව්‍යාප්ත කරන්න පුලුවන් කියලා” සදහන් කරමින්, තවදුර සාකච්ඡා සඳහා දුරකථන අංකය ද ලබා දුන්නා ය. යුද්ධය සම්බන්ධ පොත් පිංච ද මිල දී ගත් ඇය, රැස්වීමට සහභාගී වන බවට පොරොන්දු වූවා ය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ශිෂ්‍යාවක වන හසන්ගි යුද්ධයට විරුද්ධත්වය පලකරමින් කීවේ, යුද්ධය විසින් අනාගතය ද ඇතුලු සියල්ල අවිනිශ්චිත තත්වයට පත් කර ඇති බවයි.

“මට යුද්ධය ගැන හරි වැටහීමක් නැහැ. නමුත් ඉරානයට විරුද්ධ ව ඇමරිකාව-ඊශ්‍රායලය එකතු වෙලා කරන යුද්ධයට මම විරුද්ධයි. නමුත් ඒක නතර කරන්නේ කොහොම ද කියා මට වැටහීමක් නැහැ. ඔබ කියන විදිහට යුද්ධය නතර කිරීම සඳහා ලංකාවේ සහ ලෝකයේ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් ගේ ලෝක ව්‍යාපාරයක් හදන්න ඕන. මම හිතන්නේ ඒක වැදගත්, ඒ වගේ ම සාර්ථක වැඩපිලිවෙලක්. ඔබේ පක්ෂය හැර වෙන කිසි ම පක්ෂයක් ඒ විදිහේ පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. තදුරටත් ඒ ගැන දැන ගන්න මම රැස්වීමට සහභාගී වෙනවා.”

යුද්ධය කම්කරුවන්ගේ ආර්ථික ජීවිතය බරපතල ලෙස කඩාකප්පල් කර ඇති බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යාබද ව පිහිටි හිඳගල ප්‍රදේශයේ කෘෂිකාර්මික සේවකයෙකු පැවසුවේ ය.

“දැරිය නොහැකි මට්ටමට ජීවන වියදම ඉහල ගිහිල්ල. අපට ලැබෙන සොච්චම් වැටුපෙන් දෛනික අවශ්‍යතාවයන්වත් පිරිමහ ගන්න බැහැ. විදුලි ගාස්තු බරපතල ආකාරයට බලපානවා. අත්‍යවශ්‍ය භාන්ඩ හැම එහෙකම මිල අධිකයි,” ඔහු කීවේ ය.

“යුද්ධය ලෝකය මහා විනාශයක අද්දරට ගෙනැවිත්. මැදපෙරදිග ගෑස් සහ තෙල් නිධි විනාශ කෙරෙනවා. ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිදු වරදක් නොකල දරුවන් ඇතුලු අහිංසක ඉරාන ජාතිකයන් දහස් ගනනක් මිය ගිහිල්ල ඇමරිකාව සැම විට ම ලෝකයේ කොහේ හෝ යුද්ධ කරනව. මෙම අධිරාජ්‍යවාදී ආක්‍රමනයට අප විරුද්ධ විය යුතුයි”, පැවසී ය.

හිඳගල පදිංචි ගෘහනියක් වන පුෂ්පා තෙන්නකෝන් ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හෙලා දුටුවා ය.

“මෙම යුද්ධය තවත් මාසයක් හෝ දෙකක් ඇදී ගියහොත්, මිනිසුන් බඩගින්නේ මැරිල යයි. කර්මාන්ත වැහිල ගිහින් දහස් ගනනක් කම්කරුවන්ට රැකියා අහිමි වෙලා යයි. දැනට, අපි යුද්ධය ගැන දන්නේ මාධ්‍ය හරහා පමනි. නමුත් ඔබ මට ඒ පිලිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දී දුන්නා. ඔබ පැවසූ පරිදි, ලොව පුරා වැඩ කරන ජනතාව මෙම යුද්ධයට එරෙහිව එක්සත් විය යුතුයි,” ඇය රැස්වීමට සහභාගී වීමට පොරොන්දු විය.

පේරාදෙනිය සිරිමාවෝ බන්ඩාරනායක රෝහලේ සෞඛ්‍ය සේවකයෙක් ඉරානයට එරෙහි යුද්ධය අතිශයින් ම භයානක බවත්, එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජු ව ම බලපාන බවත් පැවසීය. “යුද්ධය මුලු මැදපෙරදිග ම ගිල ගෙන, ලෝක යුද්ධයක් ඇතිවුනොත් සිතාගත නොහැකි විදිහෙ න්‍යෂ්ටික යුද්ධයක් බවට පරිවර්තනය වෙන්න පුලුවන්” යැයි සඳහන් කලේ ය.

අනියම් දුම්රිය සේවකයෙකු වන සමන්කුමාර යුද්ධයට දැඩි ලෙස විරුද්ධත්වය පල කරමින්, සඳහන් කලේ, “යුද්ධයෙන් වැඩි ම බලපෑමක් ඇතිවෙන්නේ අප වගේ එදිනෙදා කුලියක් කරලා ජිවත් වෙන සාමාන්‍ය කම්කරුවන්ට සහ දුප්පත් මිනිසුන්ට. බෝම්බ ප්‍රහාරවලින් ඉරානයේ සහ මැදපෙරදිග තෙල් හා ගෑස් නිස්පාදන මධ්‍යස්තාන විනාශ වෙලා. අපි හැම කෙනෙක් ම ලෝක යුද්ධයක ගොදුරු බවට පත්වීමේ අනතුර තියෙනවා.”

ආන්ඩුවේ මිල වැඩි කිරීම් ගැන කෝපයෙන් කතා කල ඔහු කීවේ, එතැනින් නතර නොවී, ආන්ඩුව මිනිස්සුන්ට කෑම්බීම් ගන්නා එකත් සීමා කරන්න කියන බවයි.

යුද්ධයට හේතුව ඇමෙරිකානු ධනවාදය මුහුන දී ඇති අර්බුදය බව පිලිගත් ඔහු එයට එරෙහි ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක අවශ්‍යතාව පිලිගත්තේ, රැස්වීමට මම අනිවාර්යයෙන් සහභාගී වන බවට ප්‍රකාශ කරමිනි.

Loading