[මෙය මැයි 4දා Further light shed on criminal US torpedoing of Iranian ship මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.]
මාර්තු 4දා එක්සත් ජනපදය විසින් නිරායුධ ඉරාන නාවික නෞකාවක් වන අයිරිෂ් ඩෙනා ඉන්දියන් සාගරයේ ගිල්වා එහි කාර්ය මන්ඩලයේ බොහෝ දෙනෙකු මරා දැමීම යුද අපරාධයකි. නෞකාවේ කපිතාන්, කමාන්ඩර් අබුසාර් සාරි සහ එහි පලමු නිලධාරියා අප්‍රේල් 21දා ඉරාන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිට, සිද්ධිය විස්තර කරමින්, නෞකාව තර්ජනයක් එල්ල කල බවට කරන ප්‍රකාශවලට අභියෝග කලහ.
මැයි 2දා ටෙහෙරාන් ටයිම්ස් පුවත්පතේ පල වූ “අයිරිස් ඩෙනා ගිල්වා දැමීම: දිවි ගලවා ගත් අයගේ සාක්ෂි, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමාදයන් සහ ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියා-ශ්‍රී ලංකා භූමිකාව” යන මැයෙන් යුත් ලිපියක් ඔවුන්ගේ සම්මුඛ සාකච්ඡා මත පදනම් විය. මෙම ලිපිය, එක්සත් ජනපද නාවික හමුදාව මුලින්ම නෞකාව මුලුමනින්ම අඩපන කිරීමෙන් අනතුරුව, හිතාමතා ම එය ගිල්වා දැමූ බව පැහැදිලි කරනවා පමනක් නොව, සාපරාධී ප්‍රහාරයට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දක්වන සහයෝගය ද පෙන්වා දෙයි.
ඉරාන නෞකාවක් වන අයිරිස් ඩෙනා, ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන ලද බහුජාතික නාවික අභ්‍යාස - මිලාන් 2026 - නිමකොට ආපසු යමින් සිටිය දී, ඇමරිකානු සබ්මැරීනයක් ප්‍රහාරයක් එල්ල කලේ ය. ඩෙනා හි නාවික කාර්ය මන්ඩලයේ 180 දෙනාගෙන්, ශ්‍රී ලංකා වෙරලාරක්ෂක බලකාය විසින් ජීවතුන් අතර සිටිය දී බේරාගෙන ඇත්තේ 32 දෙනෙකු පමනක් වන අතර මල සිරුරු 84 ක් මුහුදෙන් සොයා ගැනුනි .
එකල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලියූ පරිදි , මෙම ප්‍රහාරය ඉරානයට එරෙහි වොෂින්ටනයේ තීව්‍ර වන යුද්ධයේ කොටසක් ලෙස මැද පෙරදිග සිට කිලෝමීටර් දහස් ගනනක් ඈතින් සිදු කරන ලද සමූහ ඝාතනයකට සමාන විය. “එය නොවරදින පනිවිඩයක් යවා ඇත: ජාත්‍යන්තර නීතිය හෝ සම්මුතීන් මායිම් නොකර, එක්සත් ජනපදයට තමන් කැමති ඕනෑ ම අයෙකු, ඕනෑ ම තැනක, ඕනෑ ම වේලාවක දී සාපරාධී ඝාතන සිදු කල හැක.”
මෙම තක්සේරුව අවධාරනය කරමින්, එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත්, මෙහෙයුම “නිහඬ මරනයක්” ලෙස විස්තර කරමින්, එයට එක්සත් ජනපද නාවික හමුදාවේ සම්බන්ධය පිලිගත්තේ ය.
එදිනම, කාර්ය මන්ඩල සාමාජිකයින් 208 දෙනෙකු රැගත් දෙවන ඉරාන නාවික නෞකාවක් වන අයිරිස් බුෂෙර්, කොලඹ වරායට ඇතුලුවීමට අවසර ඉල්ලා සිටියේය. මුලින් ඇතුලුවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා ආන්ඩුව අවසානයේ මාර්තු 5දා නෞකාවට නැංගුරම් ලෑමට අවසර දුන්නේ, තිරය පිටුපස ගෙනගිය දැඩි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් පසුව පමනි.
