[මෙය Sri Lankan apparel company ELPHIS LANKA locks out workers for taking action demanding job security මැයෙන්, 2026 ජූනි 05 වන දා, ලෝසවෙඅ හි පල වූ ලිපියේ පරිවර්තනයකි.]
කොලඹ සිට සැතපුම් 16ක් පමන දුරින් වූ ඒකල හි පිහිටි එල්ෆීස් ලංකා (ELPHIS LANKA) ඇඟලුම් සමාගම, රැකියා සුරක්ෂිතභාවය ඉල්ලා පසුගිය සතියේ සෙමින් වැඩකිරීමේ විරෝධතාවක් ආරම්භ කල එහි සේවකයින් 500 කට වැඩි පිරිසකට එරෙහි ව, මැයි 25 වන දින තම කම්හල් දොරටු අගුලු දමා වසා දැමුවේ ය.
කොරියානු හිමිකරුවෙකුට අයත් සමාගමක් විසින් කර්මාන්ත ශාලාව නම නොදන්නා සමාගමකට විකිනීමට සැලසුම් කර ඇති බව දැනගත් සේවකයෝ, (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන්) මැයි 19 වන දින මෙම උද්ඝෝෂන ක්‍රියාමාර්ගය දියත් කලහ. 1991 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම සමාගම අපනයන වෙලෙඳපොල සඳහා ජැකට්, බ්ලවුස්, කලිසම් සහ බ්ලේසර් නිෂ්පාදනය කරයි.
මැයි 24 වන ඉරිදා සමාගම විසින් ඔවුන්ට දැනුම් දෙන ලද්දේ කර්මාන්ත ශාලාව පසු දා සිට වසා දමන බවයි. සඳුදා උදෑසන ඔවුන් පැමිනි විට, දක්නට ලැබුනේ “නව හිමිකරු” විසින් යැයි කියනු ලබන්නකු විසින් ගේට්ටුවේ අලවා තිබූ දැන්වීමකි. එහි සඳහන් වූයේ “ඔබගේ නිත්‍යානුකූල නොවන වර්ජන ක්‍රියාමාර්ග අත්හැර නැවත සේවය කිරීමේ එකඟතාවය, ජා ඇල කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස්තුමිය හරහා අප වෙත ලිඛිත ව දැනුම් දෙනතුරු ආයතනය විවෘත නොකරන බව කාරුනික ව දන්වමු” යන්නයි.
ඇත්ත වශයෙන්ම, එල්ෆීස් ලංකා පාලකයින් විසින් සේවකයින්ගේ අනුදැනුමකින් තොර ව සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ සේවා කොන්දේසි මොනවාද යන්න පැහැදිලි නොකර වෙනත් සමාගමකට මාරු කිරීම නීති විරෝධී බැවින් මෙය ව්‍යාජ චෝදනාවකි.
සමහර කම්කරු ක්‍රියාකාරීහු තම ගැටලු සාකච්ඡා කිරීම සඳහා අසල පිහිටි ජා-ඇල කම්කරු කාර්යාලයටත්, පසුව ගම්පහ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයටත් දිව ගියහ. කෙසේ වෙතත්, කම්කරු දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලෙස පවසමින් නිලධාරීහු ඔවුන් ආපසු හරවා යැවූහ.
කම්කරුවන් ස්වයංසිද්ධව අරගලයට අවතීර්න වූ අතර, ලංකා වෙලෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) ඔවුන් වෙනුවෙන් මැදිහත් නොවීය.
තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා දියත් කල යුතු අරගලය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා සීඑම්යූ නායකත්වය තවමත් එහි සාමාජිකයින් 350 දෙනාගේ රැස්වීමක් කැඳවා නැත. සමාගම විසින් කර්මාන්තශාලා ගේට්ටු වැසීමට කඩතුරාවක් ලෙස භාවිතා කරන ලද කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාවන්, වෘත්තීය සමිති නොවන සාමාජිකයින් විසින් ආරම්භ කරන ලද බව පවසමින් වෘත්තීය සමිති නිලධරය මෙම කාරනයෙන් අත සෝදා ගැනීමට සූදානම් වන බව පෙනේ.
