ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සිවුවන ජාතික සම්මේලනය සඳහා යෝජනාවලිය

ජවිපෙ (ජවිපෙ) ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි අරගලයේ දී සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මූලෝපාය සහ ක්‍රියාමාර්ගය — 3 වන කොටස

2026 සැප්තැම්බර් 11 සිට 13 දක්වා කොලඹ දී පැවති සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සිවුවන සම්මේලනයේ ප්‍රධාන යෝජනාවලියේ තුන්වන (අවසාන) කොටස අපි මෙහි පල කරමු. මෙම යෝජනාවලිය සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කර ගන්නා ලදී. 

1 කොටස ‍| 2 කොටස | 3 කොටස

2025 ජනවාරි 20 වන දින කොලඹ කොටුවේ පිකට් කරන පාසල් සංවර්ධන නිලධාරීන්

නොවිසඳුනු සහ ගැඹුරු වන අර්බුදය 

68. 2022 දී දිග හැරුනු දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳී නැතිවා පමනක් නොව තීව්‍ර වෙමින් පවතී. කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන මාවතක් ගැනීමට අපොහොසත් වීම නිසා, පලමු ව වික්‍රමසිංහ පාලනය හරහා, දැන් ජවිපෙ නායකත්වයෙන් යුත් ආන්ඩුව හරහා පාලක ප්‍රභූවට තම ග්‍රහනය පවත්වා ගැනීමට හැකි විය.  

69. එහෙත් මෙම දේශපාලන ස්ථාවරත්වය තාවකාලික හා බිඳෙන සුලු ය. ජනතා අපේක්ෂාවන් සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පන්ති යුද්ධ න්‍යාය පත්‍රය අතර පුපුරන සුලු පරතරය අඛන්ඩ ව පුලුල් වෙමින් පවතී. ජවිපෙ ආන්ඩුව, ප්‍රතිරෝධය මැඬපැවැත්වීම සඳහා රාජ්‍ය සහායක බල ඇනියක් ලෙස වෘත්තීය සමිති නිලධරය භාවිතා කරන අතරතුර, කප්පාදු තීව්‍ර කරන, හදිසි නීති බලතල ක්‍රියාවේ යොදවන සහ මර්දනකාරී නීති පුලුල් කරන තතු තුල, කම්පන සහගත අරගල සඳහා වේදිකාව සැකසී ඇත.   

70. 2025 පුරා ම, සෞඛ්‍යය, තැපැල්, විදුලිබල, වතුකරය, අධ්‍යාපනය යන බහුවිධ ක්ෂේත්‍ර හරහා කම්කරු පන්තියේ විරෝධය නැගී ආවේ ය. වෘත්තීය සමිති මේ සෑම අවස්ථාවක ම සීමිත ක්‍රියාවන් කැඳවූ අතර, අනතුරු ව ආන්ඩුවේ තර්ජන වලට සහ ව්‍යාජ පොරොන්දු වලට හිස නමමින් එම ක්‍රියාවන් නතර කර දමන ලදී. ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ වර්ජනවලට විවෘත ව විරෝධය ප්‍රකාශ කල අතර, දැන් ඒවායේ නායකයෝ ආන්ඩුවේ අමාත්‍යවරුන් ලෙස සේවය කරති. ජනාධිපති දිසානායක විරෝධතා දක්වන වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් අවඥා සහගත ලෙස මෙසේ ප්‍රකාශ කලේ ය: “තවත් ඉල්ලන්න එපා - ආන්ඩුවට අරමුදල් නෑ. පාරවල්වල සිටගෙන නොසිට ගෙදර යන්න; පාරවල්වල සිටගෙන සිටීමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නෑ.” මෙය වෛද්‍යවරුන් පමනක් නොව, සියලු කම්කරුවන් එල්ල කරගත් ප්‍රකාශයකි.  

71. ශ්‍රී ලංකාවේ ජවිපෙ/ආන්ඩුව සහ ධනේශ්වර පාලනය මුහුන දෙන ආර්ථික හා දේශපාලන අර්බුදය, පලමුව දිත්වා සුලි කුනාටුව නිසා ඇති වූ දැවැන්ත විනාශයෙන් ද, සෑම රටක් ම කම්පන සහගත භූ-දේශපාලනික හා ආර්ථික ප්‍රතිවිපාකවලින් ගිලගෙන ඇති ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයෙන් ද අතිශයින් තීව්‍ර කෙරී ඇත. ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවරයන්ට දැඩි ලෙස කැපවෙමින් අර්බුදයේ සම්පූර්න බර වැඩ කරන ජනතාව මත පැටවීමට ආක්‍රමනශීලී ව ගමන් කරමින් සිටී. දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් සියලු ම පක්ෂ වලට - සජබ, එජාප, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමල සහ මුස්ලිම් ධනේශ්වර පක්ෂ වලට - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල පදනම් කරගත් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් සමඟ කිසිදු මූලික මතභේදයක් නැත.

72. මෙම ප්‍රහාර එල්ල වන්නේ දැනටමත් විනාශ වී ඇති සමාජ හා ජීවන තත්වයන් මතට ය. ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 22 ක් දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන අතර තවත් සියයට 10 ක් ඊට මඳක් ඉහලින් රැඳී සිටිති - එය අර්බුදයට පෙර අනුපාතය මෙන් දෙ ගුනයකි. සියයට 55 කට වැඩි ප්‍රමානයක් ආහාර අනාරක්ෂිතභාවය සමඟ අරගල කරති. 2022 සිට රාජ්‍ය හා පෞද්ගලික අංශවල සැබෑ වැටුප් පිලිවෙලින් සියයට 24 කින් සහ 14 කින් පහත වැටී ඇත. රාජ්‍ය සතු ව්‍යවසායන් 400 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිව්‍යුහගත කිරීම ලක්ෂ සංඛ්‍යාත රැකියා වලට තර්ජනය කරයි. 2028 සිට වාර්ෂික ව ඩොලර් බිලියන 5 ක් පමන නය ආපසු ගෙවීම සඳහා අයවැයේ ප්‍රාථමික ගිනුමේ සියයට 2.3 ක අතිරික්තයක් පවත්වා ගැනීම සඳහා ජාමූඅ මූල්‍ය ඉලක්කය තබා ඇති අතර එය මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සියලු ම සමාජ වැඩසටහන්වල තව දුරටත් දැවැන්ත කප්පාදුවක් සංඥා කරයි.

