ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ 4 වන ජාතික සම්මේලනය සඳහා වූ යෝජනාව

ජවිපෙ ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි අරගලයේ දී සසප මුලෝපාය සහ ක්‍රියාමාර්ගය

II කොටස

2026 අගෝස්තු 11-13 දක්වා කොලඹදී පැවති සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සිව්වන සම්මේලනයේ ප්‍රධාන යෝජනාවේ දෙවන කොටස අපි මෙහි පල කරමු. යෝජනාව සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කරන ලදී. එය කොටස් තුනකින් ප්‍රකාශයට පත් කෙරේ. පලමු කොටස ඔක්තෝබර් 10වන දින ප්‍රකාශයට පත් කරන ලදී. 

සසප හා සසජාතශි සාමාජිකයින් සහ ආධාරකරුවන් ආන්ඩු විරෝධී විරෝධතා සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටිති.

2022 මහජන අරගලයේ පාඩම්

47. 2022 අප්‍රේල් සහ ජූලි අතර කාලය තුල ශ්‍රී ලංකාව කැලඹූ මහජන නැගිටීම, නිදහසින් පසු දිවයිනේ ඇති වූ බලවත් ම විප්ලවවාදී ව්‍යාපාර අතර විය. ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදයේ කොටසක් වූ ආර්ථික බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, මූලික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය සහ අහස උසට නැඟෙන මිල ගනන් සහ පැය ගනන්  විදුලිය ඇනහිටීම්වල ආදී ජනතාව මුහුන  දුන් දරා ගත නොහැකි තත්වයන්ට එරෙහි ව එය ස්වයංසිද්ධ ව පුපුරා ගියේ ය.  විරෝධතාකරුවන් පිරිසක් කොලඹ ගාලු මුවදොර පිටිය අත්පත් කර ගැනීමත් සමඟ විරෝධතා ව්‍යාපාරය වේගයෙන් ජාතික පරිමාන මහජන නැගිටීමක් බවට පරිවර්තනය විය. 

හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, මහජන රැස්වීම් තහනම් කරමින් ඇඳිරි නීතිය පැනවීම සහ දෙ වරක් හමුදාව කැඳවීමට ගත් උත්සාහය ඇතුලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැරූ සෑම රාජ්‍ය මර්දනකාරී පියවරක් ම  මහජන ව්‍යාපාරය විසින් අභියෝගයට ලක් කරන ලදී. මහජන විරෝධතා මැඬ පැවැත්වීමට අසමත් වූ ජනාධිපති රාජපක්ෂට රටින් පලා යාමට සිදු වූ අතර ඔහුගේ පාලනය බිඳ වැටුනි. 

48. 2022 දී මහජන නැගිටීමක් ලෙස පුපුරා ගියේ 2021 සිට රාජපක්ෂ රජයට එරෙහි ව වර්ධනය වෙමින් පැවති මහජන විරෝධයේ කූටප්‍රාප්තියයි. පාලන තන්ත්‍රයේ ගම්බද ආධාරක පදනමෙහි  ඛාදනය වේගවත් කරමින් රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට (ඒ වන විටත්  සොච්චම් පොහොර සනාධාරය අහෝසි කෙරෙමින් තිබුනි) එරෙහි ව 2021 මැද භාගයේ සහ අග භාගයේ දී ගොවීන් දස දහස් ගනනක් විරෝධතා දැක්වූහ. ඒ සමඟ ම, පුලුල් සමාජ විරෝධයක් මතුවීම සංඥා කරමින්  2021 ජූලි සිට ඔක්තෝබර් දක්වා මාස තුනකට අධික කාලයක් ගුරුවරු සහ විදුහල්පතිවරු 250,000 කට ආසන්න පිරිසක් මාර්ගගත අධ්‍යාපනය වර්ජනය කලහ.

