විමර්ශකයන්ගේ නම පවා සඳහන් කිරීමට බිය වන විමර්ශනය

එච්. කීත් මෙල්ටන් සහ නයිජල් වෙස්ට් විසින් රචිත “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය: ඔත්තු බැලීම, සෝලිය සහ සියවසේ අපරාධය” කෘතිය පිලිබඳ විමසුමක්

[මෙය The Investigation Whose Name Dare Not Be Mentioned මැයෙන් 2026 ඔක්තෝබර් 4 වැනි දා ඉංග්‍රීසි පල විය.]

එච්. කීත් මෙල්ටන් සහ නයිජල් වෙස්ට් විසින් රචිත “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය: චරපුරුෂ සේවය, සෝලිය සහ සියවසේ අපරාධය” (The Assassination of Leon Trotsky: Espionage, Scandal, and the Crime of the Century) නම් කෘතිය, 1940 අගෝස්තු මාසයේ දී ස්ටැලින්වාදී රහස් පොලිසිය වන ජීපීයූව විසින් සිදු කරන ලද බිහිසුනු අපරාධය පිලිබඳ ව මෙම වසර තුල ප්‍රකාශයට පත් කරන ලද දෙවන ග්‍රන්ථයයි. බාල මට්ටමේ ට්‍රොට්ස්කි-විරෝධී ලියවිල්ලක් වන ජොෂ් අයර්ලන්ඩ්ගේ පොත[1] මෙන් නොව,  මෙල්ටන් සහ වෙස්ට් ගේ පොත, ට්‍රොට්ස්කිගේ දේශපාලන ප්‍රතිභාව සහ ඉතිහාසයේ ඔහුගේ ස්ථානය කෙරෙහි යම් ගෞරවයක් ප්‍රකාශ කරයි.  එය, පසුගිය දශක තුන පුරා ධනේශ්වර මාධ්‍යවේදීන් සහ ශාස්ත්‍රඥයින් විසින් ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියා පිලිබඳ ව ප්‍රකාශිත  අනෙකුත්  පොත් කිසිවක දක්නට නොලැබෙන්නකි. 

එච්. කීත් මෙල්ටන් සහ නයිජල් වෙස්ට් විසින් රචිත “The Assassination of Leon Trotsky: Espionage, Scandal, and the Crime of the Century” පොතේ කවරය

තම පොතේ හැඳින්වීමේ දී, කතුවරුන් ට්‍රොට්ස්කිගේ අතිමහත් ඓතිහාසික කාර්යභාරය පිලිගනී. ඔවුහු මෙසේ ලියති :

“... ව්ලැඩිමීර් ලෙනින්ගේ අති විශිෂ්ට සහායකයා සහ රතු හමුදාවේ නිර්මාතෘවරයා ලෙස, ට්‍රොට්ස්කි 1917 බොල්ෂෙවික් ජයග්‍රහනයට නැතු ව ම බැරි සාධකයක් විය. රුසියානු සිවිල් යුද්ධය (1918-1921) අතරතුර ඔහුගේ නායකත්වය සහ නොනවතින විප්ලවය පිලිබඳ ඔහුගේ න්‍යාය ඔහු විප්ලවයේ වඩා ත් ම බලගතු චරිතයක් ලෙස ස්ථාපිත කලේ ය. එහෙත් ඔහුව ඔසවා තැබූ  එම ස්වාධීනත්වය, බුද්ධිය සහ ජාත්‍යන්තරවාදී දැක්ම ඔහුගේ විනාශය ද සහතික කලේය. …”[2]

ට්‍රොට්ස්කි සහ ස්ටාලින් අතර ගැටුම “හුදෙක් පුද්ගලික ගැටුමක් නොව දෘෂ්ටිවාදාත්මක එකක් විය: ජාත්‍යන්තර විප්ලවය සඳහා ට්‍රොට්ස්කිගේ අවධාරනය ස්ටැලින්ගේ ‘තනි රටක සමාජවාදය’ පිලිබඳ මූලධර්මය සමඟ සමහන් කල නොහැකි ලෙස ගැටුනි” යනුවෙන් කතුවරු අවධාරනය කරති.[3] “1920 ගනන්වල අග භාගය වන විට, ට්‍රොට්ස්කි, ලෙනින්ගේ විප්ලවයේ අවසාන ජීවමාන ප්‍රතිමූර්තිය සහ ස්ටැලින්ගේ පාලනයට වඩා ත් ම දෘශ්‍යමාන විකල්පය ලෙස පැවතුනි” යැයි මෙල්ටන් සහ වෙස්ට් තවදුරටත් සඳහන් කරති.[4] හැඳින්වීම අවසන් වන්නේ “ස්ටැලින් මිනිසෙකු නිහඬ කිරීමට පමනක් නොව, ව්‍යාපාරයක්, පරම්පරාවක් සහ උරුමයක්  දූරීභූත කර දැමීමට උත්සාහ කලේ ය” යන නිරීක්ෂනයෙනි.[5]

කතුවරුන්ට, මෙම අවංක තක්සේරුව සඳහා ප්‍රශංසා කල යුතු ය. ඒ විශේෂයෙන් ම ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතා සහ කැපවීම් නිසා ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී දේශපාලනය කෙරෙහි කිසිදු සභානුභූතියක් ඇතිවීමේ හැකියාවක් නොමැති තත්වයක් තුල ය.

නමුත් එම පොරොන්දු සහගත හැඳින්වීම නොතකා, එච්. කීත් මෙල්ටන් සහ නයිජල් වෙස්ට් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ නව පොත පිලිබඳ තක්සේරුවක් කිරීමට නම්, පොත පුරා දිවෙන පරස්පරතාව කෙරෙහි අවධානය යොමු කල යුතු ය. මෙම පොත බොහෝ දුරට පදනම් වී ඇත්තේත් එය පිලිගන්නේත් 1975 මැයි මාසයේ දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) විසින් ආරම්භ කරන ලද විමර්ශනය වූ ‘ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරයේ’ කේන්ද්‍රීය සොයා ගැනීම් ය. ජීපීයූව විසින් හතර වන ජාත්‍යන්තරය විනිවිද යාම පිලිබඳ ව පසු ගිය වසර 50 තුල මතු කරන ලද ප්‍රධාන ප්‍රශ්න, එනම් - ජෝසෆ් හැන්සන්, සිල්වියා කැලන්, රොබට් ෂෙල්ඩන් හාර්ට්, සිල්වියා ඇගෙලොෆ්, ලිලියා එස්ට්‍රින් සහ මාර්ක් ස්බොරොව්ස්කි යන අයගේ භූමිකාවන් - පිලිබඳ ව එම විමර්ශනය මගින් වර්ධනය කරන ලද සාක්ෂි සහ නිගමන මත මෙල්ටන් සහ වෙස්ට් විශ්වාසය තබති. සත්‍ය වාර්තාව පිලිබඳ ඔවුන්ගේ සමාලෝචනය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සතුරන් විසින් ‘ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය’ විමර්ශනය අපකීර්තියට පත් කිරීමට දරන ලද අඩ සියවසක උත්සාහයන් කුඩු පට්ටම් කර දමයි.

කෙසේ වෙතත්, කතුවරුන් තමන්ගේ ආඛ්‍යානය තුල හජජාක විමර්ශනය පැහැදිලි ව හඳුනා නොගැනීම හෝ පැහැදිලි නොකිරීම, එහි කෘති මත ඔවුන්ගේ යැපීමේ ප්‍රමානය පිලිනොගැනීම නිසා මෙම සාධනී‌ය අංගය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. හජජාක විමර්ශනයේ ප්‍රකාශන, ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියෙහි සහ පරිච්ඡේද අග සටහන්වල නැවත නැවතත් දක්නට ලැබෙන අතර, එම විමර්ශනය පොතේ ප්‍රධාන ආඛ්‍යානයෙන් බැහැර කර ඇති අතර හජජාක ප්‍රධාන විමර්ශකයින් ද අවසන් සටහන් වලට පහත දමා ඇත; නැත්නම් ඔවුන් ගැන සඳහන් කිරීම සම්පූර්නයෙන් ම මඟ හැර ඇත.

1940 දී ලියොන් ට්‍රොට්ස්කි

ඒ වෙනුවට, මෙල්ටන් සහ වෙස්ට් ඔවුන්ගේ පොත බිහි කිරීමට මූලෝත්පාදක වූ හජාජාක විමර්ශනය යටපත් කොට, ට්‍රොට්ස්කි ඝාතනය පැහැදිලි කිරීම සඳහා මතුපිටින් වෙන ම ආවරන කතාවක් ගොඩනඟන අතර, ඔවුහු 1940 අගෝස්තු 20 වන දින ට්‍රොට්ස්කි ඝාතනය සහ ඉන් පසු ව ඇති වූ විමර්ශනය එහි විවේචනාත්මක හා සමකාලීන දේශපාලන ඇඟවුම් වලින් වෙන් කරන ප්‍රති-ආඛ්‍යානයක් නිර්මානය කරති. ‘ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය’ විමර්ශනයේ ප්‍රතිඵල, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ඔත්තු බැලීමේ නිල ඉතිහාසය ලිවීම සඳහා යොදා ගන්නා අතර, එම ප්‍රතිඵල ස්ථාපිත කරන ලද්දේ කෙසේ ද, කවුරුන් විසින් ද, කාට එරෙහි ව ද යන්න පිලිබඳ දේශපාලන ඉතිහාසය යටපත් කරනු ලැබේ. 1940 පෙර කාලයේ ඝාතනය සඳහා කුමන්ත්‍රනය සිදු කල ආකාරය විස්තරාත්මක ව නැවත කියා ඇත. ඝාතනයෙන් පසු - සමාජවාදී කම්කරු පක්ෂය (සකප) තුල දශක ගනනාවක් තිස්සේ කුමන්ත්‍රනය වසන් කිරීමත්, ජීපීයූව සහ එෆ්බීඅයි හතර වන ජාත්‍යන්තරය තුලට නොකඩවා ම ඒජන්තයන් ඇතුල් කිරීමත් හෙලිදරව් කිරීමට ජාත්‍යන්තර කමිටුව සිදු කල අරගලය - සම්පූර්නයෙන් ම ඉවත් කර ඇත. ඊලඟට පොතේ විස්තර වන්නේ කතුවරුන්ගේ ප්‍රති-ආඛ්‍යානයත්, එය සඟවන දේ සහ එය නොතකා ම, ඔවුන්ගේ පොත සනාථ කරන දේ පරීක්ෂා කිරීමත්‍ ය. 

පොතේ කතුවරුන්  

කීත් මෙල්ටන් ඇමරිකානු බුද්ධි ප්‍රජාවේ උපදේශකයෙකු ලෙස වසර 35 කට වැඩි කාලයක් සේවය කර ඇති අතර, සීඅයිඒ, එෆ්බීඅයි සහ එන්එස්ඒ වෙත දේශන පවත්වමින් සිටිය දී  ඔහු අන්තර් නියෝජිත පුහුනු මධ්‍යස්ථානයේ තාක්ෂනික වෘත්තීය ශිල්ප ඉතිහාසඥයා ලෙස සේවය කර ඇත. ඔහු ජාත්‍යන්තර ඔත්තු කෞතුකාගාරයේ ආරම්භක මාන්ඩලික සාමාජිකයෙකු වූ අතර, එම කෞතුකාගාරයේ ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට භාවිතා කල අයිස් පොරව ප්‍රදර්ශනයට තබා ඇත - එය ඔහු විසින් අත්පත් කර ගත් වස්තුවකි.

නයිජල් වෙස්ට් යනු 1987 සිට 1997 දක්වා කොන්සර්වේටිව් මන්ත්‍රීවරයෙකු ලෙස ටෝර්බේ දිස්ත්‍රික්කය නියෝජනය කල රූපට් ඇලසන්ගේ ලේඛක නාමයයි. ඔහු වර්ල්ඩ් ඉන්ටෙලිජන්ස් රිවීව් සඟරාවේ (ලෝක බුද්ධි සමාලෝචනය) යුරෝපීය කර්තෘවරයා වන අතර ජාත්‍යන්තර බුද්ධි හා ප්‍රති බුද්ධි සඟරාවේ ද කර්තෘ මන්ඩල සාමාජිකයෙකි. ඔහු ප්‍රති-බුද්ධි හා ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ සහ සීඅයිඒ මූලස්ථානයේ දේශන පවත්වා ඇති අතර, 2003 දී හිටපු බුද්ධි නිලධාරීන්ගේ සංගමයේ පලමු වන, ජීවිත කාලයක ලේඛක කටයුතු සඳහා වූ  සම්මානය ලබා ඇති අතර 2011 දී එහි ගෞරවනීය පාලක මන්ඩලයට තේරී පත් විය.

ඔවුහු සරලමතික මිනිසුන් හෝ අහිංසක මිනිසුන් හෝ නොවෙති. වෙස්ට් යනු දශකයක කාලයක් බ්‍රිතාන්‍යයේ මැතිවරනවලින් තේරී  පත් වූ පලපුරුදු දේශපාලනඥයෙකි. මෙල්ටන් ඔහුගේ ම විස්තරයට අනුව, අඩ සියවසකට වැඩි කාලයක් ට්‍රොට්ස්කිගේ ඝාතනය අධ්‍යයනය කිරීම සඳහා කැප වී සිටී. බුද්ධි සේවා ක්‍රියාත්මක වන ආකාරය, ඔත්තු මූලාශ්‍රයක් යනු කුමක් ද සහ ඔත්තුවක ප්‍රභවස්ථානය වැදගත් වන්නේ කෙසේ ද ආදිය වෘත්තීයමය පලපුරුද්දෙන් දෙදෙනා ම තේරුම් ගත් අයයි. අප පසු ව විස්තර කරන, ඔවුන් විසින් අත හරින ලද කාරනා, තමන් භාවිතා කරන මූලාශ්‍ර ගැන අවබෝධයක් නැති බොලඳ කතුවරුන්ගේ ක්‍රියා නොවේ.

කිසි විටෙකත් නම් සඳහන් නොකෙරන, එහෙත් කතුවරුන් විසින් භාවිතා කරන ලද විමර්ශනයක්

“ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය” යන වාක්‍ය ඛන්ඩය පොතේ හය වතාවක් දක්නට ලැබෙන අතර, ඒ සෑම වතාවක දී ම ඒවා අවසන් සටහන්  තුල සඟවා ඇත. දෙවන පරිච්ඡේදයේ පලමු අවසන් සටහනේ “ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය: ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කල ආකාරය” [ලන්ඩන්: ලේබර් පබ්ලිකේෂන්ස්, 1976] යන කෘතිය උපුටා දක්වයි;[6] එම පරිච්ඡේදයේ 68 වන සටහන මෙම කාර්යය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව  විසින් සිදු කරන ලද්දක් බව පිලිගනී;[7] අනෙකුත් පරිච්ඡේද සටහන් එම විමර්ශනය ම උපුටා දක්වන අතර  එරික් ලන්ඩන් විසින් සිල්වියා ඇගෙලොෆ් පිලිබඳ ව ලියන ලද  ලිපි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය” නම් ලිපි මාලාවේ කොටසක් ලෙස හඳුනා ගනී.[8] පොතේ අග ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියෙහි, “ජීපීයූව විසින් ට්‍රොට්ස්කි ඝාතනය කල ආකාරය” , ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා, ගෙල්ෆාන්ඩ් නඩුව, 1 වන වෙලුම, සිල්වියා ෆ්‍රෑන්ක්ලින් ලිපි ගොනු, එරික් ලන්ඩන්ගේ “ඒජන්තයෝ : එෆ්බීඅයි සහ ජීපීයූව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිදීම” යන කෘතිය සහ ලෝසවෙඅ හි පල වූ කොටස් හතරකින් යුත් ඇගෙලොෆ් ලිපි මාලාවත්  ඩේවිඩ් නෝර්ත්ගේ “හැරල්ඩ් රොබින්ස්ට උපහාරයක්: ට්‍රොට්ස්කිගේ ආරක්ෂක කපිතාන්” යන ලේඛනයත් පොත අග ග්‍රන්ථ නාමාවලියෙහි ලැයිස්තුගත කර ඇත.[9] සමස්තයක් වශයෙන්, පරිච්ඡේද 12 ක් අවසානයේ ඇති සටහන් 42 ක් සහ පොතේ හැඳින්වීම හජජාක ප්‍රකාශන, ගෙල්ෆාන්ඩ් නඩු වාර්තාව සහ නෝර්ත්ගේ සහ ලන්ඩන්ගේ කෘති මත රඳා පවතින ඒවා ය.[10] “ජීපීයූ ව විසින් ට්‍රොට්ස්කි ඝාතනය කල ආකාරය” කෘතිය පමනක් අවසන් සටහන් 12 ක සඳහන් කර ඇති අතර ග්‍රන්ථ නාමාවලියෙහි ද ලැයිස්තුගත කර ඇත.[11]

එහෙත් මෙම කරුනු ගවේෂනය කර, එකලස් කර, ඉදිරිපත් කලා වූ විමර්ශනය කිසි විටෙකත් පොත තුල හඳුනා ගැනීමක්, විස්තර කිරීමක් හෝ පැහැදිලි කිරීමක් සිදු කර නැත. ‘ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය’ යනු කුමක්දැයි දැනටමත් නොදන්නා පාඨකයෙකු එවැන්නක් ලොව පැවති බව ඉගෙන නොගෙන පොත කියවා අවසන් කරනු ඇත. ගෙල්ෆාන්ඩ් නඩුව ඔවුන්ගේ ආඛ්‍යානය තුල සාකච්ඡා නොකෙරේ. සිල්වියා ෆ්‍රෑන්ක්ලින් ලිපි ගොනු හුදෙක් ග්‍රන්ථ නාමාවලියේ සඳහනක් පමනි. 1975 මැයි මාසයේ සිට ජාත්‍යන්තර කමිටුව, ජීපීයූව විසින් හතර වන ජාත්‍යන්තරය විනිවිද යාම පිලිබඳ ව ක්‍රමානුකූල පරීක්ෂනයක් සිදු කල බව; ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී පක්ෂයේ (සකප) නායක ජේම්ස් පී. කැනන්ගේ ලේකම් “සිල්වියා කෝල්ඩ්වෙල්” නමින් පෙනී සිටියේ ජීපීයූ ඒජන්තයකු වූ සිල්වියා කැලන් ම බව, (ඇගේ විවාහක නම) ජීපීයූ සහ එෆ්බීඅයි යන දෙක ම සමඟ ජෝසප් හැන්සන් පැවැත් වූ සම්බන්ධතා පිලිබඳ එක්සත් ජනපද රජයේ ලේඛනවල පවා සටහන් වූ බව; එ සේ ම ඇලන් ගෙල්ෆාන්ඩ් පැවරූ නඩුව නිසා සිල්වියා කැලන් නමැත්තිය 1954 සහ 1958 ග්‍රෑන්ඩ් ජූරිය ඉදිරියේ දුන් සාක්ෂි වල පිටපත් ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට බල කෙරුනු බව සහ ඇය තමන් ඔත්තුකාරියක් බව  උසාවියේ දී පිලිගත් බව ආදී කිසිවක්  පොතේ පාඨකයාට කියන්නේ නැත. පොත පසු ව එම කරුනු සාරාංශ කරන්නේ ඒවා ප්‍රසිද්ධියට පත් වූ ආකාරය පැහැදිලි නොකර ය.[12]