මාර්තු 7දා ප්‍රකාශයට පත් කරන ලද රොයිටර් වාර්තාවකට අනුව, “මධ්‍යස්ථ” රටක් ලෙස “මානුෂීය” හේතූන් මත ක්‍රියා කල බව කොලඹ ආන්ඩුව ප්‍රකාශ කලත්, එය අයිරිස් ඩෙනා හි දිවි ගලවා ගත් 32 දෙනෙකු සහ අයිරිස් බුෂෙර්හි කාර්ය මන්ඩලය රැඳවුම් භාරයට ගත්තේ ය.
මාර්තු 6 දිනැති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අභ්‍යන්තර කේබල් පනිවිඩයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේ, කාර්ය මන්ඩලය නැවත ඉරානයට නොයවන ලෙස ඉල්ලා සිටි තානාපති කාර්යාලයේ භාරකාර ජේන් හොවෙල්, “රැඳවියන් ප්‍රචාරනය සඳහා යොදා ගැනීමට දැරෙනු ඇති ඉරාන උත්සාහයන් අවම කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රියාකල යුතු යැයි” උපදෙස් දී ඇති බවයි.
මෙයට හිස නැමූ ශ්‍රී ලංකා ආන්ඩුව, සොයා ගන්නා ලද මල සිරුරු 84 ක් ආපසු ලබා දීම සතියකට වැඩි කාලයක් ප්‍රමාද කල අතර, රඳවාගෙන සිටි කාර්ය මන්ඩල සාමාජිකයින් 240 දෙනා නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරානය නැවත නැවතත් ඉල්ලීම් කලද, සති පහකට ආසන්න කාලයක් රඳවා තබා ගත්තේ ය. ඔවුන් රඳවා තබා ගත් කාලය අතරතුර, කාර්ය මන්ඩලයට මාධ්‍යයට කතා කිරීම තහනම් කරන ලදි.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ අප්‍රේල් 14 න් පසුව ප්‍රකාශයට පත් කල සටන් විරාමයකින් පසුව අනතුරුව පමනෙකි, ඉරාන නාවික නිලධාරීන්ට ශ්‍රී ලංකාවෙන් පිට ව ගොස් නැවත සිය රට බලා යාමට අවසර ලැබුනේ.
එලෙස ඉරානයට නැවත ලඟා වීමෙන් පසු කතා කරමින්, අයිරිස් ඩෙනා කපිතාන් සාරි, නෞකාව සන්නද්ධ ව සිටි බවට එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකාය සිදුකල ප්‍රකාශ ප්‍රතික්ෂේප කලේය. “(මිලාන්) අභ්‍යාසයේ කොන්දේසිවලින් එකක් වූයේ සහභාගී වන යාත්‍රා මගින් මිසයිල සහ ටෝර්පිඩෝ රැගෙන නොයා යුතු බවයි,” සාරි පැවසී ය. මෙනයින්, සබ්මැරීන්වලට එරෙහි ටෝර්පිඩෝ හෝ උපායමාර්ගික මිසයිල නෞකාවේ රැගෙන නොගිය බවත්, එමඟින් දිය යට සිදු කෙරෙන ප්‍රහාරයකින් ආරක්ෂා වීමට නොහැකිවූ බවත් ඔහු තහවුරු කලේ ය.
පලමු සහ දෙවන සබ්මැරීන අතර මිනිත්තු 90 ක පරතරයක් ඇතිව, එක්සත් ජනපද සබ්මැරීනයක් ටෝර්පිඩෝ දෙකක් දියත් කල බව සාරි පැවසීය. මුල් ප්‍රහාරයෙන් නෞකාවේ පතුවලට සහ ප්‍රචාලකයට හානි සිදු වූ අතර, එමගින් ඩෙනාගේ ගමන එහෙම පිටින් ම නතර විය. ඊලඟ මිනිත්තු 90 තුල, හදිසි ක්‍රියා පටිපාටි අනුකූලව “ඉවත් කිරීම හෝ යටත් වීම සඳහා සූදානම් වෙමින්” කාර්ය මන්ඩලය පසුපස තට්ටුවේ එකලස් කරන කටයුතු ලහිලහියේ සිදුකෙරුනි. ටෙහෙරාන් ටයිම්ස් පුවත්පතට අනුව , පලමු නිලධාරියා පැවසුවේ “කිසිවෙකු නෞකාව තුල ඉතිරි වී නොමැති බව සහතික කිරීම සඳහා හෙලිකොප්ටර් ගොඩබෑමේ වේදිකාවේ එක්රැස් වන ලෙස නාවිකයින්ට නියෝග කල” බවයි.
