[මෙය கிளிநொச்சியில் அபிவிருத்தித் திட்டங்களுக்கான நியாயமற்ற நில அபகரிப்புக்கு எதிராக தொழிலாளர்கள் மற்றும் கிராமப்புற ஏழைகளின் சுயாதீனமான இயக்கத்தை கட்டியெழுப்புங்கள்
මැයෙන් 2026 සැප්තැම්බර් 8 වන දින දෙමල බසින් පල විය.]
ප්‍රධාන සුලං විදුලි ව්‍යාපෘතියක්, හුනුගල් කැනීමක් හා සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා, තමන්ගේ ඉඩම් අත්පත් කරගැනීමට ආන්ඩුව දරන ප්රයත්නයන්ට එරෙහි ව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාංචි, වේරවිල්, වැලෙයිපාඩු, පොන්නාවේලි හා පාලාවි ප්‍රදේශවල සිය ගනනක් ජනයා, මාස ගනනාවක් තිස්සේ අඛන්ඩ විරෝධතාවල නිරත වී සිටිති.
කිරාංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරාංචි ගමේ, පොල් වතු හා වෙනත් පෞද්ගලික ඉඩම් මත සුලං ටර්බයින 11ක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. එක් ටර්බයිනයකට ඉඩම් අක්කර 6.25ක් අවශ්‍ය වන අතර, එක් ටර්බයිනයක් සඳහා පොල් ගස් 60ත් 80ත් අතර ප්‍රමානයක් විනාශ කිරීමට සිදුවනු ඇත. සමස්තයක් ලෙස පෞද්ගලික ඉඩම් අක්කර 56.25ක් පමන අත්පත් කරගනු ඇත. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා, තම නිවාස හා ජීවනෝපායන්ට තර්ජනයක් එල්ල වන බව, ප්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූ හ. ගොවි පවුල් 22කට අයත් පොල් ගස් 2,500කට ආසන්න ප්‍රමානයක් විනාශ වීමේ අවදානමට මුහුන පා ඇත.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි (පූනේරින්) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වේරවිල්, වලෙයිපාඩු, පොන්නාවේලි සහ පාලාවි යන ගම්මාන හතරේ ජනතාව, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගම යෝජනා කර ඇති, මතභේදාත්මක ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ව්‍යාපෘතියකට විරුද්ධ වෙති. පූනගරි සහ පොන්නාවේලි ප්‍රදේශයේ සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියෙන් ඇතිවිය හැකි බරපතල පාරිසරික හා සමාජීය බලපෑම් නොතකා, හුනුගල් කැනීම සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ඉඩම් අක්කර 3,000ක් අත්පත් කර ගැනීම ඇතුලත් වේ.
ශ්‍රී ලංකාවේ දශක ගනනාවක් පැවති සිවිල් යුද්ධයෙන් දැඩි ම ලෙස බැටකෑ ප්‍රදේශවල ජීවත් වන මෙම ජනතාව, මෙම දැවැන්ත ව්‍යාපෘතියට තම ඉඩම් අහිමි වීම යනු තම ජීවනෝපායන් අහිමි වීමත්, තවදුරටත් ගැඹුරු දරිද්‍රතාවට හා දුෂ්කරතාවන්ට තල්ලු වී යාහැකි බවට යුක්තිසහගත ලෙස ම බිය වෙති.
ඔවුන්ගේ බිය හුදෙක් සිය ඉඩම් අහිමි වීම ගැන පමනක් නොවේ. ව්‍යාපෘතිවල බරපතල පාරිසරික බලපෑම්, තම ජීවිත තව දුරටත් විනාශ කරනු ඇතැයි ද ප්‍රදේශවාසීහු බිය වෙති.
