2026 ජූලි 21 වන දින හෝමාගම කටුවාන කාර්මික ජනපදයේ “නිමාටෝ” හිස්වැසුම් කම්හලේ ඇති වූ ගින්නකින් සේවකයින් පස් දෙනෙකු පිලිස්සී මිය ගිය අතර තවත් අයෙක් තුවාල ලැබී ය. මාසයකට ආසන්න කාලයකට පසු ව, කිසිදු සැබෑ පරීක්ෂනයක් පවත්වා නොමැත. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සමග කුමන්ත්රනය කරමින් කම්හල් හිමියා කරුනු යටපත් කිරීමට කටයුතු කරන බව කම්කරුවන් පවසති. ගින්න අහම්බයක් නොවේ. එය කාර්මික ඝාතනයකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ක්ෂනික ව වාර්තා කල පරිදි, නිමටෝ කම්හල මර උගුලක් විය. එයට හදිසි ප්‍රතිචාර සැලැස්මක් නොතිබුනි. 2024න් පසු එහි පරිසර ආරක්ෂන බලපත්‍රය අලුත් කිරීමට අපොහොසත් වී ඇති අතර, ප්‍රමානවත් ආරක්ෂක විධිවිධාන නොමැති ව අධික ලෙස දහනය විය හැකි පීවීසී සහ පොලිස්ටිරින් විශාල ප්‍රමානයක් ගබඩා කර තිබුනි. ජූලි 2 වන දින තරම් මෑතක දී උල්ලංඝනයන් නිවැරදි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් උපදෙස් දී තිබුනු නමුත් කලමනාකරනය එය නොසලකා හැරියේ ය.
වසන් කිරීමේ පරිමානය පෙන්නුම් කරන තවත් හෙලිදරව් කිරීම් සමඟ දැන් කම්කරුවෝ ඉදිරියට පැමිනෙමින් සිටිති.
කටුවාන කාර්මික ජනපදයේ පිවිසුම් දොරටුවේ පැවති උද්ඝෝෂනයක දී එක් සේවකයෙකු ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසුවේ, “පරීක්ෂනයක් අවසන් වීමට පෙර ඔවුන් කම්හල පිරිසිදු කිරීම ආරම්භ කර තියෙන” බවයි. “පරීක්ෂනයක් පවත්වන විට, කලමනාකාරිත්වයට කර්මාන්ත ශාලාවට ඇතුලු වීමටවත් ඉඩ නොදිය යුතු ය. පසුගිය සතියේ, මම පෞද්ගලිකව කර්මාන්ත ශාලාවේ හිමිකරු සහ ඔහුගේ දියනිය කම්හල් පරිශ්‍රයේ දී දැක්කා,” යැයි ඔහු පැවසී ය.
ඔහු මෙසේ ද පැවසී ය: “යමෙකු වාහනයක ගැටීමෙන් මිය ගියහොත්, වගකිව යුතු පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. නමුත් මෙහි දී, අත්අඩංගුවට ගැනීමක් පවා සිදු වුනේ නෑ. මෙයින් පෙනී යන්නේ ආන්ඩුව දැනටමත් කම්හල් හිමියා වගකීමෙන් ගලවා ඇති බවයි.'
'පුලුල් පරීක්ෂනයක්” පිලිබඳව නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ දුන් පොරොන්දුවේ වංචනික ස්වභාවය, “පරීක්ෂනයක්” සිදු වෙමින් පවතින බව කියන අතරතුර සාක්ෂි විනාශ කිරීම මගින් හෙලිදරව් කෙරේ. 2024 දී සංස්ථාපිත විරෝධී බලවේගයක් ලෙස පෙනී සිටිමින් බලයට පත් වූ ජවිපෙ/ජාජබ, මාස 18 කට වැඩි කාලයක් තිස්සේ පෙන්නුම් කර ඇත්තේ තමන් සම්පූර්නයෙන් ම ධනවාදී ආන්ඩුවක් බවත්, සියල්ලට ම වඩා ආයෝජකයින්ගේ “විශ්වාසය” පවත්වා ගැනීමට සහ ජාමූඅ හි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින බවත් ය.
