ඉදිරිදර්ශන

ට්‍රම්ප් විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම: ඉරාන යුද්ධයේ මීලඟ අදියර

[මෙය Trump’s blockade of the Strait of Hormuz: The next phase in the Iran war යන මැයෙන් 2026 අප්‍රේල් 13 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2026 මාර්තු 18 වන දින, එපික් ෆියුරි මෙහෙයුම අතරතුර අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබෙන මාර්ගෝපදේශ මත මිසයිල විනාශ කරන්නකු වන, ආර්ලී බර්ක් පන්තියේ USS ෆ්‍රෑන්ක් ඊ. පීටර්සන් ජූනියර් යුද නෞකාව. [ඡායාරූපය: එක්සත් ජනපද නාවික හමුදාව] [Photo: US Navy]

ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයේ ප්‍රධාන උත්සන්නියක් සනිටුහන් කරමින්, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් දින හයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය එක්සත් ජනපදය විසින් අවලංගු කර දැමූ අතර, ඉරාන වරායන්ට ඇතුලු වන හෝ පිටවන සියලු ම නැව් අවහිර කිරීම ආරම්භ කර ඇති බව එක්සත් ජනපද හමුදාව සඳුදා (13) නිවේදනය කලේ ය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (12) සෝෂල් ටෲත් (Truth Social) මාධ්‍ය ජාලයට ප්‍රකාශ කලේ, නාවික හමුදාව “හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුලු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන සියලු ම නෞකා අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන” බවයි. මඟ පෙන්වන මිසයිල විදින නෞකා දෙකක් සෙනසුරාදා (11) සමුද්‍ර සන්ධියට ඇතුලු වූ අතර, අවහිර කිරීම බලාත්මක කිරීම සඳහා එක්සත් ජනපද යුද නැව් 15 ක් දැන් යොදවා ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කලේ ය.

මෙම අවහිර කිරීම යුද ක්‍රියාවක් මෙන්ම ජාත්‍යන්තර මුහුදු කොල්ලයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඉරානයට සහ සමස්ත ලෝකයේ කම්කරු පන්තියට එරෙහිව එල්ල කරන ලද මෙම සාපරාධී ක්‍රියාව හෙලා දකී. ඉහල යන බලශක්ති පිරිවැය, ආහාර හිඟය සහ පුලුල් මිලිටරි ගිනි ජාලාවක නිරන්තර අනතුර වෙනුවෙන් ගෙවීමට සිදුවනු ඇත්තේ කම්කරු පන්තියට ය.

ට්‍රම්ප්ගේ ම වාක්‍ය ඛන්ඩයට අනුව, සටන් විරාමය යනු යුද්ධයේ ඊලඟ අදියර සඳහා “ පතුරම් පුරවා” ගැනීමට අවස්ථාවක් බව ඔප්පු වී හමාර ය. ට්‍රම්ප් මැද පෙරදිග තුල ප්‍රකාශයට පත් කර ඇති සෑම සටන් විරාමයක් ම (2025 ජනවාරි මාසයේ ගාසා තීරයේ සිට 2025 ජුනි මාසයේ ඉරානය දක්වා සහ සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසු 250 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල කල අප්‍රේල් 7 වන දින ඉරාන සටන් විරාමය දක්වා ම) ඊලඟ ප්‍රහාරයට නැවත එක්රැස් වීම සඳහා විරාමයකි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය—සහ ඒ සමඟ ඉරානයේ සහ සමස්තයක් ලෙස පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය සහ බෙදා හැරීම—ආරම්භයේ සිටම යුද්ධයේ කේන්ද්‍රීය මූලෝපායික ඉලක්කයක් වී ඇත.

යුද්ධය ආරම්භ වූ දා සිට, සමුද්‍ර සන්ධිය හරහා නාවික කටයුතු බිඳ වැටී ඇත. යුද්ධයට පෙර මට්ටමට වඩා ප්‍රවාහන පරිමාවන් සියයට 90 කට වඩා ප්‍රමානයකින් පහත වැටී තිබේ. ඉතිරි ව පවතින ගමනාගමනය සම්බන්ධයෙන් ආධිපත්‍යය දරන්නේ, ඉරානයේ රහසිගත නෞකා බලඇනිය (shadow fleet හෙවත් රහසිගත නෞකා බලඇනියක් යනු රුසියාව, ඉරානය සහ වෙනිසියුලාව වැනි රටවලින් අනුමත තෙල් ප්‍රවාහනය කිරීම සඳහා ලුහුබැඳීම අක්‍රීය කිරීම, ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ නැව්-නැව් අතර මාරු කිරීම් සිදු කිරීම වැනි රැවටිලිකාරී උපක්‍රම භාවිතා කරන, නිල නොවන, බොහෝ විට පැරනි, තෙල් ප්‍රවාහන නෞකා ජාලයකි) සහ ඉරානයේ විශාලතම පාරිභෝගිකයා වන චීනයට බොරතෙල් ප්‍රවාහනය කරන ග්‍රීක අනුබද්ධ තෙල් ප්‍රවාහන නෞකා විසිනි, එය එහි තෙල් අපනයනයෙන් සියයට 80 සිට 90 දක්වා ප්‍රමානයක් ගනී. ඉරානය එය සමග පෙලගැසුනු වෙලඳ හවුල්කරුවන්ට, සියල්ලටත් වඩා චීනය සම්බන්ධ නැව්වලට ගමන් කිරීමට ඉඩ දෙයි.

