ලංකාවේ රාජ්‍ය අංශ වෘත්තීය සමිතිවල සම්මේලනය: අයිඑම්එෆ් කප්පාදුවට එරෙහි අව්‍යාජ අරගලයක් වැලැක්වීමේ වෑයමක්

අගෝස්තු 14 දා, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා වෘත්තීය සමිති මධ්‍යස්ථානය (පීඑස්ටීයූසී)සමුලුවක් කැඳවා තිබුනේ,  ආන්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිත ඉල්ලීම් හයක් සම්මත කර ගැනීම සඳහා ය.

රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා මාසික ව රුපියල් 25,000ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීම; අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ මත පනවා ඇති බදු අහෝසි කිරීම; විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම; සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) සහ සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත වෙනස්කම්වලට විරෝධය පල කිරීම; රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම; සහ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩු කිරීම යනාදිය මෙම ඉල්ලීම්වලට ඇතුලත් වේ.

පීඑස්ටීයූසී යනු වෘත්තීය සමිති 33ක සන්ධානයකි. ඒවා අතර ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානය (ඒසංනිම), රාජ්‍ය හා පලාත් පාලන කලමනාකරන නිලධාරීන්ගේ සංගමය, දුම්රිය නිලධාරීන්ගේ සංගමය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික ග්‍රාම නිලධාරී සංගමය, සහ එක්සත් ජාතික තැපැල් සේවක සංගමය ඇතුලත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු වැඩසටහන යටතේ, 2023 සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් උත්සන්න කරන ලද රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත එල්ල කරන අඛන්ඩ ප්‍රහාරයට එරෙහි ව කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධයක් පවතී.දැන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව, එම ප්‍රහාරය තවදුරටත් තීව්‍ර කරමින් සිටී.

මාස ගනනාවක් මුඛ පූට්ටු කර ගෙන සිටීමෙන් අනතුරු ව, වෘත්තීය සමිති මෙම ඉල්ලීම් සකස් කර ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව 2027 අයවැය සකස් කිරීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවේ දී, ඒවා ආන්ඩුවට ඉදිරිපත් කිරීම සඳහා ය. මෙහි අරමුන ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීම සඳහා අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොව, අයවැය සකස් කරන අතරතුර ආන්ඩුවට බලපෑම් කිරීමෙන්, කම්කරුවන්ට එම ඉල්ලීම් දිනාගත හැකි බවට මිථ්‍යාවක් වගාදිගා කිරීමයි.

සමුලුව දැනුවත් ව ම සහභාගිවන්නන් 300කට පමන සීමා කර තිබූ අතර, ඔවුන්ගෙන් බහුතරය වෘත්තීය සමිති නිලධාරීහු වෙති. පුලුල් සාමාජිකත්වයට කිසිදු ආරාධනයක් කෙරී නොතිබුනි.

මෙහි ඉලක්කය වූයේ, සාමාජිකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් ඇති වීම වැලැක්වීමයි. ඔවුන්ට තමන්ගේ ම ඉල්ලීම් සහ අරගලයේ මූලෝපාය සාකච්ඡා කිරීමට, එය සූත්‍රගත කිරීමට හෝ ඒවා පිලිබඳ ව ඡන්දය දීමට කිසිදු අවස්ථාවක් ලබා දී නොතිබිනි.

අගෝස්තු 21 දා, පීඑස්ටීයූසීය, සිය යෝජනා ජනාධිපති ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කලේ ය. “අපි ආන්ඩුව සමඟ වහා ම සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා. එය සිදු නොවුන හොත්, සියලු ම වෘත්තීය සමිති එක්සත් කර වැඩවර්ජනයක් කැඳවීමේ හැකියාව පිලිබඳ ව අපි සාකච්ඡා කරමින් සිටිනවා” යි පීඑස්ටීයූසීහි කැඳවුම්කරු සහ ඒසංනිමහි ලේකම් ධම්මික මුනසිංහ මාධ්‍යයට කීවේ ය.

