සිය දීමනා කප්පාදුවට එරෙහි ව සඳුදා වැඩ වර්ජනයක යෙදුනු රජයේ මුද්‍රන දෙපාර්තමේන්තුවේ සේවකයෝ, අඟහරුවාදා දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකට් උදඝෝෂනයක යෙදුනහ. සඳුදා වර්ජනයට 1100 ක් පමන වන සේවකයන් සියලු දෙනාම පාහේ ද පසුදින පිකට් උද්ඝෝෂනයට සේවකයෝ 300ක් පමන ද සහභාගී වුහ.
උද්ඝෝෂකයන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසූ ආකාරයට, මෙම වසරේ ජනවාරි මාසයේ සිට විවිධ මට්ටමින් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ඔවුන්ගේ දීමනා කප්පාදු කොට තිබේ. ඔවුන්ට අනුව, මැයි මාසයේ වැටුපෙන් සියයට 75 කප්පාදු කොට ඇති අතර, මෙතෙක් ලබා දුන් නිල ඇඳුම්, දියර කිරි සහ සබන් දීම නතර කොට තිබේ.
වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් මුද්‍රන කම්කරුවන් අතර ආන්ඩුව කෙරෙහි වැඩෙමින් ඇත්තේ, බරපතල විරුද්ධත්වයක් හා කෝපයකි. සේවා හා වැටුප් අයිතිය රැක ගැනීමට රජයේ මුද්‍රනාල කම්කරුවන්ගේ උද්ඝෝෂනයෙන් පිලිඹිඹු වන්නේ ආන්ඩුවේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ එම වෛරය යි.
අඟහරුවාදා විරෝධතාවට සම්බන්ධවූ නම සඳහන් නොකල කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුට මෙසේ පැවසිය: “දීමනාව පොදුවේ සියලුම සේවකයන්ට ගෙවන එකක්. ඒක කප්පාදු කරපු නිසා දැන් ලැබෙන්නේ මුලික වැටුප විතරයි. බැංකු නය ගෙවා ගන්න බැහැ. ලමයි ඉස්කෝලේ යවන්න බැහැ. දුර බැහැර ඉඳල වැඩට එන අය බෝඩිම් වල නතර වෙලා වැඩ කරන්නේ. ඒ අයට බෝඩිම් කුලිය ගෙවා ගන්න බැහැ . බඩුමිල දරාගන්න බැරි විදිහට ඉහල ගිහිල්ල. ආන්ඩුව වැඩ කරන්නේ අයිඑම්එෆ් එක කියන විදිහට. අයිඑම්එෆ් එකට අවශ්‍යවෙලා තියෙන්නේ රාජ්‍ය ආයනතන වහල පුද්ගලික අංශය තර කරන්න. අන්ඩුව ට අවශ්‍ය සේවකයන් ට එපා වෙන විදිහට වැඩකරලා ඔවුන් අස්වෙලා යන තත්වයක් හදන්න'.
රජයේ මුද්‍රනාලයේ කම්කරුවන්ගෙන් සියයට 95 ක් පමන ඡන්දය දුන්නේ මේ ආන්ඩුවට බවත් ජවිපෙ/ජාජබ ඒ ඡන්ද ගත්තේ මහජනයාට බොරු පොරොන්දු දීලා බවත් ඔහු කිවේය: “ලක්ෂ12ට අලුත් කාර් එකක් ගන්න පුලුවන් කිව්වා. සුභ අනාගතයක් හදනවා කිව්වා. ලස්සන ජිවිතයක් ගත කරන්න පුලුවන් කිව්වා. දැන් මොක ද වෙලා තියෙන්නේ? ගොවියට පොහොර නැහැ. මහජනයාට බෙහෙත් නැහැ. රාජ්‍ය සේවකයන්ගේ දීමනා කපල. අතිකාල කපල. මෙහෙම් කොහොම ද මිනිස්සු ජිවත් වෙන්නේ? ගල් අඟුරු වංචාව ඇතුලු හැම එකකින් ම වෙන පාඩුව පටවන්නේ මිනිස්සුන්ගේ උඩට. හැම අතින් ම බදු ගහනවා” ඔහු කෝපයෙන් කිවේය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ගැන ද සඳහන් කල එම කම්කරුවා, එය හැම රටකම මහ ජනතාවගේ ජිවිතවලට බලපාන බව කීවේ ය. “යුද්දෙට කලින් ලංකාවේ ආන්ඩුව කිව්වේ ඇති තරම් තෙල් ස්ටොක් එකක් තියෙනවා කියල. නමුත් එහෙට එක මිසයලය්ක් ගහන කොට මෙහෙ තෙල් හිඟ වුනා. කට ඇරියොත් ආන්ඩුව කියන්නෙම බොරු', ඔහු අවඥාවෙන් පැවසිය.