පොතේ ප්‍රධාන ආඛ්‍යානයේ ජාත්‍යන්තර කමිටුව ගැන සඳහන් වන්නේ එක් වරක් පමනකි. ඒ මෙසේ ය:

“1975 දී, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හෙලි කලේ, හැන්සන්, මෙක්සිකෝ සිටි හි ඇමරිකානු කොන්සල්වරයා හරහා එෆ්බීඅයි සමඟ සම්බන්ධ වී සිටි බවත්, ඔවුන් කලින් ඔහු ඔත්තුකරුවකු ලෙස බඳවා ගැනීමට උත්සාහ කල විට” තමා ජීපීයූව සමඟ නිකමට සබඳතා පවත්වා ගෙන ගිය” බවත්‍ ය. රොබින්ස් සහ අනෙකුත් අය මෙයින් නිගමනය කලේ හැන්සන් ජීපීයූ ඒජන්තයකු වූ බවයි. නමුත් සමහර ඉතිහාසඥයින් පවසන්නේ ඔහු අවසානය දක්වා ට්‍රොට්ස්කිට පක්ෂපාතී ව සිටි බවයි.[13]

1975 හෙලිදරව්ව පදනම් වූයේ කුමන ලියකියවිලි මත ද යන්න හෝ ඒවා ලබා ගත්තේ කෙසේ ද යන්න පැහැදිලි නොකර, “චෝදනා කරන පරිදි” සහ “සමහර ඉතිහාසඥයින් පවසන පරිදි” ආදී වචන ඇතුලත් කිරීම මගින් සැබෑ කරුනු වහා ම ආවරනය කර ඇත. එහෙත් පොතේ “ප්‍රධාන භූමිකා රඟ දැක්වූවන්ගේ ලේඛනයේ” කිසිදු පැහැදිලි කිරීමක් නොමැති ව,  හැන්සන් “1938 දී ජීපීයූවට ද  1940 දී ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට ද (අෆ්බීඅයි) ඔත්තු සැපයූ බව සඳහන් කරයි.[14] එබැවින්, පොතේ ආරම්භක ඡේද, හජජාක විසින් ලේඛනගත කර ඇති දේවල්වල කේන්ද්‍රීය අංගයක් දැනට ම නිරවුල් කරුනක් ලෙස ඉදිරිපත් කරයි. 

සිල්වියා කැලන් ගැන සලකන විට ද එම රටාව ම දක්නට ලැබේ. අවසාන වාක්‍යයේ මෙසේ සඳහන් වේ: “ජීපීයූ ඒජන්තයෙකු ලෙස සිල්වියාගේ භූමිකාව සහ ඇගේ 1958 සාක්ෂිය ගැන 1970 ගනන්වල මැද භාගය වන තෙක් ම ලෝකයා දැන සිටියේ නැත.”[15] 1970 ගනන්වල මැද භාගයේ සිදු වූ දෙය කුමක් ද? කවුරුන් විසින් එම දෙය ප්‍රසිද්ධ කරන ලද්දේ ද? පොත උදාසීන ලෙස එම හෙලිදරව්ව දෙසට ඉඟි කරන අතරේ එම කාර්යය කල පුද්ගලයින් සහ විමර්ශනය ගැන සඳහන් කිරීම අත් හැර දමයි.

‘ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය’ විමර්ශනය ගැන සඳහන් නොකිරීම, නොදැනුවත්කමේ ප්‍රතිඵලයක් නොවන බව මෙල්ටන් විසින් ම තහවුරු කර ඇත. 2026 අගෝස්තු 6 වන දින වොෂින්ටනයේ, ජාත්‍යන්තර ඔත්තු කෞතුකාගාරයේ පැවැති උත්සවයේ දී, එරික් ලන්ඩන්,  ‘ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය’ විමර්ශනය මත විශ්වාසය තැබීම පිලිබඳ ව මෙල්ටන්ගෙන් ප්‍රශ්න කලේ ය. මෙල්ටන් පිලිතුරු දුන්නේ: “ඔවුන්ගේ බොහෝ තර්ක නියත වශයෙන් ම නිවැරදියි.” ඔහු තව දුරටත් මෙසේ පැවසී ය: “පර්යේෂකයෙකුට, එය අත්‍යවශ්‍ය සම්පත් මූලාශ්‍ර වලින් එකකි. ... මම එය භාවිතා කරමි, එය විශිෂ්ට මූලාශ්‍රයක් යැයි මම සිතමි.”

පොත සනාථ කරන දේ

කතුවරුන් ඒ හෝ මේ කාරනය සම්බන්ධයෙන් කුමන උභයාර්ථ ස්වරයක් ලබා දුන්න ද, ඔවුන්ගේ පොත හජාජක හි චෝදනා සහ සොයාගැනීම්වල නීත්‍යානුකූලභාවට කිසි විටෙකත් අභියෝග නොකරයි. මොස්කව් මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීමට ද නිරවද්‍ය වාර්තාවක් ස්ථාපිත කිරීමට ද සෑම අභිප්‍රායක් ම තිබෙන, ඔත්තු සේවා පිලිබඳ ඉතිහාසඥයින් දෙදෙනෙකු විසින් ලියන ලද, පිටු 456 කින් සහ අවසන් සටහන් දහසකට ආසන්න ප්‍රමානයකින් සමන්විත පොතේ කිසි විටෙකත්, ‘ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයේ’ සොයාගැනීම්   ප්‍රතික්ෂේප කරනු තබා අභියෝගයට ලක් කිරීමක්වත්  නොකෙරේ. කර්තෘත්වය සඳහන් නොකර, එම කාරනා කුමන්ත්‍රනය පිලිබඳ කතුවරුන්ගේ  ආඛ්‍යානයට ඇතුලත් කර ඇත. මෙය දැන් හජාජාක හි දේශපාලනය  සමග කිසිදු සම්බන්ධයක් නැති කතුවරුන් විසින් ස්ථාපිත කරන ලද වාර්තාගත කාරනයක් වන අතර, පොත පිලිබඳ ඕනෑ ම තක්සේරුවක් ඉදිරියට යා යුත්තේ මෙම කාරනයෙනි.

එම සොයාගැනීම් මුල්වරට ප්‍රකාශයට පත් කල අවස්ථාවේ ඒවාට ලැබුනු ප්‍රතිචාරය සමඟ සසඳා බැලූ විට, ඒවායේ වැදගත්කම වඩාත් පැහැදිලි වේ. හැන්සන්, විමර්ශනයේ මූලික සොයාගැනීම් “මඩ උල්පතක්” (geyser of mud) ලෙස හෙලා දුටුවේ ය.[16] 1976 සැප්තැම්බරයේ දී, පැබ්ලෝවාදීන්ගේ (1953 දී ජාත්‍යන්තර කමිටුවෙන් වෙන් වූ, මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩල් විසින් නායකත්වය දෙන ලද ජාත්‍යන්තර දේශපාලන කන්ඩායමේ) හැන්සන් විසින් සංස්කරනය කරන ලද සඟරාව වන ඉන්ටර්කොන්ටිනන්ටල් ප්‍රෙස්, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” විමර්ශනය “නිර්ලජ්ජිත ව ගොතන ලද චෝදනාවක්” ලෙස හෙලා දකින “තීන්දුවක්” පල කලේ ය. ජාත්‍යන්තර කමිටුව තම චෝදනා සනාථ කිරීම සඳහා “සාක්ෂිමය වටිනාකමක් ඇති අංශුමාත්‍රයක හෝ සාක්ෂියක්, ලේඛනයක් හෝ සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක්” ඉදිරිපත් කර නොමැති බව එමගින් ප්‍රකාශ කෙරිනි.[17]

1979 ජූලි මාසයේදී, රාජ්‍යය විසින් සමාජවාදී කම්කරු පක්ෂය (සකප) තුලට රිංගා එය අත්පත් කරගැනීමට කටයුතු කල බවට චෝදනා කරමින් ඇලන් ගෙල්ෆන්ඩ් විසින් ආරම්භ කරන ලද නඩුව පදනම් වූයේ ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය හරහා ලබාගත් ලේඛන මත ය. 1982 ජූලි 12 වැනිදා, විනිසුරු මරියානා ෆේල්සර්, ගෙල්ෆන්ඩ්ගේ නඩුව කෙටි තීන්දුවක් (summary judgment) මගින් නිෂ්ප්‍රභ කරන ලෙස සකප විසින් ඉදිරිපත් කරන ලද අවසන් ඉල්ලීම ප්‍රතික්ෂේප කලා ය. ගෙල්ෆන්ඩ් නීතිමය බාධකය ජය ගෙන ඇති බවත්, නඩු විභාගයක දී තීරනය කල යුතු සත්‍ය කරුනු පිලිබඳ ගැටලු ඉදිරිපත් කර ඇති බවත් විනිසුරුවරිය තීන්දු කලා ය.[18]

කොයෝවාකාන්හි ට්‍රොට්ස්කිගේ රැකවලේ නායකයා වූ හැරල්ඩ් රොබින්ස්, 1983 මුල දී ඇලන් ගෙල්ෆාන්ඩ් සමග

මෙල්ටන් සහ වෙස්ට් විසින් හඳුනා ගන්නා ලද සෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ම හජාජාක විමර්ශනයේ සොයා ගැනීම් තහවුරු වෙයි. නමුත් සෑම අවස්ථාවක ම, මෙම පුද්ගලයින් ඔත්තුකරුවන් බව හෝ  ඔත්තුකරුවන් වීමට බොහෝ ඉඩ ඇති අයවලුන් බව පිලිගන්නා විට පවා, කතුවරුන් එවැන්නක ඇඟවුම්  මොනවාදැයි සෙවීම ප්‍රතික්ෂේප කරති. සෑම සොයාගැනීමක් ම 1940 වර්ෂය පිලිබඳ හුදකලා කරුනක් ලෙස භාර ගෙන ඇති අතර ඉන් පසු ව සිදු වූ සියල්ල මත එහි ප්‍රතිවිපාක ඉවත් කර ඇත. මෙම රටාවේ දෙ පැත්ත ම (පොත පිලිගන්නා දේ සහ එය විභාග නොකරන දේ) විමර්ශනය කේන්ද්‍ර කර ගත්තා වූ, ප්‍රධාන චරිත පහ (ස්බොරොව්ස්කි හැරුනු විට) හරහා සොයා ගැනීම සුදුසු ය.

රොබට් ෂෙල්ඩන් හාර්ට්

1940 මැයි මාසයේ දී ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට ගත් පලමු උත්සාහයෙන් පසු අතුරුදහන් වූ ආරක්ෂක භටයා වූ හාර්ට්, “ජීපීයූව විසින් බඳවා ගන්නා ලද” බවත්, ඔහු “අයෝසිෆ් ග්‍රිගුලෙවිච්ට සහ කොල්ලකරුවන්ට දොරටු විවෘත කර දුන්” බවත් පොතේ සඳහන් වේ.[19] මෙය, හජාජාක විමර්ශනයේ වඩා ත් ම දැඩි  විවාදාත්මක සොයා ගැනීම් අතර විය. 1975 දී ජාත්‍යන්තර කමිටුව හාර්ට් පිලිබඳ ප්‍රශ්නය මතු කල විට, ජෝසෆ් හැන්සන් පිලිතුරු දුන්නේ, “හාර්ට්ට එරෙහි ව පැරනි ජීපීයූ අපහාසවල දුර්ගන්ධය, අපට පෙනෙන පරිදි, කම්කරු විප්ලවවාදී පක්ෂයේ මූලස්ථානයේ තවමත් රැඳී පවතී” යනුවෙනි.[20] සකප, ව්‍යාපාරය වෙනුවෙන් දිවි පිදූවෙකු ලෙස හාර්ට්ව අනුස්මරනය කර තිබුනි. හජාජාක හි “අපහාසයට” එරෙහි ව දශක ගනනාවක් තිස්සේ සකප විසින් ආරක්ෂා කල මිනිසා, ඝාතකයින්ට ට්‍රොට්ස්කි වාසය කල නිවසට ඇතුලු වීමට දොරගුලු ඇර දුන් මිනිසා බව මෙල්ටන් සහ වෙස්ට් දැන් තහවුරු කරති. 1975 දී හැන්සන් “පැරනි ජීපීයූ අපහාස කරන්නන්” ලෙස හැඳින් වූ දෙය දැන් බුද්ධි ප්‍රජාවේ ඉතිහාසඥයින් දෙදෙනෙකුගේ නිරවුල් සොයා ගැනීම බවට පත් වී තිබේ. ඔහුව ආරක්ෂා කලේ කවුද, කොපමන කාලයක් ද සහ කාට එරෙහි ව ද යන්න ගැන කතුවරු කිසිවක් නොකියති.

සිල්වියා කැලන් (නොහොත් සිල්වියා ෆ්‍රෑන්ක්ලින්, නොහොත් සිල්වියා කෝල්ඩ්වෙල්, නොහොත් සිල්වියා ඩොක්සි)

පොත මගින් ඉදිරිපත් කෙරෙන තහවුරු කිරීම වඩාත්ම ප්‍රබල වන්නේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වන අතර, එමගින් මතු කෙරෙන නිගමන ඇයට වඩාත්ම බරපතල ලෙස චෝදනා එල්ල කරයි. මෙල්ටන් සහ වෙස්ට්ට අනුව, ජීපීයූව විසින් කැනන්ගේ ලේකම් තනතුරට රිංග වූ SATYR නම් කේතයෙන් හැඳින් වූ ඒජන්තවරිය ඝාතනයේ අත්‍යවශ්‍ය ම චරිතයක් විය. ඔවුන් ලියන්නේ මෙම ඝාතනය මොස්කව්හි පිලිසිඳ ගෙන, කොයෝආකාන්හි දී ක්‍රියාත්මක කරන ලද නමුත් එහි සාර්ථකත්වය නිව්‍ යෝර්ක්හි දී අටවන ලද ඔත්තු ජාලයක් මත රඳා පැවති අතර එහි තීරනාත්මක ඉදිරි පියවර වූයේ “දොරටු විවෘත කල නිහඬ ක්‍රියාකාරිකාව: සිල්වියා කැලන්” ය. සකප ජාතික මූලස්ථානයට ඇගේ ඇතුලු වීම සෝවියට් බුද්ධි අංශයට “අවශ්‍ය මොහොත පැමිනි විට, ඝාතකයාට කිසිවක් ම නොවරදින බව සහතික කිරීමට” අවශ්‍ය දේ ලබා දුන්නේ ය.[21] ඇය සැපයූ වාර්තා, ඝාතන උත්සාහයන් දෙකේ ම මෙහෙයවන්නා වූ මෙක්සිකෝ නගරයේ ජීපීයූවේ ක්ෂේත්‍ර අන දෙන නිලධාරි ලියොනිඩ් එයින්ගන් වෙත ලැබුනි. ඒවා නොමැති ව, කතුවරුන් පෙන්වා දෙන්නේ, ජීපීයූ ක්‍රියාකාරීන්ට “මහලු මිනිසාගේ විලාව ඇතුලත දැක ගැනීම අපහසු වනු” ඇති බවයි.  “ට්‍රොට්ස්කිට එරෙහි ස්ටාලින්ගේ යුද්ධයේ දී, සිල්වියා කැලන් හුදු පාද සටහනක් නොවී ය” යනුවෙන් ඔවුහු නිගමනය කරති. මැයි මස සිදු කල ඝාතන උත්සාහයේ දී (වැටලීමේ දී) ට්‍රොට්ස්කි ගේ නිවසේ දොරගුලු හැර දුන්නේ හාර්ට් නම් ඔහු අතට යතුර දී, ගේට්ටු සම්පූර්නයෙන් ම දෙපැත්තට ඇර දැමීමට උදව් කලේ -රූපක වශයෙන් - සිල්වියා කැලන් ය. ”[22] 

මෙම පිලිගැනීම, කැලන්ගේ භූමිකාව කෙරෙහි ජාත්‍යන්තර කමිටුව විසින් සහ ගෙල්ෆාන්ඩ් නඩුව විසින් කැප කල සවිස්තරාත්මක අවධානයේ වැදගත්කම සනාථ කරයි. එය දශක ගනනාවක් තිස්සේ මානසික ග්‍රස්තියක් සහ මඩ ගැසීමක් ලෙස හෙලා දකින ලදී. ඇයගේ ඔත්තු බැලීම ඝාතනය සැලසුම් කිරීමට සැලකිය යුතු ලෙස උපකාරී වූයේ නම්, ඇයගේ භූමිකාව විමර්ශනය කිරීම අපරාධය විමර්ශනය කිරීමට පැහැදිලි ව ම අදාල විය. ඇය ඒජන්තයකු බව දැන සිටි සකප සහ ජාත්‍යන්තර පැබ්ලෝවාදී නායකයින් විසින් ඇයව නොකඩවා ම ආරක්ෂා කිරීමේ සාපරාධී ස්වභාවය ද එය හෙලිදරව් කරයි. මෙල්ටන් සහ වෙස්ට් විසින් ම පැහැදිලි කල පරිදි, ට්‍රොට්ස්කිගේ ඝාතනය කල හැකි දෙයක් බවට පත් කිරීමට උපකාරී වූ ජීපීයූ මෙහෙයුමේ සහභාගී වූවක එම නායකයින් විසින් ආරක්ෂා කරන ලදී.

