හැටන් හි බන්ඩාරනායක නගරයේ නිවැසියෝ ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට විරෝධය පල කරති

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), මධ්‍යම වතුකරයේ හැටන් හි උද්ඝෝෂනයක යෙදෙමින්, “ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නතර කරනු!” යන මැයෙන්, අප්‍රේල් 26 වන දින, පෙරවරු 10.30 ට හැටන් නගර ශාලාවේ පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීමකට පුලුල් සහභාගීත්වයක් ඉල්ලා සිටියහ.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කේන්ද්‍ර කර ගනිමින් ගෙනයන පුලුල් ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස හැටන් හි මෙම රැස්වීම පැවැත්වේ. 26 දා පෙ.ව. 9:30 ට, සසප සහ සසජාතශි, හැටන් බස් නැවතුම්පොල අසල දී ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ ව පිකට් උද්ඝෝෂනයක් ද පවත්වනු ඇත. 

හැටන් රැස්වීම පැවැත්වෙන්නේ, සසප සහ සසජාතශි විසින් කොලඹ සහ මහනුවර පැවැත් වූ සාර්ථක යුද විරෝධී රැස්වීම් දෙකකට පසු ව යි.

සසප සහ සසජාතශි සාමාජිකයෝ, අප්‍රේල් 19 දා, හැටන් නගරය අසල බන්ඩාරනායක නගරයේ ගෙයින් ගෙට යමින්, වතු කම්කරුවන්, ගුරුවරුන්, රාජ්‍ය අංශයේ සේවකයින් සහ තරුනයින් සමඟ කතා කලහ. යුද්ධය කෙරෙහි ගැඹුරු විරුද්ධත්වය සහ වොෂින්ටනය සහ ටෙල් අවිව් නායකත්වයෙන් යුත් තීව්‍ර වන අධිරාජ්‍යවාදී ප්‍රහාරයට ශ්‍රී ලංකා ආන්ඩුව ඇතුලු ධනේශ්වර ආන්ඩු දක්වන සහාය කෙරෙහි වැඩෙන කෝපය සාකච්ඡාවලින් හෙලි විය.

හැටන් නගරය අසල බන්ඩාරනායක නගරයේ උද්ඝෝෂනය

කම්කරුවන් ඇතුලු නිවැසියෝ, ඉරානයට එරෙහි ව නීති විරෝධී හා ප්‍රකෝපකාරී යුද්ධයක් දියත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දැඩි ලෙස හෙලා දුටුවෝය. බොහෝ දෙනෙක් ඉරාන ජනතාව කෙරෙහි අනුකම්පාව පල කල අතර ගැටුමේ ගැඹුරු දේශපාලන හා ඓතිහාසික මූලයන් තේරුම් ගැනීමට උත්සාහ කලහ. ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද “මධ්‍යස්ථභාවය” පිලිබඳ වංචනික ප්‍රකාශයන්ට එරෙහි ව වැඩෙන විරෝධය ද සාකච්ඡාවලින් ප්‍රකාශයට පත් විය.

දැඩි සමාජ අහිමිවීම් යටතේ ජීවත් වන වතු කම්කරුවන්, අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු සහ වතු සමාගම් විසින් දිගු කලක් තිස්සේ සූරාකෑමට ලක් කර ඇත. නරක අතට හැරෙන ආර්ථික දුෂ්කරතා, ඉහල යන ජීවන වියදම් සහ රැකියා සහ සමාජ තත්වයන් මත අනවරත ප්‍රහාර මධ්‍යයේ, විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධය සහ රට තුල ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරය අතර සම්බන්ධය කම්කරුවෝ සාකච්ඡාවන්හි දී වටහා ගත්හ.

යුද්ධය මැදපෙරදිග සහ ලෝකය පුරා ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරගත් අධිරාජ්‍යවාදී මෙහෙයුමක් බවට සසප කල විශ්ලේෂනය සමඟ විදුලි සේවකයෙක් දැඩි ලෙස එකඟ විය.

“මෙම සාකච්ඡාව හරහා මෙම යුද්ධයේ සැබෑ ස්වභාවය මම තේරුම් ගත්තා,” ඔහු පැවසී ය. “ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් පසු ව පවා, ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර දියත් කලා. මෙයින් ඔප්පු වන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව නීති විරෝධී යුද්ධයක් දියත් කරන බවයි. එක්සත් ජනපදයේ අරමුන ගෝලීය ආධිපත්‍යය වන අතර ඊශ්‍රායලය කලාපයේ එහි සගයා ලෙස ක්‍රියා කරනවා.”

ශ්‍රී ලංකා ආන්ඩුවේ ඊනියා මධ්‍යස්ථ ස්ථාවරය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසී ය:

“ආන්ඩුවේ මධ්‍යස්ථභාවය වංචාවක්. එය ආක්‍රමනිකයා සහ වින්දිතයා එක ම මට්ටමක තබනවා. යථාර්ථයේ දී, ආන්ඩුව එක්සත් ජනපදය සමඟ පෙලගැසී සිටිනවා.”

පැවති ආන්ඩුවල කප්පාදු සහ සමාජ අසමානතාවය කෙරෙහි පැතිර ඇති කෝපය ගසාකමින් බලයට පත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව ඔහු හෙලා දුටුවේ ය.

“මෙම ආන්ඩුව යටතේ වෙනසක් සිදුවනු ඇතැයි අපි සිතුවා, නමුත් කිසිවක් වෙනස් වෙලා නෑ” යැයි ඔහු පැවසී ය. “ලංකා විදුලිබල මන්ඩලය බිඳ දමා පෞද්ගලීකරනය සඳහා සූදානම් වෙනවා. කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා හෝ අයිතිවාසිකම් පිලිබඳ කිසිදු සහතිකයක් නෑ. බලයට පත්වීමට පෙර, ජනතා විමුක්ති පෙරමුන පෞද්ගලීකරනයට විරුද්ධ වුනා. දැන් එහි වෘත්තීය සමිති එයට සහාය දක්වනවා.”

යුද්ධය සම්බන්ධයෙන් නිහඬ ව සිටීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති හෙලා දුටු ඔහු, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට විරුද්ධ වීම ප්‍රතික්ෂේප කිරීම දේශපාලනික අනුග්‍රහයක් බව පැවසී ය.

පුලුල් වන ගෝලීය ගැටුමක අන්තරාය ගැන ගැඹුරු කනස්සල්ලකින් යුතු ව පාසල් ගුරුවරියක් වන ශිවරංජනී කතා කලා ය. 

“ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ අහිංසක ජනතාවට එරෙහි ව ගෙන යන මෙම යුද්ධයට මම විරුද්ධයි,” ඇය පැවසුවාය. “එය වහා ම නතර කල යුතුයි. ජීවිත හා දේපල විනාශ වෙනවා පමනක් නොව, ආර්ථික ප්‍රතිවිපාක සාමාන්‍ය ජනතාව විනාශ කරනවා. ඉන්ධන මිල තව දුරටත් ඉහල යයි; ජීවන වියදම වැඩි වෙයි; ජනතාවට දිවි ගලවා ගැනීමට නොහැකි වෙයි.”

“චීනය සහ රුසියාව මෙම ගැටුමට ඇද දැමුවහොත්, එය න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකියි.”

ජාත්‍යන්තර ව වර්ධනය වන යුද විරෝධී හැඟීම් පෙන්වා දුන් ඇය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමකින් පමනක් ව්‍යසනයකට ඇද වැටීම නැවැත්විය හැකි බවට සසපය කරන අවධාරනයට එකඟ වූවා ය.

“ලොව පුරා ජනතාව යුද්ධයට විරුද්ධ වන බව මම රූපවාහිනියෙන් දකිනවා,” යැයි ඇය පැවසුවා ය. “ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් වුවහොත්, මෙම යුද්ධය නැවැත්විය හැකි යැයි මම සිතනවා.”

විශ්‍රාමික අධ්‍යාපන නිලධාරියෙකු වන සුන්දරලිංගම් තුන්වන ලෝක යුද්ධයක අනතුර ගැන අනතුරු ඇඟවී ය.

“ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතියට ගරු කරන්නෙ නෑ,” යැයි ඔහු පැවසීය. “මෙම යුද්ධය සෑම රටක ම ජනතාවට බලපානවා. එය නැවැත්වීමට අපි එක්සත් විය යුතුයි.”

රුසියානු විප්ලවයේ ඓතිහාසික පාඩම් සහ පලමු ලෝක යුද්ධය අවසන් කිරීමේ දී එහි භූමිකාව සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මෙසේ පැවසී ය:

“පලමු ලෝක යුද්ධය අවසන් කිරීමේ දී 1917 රුසියානු විප්ලවය මෙතරම් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල බව මම දැන සිටියේ නෑ. යුද්ධය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් වී සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් කල යුතු බව දැන් මට පැහැදිලියි.”

තවත් ගුරුවරියක් වන සමුද්‍රා, අධිරාජ්‍යවාදී මිලිටරිවාදය විසින් ඇති කරන ලද විනාශය හෙලා දුටුවා ය.

“යුද්ධය මිනිස් ජීවිත සහ සමස්ත සමාජයන් විනාශ කරනවා,” යැයි ඇය පැවසුවාය. “මෙම යුද්ධයෙන් නිර්මානය කෙරුනු බලශක්ති අර්බුදය දැනටමත් ලොව පුරා ජනතාවට බලපාමින් තිබෙනවා. ජීවිත දහස් ගනනක් විනාශ වී ඇති අතර ඓතිහාසික වශයෙන් වැදගත් නගර නටබුන් බවට පත්වෙමින් තිබෙනවා.”

“සටන් විරාමය බොරුවක්. මේ බලවතුන් සටන් විරාම භාවිතා කරන්නේ යුද්ධයේ ඊලඟ අදියර සූදානම් කිරීම සඳහා කියන ඔබේ පැහැදිලි කිරීම මම පිලිගන්නවා.”

එක්සත් ජනපද මූලෝපායික අවශ්‍යතා සඳහා සහාය දැක්වීමේ දී ශ්‍රී ලංකාවේ ආන්ඩුව විසින් ඉටු කරන ලද කාර්යභාරය ගැන සාකච්ඡාවේ දී පැහැදිලි වූ බව ඇය තවදුරටත් පැවසුවා ය.

යුද්ධයට සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී විකල්පයකට කම්කරුවන් සහ තරුනයින් අතර වැඩෙන පිලිගැනීම හැටන් උද්ඝෝෂනය මගින් පෙන්නුම් කරන ලදී. ඔවුන් යුද්ධය පිලිබඳ සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවි ප්‍රකාශන මිල දී ගත් අතර යුද විරෝධී ව්‍යාපාරයට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු මූල්‍ය දායකත්වයක් ලබා දුන්හ.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි විරෝධය කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින නමුත් මෙම විරුද්ධත්වය සවිඥානික දේශපාලන ඉදිරිදර්ශනයකින් සන්නද්ධ විය යුතුය. මැද පෙරදිග දිග හැරෙන ව්‍යසනය තනි දේශපාලනඥයන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් නොව, ධනවාදයේ ගෝලීය අර්බුදයේ සහ මිලිටරි ප්‍රචන්ඩත්වය හරහා ලෝකය නැවත බෙදීමට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ තල්ලුවේ ප්‍රතිඵලයකි.

තීරනාත්මක කාර්යය වන්නේ යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ අසමානතාවය ඇති කරන ධනේශ්වර ක්‍රමය අහෝසි කිරීම අරමුනු කරගත් සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. මෙම අරගලයට සම්බන්ධ වී ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන ඉදිරියට ගෙන යන ලෙසත්, එහි කොටසක් ලෙස 26 දා හැටන් හි පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙසත්, සසප සහ සසජාතශි, කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටී.

Loading