තිදරු පියෙක් වන තවත් සේවකයෙක් කීවේ, ජීවත්වීම අතිශයින් දුෂ්කරවී ඇති බවයි : “බඩු මිල වැඩි වෙනකොට ජීවන වියදමත් වැඩි වෙනවා. මෙතන සේවකයෝ නොකා නොබී මහන්සිවෙලා වැඩ කරනවා. සමහර මැෂින් අබලන් වෙලා. ඒ වගෙ සද්දේ නිසා කනට හරි අපහසුවක් දැනෙනවා. ඒත් ඒවා දරාගෙන වැඩකරන්නේ කීයක් හරි හම්බ කරගන්න. අවුරුද්දෙන් පස්සේ අපට පඩියක් අතට ලැබුනේ නැහැ. දීමනා කපල. දුන්න පඩියෙන් නයවලට කැපුනට පස්සේ සතයක් වත් ඉතුරු වුනේ නැහැ'.
මෙම වැටුප් කප්පාදුව, රජයේ මුද්‍රන දෙපාර්තමේන්තුව පුද්ගලිකරනය කිරීමට ජවිපෙ/ජාජබ දියත් කර ඇති දැනුවත් සැලැස්මක කොටසකි. අඟහරුවාදා මාධ්‍ය හමුවක දී ජන මාධ්‍ය සහ සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්ස මෙසේ පැවසීය: “රජයේ මුද්‍රනාලයේ පසුගිය ආන්ඩු කාලයේ ඉඳල වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. තවමත් එය නිවැරිදි ක්‍රමයකට ගෙනෙන්න බැරිවෙලා තියෙනවා. මුද්‍රනාලය පවත්වාගෙන යන්නේ භාන්ඩාගාරයෙන් විශාල මුදලක් වැය කරලා. අපට අවශ්‍යයි රජයේ මුද්‍රන කටයුතු කරන අතරේ වානිජ වෙලඳ පොලේ තරඟකාරිත්වයට පිවිසිලා මුද්‍රනාලය ලාභ ලබන තත්වයකට ගෙනෙන්න. පවතින වැටුප් සහ දීමනා ක්‍රමය ඒකට බාධාවක්'.
පවතින වැටුප් ක්‍රමය නිවැරැදි කිරීමට කාලයක් ගතවෙන බව සඳහන් කල ඇමති ජයතිස්ස, මුද්‍රන කම්කරුවන්ගේ වර්ජනය පිටුපස දේශපාලන උසිගැන්වීම් තිබෙන බවට තර්ජනාත්මක චෝදනාවක් කලේ ය. “වර්ජනය කරලා හරියන්නේ නැහැ. මම දන්නවා ඔතන දේශපාලන උසිගැන්වීම තියෙනවා කියලා” ඔහු එහිදී සඳහන් කලේ ය.
ඔහුගේ ප්‍රකාශවල අර්ථය කම්කරුවන්ගේ පඩි කැපීමේ ප්‍රශ්නයට කිසිදු විසඳුමක් ආන්ඩුවෙන් නොලැබෙන බවයි. ලාභ ලැබීමට සුදුසු අලුත් වැටුප් ක්‍රමය කුමක් ද යන්න ගැන ඔහු පැවසුවේ නැතත්, එහි තේරුම පඩි කැපීම ආන්ඩුවේ සැලැස්ම බවත්, එමගින් පුද්ගලික ගැනුම් කරුවෙකුට මුද්‍රනාලය විකිනීමට ආන්ඩුව සැලසුම් කරන බත් ය.
