යුද්ධයේ බිහිසුනු ප්‍රතිවිපාක සමග වැඩෙන ආර්ථික අර්බුදය මැද,  ජවිපෙ/ජාජබ ආන්ඩුව මහජනයා මත තවත් ප්‍රහාර දියත් කිරීමට සූදානම් වෙයි

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ඇති වූ ඉන්ධන ඇතුලු ඛනිජ සම්පත් මිල ඉහල යාම හේතුවෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය, ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම් තීව්‍ර කරමින් ද ජීවන තත්වයන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් ද පවතී. වැඩෙන අර්බුදය පිලිබඳ ව ආන්ඩුව සහ ධනේශ්වර ප්‍රභූව තුල නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

 “ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයට මුහුන දීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින” බව අවධාරනය කරමින්, තවත් ආර්ථික කඩා වැටීමක් සිදු නොවන බව 20දා නැගෙනහිර මඩකලපුවේ පැවති මහජන රැස්වීමක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පොරොන්දු වූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. රුපියල පීඩනයට ලක් ව ඇති බව ඔහු පැවසුවේ, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව එහි අවප්‍රමාන වී ඇති බව පෙන්වා දෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක (20) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීමට සහභාගී වෙමින් [Photo: facebook.com/anurakumara]

ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) සමඟ කටයුතු කරමින් සිටින බවත්,  යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසී ය. ඉන්ධන පරිභෝජනය අඩු කිරීම, ආනයන සීමා කිරීම සහ සමස්ත ආනයන පිරිවැය අඩු කිරීම යෝජනා අතර වේ.

රුපියල අවප්‍රමානය වීම පෙන්වා දෙමින්, අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිනීම් සියයට 29 කින් පහත වැටීම සහ පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 98 සිට මැයි මාසයේ දී ඩොලර් මිලියන 522 දක්වා ඉන්ධන ආනයන පිරිවැය ඉහල යාමේ කාරනය ඔහු උපුටා දැක්වී ය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි කොහොමද රටින් එලියට ගලා යන ඩොලර් ප්‍රමානය අඩු කර ගැනීම සඳහා තනි තනි ව මැදිහත්වන්නේ කියලා කල්පනා කරන්න කියා මම සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම කෙටිකාලීන අර්බුදයට අපි ශක්තිමත්ව මුහුන දෙමු.”   ආන්ඩුව “පැරනි විනාශකරී ආර්ථික තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සහතික වෙනවා ” යැයි ඔහු කීවේ ය.

අතීත විනාශය නැවත ඇති නොවන බවට ඔහු දුන් පොරොන්දු, ව්‍යාජ බලාපොරොත්තු ඇති කර ගැනීම සහ වැඩෙන මහජන කෝපය සංසිඳුවීම අරමුනු කර ගෙන ඇත. “ශක්තිමත් ව එයට මුහුන දෙමු” යන ඉල්ලීම, යථාර්ථයේ දී, ජනතාව දැඩි කප්පාදු පියවර සඳහා සූදානම් විය යුතු බවට කරන ඉල්ලීමකි.

පෙර වසරේ ආර්ථික බිඳවැටීම ජනතාවගේ ජීවිත විනාශ කිරීමෙන් පසු 2023 දී කුරිරු කප්පාදු පියවරයන් නියම කල අයිඑම්එෆ් ආයතනය උපදෙස් දෙනු ඇත්තේ, කම්කරුවන් සහ දුප්පතුන් බේරා ගැනීමට නොව, ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් පියවර ගැනීමට ය.

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 3 ක ඇපකරයේ ඊලඟ ඩොලර් මිලියන 700 ක වාරිකය සඳහා සුදුසුකම් රඳා පවතින්නේ විදුලිය සහ ඉන්ධන සඳහා වැයවෙන පිරිවැයට සරිලන ආකාරයට ගාස්තු නියම කිරීම නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මත යැයි,  පසුගිය සතියේ අයිඑම්එෆ් ප්‍රකාශකයෙක් යලි අවධාරනය කලේය. “පිරිවැය-ප්‍රතිබිම්බාත්මක මිලකරනය” යන්නෙහි තේරුම නම්, ඉන්ධන මිල වැඩිවීමේ සම්පූර්න බර ජනතාව විසින් දැරිය යුතු බවයි.

