[මෙය Workers and students in northern Sri Lanka oppose the US-Israeli war against Iran යන මැයෙන් 2026 ජූනි 01 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය පිලිබඳව යාපනයේ පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීම වෙනුවෙන්, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයෝ සහ ආධාරකරුවෝ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ කම්කරුවන්, සිසුන්, කුඩා වෙලඳුන්, ගොවීන් සහ ධීවරයින් අතර උද්ඝෝෂනයක නිරත වෙමින් සිටිති.
“ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල සාපරාධී යුද්ධය නවත්වනු” යන මැයෙන් පැවැත්වෙන මෙම රැස්වීම ජුනි 9 වන අඟහරුවාදා සවස 4 ට යාපනයේ YMCA ශාලාවේ දී පැවැත්වේ. සසප/සසජාතශි සංවිධානය විසින් එම තේමාව යටතේ සංවිධානය කරන ලද විරෝධතාවක් ජුනි 8 වන සඳුදා සවස 4 ට යාපනය බස් නැවතුම්පොල අසලදී පැවැත් වේ.
යාපනයේ රැස්වීම පැවැත්වෙන්නේ, කොලඹ, පේරාදෙනිය, වතුකරයේ හැටන් සහ දකුනු ප්‍රදේශයේ මාතර නගරයේ පැවැත්වුනු රැස්වීම්වලින් පසු ව ය. මෙම සිදුවීම් ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් වූ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් දියත් කරන ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසකි.
සසප සහ සසජාතශි උද්ඝෝෂකයෝ, චුන්නාකම්, යාපනය විශ්ව විද්‍යාලය, කිලිනොච්චි සහ කයිට්ස් දූපත ඇතුලු විවිධ ප්‍රදේශවල කම්කරුවන්, තරුනයින්, ගොවීන් සහ ධීවරයින් සමඟ පුලුල් සාකච්ඡා පැවැත්වූහ. සාකච්ඡා තුල දී, ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව මෙහෙයවන යුද්ධය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උත්සන්න වන මිලිටරිවාදය, චීනයට සහ රුසියාවට එරෙහි පුලුල් ගැටුමකට සූදානම් වීම සහ යුද්ධයට හේතු වන සහ එමඟින් තීව්‍ර වන ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය කෙරෙහි අවධානය යොමු කෙරුනි.
ට්‍රම්ප් පරිපාලනය, ඉරානය සමඟ වංචනික සාකච්ඡා ක්‍රියාවලියක නියැලී සිටින අතරතුර, රටට එරෙහි ව යුද ප්‍රකෝප කිරීම් උත්සන්න කරමින් සිටී. ඒ සමඟම, ඊශ්‍රායලය ලෙබනනයට නිර්දය ලෙස බෝම්බ හෙලමින් ද, ගාසා තීරය නිත්‍ය වශයෙන් ම අත්පත් කර ගැනීමට පියවර ගනිමින් ද සිටී. ට්‍රම්ප්ගේ සාකච්ඡා පිලිබඳව බොහෝ දෙනෙකුට මායාවන් පැවති නමුත්, සසප/සසජාතශි උද්ඝෝෂකයින් සාකච්ඡාවල වංචනික ස්වභාවය පැහැදිලි කරමින්, එක්සත් ජනපදයට, ඕනෑ ම වේලාවක ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කල හැකි බවට අනතුරු ඇඟවී ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයක් දියත් කිරීමට තල්ලු කර ඇත්තේ ධනවාදයේ ම අර්බුදය බව ඔවුහු පෙන්වා දුන්හ.
සසප සහ සසජාතශි සමඟ කතා කල අය, දැනටමත් ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල යාම සහ විදුලි බිල්පත් ඉහල යාම වැනි යුද්ධයේ විනාශකාරී ගෝලීය ප්‍රතිවිපාකවලින් පීඩා විඳිමින් සිටිති. එපමනක් නොව, උතුරේ දෙමල ජනතාව, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩුවල, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි, දශක තුනක වාර්ගික යුද්ධයේ විනාශකාරී අත්දැකීම් අත්විඳ ඇත.
ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවරයන්ට අමතර ව, වැඩ කරන ජනතාව මත ආර්ථික බර පටවන අතරතුර, එක්සත් ජනපදය ප්‍රමුඛ යුද්ධයට සහාය දක්වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ භූමිකාව ද උද්ඝෝෂකයින් විසින් හෙලිදරව් කරන ලදී. පසුගිය සති අන්තයේ, ආන්ඩුව නැවතත් ඉන්ධන මිල වැඩි කලේ ය.