විදුලි පරිපථයක් ලුහුවත් වීමෙන් ගින්න ඇති වූ බවට පතුරුවා ඇති නිල කතාවට කම්කරුවෙක් සෘජු ව ම විරුද්ධ විය. “ගින්න ඇති වූයේ මාධ්‍යවල වාර්තා වූ ආකාරයට නොවේ. තීන්ත ඉසින ප්‍රදේශයේ අනාරක්ෂිත විදුලි චාප (electric arc) වෙල්ඩින් මෙහෙයුමකින් නිපදවන උනුසුම් ලෝහ අංශු තුනී සහ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මතට වැටීම නිසා ගින්න ඇතිවුනේ” යැයි ඔහු පැවසී ය.
නිසි පරීක්ෂනයක් පැවැත්වීමට නම්, කලමනාකරනයේ දැඩි බිය ගැන්වීම්වලින් තොර ව කම්කරුවන්ට සත්‍යය පැවසීමට ඉඩ දිය යුතු බව ඔහු අවධාරනය කලේ ය. නමුත්, ධනපති අවශ්‍යතා ආරක්ෂා කරන රාජ්‍යයේ කොටසක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැම විට ම කලමනාකරනයේ පැත්ත ගන්නා බැවින්, අපක්ෂපාතී පරීක්ෂනයක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව ද, ගින්න පිලිබඳ සැබෑ තොරතුරු අනාවරනය කරගත හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන පරීක්ෂනයකට පමනක් බව ද ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්නෝ ය.
ධනේශ්වර රාජ්‍යය සමාජයට ඉහලින් සිටින මධ්‍යස්ථ බේරුම්කරුවෙකු නොවේ. එය පන්ති පාලනයේ මෙවලමකි. එහි පොලිසිය, කම්කරු දෙපාර්තමේන්තු, උසාවි පවතින්නේ පෞද්ගලික දේපල සහ එයින් ගලා එන ලාභ ආරක්ෂා කිරීමට මිස එම ධනය නිර්මානය කරන කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට නොවේ.
ලෝසවෙඅ වාර්තාකරුවන් කම්කරුවන්ට පැහැදිලි කලේ, වෘත්තීය සමිති ධනපතියන්ගේ උපකරන බවට පත්ව ඇති තතු තුල, තම ආරක්ෂාව ඇතුලු අනෙකුත් අවශ්‍යතා සඳහා සටන් කරනුවස්, කම්කරුවන් තම පන්ති බලයේ ස්වාධීන අවයව ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය සහ හදිසි කර්තව්‍යයක් වී ඇති බවයි. සාකච්ඡාවට ශක්තිමත් ප්‍රතිචාරයක් ලැබුනි.
අසල කර්මාන්ත ශාලාවක සේවකයෙකු පැවසුවේ, එදින උදෑසන ගින්න ගැන දැන ගත් නමුත්, කම්හල් පරිපාලනය, වැඩ මුරය අවසන් වන තුරු විපතට පත් වූ සහෝදර කම්කරුවන්ට සහාය වීමට යාමෙන් ඔවුන් වැලැක් වූ බවයි. “අපි වැඩ කරමින් සිටිය දී ගිනි නිවන රථ පසුකර යන හඬ අපට ඇසුනත්, නිෂ්පාදනය නැවැත්වීමට අපට හැකියාවක් තිබුනේ නැහැ. නිෂ්පාදනය දිගට ම කරගෙන යන ලෙස සුපවයිසර්ල අපට උපදෙස් දුන්නා. ප්‍රතික්ෂේප කිරීම අපගේ රැකියා අවදානමට ලක් කල හැකි යැයි අපි සිතූ නිසා, අපි නිහඬ ව වැඩ කලා. පසු ව, ඔවුන් පැවසුවේ ඔවුන් අපගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන නිසා මෙය කල බවයි.'