73. තම කප්පාදු පියවරයන්ට එරෙහි ව වැඩෙන මහජන විරෝධය හමුවේ ජවිපෙ/ජාජබ ආන්ඩුව, එක් අතකින්, පෙසප ඇතුලු ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ද ඇති ව වෘත්තීය සමිති උපකරන විසින් කම්කරු පන්ති අරගල පාවා දීම මත රැඳී පවතී. අනෙක් අතට, ලොව පුරා පාලක පන්තීන් මෙන්, තම ආර්ථික පිලිවෙත් සාමකාමී ව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම තුල ක්‍රියාත්මක කල නොහැකි බව හොඳින් දන්නා ආන්ඩුව ඒකාධිපති පාලන ක්‍රම කරා ගමන් කරමින් සිටී. දිත්වා සුලි කුනාටු ප්‍රහාරයෙන් පසු කුරිරු හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කල ආන්ඩුව ප්‍රධාන රාජ්‍ය සේවාවන් සඳහා අත්‍යවශ්‍ය සේවා නියෝගයක් දැනටමත් පනවා ඇති අතර සන්නද්ධ හමුදා සීරුවෙන් තැබීම දීර්ඝ කර ඇත.

74. අනුප්‍රාප්තික ආන්ඩු ගෙන ගිය පිලිවෙත්වල ප්‍රතිඵලයක් ලෙස ගොවීහු වඩ වඩාත් කටුක තත්වයන්ට මුහුන දී සිටිති. ඉඩම් නොමැතිකම ප්‍රධාන ගැටලුවක් වන අතර, ගොවීන්ගෙන් සියයට 27 ක් ඉඩම් නොමැතිකම හේතුවෙන්, අනාරක්ෂිත ඉඩම් බදු ගැනීම් වලට, කුඩා යැපුම් බිම්වලට හෝ ඝෘතුමය ශ්‍රමයට - වගා කරන සහ අස්වැන්න නෙලන කාලයන්හි  දෛනික වැටුපකට ශ්‍රමය වැගිරීමට - තල්ලු කෙරෙති. ඉඩම් ආන්තික වශයෙන් කැබලි කිරීම මිලියන සංඛ්‍යාත ග්‍රාමීය පවුල් දරිද්‍රතාවයට සහ අනාරක්ෂිතභාවයට ඇද දමයි. අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිදු කරන ලද ආයෝජක-හිතවාදී ආර්ථික ප්‍රතිසංස්කරන මගින්, දැරිය හැකි නය සඳහා ප්‍රවේශය අවහිර කර ඇත. ගොවීන්ගෙන් සියයට 10 ක් පමන බැංකුවලින් නය ලබා ගන්නා අතර, සියයට 60 කට ආසන්න ප්‍රමානයකට, පෞද්ගලික මූල්‍යකරුවන්, සහල් මෝල්කරුවන් සහ සූරාකෑමේ කොන්දේසි මත අස්වැන්නට නය බැඳ තබන නය දෙන්නන් මත යැපීමට බල කෙරී ඇත. ජාමූඅ හි කප්පාදු පියවර සහ කෘෂිකාර්මික යෙදවුම්වල අධික පිරිවැය ග්‍රාමීය ගොවීන්ගේ අර්බුදය ගැඹුරු කර ඇත. බලයට පත්වීම සඳහා ජවිපෙ/ජාජබ ගොවීන්ගේ ගැටලු දැඩි ලෙස ගසා කෑව ද, ඔවුන් අනෙකුත් සියලු පොරොන්දු මෙන්, ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට අනුකූල ව, නය අවලංගු කිරීම ඇතුලු ගොවීන්ට දුන් පොරොන්දු අතහැර දමා, ඔවුන් ඔවුන්ගේම ඉරනම්වලට අත්හැර දමා ඇත.

75. දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක වන වතු වෘත්තීය සමිති, විශේෂයෙන් ම වතු කම්කරුවන් සෙසු කම්කරු පන්තියෙන් වෙන් කිරීමේ දී සහ ධනේශ්වර පාලනයට දේශපාලනික ව යටත් කිරීමේ දී දුෂ්ට භූමිකාවක් ඉටු කරමින් සිටී. ප්‍රධාන වතු සංගමය වන ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සංගමය (එන්‍යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුලු මෙම නිලධාරිවාදී සංවිධාන බොහොමයක්, අමාත්‍ය ධුර දරමින්, අනුප්‍රාප්තික ආන්ඩු සමඟ සන්ධානගත වී ඇති අතර, එමඟින්, වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තිය මත දැඩි කප්පාදු පියවර පැනවීමේ දී සෘජු කාර්යභාරයක් ඉටු කර ඇත. වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව  සමඟ විධිමත් ලෙස හවුල් වී නොමැති වුව ද, ඔවුන් සියල්ලෝ ම වැඩ කරන ජනතාව මත ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ආන්ඩුවට සම්පූර්නයෙන් ම සහාය දෙති.

76. වතු කම්කරුවන් සඳහා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජීය දියුනුවක් නියෝජනය කරනවා වෙනුවට, වෘත්තීය සමිති සහ ඒවාට සම්බන්ධ පක්ෂ, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදන ප්‍රතිගාමී වාර්ගික අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරති. ඔවුහු, ප්‍රධාන වශයෙන් ඩීඩබ්ලිව්සී, එන්‍යූඩබ්ලිව් සහ යූපීඑෆ්, “මලයග දෙමල” නැතහොත් “කඳුකර දෙමල” ඉල්ලීම ඉදිරිපත් කරයි. වතුකරයේ ප්‍රභූ සහ ඉහල මධ්‍යම පන්තියේ පටු ස්ථරයක, ආර්ථික, දේශපාලනික සහ සමාජීය වරප්‍රසාද සඳහා කේවල් කරනු වස්, වතු කම්කරුවන් වෙන ම වාර්ගික කන්ඩායමකට අයත් වෙතැයි යනුවෙන් ප්‍රවර්ධනය කෙරෙන මෙම දෘෂ්ටිවාදය, වතු කම්කරුවන් කම්කරු පන්තියේ සෙසු කොටස් වලින් බෙදා වෙන් කිරීමට අටවන තවත් උගුලකි. මෙය ප්‍රතික්ෂේප කරමින්, වතු කම්කරුවන්, පාලක පන්තියේ කප්පාදුවට එරෙහි පොදු අරගලයකට දිවයිනේ නාගරික සහ අනෙකුත් ප්‍රදේශවල තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්විය යුතු ය.

හමුදාව වාඩිලා ගත් තම ඉඩම් ඉල්ලා උද්ඝෝෂනය කරන මයිලඩ්ඩි ඉඩම් හිමියෝ

77. ඉලංකෙයි තමිල් ඇරසු කච්චි (අයිටීඒකේ) සහ දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) වැනි විවිධ දෙමල ධනේශ්වර පක්ෂ, දෙමල ජනතාවගේ අතිමහත් බහුතරයකගේ වියදමින් දෙමල ප්‍රභූව සඳහා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුව සමඟ කේවල් කරමින් සිටියි. ඔවුන් අතර ඇති ඕනෑ ම මත භේදයක් දෙමල ප්‍රභූවේ වරප්‍රසාද ලබා ගැනීමට හොඳම ක්‍රමය කුමක් ද යන්න පිලිබඳ උපායික වෙනස්කම් වලට සීමා වේ. ඔවුන්ගේ කියාපෑම් වලට විපරීත ව, ඔවුන්ගෙන් කිසිවෙකුට දෙමල කතා කරන කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ අවශ්‍යතා පිලිබඳ ව කිසිදු උත්සුකයක් නොමැත. මෙම දෙමල ධනේශ්වර පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද දිවයිනේ උතුරු හා නැගෙනහිරට “බලය බෙදා හැරීමේ” ස්වරූපයෙන් දෙමල ජාතික ගැටලුව සඳහා “දේශපාලන විසඳුමක්” යන්න, රටේ සිංහල, දෙමල සහ මුස්ලිම් ප්‍රභූන් අතර බලය බෙදා ගැනීමේ සැකැස්මක් හරහා දෙමල ප්‍රභූව සඳහා වරප්‍රසාද ලබා ගැනීම අරමුනු කරයි. එවැනි බලය බෙදා ගැනීමේ සැකැස්මක් සඳහා කොලඹට බලපෑම් කිරීමේ දී වොෂින්ටනයේ සහ නවදිල්ලියේ සහාය ලබා ගැනීමට චීනයට එරෙහි ව එක්සත් ජනපද-ඉන්දියා භූ-දේශපාලනික ප්‍රහාරයට මෙම පක්ෂ උද්‍යෝගයෙන් සහාය දක්වමින් සිටියි.

78. දෙමල කතා කරන කම්කරුවන් සහ තරුනයින්, සෙසු කම්කරුවන්ගෙන් සහ පීඩිත ජනතාවගෙන් වාර්ගික රේඛා ඔස්සේ තමන් බෙදා වෙන් කරන සියලු ම ධනේශ්වර පක්ෂවල ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කල යුතු ය. වාර්ගික රේඛා කපා හරිමින් කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා සටනකට ඔවුන් සිංහල සහ මුස්ලිම් කම්කරුවන් සමඟ එක්විය යුතු ය. කම්කරු පන්තිය උතුරු හා නැගෙනහිරින් හමුදා වහා ම ඉවත් කර ගැනීම, එම ප්‍රදේශවල හමුදා විසින් අත්පත් කරගත් ඉඩම් ඔවුන්ගේ මුල් හිමිකරුවන්ට ආපසු ලබා දීම, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඉල්ලා සිටිය යුතු ය. ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් වලට කැප වන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම, දෙමල ජනතාව ඇතුලු සියලු සුලු ජාතීන්ගේ දිගු කලක් යටපත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ මාවතයි.

79. 2022 නැගිටීමේ සිට, ජවිපෙ ආන්ඩුව වැඩ කරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කල ප්‍රහාර තීව්‍ර කිරීම දක්වා වූ ගමන් පථය, ට්‍රොට්ස්කිවාදයේ මූලික අවබෝධය, විශේෂයෙන් ම නොනවතින විප්ලවය තහවුරු කරයි. අධිරාජ්‍යවාදයේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ යුගයේ, ශ්‍රී ලංකාව වැනි රටවල කිසිදු ධනේශ්වර හෝ සුලු ධනේශ්වර පක්ෂයකට ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කල නොහැක. මන්ද යත් ජාතික ධනේශ්වරය අධිරාජ්‍යවාදයට ඓන්ද්‍රීය ව බැඳී සිටින අතර කම්කරු පන්තියේ විප්ලවවාදී බලය මුදා හැරීම සම්බන්ධයෙන් බිය වන නිසා ය. ජවිපෙ ආන්ඩුවේ වාර්තාව ජාත්‍යන්තර ව පුනර්කරනය වූ රටාවක් නියෝජනය කරයි; එනම්, ග්‍රීසියේ සිරිසා මෙන් “වාමාංශික” යැයි කියා ගන්නා පක්ෂ බලයට පත් කරගනු ලබන්නේ සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ විශ්වසනීයත්වය නැති කරගත් තත්වයක් තුල, ම්ලේච්ඡ කප්පාදු පැනවීමට සහ ඒකාධිපති පාලනයකට මාරු වීමට පමනි.

