[මෙය Sri Lankan government abandons cyclone-affected tea plantation workers මැයෙන් 2026 ජූලි 9 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
2025 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකාවට බලපෑ ඩිට්වා සුලි කුනාටුවෙන් මාස හතකට වැඩි කාලයක් ගත වී තිබිය දී ත්, පවුල් දහස් ගනනක් තවමත් අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වෙති. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව මහත් උජාරුවෙන් ප්‍රකාශයට පත් කල වන්දි ගෙවීමේ වැඩසටහන, විපතට පත් ජනතාව මුහුන දෙන දුෂ්කරතා විසඳීම සඳහා කිසිදු සැලකිය යුතු සහනයක් සපයා නැත.
ඩිට්වා සුලි කුනාටුව රටේ විශාල ප්‍රදේශයක් විනාශ කලේ ය. නිල දත්තවලට අනුව මිය ගිය සංඛ්‍යාව 649 ක් වන අතර පුද්ගලයන් 173 දෙනෙක් තවමත් අතුරුදන් ව සිටිති. ගංවතුර හේතුවෙන් මිලියන 2.3කට ආසන්න ජනතාවක්—එනම් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10කට ආසන්න පිරිසක්—සෘජු ව ම බලපෑමට ලක් වූහ. ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් බවයි. එය ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4කට සමාන වේ. සමස්ත ආර්ථික පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
විපත සිදු වූ වහා ම ජනාධිපති අනුර කුමාර දිසානායක වන්දි ගෙවීම් ප්‍රකාශයට පත් කරමින්, සම්පූර්නයෙන් විනාශ වූ නිවාස සඳහා රුපියල් මිලියන 5ක් දක්වාත්, අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා රුපියල් 500,000ක් දක්වාත්, මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි සහ ජීවනෝපාය ආධාර ලබාදෙන බවට පොරොන්දු විය. එ මෙන් ම රටේ ඉතිහාසයේ විශාලත ම ආපදා සහන ප්රතිපාදනය ලෙස රුපියල් බිලියන 500ක් වෙන් කරන බව ද ඔහු නිවේදනය කලේ ය.
එහෙත්, ජූලි 3 දින ඩේලි මිරර් පුවත්පතේ පලවූ “ඩිට්වා විපතට පත් වූවන්ගේ කලකිරීම” යන ලිපිය වාර්තා කලේ, හානි වූ දේපල සහ උපකරන පිරිසිදු කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා ලබා දුන් රුපියල් 25,000 සහ 50,000ක මූලික ගෙවීම් ජනතාවගෙන් සියයට 97කට ලැබී තිබුන ද, “අර්ධ වශයෙන් හානි වූ මෙන් ම සම්පූර්නයෙන් විනාශ වූ නිවාස සඳහා වන්දි ලබා ගැනීම සඳහා බලපෑමට ලක් වූ පුද්ගලයන් දහස් ගනනක් තවමත් පොරොත්තු ලේඛනවල රැඳී සිටින” බවයි.
වතු කම්කරුවෝ මෙම ව්‍යසනයෙන් වඩාත් ම බලපෑමට ලක් වූ පිරිස් අතර වෙති. වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට අනුව, බදුල්ල සහ නුවරඑලිය ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක වතු පවුල් 10,310ක් මෙම සුලි කුනාටුවෙන් බලපෑමට ලක් වී ඇත. පේලි නිවාස 431ක් සම්පූර්නයෙන් විනාශ වූ අතර තවත් 2,152ක් අර්ධ වශයෙන් හානි වී ඇත.
ශ්‍රී ලංකාවේ වඩා ත් ම පීඩිත කම්කරුවන් අතර සිටින, වහල් ශ්‍රම කොන්දේසි යටතේ වැඩ කිරීමට බලකෙරෙන මෙම කම්කරුවන් මුහුන දෙමින් සිටි දුෂ්කර ජීවන තත්ත්වය ඩිට්වා සුලි කුනාටුවෙන් තවත් උග්‍ර කෙරුනි. සිය ගනනක්, එසේ නොමැති නම් දහස් ගනනක් කම්කරුවන්ට, වතු තුල පිහිටි පටු සහ අධික ලෙස ජනාකීර්න පේලි නිවාස සුලි කුනාටුව හේතුවෙන් මාරාන්තික උගුල් බවට පත් ව තිබීම නිසා, ඒවා වෙත නැවත පදිංචියට යාමට නොහැකි වී ඇත.
ආන්ඩුව මෙම කම්කරුවන්ට ලබා දුන්නේ මාස තුනක කුලී දීමනාවට සමාන රුපියල් 75,000ක් පමනි. බොහෝ වතු කම්කරුවන්ට තමන් කලින් සේවය කල තේ වතුවලින් බොහෝ දුර පිහිටි කුලී නිවාසවලට යාමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සිය රැකියා අහිමි වූ අතර නව රැකියා සොයා ගැනීමට ද නොහැකි විය. තවත් පිරිසකට, ආරක්ෂාවක් නොමැති, සුලි කුනාටුවෙන් හානි වූ ලයින් නිවාසවලට නැවත පදිංචියට යාමට බල කෙරිනි.
සුලි කුනාටුවෙන් මාස හයකට වැඩි කාලයක් ගත වී තිබිය දී ත්, වතු කම්කරුවන්ට නිවාස වන්දි ලබා දිය යුතු ද යන්න පිලිබඳව ආන්ඩුව තවමත් සාකච්ඡා කරමින් සිටී. වැඩි වෙමින් පැවති මහජන කෝපය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, ජූනි 9 දින අමාත්‍ය විද්‍යාරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ, තම පේලි නිවාස හෝ ඔවුන් සේවය කරන ඉඩම අයිති නොවූවත්, වතු නිවැසියන්ට රුපියල් මිලියන 5ක වන්දියක් සහ පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට අමාත්‍ය මන්ඩලය තීරනය කර ඇති බවයි. එහෙත් මාසයක් ගත වී තිබිය දී ත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ පසුගියදා බ්‍රවුන්ස් සමාගමට අනුබද්ධ උඩපුස්සැල්ලාව වැවිලි සමාගම විසින් කලමනාකරනය කරනු ලබන නුවරඑලිය දිස්ත්‍රික්කයේ කඳපොල පිහිටි පාක් වත්තේ එස්ක්ඩේල් කොටස වෙත ගියහ.
එස්ක්ඩේල් වත්තේ පවුල් 280 ම තවත් සුලි කුනාටුවක් හෝ දේශගුනික ව්‍යසනයක් ඇති වුව හොත් නැවතත් බරපතල අනතුරකට මුහුන දීමට නියමිත ය. ජල සැපයුම් පද්ධති වලට සහ මාර්ග වලට සුලි කුනාටුවෙන් දැඩි ලෙස හානි වී ඇති අතර වතු පාසල තවමත් වසා දමා ඇත. පවුල් 135ක නිවාස අර්ධ වශයෙන් හානි වී ඇති අතර නිවාස 20ක් සම්පූර්නයෙන් විනාශ වී ඇත. වත්තේ පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වතු කලමනාකාරිත්වය පවසන්නේ පාක් කොටසේ කම්කරුවන් 62 දෙනෙකුට ඉඩම් වෙන් කර ඇති බවයි. එහෙත් ප්‍රායෝගික ව කිසිවෙකුටත් එම ඉඩම් මෙතෙක් ලබා දී නොමැත.
තිදරු පියෙකු වන 53 හැවිරිදි වී. ප්රකාලතන්, තම නිවස විනාශ වූ විට තම පවුලට සියල්ල අහිමි වූ බව ලෝසවෙඅ වෙත පැවසී ය.
“අපේ දරුවන් දෙදෙනා යන්තම් ජීවිත බේරා ගත්තා. අපි වහා ම අදාල රාජ්‍ය බලධාරීන්ට මේ ගැන දැනුම් දුන්නා. එහෙත් ඔවුන් විවිධ පොරොන්දු දුන්න ද, අද දක්වා අපට නිවසක්වත් ඉඩමක්වත් ලැබී නැහැ. වතු කලමනාකාරිත්වයත් අපේ තත්ත්වය සම්පූර්නයෙන් ම නොසලකා හැරියා. ඒ නිසා මගේ සහෝදරයාගේ ගව මඩුවේ ජීවත් වෙන්න අපට සිදු වුනා.”
ප්රකාලතන් වසර 14ක් පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර තිබුනි. එහෙත් වන්දි ලබාගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි සම්පූර්න කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත නැවතත් යාම සඳහා දීර්ඝ නිවාඩු ලබාගැනීම හේතුවෙන් ඔහුට එම රැකියාව අහිමි විය.
“ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අපට නිවසක් කුලියට ගැනීම සඳහා මාසයකට රුපියල් 15,000 බැගින් ලබා දෙන බවට පොරොන්දු වුනා. අපි මාස හයකට නිවසක් කුලියට ගත්තා. නමුත් ගෙවීම් ලැබුනේ මාස තුනකට විතරයි. ඉන්පසු කුලිය ගෙවන්න බැරි නිසා නැවත වත්තට එන්න සිදු වුනා. දැන් අපි ජීවත් වන ස්ථානය කිසි සේ ත් ම ආරක්ෂිත නැහැ,” යැයි ඔහු පැවසී ය.
ඔහුගේ බිරිඳ එස්. පරිමලදේවි පැවසුවේ, ඇය වසර දහයක් වත්තේ තේ සැකසුම් කර්මාන්තශාලාවේ සේවය කල බවත්, ඇගේ සැමියා ද කෙටි කාලයක් එහි සේවය කල බවත් ය. එහෙත් අතිශය පහත් වැටුප් හේතුවෙන් තම පවුල නඩත්තු කිරීමට, දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට හෝ සුදුසු නිවසක් ඉදිකර ගැනීමට නොහැකි වූ බව ඇය පැවසුවා ය.
“මම අවුරුදු 15ක් සෞදි අරාබියේ වැඩ කලා. එහි ඉතිරි කරගත් මුදලින් කාමර හතරක් සහිත, කුස්සියක් තිබෙන නිවසක් හැදුවා. ඒ වගේ ම ගෘහ භාන්ඩ සහ විදුලි උපකරනත් මිල දී ගත්තා. නමුත් ගංවතුරෙන් ඒ සියල්ල විනාශ වුනා. අපට රුපියල් මිලියන 4කට ආසන්න පාඩුවක් සිදු වුනා. එහෙත් අද වන තුරු කිසිදු වන්දියක් ලැබී නැහැ. වතු කලමනාකාරිත්වය අපට පේලි නිවසක් ලබාදීම පවා ප්‍රතික්ෂේප කලා,” ඇය පැවසුවා ය.
තවත් වතු කම්කරුවෙකු පැවසුවේ, සුලි කුනාටුව අතරතුර මාර්ග සම්පූර්නයෙන්ම විනාශ වී තිබූ නිසා කිසිවෙකුට වත්තට ඇතුලු වීමට නොහැකි වූ බවයි. එම තත්ත්වය යටතේ වතු කලමනාකාරිත්වය සිදු වූ සැබෑ හානියේ ප්‍රමානය රාජ්‍ය බලධාරීන්ගෙන් සඟවා තැබූ බව ද ඔහු පැවසී ය.
“කලමනාකාරිත්වය ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් කලේ නිවාස 15කට පමනක් හානි වී ඇති බවයි. නමුත් ඇත්තට ම නිවාස 62 කට හානි වී තිබුනා. කම්කරුවන්ගේ විරෝධතාවලින් පසුවයි ඒ වාර්තාව නිවැරදි කලේ,” ඔහු පැවසී ය.
එම කම්කරුවා තවදුරටත් පැවසුවේ, ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) යන වෘත්තීය සමිති තුන ම කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නොකරන අතර, වතු කලමනාකාරිත්වයේ අවශ්‍යතාවන්ට සහයෝගය ලබාදෙන බවයි.
“ඔවුන්ට කම්කරුවන් ගැන මතක් වෙන්නේ මැතිවරන කාලයට විතරයි. ඒ වෙලාවට කම්කරුවන්ගේ ඡන්ද ලබාගන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයෙකු වන යෝගරාජා අපේ වත්තේ ම කෙනෙක්. ඔහු නුවරඑලිය ප්‍රාදේශීය සභාවේ සභාපති. මේ වත්තේ ම ඔහුට විශාල එලවලු වගාවක් තියෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සාමාජිකයෙකු වන නුවරඑලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ජී.එස්.කේ. පද්මසිරිත් අපේ වත්තේ ම කෙනෙක්. ඔවුන් කොලඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කලා. ඒත් කිසි ම දෙයක් වෙනස් වෙලා නැහැ. කම්කරුවන් තවමත් දැඩි දුෂ්කරතාවලට මුහුන දෙනවා,” යැයි ඔහු පැවසී ය.
ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ආන්ඩුව විවේචනය කරන අතර ම, ආන්ඩුවට ආයාචනා කිරීම මඟින් සහන සහ සහනදායී පියවර ලබාගත හැකි බවට කම්කරුවන් අතර මිථ්‍යාවන් වැපිරීමේ කාර්යයේ නිරත වෙයි.
විශ්‍රාමික වතු කම්කරුවෙකු වන තිරුචෙල්වම් මෙසේ පැවසී ය: “සිසුන් 72 දෙනෙකු සිටින විට පමනක් වතු පාසල නැවත විවෘත කරන බව ඔවුන් කියනවා. සුලි කුනාටුවට පෙර එහි සිසුන් 68 දෙනෙකු හිටියා. දැන් මෙහි පාසලක් නැති නිසා, මවුපියන්ට කුඩා දරුවන් කඳපොල සහ රගල පිහිටි, කිලෝමීටර් 6ත් 7ත් අතර දුරින් පිහිටි පාසල්වලට යැවීමට සිදු වෙලා. ආන්ඩුවත්, වතු කලමනාකාරිත්වයත්, වෘත්තීය සමිතිත් මේ ප්රශ්නය ගැන කිසිදු අවධානයක් යොමු කරලා නැහැ.”
38 හැවිරිදි අනියම් පදනමේ කම්කරු කාන්තාවක වන ජී. සුවේන්ද්‍ර පැවසුවේ තම දෛනික ආදායම පවුලේ වියදම් පියවා ගැනීමට කිසිසේත් ප්‍රමානවත් නොවන බවයි.
“තේ දලු කිලෝග්‍රෑමයක් නෙලීම සඳහා මට ගෙවන්නේ රුපියල් 60ක් විතරයි. ඒ නිසා මගේ දෛනික වැටුප රුපියල් 1,000කටත් අඩුයි. ඒකෙන් ජීවත් වෙන්න බැහැ. දරුවන් පාසල් යැවීමේ සිට දෛනික ජීවිතය ගෙනියන එක දක්වා අපි විශාල දුෂ්කරතාවන්ට මුහුන දෙනවා,” ඇය පැවසුවා ය.
ග්ලෝරියා පැවසුවේ නොවැම්බර් 27 දින නිවාසවලින් ඉවත් වීමට සිදුවීමෙන් පසු ව, ඇගේ පවුල කඳපොල සිද්ධි විනායගර් දේවාලයේ තවත් පුද්ගලයන් 800කට ආසන්න පිරිසක් සමඟ මාස හතරක් රැඳී සිටි බවයි. පසුගිය මාස තුනක කාලය තුල ඔවුන් කඳපොල කුලී නිවසක පදිංචි ව සිටිති. ආන්ඩුව පොරොන්දු වූ කුලී දීමනාව ඔවුන්ගේ බැංකු ගිනුමට බැර කෙරුනේ ජනාධිපතිවරයා නුවරඑලියට පැමිනි දිනයේ පමනක් බව ඇය පැවසුවා ය.
“ආන්ඩුව පොරොන්දු වූ සහන අපට ලබා දුන්නේ නැහැ. අපට මේ ආන්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ,” ඇය පැවසුවා ය.
තවත් වතු කම්කරු කාන්තාවක් කෝපයෙන් මෙසේ පැවසුවා ය:
“අපේ ගෙවල් විනාශ වෙලා. ජල සැපයුම සම්පූර්නයෙන් ම කඩා වැටිලා. හානි වූ පාරවල් දිගේ තේ දලු බර උස්ස ගෙන යන එක හරි ම අමාරුයි. සම්පූර්න දෛනික වැටුප වන රුපියල් 1,750 ලබාගන්න නම් දවසකට තේ දලු කිලෝග්‍රෑම් 22ක් නෙලන්න කියලා කලමනාකාරිත්වය අපිට බල කරනවා. එහෙම නැත්නම් වැටුප කපනවා, නැත්නම් දවසෙන් භාගයක වැටුපක් විතරක් ගෙවනවා. වෘත්තීය සමිති ඔක්කොම වැඩකට නැහැ. ඔවුන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසි ම සටනක් කරන්නේ නැහැ.”