ඔවුන් අතර ස්වයංසිද්ධ එකමුතුවක් අවහිර කිරීම සඳහා කලමනාකරනය හිතාමතා ම සේවකයින් බලමුලු ගැන්වීම වලක්වා ඇති බව වාර්තාකරුවන් යෝජනා කල විට, ආහාර විවේක කාලයේ දී පවා සේවකයින් එක්රැස් වීම දැකීමට කලමනාකරනය අකමැති බව සඳහන් කරමින් මෙය නිවැරදි විය හැකි බව ඔහු පිලිගත්තේ ය. “සෑම කම්හලක ම ගින්නක් ඇති වීමේ අවදානම තියෙනවා. අපි වැඩ කරන කම්හලේ පවා, පිටාර පංකා නිසි ලෙස ක්‍රියාත්මක වේද යන්න බැලීමට කිසිදු පරීක්ෂනයක් නෑ. ඒ කිසිවක් ගැන අපිට සාකච්ඡා කරන්න බෑ. කලමනාකරනයට කියන්න ගියොත් ඔවුන්ගේ පිලිතුර වනුයේ, ‘ඔබට වැඩ කල නොහැකි නම්, ගෙදර යන්න’ යන්නයි.'
නෝර්ෆොක් කම්හලේ සේවකයෙකු කියා සිටියේ, එහි කලමනාකාරිත්වය ද කම්කරුවන්, විපතට පත්වූවන් සමග සම්බන්ධ වීම වලක්වා ඇති බවයි. වත්මන් ආන්ඩුව ගැන කතා කරමින් ඔහු මෙසේ පැවසුවේ ය: “මහජනතාවට නයට සහල් කිලෝග්රෑමයක්වත් ලබා දීම ගැන කතා කරන තරමට ආන්ඩුව දුප්පත් වෙලා.” යැයි ඔහු පැවසී ය. “ඔවුන් කරන්නේ ධනපතියාගේ සාක්කුව පිරවීමයි.'
කටුවාන කාර්මික ජනපදයේ ප්‍රචාරන සමාගමක සේවකයෙකු තම අත්දැකීම් මෙසේ විස්තර කලේ ය. “මීට පෙර, 2023 දී වෝටර්කෙයාර් සමාගමේ ගින්නක් ඇති වූ විට, අපි අපේ ම කර්මාන්ත ශාලාවෙන් ගිනි නිවන උපකරන රැගෙන ගින්න නිවා දැමීමට ගියා. මෙවර, ගින්න ඇති වූ ස්ථානයට යාමට අපට අවසර ලැබුනේ පැය භාගයක් වැනි කෙටි කාලයක් සඳහා පමනයි. කලමනාකාරිත්වය කියා සිටියේ ඇනවුම් සම්පූර්න කල යුතු බවයි. ඔවුන්ගේ සැබෑ සැලකිල්ල වූයේ ලාභ ආරක්ෂා කිරීමයි.'
කම්කරුවන්ගේ පැහැදිලි කිරීම් වලින්, නිමාටෝ කම්හලෙන් ඔබ්බට මුලු කාර්මික ජනපදය පුරා ම විහිදෙන ක්රමානුකූල සූරාකෑමේ චිත්‍රයක් නිර්මානය විය.
'කම්හල් තුල අතිශය දරුනු සූරාකෑමක් පවතිනව,” එක් කම්කරුවෙක් පැවසී ය. “කම්හල් හිමියන්, අනුමත අවම වැටුප වන රු. 27,000ක්වත් ගෙවන්නේ නෑ. පලමු මාස හය සඳහා අපට අතිකාල ගෙවීම් ලැබෙන්නේ නෑ. පැමිනීමේ දීමනාවක් ද ගෙවන්නෙ නෑ. උදෑසන ආහාරය සහ දිවා ආහාරය ලබා දෙන නමුත් අපට දෙන්නෙ රු. 1,200ක දෛනික වැටුපක්. මුලදී ඔවුන් රු. 1,500ක් පොරොන්දු වුනා. දැන් රු. 1200කින් මොකක් ද කරන්න පුලුවන්.'