සසපයේ කර්තව්‍යයෝ

80. සසප වැඩපිලිවෙල පදනම් වී ඇත්තේ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මත වන අතර එය පසුගිය සියවසේ මුල් භාගයේ සිට දකුනු ආසියාවේ කටුක මූලෝපායික අත්දැකීම් මගින් බලගතු ලෙස සනාථ කෙරී ඇත. 1947 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් ජාතික ධනේශ්වරයේ කොටස් දෙකෙහි ම - ඉන්දියානු ජාතික කොංග්‍රසය සහ මුස්ලිම් ලීගය - සහාය ඇති ව එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාව, හින්දු ආධිපත්‍යවාදී ඉන්දියාව සහ මුස්ලිම් පකිස්ථානය ලෙස ඉන්දු උපමහද්වීපය වාර්ගික ව බෙදීම රාජ්‍යයන් දෙකක් අතර නිමක් නැති ජනවාර්ගික-ආගමික එදිරිවාදිකම් නිර්මානය කර ඇති අතර, එය කිහිප වතාවක් ම යුද්ධ සහ යුද්ධයට ආසන්න තත්වයන්ට මග පෑදුවේ ය. 1947-48 කාලය තුල කලාපය වාර්ගික ව කපා හැර ඊනියා ස්වාධීන රාජ්‍යයන් පිහිටුවීමෙන් පසු, දකුනු ආසියාවේ ජාතික ධනේශ්වරයේ කිසිදු කොටසක් කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු විසඳීමට අපොහොසත් වී ඇත. පශ්චාත් යුධ සමථයේ කොටසක් ලෙස පිහිටුවන ලද මෙම රටවල පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම අධිරාජ්‍යවාදයට පක්ෂපාතී බව පෙන්නුම් කල අතර, ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදයේ සන්දර්භය තුල, අධිරාජ්‍යවාදීන්ගේ, විශේෂයෙන් ම ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍ය සඳහා වන ධාවනයට සහාය දක්වන විවෘත අධිරාජ්‍යවාදී ගැත්තන් බවට පත් ව ඇත.

81. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන සසප වැඩපිලිවෙල අත්‍යවශ්‍යයෙන් ම මෙම විශ්ලේෂනයෙන් ගලා එයි. විකොස/සසප, තම ඉතිහාසය පුරා ම, ධනේශ්වරයේ විවිධ කොටස් විසින් ප්‍රවර්ධනය කරන ලද සියලු ම වාර්ගික බෙදීම් කපා දමමින්, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්වලට පාලක පංතිය එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව අනෙකුත් සියලු ම පීඩිත ජනතාව පෙලගස්වමින්, සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරු පන්තියේ එක්සත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කරමින් සිටී.  උතුරෙන් හා නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදා කොන්දේසි විරහිත ව ඉවත් කරන ලෙස බල කරමින් අනුප්‍රාප්තික ආන්ඩු ගෙනගිය දෙමල විරෝධී වාර්ගික යුද්ධයට එරෙහි අපගේ අරගලය එම සටනේ අනිවාර්ය අංගයකි.

82. සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුනු ආසියාවේ අනෙකුත් රටවල කම්කරුවන් සහ තරුනයින් අතර සටන් කිරීම සසපයේ ප්‍රධාන කර්තව්‍යයකි. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් සාපරාධී යුද්ධය, යුක්‍රේනයේ රුසියාවට එරෙහි නේටෝ යුද්ධය, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම සහ එක්සත් ජනපද යුද ප්‍රයත්නයන්හි දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආන්ඩුවල වැඩෙන දුස්සහාය මෙම අරගලය හදිසි අත්‍යවශ්‍යතාවයක් බවට පත් කර ඇත.

83. ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ ධනේශ්වරයේ සියලු ම කොටස්වලට එරෙහි ව, ධනේශ්වර පාලනය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදයට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා, මහජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව ගම්බද දුගීන් රැලි කර ගත්, ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ වැඩපිලිවෙලක් සසප ඉදිරිපත් කරයි. තීරනාත්මක කාර්යය වන්නේ ධනේශ්වර සහ සුලු ධනේශ්වර පක්ෂවල සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ දේශපාලන, දෘෂ්ටිවාදාත්මක සහ සංවිධානාත්මක බලපෑමෙන් කම්කරු පන්තිය බිඳ ගැනීම සඳහා සටන් කිරීමයි. මෙම බලවේගවල සහ ඒවායේ ව්‍යාජ-වාම ආධාරකරුවන්ගේ ප්‍රතිගාමී ස්වභාවය දේශපාලනික ව හා න්‍යායික ව පැහැදිලි කිරීම සහ හෙලිදරව් කිරීම මෙම අරගලයේ අත්‍යවශ්‍ය අංගයකි.

84. ශ්‍රී ලංකා ධනේශ්වර පාලනයේ අර්බුදයේ ද්‍රව්‍යමය මූලයන්, එනම්, ජවිපෙ/ජාජබ ප්‍රවර්ධනය කරන ලද ආකාරයට තනි දේශපාලනඥයින්ගේ සහ ඒ ආශ්‍රිත රාජ්‍ය නිලධාරීන්ගේ දූෂනය නොව, ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය බව හෙලිදරව් කිරීම සසප දිගට ම කරගෙන යා යුතු ය. මෙම දේශපාලන දිශානතිය 2022 දී සසප විශ්ලේෂනයට කේන්ද්‍රීය වූ අතර එය තවමත් අත්‍යවශ්‍ය වේ: ජාතික සීමාවන් සහ ධනවාදය තුල ජනතාවගේ දැවෙන සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු වලට විසඳුමක් නොමැත.

85. කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වය සැපයීම සඳහා පසුගිය සියවසේ කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් වලින් කම්කරුවන් සන්නද්ධ කිරීම සසපට ඉතා තීරනාත්මක වන අතර එය දශක ගනනාවක් පුරා ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය දේශපාලන හා න්‍යායික අරගලය තුල සංකේන්ද්‍රනය වී ඇත. 

ලියොන් ට්‍රොට්ස්කි සහ විසි එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය යන කෘතියේ පෙරවදනෙහි ඩේවිඩ් නෝර්ත් පැවසූ පරිදි:

“ධනවාදයට එරෙහි අරගලයට නායකත්වය දෙන බව කියා සිටි සියලු දේශපාලන ව්‍යාපාර, පක්ෂ සහ ප්‍රවනතාවන් පසුගිය සියවසේ ඓතිහාසික අත්දැකීම් වලින් තරයේ පරීක්ෂාවට ලක් කෙරුනි. නමුත් විසි වන සියවසේ බලවත් කැලඹීම්, ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, මාඕවාදීන්, ධනේශ්වර ජාතිකවාදීන්, අරාජකවාදීන් සහ පැබ්ලෝවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව හෙලිදරව් කර ඇත. ජාත්‍යන්තර කමිටුව විසින් මෙහෙයවනු ලබන හතර වන ජාත්‍යන්තරය පමනක් ඉතිහාසයේ පරීක්ෂනයට මුහුන දී ඇත. සෑම මහාද්වීපයක ම කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය, ට්‍රොට්ස්කිවාදයේ, එනම් විසිඑක්වන සියවසේ මාක්ස්වාදයේ න්‍යායික හා දේශපාලනික පදනම් මත වර්ධනය වනු ඇත.”

86. සසප මෙම අවබෝධය ඇති ව, ධනේශ්වර සහ අධිරාජ්‍යවාදී ඒජන්සි වන පෙසප ඇතුලු විවිධ ව්‍යාජ-වාම සංවිධාන වලට, විවිධ බුද්ධිමතුන්ට සහ ශාස්ත්‍රාලිකයන්ට එරෙහි ව දේශපාලනික ව සහ න්‍යායාත්මක ව සටන් කල යුතු ය. මෙය ඉදිරි සටන් සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ අත්‍යවශ්‍ය අංගයකි. 2011 දී මව් පක්ෂයෙන් වෙන් වූ ජවිපෙ සාමාජිකයින්ගෙන් කොටසක් විසින් 2012 දී පෙසප පිහිටුවන ලද නමුත් ජවිපෙන් දේශපාලනික ව බිඳී ගොස් නොමැති අතර එහි ලේ වැකි කම්කරු පන්ති විරෝධී ඉතිහාසය සහ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම දිගට ම කරගෙන යයි. සමාජවාදය පිලිබඳ ඉඳහිට කරන වාචාල කතා පිටුපස සැඟවී ගනිමින්, තරයේ ජාතිකවාදී සහ ප්‍රතිසංස්කරනවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන එය ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන් වටා කරක් ගසයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව “ජනතා අපේක්ෂාවන්” ප්‍රකාශයට පත් කරන බව පවසමින් සහ පීඩනය යෙදීමෙන් එය “වමට” තල්ලු කල හැකි ය යන මාරාන්තික මිථ්‍යාව ප්‍රචාරය කරමින්, පෙසප, ආන්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරයි. 

87. ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයෙන් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, සෑම කම්හලක ම, වැඩබිමක ම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සසප තම අරගලය වර්ධනය කල යුතු ය. කම්කරුවන්ගේ මෑතකාලීන සෑම අරගලයකින් ම එ වැනි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ගොඩනැගීමේ හදිසිභාවය ඔප්පු වී ඇත.  ධනේශ්වර ගැති, බොහෝ දුරට පාලක සහ විපක්ෂ පක්ෂ විසින් පාලනය කරනු ලැබෙන වෘත්තීය සමිති නිලධරය ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාමූඅ හි කප්පාදු පියවරයන්ට සහ මහා ව්‍යාපාරික ප්‍රහාරයන්ට සහාය දෙමින් අරගල නතර කිරීමට සහ කම්කරුවන් විසුරුවා හැරීමට කටයුතු කරයි. එම නිලධාරිවාදී කාර්මික පොලිසියේ ග්‍රහනයෙන් මිදීමට සහ තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට කම්කරුවන්ට උදව් කිරීම සඳහා සසප තම දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු ය. සසප, දැනටමත් සෞඛ්‍යය, අධ්‍යාපනය, වරාය සහ වතු අංශවල එවැනි කමිටු ආරම්භ කර ඇති නමුත් කම්කරු පන්තියේ ප්‍රධාන කොටස් අතර මෙම කාර්යය වේගවත් කල යුතු ය.

88. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කොටසක් ලෙස, ගම්බද දුගීන්, තරුනයින් සහ දෙමල ජනයා ඇතුලු අනෙකුත් පීඩිත මහජනතාව පෙලගස්වා ගනිමින් තම ක්‍රියාකාරී කමිටු හරහා සටන් කිරීමට, කම්කරුවන් සහ ගම්බද දුගීන් සඳහා සංක්‍රමන ඉල්ලීම් මාලාවක් සසප වර්ධනය කල යුතු ය. ඒ සඳහා කෙරෙන අඛන්ඩ අරගලයක් මඟින්, වෛෂයික වර්ධනයන් විසින් ඉල්ලා සිටින මට්ටමට, එනම් සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් මත සටන් කිරීමේ අත්‍යවශ්‍යභාවය අවබෝධවන මට්ටමට කම්කරුවන්ගේ විඤ්ඤානය ඉහල නැංවීමට පහසුකම් සපයනු ඇත. ට්‍රොට්ස්කි තම සංක්‍රමන ක්‍රියාමාර්ගය:  ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ හි පැවසූ පරිදි: “වර්තමාන ඉල්ලීම් සහ විප්ලවයේ සමාජවාදී ක්‍රියාමාර්ගය අතර පාලම, දෛනික අරගල සන්තතියේ දී සොයා ගැනීම සඳහා මහජනතාවට ආධාර කිරීම අත්‍යවශ්‍ය වේ. කම්කරු පන්තියේ පුලුල් ස්ථරවල අද්‍යතන කොන්දේසි වලින් ද අද්‍යතන විඤ්ඤානයෙන් ද ගලා එන්නාවූත් නිර්ධන පන්තිය විසින් බලය දිනා ගැනීම නමැති ඒකායන අවසාන නිගමනය කරා අප්‍රතිවර්තනීය ලෙස ගමන් ගන්නාවූත් සංක්‍රමන ඉල්ලීම් පද්ධතියක් මෙම පාලමට ඇතුලත් විය යුතුයි.” 

89. දුගී ජනයා සහ සමාජ හා ආර්ථික වශයෙන් කොන් කරනු ලැබූ ගොවීන් මුහුන දෙන නරක අතට හැරෙන තත්වයන් කෙරෙහි සසප විශේෂ අවධානයක් යොමු කල යුතුය. ගම්බද දුගීන් අතර ක්‍රියාත්මක වන විවිධ සංවිධාන, ලාභ පද්ධතිය ආරක්ෂා කරන, පාලක ජවිපෙ ඇතුලු ධනේශ්වර පක්ෂවලට ඔවුන් බැඳ තබයි. ගම්බද ජනයාට තමන්ගේ දැවෙන ගැටලුවලට විසඳුමක් ලබා ගත හැක්කේ, ප්‍රධාන බැංකු, කෘෂි ව්‍යාපාර සහ ආර්ථිකයේ ප්‍රධාන අංශ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමෙන් සහ වගාව සඳහා අවශ්‍ය සම්පත් දැරිය හැකි මිල ගනන්වලට සැපයීමෙන්, ධනේශ්වර ලාභයේ ග්‍රහනය බිඳ දැමීමේ අරගලයේ දී කම්කරු පන්තියේ මැදිහත්වීමෙන් පමනි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, කම්කරු පන්තියට ගම්බද ජනතාව සමඟ සන්ධානයක් ඇති කර ගත හැකි අතර මෙම විකල්ප විසඳුම ලබා දිය හැක්කේ සියලු ධනේශ්වර පක්ෂවලින් තීරනාත්මක දේශපාලන බිඳීමක් හරහා පමනි. අනෙක් අතට, ගම්බද දුගීන් තම ප්‍රදේශවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ දී කම්කරු පන්තිය සමඟ එක්සත් විය යුතු ය.

90. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටන කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමේ කොටසකි. මෙම අරගලයට පහත දෑ ඇතුලත් වෙයි: බුද්ධාගම සහ සිංහල සුරක්ෂිත කිරීම ඇතුලත් ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාව අහෝසි කිරීම සහ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම; ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි සහ අත්‍යවශ්‍ය සේවා පනත වැනි සියලු මර්දනකාරී නීති සහ ප්‍රකාශනයේ නිදහසට එරෙහි විවිධ නීති අවලංගු කිරීම. 1978 දී ජේ.ආර්. ජයවර්ධන විසින් පිහිටුවන ලද, පුලුල් බලතල සහිත විධායක ජනාධිපති ධුරය, වාර්ගික යුද්ධයක් දියත් කිරීමට සහ කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අරගල මර්දනය කිරීමට භාවිතා කර ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ව්‍යාජ ලෙස පොරොන්දු වූ වත්මන් ජනාධිපති දිසානායක සියලු මර්දනකාරී නීති ක්‍රියාත්මක කරන අතර ම එය භාවිතා කරයි.

91. සසප ඉදිරිදර්ශනයෙන් ගලා එනුයේ සහ එහි අරගලයේ කේන්ද්‍රයේ පවතිනුයේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය ගොඩනැගීමයි. කම්කරුවන් සහ පීඩිතයින්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු වලින්  ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වූ නියෝජිතයින්ගෙන් සමන්විත එවැනි සම්මේලනයක්, කම්කරු පන්ති බලයේ කලල ඉන්ද්‍රිය හැඩගස්වනු ඇත. එහි කර්තව්‍යයන් අතරට, ධනේශ්වර පාලනය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන්, සියලු ජාතීන් සඳහා පූර්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කරන සහ සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම ඇතුලත් වේ.  

92. ක්‍රියාකාරී කමිටු සහ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමේ අරගලය, කලාපීය ධනේශ්වරයට සහ අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහි ව යොමු කෙරුනු, ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ දකුනු ආසියාවේ, ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් අතර මූලෝපායික සන්ධානයක් ගොඩනැගීමේ සටනෙන් වෙන් කල නොහැක. ජවිපෙ/ජාජබ ආන්ඩුව පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක ම සහාය ඇති ව, චීනයට එරෙහි ව එක්සත් ජනපදය මෙහෙයවන යුද ධාවනයට ශ්‍රී ලංකාව ඒකාග්‍ර කිරීමට එරෙහි ව කම්කරු පන්තිය ඉදිරියට යා යුතු ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය මෙයයි.  