ආන්ඩුව, “පැරනි විනාශකරී ආර්ථික තත්ත්වයක් අපේ රටේ ඇති වීමට කිසිසේත් ම ඉඩ නොදෙන බවට” ජනාධිපතිවරයා කල සඳහන ශ්‍රී ලංකාවේ 2022 ආර්ථික බිඳවැටීම ගැන ය. එහි දී, පැය ගනන් විදුලි කප්පාදු ද සමග ඉන්ධන, ආහාර හා ඖෂධ අහස උසට නැංවීමට හා ඒවායේ දරුනු හිඟයකට හේතු වෙමින් ද ආනයන එක්කෝ කපා දමමින් නැතහොත් මුලුමනින්ම අත්හිටුවමින් ද රටේ සංචිත සීග්‍රයෙන් කඩා වැටෙන තත්වයකට රට මුහුන දුන්නේ ය.

මෙම දරාගත නොහැකි තත්වය,  එම වසරේ අප්‍රේල් මාසයේ සිට රට පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන්, ග්‍රාමීය දුප්පතුන් සහ තරුනයින් සම්බන්ධ වූ මාස හතරක මහජන නැගිටීමකට හේතු විය. ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව බිඳවැටී, ඔහු බලයෙන් ඇද වැටීමත් සමඟ මහජන අරගලය අවසන් විය.

ඉන්ධන සහ විදුලිය සඳහා රජයට තවදුරටත් පාඩු දරාගත නොහැකි බව දිසානායක මීට පෙර අනතුරු ඇඟවීය. ඩීසල් ලීටරයකට ඇත්තටම රුපියල් 720 ක් (ඇමරිකානු ඩොලර් 2.09) ක් ගෙවන නමුත් පාරිභෝගිකයින්ට එය ලබා දෙන්නේ රුපියල් 392කට ම පමනක් බව ඔහු කියා සිටියේ, භාන්ඩාගාරයට සහනාධාර ලබා දීම දිගට ම කරගෙන යා නොහැකි අවධාරනය කරමිනි.

එ මෙන් ම මහබැංකුව අනතුරු ඇඟවූයේ, වසර හතරකට පසු පලමු වරට 2026 දී රට ජංගම ගිනුමේ හිඟයකට මුහුන දීමට ඉඩ ඇති බවයි. ප්‍රධාන වශයෙන් ඉහල යන තෙල් මිල සහ ආනයන පිරිවැය ඉහල යාම හේතුවෙන්, “මෙම වසරේ (ආයෝජන) පිටතට ගලායාම, ගලා ඒම්වලට වඩා වැඩි වනු ඇති” බව නියෝජ්‍ය මහ බැංකු අධිපති චන්ද්‍රනාත් අමරසේකර පිලිගත්තේ ය.

සංඛ්‍යාලේඛන බිය උපදවන සුලු ය. රජය සතු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 2025 මුලු වසර සඳහා ම ඉන්ධනය ආනයය සඳහා වැය වී ඇත්තේ ඩොලර් බිලියන 1.5 ක් පමනක් වුවත්,  2026 මුල් මාස හතර තුල ඒ සඳහා දැනටමත් ඩොලර් බිලියන 1 කට වඩා වියදම් කර ඇත.

ඒ සමඟම, රුපියල තියුනු ලෙස පහත වැටෙමින් පවතින අතර, ජනවාරි සිට මැයි දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 4.8 කින් අවප්‍රමානය වෙමින් ආනයනික සියලුම භාන්ඩවල මිල ගනන් තියුනු ලෙස ඉහල යාමට හේතු වී තිබේ.

විදේශ සංචිත පිටතට ගලා යාම නැවැත්වීමට මංමුලා සහගතව, ආන්ඩුව පසුගිය සතියේ වාහන ආනයන සඳහා සියයට 50 ක අධිභාරයක් පැනවූ අතර තවදුරටත් ආනයන සීමා කිරීම් සලකා බලමින් සිටී. නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහජනයාගෙන් ඉල්ලා සිටියේ,  ඉන්ධන පරිභෝජනය අඩු කර “ඔබේ පුද්ගලික ඉන්ධන භාවිතය පිරිමසා ගන්නා” ලෙසයි.

ඉරාන යුද්ධය නිසා ඇති වූ ගෝලීය බලශක්ති කම්පනවලට ප්‍රතිචාර ලෙස, ආන්ඩුව පෙබරවාරි මාසයේ සිට ඉන්ධන මිල සියයට 40 කින් පමන වැඩි කර ඇති අතර, ගෑස් මිල සියයට 31 කින් සහ විදුලි ගාස්තු සියයට 32 කින් ඉහල නංවා තිබේ. මෙම වැඩිවීම්,  භාන්ඩ හා සේවා සඳහා මිල ඉහල යාමේ දාම ප්‍රතික්‍රියාවක් නිර්මානය කර ඇත. ජුනි මස අවසානයේ දී ජල ගාස්තු ද ඉහල යාමට නියමිත ය.