යෝජිත සුලං විදුලි සහ සිමෙන්ති කර්මාන්ත ශාලා ව්‍යාපෘතිවලට විරෝධය දැක්වීමට ගොඩනගන ලද එක්සත් ජනතා සංවිධානය (එජස), පෙබරවාරි 7 දා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යැවූ ලිපියකින්, ඔවුන්ගේ උත්සුකතාවන් තවදුරටත් අවධාරනය කර තිබිනි. එහි මෙසේ සඳහන් විය: “නේවාසික ප්‍රදේශවල ස්ථාපනය කරන සුලං ටර්බයින මගින් ජනනය වන ශබ්දයත්, උදෑසන හා සවස් කාලවල හිරු එලිය නො ලැබීමත් හේතුවෙන් ඉරුවාරදය, මානසික ආතතිය, කම්මැලිකම සහ සිසුන්ට අවධානය යොමු කිරීමට නොහැකි වීම වැනි කායික හා මානසික ගැටලු ඇති කරයි...”
සුලං විදුලි බලාගාරය, වෘක්ෂලතාවලින් ආවරනය වූ ද කෘෂිකර්මයට නුසුදුසු නිස්සාර, ජලයෙන් යටවන හෝ පුරන් වූ මුඩු ඉඩම්වල පිහිටුවනු ඇති බවට ආන්ඩුවේ “විශේෂඥ කන්ඩායම” කල ප්‍රකාශය, එම ලිපියෙන් අභියෝගයට ලක් කෙරුනි. ඊට ප්‍රතිවිරුද්ධ ව, මෙම ඉඩම් දේශීය ජීවනෝපායන්ට අත්‍යවශ්‍ය බව එම ලිපිය සඳහන් කලේ ය. ලිපිය වෝදනා කලේ, මහජනයා රැවටීමට හා ප්‍රදේශයේ ජීවනෝපායන් විනාශ කිරීමට ඉඩකඩ සැලසීමේ අරමුනින්, ව්‍යාපෘති ප්‍රවර්ධකයන් ඉඩම්වල ස්වභාවය හා භාවිතය හිතාමතා ම වැරදි ලෙස ඉදිරිපත් කරන බවට යි.
මැයි 28 දා එජස විරෝධතාවක් කැඳවූ අතර, එයට පුද්ගලයන් 500ක් පමන සහභාගී වූ හ. විරෝධතාකරුවෝ, “අපගේ සාමකාමී ජීවිත විනාශ කරන සුලං විදුලි බලාගාර තවත් එපා,” “ජීවීන් විනාශ නොකරනු,” “අපට අපේ ඉඩම් අවශ්‍යයි,” “අපගේ ජීවනෝපායන්ට පහර නොදෙනු,” “ස්වාභාවික සමතුලිතතාව විනාශ කරන සුලං විදුලි බලාගාර අපට කුමට ද?” හා “හුනුගල් කැනීමෙන් නිකුත් වන විෂ වායු අපට එපා” යනාදී සටන් පාඨ සහිත පුවරු ඔසවා ප්‍රදර්ශනය කලහ. ජනතාවගේ ඉඩම් සමාගම්වල ලාභය වෙනුවෙන් විකිනීම නවත්වන ලෙස ද ඔවුහු ආන්ඩුවෙන් ඉල්ලා සිටි අතර, ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිහඬතාව ද ප්‍රශ්න කල හ.
ටෝකියෝ සිමෙන්ති සමාගමට 2012 දී ගවේෂන බලපත්‍රයක් ලැබී ඇති බවත්, පාරිසරික බලපෑම් ඇගයීමක් (ඊඅයිඒ) නොමැති ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පාරිසරික නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය සහ ඉඩම් හා කෘෂිකාර්මික ප්රතිසංස්කරන ව්‍යාපාරය (එම්ඕඑන්එල්ඒආර්) චෝදනා කල බව, ජාත්‍යන්තර ගොවිජන ව්‍යාපාරයක් වන ලා වියා කම්පෙසිනා සංවිධානයේ 2024 ජූනි 27 දා ලිපියක් වාර්තා කරයි. එම ලිපිය තවදුරටත් මෙසේ සඳහන් කලේ ය: “සමාගමේ ක්‍රියාකාරකම් දේශීය නීති උල්ලංඝනය කරනවා පමනක් නො ව, ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට ද පටහැනි වේ.”