93. පසුගිය දෙසැම්බර් 12 වන දින ජාත්‍යන්තර කමිටුව විසින් Socialism AI දියත් කිරීම, ධනේශ්වර පාලනයට එරෙහි ව ඉදිරි විප්ලවවාදී සටන් සඳහා ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් දේශපාලනික ව සහ න්‍යායාත්මක ව සූදානම් කරනු වස් ඔවුන් අතර සමාජවාදී විඥානය සඳහා ගෙන යන සටනේ අර්ථභාරී නව පියවරක් විය. දේශපාලන දිශානතිය, පැහැදිලිකම සහ ක්‍රියාකාරීත්වය සඳහා බලගතු මෙවලමක් ලෙස කම්කරුවන් සහ තරුනයින් අතර මෙම නව AI මෙවලම ජනප්‍රිය කිරීමට සසප කටයුතු කල යුතු ය. 

94. 2020 ආරම්භයේ දී හජාජක සහ ලෝසවෙඅ විසින් “සමාජවාදී විප්ලවයේ දශකය” ලෙස ගුනාංගීකරනය කරන ලද දශකයේ දෙවන භාගයට දැන් අපි පිවිස ඇත්තෙමු. 2025 දෙසැම්බර් 12 වන දින Socialism AI දියත් කිරීම නිවේදනය කරමින් ලෝසවෙඅ නිකුත් කල කර්තෘ මන්ඩල ප්‍රකාශය මෙම දෙවන භාගයේ වැදගත්කම පැහැදිලි කරමින් මෙසේ පැවසී ය:

“කම්කරු පන්තියේ ප්‍රතිරෝධයේ බලගතු වර්ධනය මගින් මෙම දශකයේ දෙවන භාගය සනිටුහන් වනු ඇත. ලෝක ධනේශ්වර ක්‍රමය එයට විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතාවලින් වෙලී ඇත. … ගෝලීය කම්කරු පන්තිය අරගලයට අවතීර්න වෙමින් සිටී: මහජන වැඩවර්ජන, මහජන නැගිටීම් සහ දේශපාලන කැරලි සෑම මහාද්වීපයක ම මතු වෙමින් තිබේ.” 

ඉහත ප්‍රකාශයේ පැහැදිලි කල පරිදි: “කම්කරුවන්ගේ ස්වයංසිද්ධ අරගල, කොතරම් බලගතු වුවත්, ඒවා විසින්ම සංගත විප්ලවවාදී ඉදිරිදර්ශනයක් මතු නොකරන බව මාක්ස්වාදය සැම විට ම අවධාරනය කර ඇත. විඥානය වර්ධනය කල යුතු ය; ඓතිහාසික අත්දැකීම් උකහා ගත යුතු ය; න්‍යායික අවබෝධය සාක්ෂාත් කර ගත යුතු ය.”

95. කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ දේශපාලන විඥානය ඉහල නැංවීමේ අපගේ අරගලයේ වැදගත් කොටසක් ලෙස, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලයේ ඓතිහාසික පාඩම් ගෙන ඒම තුලින්, ස්ටැලින්වාදය, මාඕවාදය, පශ්චාත් නූතනවාදය සහ පැබ්ලෝවාදී සංශෝධනවාදය වැනි විවිධ ප්‍රතිගාමී ධාරාවන්ගේ දෘෂ්ටිවාදාත්මක බලපෑමට එරෙහි අපගේ අඛන්ඩ න්‍යායික සහ දේශපාලනිත ප්‍රහාරය ගැඹුරු කල යුතු අතර, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහා නිරන්තර ව ලියමින් මෙම ප්‍රවනතා හෙලිදරව් කල යුතු ය.

96. දකුනු ආසියාවේ, ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමේ අරගලය කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීම සඳහා ඉතා වැදගත් වේ. සසප, මෙම සටනේ දී ජාත්‍යන්තර කමිටුව සමග සමීප දේශපාලන සහයෝගීතාවයෙන් කටයුතු කරයි. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම මූලෝපායික කර්තව්‍යයක් වන අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ඉන්දියාවේ සහ දකුනු ආසියාවේ දේශපාලන, ආර්ථික සහ සමාජීය වර්ධනයන් පිලිබඳ ක්‍රමානුකූල මාක්ස්වාදී විශ්ලේෂනයක් වර්ධනය කිරීම එහි මූලිත ප්‍රයත්නයයි.

97. ශ්‍රී ලාංකික කම්කරුවන්ට හුදකලාව ජයග්‍රහනය කල නොහැක. අර්බුදය ගෝලීය ය; විසඳුම ජාත්‍යන්තර විය යුතු ය. තම අරගල, ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ අරගල සමග සම්බන්ධීකරනය කිරීම සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමඟ ඒකාබද්ධ කෙරෙන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට, සසප, ශ්‍රී ලංකාව තුල සටන් කරයි. සියලු ම ධනේශ්වර පක්ෂවලින්, පන්තියක් ලෙස ස්වාධීන වීම එවැනි එකමුතුවක් සඳහා පූර්ව අවශ්‍යතාවයකි.

2023 ජූලි 6 වැනි දින, කොලඹ දී පැවති සසප ප්‍රසිද්ධ රැස්වීම.

98. කම්කරු පන්තියේ නායකත්වය දිනා ගැනීම සඳහා ඉවසිලිවන්ත දේශපාලන හා න්‍යායික පුහුනුවක් අවශ්‍ය වේ. සසප, කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ දේශපාලන අධ්‍යාපනය - මාක්ස්වාදය, ට්‍රොට්ස්කිවාදය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, එනම් සියලු ආකාරයේ ධනේශ්වර සහ සුලු ධනේශ්වර ජාතිකවාදයට එරෙහි එහි අරගලය - පුලුල් කල යුතු අතර, සේවා ස්ථාන, ක්‍රියාකාරී කමිටු සහ බහුජන සංවිධාන මෙහෙය වීමට හැකියාව ඇති විනයගත කේඩරයන් වර්ධනය කල යුතු ය. ඉදිරි කාලය තුල ලියොන් ට්‍රොට්ස්කිගේ වැදගත් කෘති කිහිපයක් සහ ඩේවිඩ් නෝර්ත් විසින් රචිත ඒවා ඇතුලු ව හජජාක හි ප්‍රධාන ප්‍රකාශන සිංහල සහ දෙමල භාෂාවෙන් ප්‍රකාශයට පත් කිරීමට සසප සැලසුම් කර ඇත.