සසප සහ සසජාතශි සාමාජිකයෝ, දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා නියෝජනය කරන දෙමල ධනේශ්වර ජාතිකවාදී පක්ෂවල අධිරාජ්‍ය ගැති දේශපාලනය පැහැදිලි කලහ. එයට දැඩි විරෝධය පල කරන සිසුන්ට වඩා තියුනු ලෙස වෙනස් ලෙස, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය, එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට නිහඬ ව සහාය දෙන දෙමල ජාතිකවාදී පක්ෂවල දේශපාලනය බෙදා ගනී.
කලා අංශයේ අවසන් වසරේ සිසුවෙකු වන කන්දසාමි විනෝදන් මෙසේ පැවසී ය: “ඇමරිකානු අධිරාජ්‍යවාදයට ලෝක ආධිපත්‍යය අවශ්‍යයි; මැද පෙරදිග යුද්ධ කරමින් ඉන්නෙ ඒ නිසා. නමුත් අපි යුද්ධයට විරුද්ධයි; එය නැවැත්විය යුතු ම යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපීය සංගමය යුද්ධයට සහාය දෙන බැවින්, එය නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලලා පලක් නෑ.”
යුද්ධ නතර කරන්නේ කෙසේ ද යන්න පිලිබඳව තමාට මීට පෙර දේශපාලන ඉදිරිදර්ශනයක් නොතිබූ නමුත්, සසප සමඟ මේ කාරනය සාකච්ඡා කිරීමෙන් පසු, ඊට එක ම විසඳුම ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම බව දැන් ඔහු විශ්වාස කරයි.
කිලිනොච්චියේ පදිංචි 45 හැවිරිදි සුලු වෙලෙන්දෙකු වන එස්. ධර්මසීලන්, ඉහල යන මිල ගනන් හේතුවෙන් තම කුඩා සිල්ලර ව්‍යාපාරය කඩා වැටී ඇති ආකාරය පැහැදිලි කලේ ය. “ඉන්ධන මිල අහස උසට නැඟලා; ආහාර මිල දිනෙන් දින ඉහල යමින් තියෙන්නෙ. මේකට වග කියන්න ඕනෑ ඇමරිකා එක්සත් ජනපදය. රුපියල් 14,400 ක් වෙච්ච වියලි මිරිස් මල්ලක් දැන් රුපියල් 26,500 ක්. කිරිපිටි මිල ආයෙ ඉහල ගිහින්. මිනිසුන්ට මුදල් නෑ. පඩි දවසෙ කම්කරුවන්ට මිලදී ගන්න පුලුවන් වෙන්නෙ ඕනෑ කරන බඩු වලින් කීපයක් විතරයි.
“මට ආබාධිත දරුවෙක් ඇතුලු ව ලමයි හතර දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ මාසික අධ්‍යාපන වියදම් සඳහා විතරක් රුපියල් 10,000 කට වඩා යනවා. පෝෂ්‍යදායී ආහාරවල මිල දරාගත බැරි තැනට ඇවිල්ලා. මාලු කිලෝවක් රුපියල් 1,800 ත් 2,000 ත් අතර ප්‍රමානයකට ඉහල ගිහින්; හරක් මස් රුපියල් 2,500ක් විතර වෙනවා.”
ජවිපෙ/ජාජබ ආන්ඩුව හෙලා දකිමින් ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “මේ ආන්ඩුව මැතිවරන සමයේ දී බොහෝ පොරොන්දු දුන්නත්, දැන් අපට පේන විදිහට මේකත් කලින් ආන්ඩු වගේ ම තමයි. සාමාන්‍ය ජනතාවට විසඳුම් නෑ.”
යුද විරෝධී ව්‍යාපාරයක් සහ ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා වන සසප කැඳවුමට සහාය දක්වමින් ධර්මසීලන් මෙසේ ප්‍රකාශ කලේය: “අපි එකමුතු වී මෙම යුද්ධය නැවැත්විය යුතුයි. ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය නතර නොකලොත්, අපි කුසගින්නෙන්, සාගතයෙන් සහ යුද්ධයෙන් විනාශ වනු ඇති.”
පුංගුඩුතීව්හි පදිංචි 26 හැවිරිදි ධීවරයෙකු වන කේ. ඩිලස්සන් පැවසුවේ, පැරනි නය ගෙවීම සඳහා ද මිනිසුන්ට මුදල් නයට ගන්නට සිදු ව ඇති බවයි. ඉන්ධන මිල ඉහල යාම පිලිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසී ය: “[දිනපතා රැකියාව සඳහා] යාපනයට යන සාමාන්‍ය කම්කරුවෙකු තම වැටුපෙන් වැඩි කොටසක් වැය වෙන්නෙ ඉන්ධන වලට. අපි ධීවර කර්මාන්තයෙන් රුපියල් 20,000 ක් උපයා ගත්තත්, එයින් අඩක් පමන භූමිතෙල් සහ යන්ත්‍රෝපකරන අලුත්වැඩියාවන් සඳහා වැය වෙනවා. මීට පෙර, පවුලකට දිනකට ජීවත් වීමට රුපියල් 1,000 ක් ප්‍රමානවත් වූ නමුත්, දැන් එය [පවුලේ අයට] එක ආහාර වේලකටත් මදි.”