ලිපිය වැඩිදුරටත් මෙසේ සඳහන් කලේ ය: “බලපෑමට ලක්වන ප්‍රදේශයට කඩොලාන වනාන්තර, ලවන වගුරුබිම් හා කලපු වැනි විවිධ මුහුදු ජීවීන්ට සහ සංක්රමනික පක්ෂීන්ට ආධාරක වන අතිශය වැදගත් පරිසර පද්ධති ඇතුලත් වේ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ ක්‍රියාකාරකම් මෙම වාසස්ථානවලට තර්ජනයක් වන අතර, කෘෂිකර්මයට සහ සත්ත්ව පාලනයට අත්‍යවශ්‍ය භූගත ජලයේ ලවනීකරනය උග්‍ර කිරීමේ අවදානමක් ද ඇත. එ සේ ම, කැනීම් සඳහා වනාන්තර එලි කිරීම නිසා, අලින්ගේ වාසස්ථාන කඩාකප්පල් කරමින් මිනිස්-අලි ගැටුම් තීව්ර කල හැකිය.”
2022 දී, පූනගරිහි ඛනිජ වැලි නිධි හඳුනාගැනීමෙන් පසුව, කිලෝමීටර් 16ක වෙරල තීරයක් ඔස්සේ වැලි කැනීම සඳහා යෝජනා ඉදිරිපත් විය. ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම අවශ්‍ය වන පොන්නාවේලිහි හුනුගල් නිස්සාරනය සඳහා ද සැලසුම් ඉදිරියට ගෙන යන ලදී. මෙම ව්‍යාපෘති දෙක ම හේතුවෙන් මුහුදු ජලය ගොඩබිමට කාන්දු වීමටත්, ඒ මගින් භූගත ජලයට ලුනු මිශ්‍ර වීමටත් ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු අනතුරු අඟවති. මෙය වෙරලබඩ ගම්මානවල පවතින පිරිසිදු පානීය ජල හිඟය තවත් උග්‍ර කරනු ඇතැයි ද ගැඹුරු හුනුගල් කැනීම් මගින් භූගත ජලය ලවනීකරනය වීමේ අවදානම තවදුරටත් ඉහල යා හැකි යයි ද ප්‍රදේශවාසීහු බිය වෙති.
රටෙහි වයඹදිග වෙරලට ඔබ්බෙන් පිහිටි මන්නාරම් දූපතේ මතභේදාත්මක සුලං විදුලි යෝජනා ක්‍රමය ඇතුලු පූර්ව ව්‍යාපෘතිවල විනාශකාරී ප්‍රතිවිපාක පිලිබඳ ව, විරෝධතාවල නිරත ජනතාව හොඳින් දනිති.
2025 නොවැම්බරයේ දී, මන්නාරමේ පිහිටුවීමට නියමිත වූ, රටේ විශාල ත ම සුලං විදුලි බලාගාරයේ මෙගාවොට් 250ක දෙවන අදියර නතර කිරීමට, ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට බල කෙරුනු අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක වටිනාකමකින් යුක්ත එම ව්‍යාපෘතිය ප්‍රදේශවාසීන්, ධීවරයන්, පූජකවරුන්, කාන්තාවන්, තරුනයන් හා අනෙකුත් පිරිස් මාස තුනක් පුරා පැවැත්වූ විරෝධතා මාලාවකට මුහුන දී තිබිනි. ඉඩම් සහ ධීවර කලාපවලට ප්‍රවේශය සීමා වීම, ඉදිකිරීම් හේතුවෙන් ගංවතුර ඇතිවීම හා ජලාපවාහනයේ වෙනස්කම්, ශබ්දය, මත්ස්‍ය අස්වැන්න අඩුවීම හා නිසි සැලස්මක් නොමැති වීම පිලිබඳ ව පදිංචිකරුවෝ උත්සුකතා පල කල හ.