සිල්වියා ඩොක්සි (නොහොත් කැලන්), 1977, (ඡායාරූපය : ඩේවිඩ් නෝර්ත්)

1947 දී, සකප ප්‍රධාන කාර්යාලයේ ජීපීයූ ඒජන්තයෙකු සිටින බවට කැනන් වෙත තොරතුරු ලැබීමෙන් පසු, සකපය, එය විමර්ශනය කිරීමට පාලක කොමිසමක් කැඳවූ අතර, කොමිසම ඇය කෙරෙහි “සැක කිරීමට පදනමක්” නොමැති බව තීරනය කලේ ය.[23] පසු ව ඇය ඉක්මනින් ම පක්ෂය හැර ගියා ය. 1950 දී ලුවී බුඩෙන්ස් ඇය ප්‍රසිද්ධියේ හඳුනා ගෙන නම් කර තිබිය දී  පවා, සකප නායකයෝ, ඉදිරියටත් දශක ගනනාවක් ම  ඇය ආරක්ෂා කිරීම දිගට ම කර ගෙන ගියහ. 1975 දී හැන්සන්, “ඉන්ටර්කොන්ටිනෙන්ටල් ප්‍රෙස්” හි මෙසේ ලිවී ය : “සිල්වියා කෝල්ඩ්වෙල් (ඒ ඇගේ පක්ෂ නාමය යි) සමාජවාදී කම්කරු පක්ෂයේ කාර්යාලය කලමනාකරනය කිරීමේ දුෂ්කර රාජකාරිය ඉතා වෙහෙස මහන්සි වී ඉෂ්ට කලා ය” සහ ඇය සමඟ වැඩ කල සහෝදරවරු ද “බුඩෙන්ස් විසින් පතුරුවන ලද කැත අපහාසය නිසා ඇය මෙන් ම දැවුනාහ.” ජෝර්ජ් නොවැක් ද ඇයට එරෙහි “නොසැලකිලිමත් සහ අවිචාරවත් චෝදනා” හෙලා දුටුවේ ය.[24]

‘ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තරය’ පිලිබඳ විමර්ශනය, එස්ඩබ්ලිව්පීයේ ප්‍රතික්ෂේප කිරීම්, අපහාස සහ තර්ජන වලට එරෙහි ව, කැලන්-කෝල්ඩ්වෙල් ජීපීයූ ඒජන්තයක බව නිශ්චිත ව ම තහවුරු කලේ ය. 1977 මැයි මාසයේ දී නෝර්ත් සහ ඇලෙක්ස් මිචෙල්, ඇයව ඉලිනෝයි ප්‍රාන්තයේ වීටන් නම් ස්ථානයේ සිටිය දී  සොයා ගත්හ.  එහිදී ඔවුන් ඇගේ ඡායාරූපයක් ද ගෙන ඇගෙන් ප්‍රශ්න කල අතර ඩොක්සි යන නමින් ජීවත් වූ ඇය අතීතය අමතක බවක් හා  හිස්ටීරියා රෝග තත්වයක් තිබෙන බවක් මවා පෑවා ය.[25]

නැවත විවාහ වී සිල්වියා ඩොක්සි ලෙස හඳුනා ගෙන සිටි කැලන්, ඇගේ ඔත්තු බැලීම් ගැන පාපොච්චාරනය කල 1954 සහ 1958 ග්‍රෑන්ඩ් ජූරි විභාගවල  පිටපත් අද - ඒවා සාමාන්‍ය ලේඛනාගාර වාර්තා ලෙස මෙල්ටන් සහ වෙස්ට් විසින් උපුටා දක්වන ලදී - පොදු ජනයාට බලා කියා ගත ආකාරයට විවෘත වසම තුල පවතින්නේ එක් හේතුවක් නිසා පමනි: එනම් ගෙල්ෆාන්ඩ්ගේ නඩුකරයයි. ගෙල්ෆාන්ඩ්ගේ නඩු විභාගය, එම ලියවිලි විවෘත කිරීමට බල කල අතර, එසේ කරන ලද්දේ සකපයේ කටුක ප්‍රතිරෝධය මැද්දේ ය. ඔවුන්ගේ නීතිඥයින් නඩු විභාගය අතරතුර ඒවා නිදහස් කිරීමට විරුද්ධ වන ලෙස අධිකරනයට පෙත්සම් ඉදිරිපත් කලහ. 1983 මාර්තු මාසයේ දී, නඩු විභාගය අවසානයේ, විනිසුරු ෆෙල්සර් මෙම විරෝධතා නොතකා එම සාක්ෂි පිටපත් නිදහස් කරන ලෙස නියෝග කලා ය. පිටපත් නිකුත් කිරීමට පැයකටත් අඩු කාලයකට පෙර, සකප ජාතික ලේකම් ජැක් බාන්ස්, විවෘත අධිකරනයේ දී සාක්ෂි දෙමින් කියා සිටියේ කැලන්-කෝල්ඩ්වෙල්-ඩොක්සි “අපගේ ව්‍යාපාරයේ සිටින පක්ෂපාතී, වෙහෙස මහන්සි වී වැඩ කරන සහ ආදර්ශමත් සාමාජිකාවක” සහ “මගේ වීරවරියන්ගෙන් කෙනෙකු...” බවයි.[26]

වසර 35 ක් තිස්සේ ම, සකප, කැනන්ගේ ලේකම්වරිය බොරු නඩු පැවරීමක ගොදුරක් වීය යන කතාවේ මෙතරම් මුරන්ඩු ලෙස එල්බ සිටියේ මන්දැයි යන්න ද විමර්ශනයෙන් අනාවරනය විය.  ගෙල්ෆාන්ඩ් විසින් නඩුවේ දී ලබා ගත් ලේඛනයක, කෝල්ඩ්වෙල් කවුද යන්න එෆ්බීඅයි වෙත හෙලි කල බුඩෙන්ස්, ජෝසෆ් හැන්සන් ද ස්ටැලින්වාදී නියෝජිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බව සටහන් විය. 1976 ජූනි මාසයේ දී හැන්සන්ට ලියන ලද පෞද්ගලික ලිපියක, ඔහුගේ දිගුකාලීන සගයා වූ වෝන් ටී. ඕ'බ්‍රයන්, 1937 දී ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂක කමිටුවේ කාර්යාලයේ කලමනාකරු ලෙස සේවය කල පර්ල් ක්ලූගර් සමඟ පැවති හමුවීමක් සිහිපත් කලේ ය. 1930 ගනන්වල මැද භාගයේ සිට බුඩෙන්ස්ව දැන සිටි ක්ලූගර්, ඕ'බ්‍රයන්ට කෙලින් ම අනතුරු ඇඟවී ය: “ ඔබේ මිතුරා, ජෝ හැන්සන් ජීපීයූව සමඟ වැඩ කරන කෙනෙක් කියලා බුඩෙන්ස් කියනවා.”[27]

මෙම තොරතුරු මගින්, සිල්වියා කැලන්-කෝල්ඩ්වෙල්ගේ “ආදර්ශමත්” භූමිකාව පිලිබඳ ව හැන්සන් සහ සකප නොනවත්වා ම අවධාරනය කරන්නේ මන්ද යන්නත් හෙලිදරව් විය. කෝල්ඩ්වෙල්ට එරෙහි ව බුඩෙන්ස්ගේ චෝදනා සත්‍ය ලෙස පිලිගත්තොත්  හැන්සන් ද හෙලිදරව් වේ. බුඩෙන්ස් කිසි විටෙකත් හැන්සන් ප්‍රසිද්ධියේ නම් නොකිරීම ඊටත් වඩා බරපතල නිගමනයක් දක්වා අප ගෙන යයි: හැන්සන්, සකපයේ ඉහල ම නායකත්වයේ සිට ඔත්තු සපයන්නෙකු ලෙස ක්‍රියා කල බැවින් ඔහු හෙලිදරව් වීමට ඉඩ නොතබන ලෙස එෆ්බීඅයි විසින් තහනමක් පනවා තිබූ නිසා ය. 

ගෙල්ෆාන්ඩ් නඩු විභාගය අවසන් වී සති පහකට පසු, “ද මිලිටන්ට්” නම් සකප පුවත්පතේ, 1983 අප්‍රේල් 15 වන දින කලාපයෙන් සකප නායකයින් තමන් වසර ගනනාවක් තිස්සේ දැන සිටි දේ තම සාමාජිකයින්ට පලමු වරට දැනුම් දුන්හ: බුඩෙන්ස් විසින් “සකප සාමාජිකයින් කිහිප දෙනෙකු සෝවියට් නියෝජිතයන් ලෙස හෙලිදරව් කර තිබේ. 1979 දී මිය යන තෙක් ම සකප මධ්‍යම නායකයෙකු වූ ජෝසෆ් හැන්සන් ද ඒ අතර විය...”[28] මෙම විශ්මයජනක පිලිගැනීමෙන් පසු ව පවා, කාරනා වසන් කිරීම දිගට ම පවත්වා ගෙන යන ලදී.  1983 මැයි මාසයේ දී බාන්ස් සකප ජාතික කමිටුවට පැවසුවේ, කෝල්ඩ්වෙල් ඇගේ ඔත්තු බැලීම ගැන පාපොච්චාරනය කල ග්‍රෑන්ඩ් ජූරියේ සාක්ෂි පිටපත් ව්‍යාජ ලෙස සකස් කර ඇති ඒවා බවයි: “මෙය පරිපූර්න බොරු ගෙතීමක් විය යුතු ය - එය, දිවුරුම් දුන් කාන්තාව විසින් චෝදිත දේවල් තමා කල බව පවසන නිල වාර්තාවකි.”[29] මෙල්ටන් සහ වෙස්ට් මෙම සමස්ත ඉතිහාසය ම “සකප තුල ඒ ගැන පැවති සැක සංකා” සහ “ආයතනික බොලඳත්වය” පිලිබඳ රෝග විනිශ්චයකට ඌනනය කරති.[30] කතුවරුන්ගේ එම වචන, සිද්ධිය වෙහෙස නොබලා යට ගැසීම, අහිංසක මානසික තත්වයක් ලෙස විස්තර කරයි.

ලිලියා එස්ට්‍රින් (නොහොත් ලෝලා ඩැලින්)

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ජීපීයූවේ වටිනා ම ඒජන්තයා වූ මාර්ක් ස්බොරොව්ස්කිට තීරනාත්මක අවස්ථාවන්හි දී එස්ට්‍රින් විසින් චරිත සහතික ලබා දුන් අතර සෑම තීරනාත්මක අවස්ථාවක දී ම ඔහුගේ සහායට පැමිනි ආකාරය  පොතේ ලේඛනගත කර ඇත. ට්‍රොට්ස්කිගේ නිවසේ ආරක්ෂාව පිලිබඳ ව සැක මතු වූ  සෑම විටක ම ඇය “ඒතීන්” ගේ (ස්බොරොව්ස්කි විසින් භාවිතා කරන ලද පක්ෂ නාමය) ආරක්ෂාවට ඉදිරිපත් වූවා ය; සෙඩොව් (ඔහුගේ ඝාතනය සිදු කෙරුනු, ප්‍රංශයේ පිහිටි) ‘ක්ලිනික් මිරාබියු’ රෝහල වෙත ගෙන යාමේ මාරාන්තික තීරනයට ඇය සම්බන්ධ වූවා ය. එහි දී ඔහු ඝාතනය කරන ලද අතර, 1938 සැප්තැම්බර් මාසයේ ආරම්භක සමුලුවට ස්බොරොව්ස්කි සමග සහභාගි වූවා ය; එහි දී ඇය සමුලුවට පැමිනි නියෝජිතයින්ට සිල්වියා ඇගෙලොෆ් සහ රේමන් මර්කාඩර් යන දෙදෙනා (“ශාක්ස් මෝනාඩ්” යන බොරු නම භාවිතා කරමින්) හඳුන්වා දුන්නා ය.

ලෝලා ඩැලින්

1941 දී ස්බොරොව්ස්කිට (ෆැසිස්ට්වාදී පාලනය යටතේ තිබූ 'විචි' ) ප්‍රංශයෙන් පලා යන්නටත් එක්සත් ජනපදයට සංක්‍රමනය වන්නටත් ඇය කටයුතු සංවිධානය කර දුන් අතර, පසු ව 1955 වන තෙක් ම ඔහුට එහි රැකවරනය ලබා දුන්නා ය. ඇලෙක්සැන්ඩර් ඔර්ලොව් විසින් ස්බොරොව්ස්කි කව්දැයි හෙලිදරව් කරන තුරු ම ස්බොරොව්ස්කි අත ම ඔත්තු කටයුතු කර ගෙන ගියේ ය. 1938 දී ජීපීයූවෙන් පලා ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඔර්ලොව්, එම දෙසැම්බර් මාසයේ ම නිර්නාමික ලිපියක් මගින් ට්‍රොට්ස්කිට අනතුරු ඇඟවූයේ “ඒතීන්” යනු ජීපීයූ ඒජන්තයකු බවයි - ට්‍රොට්ස්කි එම ලිපිය එස්ට්‍රින්ට පෙන්වීය.  “ඇගේ අභිප්‍රායන් කුමක් වුවත්, ඇගේ ක්‍රියාවන්, ස්බොරොව්ස්කිගේ සැලසුම් සහ ජීපීයූවේ අවශ්‍යතා සමඟ සමපාත වන බව පොත නිගමනය කරන අතර, “නාට්‍යයේ චරිත” අතර ඇය, “ජීපීයූ ඒජන්තයකු වීමට ඉඩ ඇති” පුද්ගලයකු හැටියට ලේබල් කරයි.[31] ඉන්පසු කතුවරුන්  අවධාරනය කරන්නේ, “වෙනෝනා ලියවිලි” (VENONA papers යනු සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු නිදහස් කරනු ලැබූ, ජීපීයූව හා එහි ඇමරිකානු ඔත්තුකරුවන් අතර හුවමාරු වූ ලිපි ගනුදෙනු ය - පරිවර්තක) මේ කාර්යයේ ලා අපැහැදිලි වන අතර ජීපීයූ ඒජන්තයකු ලෙස ලිලියා එස්ට්‍රින්ගේ සහාය ඔප්පු කිරීමට හෝ ඇගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට ඒවායින් නොහැකි” බවයි.[32] නමුත් පොත තුල ම රැස් කර ඇති සාක්ෂි පැහැදිලි නිගමනයකට අප යොමු කරයි: වසර 15 ක් පුරා, මහාද්වීප දෙකක, වුල්ෆ්, රීස්, සෙඩොව් සහ ක්ලෙමන්ට්ගේ ඝාතන හරහා, එස්ට්‍රින්ගේ සෑම මැදිහත්වීමක් ම ජීපීයූව වෙනුවෙන් සේවය කල අතර, ඇය කිසි විටෙකත් රිසිට් පතකට අත්සන් කලත් නැතත්, විධිමත් තනතුරක් දැරීම හැර අන් හැම ආකාර වලින් ම ඒජන්තයක ලෙස ක්‍රියා කලා ය.

සිල්වියා ඇගෙලොෆ්

පොතේ මුල් පරිච්ඡේදවල සිට ම,  කතුවරු අසරන “පුංචි සිල්වියා” පිලිබඳ මිථ්‍යාව පුනරුච්චාරනය කරති - මර්කාඩර් (නොහොත් ශාක්ස් මෝර්නාඩ්) විසින් රවටනු ලැබූ චිත්තවේගීය වශයෙන් අවදානමට ලක් විය හැකි සමාජ සේවිකාවක ලෙස ඇගෙලොෆ් නිරූපනය කරමින් -  “රැවටිල්ලට හසු වූ තරුනිය (ද ඩූප්: ආදරය ආයුධයක් ලෙස)” යන මාතෘකාව යටතේ ඇය වෙනුවෙන් පරිච්ඡේදයක් පවා කැප කරයි.[33] නමුත් පසු ව එන පරිච්ඡේදයක් වන “ෆෝචූන්ස් ෆූල්” හිදී එම පින්තූරය තියුනු ලෙස සංශෝධනය කරයි. ඝාතකයාට අත්‍යවශ්‍ය හැකියාව ලබාදෙන්නිය හැටියට  ඇගෙලොෆ්ගේ භූමිකාව වසන් කර තැබීමට එය ප්‍රයෝජනවත් වූ නිසා ඇගේ අහිංසකත්වය  පිලිබඳ කතන්දරය දිගට ම පවත්වා ගෙන ගිය බවට කතුවරු තර්ක කරති. ඔවුන්ගේ එම පසුකාලීන විශ්ලේෂනය, එලිපිට ම එරික් ලන්ඩන්ගේ 2021 දී පල වූ කොටස් හතරකින් සමන්විත විමර්ශනය මත පදනම් වෙයි.[34] එය දීර්ඝ ලෙස උපුටා දක්වා ඇති අතර, එය එම පරිච්ඡේදයේ අභිලේඛනය සහ එහි ප්‍රධාන ප්‍රවාදය (තීසිසය) සපයයි. එ සේ ම, පරිච්ඡේද හතක් පුරා අවසන් සටහන් 15 ක් තුල ද එරික් ලන්ඩන් ගේ ලිපි මාලාව උපුටා දක්වා ඇත.[35]  මෙල්ටන් සහ වෙස්ට්, එරික් ලන්ඩන් “ඉතිහාසඥයෙකු” ලෙස හඳුන්වන නමුත්,  එම ලිපි මාලාව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ‘ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය’ විමර්ශනයේ අඛන්ඩ කොටසක් ලෙස  ප්‍රකාශයට පත් වූවක් බව පොත තුල පැහැදිලි නොකරති.