විරෝධතා දැක්වූ කම්කරුවෝ, කර්මාන්ත ශාලාව රහසිගත ව “නව හිමිකරුවෙකු” ලෙස සැලකෙන අයෙකුට පැවරීමට විරුද්ධ වූහ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සේවකයින් මුනගැසීමට ගිය විට, ඔවුන් “කම්කරු ශ්‍රමය සූරාකන්න එපා', “කම්කරු කොමසාරිස්තුමනි, අපට සාධාරනයක් ඉෂ්ඨ කරන්න!” “කම්කරුවා මහමග” සහ “ජනාධිපතිතුමනි, මේ අහන්න. අපේ වන්දිය අරන් දෙන්න” යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටියහ.
කම්කරුවෝ කෝපයට පත් වී සිටියහ. වසර 20 ක සේවා කාලයක් ඇති සේවිකාවක් ලෝසවෙඅ වෙත පැවසුවේ සමහරු කර්මාන්ත ශාලාවේ වසර 30 ක් පමන සේවය කර ඇති බවයි. “මේක පරන කම්හලක්. ඒගොල්ලන්ට වහන්ඩ අයිතියක් නැහැ. වැඩ කරන්නනේ අපි ආවේ. මේගොල්ලො අපිට නෝටිස් දාලා ගිහිල්ලා!” යැයි ඇය පැවසුවා ය.
වසර 20කට පෙර මසකට රුපියල් 20,000ක් පමන වූ ඇගේ වැටුප අද අතිකාල ඇතුලු ව රුපියල් 50,000ක් දක්වා ඉහල ගොස් ඇති බව ඇය සඳහන් කල නමුත්, ඇයට අවශ්‍ය වන්නේ වන්දි නොව රැකියා සුරක්ෂිතභාවය බව අවධාරනය කලා ය. මෙම සංඛ්‍යාලේඛන කම්කරුවන්ගේ සැබෑ වැටුප්වල තියුනු පහත වැටීම පෙන්නුම් කරයි.
පිරිමි සේවකයෙක් තම පිලිකුල ප්‍රකාශ කලේ ය: “අපි හැම තැනට ම ගියා [කම්කරු කාර්යාලවලට] තාම වැඩක් වුනේ නැහැ. අපෙන් කපාගන්න තියෙන හැම දෙයක්ම [පරිපාලනය] කපා ගෙන අපෙන් සල්ලි අරගෙන ගිහින්. බය නැතුව (ෆැක්ටරිය) වහලා තියෙන්නෙ. සමිතියක් තියෙනවා. අපි දන්නෙ නැහැ නම මොකක්දවත් කියලා,” යනුවෙන් ඔහු පැවසුවේ, වෘත්තීය සමිතිය කම්කරුවන්ගෙන් කොතරම් දුරස්ව සිටිනවාද යන්න පෙන්නුම් කරමිනි.
කර්මාන්ත ශාලාවේ වසර හයක් සේවය කල තවත් සේවකයෙක්, තම අනුදැනුමකින් තොර ව සමාගම තමන් වෙනත් සමාගමකට මාරු කරන්නේ කෙසේදැයි විමසී ය. “අපිව එහෙම මාරු කරන්න බැහැ. අපිව වෙනත් කන්ඩායමකට මාරු කලොත්, අපට ලැබිය යුතු දේ ලැබිය යුතුයි.'
රැකියාවලට එල්ල වන ප්‍රහාරය සාකච්ඡා කිරීම සඳහා සාමාජික රැස්වීමක් කැඳවීම වෙනුවට, සීඑම්යූ නිලධරය හුදෙක් කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ “මැදිහත්වීම” ඉල්ලා සිටිමින්, රැකියා අනතුරේ හෙලන ආකාරයෙන් ක්‍රියා කිරීමට කර්මාන්තශාලා හිමියන්ට කාලය ලබා දී තිබේ.
සීඑම්යූ ප්‍රධාන ලේකම් එස්. පී. නාදන් ලෝසවෙඅ මාධ්‍යවේදියෙකුට පැවසුවේ “මැයි 22 වනදා කම්කරු අමාත්‍යාංශයේ දී නියෝජ්‍ය කම්කරු ඇමතිත් එක්ක සාකච්ඡාවක් තිබුනා. (නාදන්ට අනුව බ්‍රසීලයේ ඇඟලුම් සමාගමක් වන) අලුත් අයිතිකාරය රැස්වීමට ආවෙ නැහැ” යනුවෙනි.