වයස්ගත අයට සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට සිදු නොවන නිසා, ඉතා වැඩිහිටි පුද්ගලයින් සේවයේ යෙදවීමට කලමනාකාරිත්වය විශේෂයෙන් කැමැත්තෙන් සිටින බව ඔහු හෙලි කලේ ය - එය සමස්ත කාර්මික ජනපදයේ ම ලක්ෂනයක් බව ඔහු පැවසීය.
ගින්නෙන් විනාශ වූ හෙල්මට් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට වසර දෙකක පමන කාලයක් ඔවුන්ගේ අර්ථ සාධක දායක මුදල් ගෙවා නොමැති බව වෙලඳ දැන්වීම් සමාගම් සේවකයා තහවුරු කලේ ය. “අපේ රැකියා සුරක්ෂිතභාවය සෑම අතින් ම පහත වැටෙමින් පවතිනවා.'
හෙල්මට් කම්හලේ කාන්තා සේවිකාවක් කියා සිටියේ තේ විවේකයේ දී ගින්න ඇති වූ නිසා ඇය ඇතුලු අනෙක් අයගේ ජීවිත රැකුනු බවයි. “විනාශ වූ හැඳුනුම්පත්, ජංගම දුරකථන සහ අනෙකුත් භාන්ඩ නැවත ලබා දීමට සමාගම පොරොන්දු වූ නමුත් මෙතෙක් කිසිවක් ලබා දී නැතැ” යි ද ඇය පැවසුවා ය.
කිසිදු සේවකයෙකුට රැකියාව අහිමි නොවන බව හිමිකරු පැවසුව ද, මෙහෙයුම් නැවත ආරම්භ වන තුරු ඔවුනට මූලික වැටුප පමනක් ගෙවීමට ඔහු අදහස් කරන බව කම්කරුවෝ දැන සිටියහ. සේවකයින් 80 ක් පමන දැනටමත් වෙනත් රැකියා සඳහා පිට ව ගොස් ඇති අතර, ඉතිරි ව සිටින ආසන්න වශයෙන් 20 ක් පමන වන සේවකයන්ට ද වැටුප් ලැබෙනු ඇතැයි ඇය විශ්වාස කලේ නැත.
කටුවාන ගින්න සම්බන්ධයෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය එහි මාස 18ක වාර්තාවට සම්පූර්නයෙන් ම අනුකූල වේ. එය ප්‍රධාන ක්ෂේත්රයන්ගේ වැඩ වර්ජන අපරාධකරනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා නීති ක්‍රියාත්මක කර ඇති අතර, පොලිසිය සහ හමුදාව වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන් බිඳ දැමීමට සූදානමේ තබා ඇත. අනතුරුදායක තත්වයන්ට ඔරොත්තු දීමේ කම්කරුවන්ගේ හැකියාව තවදුරටත් සීමා කිරීම සඳහා කම්කරු නීති විශාල වශයෙන් සංශෝධනය කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටී.
ජවිපෙ/ජාජබ සමඟ අනුබද්ධිත වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති, පන්ති සහයෝගීතාවයේ මෙවලම් ලෙස තම හුරුපුරුදු භූමිකාව ඉටු කර ඇති අතර, සේවා ස්ථාන ආරක්ෂාව ඉවත් කිරීමට සහ වැඩ වර්ජන මර්දනය කිරීමට එරෙහි ව කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය දියකර හැරීමට එම සමිති දැනුවත් ව වැඩ කරයි. වෘත්තීය සමිති නිලධරය යනු සමාගම් සහ රාජ්‍යයේ ආයතනයක් මිස කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වූ උපකරනයක් නොවේ.