සිල්වියා ඇගෙලොෆ් සහ මර්කේඩර්

ලන්ඩන් “අලුත් ලිපි ලේඛන  හඳුන්වා දී නොමැති” බවත්, තමන්ගේ පරිච්ඡේදය “එම නිගමනයට ම එලඹුනේ තමන්ගේ ම ස්වාධීන විශ්ලේෂනයක් හරහා” බවත් කතුවරු ලියති.[36] එසේ ම ඔවුහු තමන් ලියූ පොතේ අර්ධ දෙකෙහි අඩංගු ඇගෙලොෆ්ගේ ක්‍රියාකලාපය පිලිබඳ පරස්පර විරෝධී ප්‍රකාශ නිරවුල් කිරීමට කිසිදු උත්සාහයක් නොගනිති. ලන්ඩන්ගේ කෘති ඔවුන්ට හමු වූයේ ප්‍රමාද වීමෙන් යයි කීමෙන් ද පරස්පරතාව පැහැදිලි කල නොහැක්කේ  “ද ඩූප්” ඇතුලු පූර්ව පරිච්ඡේදවල දී  දැනටමත් එරික් ලන්ඩන්ගේ ලිපි උපුටා දක්වා තිබෙන බැවිනි. කතුවරු තමන්ගේ විවරන දෙක එකිනෙකට සමාන්තර ව තබා, ඒවා අතර තිබෙන පරස්පර විරෝධය සමථයකට පත් නොකරති.  තමන් ස්වාධීන ව එලඹියා යයි කියන නිගමනයට පැමිනියේ කවර විමර්ශනය තුලින් ද යන්නත් ඔවුහු පැහැදිලි නොකරති.  නැවත වරක් එහි තිබෙන ඇඟවුම කපා හරිනු ලැබේ: ඇගෙලොෆ්ගේ නිර්දෝෂීභාවය පිලිබඳ මිථ්‍යාව වසර 80 ක් තිස්සේ පවත්වා ගෙන ගියේ කවුරුන් ද යන ප්‍රශ්නය කතුවරු කිසි විටෙකත් අසන්නේ නැත. එහෙත් 1975 දී පවා, හැන්සන් තවමත් ඇයව, “මර්කේඩර් ගේ සැබෑ අනන්‍යතාව පිලිබඳ හාංකවිසියක් නොදැන සිටි, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විශ්වාසවන්ත සාමාජිකාවක...” ලෙස විස්තර කරමින් සිටි බව නම් නිරීක්ෂනය කරති.[37]

එස්ට්‍රින් සහ ඇගෙලොෆ් පිලිබඳ සිද්ධීන් හි දී, මෙල්ටන් සහ වෙස්ට් තමන් එක්‍ රැස් කර ඇති ආඛ්‍යානය මගින්  සිදුවීමට ඉඩ තිබුනු දේවල් දෙකක්  පාඨකයා හමුවේ තබති. පලමු වැන්න : එක්කෝ මෙම ස්ත්‍රීන් දෙදෙනා  කුමන්ත්‍රන සහ මිනීමැරුම් අස්සේ ඝාතකයින් සඳහා සහතික වෙමින්, මිනීමරුවා ඔහුගේ ගොදුරේ දොරකඩට රැගෙන යමින්, සෑම ව්‍යසනයක ම කේන්ද්‍රයේ සිටිමින් කිසිවක් තේරුම් නොගෙන අන්ධයන් ලෙස ඉබාගාතේ ගිය - මුග්ධ ගැහැනු ය; නැත්නම් ඔවුහු ඒජන්තයෝ ය. කතුවරුන් මේ දෙකෙන් එකක් තෝරා ගැනීම ප්‍රතික්ෂේප කරන අතර, කාන්තාවන් දෙදෙනාට ම කතුවරුන්ගේ ම සාක්ෂි නිසා දිය වී ගොස් තිබෙන අඥෙයවාදයේ සහනය, [ලොව කිසිවක් ම ඥානනය කල නොහැක්කේ ය යන දර්ශනවාදය] බේරී යාමේ මාර්ගය ලෙස සපයා දෙති.  එහෙත් විශ්වසනීය වන්නේ විකල්ප දෙකෙන් එකක් පමනකි. ඇගෙලොෆ් වනාහී පුහුනු මනෝවිද්‍යාඥවරියකි; එස්ට්‍රින් වසර ගනනාවක් ම සෙඩොව්ගේ සහ ට්‍රොට්ස්කිගේ පවා විශ්වාසය දිනා ගෙන හතර වන ජාත්‍යන්තරයේ යුරෝපීය සංවිධානයේ කේන්ද්‍රයේ සිට ක්‍රියාත්මක වූවා ය. මොවුහු දෙ දෙන මුග්ධ ස්ත්‍රීන් නොවූහ. මෙල්ටන් සහ වෙස්ට් තම කෘතිය විසින් ම ඉදිරිපත් කරන ප්‍රශ්නයට සෘජු පිලිතුරක් දීම මග හරිති. එහෙත් ඔවුන්ගේ ම සාක්ෂි නිසා ප්‍රශ්නය ම, ඊට පිලිතුර සපයයි.

ජෝසෆ් හැන්සන්

‘ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනය මගින් හැන්සන් ජීපීයූ සහ එෆ්බීඅයි හි ද්විත්ව ඒජන්තයකු බව හෙලි කිරීම පොත තුල දී සඟවා තබනු ලැබී ය; එහි ඇඟවුම් මග හරිනු ලැබී ය. නමුත් මෙල්ටන් සහ වෙස්ට්, විමර්ශනයේ එම හෙලිදරව්වට අභියෝග නොකරති. පොතේ සඳහන් චරිත ලැයිස්තුවේ සඳහන් වන්නේ හැන්සන් “1938 දී ජීපීයූ ව වෙත සහ 1940 දී එෆ්බීඅයි වෙත තොරතුරු සැපයූ” බව ය.[38] නමුත් මෙම පොත, එකී සම්බන්ධතාවය කුමක් ද, එෆ්බීඅයි සම්බන්ධතාවයට කුමක් සිදු වී ද,  එම සම්බන්ධතාවය පවත්වා ගෙන ගිය මිනිසා සකපයේ සහ ජාත්‍යන්තර පැබ්ලෝවාදී එක්සත් ලේකම් කාර්යාලයේ නායකත්වයට නැගීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පරීක්ෂා කිරීමට අපොහොසත් වේ.

ජෝසප් හැන්සන් 1940 ආසන්නයේ

ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනයෙන් සොයා ගත් කරුනුවලින්, ට්‍රොට්ස්කි ඝාතනයෙන් දින 10 කට පසු, හැන්සන් පක්ෂයට, සකපට, හොරෙන්  මෙක්සිකෝ නගරයේ එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරීන් සමඟ රහසිගත රැස්වීම් මාලාවක් ආරම්භ කල බවත්, ඔහු, 1938 දී  “ජෝන්” ලෙස පමනක් හඳුන්වා දුන් ජීපීයූවේ ඒජන්තයකු සමඟ පැවැත් වූ සම්බන්ධතාවය ගැන ඔවුන්ට පැවසූ බවත් තහවුරු කරන ලදී.  ආපසු නිව්‍ යෝර්ක් නගරයට  යාමට පෙර, හැන්සන් “බියෙන් තොර ව රහසිගත තොරතුරු ලබා දිය හැකි” කෙනෙකු තමන්ට සම්බන්ධ කර දෙන ලෙස  ඉල්ලා සිටියේ ය.[39]

1950 දශකයේ මැද භාගයේ සිට 1979 දී ඔහුගේ මරනය දක්වා, හැන්සන් සකප ප්‍රධාන නායකයා සහ පැබ්ලෝවාදී ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් විය. ඔහු එම තනතුර දරමින් ඝාතන කුමන්ත්‍රනය වසන් කිරීමේ සහ  ජාත්‍යන්තර කමිටුවට හා ජෙරී හීලිට එරෙහි ව දරුනු ලෙස අපහාස කිරීමේ ව්‍යාපාරය මෙහෙය වී ය. 1975 වසරේ  හෙලිදරව් කිරීම් පිලිබඳ පොතේ අඩංගු එක ම මග අරින සුලු වාක්‍යය, එහි නමින් සඳහන් කරන්නේ නැති “සමහර ඉතිහාසඥයින් ඔහු අවසානය දක්වා ම ට්‍රොට්ස්කිට පක්ෂපාතී ව සිටි බව” ය. මෙම ඉතිහාසය සමඟ කතුවරුන්ට කීමට තිබෙන්නේ එම තනි වාක්‍යය පමනි. පොතේ ම ප්‍රකාශිත කරුනු අනුව, හැන්සන් වනාහි ට්‍රොට්ස්කිගේ ලේකම් කාර්යාලය තුල පදිංචි ව සිටි රහස් එෆ්බීඅයි ඒජන්තයකු විය. එම කාරනය සටහන් කිරීමෙන් පසු, කතුවරු එය අතහැර දමති; මන්ද යත් එය පසු පස යාම, තම පොත විසින් මග හැරිය යුත්තා වූ නිගමනවලට කෙලින්ම එලඹීමට සිදු වන බැවිනි.

මූලාරම්භය පිලිබඳ ව මතු පිටින් පමනක් විමසන කතාවක් 

“මේ පොත කුමට ද? මෙවැන්නක් මේ අවස්ථාවේ ඇයි? ඇයි මේ වන් කතුවරු? ” යන මාතෘකාවෙන් යුත් පෙරවදනක මෙල්ටන් සහ වෙස්ට් මෙසේ සඳහන් කරති: “මෙම පොත විසිවන සියවසේ වඩාත් ම ප්‍රතිවිපාක සහිත දේශපාලන ඝාතනවලින් එකක් වන ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය පිලිබඳ දශක පහකට වැඩි කාලයක් තිස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි.”[40] මෙම ගුනාංගීකරනයට අවධානය යොමු කල යුතු ය, මන්ද එය සාම්ප්‍රදායික එකක් නොවන බැවිනි. සමකාලීන මාක්ස්-විරෝධී සාහිත්‍යයේ පවත්නා තීන්දුව නම්, 1940 වන විට ට්‍රොට්ස්කි හුදෙකලා, දේශපාලනික පිටුවහලෙක් වූ බවත්, ඔහුගේ ඝාතනය කෙතරම් ඛේදජනක වුවත්, එතරම් වැදගත්කමක් නොතිබූ එකක් බවත්‍ ය. ඝාතනයේ ඓතිහාසික හා දේශපාලනික වැදගත්කම පිලිබඳ අවධාරනය වසර 50 ක් තිස්සේ ජාත්‍යන්තර කමිටුවේ ස්ථාවරය විය. 2015 ඔක්තෝබර් 16 වන දින පල කරන ලද ලිපියක, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවී ය:

“ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය විසි වන සියවසේ වඩා ත් ම දේශපාලනික ප්‍රතිවිපාක සහිත අපරාධ අතර වේ, එය ජාත්‍යන්තර කම්කරු පන්තියට සහ ලෝක සමාජවාදී ව්‍යාපාරයට බරපතල ඇඟවුම් සහිත ඝාතනයක් විය.”[41]

2021 පෙබරවාරි 5 වන දින ලෝසවෙඅ හි පල කරන ලද “සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය” යන මාතෘකාව යටතේ එරික් ලන්ඩන් ලියූ විස්තීර්න හා නව මං පෙත් විවෘත කල   විශ්ලේෂනයට හැඳින්වීමේ දී එරික් ලන්ඩන් මෙසේ පැවසී ය: “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය 20 වන සියවසේ වඩාත් ම ප්‍රතිවිපාක සහගත දේශපාලන ඝාතනයයි.”[42]

මෙම තක්සේරුව වචනයක් පාසා ම පිටපත් කරමින් මෙල්ටන් සහ වෙස්ට් ඔවුන්ගේ පොත ආරම්භ කිරීම, සමස්ත කෘතිය පුරා ම දිවෙන, එහෙත්  කොතැනක දී වත් පිලි ගනු නොලබන බලපෑමක පලමු ඇඟවීමයි. නයට ගෙන ඇත්තේ අහඹු වාක්‍ය ඛන්ඩයක් නොව දේශපාලන විනිශ්චයකි. කෙසේ වෙතත්, එම විනිශ්චය ලබා දුන් විමර්ශනය පිලිබඳ ව, පෙරවදනෙහි කිසිවක් නොකියයි. ඒ වෙනුවට එය පොතේ මූලාරම්භය පිලිබඳ වැදගැම්මකට නැති විස්තරයක් ඉදිරිපත් කරයි.

මේ කාරනය ගැන තමන්ගේ උනන්දුව ආරම්භ වූයේ, “1970 ගනන්වල මුල් භාගයේ දී  ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ මෙක්සිකානු පොලිස් විමර්ශනයට නායකත්වය දුන් කර්නල් ලියැන්ඩ්‍රෝ සැන්චෙස් සලසාර් විසින් රචිත “මෙක්සිකෝවේ ඝාතනය” නමැති පොත කිය වූ පසු ව බව මෙල්ටන් ලියයි. ඝාතනය සැලසුම් කලේ කෙසේ ද යන ප්‍රශ්නයට පිලිතුරු දීමට වසර ගනනාවක් තිස්සේ කරුනු එකතු කිරීමට සිදු විය. ඔවුහු තව දුරටත් මෙසේ පවසති: “කතුවරු මොස්කව් නුවරට ගොස්, කලින් වසා තිබුනු, පසු ව විවෘත කල රහසිගත බුද්ධි ලිපිගොනු පරීක්ෂා කර, විශ්‍රාමික සෝවියට් බුද්ධි නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා, ප්‍රකාශයට පත් නොකල පවුල් ලේඛනාගාරවලින් ද තොරතුරු ලබා ගෙන ඝාතනය පිලිබඳ තමන්ගේ ඓතිහාසික අවබෝධය හැඩගස්වා ගත්හ.”[43]

1970 ගනන්වල මුල් භාගයේ දී මෙල්ටන්, සැන්චෙස් සලාසාර්ගේ පොත සොයා ගත්තා විය හැකි ය. සමහර විට එය ඝාතනය පිලිබඳ විභාග කිරීමට ඔහුගේ උනන්දුව ඇති කලා ද විය හැකි ය. නමුත් කතුවරුන් ඔවුන්ගේ ලාලසාව අවදි කලා යයි කියා සිටින දිනයන් 1975 මැයි මාසයේ දී 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනය ආරම්භ කිරීම සමඟ සම්පාත වේ - එය, ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ අධ්‍යයනය, විභාග කොට අවසානයේ වසා දැමූ නඩුවක සිට තවමත් විවෘත ව පවතින විසඳා නිම නොකල නඩුවක් බවට පරිවර්තනය කල සිදුවීමයි. 

1975ට පෙර, ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ එවකටත් ඉතා පුලුල් ජීපීයූ කුමන්ත්‍රනයක් පිලිබඳ සාක්ෂි ප්‍රසිද්ධ මහජන වාර්තාවල පැවතුන ද ජනප්‍රිය ආඛ්‍යානය, මර්කාඩර් සහ ඇගෙලොෆ් මත දැඩි ලෙස කේන්ද්‍රගත විය.  1950 ගනන්වල එක්සත් ජනපද සෙනෙට් සභා විමර්ශන සහ ජැක් සෝබල් සහ මාර්ක් ස්බොරොව්ස්කිට එරෙහි ව පැවරූ නඩු නිසා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ජිපීයූ මෙහෙයුම් පිලිබඳ දිවුරුම් දුන් සාක්ෂි, නිල වාර්තාවලට ඇතුලත් වී තිබුනි. සකප සහ එහි දේශපාලන සගයන් අතර සිටි පැබ්ලෝවාදීහු, ඝාතනය පිලිබඳ විමර්ශනය සහ නඩුවේ ප්‍රගතිය සම්පූර්නයෙන් ම පාහේ නොසලකා හැරියහ. ජීපීයූ ඒජන්තයකු හැටියට මාර්ක් ස්බොරොව්ස්කිගේ භූමිකාවට අදාල ව නිව්‍ යෝර්ක් නගරයේ උසාවියක දී බොරු සාක්ෂි දීමේ චෝදනාවලට වරදකරු වීම පවා සකප නිල පුවත්පත වූ “ද මිලිටන්ට්” හි වාර්තා නොවී ය. පලමු වතාවට, නිල වාර්තා ක්‍රමානුකූල ව පරීක්ෂා කර, ඒවා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට ඓතිහාසිකවත් හා සමකාලීනවත්, රාජ්‍ය  ඔත්තුකරුවන් විනිවිද යාම පිලිබඳ ගැඹුරු විමර්ශනයක ආරම්භක ලක්ෂ්‍යය බවට පත් කලේ හජාජාකයි.

හජාජාක විමර්ශනය නිසා, ජීපීයූව හතරවන ජාත්‍යන්තරය සහ සකප තුලට විනිවිද ගියේ කෙසේ ද, ව්‍යාපාරය තුල සිටි එහි ඒජන්තයන් කවුරුන් ද සහ ට්‍රොට්ස්කිගේ නිවසේ ආරක්ෂාව ඇතුලතින් ම අනතුරේ හෙලන ලද්දේ කෙසේ ද යන ප්‍රශ්න ඓතිහාසික හා සමකාලීන දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුලත් විය - ඒවා මෙල්ටන් සහ වෙස්ට්ගේ මුලු පොතේ ම ව්‍යුහය තීන්දු කර ඇති ප්‍රශ්න වේ. සමස්තයක් ලෙස මුලු පොත ම හජාජක විමර්ශනය සමග සමීප ව ගමන් කරයි.

කතුවරුන් දෙ දෙනාගෙන් ජ්‍යෙෂ්ඨයා වන මෙල්ටන්, ඔහු ම විස්තර කරන පරිදි  හජාජක විමර්ශනය ආරම්භ වූ වසරවල සිට ම මෙම විෂය කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔහු ඒ ගැන දැන සිටින්නට ඇති අතර එහි වර්ධනයේ සෑම අදියරක දී ම —  එනම්, 1975 ආරම්භක වාර්තා, “ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේද?” යන පොත, 1977 දී සිල්වියා කැලන් හෙලිදරව් කිරීම, 1979 -1983 ගෙල්ෆාන්ඩ් නඩු විභාගය සහ  ඔවුන්ගේ පොතේ උපුටා දක්වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ විමර්ශනය අඛන්ඩ ව  කරගෙන යාම පිලිබඳ වාර්තා — ආදිය ඇතුලත් ව එහි ප්‍රගතිය නිරීක්ෂනය කරන්නට ඇත.

“ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේ ද? (How the GPU murdered Trotsky?)” පොතේ කවරය

සැන්චෙස් සලසාර්ගේ පොත නිසා ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ ඔහුට උනන්දුවක් ඇති වූවා ය යන කාරනය යමෙකු පිලිගත්ත ද, එම උනන්දුව නිසා ම ඔහු 1975 මැයි මාසයේ දී ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද විමර්ශනය පිලිබඳ ව දැනුවත් වන්නට ඇත. මෙය සමපේක්ෂනයක් නොවේ. පාදසටහන් සහ ග්‍රන්ථ නාමාවලිය, අප දැනටමත් අවධාරනය කර ඇති පරිදි, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තර ප්‍රකාශනවලින් පුලුල් ලෙස උපුටා දක්වයි.

හජාජක විමර්ශනය පෞරානික කාරනා ගැන උනන්දුවක් නිසා හෝ අහම්බෙන් මුන ගැසුනු පොතක් නිසා ආරම්භ වූවක් නොවේ. එම විමර්ශනයේ ආසන්න ත ම පසුබිම වූයේ 1974 දී වර්කර්ස් ලීගයේ ඇති වූ ආරක්ෂාව පිලිබඳ අර්බුදයකි.  එය, එවකට එහි ජාතික ලේකම් ව සිටි ටිම් වුල්ෆත් සහ ඔහුගේ සහකාරිය වූ නැන්සි ෆීල්ඩ්ස් නම් වූ, ජ්‍යෙෂ්ඨ සීඅයිඒ නිලධාරියෙකු සමඟ ඇගේ පවුලේ සම්බන්ධතාව පක්ෂයට හෙලිදරව් නොකල ප්‍රකෝපකාරිනිය සම්බන්ධයෙනි. ෆීල්ඩ්ස්ගේ පවුල් පසුබිම පිලිබඳ පරීක්ෂනයක් පැවැත්වෙන තෙක් ඇයගේ සාමාජිකත්වය අත්හිටුවීමට වර්කර්ස් ලීගය ගත් තීරනය, එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂයේ දිගුකාලීන නායකයෙකු වන ජෝසෆ් හැන්සන් විසින් “පීඩනෝන්මාදය (paranoia) නම් මානසික රෝගය” ලෙස හෙලා දකින ලදී. [44]  1940 දී ට්‍රොට්ස්කිගේ ඝාතනය හැන්සන් සියැසින් දැක තිබූ  නිසාත්, ආරක්ෂක කටයුතුවල දී නොසැලකිලිමත් වීම නිසා හතර වන ජාත්‍යන්තරය ගෙවූ භයානක මිල ගැන ඔහු හොඳින් දැන සිටි නිසාත්, මෙම ප්‍රතිචාරය අසාමාන්‍ය එකක් විය.

විමර්ශනයේ ආරම්භක අරමුන වූයේ, 1940 දී සිදු කල ඝාතනය කල හැකි දෙයක් බවට පත් කිරීමට හේතු වූ ආරක්ෂාව පිලිබඳ නොසැලකිලිමත් වීම් වල  දේශපාලන පාඩම් අධ්‍යයනය කිරීමෙන් සහ එහි පාඩම් උකහා ගැනීමෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කේඩරයට අධ්‍යාපනය ලබා දීම ය.

විමර්ශකයින් කවුරුන්දැයි සඳහන් කර නොමැත

කතුවරුන් කියා සිටින්නේ සැන්චෙස් සලසාර්ගේ පොත සොයා ගැනීම, “දශක ගනනාවක් පුරා ව්‍යාප්ත ව ගිය, මහාද්වීප හරහා තමන්ව රැගෙන ගිය, ලේඛනාගාරවලට ගැඹුරට බැස්ස වූ, ස්ටැලින් ඉතා ප්‍රවේශමෙන් රහසිගත ව තබාගත් යුද්ධයේ රහස් දැන සිටි අයගේ නිවෙස්වලට කැඳවා ගෙන ගිය, ලුහුබැඳීමක්, තමන් තුල අවුලුවා ලූ බවය...”[45] කෙසේ වෙතත්, කැපී පෙනෙන කාරනය වන්නේ, දශක ගනනාවක් පුරා පැවති ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත විමර්ශනය අතරතුර, මෙල්ටන් හෝ වෙස්ට්, ඝාතනය පිලිබඳ පෙර නොවූ විරූ සහ සවිස්තරාත්මක, ප්‍රසිද්ධ විමර්ශනයක නියැලී සිටි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සම්බන්ධ කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි.

විමර්ශනය ආරම්භ කල දා පටන්  'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' සංවර්ධනය කිරීමේ දී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කල ඩේවිඩ් නෝර්ත්, හැරල්ඩ් රොබින්ස්ගේ අභාවයෙන් පසු ඔහු පිලිබඳ ව පල වූ ඇගයීමක කතුවරයා ලෙස පමනක් හඳුනා ගෙන ඇති අවසාන සටහන් තුනක සහ ග්‍රන්ථ නාමාවලියෙහි පමනක් පෙනී සිටියි.[46] විමර්ශනයේ ආරම්භක අදියරවල දී තීරනාත්මක විමර්ශන කාර්යභාරයක් ඉටු කල සහ 1975 - 77 දී ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය යන මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් කරන ලද මූලික ලේඛන ලිවීමේ දී නෝර්ත් සමග සමීප ව කටයුතු කල නිව්ස් ලයින්  (බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ ප්‍රකාශනය) පුවත් පතේ කර්තෘ මෙන් ම ඉතා දක්ෂ මාධ්‍යවේදියෙකු වූ ඇලෙක්ස් මිචෙල්, කතාවෙන් සම්පූර්නයෙන් ම අතහැර දමා ඇත. මිචෙල්ගේ 2011 මතක සටහන් කෘතිය වන “Come the Revolution” හි විමර්ශනය පිලිබඳ පුලුල් වාර්තාව කතුවරුන්ගේ ග්‍රන්ථ නාමාවලියෙහි පවා සඳහන් නොවේ.

මාර්ක් ස්බොරොව්ස්කි සහ ඔහුගේ බිරිඳ රෙජිනා - 1975 අගෝස්තු මාසයේ දී සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී. ඡායාරූප ඩේවිඩ් නෝර්ත් විසිනි.

කතුවරුන් උපුටා දක්වන ප්‍රකාශනවල නෝර්ත්ගේ භූමිකාව පුලුල් ලෙස ලේඛනගත කර ඇත. නෝර්ත් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පදිංචි ව සිටි මාර්ක් ස්බොරොව්ස්කි සොයා ගත් අතර 1975 අගෝස්තු මාසයේ දී ඔවුන්ගේ මහල් නිවාසයෙන් පිටත දී ඔහු සහ ඔහුගේ බිරිඳ ඡායාරූප ගත කලේ ය - ඩේවිඩ් කිං විසින් විශිෂ්ට ලෙස සංස්කරනය කරන ලද “ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේ ද?” කෘතියෙහි එකී ඡායාරූප ඇතුලත් වේ.[47] මේ කතුවරු කිංගේ කෘති ගැන දනිති; ඔවුන්ගේ ග්‍රන්ථ නාමාවලියේ ඔහුගේ “ට්‍රොට්ස්කි - ඡායාරූපමය චරිතාපදානයක් සහ ඩොයිට්ෂර්” සහ  “Great Purges” යන කෘති දෙක ම ලැයිස්තුගත කර ඇත.)

එඩ්වාඩෝ සෙනිසෙරොස්, 1976 දෙසැම්බර් (ඡායාරූපය ඩේවිඩ් නෝර්ත්)

නෝර්ත් 1976 සහ 1977 දී මෙක්සිකෝවට ගියේ ය; එක් ගමනක දී ඝාතක මර්කේඩර්ගේ නීතිඥ එඩ්වාඩෝ සෙනිසෙරොස් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත් වූ අතර ඝාතකයා විසින් තම නීතිඥවරයාට යැවූ ලිපියක කවරය ඡායාරූප ගත කලේ ය;  1950 දී “ජැක් මෝනාඩ්” සහ “ෆ්‍රෑන්ක් ජැක්සන්” ලෙස හැඳින්වූ මිනිසාගේ සැබෑ අනන්‍යතාවය තහවුරු කල අපරාධ විද්‍යාඥ ඇල්ෆොන්සෝ ක්විරෝස් ක්වාරෝන් සමග හා මෙක්සිකානු මාධ්‍යවේදී එඩුවාඩෝ ටෙලෙස් වර්ගාස් සමග ද නෝත් සම්මුඛ සාකච්ඡා පැවැත්වී ය;[48] සෙනිසෙරෝස් සහ ක්විරෝස් ක්වාරෝන්, පොත තුල කැපී පෙනෙන ලෙස පෙනී සිටින නමුත්, මෙම මිනිසුන් සොයා ගෙන හජාජාක විමර්ශනයට සාක්ෂි සැපයූ සම්මුඛ සාකච්ඡා ගැන එකදු සඳහනක්වත් කර නැත. ඉහත විස්තර කර ඇති පරිදි, 1977 මැයි මාසයේ දී සිල්වියා කැලන් සොයා ගත්තේ ද නෝර්ත් ය.

මර්කේඩර් විසින් ඔහුගේ නීතිඥ සෙනිසෙරොස් වෙත සෝවියට් සංගමයේ ඩොනෙට්ස්ක් සිට එවූ  ලිපියේ තැපැල් මුද්‍රාව සහිත ලියුම් කවරය (ඡායාරූපය: ඩේවිඩ් නෝර්ත්)

1940 අගෝස්තු 17 වන දින, මෙක්සිකානු මාධ්‍යවේදී ටෙලෙස් වර්ගාස් වෙත ට්‍රොට්ස්කි ලබා දුන් තමන්ගේ ඝාතනය සිදු විය හැකි ආකාරය පිලිබඳ බියකරු අනාවැකිය කතුවරු උපුටා දක්වති: “මෙහි සිටින ඔවුන්ගෙන් එක් අයෙකු හෝ පිටත සිටින මගේ මිතුරෙකු විසින් හෝ මගේ නිවසට ප්‍රවේශය ඇති කෙනෙකු විසින් හෝ මා මරා දමනු ඇත. මක් නිසා ද යත්, ස්ටැලින්ට මගේ ජීවිතය ඉතිරි කල නොහැකි බැවිනි.”[49] කතුවරුන්ගේ අවසන් සටහනේ මෙම සම්මුඛ සාකච්ඡාවේ මූලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ “ලියොන් ට්‍රොට්ස්කි: අයිසැක් ඩොයිට්ෂර්, ද ප්‍රොෆට් අවුට්කාස්ට් : ට්‍රොට්ස්කි, 1929–1940 [නිව් යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය, 1963], 503 පිටුවෙහි උපුටා දක්වා ඇත.”[50] ට්‍රොට්ස්කි පිලිබඳ ඩොයිට්ෂර්ගේ චරිතාපදානයේ එවැනි සම්මුඛ සාකච්ඡාවක් නැත. ඩොයිට්ෂර්ගේ චරිතාපදානයට එම සම්මුඛ සාකච්ඡාව ආරෝපනය කිරීම, සම්පූර්නයෙන් ම ගොතන ලද්දකි. එය ටෙලෙස් වර්ගාස් නෝර්ත් සමඟ ආරක්ෂාව සහ හතර වන ජාත්‍යන්තර විමර්ශනය සඳහා කල සම්මුඛ සාකච්ඡාවේ දී පාවිච්චි කල වචනවලින් ම හරියට ම උපුටා ගෙන ඇත.

එඩුවාඩෝ ටෙලෙස් වර්ගාස්, 1976 දෙසැම්බර් (ඡායාරූපය : ඩේවිඩ් නෝර්ත්)

එඩුවාඩෝ ටෙලෙස් වර්ගාස් සමඟ නෝර්ත්ගේ සම්මුඛ සාකච්ඡාව 1976 දෙසැම්බර් 20 වන දින මෙක්සිකෝ සිටි නගරයේ දී පවත්වන ලද අතර එය 1977 මුල් භාගයේ දී ට්‍රොට්ස්කිගේ ඝාතකයන් නිදැල්ලේ ෆෝලියෝ ප්‍රමානයේ වෙලුමේ පල විය. “කොයෝකාන්හි ආරක්ෂාව” යන පරිච්ඡේදයේ උපුටා දක්වා ඇති පරිදි, ටෙලෙස් වර්ගාස් නෝර්ත්ට මෙසේ පැවසී ය:

“ට්‍රොට්ස්කි කිසිවෙකු කිසි සේ ත් විශ්වාස නොකල මොහොතක් උදා විය. ඔහු කිසිවෙකු විශ්වාස කලේ නැත. ඔහු නම් සඳහන් කලේ හෝ නම් කලේ නැත, නමුත් ඔහු මට මෙසේ පැවසීය: ‘මෙහි සිටින ඔවුන්ගෙන් එක් අයෙකු විසින් හෝ පිටතින් සිටින මගේ මිතුරෙකු විසින්, නිවසට ප්‍රවේශය ඇති කෙනෙකු විසින් මා මරා දමනු ඇත. මක්නිසාද යත් ස්ටැලින්ට මගේ ජීවිතය ඉතිරි කල නොහැකි බැවිනි.’”[51]

ඝාතකයන් නිදැල්ලේ පොතේ කවරය

ටෙලස් වර්ගාස් සමග නෝර්ත් කල සම්මුඛ සාකච්ඡාව ඩොයිට්ෂර් ගේ පොතේ තිබෙන එකක්‍ ය යන සාවද්‍ය ප්‍රකාශය අහිංසක වැරදීමක් හෝ අතපසු වීමක් නොවේ. එය, සිතාමතා ම කරුනු කාරනා සැඟවීමකි. එම සම්මුඛ සාකච්ඡාවේ සත්‍ය මූලාශ්‍රය සඳහන් කලොත් ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනය ගැන සඳහන් කිරීමට සිදු වේ. මෙහි ප්‍රතිඵලය කුමක් ද? ඓතිහාසික වාර්තාවේ වැදගත් ම සාක්ෂි කොටසක සම්භවය පිලිබඳ මෙම සාවද්‍ය ප්‍රකාශය, පොතේ විධික්‍රමය පිලිබඳ ව කුඩා වුව ද ඉතා නිවැරදි පැහැදිලි කිරීමක් ලබා දෙයි. කතුවරු හජාජාක විමර්ශනයෙන් සොයා ගත් දෑ පාවිච්චි කරති; එහෙත් ඒවායේ මූලාශ්‍රය මකා දමති; සඟවති.

අල්ෆොන්සෝ ක්විරෝස් කුවාරොන්, දෙසැම්බර් 1976. (ඡායාරූපය : ඩේවිඩ් නෝර්ත්)

අවසාන වශයෙන්, පැහැදිලි කිරීම දුෂ්කරම අත්හැරීම සඳහන් කල යුතු ය. පොතේ කතුවරු එය ලිවීම සඳහා කල පර්යේෂන වල දී ලොව පුරා සංචාරය කලහ. රුසියානු ඔත්තු සේවා නිලධාරීන්ගෙන් පැවතෙන්නන් ද කොයෝවාකාන් හි ට්‍රොට්ස්කි ගේ නිවසේ මුරකාවල් කල අයගෙන් පැවතෙන්නන් ද සම්මුඛ පරීක්ෂන වලට සම්බන්ධ කර ගත්හ. එහෙත් ජාත්‍යන්තර කමිටුව හෝ කතුවරුන් උපුටා දක්වන ලියවිලි ප්‍රකාශයට පත්කල ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපතිවූත්, ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත වන්නාවූත්, පහසුවෙන් ම සම්බන්ධ කරගත හැකි කෙනෙකු වූත් ඩේවිඩ් නෝර්ත් සම්බන්ධ කරගැනීමට කිසිදු උත්සාහයක් නොදැරීමයි. 

නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් තබා සාමාන්‍ය අදහස් දැක්වීම සඳහා කෙරෙන ඉල්ලීමක් පවා කලොත්, කරුනු සැඟවීම තව දුරටත් පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් නිර්මානය වනු ඇත. එයින් මුහුනක් සහ ඉතිහාසයක් නොදුන් ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනයට මුහුනක් සහ ඉතිහාසයක් ලැබෙනු ඇති අතර, එහි ම සොයා ගැනීම් සඳහා එහි හිමිකම තවදුරටත් නොසලකා හැරිය නොහැකි තත්වයක් උද්ගත කරනු ඇත. එහි ප්‍රතිඵල, ප්‍රසිද්ධ වසමේ තිබෙන “දන්නා දේ” පිලිබඳ නිර්නාමික පොදු තොරතුරු තොගයක් ලෙස ඉදිරිපත් කිරීමට නම්, ජීවමාන ප්‍රධාන විමර්ශකයා  පිලිබඳ නිහඬතාවය පවත්වා ගැනීම, විමර්ශනය පිලිබඳ නිහඬතාවය තරම් ම කතුවරුන්ට අවශ්‍ය වී තිබේ.

ඝාතනයෙන් පසු ව සිදු වූ දේ නොතකා හැරීම

ඝාතනයේ ප්‍රතිවිපාක නොසලකා හැරීම පොතේ දැක්වෙන විස්තරය අනුව දේශපාලන කුමන්ත්‍රනයත් ට්‍රොට්ස්කිගේ ඝාතනයත් සමග අවසන් වේ. ඉන්පසු එන පරිච්ඡේදවල ඇත්තේ මර්කේඩර්  සිරගත කිරීම, ඔහු හඳුනා ගැනීම, පලා යාමේ සැලසුම්,  පසුකාලීන ජීවිතය, චරිත පිලිබඳ සමාප්ත සටහන් සහ මිනීමරු ආයුධයට සිදු වූ දේ ආදියයි.