කුඩා රෙදිපිලි වෙලෙන්දෙකු වන එස්. ජෝසප් ඥානරත්නම් එකහෙලා යුද්ධය හෙලා දකිමින් මෙසේ පැවසී ය: “මේ යුද්ධය භයානකයි. අපි හැමෝ ම එයින් පීඩාවට පත් වෙලා. ඒක නැවැත්විය යුතුම යි.”
එල්ටීටීඊයට එරෙහි කොලඹ සිවිල් යුද්ධයේ දී ඔහු ලැබූ අත්දැකීම් සිහිපත් කලේ ය: “1998 දී, ඒවා ගෙන ගිය නෞකාවට පහර දුන් විට, මට රුපියල් මිලියන 1.5 ක් වටිනා භාන්ඩ අහිමි වුනා. ආර්ථික සම්බාධක, ඉන්ධන සහ විදුලි හිඟය සහ මිල ඉහල යාම අපට අත්විඳින්නට සිදු වුනා. ඉරානයට එරෙහි යුද්ධයේ බලපෑම ඊටත් වඩා දරුනු වේවි.”
තවත් ව්‍යාපාරිකයෙක් පැවසුවේ, මෙම යුද්ධය එක්සත් ජනපදයේ ධනවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කරගෙන යන එකක් බවයි. “ඊශ්‍රායලය ඔවුන්ට තෙල් සම්පත් අත්පත් කර ගැනීමට උදව් කරමින් ඉන්නෙ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැර අන් කිසිවක් මිල දී ගැනීමට ජනතාව අසමත් නිසා අපගේ ව්‍යාපාර කඩා වැටෙමින් තිබෙනවා.” දෙමල පක්ෂ හෙලා දකිමින් ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “දෙමල පක්ෂ සැම විට ම එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් සමඟයි ඉන්නෙ. ඔවුන්ගේ දේශපාලනය ඒකයි.”
සසප වැඩපිලිවල පිලිබඳ සාකච්ඡාවකින් පසු, සාප්පු හිමියෙකු වන එම්. රිෂ්මි මෙසේ ප්‍රකාශ කලේ ය: “ඉරානයට එරෙහි ව යුද්ධ කිරීමට ඇමරිකාවට අයිතියක් නෑ. සමාජවාදී වැඩසටහනක් සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට මම සහාය දෙනවා.”
54 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු වන ජේ. ජයන්තන් මෙසේ පැවසී ය: “ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කරමින් සිටි බවට කරන ප්‍රකාශය බොරුවක්. න්‍යෂ්ටික අවි තියෙන්නෙ එක්සත් ජනපදයේ. එක්සත් ජනපදය මීට පෙර වෙනිසියුලාවේ තෙල් සම්පත් කොල්ල කෑවා. දැන් ඔවුන් ඉරානයේ තෙල් ලබා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. මෙය කොතැනින් අවසන් වෙයිද කියලා මම දන්නෙ නෑ; නමුත් ඔවුන් ලෝකය විනාශ කරමින් ඉන්න බව පැහැදිලියි” ඔහු පැවසී ය.
නරක අතට හැරෙන තම මූල්‍ය තත්වය ඔහු මෙසේ විස්තර කලේ ය: “මට පාසල් යන වයසේ දරුවන් තිදෙනෙක් ඉන්නවා. මගේ දෛනික ආදායම රුපියල් 2,000 ක් වගේ; සමහර වෙලාවට ඊටත් අඩුයි. ඉන්ධන මිල ගනන් අපේ ජීවනෝපායන් විනාශ කරනවා. අධ්‍යාපන වියදම් සහ වාහන අලුත්වැඩියා නිසා අපේ නය බර වැඩි වෙනවා.”
යුද්ධයට සහයෝගය දැක්වීම සාධාරනීකරනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයට සිංහල ජනතාවට දොස් පැවරීමටත් දෙමල ජාතිකවාදී දේශපාලනඥයින් දරන උත්සාහයන් ජයන්තන් ප්‍රතික්ෂේප කලේ ය: “සිංහල, මුස්ලිම් හෝ ඉරාන සාමාන්‍ය ජනතාව, ආන්ඩු විසින් සිදු කරන ලද අපරාධවලට වගකිව යුතු නෑ. තමන්ගේ ම අවශ්‍යතා වෙනුවෙන් මෙම යුද්ධයට සහාය දෙන දෙමල දේශපාලනඥයන් එක්ක මම එකඟ නෑ.”