ව්‍යාපෘතියේ පාරිසරි බලපෑම් තක්සේරුව (ඊඅයිඒ්) , ටර්බයිනවල ශබ්දය වෙරල ආසන්න මසුන් පලවා හැර කුඩා පරිමාන ධීවර අස්වැන්නට හානි කල හැකි බවට ධීවරයන්ට බියක් පවතින බව පිලිගත්තේ ය. පාරිසරික සමීක්ෂනවලින් ද හඳනාගෙන ඇත්තේ, වංකාලෙයිහි රැම්සාර් අභයභූමිය අසල, ( සක්‍රීය ටර්බයින් පෙතිවලවල පක්ෂීන්) ගැටීම් හා වාසස්ථාන කඩාකප්පල් වීම ඇතුලු ජාත්‍යන්තර වසයෙන් වැදගත් පක්ෂි ජීවිතයට බරපතල අවදානම් ඇති බව ය. පවතින තම්බපවනි බලාගාරය නිරීක්ෂනය කිරීමේ දී, 2021 සැප්තැම්බර් සිට 2023 මාර්තු දක්වා වූ කාලය තුල, පක්ෂීන් සහ වවුලන්ගේ මල සිරුරු 376ක් වාර්තා වී තිබුනි.
කිරාංචි-වේරවිල් සහ මන්නාරම් සුලං විදුලි ව්‍යාපෘති වෙන වෙන ම පැවතියත්, ඒවා මන්නාරම-පූනේරින් ප්‍රදේශය වටා ඇති ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරලබඩ සුලං කලාපය තුල පිහිටා ඇත. යෝජිත සිමෙන්ති කර්මාන්ත ශාලාව සමඟ එක් ව ගත් කල ඒවා පිලිබිඹු කරන්නේ, යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාත ජාතික හා ජාත්‍යන්තර ආයෝජන ජාලවලට ඒකාග්ර කරගැනීම සඳහා අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවල පුලුල් පිලිවෙතයි.
ජනතා විමුක්ති පෙරමුනු/ ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව මෙම ක්‍රියාදාමය වැඩිදුරටත් තීව්ර කර ඇතුවා පමනි. “සංවර්ධනයේ” හා පුනර්ජනනීය බලශක්තිය පුලුල් කිරීමේ නාමයෙන් ඉදිරිපත් කරනු ලබන මෙම පිලිවෙත, බොහෝ විට මෙම ඉඩම් හා ජලාශ මත යැපෙන ගොවි හා ධීවර ප්රජාවන්ගේ වියදමින් ඉඩම්, ස්වාභාවික සම්පත් හා හිඟන මට්ටමේ වැටුප් ශ්‍රමය, ලාභය මූලික කරගත් දේශීය හා විදේශීය ආයෝජකයන්ට විවෘත කර ඇත.
පංච ගම්මානවල පදිංචිකරුවන්ගේ පලල් විරෝධය හේතුවෙන්, ආන්ඩුවේ සැලසුම් මේ දක්වා ප්‍රමාද වී ඇත. ව්‍යාපෘති ඉදිරියට ගියහොත් වන්දි, මාර්ග සහ රැකියා ලබා දෙන බව පවසමින්, නිලධාරීහු එක් එක් ඉඩම් හිමියාගේ එකඟතාවය වෙන වෙන ම රැස්වීම් හරහා ලබාගැනීමට වංචනික ලෙස උත්සාහ කරමින් සිටිති. විශේෂයෙන් ම, මාර්ගය තනා දෙන බව කියන වර්ගයේ පොරොන්දු, දශක ගනනාවක් තිස්සේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් නොසලකා හැරීම නිසා ඇති කල දුෂ්කරතා ගසා කමින් කරන අල්ලස් දීමට නොඅඩු යමකි. 2009 දී, යුද්ධය අවසන් වුව ද මෙම ගම්මාන මන්නාරම-යාපනය A32 මහා මාර්ගයට සම්බන්ධ කරන මාර්ගය, බොහෝ දුරට තවමත් පදික වේදිකා ඉදි නො කල එමෙන්ම, වලවල්වලින් පිරී අතිශයින් අබලන් තත්ත්වයක පවතී.