මෙය හිස් පුරසාරම් දෙඩවිල්ලකි. පසුගිය වසර දෙක පුරා, අනෙක් වෘත්තීය සමිති මෙන් පීඑස්ටියූසී ද ජවිපෙ/ජාජබ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව රාජ්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම ක්‍රමානුකූල ව අවහිර කර ඇත. කම්කරුවන් බලමුලු ගැන්වීම වෙනුවට, වර්ධනය වෙමින් පවතින කෝපය වාෂ්ප කිරීම සඳහා සැලසුම් කල හුදකලා හා සීමිත කාර්මික ක්‍රිමාර්ගවලට ඔවුන්ගේ විරෝධය සීමා කර තිබේ. 

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ 2025 අයවැයෙන්, වසර තුනක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වූ ඉතා සොච්චම් වැටුප් වැඩිවීමක් ලබා දෙන ලදි. අඩු ම වැටුප් ලබන ශ්‍රේනිවල සේවකයන්ට ලැබුනේ රුපියල් 8,250ක් පමනක් වූ අතර, ඉහල ශ්‍රේනිවල සේවකයන්ට ලැබුනු වැඩිවීම්වල අනුපාතිකයන් ඊටත් වඩා අඩු විය. මෙම වැඩිවීම ප්‍රමානවත් නොවන බවට වෘත්තීය සමිති නායකයන් මුල දී හඬ තැලුව ද අවසානයේ ඔවුහු ආන්ඩුවේ තීරනය පිලිගත්හ.

අනෙක් අතට,ආන්ඩුව එම සොච්චම් වැටුප් වැඩි වීම පවා, අතිකාල සේවා පැය කපා හැරීම සහ අතිකාල ගෙවීම් අඩු කිරීම මගින් හිලව්කර ගත්තේ ය. උද්ධමනය හේතුවෙන් එම වැඩිවීමේ සැබෑ වටිනාකම ද වේගයෙන් ඛාදනය වී තිබේ.

කෝවිඩ්-19 වසංගතය සහ නැටෝවේ රුසියාවට එරෙහි යුක්‍රේන යුද්ධය මගින් තව දුරටත් උග්‍ර කරන ලද 2022 ආර්ථික කඩාවැටීමෙන් පසු ව, 2026 වන විට රාජ්‍ය අංශයේ වැටුප්වල සැබෑ වටිනාකම සියයට 24කින් පහත වැටී ඇති අතර, පෞද්ගලික අංශයේ වැටුප් සියයට 14කින් පහල ගොස් ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ප්‍රධාන උද්ධමන අනුපාතය ජුනි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහල ගියේ ය. නිල දරිද්‍රතා රේඛාව ද රුපියල් 17,592 දක්වා ඉහල ගොස් ඇති අතර, එය පෙර මාසයට වඩා රුපියල් 277ක වැඩි වීමකි. කොලඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ ජූලි මාසයේ 194.1 සිට මෙම වසරේ ජූලි මාසයේදී 208.2 දක්වා ඉහල ගියේ ය.

මෙම කොන්දේසි යටතේ, සැබෑ වැටුප් පහත වැටීම සහ ජීවන වියදම ඉහල යාම පියවා ගැනීම සඳහා ප්‍රමානවත් වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටීම වෙනුවට, පීඑස්ටීයූසීවේ රුපියල් 25,000ක සොච්චම් මාසික දීමනා ඉල්ලීම මගින් අවධාරනය කෙරෙන්නේ, ආන්ඩුවේ පුලුල් කප්පාදු වැඩසටහනට අභියෝග කිරීම එය විසින් ප්‍රතික්ෂේප කොට තිබීමේ කාරනයයි.

2027 අයවැයෙන්, දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) ප්‍රාථමික අතිරික්තය සියයට 2.3ක් වන ලෙස පවත්වා ගෙන යාමටත්, ප්‍රමුඛ රාජ්‍ය වියදම් දදේනියෙන් සියයට 13කට සීමා කිරීමටත් අයිඑම්එෆ් ආයතනය නියෝග කර ඇත. මුදල් අමාත්‍යාංශයේ  ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත අගෝස්තු 23 දා වාර්තා කලේ, මෙම ඉලක්ක මගින් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් හෝ රාජ්‍ය සේවා පුලුල් කිරීමක් ප්‍රායෝගික ව ම වැලැක්වෙන බව යි.

ගැඹුරු වෙමින් පවතින සමාජ අර්බුදය, අයිඑම්එෆ් කප්පාදු නියෝගවල ප්‍රතිඵලයක් වන අතර, ජවිපෙ/ජාජබ ආන්ඩුව කරමින් ඇත්තේ එම කප්පාදු තවදුරටත් උත්සන්න කිරීමයි. බදු පදනම පුලුල් කිරීම, ඉන්ධන සහ විදුලිය සඳහා ලබා දෙන සහනාධාර ඉවත් කිරීම, ගාස්තු වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම හා පුද්ගලීකරනය කිරීම මෙම පියවරවලට ඇතුලත් වේ. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊස්‍රායල යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් මිල සහ අත්‍යවශ්‍ය ආනයනවල පිරිවැය ඉහල යාම, වැඩ කරන ජනතාව මත පවතින බර බෙහෙවින් ම වැඩි කර තිබේ.

2027 වන විට, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම, වක්‍ර බදුකරනය පලල් කිරීම සහ විදුලි හා ඉන්ධන මිල ලෝක වෙලඳපොල මිල ගනන් සමඟ සම තත්වයකට ගෙන ඒම ඇතුලු තවත් “ප්‍රතිසංස්කරන” සම්පූර්න කරන ලෙස අයිඑම්එෆ් නියෝග කර තිබේ. පීඑස්ටීයූසීයේ නායකයන් ඇතුලු වෘත්තීය සමිති නායකයන් මෙම පියවරවල මූලික රාමුව පිලිගෙන ඇති අතර, එමගින් ඔවුහු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අත්‍යවශ්‍ය උපාංග ලෙස සේවය කරති.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කල 2022 මහජන නැගිටීම සමයේ, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස අරගලයට පිවිසීම වැලැක්වීම සඳහා වෘත්තීය සමිති වෙහෙස නො තකා වැඩට බැස ගත්තේ ය.

මිලියන ගනනක් කම්කරුවන් විරෝධතාවලට එක් වූ විට, 2022 අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල සීමිත එක්දින මහ වැඩවර්ජන කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුනි. සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් ඒවාට සහභාගි වූ අතර, වාර්ගික බෙදීම් ඉක්මවා ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමට පවතින දැවැන්ත විභවය එමගින් පෙන්නුම් කෙරිනි. වෘත්තීය සමිති නායකයෝ පෙසප සහාය ඇති ව අරගලය පාවා දෙමින්, එය ජවිපෙ/ජාජබ සහ සමගි ජන බලවේගය විසින් කැඳවූ අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ ඉල්ලීමකට අපසරනය කර යැවූහ.

පසු ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කප්පාදු පියවරවලට එරෙහි ව පැතිරුනු විරෝධය හේතුවෙන්, සීමිත විරෝධතා සහ වැඩවර්ජන කැඳවීමට වෘත්තීය සමිතිවලට සිදු විය. කෙසේ වෙතත්, ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති සමඟ එක් ව මෙම ක්‍රියාමාර්ග අත්හිටුවීම මගින්, වෘත්තීය සමිති නිලධරය ජවිපෙ/ජාජබ ආන්ඩුවට බලයට පැමින අයිඑම්එෆ් න්‍යාය පත්‍රය, එහි නමින් ම එ ලෙස ම  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තත්ත්වය නිර්මානය කිරීමට උපකාර කලේ ය.

පසුගිය වසර දෙක පුරා, වෘත්තීය සමිති නායකයන් රාජ්‍ය සේවකයන්ගේ අරගල යලි යලිත් සීමා කරමින්  පාවා දී තිබේ.