මෙම වැඩිවීම් දැනටමත් ඉහල යන ජීවන වියදම්, එකතැන පල්වෙන වැටුප් සහ විරැකියාවෙන් මිරිකී සිටින කම්කරුවන්ට සහ දුප්පත් පවුල්වලට විනාශකාරී වනු ඇත. ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 22 ක් දරිද්‍රතා රේඛාවට පහලින් සහ තවත් සියයට 10 ක් ඊට මඳක් ඉහලින් ජීවත් වූ බවත්, ජනගහනයෙන් අඩකට වඩා ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දී ඇති බවත්, පසුගිය වසරේ ලෝක බැංකුව ඇස්තමේන්තු කලේ ය. ආන්ඩුව දැන් නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,658 සිට රුපියල් 16,690 දක්වා (ඇමරිකානු ඩොලර් 48.47) ඉහල නංවා තිබේ. මෙම අගයේ අර්ථය වන්නේ,  එය අයෙකුට යාන්තමින් අවම ජීවන වියදමවත් දරා ගැනීමට එම මුදල අවශ්‍ය බවයි. 

ඉන්ධන භාවිතය අඩු කිරීමට, පරිභෝජනය අඩු කිරීමට සහ පටි තද කර ගැනීමට කම්කරුවන්ට නියම කල ද, ආන්ඩුව මහා ව්‍යාපාර, බැංකු සහ සංස්ථා වල දැවැන්ත ලාභ ආරක්ෂා කරමින් සිටී. 2026 පලමු කාර්තුවේ ශුද්ධ ලාභය වසරින් වසර දෙගුන වී රුපියල් බිලියන 9.6 (ඇමරිකානු ඩොලර් මිලියන 29) දක්වා ඉහල ගොස් ඇති බව ටෙලිකොම් දැවැන්තයෙකු  වන ඩයලොග් ආසියාටා සඳුදා වාර්තා කලේ ය.

ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය විසින් කරන ලද සමීක්ෂනයකින් හෙලි වූයේ, රටේ අලෙවි කරන ඉන්ධනවලින් සියයට 70 ක් පමන පරිභෝජනය කරන්නේ සමාජයේ ධනවත් ම සියයට 30 විසින් බවයි. මෙම සොයාගැනීමෙන්  පෙනී යන්නේ,  ශ්‍රී ලංකාවේ ඉන්ධන සහනාධාර දුප්පතුන්ට වඩා,  ඉහල ආදායම් ලබන නිවාසවලට අසමාන ලෙස ප්‍රතිලාභ ලබා දෙන බවයි.

වැඩිවන සමාජ කෝපය නිසා පාලක ප්‍රභූවේ කොටස් පැහැදිලි ව ම කලබල වී සිටී. ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාගේ වාර්තාවකින් ජවිපෙ/ජාජබ  නායකත්වය තුල තියුනු අභ්‍යන්තර ආරවුල් හෙලි විය. පුලුල් “ජාතික රජයක්” පිලිබඳ සාකච්ඡා පවත්වමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආන්ඩුවට එන ලෙස ආරාධනා කිරීමට පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් යෝජනා කල බව වාර්තා වේ.

පාලක පක්ෂය හෝ කිසිදු විරුද්ධ පක්ෂයක් මෙම වාර්තා ප්‍රතික්ෂේප කර නොමැති අතර,  එවැනි සූදානමක්  සිදු වෙමින් පවතින බව  මෙහි ඇඟවුම යි. ඔවුන්ගේ පාලනය විප්ලවවාදී නැගිටීමකින් තර්ජනයට ලක් වූ සෑම අවස්ථාවක ම ඔවුන් තම ව්‍යාජ එදිරිවාදිකම් පසෙක ලා අත්වැල් බැඳ ගැනීමේ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂවලට තිබේ. සමස්ත ධනේශ්වර සංස්ථාපිතය ම පෙරලා දැමීමට තර්ජනය කල 2022 මහජන නැගිටීම අතරතුර මෙය සිදුවූයේ මෙය යි.  මහජන අරගලය මධ්‍යයේ, දේශපාලන තත්වයට කම්කරු පන්තියේ ඕනෑ ම ස්වාධීන මැදිහත්වීමක් අවහිර කිරීමට සූදානම ඇතිකර ගන්නා ලෙස ධනේශ්වර ප්‍රභූවට “අරාජකවාදය” (ඔහු ඇත්ත වශයෙන්ම අදහස් කලේ විප්ලවවාදී නැගිටීමක්) පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කලේ මේ  දිසානායක මිස අන් කිසිවෙකු නොවේ.