49. 2022 අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල පැවති මහ වැඩවර්ජන දෙකෙහි දී කම්කරු පන්තියේ තීරනාත්මක හා විප්ලවීය කාර්යභාරය පෙන්නුම් කරන ලද අතර, අනුප්‍රාප්තික ආන්ඩු සහ පාලක ප්‍රභූව විසින් ක්‍රමානුකූල ව පෝෂනය කරන ලද සිංහල, දෙමල සහ මුස්ලිම් වාර්ගික බෙදීම් කපා ගෙන උතුරු හා නැගෙනහිර පලාත් සහ වතුකර දිස්ත්‍රික්ක ඇතුලු ව දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම සහ සෑම අංශයකින් ම  මිලියන සංඛ්‍යාත කම්කරුවෝ වැඩවර්ජනවලට එක් වූහ. මෙම ක්‍රියාවන් සමස්ත දේශපාලන සංස්ථාපිතය ම සලිත කල අතර ගෝඨාභය රාජපක්ෂ රටෙන් පලා ගොස් ඉල්ලා අස්වීමෙන් එය කුලු ගැන්වුනි.

50. මෙම දැවැන්ත බලමුලලු ගැන්වීම් මගින් රාජපක්ෂ පවුල කෙරෙහි පැවති මහජන කෝපය පමනක් නොව, “225 එපා!” යන සටන් පාඨයෙන් සමස්ත දේශපාලන සංස්ථාපිතය සහ පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි ඇති ගැඹුරු සතුරුකම ද ප්‍රකාශය ට පත් විය. මෙම ඉල්ලීම සියලු පාර්ලිමේන්තු පක්ෂ පුලුල් ලෙස ප්‍රතික්ෂේප කිරීමක් පිලිබිඹු කල අතර කම්කරු පන්තියට බලය ලබා ගැනීම සඳහා පැවති වෛෂයික කොන්දේසි ද හෙලිදරව් කලේ ය.

51. නමුත්, ආසන්න වශයෙන් වසර හතරකට පසු ව, 2022 නැගිටීමේ පාවා දීම ගසා කමින් බලයට පත් වූ ජවිපෙ නායකත්වයෙන් යුත් ආන්ඩුවක් යටතේ වැඩ කරන ජනතාව, තීව්‍ර කෙරුනු කප්පාදුවලට, පුලුල් කෙරුනු රාජ්‍ය මර්දනයට සහ ගැඹුරු වන දරිද්‍රතාවයට මුහුන දෙයි. තීරනාත්මක ප්‍රශ්නය එසේ වූයේ ඇයි? නැගිටීමේ සහ එහි ප්‍රතිවිපාකවල අත්දැකීම පරීක්ෂා කල යුතු ය. 2022 දී ප්‍රතිවිරුද්ධ ඉදිරිදර්ශන දෙකක් ඉදිරිපත් විය. විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම සංවිධාන, මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු රාමුව තුල සිර කිරීමට සහ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට ක්‍රමානුකූල ව කටයුතු කලහ. ඊට වෙනස් ව, සසප ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා සමාජවාදී පිලිවෙත් මත ගම්බද දුගීන් පෙල ගස්වමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම සඳහා සටන් කලේ ය. 

52. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), ජවිපෙ/ජාජබ සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා “සර්ව-පාක්ෂික අන්තර්කාලීන ආන්ඩුවක්” ප්‍රවර්ධනය කලේ ය. මහජන ව්‍යාපාරය ධනේශ්වර පර්යායට එල්ල කරන තර්ජනය හඳුනා ගනිමින් එය මර්දනය කිරීමට ජවිපෙ ආරම්භයේ සිට ම උත්සාහ කලේ ය. 2022 අප්‍රේල් 7 වන දින පාර්ලිමේන්තුව අමතමින්, ජවිපෙ නායක සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, මහජන විරෝධයෙන් පැන නගින “අරාජිකත්වය” ගැන අනතුරු ඇඟවූ අතර, ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වුව හොත්, ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම සඳහා, අන්තර්කාලීන ආන්ඩුවකට සම්බන්ධ වීමට තම පක්ෂය සූදානම් බව පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සිට විපක්ෂයේ සජබ දක්වා සියලු ම පාර්ලිමේන්තු පක්ෂවලට සහතික විය.