විකිනීම සම්බන්ධයෙන් නාදන් පැවසුවේ සමාගමේ විකිනීම සිදු වූ ආකාරය තමා පවා නොදන්නා බවයි. මැයි 29 වන දින කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමඟ පැවති සාකච්ඡාවක දී, ඔහු නව හිමිකරු සමඟ සාකච්ඡා කර විසඳුමක් සොයා ගත යුතු බව තමාට පැවසූ බව නාදන් කීවේ ය.
“කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා” කාර්මික ආරවුල් පනතට අනුකූල ව ගිවිසුමකට එලඹීමෙන්, නව හිමිකරු වෘත්තීය සමිති නිලධරයේ සේවාවන් රඳවා ගත යුතු බව නාදන් පැවසී ය. මෙවැනි ආකාරයේ හිස් ගිවිසුමක් පෙර හිමිකරු උල්ලංඝනය කර පලා ගොස් ඇත.
ආන්ඩුවත් සමග පවතින සම්මුතිය හෙලි කරමින් නාදන් තවදුරටත් ප්‍රකාශ කලේ “මම කිව්වා ඇමැතිතුමාට අපි තමයි බහුතර නියෝජනය කරන්නෙ. අපේ සමිතියත් එක්ක තමයි ගනුදෙනු කරන්න ඕන කියල, එයා (ඇමති) පිලිගත්ත ඒක” යනුවෙනි. සමාගම සහ අමාත්‍යාංශය සීඑම්යූ සමඟ සහයෝගයෙන් කටයුතු කල යුතු බව කම්කරු අමාත්‍යවරයා සහ නිලධාරීන් පිලිගත් බව ඔහු තවදුරටත් පැවසී ය.
සීඑම්යූ ප්‍රධාන ලේකම්ගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ, කම්කරුවන්ගේ අනුදැනුමකින් තොර ව, නිලධරය කම්කරු අමාත්‍යවරයා සහ රාජ්‍ය නිලධාරීන් සමඟ වැඩකටයුතු කර ඇති බවයි. සීඑම්යූ සහ අනෙකුත් වෘත්තීය සමිති සමාගම් සහ ආන්ඩුව සමඟ එවැනි රහසිගත ගනුදෙනු කිරීම සාමාන්‍ය භාවිතාවකි. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව, වෘත්තීය සමිති යාන්ත්‍රනය ක්‍රියා කරන්නේ තම සාමාජිකයින්ගේ අවශ්‍යතා සඳහා නොව, ලාභයට කෑදර සංගතවල නියෝග ක්‍රියාත්මක කරන්නන් ලෙස ය.
එල්ෆීස් සමාගමේ සමහර සේවකයින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවෙන් උදව් ඉල්ලා සිටිති. මෙය ඵලරහිත බලාපොරොත්තුවකි. කම්කරු අමාත්‍යවරයා දැනටමත් වෘත්තීය සමිති නායකයින්ට පවසා ඇත්තේ ආන්ඩුව නව සමාගම සමඟ කටයුතු කිරීමට සූදානම් බවයි. එල්ෆීස් සමාගම, ආයෝජන මන්ඩලයේ සහ අපනයන සංවර්ධන මන්ඩලයේ සහන යටතේ ක්‍රියාත්මක වී ඇත. එල්ෆීස් සමාගම සහ එය මිලදී ගත් නව සමාගම අතර ගනුදෙනු පිලිබඳව මෙම සියලුම පාර්ශවයන් දැන සිටින්නට ඇති අතර එහි සේවකයින් පමනක් අඳුරේ තබා ඇත.