නාවික යුධ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, ඇමරිකානු සබ්මැරීනය දෙවන ටෝර්පිඩෝවක් එල්ල කලේ, මෙලෙස නෞකාව අක්‍රිය වී, කාර්ය මන්ඩලය එය අතහැර දැමීමට දෘශ්‍යමාන ලෙස සූදානම් වෙමින් සිටියදී ය. ටෝර්පිඩෝව “එකලස් කරන ලද කාර්ය මන්ඩලය රැස්ව සිටි ස්ථානයට හරියටම යටින්” ඩෙනාහි පසුපස කොටසට පහර දුන් බව පලමු නිලධාරියා සිහිපත් කලේය. “දෙවන ටෝර්පිඩෝව අපගේ මිතුරන්, අපගේ සහෝදරවරුන්, අපගේ ආදරනීය සහෝදරයන් 104 දෙනෙකු මරා දැමුවා,” සාරි පැවසුවේ, “ඔවුන්ගේ අභිප්‍රාය වූයේ මෙයයි” - එනම්, උපරිම ප්‍රමානයක් ඝාතනය කිරීම- බවයි.
ටෙහෙරාන් ටයිම්ස් පුවත්පත ද ප්‍රහාරයට ඉන්දීය සහ ශ්‍රී ලංකා ආන්ඩුවල සහාය ලැබීමේ කාරනය ඉස්මතු කලේ ය. අයිරිස් ඩෙනා, අයිරිස් බුෂෙර් සහ තුන්වන යාත්‍රාවක් වන අයිරිස් ලවාන්, මිලාන්-2026 අභ්‍යාසයට සහභාගී වෙමින් සිටි අතර, ඉරානයට එරෙහි ව එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ පෙබරවාරි 28දා ඉන්දියාවෙන් ආරක්ෂිත වරායක් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. පසුදා, නවදිල්ලිය අයිරිස් ලවාන්හට කොචි හි නැංගුරම්ලෑමට අවසර ලබා දුන් නමුත්, පැහැදිලි කිරීමකින් තොරව අනෙක් යාත්‍රා දෙකට වහා ම ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කරන ලදි.
මාර්තු 9දා ඉන්දියාවේ භූ දේශපාලනය සහ භූ-ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රමුඛ වාර්ෂික සමුලුව වන රයිසිනා සංවාදයේදී මෙම ගැටලුව මතු වූ විට, විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරය හෙලා දුටුවේ නැත, ඒ වෙනුවට ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ඩියාගෝ ගාර්ෂියා හි දිගුකාලීන එක්සත් ජනපද මිලිටරිය රැඳී සිටීමේ කාරනය ඉස්මතු කලේ ය.
ඉරාන නාවික යාත්‍රා දෙකට නැංගුරම් ලෑමට ඉන්දියාව ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම අයිරිස් ඩෙනා නෞකාව ගිල්වාදැමීමේහිලා තීරනාත්මක සාධකයක් වූ බව ටෙහෙරාන් ටයිම්ස් පැහැදිලි කලේය. “භූගෝලීය වශයෙන් ගත් කල, ප්‍රමාදය පැහැදිලි කිරීම දුෂ්කර ය. නෞකා ඇනිය ශ්‍රී ලංකාවේ හම්බන්තොට හෝ ගාල්ල අසල තිබුනේ නම්, ඩෙනා නෞකාවට පැය 24 කටත් අඩු කාලයකින් (ඉන්දියාවේ) කොචි වරාය වෙත ලඟා විය හැකිව තිබුනි - නැතහොත් ඉන්දියාව වඩාත් සමීප ඉන්දියානු වරායක් වන ටුටිකොරින් වෙත ප්‍රවේශය ලබා දුන්නේ නම් ඊටත් වඩා වේගයෙන්. සම්පූර්න වේගයෙන්, පැය 14 ක් ඇතුලත ආරක්ෂාව ලඟා කර ගත හැකි ව තිබුනි.”
එහෙත් ඉරාන නැව් මුහුන දෙන අනතුර සම්පූර්නයෙන්ම තේරුම් ගෙන තිබිය දී ම, ඉන්දියාව එය ප්‍රතික්ෂේප කලේ ය.
ඉන්පසු අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂෙර් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කල අතර, පෙබරවාරි 26දා ඔවුන්ට එහි සංචාරය කිරීමට ආරාධනා කර තිබුනි. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් මාර්තු 21දා කොලඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, මිලාන් අභ්‍යාසයට සමගාමී ව ඉරාන නාවික හමුදාපති රියර් අද්මිරාල් ෂහරාම් ඉරානි සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ අතර පැවති සාකච්ඡාවල දී මෙම ආරාධනය සිදුකල බවයි.
කෙසේ වෙතත්, නවදිල්ලිය මෙන්, කොලඹ ද ඩෙනා ගිල්වා දමන තෙක් ම නිල අවසරය ලබා දුන්නේ නැත. රොයිටර් විසින් උපුටා දක්වන ලද ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාල කේබල් පනිවිඩයක දැක්වෙන පරිදි, වොෂින්ටනය සහ ටෙල් අවිව් විසින් නියම කරන ලද කොන්දේසි මත පමනක් අයිරිස් බුෂෙහර් නෞකාවට ඇතුලුවීමට අවසර ලැබුනි. මෙය, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තම ආන්ඩුව “රටේ ගෞරවය ආරක්ෂා වෙන” පරිදි ක්‍රියා කර ඇති බවට පුන පුනා කරන ප්‍රකාශයන්ට පටහැනි ය.
ටෙහෙරාන් ටයිම්ස් වාර්තා කලේ, විදේශ අමාත්‍ය විජිත හේරත් “වෙලඳ සහන සහ තීරුබදු සහන ඇතුලු තර්ජන ඇතුලුව [ඉරාන නාවිකයින්] නැවත එරටට යැවීම වැලැක්වීම සඳහා එක්සත් ජනපදයෙන් දැඩි පීඩනයක් එල්ල වූයේ ය ” යනා කාරනය පිලිගත් බවයි. මෙම කාරනය වත් රොයිටර් වාර්තාව වත් ශ්‍රී ලංකාවේ ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කර නොමැත.
ප්‍රහාරයේ තාක්ෂනික වාර්තාවේ සිට කමාන්ඩර් සාරි සහ ඔහුගේ පලමු නිලධාරියා විසින් ලබා දුන් ශෝකජනක වාර්තාව දක්වා සියලු සාක්ෂි සනාථ කරන්නේ, නිරායුධ, සාමකාමී සහ එහි කාර්ය මන්ඩලය ඉවත් කිරීමේ ක්‍රියාවලියක නිරත ව සිටි ඉරාන නෞකාවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ කිරීමෙන්, එක්සත් ජනපද නාවික හමුදාව හිතාමතාම යුද අපරාධයක් සිදු කල බවයි.
ඉදිරියේදී සිදුවීමට නියමිත ඇමරිකානු ප්‍රහාරය පිලිබඳව ඉන්දීය සහ ශ්‍රී ලංකා ආන්ඩුවලට සෘජු ව ම දැනුම් දී තිබුනාවේ හො නැතිවා, ඉරාන යාත්‍රාවලට මුහුන දීමට සිදුවන අනතුරු පිලිබඳව ඔවුහු හොඳින් දැන සිටියහ. ඒවාට නාවුක අංගනයක් වෙත යාමට ඉඩ දීමේ ප්‍රමාදයන් සඳහා කිසිදු සහේතුක පැහැදිලි කිරීමක් කිරීමට හැකියාවක් ඇත්තේ නැත.
අධිරාජ්‍යවාදයට පක්ෂපාතී මාධ්‍යවල නිහඬතාව සමඟ අත්වැල් බැඳගත්, කොලඹ සහ නවදිල්ලියේ මඟහැරීම් සහ “මධ්‍යස්ථභාවය” පිලිබඳ කුහක ප්‍රකාශ මගින්, මෙම ආන්ඩුව මෙය ඇමරිකානු යුද අපරාධයට හවුල් වූයේය යන කාරනය වසන් කල නොහැක.