2025 මාර්තු මාසයේ දී, අතිකාල දීමනා කපා හැරීමට එරෙහි ව තැපැල් වෘත්තීය සමිති නායකයෝ, ආසන්න වශයෙන් කම්කරුවන් 19,000ක් සහභාගි වූ දෙ දින වැඩ වර්ජනයක් කැඳවූහ. දීමනා අනුපාතවල සුලු සංශෝධන පිලිගනිමින් ඔවුහු එම ක්‍රියාමාර්ගය අවසන් කලහ. 2025 අගෝස්තු මාසයේ දී, ඉල්ලීම් 19ක් මත තැපැල් සේවකයන් 17,000ක් ජාතික වැඩ වර්ජනයක් ආරම්භ කලෝ ය. සතියක් පුරා පැවති එම වැඩවර්ජනය මර්දනය කිරීමට ආන්ඩුව හමුදාව සහ පොලිසිය යෙද වූ විට, එකදු ඉල්ලීමක් හෝ දිනා නොගෙන වෘත්තීය සමිති නායකයෝ වැඩවර්ජනය අත්හැර දැමූහ.

තැපැල් සේවකයින්, 2025 අගෝස්තු 19 වන දින කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පෙලපාලි යමින්.

දුම්රිය වෘත්තීය සමිති වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් සංකේතාත්මක විරෝධතා මාලාවක් පවත්වා තිබේ. වඩාත් බරපතල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට යලි යලිත් තර්ජනය කල ද දුම්රිය සේවය සැලසුම්ගත ව පුද්ගලීකරනයට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනැගීම ඔවුහු දැනුවත් ව වලක්වා ඇත.

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සේවකයෝ ද පුද්ගලීකරනයට විරෝධය පල කලහ. ලංවිම වෘත්තීය සමිති නායකයන් මෙම විරෝධය පාවා දීමත් සමඟ, ඉන් ගැම්ම ගත් ආන්ඩුව, පුද්ගලීකරනයට මාවත සකසමින්  ලංවිම සමාගම් හයකට බෙදීමට සමත් වූයේ ය. එමගින් සේවකයන් 2,000කට වැඩි පිරිසකට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට බල කෙරුනි. අලුතින් නිර්මානය කරන ලද ආයතන වෙත මාරු කරන ලද සේවකයෝ, දැන් වඩාත් ගැඹුරු වෙමින් පවත්නා රැකියා අනාරක්ෂිතභාවයකට මුහුන දී සිටිති.

පසුගිය වසර දෙකේ අත්දැකීම් ප්‍රදර්ශනය කරන්නේ වැටුප්, රැකියා හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා කම්කරුවන්ට වෘත්තීය සමිති යාන්ත්‍රනයන් මත විශ්වාසය තැබිය නො හැකි බවයි. වෘත්තීය සමිති නිලධාරීහූ ධනේශ්වර රාජ්‍යයේ කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරමින්, කම්කරුවන් ආන්ඩුවේ, සමාගම්වල සහ අයිඑම්එෆ්හි නියෝගවලට යටත් කරමින් සිටිති.

කම්කරුවෝ සෑම රජයේ වැඩපොලක ම, කාර්යාලයක ම, වතුයායක ම හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතු ය. එම ප්‍රහාරවලට ම මුහුන දෙන පෞද්ගලික අංශයේ කම්කරුවන් ද තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතු ය. මෙම කමිටු සියලු ම ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන විය යුතු අතර, වෘත්තීය සමිති නිලධරයන්ට ඒවා තුලට වැද්ද නොගත යුතු ය. එ මෙන් ම කර්මාන්ත හා වාර්ගික බෙදීම් ඉක්මවා කම්කරුවන් සම්බන්ධ කිරීමට ඒවා ක්‍රියා කල යුතු ය.

ලංකාවේ කම්කරුවන්  මුහුන දී ඇත්තේ, රැකියා, වැටුප් හා සමාජ සේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන ගෝලීය ප්‍රහාරයට ම ය. යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි පොදු අරගලයක් තුල, මෙම ක්‍රියාකාරී කමිටු කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) සමඟ සම්බන්ධීකරනය කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), මෙම ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා  ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා සටන් කරයි. එවැනි සම්මේලනයක් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීම සඳහා පදනම සපයනු ඇති අතර, සමාජවාදී වැඩපිලිවෙලක් වටා ග්‍රාමීය දුගීන් රැලි කරගනු ඇත. සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම අරගලයට එක්වන ලෙස  යි.

Loading