සමාගම් ගැති වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන වූ සහ කම්කරුවන් විසින් ම පාලනය කරනු ලබන ක්‍රියාකාරී කමිටු සෑම වැඩබිමක ම, වැඩපොලක ම ස්ථාපිත කල යුතු ය. කර්මාන්තශාලා අනාරක්ෂිත වූ විට මෙම කමිටු විසින් නිෂ්පාදනය නතර කල යුතු ය, ආරක්ෂක දත්ත සම්පූර්නයෙන් හෙලිදරව් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය, සහ රැකියා සහ වැටුප් ආරක්ෂා කිරීමට සටන් කරන අතරතුර කාර්මික මරන සහ තුවාල සඳහා වගකිව යුතු අය නීතිය හමුවට පැමිනවිය යුතු ය.
කටුවාන ගින්න හුදකලා ඛේදවාචකයක් නොවේ. එය ජූලි 12 වන දින බැංකොක්හි 30 දෙනෙකු ඝාතනය කල, මාර්තු මාසයේදී දකුනු කොරියාවේ ඩේජියොන් හි වාහන අමතර කොටස් කම්හලක කම්කරුවන් 14 දෙනෙකු පුලුස්සා දැමූ සහ 2025 ඔක්තෝබර් මාසයේ දී ඩකා ඇඟලුම් කම්හලක කම්කරුවන් 16 දෙනෙකු ඝාතනය කල ගින්නට සමාන රටාවකට අයත් වේ. ආරක්ෂක රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මේ සෑම රටක ම, ආන්ඩු විසින් ප්‍රතික්ෂේප කිරීම පිටුපස පවතින්නේ, ආරක්ෂාව සඳහා වැය කරන සෑම රුපියලක් ම, වොන් එකක් හෝ ඩොලරයක් ම ධනපතියාගේ ලාභයෙන් අඩු කිරීමක් වන බවට ඔවුන් තුල පවත්නා පොදු උත්සුකයයි.
ශ්‍රී ලංකාවේ කම්කරුවන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා තම අරගල ජාත්‍යන්තර කම්කරු අරගල සමඟ ඒකාබද්ධ කරමින්, ලාභය අරමුනු කරගත් ගෝලීය ධනවාදය පෙරලා දමා, මානව අවශ්‍යතා සපුරාලන ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා සටන් වැදිය යුතු ය.
කර්මාන්තශාලා තුල සිදු කරනු ලබන කුරිරු ප්‍රහාර සම්බන්ධයෙන් දේශපාලන නිගමන උකහා ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවීම ඔවුන්ගේ දෛනික ජීවිතයේ වෙන් කල නොහැකි කොටසක් බවට පත් කරන ලෙස ලෝසවෙඅ වාර්තාකරුවෝ කටුවාන කාර්මික කලාපයේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියහ.
වැඩිදුර කියවන්න
- හෙල්මට් කම්හලේ ගින්නෙන් කම්කරුවන් 5 දෙනෙක් මිය යති
- කටුවාන කාර්මික ජනපදයේ කම්කරුවෝ එහි ශ්‍රම වහල් කොන්දේසි ගැන ලෝසවෙඅ ට කතා කරති
- හෝමාගම කර්මාන්තපුරයේ කම්හල් ගින්න කම්කරුවන් මුහුනදෙන අන්තරායකාරී කොන්දේසි අනාවරනය කරයි
- එක් සතියක් තුල ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් කාර්මික අනතුරුවලින් මිය යති
- එල්ෆීස් ලංකා ඇඟලුම් සමාගම, රැකියා සුරක්ෂිතභාවය ඉල්ලා කාර්මික ක්‍රියාවන්හි නියැලුනු කම්කරුවන්ට ඇතුලුවීම තහනම් කරයි