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුලු සියලු ම ධනේශ්වර පක්ෂ, වර්ධනය වන මහජන අතෘප්තිය ගසා කෑම සඳහා ආන්ඩුව ගැන ව්‍යාජ විවේචන ඉදිරිපත් කරන අතර, අයිඑම්එෆ් ප්‍රතිපත්තිවලට ඔවුන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම කන්ඩායම් ද ඒ හා සමාන ව බංකොලොත් ය. 2022 නැගිටීම අතරතුර, ඔවුන් ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනයට මහජන විරෝධය යටත් කිරීමට සහ ස්වාධීන කම්කරු පන්ති ක්‍රියාමාර්ග අවහිර කිරීමට ක්‍රමානුකූල ව කටයුතු කලහ.

කම්කරුවන්ට එරෙහි ව එල්ල වන ප්‍රහාර උත්සන්න කෙරී තිබුන ද, ආන්ඩුවට එරෙහි ව කම්කරු පන්තියේ බලමුලු ගැන්වීමක් ඇතිවීමේ හැකියාව ගැන බියෙන්, වෘත්තීය සමිති එකදු විරෝධතාවක් සඳහා හෝ සාමාන්‍ය කම්කරුවන්ගෙන් නැගෙන ඉල්ලීම් යටපත් කිරීමට කැප ව සිටී.

ශ්‍රී ලංකාවේ දිසානායක මෙන්, ඉන්දියාවේ, පකිස්ථානයේ, බංග්ලාදේශයේ සහ කලාපයේ අනෙකුත් රටවල නායකයින් ද ගැඹුරු වන ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ එක ම ආකාරයකටය: එක් අතකින්, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට කොන්දේසි විරහිත ව සහාය ලබා දීම; අනෙක් අතට, යුද්ධයේ බර සෘජු ව ම කම්කරු පන්තිය සහ පීඩිතයන් මත පැටවීම.

කම්කරු පන්තිය දැන් තීරනාත්මක ප්‍රශ්නයකට මුහුන දී සිටී: මෙම ප්‍රහාරවලට එරෙහි ව පෙරලා සටන් කරන්නේ කෙසේ ද? ආන්ඩුවට එරෙහි ඕනෑ ම ස්වාධීන කම්කරු පන්ති අරගලයකට සතුරු එ මෙන් ම,  ජීවන තත්වයන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් ව්‍යාජ-වාම සංවිධාන හෝ වෘත්තීය සමිති යන්ත්‍රය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැක.

2022 මැද භාගයේ පැවති මහජන නැගිටීමේ දී, කම්කරු පන්තිය සහ ගම්බද දුප්පතුන් ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා සටන් කරමින්, සමාජවාදී සමානතා පක්ෂය (සසප), රට පුරා වැඩබිම්, වතුකරය, රෝහල්, විශ්ව විද්‍යාල සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටුවලින් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වූ නියෝජිතයින්ගෙන් සමන්විත, කම්කරුවන් හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් පිහිටුවීමට ඉල්ලා සිටියේ ය. එවැනි සම්මේලනයක්, ජීවන වියදමට සම්බන්ධ සම්පූර්න වැටුප් දර්ශකයක්, පුද්ගලීකරනය අවසන් කිරීම, අයිඑම්එෆ් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ගෙවිය යුතු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, ප්‍රධාන සංස්ථා සහ බලශක්ති අංශය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීම සඳහා සටන් වදින වැඩසටහනක් ඉදිරිපත් කල යුතු ය.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් සටන් කරන්නේ තනි ව ම නොවේ. ඔවුන්ගේ අරගලය කප්පාදු, අධිරාජ්‍යවාදී යුද්ධය සහ දිරාපත් වන ධනේශ්වර ක්‍රමයක ම්ලේච්ඡත්වයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය නැගිටීමක කොටසකි. ලෝක සමාජවාදය සඳහා පුලුල් අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී පරිවර්තනයක් සඳහා සටන් කරන එක ම පක්ෂය වන සසපයට එක්වන ලෙස කම්කරුවන්, තරුනයින් සහ සටන් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading