ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයෙන් වඩාත් ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදය හමුවේ තම නිෂ්පාදන වියදම ඉහල යාමට ප්‍රතිචාරී ලෙස, ශ්‍රී ලංකාවේ ධනපති හාම්පුත්තු, ප්‍රතිව්‍යුහකරනයේ හා කම්හල් වසා දැමීමේ යෙදී සිටිති. මේ හරහා සිදු කෙරෙන රැකියා විනාශය, වැටුප් කප්පාදුව, ආහාර හා ප්‍රවාහන පහසුකම් වැනි සුලු පහසුකම් පවා අහිමි කිරීම මගින් කම්කරුවන් මත වඩ වඩාත් ව්‍යසනකාරී කොන්දේසි පටවනු ලැබේ.
ජනතා විමුක්ති පෙරමුන-ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, කම්කරු දෙපාර්තමේන්තුව සහ වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ ආයෝජකන්ගේ සහ ධනපති හාම්පුතුන්ගේ ලාභ අවශ්‍යතාවයන් ආරක්ෂා කරමින් කම්කරුවන් එයට කරබදු කරවීමටයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්, පසුගිය දිනවල, ජාඇල, ඒකල කර්මාන්ත පුරය ආසන්නයේ පිහිටි කම්කරු නිවහන් ප්‍රදේශයක් වන විශාකා වත්තේ කම්කරුවන් මුනගැසී කල සාකච්ඡා තුල දී කම්හල් පාලකයන් ශ්‍රම සූරා කෑම තීව්‍ර කර ඇති ආකාරය අනාවරනය විය. මෙම ප්‍රහාරයන් පිලිබඳව ආන්ඩුවේ නොතැකීම ගැන කෝපයෙන් කතා කල ඔවුහු, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු සහ යුද්ධයේ බර පැටවීම මගින් පෙර නොවූ විරු දුෂ්කර තත්වයකට තමා ඇද දමා ඇතැයි පැවසූහ.
“එල්ෆීස් ලංකා ඇඟලුම් සමාගම, රැකියා සුරක්ෂිතභාවය ඉල්ලා කාර්මික ක්‍රියාවන් හි නියැලුනු කම්කරුවන්ට ඇතුලුවීම තහනම් කරයි” යන ලිපිය ඇතුලු ලෝසවෙඅ හි පල වූ ලිපි කිහිපයක පිටපත් මෙහි දී කම්කරුවන් අතර බෙදා හැරුනි. ඒකල පිහිටි එල්ෆීස් ලංකා ඇඟලුම් කම්හල මෑත දී වසා දැමුනේ, කම්කරුවන් සිය ගනනකට රැකියා අහිමි කරමිනි. එම කම්කරුවන් තම රැකියා රැක ගැනීමට ගෙනගිය අරගලය වෘත්තීය සමිති නිලධරය විසින් පාවා දුන් ආකාරය පැහැදිලි කල ලෝසවෙඅ වාර්තාකරුවෝ, රැකියා සහ අනෙකුත් අයිතීන් රැක ගැනීමේ සටන තම අතට ගනුවස් කම්කරුවන් විසින් වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ. එම කමිටු සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක කර ගනිමින්, ඇඟලුම් කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව එහි දී සාකච්ඡා කෙරුනි.
එල්ෆීස් කම්හලේ වසර තුනක් සේවය කල තරුන කම්කරුවෙක් තමන් මුහුන දුන් තත්ත්වය ගැන මෙසේ පැහැදිලි කලේ ය: “මම වැඩට ගියේ මාසෙකට රුපියල් 33,500 මූලික වැටුපකට. අතිකාල දීමනාව සමඟ රුපියල් 50,000ක් විතර ගත්තා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉඳල ෆැක්ටරියේ වැඩ සවස 4.30ට නතර කලා. අතිකාල වැඩත් නතර වුනා. මූලික වැටුප විතරයි ලැබුනේ. බෝනස් එක දුන්නෙත් දෙපාරකට. වෙනද වගේ සම්පුර්න පඩියට සමාන මුදලක් බෝනස් වලට දුන්නේ නැහැ. ඒකෙනුත් පඩි රහිත නිවාඩු වලට කපල රුපියල් 24,000යි අතට ලැබුනේ. අපට නොදන්වා තමයි හදිසියේ ම ෆැක්ටරිය වැහුවේ.”
වෛද්‍යවරයාට ගෙවීම සඳහා යැයි පවසමින් හැම කම්කරුවෙකුගෙන් ම මාසෙකට රුපියල් 50 ක් වැටුපෙන් කපාගත් නමුත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොලැබුනු බවත් එම මුදල් ආපසු ගෙවීමක් නොකල බවත් ඔහු කීවේ ය.
“ආන්ඩුව ඉන්නේ අයිතිකාරයන්ගේ පැත්තේ නිසා හාම්පුතුන් බියක් නැතුව කම්හල් වසා දමන” බවට ඔහු චෝදනා කලේ ය. “කම්හල වහන්ඩ කලින් ඒගොල්ලො අපිට දැනුම් දෙන්න ඕන. එහෙම දැනුම් දීමක් කරේ නැහැ, පහුවෙනි දා අපි වැඩට ගියා ම ගේට්ටුව වහල තිබුනා” යැයි ඔහු පැවසුවේ ය.
“කටුනායක නෙක්ස්ට් ගාර්මන්ට් එක වහපු වෙලාවේ අයිතිකාරයට දඬුවමක් දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. තවත් හාම්පුතෙක් ඒක ම කරන්නේ ආන්ඩුව ඒවට දඬුවම් නොකරන නිසා” බව ඔහු සඳහන් කලේ ය. පසුගිය වසරේ මැයි මාසයේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) නෙක්ස්ට් මැනුෆැක්චරින්, කම්හල වසා දමා කම්කරුවන් 1,500 කට ආසන්න සංඛ්‍යාවකගේ රැකියා විනාශ කෙරුනි. නෙක්ස්ට් ගාර්මන්ට් පාලකයන් එය කලේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහ නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ පුර්න සහයෝගය ඇති ව ය.
එල්ෆීස් කම්හල් පාලකයන් සුලු වන්දියක් ගෙවා අත සෝදා ගැනීමට සුදානම් වන බවත් දැනටමත් කම්කරු කොමසාරිස්ගේ මැදිහත්වීම ඇති ව සියලු ම කම්කරුවන්ගෙන් ඒ සඳහා එකඟතා ගිවිසුමකට අත්සන් ලබා ගෙන ඇති බවත් එම කම්කරුවා වැඩි දුරටත් පැවසී ය.
ලංකාවේ ධන කුවේරයෙකු වන ධම්මික පෙරේරාට ප්‍රධාන වශයෙන් කොටස් හිමි, හේලීස් කර්මාන්ත සමූහයට අයත් ඒකල පිහිටි රවි බුරුසු නිෂ්පාදන කම්හලේ, මෑන් පවර් සමාගමක් යටතේ සේවයේ නිරත, එක්දරු කම්කරු කාන්තාවක් එහි පවතින කොනේදේසි ගැන විස්තර කලා ය. ඇගේ සැමියා සහ පාසල් යන වයසේ පුතා ද සමග විශාඛා වත්තේ කුලී නිවසක ඇය පදිංචි වී සිටී.
කම්හලේ වසර තුනක් පමන සේවය කර ඇති ඇය පැවසුවේ තමන් පලමු ව රැකියාවට යන විට කම්හලේ 500 අධික කම්කරුවන් සංඛ්යාවක් සිටි බව සහ එවිට තමන්ගේ වැටුප දිනකට රුපියල් 740 ක් පමනක් වූ බවයි. “වැටුප අඩු නිසා සමහර අය අස් වෙලා යනවා. අවුරුදු දෙකක් යන කොට වැටුප 840ක් කරා. පස්සෙ 1,200කට වැඩි කරා. උදේ 7.00 ඉඳලා හවස 4.00 වෙනකම් වැඩ කරනවා. 4.00න් පස්සේ ඕටී වැඩ කරනවා. පැයකට රුපියල් 200ක් ගෙවනවා. ඕටී කරේ නැත්නම් අපිට පඩියක් නැහැ. මූලික වැටුප රැපියල් 30,000 ක් විතරයි ලැබෙන්නේ. ඉරිදා නැතු ව මාසෙ ම වැඩ කලොත් රුපියල් 5,000 පැමිනීමේ දීමනාවත් එක්ක රුපියල් 50,000කට අඩු වැටුපක් ලැබෙන්නේ. නිවාඩු ගත්තොත් පැමිනීමේ දීමනාව ලැබෙන්නේ නෑ” යැයි ඇය කීවා ය.
නවීන තාක්ෂනය යෙදවීම මගින් කම්කරුවන්ගේ රැකියාවන් විනාශ කරමින් සූරා කෑම තව තවත් උග්‍ර කරන ආකාරය ඇය විස්තර කලා ය: “මුල දී මැෂින් විස්සක් විසි පහක් වැඩ කලා. අලුතෙන් මැෂින් ගෙනත් දැම්මට පස්සෙ ගොඩක් අයට රස්සාව නැතුව ගියා” යනුවෙන් පැවසූ ඇය එම අතිරික්ත කම්කරුවන් සමාගමේ වෙනත් ෆැක්ටරිවලට අනුයුක්ත කරන නමුත් තමන්ගෙ පුරුදු තැන නැති නිසා ඔවුන් රක්ෂාව අත හැර යන බව ද එය රැකියා කප්පාදුව සඳහා කම්හල් පාලකයන් අනුගමනය කරන උපක්‍රමයක් බව ද කීවා ය.
නවීන තාක්ෂනය කම්කරුවන්ගේ වැඩ කාලය අඩු කිරීමට සහ පහසු කිරීමට යොදා හැකි නමුත් තාක්ෂනය ධනපති පන්තිය අතේ පවතින තුරු එය යොදා ගනු ලබන්නේ ශ්‍රම සූරා කෑම තීව්‍ර කිරීමට සහ ලාභ ඉහල දමා ගැනීමට බවත් නවීන තාක්ෂනයේ වාසිය කම්කරුවන්ට ලබා ගත හැකි වන්නේ කම්කරුවන් විසින් කම්හල් පාලනය කරනු ලබන කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඇයට පැහැදිලි කලහ.
“යුද්ධය නිසා ආන්ඩුව තෙල් මිල වැඩි කරා. ඒ උනත් මිල අඩු වුනාම ක්ෂනික ව අඩු කරන්නේ නැහැ. ජිවන වියදම ඉහල නිසා මිනිස්සුන්ට කන්න විදියක් නැහැ. වේලක් කෑවොතින් එක වේලක් බඩගින්නේ ඉන්න ම වෙනව. බෝඩිං ගාස්තු ගෙවන්නයි ලමයාගේ අධ්‍යාපනයට යන වියදමයි ලැබෙන සුලු පඩියෙන් කරන්න බැහැ. තමන්ට කියල ඉන්න තැනක් තියෙනවා නම් මොකක් හරි කරන්න පුලුවන්” බව ඇය කීවා ය.
