[මෙය Sri Lanka: Government May Day rallies promote lies, austerity and autocratic rule මැයෙන් 2026 මැයි 8 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ මාස 18ක පාලනය සම්බන්ධයෙන් කම්කරුවන් සහ පීඩිතයන් අතර කෝපය සහ කලකිරීම වර්ධනය වන තත්වයක් තුල, ජවිපෙ/ජාජබ පසුගිය සතියේ ජනතාවගේ ආරක්ෂකයින් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මැයි දින රැලි පැවැත්වීය. පසුගිය වසරේ, ජවිපෙ/ජාජබ සිය ප්‍රධාන මැයි දින රැලිය කොලඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වූයේ ජනතාව අතර අලුත් ආන්ඩුව කෙරෙහි තවමත් පැතිර පැවති මිත්‍යාවන් තම වාසියට ගසා කමිනි. කෙසේ වෙතත්, මෙම වසරේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) රුදුරු කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින නිසා පාලක පක්ෂය කෙරෙහි වර්ධනය වන අප්‍රසාදය වසං කර ගැනීමට උත්සාහ කරමින්, එය දිස්ත්‍රික්ක මට්ටමින් විසිරුනු රැලි 21ක් පැවැත් වුයේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහරගම සහ නුවරඑලිය නගරයේ රැලි ඇමතී ය. ට්‍රම්ප් පරිපාලනය ඇමරිකානු ආධිපත්‍යය ශක්තිමත් කරගැනීමට ගෙන යන මිලිටරි ධාවනයේ කොටසක් ලෙස ඉරානයට එරෙහි ව යුද්ධය දියත් කිරීමෙන් ගැඹුරු වී ඇති ගෝලීය ධනවාදයේ අර්බුදය ගැන ඔහු කිසිදු සඳහනක් කලේ නැත.
ඒ වෙනුවට, දිසානායක රැස් ව සිටි ජනයා ඉදිරියේ මෙසේ කයිවාරු ගැසුවේය: “ජනතාව සඳහා තීරන සහ පාලක පන්තියේ වරප්‍රසාද අඩු කිරීම අරමුනු කරගත් තීරන වසයෙන් අපි තීරන වර්ග දෙකක් ගත්තා.” තම පරිපාලනය “කම්කරුවන්ගේ ආන්ඩුවක් යයි” පුන පුනා කී ඔහු “පසුගිය වසර එක-හමාරක කාලය තුල ගෙන ඇති සියලු ම තීරන කම්කරු පන්තියේ වුවමනාකම් සඳහා ගත් තීන්දු” යයි පැවසුවේ ය.
ඔහුගේ ප්‍රකාශ කිසිවෙකුත් රැවටෙනු නැති පච වැලකි. දිසානායක නායකත්වය දෙන්නේ, 2022 දී ලංකාව නය පැහැර හැරීමෙන් පසු ලබාගත් ඩොලර් බිලියන 3ක හදිසි නය වලට ජාමුඅ පනවා ඇති කොන්දේසි වියරුවෙන් ක්‍රියාවට දමන ධනපති ආන්ඩුවකට ය. ආන්ඩුව, බදු ඉහල දැමීම, මිල සහනාධාර කපා හැරීම සහ රාජ්‍ය ව්‍යවසායන් බුරුතු පිටින් ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කරමින් කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහි ව රුදුරු ප්‍රහාර එල්ල කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව ගෙන යන සාපරාධී යුද්ධය ආරම්භ වූ දා සිට ආන්ඩුව ජනතාව මත තව තවත් බර පටවා ඇත. යුද්ධය නිසා ගෝලීය බලශක්ති සැපයුම් අවහිර කෙරී ඇති තත්වය තුල, ඉන්ධන, ගෑස් සහ විදුලිය මිල ගනන් ඉහල දමා ඇති අතර ඉන් තව දුරටත් සිදු වී ඇත්තේ සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල නැගීමයි. පාලක ජවිපෙ/ජාජබ හැම දෙයක් ම කර ඇත්තේ මහා කොම්පැනි හිමියන්ගේ සහ විදේශීය ආයෝජකයින්ගේ ලාභ ආරක්ෂා කිරීමට සහ වැඩ කරන ජනතාවගෙන් සූරා ගෙන විදේශ නය ආපසු ගෙවීම සහතික කර දීම සඳහායි.
රටේ ආර්ථික අර්බුදයට හේතුව දූෂනය යයි දොස් පවරමින් පාලක පක්ෂය කරන්නේ, අර්බුදයට තුඩු දී ඇත්තේ ධනවාදය බව වසන් කිරීමයි. දිසානායකගේ කතාව එල්ල කෙරුනේ, විශේෂයෙන් පසුගිය ආන්ඩුවල නායකයින් සහ නිලධාරීන් ගේ දූෂන වලට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව තම පාලනය විසින් දියත් කර ඇති ව්‍යාපාර හුවා දැක්වීමට ය.
“2026 වසර ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දූෂිත පුද්ගලයින්, වංචාකරුවන් සහ හොරුන් සිරගෙට යවන ලද වසර ලෙස සටහන් වන බවට මම ඔබට සහතික වෙමි,” ඔහු ප්‍රකාශ කලේ ය. “මෙම මැයි මාසයේ දී පමනක් අධිකරන ඉදිරියේ නඩු දහයක් තිබේ. ඊයේ නඩු තීන්දුවක් සඳහා දිනයක් නියම කරන ලදී. එම තීන්දුව මැයි මාසයේ දී ලබා දෙනු ඇත” යනුවෙන් ඔහු කල ප්‍රකාශ අධිකරනය කටයුතු වලට මැදිහත්වීම පිලිබඳව ආන්ඩුවට එරෙහි චෝදනා මතු කර තිබේ.
සත්‍යය නම්, දූෂනය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව ධනේශ්වර පාලනයට ආවේනික ලක්ෂනයක් බවයි. දරුනු ලෙස ඔද්දල් වන සමාජ අර්බුදය, “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියකින් විසඳා ගත හැකි ය යන මිත්‍යාව වගාදිගා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුන දූෂනය පිලිබඳ ප්‍රශ්නය ගසා කමින්, කම්කරුවන්ගේ දුෂ්කර කොන්දේසිවල සැබෑ මූලාශ්‍රය වන්නේ ලාභ පද්ධතිය ය යන්න ආවරනය කරයි.
ආන්ඩුවේ සීමිත නිවාස, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ගෙනහැර දක්වමින් දිසානායක විවෘත ව ම ප්‍රකාශ කලේ “දශක ගනනාවකට මේ ආන්ඩුව හොල්ලන්නට බෑ” යනුවෙනි. මෙම ප්‍රකාශ වලින් පෙන්නුම් කෙරෙන්නේ ඒකාධිපතිවාදී පාලනයක් දෙසට යන ගමනයි. කඳු ගැසෙන සමාජ විරෝධයට මුහුන දී සිටින ජවිපෙ/ජාජබ නායකත්වය තම පාලනය ස්ථිර හා අභියෝග කල නොහැකි එකක් ලෙසට හුවා දක්වමින් සිටියි.
කලුතර දිස්ත්‍රික් මැයි දින රැලියේ දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද එම කරුන ම අවධාරනය කරමින්, ප්‍රකාශ කලේ රට “නැවත ගොඩනඟන” තෙක් සහ එහි දිගුකාලීන ඉලක්ක සපුරා ගන්නා තෙක් ජවිපෙ/ජාජබ දිගට ම පාලනය කර ගෙන යන බවයි.
විරුද්ධ පක්ෂවල හුදකලා විරෝධතා සහ විවේචන ගැන සඳහන් කරමින් සිල්වා, විපක්ෂ දේශපාලනඥයින්ට නොව කම්කරු පන්තියට ම තර්ජනාත්මක වන ප්‍රකාශයක් කලේ ය: “අපට ඔවුන්ට කියන්න තියෙන්නේ මේ ආන්ඩුවෙන් පසු වෙනත් ආන්ඩුවක් නැති බවයි.” පසුගිය වසරේ මැයි දින රැලියේදී ද ඔහු ඒ හා සමාන ප්‍රකාශයක් කලේ ය.
මෙම ප්‍රකාශයන්ගෙන් මතු කෙරෙන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඉස්මත්තට එන ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ අනතුරු ඇඟවීමකි. ජවිපෙට දේශපාලන ප්‍රචන්ඩත්වය සහ කම්කරු පන්ති විරෝධී ප්‍රහාර පිලිබඳ දිගු ඉතිහාසයක් ඇත. 1980 දශකයේ අගභාගයේ දී, දිවයිනේ දෙමල ප්‍රභූන්ට සීමිත වරප්‍රසාද ලබා දෙමින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු, ජවිපෙ මව්බිම ආරක්ෂා කිරීමේ නාමයෙන් කම්කරුවන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හා දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීමට තම වෙඩික්කරුවන් මෙහෙයවමින් ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් ගෙන ගියේ ය.
2022 නය පැහැර හැරීමෙන් පසු ඇති වූ දැවැන්ත දේශපාලන අර්බුදයෙන් පසුව 2024 දී ජවිපෙ/ජාජබ බලයට පත් විය. මිලියන ගනනක් සහභාගී වූ එම මහජන නැගිටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදුවිය. ඔහුගේ අනුප්‍රාප්තික රනිල් වික්‍රමසිංහ ජාමූඅ නය ගිවිසුමට අත්සන් තබා ක්‍රියාවට දමන්ට පටන්ගත් කප්පාදු පියවරයන්ට එරෙහි ව ජනිත වුයේ දැවැන්ත මහජන විරෝධයකි.
ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙමින් පාලක පන්තියේ සැලකිය යුතු කොටස් කිසිදා බලයේ නොසිටි ජවිපෙ/ජාජබට සහාය දැක්වීය. 2024 ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන ජයග්‍රහනය කිරීම සඳහා ජවිපෙ සියලු සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂවලට එරෙහි මහජන සතුරුකම ද තම සුලු ධනේශ්වර රැඩිකල් අතීතය ද තොරොම්බල් කලේ ය.
ජාමූඅ නය පිලිබඳ ව නැවත සාකච්ඡා කිරීම ගැන දෙන ලද මැතිවරන පොරොන්දු වහාම කුනු කුඩයට දැමු ආන්ඩුව එම ජාමුඅ කප්පාදු පියවර අකුරට ම ක්‍රියාත්මක කිරීමට එකඟ වුයේ ය. පසුගිය මාසයේ දී, ඉරානයට එරෙහි යුද්ධය සහ ගෝලීය අර්බුදය හේතුවෙන් උග්‍ර වී ඇති බර පැටවීම ද ඉතිරි කප්පාදු පියවරයන් ද එක ගොන්නට ක්‍රියාත්මක කිරීම සඳහා ආන්ඩුව ජාමූඅ සමග අප්‍රේල් මාසයේ දී කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කලේ ය.
2024 ඔක්තෝබර් මාසයේ දී, ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ වැඩවර්ජන “අතීතයට අයත් දෙයක්” බවට පත්වන බව ජවිපෙ ප්‍රධාන නායකයෙක් ප්‍රකාශ කලේ ය. ඔහු අවධාරනය කලේ, කම්කරුවන් කල යුත්තේ ආන්ඩුව සමඟ තම දුක්ගැනවිලි “සාකච්ඡා” කිරීම මිස වැඩ වර්ජන කිරීම නොවන බවයි. කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය ගැඹුරු වී ඇති හෙයින්, කම්කරුවන්ගේ වැඩවර්ජන සහ විරෝධතා මැඬීමට ආන්ඩුව පසුගිය කාලය තුල වැඩි වැඩියෙන් පොලිස් රාජ්‍ය ප්‍රහාර ක්‍රියාවට දමා ඇත.
රාජ්‍ය මර්දන බලතල බෙහෙවින් පුලුල් කරමින් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (පිඑස්ටීඒ) හඳුන්වා දෙන අතර ම, ප්‍රධාන අංශ හරහා වැඩවර්ජන සාපරාධීකරනය සඳහා ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නීති එක දිගට යොදා ගත්තේ ය. රජයේ සේවකයින්ගේ කාර්මික ක්‍රියාමාර්ග මැඬ පැවැත්වීම සඳහා සේවා 15ක් ආවරනය වන අත්‍යවශ්‍ය සේවා නියෝග ද ක්‍රියාත්මක කල අතර එය දිගට ම පවතී.
මැයි 7 වන දින, දිත්වා සුලි කුනාටුවෙන් පසු, 2025 නොවැම්බර් මස අග පනවන ලද කුරිරු හදිසි නීති රෙගුලාසි දීර්ඝ කිරීම සඳහා ආන්ඩුව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත්තේ ය. ආන්ඩුව හදිසි නීතිය අඛන්ඩ ව ගෙන යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ මහජනයා නොඉවසිය හැකි කොන්දේසිවලට මුහුන දෙන තතු තුල යලිත් 2022 නැගිටීම බඳු අරගලයක් පුපුරා එනු ඇතැයි යන්න ගැන ගැඹුරු බියකින් පෙලෙන බවයි.
මාර්තු 11 වන දින ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ සම්මේලනයක් ඇමතූ දිසානායක 2022 වසර ගැන අවධානය යොමු කරමින්, ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග පිලිබඳව මෙසේ අනතුරු ඇඟවූයේ ය: “ආර්ථික බිඳ වැටීමකින් පසු කිසිවක් නොවෙනස්ව නොපවතී; සියල්ල ඇන හිටියි. එබැවින්, ආර්ථිකයක බිඳවැටීම සමාජ දේහයට කෙතරම් විනාශකාරී විය හැකි ද යන්න පිලිබඳ මෑත කාලීන කටුක අත්දැකීමක් අප සැමට තිබේ.”
වර්ධනය වන මෙම තීරනාත්මක තත්වය තුල, කම්කරු පන්තිය තමන්ගේ ම ක්‍රමවේදයන් මත පදනම් ව, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට සූදානම් විය යුතු ය. ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයකට සුදානම් වීම සඳහා කම්කරුවන් සියලු ධනේශ්වර පක්ෂවලින් දේශපාලනික ව බිඳී තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ආරම්භයක් ගත යුතු ය.
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර මැයි දින රැලියේ වීඩියෝව නරඹන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.