කම්කරුවන්ගෙන් ප්‍රකාශ වූ පරිදි, පසුගිය සියලු ආන්ඩු සමයන්හි පටන් ගත් පරිදි ආයතනයෙන් කෙරුනු මුද්‍රන කටයුතු පුද්ගලික අංශයට පැවරීම දිගට ම සිදුවේ. මුද්‍රනාලය දැන් පන අදිමින් අබලන් යන්ත්‍රසුත්‍ර වලින් දිවෙන ආයතනයක් බවට පත් ව තිබේ. ආන්ඩුවට අයත් ව්‍යවසායක් ලෙස සැලකෙන රජයේ මුද්‍රනාලය ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පුද්ගලීකරනයට නියම කර ඇති ආයතන වලින් එකක් බවට සැක නැත. ආන්ඩුවේ මුලික අවධානය මුද්‍රනාලය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්නේ කෙසේ ද යන්න බවට ඇමති ජයතිස්ස කර ඇති ප්‍රකාශය අනතුරු ඇඟවීමකි. එසේ කල නොහැක්කේ නම් ආයතනය වසා දැමීමට වුව ආන්ඩුව නොපැකිලෙනු ඇත.
මුද්‍රනාලයේ අනෙක් පක්ෂවලට අයත් වෘත්තීය සමිති කම්කරුවන් උසිගැන්වීම උද්ඝෝෂන වලට හේතු වී ඇතැයි ඇමති ප්‍රකාශ කර ඇත. ඔහු කියන්නේ පඩිය කැපුවත් කම්කරුවන් ඉවසා සිටිය යුතු බවයි. ඔහු ද නායකත්වයේ සිටින ජනතා විමුක්ති පෙරමුනට අයිති මුද්‍රනාලයේ සමිතිය කරන්නේ එසේ පඩි කැපීම ඉවසා සිටින ලෙස කම්කරුවන්ට කියා සිටීම යි. ජවිපෙ ආන්ඩුව බලයට ඒමට ආසන්න කාලයේ සිටම එහි වෘත්තීය සමිති වලට වැඩ වර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවල යෙදීම තහනම් කර ඇත.
මුද්‍රනාලයේ අනෙක් සමිති, විරුද්ධ පක්ෂ වල ඒජන්ත නිලධරයක් විසින් පාලනය කෙරෙයි. ඔවුන් මේ උද්ඝෝෂන වල යෙදෙන්නේ, කම්කරුවන් අතර විරෝධය දියකර දමා ආන්ඩුවේ වැඩපිලිවෙලට උදව්කාරක වන අන්දමින් ක්‍රියා කිරීමෙනි.
මෙම සමිති නායකයින් පසුගිය මාස හතර තුල ඇමති ජයතිස්ස සමග සාකාච්ඡා කරමින් අරගලයක් සංවිධානය කිරීම දැනුවත් ව ම මඟහැරී අතර, ජනාධිපති දිසානායක ට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට ආයාචනා කිරීමෙන් සහ බලපෑම් දැමීමෙන් වැටුප් කප්පාදුව සහ පුද්ගලිකරනය නතර කලහැකි බවට බරපතල මිත්‍යාවක් කම්කරුවන් අතර පතුරවයි.
අඟහරුවාදා විරෝධතා උද්ඝෝෂනයෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයන්ගේ කතා තුලින් එය මැනවින් පැහැදිලි විය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරන ජාතික මුද්‍රනාල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජි.එස්.ආර්. ප්‍රනාන්දු “ආන්ඩුව ප්රශ්නය විසඳුවේ නැත්නම් ඉදිරයේ දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවට” බොරු කයිවාරුවක් ගැසීය.
'මේ අන්ඩුව අයිඑම්එෆ් ක්‍රියාමාර්ගය ක්‍රියාවට දාලා රජයේ මුද්‍රනාලය වහන්න උත්සාහ කරනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් රජයේ මුද්‍රනාල පොදු ජන ප්රගතිශීලි සේවක සංගමයේ සභාපති නිමල් චන්ද්‍රසිරි ද ඒ හා සමාන පුච්චානමක් දෙඩීය. තවත් සමිතියක් පාලනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසිනි.