ශිෂ්‍යත්ව පන්තිය සඳහා රුපියල් 2,500 ක් සහ පාසල් වෑන් රථයට 3,000 ක් එක් මසකට වැය කල යුතු බව පැවසූ ඇය මෙම ආන්ඩුව යටතේ ද අධ්‍යාපන කප්පාදුව ඉදිරියට යාම ගැන චෝදනා කලාය. “බලයට එන්න ඉස්සෙල්ලා කිව්වේ ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියල. අධ්‍යාපනය සම්පුර්නයෙන් ම නොමිලේ ලබා දෙනවා කිව්වා. නමුත් දැන් සපත්තු වවුචරයත් ලමයින්ගේ අතට දෙන්නේ නැහැ. ෆෝන් එකට මැසේජ් දානවා. ෆෝන් නැති අයට ඒක ගන්නත් බැහැ. ඒක අසාධාරනයි. පොත් වලට රුපියල් හය දාහක වවුචරයක් දුන්නා. අපිට ෆෝන් එකක් නැති නිසා ඒකත් ලැබුනේ නැහැ. ඉස්කෝලේ අවශ්‍ය තරම් පහසුකම් නැහැ. දුප්පත් දෙමව්පියන් කොහොම ද ලමයින් ට හොඳ අධ්‍යාපනයක් දෙන්නේ?” ඇය විමසුවා ය.
ඩෙංගු වසන්ගතයක් ලෙස පැතිරීම ගැන සඳහන් කරමින් තමන් ද උන හැදිලා දවස් දෙකක් රෝහල්ගත ව සිටි බවත් එහි ප්‍රමානවත් තරම් පහසුකම් නැති බවත් ඇය කීවා ය.
මෙම තත්වය, අනුප්‍රාප්තික ආන්ඩු විසින් නිදහස් අධ්‍යාපනය මෙන් ම සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ ඇයට පැහැදිලි කලහ.
ඇන්ටන් සමාගමට අයත් ඒකල පිහිටි ජල ටැංකි නිෂ්පාදන කම්හලේ රැකියාවේ නියුතු ඇගේ සැමියා පැවසුවේ, තමා ඇතුලු කම්කරුවන් 300කට පමන, අඩු වැටුපකට දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කිරීමට සිදු ව ඇති බවයි. වසර තුනකට පෙර තම දෛනික පඩිය රුපියල් 600 වූ අතර දැනට ලැබෙන්නෙත් රුපියල් 2200ක් පමනි. “දවසකට පැය දොලහක් වැඩ. මෑන් පවර් නිසා ඇටෙන්ඩන්ස් බෝනස් නැහැ. රුපියල් පනහකින් පඩිය වැඩි කරන්නත් අවුරුදු තුන හතරක් යනවා. රැකියා ස්ථිර කිරීම ගැන කතා කලොත් දොට්ට දානව. වෘත්තීය සමිති හැදීම තහනම්.”
“අපේ එක් කෙනෙකුගේ ඇඟිල්ලක් මැෂිමකට අහුවෙලා කැපුනා. රුපියල් 15,000යි දුන්නේ. අතපය ගියත් ඔච්චරයි. ඉන්ෂුවරන්ස් නැහැ. පොලිසියේ පැමිනිල්ලක් දැම්මේ නැහැ බයට. අවුරුදු 16 ලමයිනුත් වැඩ කරනවා. ස්ථීර කම්කරුවන් කල ඇතැම් වැඩ දැන් මෑන් පවර් කම්කරුවන් ලවා කරවා ගන්නවා. අසීරු වැඩ කරන්න බැහැ කිව්වොත් ගෙදර යන්න වෙනවා. කම්කරුවන්ට ජංගම දුරකථනයක් පවා ඇතුලට ගෙන යාමට අවසර නැති” බව ද ඔහු පැවසී ය.
වැඩිදුර කියවන්න
- එල්ෆීස් ලංකා ඇඟලුම් සමාගම, රැකියා සුරක්ෂිතභාවය ඉල්ලා කාර්මික ක්‍රියාවන්හි නියැලුනු කම්කරුවන්ට ඇතුලුවීම තහනම් කරයි
- ඒකල එල්ෆීස් ලංකා ඇඟලුම් කම්හලේ කුරිරු තත්වයන් පිලිබඳව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති
- ආන්ඩුවේ අයිඑම්එෆ් කප්පාදු මහජන සෞඛ්‍යය වනසා දමද්දී ඩෙංගු රෝගය වසංගතයක් ලෙස දිවයින පුරා පැතිර යයි
- කොග්ගල එයිට්කන් ස්පෙන්ස් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ අවදානමකට මුහුන දෙති