කිලිනොච්චියේ ධීවරයෙකු වන කේ. විනුසන් මෙසේ පැවසීය: “අපි සිවිල් යුද්ධයකට හසු වෙච්ච අය; ඒ නිසා ඉරානයේ, ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනතාව මුහුන දෙන අන්තරායන් මට හොඳට තේරෙනවා.
“ඇමරිකානු බෝම්බ හෙලීමෙන් ඒ රටවල කාන්තාවන්, ලමයින් සහ වැඩිහිටියන් මිය ගොස් තිබෙනවා. අපිත් සරනාගතයින් ලෙස ජීවත් වුනා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ටත් අත්විඳින්න වෙන්නේ ඒ දේම තමයි. සරනාගත කඳවුරුවල වසංගත හා කුසගින්න ඇති වෙයි. ඒ මිනිස්සුන්ට දරාගන්න බැරි වෙයි. මේ කුරිරු යුද්ධය වහා ම නතර කල යුතුයි.”
“2009 යුද්ධය අතරතුර, මාතලන්හි වැඩිහිටියන් සහ කාන්තාවන් මරා දමන හැටි මම ඇස් දෙකෙන් දැක්කා. [මැද පෙරදිග] සිද්ද වෙන්නෙත් ඒකම තමයි. බෝම්බ හෙලනකොට, වැඩිහිටියන් සහ ලමයින් විෂ දුම් වලින් හුස්ම හිර වෙලා මිය ගියා. මාතලන්හි සිදු වුනේ ඒකයි; ඉරානයේ සිදුවෙමින් පවතින්නෙත් එකම තමයි.
“සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත් කරන යුද විරෝධී ව්‍යාපාරයට මම සහාය දෙනවා. එහි කොටසක් විදිහට, කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ වැඩපිලිවල හොඳයි; මොකද, ඔබ කියන ආකාරයට ම, සියලු පැරනි සංවිධාන කම්කරුවන් සහ ජනතාව පාවා දෙනවා,” ඔහු පැවසීය.
විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරන සහ විදුලිබල මන්ඩලයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස අර්ධකාලීන ව සේවය කරන 29 හැවිරිදි ඊ. ද්වාරකම් මෙසේ ප්‍රකාශ කලේය: “පලමුව, ඉරානයට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කරන මෙම ආක්‍රමනශීලී යුද්ධයට මම දැඩි ලෙස විරුද්ධ යි; එය හෙලා දකිනවා. එහි සෑම දිනක ම මිනිසුන් මරා දමනවා. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසානයේ මුල්ලිවයිකාල්හිදී අපේ දෙමල ජනතාව සමූල ඝාතනය කල විදිහට ම, වර්තමානයේ ඉරානයේ දී මිනිසුන් මරා දමා ගාසා තීරය සමූල ඝාතනය කරනවා.”
“වැදගත් ම දෙය නම්, දරුවන් ඉගෙන ගන්නා පාසලකට බෝම්බ දමා ඔවුන් මරා දැමීම ම්ලේච්ඡ ක්‍රියාවක්. මෙය ඇමරිකාව ලෝකයට උගන්වන ප්‍රජාතන්ත්‍රවාදයයි. මුලු ලෝකය පුරා ම නොසන්සුන්තාවයක් ඇති කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තම හමුදා බලය භාවිතා කරනවා. දැන් මෙම යුද්ධය ලොව පුරා ප්‍රධාන අර්බුද ඇති කරමින් තියෙන්නේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ද, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල නැවත නැවතත් ඉහල යාමකට අපි මුහුන දීලා.”
“අපේ වැටුප් වැඩි කරලා නැහැ, නමුත් භාන්ඩ මිල විතරක් වැඩි වෙනවා. මගේ අධ්‍යයන කටයුතු සඳහා පමනක් මගේ ගමන් වියදම් සඳහා මසකට රුපියල් 12,000-15,000 ක් වැය වෙනවා. මේ නිසා අපට ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ යුද්ධය වහාම නතර කල යුතුයි. අපේ රටේත් ඒ වගේ සාකච්ඡා තිබුනා, නමුත් යුද්ධය නවත්වන්න කිසිම දෙයකට නොහැකි වුනා, මොකද මම සටන් විරාම සාකච්ඡා විශ්වාස කරන්නේ නැහැ.”
“ඒ හින්දා, දැන් සිදුවන යුද්ධ අවසන් කිරීමට අවශ්‍ය නම්, අපි සෑම කෙනෙකු ම අරගලයට එක්විය යුතුයි. වෙනත් වචන වලින් කීවොත්, ඔබ සඳහන් කල පරිදි, ලොව පුරා කම්කරු පන්තිය මේ සඳහා සම්බන්ධ විය යුතුයි.”
