[මෙය Sri Lankan SEP/IYSSE meeting against US-Israeli war on Iran මැයෙන් 2026 මැයි 4 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අප්‍රේල් 26 වන දින ශ්‍රී ලංකාවේ මධ්‍යම වතු දිස්ත්‍රික්කයේ හැටන් නගර ශාලාවේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත් වූ අතර, එහි කතිකයෝ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ වෙමින්, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පැහැදිලි කලහ. කොලඹ සහ පේරාදෙනියේ රැස්වීම්වලින් පසුව පැවැත් වූ එයට වතු කම්කරුවන්ගෙන් සහ අනෙකුත් මහජනතාවගෙන් වැදගත් ප්‍රතිචාරයක් ලැබුනි.
ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ පීඩිත ජනතාව, ජාත්‍යන්තර ව තම සගයන් මෙන්, බලශක්ති පිරිවැය ඉහල යාම, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල යාම ආදී යුද්ධයේ ආර්ථික බිඳ වැටීමේ බර දරා සිටිති. කම්කරු පන්තියේ වඩාත්ම සූරා කෑමට ලක්වන කොටස් අතර සිටින වතු කම්කරුවෝ, ජීවන වියදම ඉහල යාමෙන් දැඩි ලෙස පීඩාවට පත් ව සිටිති. සසප සහ සසජාතශි සාමාජිකයෝ හැටන් නගරයේ, ආසන්න බන්ඩාරනායක පුරයේ සහ අවට වතුවල ගෙයින් ගෙට ගොස්, කම්කරුවන්, ගුරුවරුන්, රාජ්‍ය සේවකයින් සහ තරුනයින් සමඟ කතා කරමින් පුලුල් උද්ඝෝෂනයක යෙදී ගත්හ.
ඉරානයට එල්ල වූ විනාශකාරී ප්‍රහාර හෙලා දැකීමට සහ අධිරාජ්‍යවාදී මිලිටරිවාදය සහ ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාර තීව්‍ර කිරීම අතර සම්බන්ධය ඉස්මතු කිරීමට පක්ෂ සාමාජිකයෝ සහ ආධාරකරුවන් හැටන් බස් නැවතුම්පොලේ විරෝධතාවක් ද පැවැත්වූහ. මෙම විරෝධතාවය වතු කම්කරුවන්, ගුරුවරුන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම තරුනයින් ද ඇතුලු සිය ගනනක් ජනතාව ආකර්ෂනය කර ගත්තේ ය. මාධ්‍ය කිහිපයක් ඒ පිලිබඳ වාර්තා පල කලේ ය.
යුද්ධය හෙලා දැකීම ප්‍රතික්ෂේප කර ඇති සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ තම පෙලගැස්ම ගැඹුරු කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනත බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද “මධ්‍යස්ථභාවය” පිලිබඳ වංචනික ප්‍රකාශ කෙරෙහි වැඩෙන කෝපය මෙම සාකච්ඡාවලින් හෙලි විය.
වතු රියදුරෙකු වන එස්. ලෝගේෂ්වරන් පැවසුවේ ගැටුම හේතුවෙන් තේ අපනයන සඳහා ඉල්ලුම අඩු වී ඇති බවත්, දැනටමත් තම සොච්චම් වැටුප කපා හැර ඇති බවත් ය. “සියලු ම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් ඉහල ගිහින්, ඒත් අපේ වැටුප් ඉහල ගොස් නෑ,” යැයි ඔහු පැවසුවේ හත් දෙනෙකුගෙන් යුත් තම පවුල මුහුන දෙන අතිමහත් දුෂ්කරතා පැහැදිලි කරමිනි.
හැටන්හි 17 හැවිරිදි ශිෂ්‍යාවක වන ජේ. ෂල්මිතා කියා සිටියේ, පුලුල් වන යුද්ධය මැද පෙරදිග රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන්ට ද අන්තරායකාරී බවයි. “මගේ මව සහ සහෝදරිය සෞදි අරාබියේ සහ කටාර්හි සේවය කරනවා. … මිසයිල හුවමාරු ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක්. ඔවුන්ගේ රැකියා අහිමි වුවහොත් හෝ ඔවුන් මිය ගියහොත්, අපි ඇතුලු ශ්‍රී ලංකාවේ බොහෝ පවුල් දරිද්‍රතාවයට ඇද වැටෙනවා.”
විදුලි සේවකයෙක් යුද්ධය පිලිබඳ සසප විශ්ලේෂනය දැඩි ලෙස අනුමත කලේ ය. “අපගේ සාකච්ඡාවෙන් පසු ව, මෙම යුද්ධයේ සැබෑ ස්වභාවය මට දැන් වැටහෙනවා,” යැයි ඔහු පැවසී ය. “එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා, ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කලා. මෙයින් ඔප්පු වන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව නීති විරෝධී යුද්ධයක් දියත් කරන බවයි.”
ශ්‍රී ලංකා ආන්ඩුවේ “මධ්‍යස්ථ ස්ථාවරය” වංචාවක් බව ඔහු පැවසී ය, මන්ද එය “ආක්‍රමනිකයා සහ වින්දිතයා එකම මට්ටමක තබනවා. යථාර්ථයේ දී, ආන්ඩුව එක්සත් ජනපදය සමඟ පෙලගැහිල ඉන්නෙ.”
තමා ඇතුලු කම්කරුවන්ට දුන් මැතිවරන පොරොන්දු පාවා දීම සම්බන්ධයෙන් ඔහු ආන්ඩුව දැඩි ලෙස හෙලා දුටුවේ ය. “මෙම ආන්ඩුව යටතෙ වෙනසක් වෙයි කියල අපි හිතුව, නමුත් කිසි දෙයක් වෙනස්වෙල නෑ,” යැයි ඔහු පැවසුවේ ලංකා විදුලිබල මන්ඩලය බිඳ දැමීම සහ එහි පුද්ගලීකරනය කරා යන පියවර පෙන්වා දෙමිනි. වෘත්තීය සමිති, යුද්ධය සම්බන්ධයෙන් නිහඬ ව සිටීම ඔහු හෙලා දුටුවේ, “අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට විරුද්ධ වීම ප්‍රතික්ෂේප කිරීම දේශපාලන හවුල්කාරිත්වයක්” බව පවසමිනි.
චීනය සහ රුසියාව සම්බන්ධ වුවහොත් ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බව පාසල් ගුරුවරියක වන ශිවරංගනී අනතුරු ඇඟවී ය. ඇය ඉරානයට එරෙහි යුද්ධයට විරුද්ධ වූ අතර ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් ක්‍රියාමාර්ගයකින් පමනක් ම්ලේච්ඡත්වයට ඇද වැටීම නැවැත්විය හැකි බව පැවසුවා ය.
සසප උද්ඝෝෂකයින් සමඟ කතා කිරීමෙන් පසු, විශ්‍රාමික අධ්‍යාපන නිලධාරියෙකු වන සුන්දරලිංගම් මෙසේ පැවසීය: “පලමු ලෝක යුද්ධය අවසන් කිරීමේ දී 1917 රුසියානු විප්ලවය එතරම් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල බව මම දැන සිටියේ නෑ. යුද්ධය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් වී සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් කල යුතු බව දැන් මට පැහැදිලියි.”
හැටන් ප්‍රසිද්ධ රැස්වීම ආරම්භ කරමින් සසප මධ්‍යම කාරක සභික එම්. දේවරාජා පැහැදිලි කලේ ඉරානයට එරෙහි යුද්ධය “දුරස්ථ කලාපීය ආරවුලක් නොව” “ධනවාදී බිඳවැටීමේ කාල පරිච්ඡේදයක දී බලශක්ති සම්පත් පාලනය අල්ලා ගැනීමට සහ එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය නැවත තහවුරු කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය එහි ඊශ්‍රායල සහචරයාගේ සහාය ඇති ව සිදු කල කොල්ලකාරී ප්‍රහාරයක්” බවයි.
පලමු හා දෙවන ලෝක යුද්ධ පුපුරා යාමත් සමඟ ඓතිහාසික සමාන්තරයන් ගෙනහැර දක්වමින්, මානව වර්ගයා “යුද්ධයේ සහ විප්ලවයේ කාල පරිච්ඡේදයකට” ඇතුලු වී ඇති බව දේවරාජා පැවසී ය. බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය යටතේ රුසියානු කම්කරු පන්තිය 1917 දී බලය අල්ලා ගත් බවත්, අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කල හැක්කේ සමාජවාදී විප්ලවයෙන් පමනක් බවත් ඔහු සිහිපත් කලේ ය.
දකුනු ආසියාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය සමාලෝචනය කල දේවරාජා, දෙවන ලෝක යුද්ධ සමයේ දී, ඉන්දීය බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වූ බවත්, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් ව දකුනු ආසියානු එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සටන් කල බවත් පැහැදිලි කලේ ය.
ඊට වෙනස් ව, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂ යුද්ධය අතරතුර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සහාය දුන්හ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලාංකික ශාඛාව ලෙස සසප, අධිරාජ්‍යවාදයට සහ ධනවාදයට එරෙහි බීඑල්පීඅයි හි විප්ලවවාදී ජාත්‍යන්තරවාදී අරගලය දිගට ම කරගෙන යන බව කථිකයා අවධාරනය කලේ ය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මානව වර්ගයා “විනාශකාරී ලෝක යුද්ධයක අද්දරට” ගෙනැවිත් ඇති බවට අනතුරු ඇඟ වූ සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන විසින් ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරන ලදී. මෙම ගැටුම, ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුමක් පමනක් නොව, චීනයට සහ රුසියාවට එරෙහි ව පුලුල් ලෙස දිග හැරෙන ගැටුමක පූර්ව රංගය බවත්, මැද පෙරදිග සහ එහි දැවැන්ත තෙල් හා ගෑස් සම්පත් ආධිපත්‍යය දැරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පුලුල් න්‍යාය පත්‍රයක කොටසක් බවත් ඔහු පැවසීය.
කථිකයා ඉරානයට සිදු කල විනාශය හෙලා දුටුවේ, පසුගිය ශතවර්ෂ කාර්තුව පුරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාවේ සිදු කල යුද්ධ සමඟ සංසන්දනය කරමිනි. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ “මධ්‍යස්ථභාවය” පිලිබඳ ප්‍රකාශ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සමඟ ඇති එහි සන්ධානය සැඟවීමට උත්සාහ කල වංචාවක් ලෙස ඔහු හෙලා දුටුවේ ය.
ධනේශ්වර ආන්ඩු වලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ දේශපාලන සංස්ථාපිතයට ආයාචනා කිරීමෙන් අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්විය නොහැකි බව විජේසිරිවර්ධන පැහැදිලි කලේ ය. “අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ සමාජවාදය මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට කැඳවමිනි.
සාකච්ඡා සැසියේ දී, සහභාගී වූ එක් අයෙක්, සසප වැඩපිලිවෙල දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස අඟවමින්, “යුද්ධය ඉක්මනින් නැවැත්වීමේ ක්‍රමයක්” නොමැතිදැයි විමසී ය.
යුද්ධය අවසන් කිරීමේ ප්‍රශ්නය - ඉක්මනින් හෝ පසු ව - ජාත්‍යන්තර කම්කරු පන්තිය සමාජවාදී වැඩපිලිවෙලක් මත එයට එරෙහි ව බලමුලු ගැන් වී තිබේ ද යන්න මත රඳා පවතින බව පවසමින් විජේසිරිවර්ධන ප්‍රතිචාර දැක්වී ය. ලෝක ධනවාදය පෙරලා දමා යුද්ධය අවසන් කිරීමට සමත් එක ම විප්ලවවාදී සමාජ බලවේගය එයයි.
ශ්‍රී ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි විවිධ මධ්‍යම පාන්තික කන්ඩායම් විසින්, පුලුල් පෙරමුනක් ගොඩනඟා යුද්ධය නතර කරන ලෙස අධිරාජ්‍යවාදයට ආයාචනා කිරීම සඳහා කරන ඉල්ලීම් නිෂ්ඵල බවත්, එය කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කරන බවත් කථිකයා පැහැදිලි කලේ ය. දශක ගනනාවක් තිස්සේ, මෙම ව්‍යාජ වාම කන්ඩායම්, වෘත්තීය සමිති නිලධරයන් සමඟ එක් ව, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පිලිබඳව සංශය වපුරා ඇත.
“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි ශාඛා පමනක් මෙම මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය සඳහා සටන් කරයි. කම්කරු පන්තිය දැන් එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල අරගලයට අවතීර්න වෙමින් සිටී. මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීම ‘දිගුකාලීන’ ව්‍යාපෘතියක් නොව අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡත්වය අවසන් කිරීමට ඇති එක ම ශක්‍ය වැඩපිලිවෙලයි,” විජේසිරිවර්ධන පැවසී ය.
“ක්ෂනික විසඳුමක් නෑ,” ඔහු තවදුරටත් පැවසී ය, “නමුත් කම්කරුවන්ට වහා ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කල හැකි හදිසි හා සංයුක්ත වැඩසටහනක් තිබේ, එනම් යුද්ධයේ මූල හේතුව වන ගෝලීය ධනේශ්වර ක්‍රමයට එරෙහි ව සටන් කිරීමයි. මෙම අරගලය සමාජවාදය සඳහා වන සටනෙන් වෙන් කල නොහැකි ය. අධිරාජ්‍යවාදී යුද්ධයේ ස්වභාවය සහ පසුබිම පිලිබඳ පැහැදිලි අවබෝධයකින් තොර ව කම්කරුවන්ගේ ප්‍රතිරෝධය පමනක් අර්බුදය විසඳන්නේ නැතැයි ඔහු තවදුරටත් පැවසී ය.
සෑම රටක ම කම්කරුවන් බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස, ප්‍රධාන අංශවල කාර්මික ක්‍රියාමාර්ග සංවිධානය කිරීම සඳහා සේවා ස්ථානවල සහ අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ද විජේසිරිවර්ධන ඉල්ලා සිටියේය. මැයි 1 වන දින හජාජාක සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර මැයි දින උත්සවයට එක්වන ලෙස ඔහු සියලුම සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටියේ ය.