මධ්‍යම, ඌව සහ සබරගමුව පලාත්වල පාසල්වලට සුලි කුනාටුවෙන් සිදුවූ බලපෑම පිලිබඳව ජූනි 9 දින පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවේදී ආන්ඩුවේ නිර්දය ආකල්පය පැහැදිලි ව අනාවරනය විය. විකල්ප පාසල්වලට අනුයුක්ත කරන ලද ඇතැම් සිසුන් පන්ති සඳහා වාර්තා කර නොමැති බව පිලිගත් අගමැතිනි හරිනි අමරසූරිය, එම දරුවන් හඳුනා ගැනීම සඳහා කඩිනම් පසු විපරමක් සිදු කල යුතු බව ප්‍රකාශ කලා ය. සුලි කුනාටුවෙන් මාස හයකට වැඩි කාලයක් ගත වී තිබිය දී ත්, විශ්වාසදායක දත්ත සහ තාවකාලික පාසල් තවමත් අවශ්‍ය බව ද ඇය පිලිගත්තා ය.
මෙය සිදු වන්නේ ජනාධිපති දිසානායක විසින් ප්‍රකාශයට පත් කල “ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමේ අරමුදල” සඳහා දේශීය හා ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 10ක් ආන්ඩුව විසින් එකතු කරගෙන තිබිය දී ය. මුදල් නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ජූනි 6 දින ප්‍රකාශ කලේ, රුපියල් බිලියන 500ක ප්‍රතිසාධන සැලැස්මේ කොටසක් ලෙස, “ඩිට්වා සුලි කුනාටුවේ විනාශකාරී බලපෑම්වලින් රට යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීම සඳහා මෙම අරමුදල පිහිටුවන ලදී” යනුවෙනි. එහෙත් විපතට පත් ජනතාව තවමත් තාවකාලික නවාතැන්වල දුක් විඳිමින් සිටින්නේ මන්දැයි ඔහු කිසිදු පැහැදිලි කිරීමක් කලේ නැත.
ජනාධිපතිවරයා මෙම අරමුදල කලමනාකරනය කිරීම සඳහා රටේ ප්‍රධාන සංගතවල ඉහල විධායකයන් පත් කලේ ය. ඔවුන් අතර හේලීස් සමූහයේ සභාපති මොහාන් පන්ඩිතගේ, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, එයිට්කන් ස්පෙන්ස්හි නියෝජ්‍ය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩික්ස්හි ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස්හි විධායක සභාපති ඉෂාර නානායක්කාර මෙන්ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ද වෙති. මෙම අරමුදලේ සභාපතිවරයා වන්නේ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ය.
මෙම කමිටුවේ සංයුතියෙන් ම ආන්ඩුවේ සැබෑ ප්‍රමුඛතාවය කුමක් ද යන්න පැහැදිලි වෙයි. එහි අරමුන වන්නේ මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමයි. සුලි කුනාටුවෙන් විපතට පත් වූවන්ගෙන් බහුතරයක් වන කම්කරුවන්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට සහන සැලසීම එහි අවධානය නොවේ. ඒ වෙනුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු වැඩපිලිවෙල සහ මහා ව්‍යාපාර හිතවාදී ප්‍රතිව්‍යුහගත කිරීම තවදුරටත් තීව්ර කිරීම එහි සැබෑ ඉලක්කයයි.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාව: සුලි කුනාටුවෙන් පීඩාවට පත් වතු කම්කරුවෝ ආරක්ෂිත ස්ථානවල, යහපත් නිවාස ඉල්ලති
- දිට්වා සුලි කුනාටුවෙන් පීඩාවට පත් වතු කම්කරුවෝ ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක් ඉල්ලා සිටිති
- දිත්වා සුලි කුනාටුවෙන් මාස 2කට පසු: ලංකාවේ මානුෂීය ව්‍යසනය අඛන්ඩ ව ඉදිරියට යයි
- මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවෝ සුලි කුනාටුවෙන් පසු යහපත් නිවාස ඉල්ලා විරෝධතා දක්වති
- “ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදි ම අපේ ජීවිත අනතුරේ”: මාඋස්සාකැලේ වතු කම්කරුවෙක්