මේ පක්ෂ ද ඒවාට සම්බන්ධ වෘත්තීය සමිතිවල නායකයන් සියල්ලෝම ද පුද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) සියලු කප්පාදු පියවරට මුලුමනින් ම සහාය දෙන්නෝ වෙති. බලයේ සිටින විට මේ පක්ෂ අයිඑම්එෆ් නියෝග ක්‍රියාවට දැමීම කලේ, කම්කරුවන්ගේ අරගල පොලිස් මර්දනයට ලක්කරමිනි. මුද්‍රනාලය ගෙන යා නොහැකි නම්, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ දීමනා ක්‍රමයක් ක්‍රියාවට දමා කම්කරුවන් ඉවත් කරන ලෙස ප්‍රචාරයක් ද ඇතැම් සමිති නායකයෝ ගෙන යති.
කම්කරුවන් තම රැකියා සහ වැටුප් අනතුරේ හෙලන මෙම සියලු සමිතිවල හා පක්ෂවල ක්‍රියාමාර්ග සහ ප්‍රචාර ප්‍රතික්ෂේප කල යුතු ය. අරබුදයක කිඳී යන ධනපති ක්‍රමය තුල කිසිම රටක කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා ජීවන් කොන්දේසි සුරක්ෂිත නැත. ඉරානය ට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් සාපරාධි යුද්ධයෙන් ලංකාවේ අර්බුදය වැඩිදියුනු කර ඇති තත්වය තුල අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම වේගවත් කර ඇත.
ධනපති කොම්පැනි හා ඒවායේ ආරක්ෂකයන් වන ධනපති ආන්ඩු, කම්කරුවන්ගේ අයිතීන් වඩවඩාත් ඉහල ලාභ සුරා කෑමට යටත් කර තිබේ. ලංකා විදුලිබල මන්ඩලය ගිය අවුද්ද්දේ සිට පුද්ගලීකරනයට යටත් කරෙමින් සමාගම් හයකට බෙදා ඇති අතර එහි සේවකයන් රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි පිලිබඳ අවිනිශ්චිත තත්වයක ට ඇද දමා ඇත.
නායකයන් විසින් වෘත්තීය සමිති, ආන්ඩුවේ හා සමාගම්වල උපකරන බවට පත්කර ඇති තත්වය තුල, ඒවා මගින් මුද්‍රනාල කම්කරුවන්ට හෝ කම්කරු පන්තියේ කවර කොටසකටවත් තම අයිතීන් සඳහා සැබෑ අරගලයක් කල නොහැකිය. ඒ සඳහා කම්කරුවන්, සමිති නිලධරයට සහ ධනපති පක්ෂ ඒජන්තයන්ට ඇතුල්වීමට ඉඩ නොදෙමින්, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගෙන අයිඑම්එෆ් කප්පාදුවට එරෙහිව සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහිව පොදු අරගලයක් සංවිධානය කල යුතු ය. වෘත්තීය සමිති නායකයන්ගේ රැවටිලි කතා ප්‍රතික්ෂේප කරමින් කම්කරුවන් මේ මුලිකත්වය ගැනීම අවශ්‍ය ය.
ධනපති ක්‍රමය තුල හා ජාතික රාජ්‍ය රාමුව තුල, කම්කරු පන්තියට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැක. මෙම අරගලයේ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ සගයින් වන්නේ ප්‍රධාන ධනේශ්වර රටවල මෙන් ම, පසුගාමී රටවල ද ධනේශ්වර අර්බුදයේ බර තමන් මත පැටවීමට එරෙහි ව අරගලයට පැමින ඇති ජාත්‍යන්තර කම්කරු පන්තියයි.
සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන මෙම වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡාවට එලැඹෙමින් මුලිකත්වය ගන්නා ලෙස අපි මුද්‍රනාලයේ හා අනෙකුත් තැන්වල කම්කරුවන්ගෙන් ඉල්ලමු.
වැඩිදුර කියවන්න
- යුද්ධයේ බිහිසුනු ප්‍රතිවිපාක සමග වැඩෙන ආර්ථික අර්බුදය මැද, ජවිපෙ/ජාජබ ආන්ඩුව මහජනයා මත තවත් ප්‍රහාර දියත් කිරීමට සූදානම් වෙයි
- ආන්ඩුව නව බදු සූදානම් කරද්දී, ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය ශ්‍රී ලංකාවේ ජීවන වියදම තව තවත් ඉහල නංවයි
- ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැඩ කරන ජනතාවට එරෙහිව “ආර්ථික යුද්ධයක්” ප්‍රකාශ කිරීමට යුද සැමරුම යොදා ගනී