53. මහජන ව්‍යාපාරය ධනේශ්වර පාර්ලිමේන්තු මාවතට පීලි පැන්නවීමේ දී පෙසප ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ය. මහ වැඩවර්ජන මගින් කම්කරු පන්තියේ දැවැන්ත බලය පෙන්නුම් කල විට, පෙසප, එවන් ආන්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සහ දෙමල පක්ෂ ඇතුලු ධනේශ්වර පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වී ය. මහජන ව්‍යාපාරය ඔවුනගේ පාලනයෙන් ඔබ්බට යා හැකි බවට වෘත්තීය සමිති නිලධරයට අනතුරු අඟවමින්, කාර්මික ක්‍රියාවන් එක් දින විරෝධතාවලට හිතාමතා ම සීමා කිරීමට සහ අඛන්ඩ වැඩවර්ජන කැඳවීම ප්‍රතික්ෂේප කිරීමට, පෙසප, එම සමිති නිලධරයට ආධාර කලේ ය.

54. මෙම පක්ෂ, ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු, වහා ම අන්තර්කාලීන පරිපාලනයක් පිහිටුවීම සහ පසු ව නව මැතිවරනයක් පැවැත්වීම සඳහා උද්ඝෝෂනය තීව්‍ර කලේ ය. මෙම දුෂ්ට උපාමාරු හරහා, ජනතා විමුක්ති පෙරමුන සහ අනෙකුත් සියලු ම විරුද්ධ පක්ෂ, අපකීර්තිමත් පාර්ලිමේන්තුවට ඇමරිකානු හිතවාදී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමට ඉඩ දුන් අතර, ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද දැඩි කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මුල පිරුවේ ය.

සසපයේ විප්ලවවාදී විකල්පය

2022 අප්‍රේල් 24 "මහජන අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක්" යන මැයෙන් සසප/සසජාතශි පැවැත් වූ ඔන්ලයින් රැස්වීමේ දසුනක්

55. සියලු ම දේශපාලන පක්ෂ සහ ඒවායේ ව්‍යාජ වාම ආවතේවකරුවන්ට සහ වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහි ව, සසප පමනක් මහජන නැගිටීම සඳහා විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ ය. සර්ව පාක්ෂික අන්තර්කාලීන ආන්ඩුවක් සඳහා වූ ඔවුන්ගේ උද්ඝෝෂනය ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමේ සහ මහජන ව්‍යාපාරය මර්දනය කර පරාජය කිරීමේ උගුලක් ලෙස ගුනාංගීකරනය කරමින් එය ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරු පන්තියෙන් දැඩි ලෙස ඉල්ලා සිටියෙමු. පාර්ලිමේන්තු රාමුව තුල සහ ධනේශ්වර ක්‍රමය තුල කම්කරුවන්ට සහ දුගීන්ට ඔවුන්ගේ සමාජීය සහ ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීමට විසඳුමක් නොමැති බව සසප ප්‍රකාශ කලේ ය. ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව සෑම කම්හලක ම, වැඩබිමක ම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයක ම තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට අපි කම්කරුවන්ට යෝජනා කලෙමු. ගම්බද දුගීන් විසින්, ඒ හා සමාන කමිටු තම ප්‍රදේශවල පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කලෙමු.