ඇමරිකානු අවසරයකින් තොර ව, දැන් ඉරාන වරායකට ලඟා වීම සඳහා සමුද්‍ර සන්ධියට ඇතුලු වීමට උත්සාහ කරන ඕනෑ ම නෞකාවකට එසේ කරන අතර, එය ඉරානය සමඟ නාවික වෙලඳ කටයුතුවල යෙදෙන ඕනෑ ම රටකට එරෙහි ව භෞතික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව විවෘත කරයි. චීන ආරක්ෂක අමාත්‍ය ඩොං ජුන් සඳුදා ප්‍රකාශ කලේ: “අපගේ නැව් හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු ප්‍රදේශය තුලට සහ ඉන් පිටතට ගමන් කරමින් තිබේ. අපට ඉරානය සමඟ වෙලඳ හා බලශක්ති ගිවිසුම් තිබේ. අප ඒවාට ගෞරව බහුමාන පුද කරන අතර අනෙක් අය අපගේ කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි අපේක්ෂා කරමු.”

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම, ප්‍රායෝගික ව, ඉරානයට එරෙහි ව මෙන් ම චීනයට එරෙහි ව ද ආර්ථික යුදමය ක්‍රියාවකි. චීනයේ තෙල්වලින් අඩක් පමන සහ එහි ස්වාභාවික ද්‍රව වායුවලින් තුනෙන් එකකට වඩා හුවමාරු වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ය. මෙම අවහිර කිරීමෙන් ඇමරිකාව තම හස්තය තම ප්‍රධාන ප්‍රතිවාදියා මෙන් ම තම “සගයන්” වන ජපානය, දකුනු කොරියාව සහ යුරෝපීය සංගමයේ රාජ්‍යයන් මත ද තබයි; එම රාජ්‍යයන් රඳා පවතින්නේ ද එම හුවමාරු මාර්ග මත ම ය.

සඳුදා පැවති මාධ්‍ය හමුවක දී ට්‍රම්ප් එක්සත් ජනපද හමුදා මූලෝපායඥයින්ගේ චින්තනය ගැන මෙසේ ඉඟි කලේ ය: “අපට මෙම වෙලඳාම අවශ්‍ය නැත. අවශ්‍ය ප්‍රමානයටත් වඩා අපේ ම තෙල්, ගෑස් අපට තිබේ. ... එබැවින් අපට මෙය අවශ්‍ය නැත, නමුත් ලෝකයට එය අවශ්‍ය වන අතර, අප කියූ පරිදි, පුරවා ගැනීම සඳහා බොහෝ නැව් දැන් අපේ රටට පැමිනෙමින් තිබේ.”

මෙම අවහිර කිරීම ලෝකයේ උපායමාර්ගික මුරපොලවල්—හෝමූස් සමුද්‍ර සන්ධිය, පැනමා ඇල, ග්‍රීන්ලන්තයට ප්‍රවේශයන්—අල්ලා ගැනීමේ පුලුල් එක්සත් ජනපද ව්‍යාපාරයක කොටසකි. දිගුකාලීන ආර්ථික පරිහානියක සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදය, ගෝලීය වෙලඳ මාර්ගවල මිලිටරි ආධිපත්‍යය හරහා තම පරිහානිය පියවා ගැනීමට උත්සාහ කරමින්, ලෝකයේ මුහුදු මාර්ග සහ අමුද්‍රව්‍ය තමන්ට ම සුරක්ෂිත කර ගනිමින් සහ ඒවා තම ප්‍රතිවාදීන්ට, විශේෂයෙන් චීනයට අහිමි කරමින් සිටී.

2025 දෙසැම්බර් මාසයේ දී, වෙනිසියුලානු වෙරලට ඔබ්බෙන්, වෙනිසියුලානු බොරතෙල් බැරල් මිලියන 1.8 ක් රැගෙන චීනය බලා යන තෙල් නෞකාවක් එක්සත් ජනපද හමුදා විසින් අල්ලා ගන්නා ලදී. හෝමූස් අවහිර කිරීම, එම පූර්වාදර්ශය පර්සියානු ගල්ෆ් දක්වා විහිදුවන අතර එය එක්සත් ජනපද යුද නැව්, චීනය බලා යන යුද නැව් හරවා යැවීමට උත්සාහ කලහොත් චීනය සමඟ මිලිටරි ගැටුමකට එලඹීමේ සෘජු අනතුර මතු කරයි.

ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධී යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාකවල විනාශකාරී ස්වභාවය දැනටමත් පැහැදිලි ය. අවහිර කිරීමට පෙර පවා, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සැලකිය යුතු ලෙස කපා හලේ ය; එය, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් ඉතිහාසයේ නරක ම තෙල් අර්බුදය ලෙස හැඳින්වූ 1979 අර්බුදය ඉක්මවා ගියේ ය. තෙල් බැරලයකට ඩොලර් 100 ට වඩා වැඩි ය, ඇමරිකාව තුල පෙට්‍රල් ගැලුමකට ඩොලර් 4.13 ක් වන අතර නැව් 600 කට වැඩි ප්‍රමානයක් ගල්ෆ් කලාපයේ සිර වී තිබේ. ගෝල්ඩ්මන් සැක්ස් විසින් එක්සත් ජනපද අවපාතයක සම්භාවිතාව සියයට 30 දක්වා ඉහල නංවා තිබේ.

ලෝක ආධිපත්‍යය සඳහා වන වොෂින්ටනයේ සැලැස්ම තුල, යුද්ධයේ සැබෑ හැසිරීම වඩ වඩාත් මංමුලා සහගත ක්ෂන-නිර්මිත භාවයක් මගින් සංලක්ෂිත වී ඇත. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය යුද්ධය දියත් කර, උත්තරීතර නායක අලි කමේනි සහ ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් දුසිම් ගනනක් ඝාතනය කලේ ය. ට්‍රම්ප් ඉරාන වැසියන්ට ඔවුන්ගේ ආන්ඩුවට එරෙහි ව නැගී සිටින ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් එසේ කලේ නැත. ඉන්පසු ඇති වූ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය ඉරානයේ විදුලි සංදේශ පද්ධතිය විනාශ කර, එහි නගරවල දිස්ත්‍රික්ක සමතලා කල නමුත් ඉරානය යටත් වූයේ නැත. මාර්තු මාසය පුරා ම තව දුරටත් ඉරාන නායකයින් ඝාතනය කිරීමෙන් පවා ආන්ඩුව යටත් වූයේ නැත. අවහිර කිරීම මීලඟ පියවරයි.

ඉරාන මිසයිල පද්ධති, වෙරලබඩ ආරක්ෂන පද්ධති සහ දහස් ගනනක් නාවික බිම්බෝම්බ වලින් වට වූ, එහි පටුම ස්ථානයෙන් සැතපුම් 21 ක් පලල වන මුහුදු මාර්ගයක් තුල ඇමරිකානු යුද නැව් දැන් සමීප පරාසයක ක්‍රියාත්මක වේ. අවහිර කර ඇති ස්ථානයට ලඟා වන ඕනෑ ම ඉරාන නෞකාවක් “වහා ම වනසා දමන” බව ට්‍රම්ප් සඳුදා පැවසී ය.

මිසයිල ප්‍රහාරක නෞකාවක් අහිමි වීම හෝ විශාල ජීවිත හානි සිදුවීම, ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 90 ක් සකසන කාර්ග් දූපත අත්පත් කර ගැනීම ඇතුලුව භූමි ආක්‍රමනයක් සඳහා ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුල ඉල්ලීම් තීව්‍ර කරනු ඇත. 82 වෙනි ගුවන් අංශයේ භට පිරිස් සහ නාවික භටයින් දැනටමත් යොදවා ඇති අතර, එක්සත් ජනපද මිලිටරි සාමාජිකයින් 50,000 කට වැඩි පිරිසක් රංග පථයට අවතීර්න ව සිටිති. පෙබරවාරි 28 වන දින සිට එක්සත් ජනපද මිලිටරි සාමාජිකයින් දහතුන් දෙනෙක් මිය ගොස් තිබේ.

ට්‍රම්ප් පාලනය නාහෙට අහන්නේ නැති ව ඉදිරියට යමින් සිටී. එක්සත් ජනපදය ඉරානයේ තෙල් අත්පත් කර ගන්නා බව ඔහු විවෘත ව පවසා ඇත—එය පසුගිය පරිපාලනයන්, සම්බාධකවල සහ ජාත්‍යන්තර නීතියේ භාෂාව පිටුපස සඟවා තැබූ කොල්ලකෑම පිලිබඳ ප්‍රකාශයකි. සාපරාධී පාතාල විධික්‍රම දැන් නිල රාජ්‍ය ප්‍රතිපත්තියයි.

දේශපාලන සංස්ථාපිතය ප්‍රතිපත්තිමය වශයෙන් මේ කිසිවකට විරුද්ධ නැත. නිව් යෝර්ක් ටයිම්ස් කර්තෘ මන්ඩලය ට්‍රම්ප්ගේ හැසිරීම “පැහැදිලි අකාර්යක්ෂමතාවයක්” ලෙස හැඳින්වූ අතර “ඊට කොංග්‍රසය සම්බන්ධ කර ගෙන ඇමරිකානු සහචරයින්ගෙන් උදව් ලබා ගන්නා ලෙස” ඔහුගෙන් ඉල්ලා සිටියේ ය— එය යුද්ධයේ ඊලඟ අදියර ක්‍රියාත්මක කිරීමේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා වන ඉල්ලීමකි. වෝල් ස්ට්‍රීට් ජර්නලය ට්‍රම්ප්ගේ ජයග්‍රහන ප්‍රකාශය අකාලයේ සිදු වූවක් ලෙස හැඳින්වූ අතර “කාර්යය තව ම අවසන් වී නැති” බවට අනතුරු ඇඟවී ය.

ප්‍රජාතන්ත්‍රවාදී සෙනෙට් සභික ටිම් කයින්, ඉරානය “කලාපීය තර්ජනයක්” බවත් “ඉරානයට න්‍යෂ්ටික අවි නොලැබෙන බවට අප සහතික විය යුතු” බවත්‍ ABC සන්ඩේ  වෙත පැවසීය. ට්‍රම්ප් සතියකට පෙර “සටන් විරාමය” නිවේදනය කල විට, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අතට පත් කිරීම පදනම් කරගෙන ඩිමොක්‍රටික් පක්ෂය එය විවේචනය කිරීමට යුහුසුලු විය. යුද්ධයේ උපාය මාර්ගික අරමුනු පිලිගන්නා ඩිමොක්‍රටික් පක්ෂය එය ක්‍රියාත්මක කිරීමට පමනක් විරුද්ධ වේ.

ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ සෑම අංශයක් ම යුද්ධය අනුමත කරන්නේ නම්, එයට විරුද්ධත්වයක් පැමිනිය හැක්කේ සංස්ථාපිතයට පිටතින් පමනි. කම්කරු පන්තිය තමන් ම ස්වාධීන ව දේශපාලන බලමුලු ගැන්වී ගැනීම හරහා අවහිර කිරීමට සහ සමස්තයක් ලෙස යුද්ධයට විරුද්ධ විය යුතු ය. යුද්ධයට බර පැන දරනු ලබන්නේ, වැඩ කරන ජනතාව දිවි ගැට ගසා ගන්නා සමාජ වැඩසටහන් වලට එල්ල කරන ඓතිහාසික ප්‍රහාරයක් හරහා ය. අප්‍රේල් 1 වන දින ධවල මන්දිරයේ දිවා භෝජන සංග්‍රහයක දී ට්‍රම්ප් පැවසුවේ, ආන්ඩුව යුද්ධ කරන බැවින්, මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ අනෙකුත් සමාජ වැඩසටහන් සඳහා මුදල් ලබා දිය නොහැකි බවයි.

අත්‍යවශ්‍ය වැඩසටහන් කප්පාදු කිරීම මගින් යුද්ධයට ගෙවීමට ඉල්ලා සිටින එකම පන්තිය වන්නේ, යුද්ධය කැඳවනු ලැබූ පන්තිය ම ය. වයස අවුරුදු 18 සිට 26 දක්වා සියලු ම පිරිමින් සඳහා ස්වයංක්‍රීය හමුදාවට බඳවා ගනු ලැබීමේ ලියාපදිංචි ලියවිල්ල 2026 දෙසැම්බර් මාසයේ දී බලාත්මක වන අතර එය 2026 ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතේ කොටසක් ලෙස ට්‍රම්ප් විසින් සම්මත කර ගන්නා ලදී. ඇමරිකානු අධිරාජ්‍යවාදය සඳහා චීනයේ බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීමට—වානේ කම්කරුවන්ගේ සහ ගබඩා සේවකයින්ගේ, පතල් කම්කරුවන්ගේ සහ ගොවිපලවල වැඩ කරන සංක්‍රමනික ගොවිපල සේවකයින්ගේ දරුවන්, ප්‍රහාරක නෞකා මත සහ පර්සියානු ගල්ෆ් වෙරල තීරයේ මිය යාමට යවනු ලැබේ.

යුද්ධයට එරෙහි සටන, සමාජ වැඩසටහන් විනාශ කිරීමට, බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට සහ මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට එරෙහි සටනෙන් වෙන් කල නොහැකි ය. රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ සටන අධිරාජ්‍යවාදී යුද්ධයට සහ මෙම සමාජ ව්‍යාධීන්ගේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කල යුතු ය.

Loading