ප්‍රධාන වශයෙන් ආසියාවේ පදනම් වූ ඇඟලුම් කර්මාන්තය, ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය විසින් අවුලුවන ලද ගෝලීය අර්බුදයෙන් පැන නැගුනු තෙල් මිල ඉහල යාම සැපයුම් දාම කඩාකප්පල් වීම මගින් දැඩි පීඩනයකට මුහුන දෙයි. දකුනු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂන නිෂ්පාදකයා වන මාස් හෝල්ඩිං (Mas Holdings) සිය ශ්‍රම බලකාය 26,000කින් අඩු කිරීමට සැලසුම් කර ඇති අතර පෙබරවාරි 19 වැනි දින එහි ලංකාවේ තුල්හිරිය ආයතනයේ ඇඟලුම් නිෂ්පාදනය නතර කලේ රැකියා 2,200ක් විනාශ කරමිනි.
වැලිඔය මිලා ෆැෂන් කම්හල අප්‍රේල් 10 වන දින සිට වසා දමා ඇති අතර, එමඟින් සේවකයින් 400 කට වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත. තිහාරියේ (ගම්පහ) හෙල ක්ලෝතින් සමාගමේ සේවකයෝ, ඔවුන් එමරල්ඩ් ක්ලෝතින් නව සමාගම වෙත මාරු කිරීමට පෙර බලහත්කාරයෙන් ඉල්ලා අස්වීම් ලිපි ලබා ගැනීමට එරෙහි ව අප්‍රේල් අග දී සතියක වැඩ වර්ජනයක් පැවැත්වූහ.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රධාන ලේකම් ජොහාන් ලෝරන්ස් අනතුරු ඇඟවූයේ “ඉන්ධන පිරිවැය ඉහල යාමත් සමඟ බලශක්ති පිරිවැය වැඩි වීම කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කරනු ඇති” බවයි. ගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව මෙම වසරේ ජනවාරි මස ඇඟලුම් අපනයනය සියයට 2.66 කින් පහත වැටී ඩොලර් මිලියන 425.44 ක් වූ අතර, එක්සත් ජනපදයට නැව්ගත කිරීම් සියයට 2.73 කින් සහ යුරෝපීය සංගමයට අපනයන සියයට 1.93 කින් පහත වැටුනි.
ලෝකයේ සෙසු රටවලට එරෙහි ඇමරිකානු තීරුබදු යුද්ධයේ කොටසක් ලෙස ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද සියයට 25 කට වැඩි තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනවලට ද බලපෑම් එල්ල වී තිබේ.
එල්ෆීස් ලංකා කර්මාන්තශාලා සේවකයින් වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ව තමන්ගේ ම රැස්වීමක් කැඳවිය යුතු ය. ඔවුන් ඉල්ලා සිටිය යුත්තේ සියලු රැකියා ආරක්ෂා කිරීම මිස වන්දි නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටින කප්පාදු පියවරයන්ට අමතර ව, ගෝලීය ඉන්ධන අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට ආන්ඩුව උත්සාහ කරන විට, කම්කරු පන්තියේ සියලු ම කොටස් ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන එක ම ප්‍රහාරයට මුහුන දෙයි.
ඇඟලුම් කම්කරුවන් සෑම කර්මාන්ත ශාලාවක ම තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු අතර, මෙම කමිටුවලින් වෘත්තීය සමිති නිලධාරීන් සහ සියලු ම ධනේශ්වර පක්ෂ බැහැර කල යුතු ය. මෙය, රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා පොදු අරගලයක් සඳහා අනෙකුත් අංශවල කම්කරුවන් සමඟ එක්සත් වීමට ඔවුන්ට පසුබිම නිර්මානය කරනු ඇත.
ශ්‍රී ලාංකික කම්කරුවන් ආසියාව පුරා සහ සෑම රටකම සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් විය යුතු අතර, තමන් මෙන්ම සෙසු කම්කරුවන්ද බොහෝ විට බහුජාතික සමාගම් විසින් පටවනු ලබන එම ප්‍රහාරවලට එරෙහිව අරගලවලට තල්ලු කරනු ලැබෙති. ජාත්‍යන්තර ව ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීම සඳහා, කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) ගොඩනැගීමට එක්වී සටන් කල යුතු ය.
මෙම අරගලය මෙහෙය විය යුත්තේ ධනේශ්වර ක්‍රමය අහෝසි කිරීම සහ නිෂ්පාදන මාධ්‍යයන් මත කම්කරුවන්ගේ අයිතිය සහ පාලනය ස්ථාපිත කිරීම අරමුනු කරගත් සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනයකිනි.