නමුත් 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනයේ කේන්ද්‍රීය සොයා ගැනීම වූයේ හතරවන ජාත්‍යන්තරයට එරෙහි කුමන්ත්‍රනය 1940 අගෝස්තු 20 වන දිනෙන් අවසන් නොවූ බවයි. 1930 ගනන්වල සිදු වූ රහසිගත කඩා වැදීමේ සිට, 1940 අගෝස්තු මාසයේ සිදු වූ ඝාතනය හරහා ඉන් අනතුරුව එලඹි දශක ගනනාව දක්වා අඛන්ඩ හුය පටක් පවතින නමුත්, මෙම පොතේ කාල පරිච්ඡේද වෙන් කිරීමේ ක්‍රමය එම අඛන්ඩතාව බිඳ දමයි. ඒජන්තයෝ තමන් සිටි ස්ථානවල ම රැඳී සිටියහ. කැලන් 1947 දක්වා ම කැනන්ගේ කාර්යාලයේ වාඩි වී සිටියාය. ලෝලා ඩැලින් සහ ජෝර්ජ් නොවැක්ගේ අසාමාන්‍ය උත්සාහයන්ගේ පිහිටෙන්  එක්සත් ජනපදයට ගෙන එනු ලැබූ  ස්බොරොව්ස්කි 1950 දශකය දක්වා ම එහි සිට ක්‍රියාත්මක විය. හැන්සන්, පක්ෂයේ ප්‍රධානියා බවට පත් වූ අතර 1963 දී ජාත්‍යන්තර කමිටුවෙන් සකප කඩා ගෙන යාම සැලසුම් කලේ ය. “එක්සත් ලේකම් කාර්යාලයේ” ප්‍රධාන නායකයෙකු සහ “ඉන්ටර්කොන්ටිනෙන්ටල් ප්‍රෙස්” හි කර්තෘ ලෙස, ලොව පුරා පැබ්ලෝවාදී සංවිධානවලට ඒජන්තයන් රිංගවා ගැනීමට ඔහුට හැකි විය.

සකප තුල හැන්සන්ගේ සේවාවන් සඳහා එක්සත් ජනපද ආන්ඩුව විසින් ලබා දී ඇති ඉහල වටිනාකම 1941 තරම් ඈත කාලයක දී ම දැකිය හැකි අතර, එය පොතේ කිසි තැනක සඳහන් නොකෙරෙන කථාංගයකි. එම වසරේදී සකපට සහ ටීම්ස්ටර්ස් ලෝකල් 544 (වෘත්තීය සමිතියේ) නායකත්වයට විරුද්ධ ව ඇමරිකානු ආන්ඩුව විසින් පැවරූ මිනියාපොලිස් නඩු විභාගයේ දී ස්මිත් පනත යටතේ අධිචෝදනා ගොනු කරන ලදී; ඇමරිකානු ආන්ඩුව, යුද්ධයක් නොපවතින කාලයක පැවරූ එවැනි ආකාරයේ පලමු නඩු විභාගයේ දී විත්තිකරුවන් 18 දෙනෙකු වරදකරුවන් කර සිරගත කරන ලදී.[52] ට්‍රොට්ස්කිගේ හිටපු ලේකම් සහ පක්ෂයේ වඩාත් ම කැපී පෙනෙන පුද්ගලයින්ගෙන් කෙනෙකු වන ජෝසෆ් හැන්සන් අධිචෝදනා ගොනු කල අය අතර නොවීය. එරික් ලන්ඩන්, තම “ඒජන්තයෝ” නම් කෘතිය තුල, මෙම අසාමාන්‍ය අත්හැරීම පිලිබඳ ව පුලුල් හා ප්‍රවේශමෙන් ලේඛනගත කරන ලද විශ්ලේෂනයක් සිදු කර ඇති අතර, හැන්සන් දැනට ම ත් සකප තුල එෆ්බීඅයි ඔත්තුකරුවකු ලෙස සේවය කරමින් සිටි බැවින් ඔහු අධිචෝදනා පත්‍රයෙන් නිදහස් කිරීම අවශ්‍ය විය. මෙල්ටන් සහ වෙස්ට්, කැලන් [53] පිලිබඳ තමන්ගේ පරිච්ඡේදයේ එරික් ලන්ඩන්ගේ කෘතිය පුන පුනා  උපුටා දක්වමින් ඇගෙලොෆ් පිලිබඳ ව ඔහුගේ විමර්ශන කාර්යයට ප්‍රශංසා කරති. නමුත් ඔවුහු මිනියාපොලිස් නඩු විභාගය පිලිබඳ ලන්ඩන්ගේ සොයා ගැනීම් ගැන සම්පූර්න නිහඬතාව රකිමින් එය නොසලකා හරිති.

ස්මිත් පනත යටතේ වරදකරුවන් වූ සකප සාමාජිකයින් දහ අට දෙනාගෙන් දහ හතර දෙනෙක්. පසුපස පේලිය, වමේ සිට දකුනට: ෆැරල් ඩොබ්ස්, හැරී ඩිබෝයර්, එඩ්වඩ් පාම්ක්විස්ට්, ක්ලැරන්ස් හැමෙල්, එමිල් හැන්සන්, ඔස්කාර් කූවර්, ජේක් කූපර්; ඉදිරි පේලිය, වමේ සිට දකුනට: මැක්ස් ගෙල්ඩ්මන්, ෆීලික්ස් මැරෝ, ඇල්බට් ගෝල්ඩ්මන්, ජේම්ස් කැනන්, වින්සන්ට් ඩන්, කාල් ස්කොග්ලන්ඩ්, ග්‍රේස් කාල්සන් - 1941

එම හුය පට අඛන්ඩ ව ඉදිරියට යයි.  සකප විසින් කැලන්ට සුදු හුනු ගෑම සිදු වූයේ 1947 දී වන අතර බුඩෙන්ස් විසින් 1950 දී ඇයව ඔත්තුකාරියක් හැටියට ප්‍රසිද්ධියේ හඳුනා ගැනීමෙන් පසු ව පවා ඇය නිර්දෝෂී ස්ත්‍රියක හැටියට පක්ෂය විසින් සලකනු ලැබී ය. ඉන් දශක තුනකට ආසන්න කාලයක් ගත වුවත්, ඔත්තුකරුවන් රිංගවනු ලැබූ පක්ෂය එම විනිවිද යාම පිලිබඳ ව කිසිදු පරීක්ෂනයක් සිදු කලේ නැත. 1975 මැයි මාසයේ දී ජාත්‍යන්තර කමිටුව 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනය විවෘත කල විට, පලමු වරට සත්‍යය, “එහි සියලු අප්‍රසන්න දේත් සමග” (warts and all - කම්කරු විප්ලවවාදී පක්ෂයේ 1975 ප්‍රකාශයේ වචන) හෙලිදරව් කර ස්ථාපිත කිරීමට භාර ගත්තේ ය.[54] ඊට සකපයේ සහ එහි ජාත්‍යන්තර සහචරයින්ගේ ප්‍රතිචාරය වූයේ  සංවිධානාත්මක ප්‍රතිප්‍රහාරයකි.  ප්‍රශ්න අසන හා පිලිතුරු සොයන පක්ෂ සාමාජිකයින්ට තර්ජනය කරන ලදී.

1977 ජනවාරි මාසයේ දී, පැබ්ලෝවාදී සංවිධානවල සාමාජිකයින් 1,500 ක් පමන සහභාගි වූ ලන්ඩන් නුවර පැවැති රැලියක දී, ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනය හෙලා දුටු අතර, එය “නිර්ලජ්ජිත බොරු නඩුවක්” ලෙස හංවඩු ගැසූ “තීන්දුව” ප්‍රතිරාවය කල අතර හැන්සන් සහ නොවැක් ආරක්ෂා කරන ලදහ. ප්‍රතිපත්ති විරහිත මධ්‍යම පන්තික වාචාලයෙකු සහ පැබ්ලෝවාදී ව්‍යාපාරයේ බ්‍රිතාන්‍ය අංශයේ නායකයෙකු වූ තාරික් අලි එම රැලියේ සභාපතිත්වය දැරූ අතර, පසු ව ඔහු ට්‍රොට්ස්කිවාදය සමඟ සියලු සම්බන්ධතා අතහැර දැමී ය. ජාත්‍යන්තර කමිටුව විසින් එම රැස්වීම සාධාරන ලෙස ම “ලැජ්ජාවේ වේදිකාව” ලෙස හෙලා දකින ලදී. පැය දෙකක් තිස්සේ, කථිකයෝ ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටි ජෙරී හීලි වෙත නින්දිත අපහාස එල්ල කලහ. සියලු බැන වැදීම් අවසානයේ ජෙරී හීලි, ඔහුට පිලිතුරු දීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටීමට නැගී සිටි විට, තාරික් අලි ඔහුගේ එම අයිතිය ප්‍රතික්ෂේප කර, රැස්වීම අවසන් කලේ ය. 

1977 ජනවාරි 14 වන දින ලන්ඩනයේ පැවති පැබ්ලෝවාදීන්ගේ “ලැජ්ජාවේ වේදිකාව” රැස්වීමේ දී කතා කිරීමට අවස්ථාව ඉල්ලා ජෙරී හීලි අත ඔසවයි

මෙම සිදුවීම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වාර්තා විය.[55] මෙල්ටන් සහ වෙස්ට් තමන් එම කාල පරිච්ඡේදය දක්වා දිවෙන පරීක්ෂනයක් කරන බව ප්‍රකාශ කරති; එසේ නම් ඔවුන් ඒ ගැන නොදැන සිටියා විය නොහැක.

රැලියෙන් මාස හතරකට පසු, නෝර්ත් සහ මිචෙල්, ඉලිනෝයි හි වීටන් ප්‍රදේශයේ ඩොක්සි නමින් ජීවත් ව සිටි  කැලන්-ඩොක්සි සොයා ගෙන ඇගෙන් ප්‍රශ්න කලහ. ඇය හෙලිදරව් කිරීම ජාත්‍යන්තර කමිටුවට “මාරාන්තික ප්‍රතිවිපාක” ගෙන දෙනු ඇතැයි අනතුරු අඟවමින් හැන්සන් ප්‍රතිචාර දැක්වී ය.[56] 1977 ඔක්තෝබර් මාසයේ දී, වර්කර්ස් ලීග් දේශපාලන කමිටුවේ සාමාජික 26 හැවිරිදි ටොම් හෙනහන් නිව් යෝර්ක් නගරයේ දී ඝාතනය කරන ලදී.[57]

1978 මාර්තු මාසයේ දී ඇලන් ගෙල්ෆාන්ඩ්, අලුත් ලියවිලි සමාලෝචනය කරමින්, සිල්වියා ෆ්‍රෑන්ක්ලින් ජීපීයූ ඒජන්තයකු ලෙස නම් කරන ලෙසත් හැන්සන්  ජීපීයූව සහ එෆ්බීඅයි සමඟ කල ගනුදෙනු පිලිබඳ සම්පූර්න වාර්තාවක් හෙලිදරව් කරන ලෙසත් සකප ජාතික කමිටුවෙන් ඉල්ලා සිටි විට, දේශපාලන කමිටුව වෙනුවෙන් ලැරී සීගල්ගෙන් පිලිතුරක් ලැබුනි: “පක්ෂයට එහි සාමාජිකයින් තුල ඒජන්ත දඩයමකට ඉඩ දිය නොහැක; ඉඩ නොදෙනු ඇත. පක්ෂය, මින් ඉදිරියට ඔබ විසින් හීලිවාදී අපහාස පුනරුච්චාරනය කලොත් එය නොඉවසනු ඇත.” ගෙල්ෆාන්ඩ් 1978 දෙසැම්බර් මාසයේ දී “ෆ්‍රෙන්ඩ් ඔෆ් ද කෝට්” හෙවත් නීතියේ ඇමිකස්කියුරියා නමින් හඳුන්වන පෙත්සමක් අධිකරනයේ ගොනු කලේ, එක්සත් ජනපද නීතිපතිවරයා විසින් අතීතයේ සහ වර්තමානයේ සකප හි සිටින සියලු ම ඒජන්තයන්ගේ නම් හෙලි කල යුතු බව ඉල්ලා සිටිමිනි. මාසයකට පසු, සකප ඔහු පක්ෂයෙන් නෙරපා හැරියේ ය.[58] 1979 දී ගෙල්ෆාන්ඩ් නඩුව ආරම්භ වූ අතර එය අවසානයේ දී සිල්වියා කැලන් විසින් ග්‍රෑන්ඩ් ජූරි සභාවට දුන්  සාක්ෂිය මහජනයාට බලා ගැනීමට ප්‍රසිද්ධ කල අතර ස්බොරොව්ස්කිට උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී. 

විමර්ශනයේ සොයාගැනීම් සකප සමකාලීන නායකත්වය දක්වා ම දිගු විය: කැනන් සහ ඩොබ්ස්ගෙන් පසු ව  නායකත්වයට පත් සියල්ලන් ම පාහේ 1960 ගනන්වල මිනෙසෝටා හි කාල්ටන් විද්‍යාලයෙන් පැමිනි අය වූ අතර, විද්‍යාලයේ හිටපු පීඨාධිපති රිචඩ් සී. ගිල්මන් ජාත්‍යන්තර කමිටුවට පැවසුවේ, කාල්ටන් උපාධිධාරීන් සීඅයිඒ සහ එෆ්බීඅයි විසින් හසුරුවන ලද සංවිධානයක් වන “ෆෙයාර් ප්ලේ ෆෝ කියුබා” කමිටුව හරහා එස්ඩබ්ලිව්පීයට “සම්බන්ධ” කරන (“ප්ලග් කල”) ලද බවයි. එම කාල්ටන් කන්ඩායම අතර එස්ඩබ්ලිව්පීයේ ජාතික ලේකම් බවට පත් වූ ජැක් බාන්ස් ද විය.[59]

කාල්ටන් දොලොස් දෙනා

පහත කියවෙන කිසිවක් මෙල්ටන් සහ වෙස්ට්ගේ ආඛ්‍යානයේ දක්නට නොලැබේ: 1941 මිනියාපොලිස් නඩු විභාගය, සකප 1947 දී කැලන්ට සුදු හුනු ගෑම, 1977 දී “ලැජ්ජාවේ වේදිකාවේ” උපහාස රංගනය, ටොම් හෙනහන් ඝාතනය, ගෙල්ෆාන්ඩ්ගේ නඩුව, කාල්ටන් විද්‍යාර්ථීන්  සකප නායකත්වයට රිංගවීම යනාදී වශයෙනි. 1940 න් පසු වසන් කිරීම සහ ජීපීයූව සහ එෆ්බීඅයි විසින් හතර වන ජාත්‍යන්තරයට අඛන්ඩ ව රිංගීම, ඝාතනයේ සහ එහි ප්‍රතිවිපාක පිලිබඳ කතාවේ අත්‍යවශ්‍ය හා දේශපාලනික වශයෙන් තීරනාත්මක වන්නා වූ අංගයකි. වසන් කිරීම වනාහි කුමන්ත්‍රනයේ අඛන්ඩ පැවැත්මයි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ජීපීයූ සහ එෆ්බීඅයි ඒජන්තවරුන් ආරක්ෂා කිරීමට එරෙහි ව ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද අරගලය බැහැර කරමින් ට්‍රොට්ස්කිගේ ඝාතනයේ කතාව පැවසීම කුමාරයා නොමැති ව හැම්ලට් නාට්‍යය වේදිකාගත කිරීමකි.

සූසන් වයිස්මන් ඔසොවා තැබීම

කතුවරුන් තමන් පිලිගන්නා වූ සොයාගැනීම් පිලිබඳ විමර්ශනයක් සඳහන් කිරීම මඟ හරින්නේ ඇයි? මෙම අතපසු කිරීම නිසා ඉටු වන දේ සලකා බලන්න. ට්‍රොට්ස්කිට එරෙහි ජීපීයුවේ කුමන්ත්‍රනය හෙලිදරව් කිරීමේ දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලික භූමිකාවට - සහ ඝාතනයෙන් පසු ව, ජීපීයූ සහ එෆ්බීඅයි යන දෙක ම විසින් හතර වන ජාත්‍යන්තරයට අඛන්ඩ ව විනිවිද යාම - ආදියට කිසිදු ඉඩකඩක් නොමැති ප්‍රති-ආඛ්‍යානයක් කර්තෘවරු ආදේශ කරති.

ප්‍රති-ආඛ්‍යානයක් කිරීමට යම් විද්වත් අධිකාරිත්වයක් අවශ්‍ය වන අතර, කතුවරුන්ගේ තේරීම එහි ස්වභාවය හෙලි කරයි. කතුවරු, සූසන් වයිස්මන් නමැත්තිය, - “මාක් ස්බොරොව්ස්කි පිලිබඳ අතිශයින් ම මූලික වන්නා වූ පර්යේෂන සිදු කල විද්වතිය”[60] - ලෙස අභිෂේක කරති. ස්බොරොව්ස්කි පිලිබඳ සැබෑ විමර්ශනයට සම්බන්ධ ඕනෑ ම මූලාශ්‍රයකට වඩා ඇය අවසන් සටහන් 26 කින් ම උපුටා දක්වනු ලැබේ.

වයිස්මන්, සකපයේ සාමාජිකාවකි. ස්බොරොව්ස්කි පිලිබඳ ඇගේ කෘතියේ “අතිශයින් මූලික සොයා ගැනීම්” කිසිවක් ම නොමැත. ඇය විසින් කර ඇත්තේ 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විසින් අනාවරනය කරන ලද කරුනු තමන් එකතු කල මගහැරීම් සහ බොරුවලින් තනුක කිරීම පමනකි.

ඇය දශක ගනනාවක් තිස්සේ පැබ්ලෝවාදී දේශපාලනයේ ක්‍රියාකාරී ව නිරත ව සිට ඇති අතර, සකප හි හිටපු සාමාජිකයින් විසින් පිහිටුවන ලද “සොලිඩැරිටි” නම් සංවිධානයේ සාමාජිකාවක ද වූ  අතර 1986 දී එහි සඟරාව වන “Against the Current” හි කර්තෘ මන්ඩලයට සම්බන්ධ වූවා ය. ඇය හැන්සන් සහ ඔහුගේ සහචරයින්ගේ නොසැලෙන ආරක්ෂකයක වූ අතර, අද දක්වා ම ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනය අපකීර්තියට පත් කිරීමේ ඇගේ උත්සාහයන් දිගට ම කරගෙන යයි. ඇලන් ගෙල්ෆාන්ඩ් එස්ඩබ්ලිව්පීයෙන් නෙරපා හැරීමට ඇය සහාය දුන්නා ය.  හිටපු ට්‍රොට්ස්කිවාදියෙකු වන ඇල්බට් ග්ලොට්සර් සමඟ පෞද්ගලික ලිපි හුවමාරුවක දී, ඇය ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය “කුනු කන්දල්” ලෙස විස්තර කල අතර, ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ සෝවියට්-රුසියානු ඉතිහාසඥ දිමිත්‍රි වොල්කොගොනොව්ගේ විස්තර කිරීම ගැන ඇය පැමිනිලි කලේ, “ඔහු [ජීපීයූ ඒජන්ත] සුඩොප්ලැටොව් මත පමනක් නොව, ඊටත් වඩා නරක ලෙස ‘ගෙල්ෆාන්ඩ් නඩුවේ’ ඇමරිකානු හීලිවාදීන් (හෝ ‘නෝර්ත්වාදීන්’) මතත් පදනම් වන” බවයි - මෙය, ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ විමර්ශකයින් ඝාතනයේ සංවිධායකයින්ගෙන් කෙනෙකුට වඩා පහලින් ශ්‍රේනිගත කරන සූත්‍රගත කිරීමකි.[61]

ඇයගේ ප්‍රකාශයට පත් කෘතියේ ගෙල්ෆාන්ඩ් නඩුව “නිෂ්ඵල සහ පදනම් විරහිත” එකක් ලෙස විස්තර කර ඇත.[62] ස්බොරොව්ස්කි පිලිබඳ ඇගේ වාර්තාව දෝෂ වලින් පිරී ඇත; පොතට ම එහි අවසන් සටහන් වලින් ඇය නිවැරදි කිරීමට සිදු ව ඇත. (“වයිස්මන්, 607, ‘සිල්වියා ඇගෙලොෆ්ට රේමන් හමුවුනේ මෙම රැස්වීමේ දී බව වැරදි ලෙස සඳහන් කරයි…”)[63] ඩේවිඩ් නෝර්ත්, 2015 දී “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය, ගෙල්ෆාන්ඩ් නඩුව සහ මාර්ක් ස්බොරොව්ස්කි ඉවත් කිරීම” යන විවෘත ලිපියෙන් ඇගේ හිතාමතා ම රැවටිලිකාර වන ලිපිවලට පිලිතුරු දුන්නේ ය. එහි දී ඔහු වයිස්මන් බොරුකාරියක ලෙස හෙලිදරව් කලේ ය.[64] නෝර්ත් කිසි විටෙකත් මෙම චෝදනාව ඉල්ලා අස්කර ගෙන නොමැති අතර වයිස්මන් කිසි විටෙකත් එයට පිලිතුරු දී ද නැත.

ස්බොරොව්ස්කි පිලිබඳ වයිස්මන්ගේ වාර්තාවේ වැදගත් ම කරුන නම් ඇය සඟවා තැබූ දෙයයි: එනම් හතර වන ජාත්‍යන්තරය තුල ජීපීයූවේ ප්‍රධාන ඒජන්තයාගෙන් උසාවියේ දී ප්‍රශ්න කිරීම වැලැක්වීම සඳහා සකපය, ස්බොරොව්ස්කි  සමගත් එක්සත් ජනපද රජය සමගත් සන්ධානයක් ඇති කර ගැනීම එම කාරනයයි.

සිද්ධිය පිලිබඳ වාර්තාව පහත පරිදි වේ. 1982 පෙබරවාරි මාසයේ දී විනිසුරු ෆෙල්සර්, දින 90 ක සොයාගැනීමේ කාලයක් ගෙල්ෆාන්ඩ්ට ලබා දුන් අතර ඔහුගේ නීතිඥයින් ස්බොරොව්ස්කිට සිතාසි නිකුත් කලහ. අවසානයේ දී, අර්වින් වුල්ෆ්, ඉග්නස් රීස්, ලියොන් සෙඩොව් සහ රුඩොල්ෆ් ක්ලෙමන්ට් යන (ට්‍රොට්ස්කිගේ ලේකම්වරුන්) අයගේ ඝාතනවලත් කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කල පුද්ගලයාගෙන් දිවුරුම් යටතේ ප්‍රශ්න කිරීමට - ඝාතනය, ජීපීයූව අනුගමනය කල විධික්‍රම සහ සකපය තුල ඒජන්තයන්ගේ අනන්‍යතාවය ආදිය පිලිබඳ ව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට සහ ලිලියා ඩැලින්, ජෝසෆ් හැන්සන් සහ අනෙකුත් අයගේ නිශ්චිත භූමිකාවන් පිලිබඳ ව ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට අවස්ථාව තිබුනි. නමුත් සකප වහා ම සාක්ෂි දීම අවහිර කරන ආරක්ෂක නියෝගයක් ඉල්ලා අධිකරනයට පෙත්සමක් ඉදිරිපත් කලේය. “ජීපීයූ නියෝජිතයින් ආරක්ෂා කිරීම ඔබේ කාර්යය ද?” යනුවෙන්  විමසූ විට, ජැක් බාන්ස් පිලිතුරු දුන්නේ මෙසේ ය: “ඇමරිකානු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මගේ කාර්යයයි. … ස්බොරොව්ස්කි මහතාට පවා මේ රටේ වෙනත් ඕනෑ ම පුරවැසියෙකුට සමාන අයිතිවාසිකම් තිබේ.”[65]

1988 දී ජැක් බාන්ස් (ඡායාරූපය: පැට්‍රික් මාටින්)

අධිකරනය සකපයේ පෙත්සම ප්‍රතික්ෂේප කල අතර, සාක්ෂි ඉදිරිපත් කිරීම 1982 අප්‍රේල් 15 වන දින සිදු විය. එක්සත් ජනපද ආන්ඩුව ඊට සහභාගි විය: සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් කේසි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ද, එෆ්බීඅයි අධ්‍යක්ෂ විලියම් වෙබ්ස්ටර් සහ නීතිපති විලියම් ෆ්‍රෙන්ච් ස්මිත් ද ප්‍රශ්න කිරීමේ කටයුතුවල නිරත වූ අතර, ස්බොරොව්ස්කිගේ නීතිඥවරයා උසාවියේ දී සකපයේ නීතිඥයින් සමඟ සමීප ව කටයුතු කලේ ය. ස්බොරොව්ස්කි තම අනන්‍යතාවය පිලිබඳ ප්‍රශ්නවලට පිලිතුරු දුන් අතර පසු ව අනෙක් සියලු ම ප්‍රශ්නවලට පිලිතුරු දීම පස්වන සංශෝධනයේ අයිතීන් මත  ප්‍රතික්ෂේප  කලේ ය -  එම ප්‍රශ්න නම් 1941 දී ඩැලින් සහ නොවැක් විසින් සංවිධානය කරන ලද එක්සත් ජනපදයට ඔහුගේ ඇතුලු වීම; සකප තුල සෝවියට් රහස් පොලිසිය වෙනුවෙන් ඔහුගේ ක්‍රියාකාරකම්; 1930 සිට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ජීපීයූවේ ජාත්‍යන්තර ඇටවුම් පිලිබඳ ඔහු දන්නා කරුනු ආදියයි. 

ගෙල්ෆාන්ඩ්ගේ නීතිඥයින් ප්‍රශ්නවලට පිලිතුරු දීමට බල කිරීම සඳහා පියවර ගත් විට, 1983 ජනවාරි මාසයේ දී අධිකරනය තීන්දු කලේ, සකප තුල ඒජන්තයන් හඳුනා ගැනීමේ සාක්ෂි හෙලිදරව් කිරීම මගින් 1982 අලුතින් පනවන ලද 'බුද්ධි අනන්‍යතා ආරක්ෂන පනත' යටතේ ස්බොරොව්ස්කිට නඩු පැවරිය හැකි බවයි. සමාජවාදී කම්කරු පක්ෂයේ ඔහුගේ ආරක්ෂකයින්ගේ තීරනාත්මක සහාය ඇති ව ගෙල්ෆාන්ඩ්ගේ නීතිඥයින් විසින් අසන ලද ප්‍රශ්නවලට පිලිතුරු දීමෙන් ස්බොරොව්ස්කි බේරුනේ, එම සංවිධානය තුල ආන්ඩුවේ නියෝජිතයන් හඳුනා ගැනීම අපරාධයක් බවට පත් කරන එකී ෆෙඩරල් නීතියේ පිහිටෙනි. මේ අනුව, මාර්ක් ස්බොරොව්ස්කිගෙන් ප්‍රශ්න කිරීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට කවදා හෝ ලැබුනු එක ම අවස්ථාව අහිමි ව ගියේ ය. ජීපීයූ ඝාතකයා 1990 දී මිය ගිය අතර, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඔහුගේ සෙසු ජීපීයූ ඒජන්තයන්ගේ අනන්‍යතා ඇතුලු බොහෝ රහස් ඔහුත් සමග වල පල්ලට ගියේ ය.[66]

වයිස්මන් මෙම මැදිහත් වීමට සහාය දුන් අතර දැනටත් එයට දිගට ම සහාය දක්වයි. ඇගේ ප්‍රකාශිත වාර්තාවේ, ඇය මෙම කථාංගය නරුම උපහාසයෙන් බැහැර කරයි: ස්බොරොව්ස්කි, “ගෙල්ෆාන්ඩ් සහ ඔහුගේ නීතිඥවරයා වටා රවුමේ දිව ගියා. කිසිවක් ම හෙලි නොකිරීමටත්, පස්වන සංශෝධනයෙන් ප්‍රයෝජන ගනිමින් තමන්ගෙන් ප්‍රශ්න කරන්නන් මෝඩයන් කිරීමටත් තමන් දක්ෂයෙකු බව ඔහු ඔප්පු කලා,” යයි ඇය ලියයි.[67] ඇගේ ලියවිල්ලේ සෑම අංගයක් ම සැබෑ නෛතික  වාර්තාව කනපිට හැරවීමකි. ස්බොරොව්ස්කි කිසිවෙකු වටා රවුමේ දිව ගියේ නැත. ඔහු සාක්කි  කාමරයේ නොසන්සුන් මුහුනින්, දුර්මුඛ ව හිඳගෙන සිටියේ ය. නඩුව පැවරුවාට පසු ව ආන්ඩුව විසින් සම්මත කර ගත්  පනතක් පාවිච්චි කර, එස්ඩබ්ලිව්පීයේ නීතිඥයින්ගේ ද, තමන්ගේ ම නීතිඥවරයාගේ ද  එක්සත් ජනපද රජයේ ද ඒකාබද්ධ උත්සාහය ද නිසා ඔහු බේරුනේ ය. ට්‍රොට්ස්කිගේ පුත්‍ර ලියොන් සෙඩොව් සහ අනෙකුත් ප්‍රමුඛ ට්‍රොට්ස්කිවාදීන් ඝාතනය කිරීමේදී ස්බොරොව්ස්කිගේ භූමිකාව සහ සමාජවාදී කම්කරු පක්ෂය තුල ඒජන්තයන් ජාලය පිලිබඳ ප්‍රශ්නවලින් ජීපීයූ ඝාතකයා ආරක්ෂා කිරීමට එස්ඩබ්ලිව්පීය, සීඅයිඒ, එෆ්බීඅයි සහ එක්සත් ජනපද නීතිපතිවරයා එකට නැගී සිටි දර්ශනය ඉතිහාසයෙන් මකා දැමීමට වයිස්මන් කටයුතු කරන ආකාරය - ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විසින් අනාවරනය කරගත් සෑම දෙයක ම වඩා ත් ම සංකේන්ද්‍රිත ප්‍රකාශනයයි.  පොතේ කතුවරුන් කියන වයිස්මන් ගේ ඊනියා “විද්වත්භාවය” ගොඩනගා ඇත්තේ මෙම වාර්තාව යට ගැසීම වටා ය. 

මෙල්ටන් සහ වෙස්ට් “අතිශය මූලික” කාරනා හෙලිදරව් කරගත්  “පර්යේෂන ලේඛිකාව” මැයයි. මේ අසාධාරන ප්‍රශංසාවට කිසිදු පදනමක් නොමැත. ඒජන්තයන් පිලිබඳ ව වයිස්මන්ගේ විනිශ්චයන් විශ්වාස කල නොහැකි ඒවා බව කතුවරු දනිති, මන්ද ඔවුන්ගේ ම පිටු ඒවා හෙලි කරන බැවිනි: ඔවුන් එස්ට්‍රින්ගේ නිර්දෝෂීභාවය පිලිබඳ වයිස්මන් කරන අවධාරනය ද වාර්තා කරන අතර, සාක්ෂි මත නිගමනය කරන්නේ, එස්ට්‍රින් සෑම අවස්ථාවක දී ම ජීපීයූවේ වටිනාම ඔත්තුකාරිය වූ බවයි. වැදගත් ම දෙය ඔවුන් වයිස්මන්ගේ නිදොස් කිරීම් ප්‍රතික්ෂේප කරන අතර කෙසේ නමුත් ඇයට ප්‍රශංසා ද කරති. පොතට ඇගේ වටිනාකම තිබෙන්නේ වෙනත් තැනක ය. ඒජන්තයන් වසන් කිරීම මෙහෙය වූ සංවිධාන කටයුතුවල ප්‍රවීනයෙකු වූත්,  ජීවිත කාලය පුරා ම ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනයේ විරුද්ධවාදියෙකු වූත් ඇය, ස්බොරොව්ස්කි පිලිබඳ එක ම ලේඛිකාව වන අතර, 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' ගැන කිසි විට සඳහන් නොකිරීමට, සාක්කි කාමරයේ දී ඇත්ත වශයෙන් ම සිදු වූ දේ කිසි විටෙකත් හෙලිදරව් නොකිරීමට සහ සාක්කි කැඳවීම තහනම්  කල සකප-එජ ආන්ඩු සන්ධානය කිසි විටෙකත් විස්තර නොකිරීමට හැම විට ම වග බලා ගෙන ඇති කාන්තාව ඇයයි.

ස්බොරොව්ස්කිට සිතාසි නිකුත් කිරීමට ඇලන් ගෙල්ෆාන්ඩ් දැරූ උත්සාහයන්ට අදාල සියලු ම නීතිමය ලියකියවිලි මෙන් ම 1982 අප්‍රේල් 15 වන දින ජීපීයූ නියෝජිතයාගේ සාක්ෂියේ පිටපත ද ගෙල්ෆාන්ඩ් නඩුවේ වෙලුම් දෙකකින් යුත් වාර්තාවේ ප්‍රකාශයට පත් කර ඇත. පලමු වෙලුම මෙල්ටන්-වෙස්ට් කෘතියේ ග්‍රන්ථ නාමාවලියෙහි දක්නට ලැබෙන අතර අවසන් සටහන් වල දෙ වරක් උපුටා දක්වා ඇතත්,[68] එම ලේඛන හෝ සාක්ෂිය උපුටා දක්වා නැත.

වින්දිතයාට දොස් පැවරීම

'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනය සමඟ සම්බන්ධ වීමට පොතේ කතුවරුන් දක්වන අකමැත්ත අවසානයේ පිලිගත නොහැකි නිගමනයකට මග පාදයි. “පෙරලා පහර දීමට අමතක වූ විප්ලවවාදියා” යන මාතෘකාව යටතේ පරිච්ඡේදයක කතුවරුන් ප්‍රකාශ කරන්නේ ට්‍රොට්ස්කි “ඔහු හොඳින් ම තේරුම් ගත යුතු ව තිබූ එක ම සතුරා, මාරාන්තික ලෙස අවතක්සේරු කල” බවයි.[69] සීඅයිඒ විශ්ලේෂක රීටා ටී. ක්‍රොනෙන්බිටර් විසින් කරන ලදැයි කියන අභිලේඛනයකින් පරිච්ඡේදය ආරම්භ කරමින්, ට්‍රොට්ස්කි “තමන් පාවා දෙනු ලබන බව විශ්වාස කිරීමට අපොහොසත් වීම නිසා” මිය ගිය බව ප්‍රකාශ කරයි.[70] මෙම පරිච්ඡේදය තුල දී කතුවරු, ක්‍රොනෙන්බිටර්ගේ  සීඅයිඒ හි අභ්‍යන්තර බුද්ධි අධ්‍යයන සඟරාවේ (Studies in Intelligence) පල වූ “ලියොන් ට්‍රොට්ස්කි, එන්කේවීඩීයේ උගුලට හසුවීම”,[71] නම් 1972 ලිපිය, ට්‍රොට්ස්කිගේ අසාර්ථකත්වය පිලිබඳ “වඩා ත් ම විනිවිද පෙනෙන” තක්සේරු කිරීම් අතර වෙතැයි කියති.[72]

මෙය අසත්‍යයක් වන අතර, ඒ බව දැන සිටීමට අන් හැම දෙනාට ම වඩා හැකියාව ඇති තත්වයක මෙල්ටන් සහ වෙස්ට් සිටිති.  බුද්ධි කටයුතු පිලිබඳ කිසි ම බැරෑරුම් ශිෂ්‍යයෙකු, ඝාතනයක ඉලක්කයක් වූ පුද්ගලයකුට තමාගේ ම ආරක්ෂාව සඳහා වගකීම පැවරෙතැයි නොසලකයි; එම වගකීම ඔහු ආරක්ෂා කිරීම සඳහා භාර දී ඇති සංවිධාන ඇටවුම මත රඳා පවතී. ඓතිහාසික වාර්තාවෙන් ද එම චෝදනාව නිෂ්ප්‍රභ වේ. රතු හමුදාව ගොඩනඟා සිවිල් යුද්ධය හරහා එය මෙහෙය වූ ට්‍රොට්ස්කි, ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ගැන විශේෂඥයෙකු වූ අතර, ඔහුගේ ජීවිතයේ අවසාන වසර ස්ටැලින්වාදී රහස් පොලිසිය හෙලිදරව් කිරීමට සහ එයට එරෙහි ව කම්කරු ව්‍යාපාරය සන්නද්ධ කිරීමට සටන් කලේ ය.