56. සසප තමන්ගේ ම ධජය යටතේ පක්ෂ ප්‍රකාශනවල පිටපත් බෙදා හරිමින් මහජන ව්‍යාපාරය තුල අඛන්ඩ ව මැදිහත් විය. 2022 අප්‍රේල් 7 වන දින සසප “ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු! කප්පාදුව හා කුසගින්න එපා! සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කලේය. “ගෝඨා [ගෝඨාභය රාජපක්ෂ] ඉවත් විය යුතුයි!” යන වැඩ කරන ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමට සසප සහයෝගය පල කරමින්, “නමුත් ඔහු වෙනුවට ආදේශ කල යුත්තේ කුමක් ද?” යන ප්‍රශ්නය අපි කෙලින් ම මතු කලෙමු. සියලු කුරිරු නීති අහෝසි කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනා කල අපි මෙසේ කීවෙමු: “කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ අධිෂ්ඨානවත් අරගලයක් හරහා පමනක් ලඟා කර ගත හැකි මෙම අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනස්කම්වල අභිප්‍රාය වන්නේ, සමාජවාදී පිලිවෙත් ඔස්සේ ආර්ථිකය මූලික ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමකට ආරම්භය ලබා දීම බව, සසප අවධාරනය කරයි. ... තම සමාජ බලය බලමුලු ගන්වමින්, දරුනු සමාජ හා ආර්ථික අර්බුදයට සිය විසඳුම ඉදිරිපත් කිරීම සඳහා, ... මෝදි ආන්ඩුවේ කප්පාදුවලට හා පුද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහි ව, පසුගිය සතියේ දී දින දෙකක මහ වැඩ වර්ජනයක නියැලුනු ඉන්දියානු කම්කරුවන් ප්‍රමුඛ, සිය ජාත්‍යන්තර පන්ති සගයන් වෙත අන්‍යෝන්‍ය සහයෝගය පතා කම්කරු පන්තියට හැරී ගත හැකි ය.”

57. අපගේ පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), මෙම විප්ලවවාදී ක්‍රියාමාර්ගයෙන් සන්නද්ධ ව, පෙසප වැනි ව්‍යාජ වම්මුන්ගේ සහාය ඇති ව කොලඹ ගාලු මුවදොර පිටියේ ප්‍රධාන විරෝධතා ස්ථානයේ සංවිධායකයින් විසින් පනවන ලද “දේශපාලනය එපා” යන ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගයට අභියෝග කලේ ය. එම සංවිධායකයින්ගේ සැබෑ අරමුන වූයේ මහජන නැගිටීම තුල විප්ලවවාදී සමාජවාදී දේශපාලනය සඳහා සසප අරගලය බැහැර කිරීමයි.

58. ධනේශ්වර පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා “සර්ව පාක්ෂික ගිවිසුමකට” එලඹීම අරමුනු කර ගත් සාකච්ඡාවලට එක් වන ලෙස 2022 ජූලි 5 වන දින සජබ විසින් කරන ලද සෘජු ආයාචනය සසප තරයේ ප්‍රතික්ෂේප කලේ ය. “සජබ විසින් යෝජනා කරන ලද පරිදි ‘සර්ව පාක්ෂික ආන්ඩුක්’ හෝ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් යෝජනා කරන ලද ‘එක්සත් ආන්ඩුවක්’ මගින් මෙම ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයට නව මුහුනක් සවි කිරීමෙන්” අර්බුදය විසඳිය නොහැකි බව, ආරාධනය ප්‍රතික්ෂේප කරමින් සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ලිවී ය.

59. මහජන ව්‍යාපාරයේ වර්ධනයන් විශ්ලේෂනය කරමින්, කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ක්‍රියාකාරී කමිටුවලින් තේරී පත් වූ නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා ඓතිහාසික උද්ඝෝෂනයක් දියත් කරමින්, සසප 2022 ජූලි 20 වන දා ප්‍රකාශයක් නිකුත් කලේ ය.

“අන්තර්-කාලීන ආන්ඩුවක් සඳහා වන සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමේ දී, දේශපාලන සංස්ථාපිතයේ හා ධනපති රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී කුමන්ත්‍රනයන්ගෙන් ස්වාධීන, තමන්ගේ ම දේශපාලන බලයේ මධ්‍යස්ථානයක් කම්කරු පන්තිය විසින් ස්ථාපිත කරගත යුතු බව සසප අවබෝධ කර ගත්තේ ය. කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන අපගේ කැඳවීමෙහි අර්ථභාරය එයයි.”

සූරා කෑමට ලක් වූ ජනතාවට සැබෑ හඬක් සපයන විප්ලවවාදී දේශපාලන විකල්පයක් ලෙස මෙම සම්මේලනය අපේක්ෂා කරන ලදී. සසප පුලුල් වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ ය: සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම; ජාමූඅ හි කප්පාදු ප්‍රතික්ෂේප කිරීම; බිලියනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම සහ කම්කරුවන්ගේ පාලනය යටතේ බැංකු සහ ප්‍රධාන සංගත ජනසතු කිරීම; ගොවීන්ගේ නය අවලංගු කිරීම සහ පොහොර සහනාධාර නැවත ස්ථාපිත කිරීම; ජීවන වියදමට අනුව වැඩි වන වැටුප් සහිත රැකියා සැමට සහතික කිරීම. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සමාජවාදී පිලිවෙත් මත සමාජය ප්‍රතිව්‍යූහගත කිරීමට කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් අත්‍යවශ්‍ය වෙයි. 

60. සෝවියට් සභාවන් හි සමකාලීන සාම්‍යය ලෙස, මෙම ක්‍රියාකාරී කමිටු අරගලයේ දී වර්ධනය වී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලයේ අවයව ලෙස තහවුරුවනු ඇතැයි, 1917 රුසියානු විප්ලවයේ පාඩම් උකහා ගනිමින්, සසප පැහැදිලි කලේ ය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ සගයන් වනුයේ විපක්ෂ ධනේශ්වර පක්ෂ නොව ජාත්‍යන්තර ව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් බව පක්ෂය අවධාරනය කල අතර, හජජාක විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කරන ලෙස ඉල්ලා සිටියේ ය.

61. පෙර නොවූ විරූ දේශපාලන තත්ත්වය පැහැදිලි කරමින් ප්‍රකාශය තව දුරටත් මෙසේ පැවසී ය:

“වසර හැටකට පෙර පැවතියාට වඩා අද දින ලංකාවේ හා ගෝලීය ව ධනවාදයේ අර්බුදය ගැඹුරු ය. පසුගිය මාස තුනෙහි මහජන නැගිටීම ධනේශ්වර පාලනය අරටුවට ම සොලවා දමා ඇත. එහෙත් ලියොන් ට්‍රොට්ස්කි වරක් පැහැදිලි කල පරිදි, ධනේශ්වරයෙහි ශක්තිය වන්නේ එය තම දුර්වලත්වය අවබෝධ කරගැනීමයි. දේශපාලන බලය ධනේශ්වරයේ හස්තයෙහි තැබුව හොත්, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය පනවමින් හා ඕනෑ ම මහජන විරුද්ධත්වයක් තලා දමමින්, එය තම අවශ්‍යතා නිර්දය ව ආරක්ෂා කරනු ඇත.

“කම්කරු පන්තියේ දුර්වලත්වය වන්නේ, එය තම ශක්තිය අවබෝධ කර නොගැනීම බව ද ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය. මහා මහජන විරෝධතාවන්, දැවැන්ත සටන්කාමීත්වයක්, අධිෂ්ඨානයක් හා ධෛර්යය සම්පන්න බවක් ප්‍රදර්ශනය කර ඇත. එහෙත් වැඩ කරන ජනයා දේශපාලන සංස්ථාපිතයට ගැට ගැසී, ධනපති අන්තර්-කාලීන ආන්ඩුවක් කෙරෙහි විශ්වාසය තැබුව හොත්, අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ විනාශයකි.” 

62. ධනේශ්වර පක්ෂවල සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ බලපෑමෙන් බිඳීමට සහ සසප ඉදිරිදර්ශනය පිලිගැනීමට කම්කරු පන්තිය අසමත් වීම විනාශකාරී ප්‍රතිවිපාකවලට හේතු විය. වික්‍රමසිංහ පෙර නොවූ විරූ මර්දනයක් මුදා හැරියේ ය. හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරමින්, විරෝධතාකරුවන්ට එරෙහි ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කලේ ය. තව ද, 2022 ජූලි 22 වන දින, ගාලු මුවදොර විරෝධතා කඳවුර ප්‍රචන්ඩ ලෙස විසුරුවා හැරීම සඳහා සන්නද්ධ පොලිස් සහ හමුදා භටයන් 1,000 ක් යැවී ය. ආර්ථික වශයෙන්, ඔහු ම්ලේච්ඡ ජාමූඅ හි කප්පාදු පැනවී ය. ප්‍රධාන අංශවල වැඩ වර්ජන තහනම් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක කලේ ය.

63. විප්ලවවාදී සමාජවාදී මාවතට පිවිසීමට කම්කරු පන්තිය අසමත් වීමෙන්, මහජන නැගිටීම තුල සසප මූලධර්මාත්මක දේශපාලන මැදිහත් වීමේ වැදගත්කම හෝ කම්කරු පන්තියේ වෛෂයික විප්ලවවාදී ධාරිතාව ප්‍රතික්ෂේප වූයේ නැත. ස්ටැලින්වාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන් සහ පැබ්ලෝවාදීන් වැනි විවිධ සංශෝධනවාදී ප්‍රවාහයන් විසින් දශක ගනනාවක් තිස්සේ සිදු කරන ලද සාපරාධී පාවා දීම් මගින් කම්කරු පන්තිය තුල සමාජවාදී සහ මාක්ස්වාදී සංස්කෘතිය සහ විඥානය විනාශ කිරීමේ ඛේදජනක ප්‍රතිවිපාක එයට ප්‍රධාන වශයෙන් හේතු කාරක වී ඇත. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු 1992 දී පැවති හජාජාක සැසිවාරයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සමාජවාදී සහ මාක්ස්වාදී සංස්කෘතිය නැවත ගොඩනැගීම සඳහා ගත් ආරම්භකත්වයේ දැවැන්ත වැදගත්කම මෙයින් අවධාරනය කෙරේ.

ජවිපෙ බලය කරා නැගීම

64. 2022 පාවා දීම ජනතා විමුක්ති පෙරමුන බලයට පත්වීමට හේතු විය. 2024 සැප්තැම්බර් මාසයේ දී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සියයට 42.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති ධුරයට තේරී පත් වූ අතර, නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයේ දී, සියයට 61.6 ක ඡන්ද ප්‍රතිශතයක් සහිත ව (එය 2019 දී සියයට 3.1 සිට කැපී පෙනෙන වැඩිවීමකි) ආසන 225 න් 159 ක් දිනා ගනිමින් ජවිපෙ/ජාජබ දැවැන්ත ජයග්‍රහනයක් අත්කර ගත්තේ ය.  ජාත්‍යන්තර මාධ්‍යයන්, විකාර සහගත ලෙස, ජවිපෙ/ජාජබට “වාමාංශික” සහ “සමාජවාදී” ලේබල් අලවන අතරතුර, තමා සංස්ථාපිතයට එරෙහි බවක් මවා පාමින්, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට එරෙහි මහජන කෝපය ගසාකෑමට ජවිපෙ කටයුතු කලේ ය.   

65. ජවිපෙ තම මැතිවරන උද්ඝෝෂන අතරතුර, ජාමූඅ ගිවිසුම “නැවත සාකච්ඡා කිරීමට”, දුගීන් ආරක්ෂා කිරීමට, වැටුප් වැඩි කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීමට, විධායක ජනාධිපති ධූරය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි මර්දනකාරී නීති අහෝසි කිරීමට, “ජාතික සමගිය ගොඩනැගීමට”, සිවිල් යුද්ධයේ දී සහ ඉන් පසු ව රඳවා සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සහ උතුරු හා නැගෙනහිර හමුදා අත්පත් කරගත් සිවිල් ඉඩම් ආපසු ලබා දීමට පොරොන්දු විය. මේ සියල්ල ඡන්ද ලබා ගැනීම සඳහා පමනක් කරන ලද බොරු බව දැන් සනාථ වී ඇත. ඊට ප්‍රතිකූල ව, ව්‍යාපාරික නායකයින් සමඟ පැවති රැස්වීම්වල දී, ජවිපෙ නායකයින් පාලක පන්තියට ජාමූඅ හි වැඩපිලිවෙල මුලුමනින් ම ක්‍රියාත්මක කරන බවට සහතික විය. 2024 ජනාධිපතිවරනයට මාස කිහිපයකට පෙර ජවිපෙ වෘත්තීය සමිති නිලධරය සීමිත වැඩවර්ජන සහ විරෝධතා පවා නැවැත් වූ අතර දැන් ඔවුහු එහි පරිපාලනයේ මෙවලම් ලෙස ක්‍රියා කරති. 

66. ජවිපෙ වෙස් මුහුනු වහා ඉවත් විය. 2024 නොවැම්බර් 23 වන දින (නව පාර්ලිමේන්තුව රැස්වූ පලමු දින) ජාමූඅ සමග නැවත සාකච්ඡා කිරීමේ මැතිවරන පොරොන්දුව අත හැර දමමින්, තම ආන්ඩුව ජාමූඅ හි වැඩපිලිවෙල සම්පූර්නයෙන් ම ක්‍රියාත්මක කරන බව දිසානායක නිවේදනය කලේ ය. 2025 පෙබරවාරි අයවැය මඟින් රාජ්‍ය සේවකයන්ගේ දීමනා කපා දැමූ ඔහු, අවම වැටුප් වැඩි වීම්, අඛන්ඩ වැට් බදු වැඩිවීම් සහ ප්‍රතිගාමී බදුකරනයන් ප්‍රකාශයට පත් කලේ, රුපියල් ට්‍රිලියන 4.5 ක්, එනම් රාජ්‍ය වියදමෙන් අඩක් පමන නය සේවාකරනය සඳහා වෙන් කරමිනි. ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අනෙකුත් මර්දනකාරී නීති අහෝසි කිරීමේ පොරොන්දුව කඩ කල අතර, ඒ වෙනුවට කම්කරුවන්ට, තරුනයින්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව ඒවා භාවිතා කර ඇති අතර, දැන් ඒ හා සමාන, යම් අර්ථයකින් ඊටත් වඩා මර්දනකාරී බලතල සහිත, “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නව පනතක් හඳුන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ 80 වන සැසිවාරය අතරතුර රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ [ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය] [Photo: President’s Media Division]

67. ජවිපෙ ආන්ඩුව තම අතීත අධිරාජ්‍ය විරෝධී පූච්චානම්වලින් ඉතිරි ව තිබූ සියල්ල අත හැර දමා, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට කොලඹ වඩාත් සමීප ව ඒකාබද්ධ කර ඇති අතර ඊශ්‍රායලය සමඟ සබඳතා ශක්තිමත් කර ඇත. දිසානායක ඔහුගේ දක්ෂිනාංශික පූර්වගාමියා වූ වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ඉදිරියට ම ගෙන යයි. ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට ජවිපෙ ආන්ඩුවේ ප්‍රතිචාරය හෙලිදරව්කාරී ය. කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට ඇති ව පවත්නා තර්ජනය ගැන “ගැඹුරු කනස්සල්ල” පල කරමින් සහ “උපරිම සංයමයක්” සහ ගැටුම් “අඩු කිරීමක්” ඉල්ලා සිටිමින් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කල නමුත් ආක්‍රමනිකයන් වන එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය හෝ ප්‍රකෝප නොකල යුද්ධයේ ගොදුර වන ඉරානය නම් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. පලස්තීනුවන්ට එරෙහි ව එක්සත් ජනපද සහායෙන් ඊශ්‍රායලය ගෙන යන ජන සංහාරක යුද්ධය සම්බන්ධයෙන් ද එය එම ස්ථාවරය ම ගනිමින්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නම් නොකර, යුද ගැටුම් අඩු කිරීම සහ සංයමය සඳහා බෙලහීන ඉල්ලීම් නිකුත් කලේ ය.

මතු සම්බන්ධයි...

Loading