ජවිපෙ/ජාජබ ආන්ඩුවට බලපෑම් කර, සහන ලබා ගැනීමටත් මෙම ව්‍යාපෘති නතර කිරීමටත් හැකි යැයි මිත්‍යාවක් වපුරන එජස නායකයෝ, “දේශපාලනය එපා” යන බැනරය දරාගෙන සිටිති. එහි සැබෑ අරමුන, ජූනි 24 දා පූනගරි ප්‍රාදේශීය කම්කරු, ගොවි හා ධීවර ක්‍රියාකාරී කමිටුව පිහිටුවීමට මේ වන විටත් මුලපුරා ඇති, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන ස්වාධීන විප්ලවවාදී ක්‍රියාමාර්ගය බැහැර කිරීමයි.
අනෙක් අතට මේ උදවිය ම, මෙම ප්රයත්නයන් අපසරනය කිරීමේ අරමුනින් ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), සමස්ත ලංකා දෙමල කොංග්‍රසය (ඒසීටීසී), දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) ඇතුලු දෙමල ධනපති පක්ෂවල ද ජාතික ජන බලවේගය (ජාජබ) සහ ජන අරගල පෙරමුන (ජඅපෙ) ඇතුලු පක්ෂවල ද නියෝජිතයන් සමඟ, එජස සාකච්ඡා පවත්වා ඇත.
විරෝධතා ව්‍යාපාරයට දෙමල ජාතිවාදයේ විෂ පොවන්නට උත්සාහ කරමින් අගෙෝස්තු 16 දා කිරාංචියට පැමිනි ඒසීටීසී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙසේ කීවේ ය: “2009 න් පසු ඔවුන් [කොලඹ ආන්ඩු] දෙමල ජනතාවගේ වෙරලබඩ ප්‍රදේශ සම්පූර්න රාජ්‍ය පාලනය යටතට, එනම් සිංහල පාලනය යටතට ගෙන ඒමට ක්‍රියාකාරී ව කටයුතු කරමින් සිටිනවා. දකුනේ පවා, දෙමල ජනතාව ජීවත් වන ප්‍රදේශවල මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දෙමල ජාතිකවාදය වෙනුවෙන් සන්නද්ධ වී සටන් කල ජනතා යුද්ධය, වාර්ගික ශුද්ධිකරනය මගින් අවසන් කිරීමෙන් පසු, දේශපාලනික ව අරගල කරන ජනතාව සමඟ කතා නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා නොදී, ඔවුන් මේ ආකාරයෙන් අඛන්ඩ ව ක්‍රියා කර තිබෙනවා”
එවැනි ප්රතිගාමී ප්‍රකාශවල එක ම අරමුන වන්නේ, දශක තුනක යුද්ධයකින් විනාශ වූ මෙම ප්‍රදේශවල ඉඩම් සහ ලාභ ශ්‍රමය අධි-සූරාකෑම ඉලක්ක කරගත්, කුරිරු ධනේශ්වර ප්‍රහාරවලට එරෙහි ව සිංහල හා දෙමල ජනතාවගේ ස්වාධීන බලමුලු ගැන්වීම වැලැක්වීම යි.
මෙම ව්‍යාපෘතිවලට එරෙහි වීමේ දී, මෙම දෙමල ධනපති පක්ෂ මත හෝ, එම පක්ෂවලට හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම්වලට ආයාචනා කරන එජස වැනි සංවිධාන මත ජනතාවට විශ්වාසය තැබිය නො හැක. මන්නාරමේ අත්දැකීම මෙය පැහැදිලි ව ප්‍රදර්ශනය කරයි. මන්නාරම් පුරවැසි කමිටුව, යෝජිත සුලං විදුලි සහ ඛනිජ වැලි කැනීම් ව්‍යාපෘතිවලට එරෙහි ව, දවස් 105ක විරෝධතාවක් මෙහෙය වූ නමුත්, සුලං විදුලි බලාගාර සීමා කිරීම හා ඛනිජ වැලි කැනීම නතර කිරීම පිලිබඳ එකඟතාවන්ට ආන්ඩුව සමඟ එලඹීමෙන් පසු, එය නතර කලේ ය.
මෙය පාවා දීමක් බව සනාථ විය. 2025 නොවැම්බරයේ දී, ආන්ඩුව තම ඉල්ලීම් පිලිගෙන ඇති බව පවසමින්, මාකස් පූජකවරයා විරෝධතාව අවසන් කල බව නිවේදනය කලේ ය. එහෙත් ඉන් පසු, මෙගාවොට් 20ක ව්‍යාපෘතියක් විවෘත කල ජනාධිපති දිසානායක, තවත් මෙගාවොට් 50ක ව්‍යාපෘතියක් ආරම්භ කර, මුල්ලිකුලම්හි තවත් මෙගාවොට් 50ක හේලීස් ෆෙන්ටන්ස් සංගතයේ සුලං විදුලි ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබී ය. ආගමික නායකත්වය යටතේ පැවති පුරවැසි කමිටුව ජනතාව සටන් කිරීමට බලමුලු ගැන්වීම වෙනුවට, අරගලය අවසන් කිරීමේ දී ආන්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කල බව, මෙම වර්ධනයන් ප්‍රදර්ශනය කරයි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, අයිඑම්එෆ් හා ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ නියෝග යටතේ ක්‍රියා කරමින්, මෙම ව්‍යාපෘති අඛන්ඩ ව පවත්වා ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටින තතු තුල, ඒවාට එරෙහි ව නැගී සිටින ජනතාව අවබෝධ කරගත යුත්තේ, තම අරගලය ධනේශ්වර රාජ්‍යයේ ලාභ අවශ්‍යතා සමඟ සෘජු ව ම ගැටෙන බව යි. එබැවින්, එම ලාභ අවශ්‍යතාවන්ට අභියෝග නො කර හෝ ධනේශ්වර ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කිරීම හරහා, ඔවුන්ට එක අඩියක් වත් ඉදිරියට යා නොහැක. සසපට පිටතින්, මෙම විරෝධතාවලට සම්බන්ධ එකදු පක්ෂයක් හෝ සංවිධානයක්වත්, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ධනේශ්වර ක්‍රමයට අභියෝග කරන්නේ නැත.
කිරාංචි සහ පූනගරි ජනතාවගේ අරගලයට කොන්දේසි විරහිත සහයෝගය දක්වන සසප, බලපෑමට ලක් වූ සියලු පදිංචිකරුවන්ට කැඳවුම් කරන්නේ, ධනපති පක්ෂ, ආන්ඩුව සහ ව්‍යාජ-වාම සංවිධානවලින් ස්වාධීන ව ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවන ලෙස යි. එම කමිටුව මගින් තම පොල් ගස් හා ඉඩම් විනාශයට මුහුන දෙන පොල් ගොවීන්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ අක්කර 3,000ක ඉඩම් අත්පත් කර ගැනීමට මුහුන දෙන ගම්වාසීන්, කම්කරුවන්, ගොවීන්, ධීවරයන්, ගෘහනියන්, තරුනයන් හා සියලු පීඩිත කොටස් ඒකාබද්ධ කර, සියලු ඉඩම් අත්පත් කරගැනීම් නතර කිරීම සඳහාත්, මෙවැනි කමිටු ජාලයක් හරහා කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා සටන් කිරීම සඳහාත් බලමුලු ගන්වනු ඇත.