99. ශිෂ්‍යයන් සහ තරුන කම්කරුවන් අතර සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ගොඩනැගීමට පක්ෂය ධෛර්ය සම්පන්න උත්සාහයක් ගත යුතු ය. දිවයින පුරා විවිධ විශ්වවිද්‍යාල, අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සහ පාසල් ඉලක්ක කර ගනිමින්, තරුනයින් සහ ශිෂ්‍යයන් අතර අපගේ කටයුතු පුලුල් කල යුතු ය. මෙම අරගලයට ශාස්ත්‍රාලිකයන් සහ පෙසප වැනි ව්‍යාජ වම්මුන් විසින් ප්‍රවර්ධනය කරන ලද “ශිෂ්‍ය බලය” වැනි මාක්ස්වාද විරෝධී අනන්‍යතා දේශපාලනයට එරෙහි න්‍යායාත්මක හා දේශපාලන අරගලය ඇතුලත් වේ. මෙම අරගලය තුලින්  තරුන පරම්පරාවේ හොඳ ම කොටස් විප්ලවවාදී පක්ෂයට දිනා ගත හැකිය. අධ්‍යාපන කප්පාදුවට, විරැකියාවට සහ වැටුප් වහල්භාවයේ  අනාගතයට මුහුන දෙන, තරුනයින් ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව වඩ වඩාත් රැඩිකලීකරනය වෙමින් සිටී. සමාජවාදී අනාගතයක් සඳහා ඔවුන්ට ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කල හැක්කේ සසප/සසජාතශිට පමනි.

100. සියලු ආකාරයේ වර්ගවාදයට සහ ජාතිකවාදයට එරෙහි ස්ථිරසාර සටන, ජනවාර්ගික රේඛා හරහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවට මූලික වේ. ආර්ථික හා දේශපාලන අර්බුදය ගැඹුරු වන විට සහ කම්කරුවන් ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව අරගලවලට පිවිසෙන විට, පාලක ජවිපෙ/ජාජබ සහ විරුද්ධ පක්ෂ කම්කරු පන්තිය බෙදීමට සහ ඒකාබද්ධ අරගලයක් පීලි පැන්නවීමට දෙමල විරෝධී සහ මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදයට වැඩි වැඩියෙන් යොමු වනු ඇත. “ජාතික සමගිය” සඳහා ජවිපෙ/ජාජබ හි කැඳවුම්, ජවිපෙ ස්වෝත්තමවාදී ස්වභාවයෙන් කිසිදු බිඳීමක් නියෝජනය නොකරයි; ශ්‍රී ලංකාව තුල, “ජාතිකවාදය” යනු ඓතිහාසික ව ගත් කල බහුතරවාදී සිංහල වර්ගවාදයට සමාන පදයකි.

ඒ හා සමාන ව, සසප, දෙමල සහ මුස්ලිම් වාර්ගික දේශපාලනයට සහ දෙමල ප්‍රභූවේ අවශ්‍යතා සඳහා සේවය කරන දෙමල බෙදුම්වාදයට විරුද්ධ වන අතර, එය ප්‍රතිවාදී ධනේශ්වර අවශ්‍යතාවලට කම්කරුවන් යටත් කිරීම මඟින් සමාජ සමානතාවය සඳහා වන පොදු අරගලයක් තුල කම්කරුවන් එකමුතු කිරීමට බාධා කරයි.

101. සසප, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය සඳහා අපගේ අරගලය ඉදිරියට ගෙන යමින් සිටී. වත්මන් වෛෂයික තත්ත්වය තුල ආත්මීය සාධකයේ - එනම් පක්ෂයේ - කාර්යභාරය ඉතා තීරනාත්මක ය. කම්කරු පන්තිය තුලට සමාජවාදී විඤ්ඤානය ගෙන ඒම අපගේ කර්තව්‍යයයි. ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය පිලිබඳ ව කම්කරු පන්තිය දැනුවත් කිරීම සඳහා, සසප, ප්‍රධාන වශයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා සිය දේශපාලන හා න්‍යායික කටයුතු සිදු කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමල අංශ වෙත ලියමින්, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුනු ආසියාවේ දේශපාලන වර්ධනයන් පිලිබඳ අපගේ ක්‍රමානුකූල හා කාලීන විශ්ලේෂනය වර්ධනය කල යුතු ය. සසප, ඉදිරි කාල පරිච්ඡේදයේ දී, 2022 මහජන නැගිටීමේ පාඩම්, රැඩිකල් සුලු ධනේශ්වර ව්‍යාපාරයක සිට දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට ජවිපෙ පරිනාමය වීම සහ ශ්‍රී ලංකාවේ දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ ඉතිහාසය ඇතුලු ප්‍රධාන දේශපාලන ලේඛන සම්පාදනය කරනු ඇත. කම්කරුවන්, තරුනයින් සහ ග්‍රාමීය දුගීන් අතර කෙරෙන මෙම දේශපාලන පැහැදිලි කිරීම් හරහා කේඩරයන් දිනා ගනිමින්, අපගේ පක්ෂය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගිය යුතු ය.

සමාප්තයි.

1 කොටස ‍| 2 කොටස | 3 කොටස

Loading