1937 නොවැම්බර් 2 වන දින, ඉග්නස් රීස් සහ අර්වින් වුල්ෆ්ගේ ඝාතන වලින් ද ජීපීයූව ස්පාඤ්ඤයේ  සිදු කල සමූලඝාතන ව්‍යාපාරයෙන් ද පසු ව, ට්‍රොට්ස්කි “ස්ටැලින්වාදයට එරෙහි ව ලෝක ප්‍රහාරයක් දියත් කිරීමට කාලය පැමින ඇතැයි”  විවෘත ලිපියක් ලිවී ය.[73] මොස්කව් හොර නඩු, “ලෝකය පුරා ම සිටින මොස්කව් කල්ලියේ විරුද්ධවාදීන් සමූලඝාතනය කර දැමීමේ ප්‍රහාරයක ආරම්භක ලක්ෂයක් ලෙස” සැලසුම් කර ඇති බව ඔහු ලිවී ය. ඔහු “ස්ටැලින්වාදීන් සමඟ සෘජු ව හෝ වක්‍ර ව සම්බන්ධ වූ සෑම කෙනෙකු ම දැඩි ව අවිශ්වාස කරන වටපිටාවක්” ඉල්ලා සිටි අතර ජීපීයූ  අපරාධ පිලිබඳ ව “මුද්‍රිත ද්‍රව්‍ය, ලේඛන, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ආදිය වෙහෙස නොබලා රැස් කරන ලෙසත්” ඒ මත දැඩි ලෙස සනාථ කරන ලද නිගමන මහජනයා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලෙසත් කම්කරු සංවිධානවලින් ඉල්ලා සිටියේ ය. 1937 සැප්තැම්බරයේ රීස්ගේ ඝාතනයෙන් පසු ලියන ලද වෙන ම  ලිපියක, ට්‍රොට්ස්කි  අවධාරනය කලේ “ස්ටැලින්ගේ කුලී ඝාතකයින්ට එරෙහි ව ඇති එක ම බරපතල ආරක්ෂාව වන්නේ ඔවුන් සම්පූර්නයෙන් ම ප්‍රසිද්ධියට පත් කිරීම” බවයි.[74] කම්කරු පන්තිය ඉදිරියේ ඔවුන්  හෙලිදරව් කිරීම, ආක්‍රමනයට සහ ඝාතනයට ට්‍රොට්ස්කිගේ පිලිතුරයි.

1940 මැයි මාසයේ ඝාතන උත්සාහය ගැන මෙක්සිකානු පොලිසිය සමඟ ට්‍රොට්ස්කි කතා කරයි. ජෝසෆ් හැන්සන් ඔහු පිටුපස සිටී.

1940 මැයි 24 වන දින මැෂින් තුවක්කු ප්‍රහාරයෙන් පසු, ට්‍රොට්ස්කි තම ඉතිරි කාලයෙන් වැඩි කොටසක් කුමන්ත්‍රනය හෙලිදරව් කිරීම සඳහා කැප කලේ ය. ජුනි 8 වන දින අවසන් කරන ලද “ස්ටැලින් මගේ මරනය ඉල්ලා සිටී” නම් ලිපියෙහි, ප්‍රහාරයේ සංවිධායකයා ලෙස ජීපීයූව හඳුනා ගත් ඔහු තවත් උත්සාහයක් ඉදිරියේ එන බව පුරෝකථනය කලේ ය: “ඉතා ප්‍රවේශමෙන් සහ ඉතා දක්ෂ ලෙස සූදානම් වූ එම ප්‍රහාරය අහම්බයක් නිසා අසාර්ථක වීම ස්ටැලින්ට බරපතල පහරකි. දැන් ජීපීයූව ස්ටැලින්ට තම දක්ෂකම් යලි ඔප්පු කර පෙන්විය යුතු ය. ස්ටැලින් තම බලය ප්‍රදර්ශනය කල යුතු ය. තවත් ඝාතන උත්සාහයක් නොවැලැක්විය හැකි දෙයකි.”[75] මේ කතා කරන්නේ, ඉහත විස්තර කල පරිදි, අගෝස්තු 17 වන දින - ඔහුගේ ඝාතනයට දින තුනකට පෙර -  ස්ටැලින්ට තමන් ඉතුරු කල නොහැකි බව ද, තම නිවසට ඇතුල්වීමට අවසර ඇති අයෙකුගෙන් ප්‍රහාරය එල්ල වන බව ද ටෙලෙස් වර්ගාස්ට පැවසූ පුද්ගලයා ම ය. 

“ට්‍රොට්ස්කි, පෙරලා පහර දීමට අමතක වූ” සහ “පාවා දීම විශ්වාස කිරීමට අපොහොසත් වීමෙන්” පීඩා විඳි  පුද්ගලයාය යන තමන්ගේ නිගමනය සමග සසඳා ගන්නා ලෙස මෙල්ටන් සහ වෙස්ට් පාඨකයාට භාරදෙන වාර්තාව මෙයයි.  ඔහුගේ ජීවිතය නැසීමට තවත් උත්සාහයක් දරනු ලැබීම නොවැලැක්විය හැකි යයි ලියූ මිනිසෙක්, තමන් පාවා දෙනු ලබනු ඇතැයි ද යන්න විශ්වාස කිරීමට අසමත් වූයේ නැත. ඔහුගේ ආරක්ෂාව සඳහා වගකිව යුතු සංවිධානය විසින් ඔහු පාවා දෙන ලදී. ට්‍රොට්ස්කිට කල නොහැකි දෙය වූයේ ඔහුගේ පක්ෂය විසින් ඔහු ආරක්ෂා කිරීමට යවන ලද මිනිසුන් තෝරා ගැනීමයි. එම කාර්යය සමාජවාදී කම්කරු පක්ෂයේ නායකත්වයට අයත් වූ අතර ඒ නිසා ම මෙක්සිකෝවට යවන ලද ආරක්ෂක පිරිස අවදානමට ලක් විය.

පොතෙන් එකතු කෙරෙන දෑ

පොත තුල කිසියම් නිශ්චිත ශක්තීන් නොමැත්තේ නොවේ. මොස්කව් නුවරින් සහ ස්පාඤ්ඤ භාෂා මූලාශ්‍රවලින් රැස් කරන ලද කරුනු, කුමන්ත්‍රනයේ මෙහෙයුම් සිදුවූ ආකාරය පිලිබඳ අඩු ලුහුඬු තොරතුරු සපයයි; 1940ට පෙර කාලය තුල ඝාතනය සැලසුම් කල ආකාරය සාර්ථක ලෙස නැවත කියනු ලැබේ. පොතේ සිදු නොවන දෙය නම්, 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනය විසින් වසර 50 කට පෙර හෙලිදරව් කල, කුමන්ත්‍රනයේ ව්‍යූහය වෙනස් කිරීමයි. කොයෝආකන් විලාවේ භෞතික ප්‍රතිනිර්මානය පවා - අනතුරු ඇඟවීමේ සංඥා පුවරුවේ පිහිටීම, මැයි 24 ප්‍රහාරය සිදුවෙද්දී විලාවේ නිදන ඇඳන් තිබුනු තැන් ආදිය - නෝර්ත් විසින් “ට්‍රොට්ස්කිගේ ඝාතකයා නිදැල්ලේ” නම් කෘතියේ හි සපයන ලද විස්තරයට කරන ලද සුලු  එකතු කිරීම්‍ ය. පොතේ පසු වදනෙහි මාතෘකාව වූ ද, මෙල්ටන් සම-ආරම්භකයකු වූ කෞතුකාගාරයේ  ප්‍රදර්ශනයට තබා ඇති භාන්ඩ අතර වටිනා ම එකක් ලෙස පෙන්වනු ලබන්නා වූ ද ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට පාවිච්චි කල අයිස් පොරවට පසු ව සිදු වූ දේ, කුමන්ත්‍රනයට කෙලින් ම අදාල දෙයක් නොවේ. පොලිස් ලොකර්, පෞද්ගලික කෞතුකාගාර සහ වෙන්දේසි කාමර හරහා මාරක ආයුධය ගිය ගමන අයත් වන්නේ අපරාධයේ ඉතිහාසයට නොව කෞතුක වස්තු එකතු කිරීම පිලිබඳ ඉතිහාසයට ය.

1940 දී ට්‍රොට්ස්කි මරා දැමීමට යොදාගත් අයිස් කඩන පොරොව අතේ තබාගෙන සිටින මෙක්සිකානු පොලීසිය  

වඩාත් බරපතල කාරනය නම්, ට්‍රොට්ස්කිට ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට තිබූ හැකියාව පිලිබඳ ව කතුවරුන් කරන අවධාරනයයි. එය හුදු  සමපේක්ෂනයකි. නමුත් 1940 දී ට්‍රොට්ස්කිට සිදු කල ආකාරයේ තුවාලයක් 2026 දී ප්‍රතිකාර කල හැකි ද යන්නෙහි ඓතිහාසික වැදගත්කමක් නැත. ඝාතනය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඉන් පසු කාලය පිලිබඳ ව කාරනා කිසිවක් එය විසින් වෙනස් නොකරයි.

නිගමනය

සැබෑ කරුනු සමඟ කටයුතු කරන තාක් දුරට, මෙල්ටන් සහ වෙස්ට්ගේ පොත 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනය සනාථ කරන අතර, එම විමර්ශනයට මඩ ගැසීම සඳහා දශක ගනනාවක් පුරා පැවැති ව්‍යාපාරය විනාශකර දමන හෙලිදරව්වක් ලෙස පවතී. ඔවුන්ගේ පොත ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් අඩ සියවසකට පෙර ස්ථාපිත කල කේන්ද්‍රීය සොයා ගැනීම් සනාථ කරයි: එනම්, ජීපීයූව මුදුන් මට්ටමින් ම සමාජවාදී කම්කරු පක්ෂය විනිවිද ගිය බව; හැන්සන් ජීපීයූ සහ එෆ්බීඅයි යන දෙක ම සමග හෙලි නොකල සබඳතා පවත්වා ගත් බව; හාර්ට් ගේට්ටුව විවෘත කර දුන් බව; කැලන් දශකයක් තිස්සේ ස්ටැලින්ගේ පොලිසියට ව්‍යාපාරය පිලිබඳ රහස් ඔත්තු ලබා දුන් බව; ඇගෙලොෆ්, ඝාතකයාගේ අත්‍යවශ්‍ය සහායිකාව වූ බව; එස්ට්‍රින් යුරෝපයේ ජීපීයූවේ ප්‍රධාන ඒජන්තයා නඩත්තු කර ගෙන ගිය බව; යනාදියයි. කතුවරුන් තම සනාථ කිරීම් කරන ආකාරය, එනම්,  සැබෑ විමර්ශකයින් මකා දැමීම, ගොතන ලද උපුටා දැක්වීම්, කුමන්ත්‍රනය වසන් කිරීම කලවුන් සාන්තුවරයින් බවට පත් කිරීම, 1940 න් පසු සිදු වූ සියල්ල කපා දැමීම - ආදිය, අද පරදුවට තබා ඇත්තේ කුමක් ද යන්න ගැන සාක්ෂි දරයි.

ප්‍රශ්නයට ලක් ව තිබුනේත්, ලක් ව ඇත්තේත්, කම්කරු ව්‍යාපාරය ධනේශ්වර රාජ්‍යයෙන් දේශපාලනික ව හා භෞතික ව ස්වාධීන වීම ය. 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විසින් මතු කරන ලද ප්‍රශ්න ඒවායේ දැවෙන සමකාලීන අදාලත්වය තවමත්  රඳවා ගනී, මන්ද යත්, එය විසින් හෙලිදරව් කල භාවිතයන් - ස්ටැලින්වාදයේ සහ අධිරාජ්‍යවාදයේ ආයතන විසින්, සමාජවාදී කම්කරු පක්ෂය තුලට විනිවිද යාම - 1940 දී හෝ 1979 දී හෝ 1983 දී (එනම්, සකපයේ නීතිඥයින්ගේ සහාය ඇති ව, ෆෙඩරල් අධිකරනයක් විසින් ජීපීයූවේ ප්‍රධාන ඒජන්තයාට පක්ෂය තුල ආන්ඩුවේ ඒජන්තයන් හඳුනා ගැනීමට අවසර දිය නොහැකි බව තීන්දු කල දිනයෙන්) හෝ අවසන් නොවී ය. හජාජක විමර්ශනයට අපහාස කිරීම සඳහා පැබ්ලෝවාදීන් ලන්ඩනයේ රඟ දැක් වූ “ලැජ්ජාවේ වේදිකාවේ” නිමාවෙන් වසර 50 කට ආසන්න කාලයකට පසු, එම විමර්ශනයේ නිගමනයන් සත්‍ය ලෙස පිලිගනු ලබන්නේ එය සමග කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති රාජ්‍යයට සම්බන්ධිත ඉතිහාසඥයින් විසිනි. ඔවුන්ගෙන් එක් අයෙක්, විමර්ශනය “නැතු ව ම බැරි එකක් බව ” සහ “එය සම්පූර්නයෙන් ම නිවැරදි” බව පිලිගනී. මෙල්ටන් සහ වෙස්ට්ගේ පොත එය විසින් තහවුරු කරන විමර්ශනය සමඟ එකට කියවිය යුතු ය.


[1]

Josh Ireland, The Death of Trotsky: The True Story of the Plot to Kill Stalin’s Greatest Enemy (New York: Dutton, 2026).

[2]

Melton and West, p. 1.

[3]

Melton and West, p. 2.

[4]

Melton and West, p. 3.

[5]

Melton and West, p. 8.

[6]

Melton and West, endnotes, chapter 2, n. 1. The publisher is misidentified: as the book’s own bibliography (entry 39) states, How the GPU Murdered Trotsky was published by New Park Publications.

[7]

Melton and West, endnotes, chapter 2, n. 68.

[8]

Melton and West, endnotes, chapter 6, n. 58; chapter 12, n. 11; chapter 20, n. 33; chapter 33, n. 1.

[9]

Melton and West, Select Bibliography, entries 23 (In Defence of Trotskyism), 39, 48, 49, 58, 86 and 87.

[10]

Melton and West, endnotes, Introduction, n. 6; chapter 2, nn. 1, 7, 23, 28, 42, 55, 56, 68; chapter 3, nn. 12, 13, 15; chapter 4, nn. 1, 2, 3, 5, 6, 8, 9; chapter 6, n. 58; chapter 12, nn. 11, 16, 27; chapter 16, nn. 21, 22, 23; chapter 18, n. 24; chapter 20, nn. 31, 33; chapter 22, nn. 2, 4; chapter 24, nn. 14, 17; chapter 29, nn. 6, 8, 9, 10, 11; chapter 33, nn. 1, 2, 9, 30.

[11]

Melton and West, endnotes, Introduction, n. 6; chapter 2, nn. 1, 7, 28, 42, 55, 56 (“Ibid.”), 68; chapter 4, nn. 3, 5; chapter 12, nn. 16, 27; Select Bibliography, entry 39. Chapter 4, nn. 3 and 5 attribute the work to “London.”

[12]

Melton and West, p. 404.

[13]

Melton and West, pp. 181–82.

[14]

Melton and West, “Cast of Characters,” s.v. Joseph Hansen, xxi.Melton and West, “Cast of Characters,” s.v. Joseph Hansen, xxi.

[15]

Melton and West, p. 404.

[16]

https://www.wsws.org/en/articles/2019/12/31/scfi-d31.html

[17]

https://www.marxists.org/history/etol/document/swp-us/misc-1/verdict.htm; https://www.wsws.org/en/articles/2023/09/21/qixz-s21.html

[18]

https://www.wsws.org/en/articles/2025/12/10/jopu-d10.html; https://www.wsws.org/en/articles/2015/11/10/weis-n10.html

[19]

Melton and West, “Cast of Characters,” s.v. Robert Sheldon Harte; see also p. 192.

[20]

https://www.wsws.org/en/articles/2023/09/21/qixz-s21.html

[21]

Melton and West, pp. 42–43.

[22]

Melton and West, p. 48.

[23]

https://www.wsws.org/en/articles/2018/08/14/sec1-a14.html

[24]

https://www.wsws.org/en/special/library/da1b7d2a-85d0-4791-b920-cf2a6516c331.html

[25]

https://www.wsws.org/en/articles/2018/08/14/sec1-a14.html; https://www.wsws.org/en/articles/2025/11/01/2558-n01.html

[26]

https://www.wsws.org/en/articles/2018/08/14/sec1-a14.html; https://www.wsws.org/en/articles/2025/12/23/zirb-d23.html

[27]

https://www.wsws.org/en/special/library/fi-14-2/05.html

[28]

https://www.wsws.org/en/special/library/fi-14-2/05.html

[29]

The Militant, August 5, 1983, p. 13

[30]

Melton and West, pp. 47–48.

[31]

Melton and West, p. 404; “Cast of Characters,” s.v. Lilia Ginzberg Estrin.

[32]

Melton and West, p. 102.

[33]

Melton and West, chapter 6, “The Seduction and Betrayal of Sylvia Ageloff”; chapter 29, pp. 293ff.

[34]

https://www.wsws.org/en/articles/2021/02/06/sylv-f06.html; https://www.wsws.org/en/articles/2021/02/06/sylv-f07.html; https://www.wsws.org/en/articles/2021/02/08/sylv-f08.html; https://www.wsws.org/en/articles/2021/02/09/sylv-f09.html

[35]

Melton and West, chapter 33, pp. 318ff. London’s series is cited in the endnotes to chapter 6 (n. 58), chapter 12 (n. 11), chapter 20 (n. 33), chapter 22 (nn. 2, 4), chapter 24 (nn. 14, 17), chapter 29 (nn. 6, 8–11) and chapter 33 (nn. 1, 2, 9).

[36]

Melton and West, p. 319; London is called a “historian” on pp. 319 and 321.

[37]

https://www.wsws.org/en/articles/2023/09/21/qixz-s21.html

[38]

Melton and West, “Cast of Characters,” s.v. Joseph Hansen.

[39]

https://www.wsws.org/en/special/library/how-the-gpu-murdered-trotsky/00.html; https://www.wsws.org/en/articles/2025/12/27/kawt-d27.html

[40]

Melton and West, “Why This Book, Why Now, Why These Authors”, ix.

[41]

https://www.wsws.org/en/articles/2015/10/16/meet-s16.html

[42]

https://www.wsws.org/en/articles/2021/02/06/sylv-f06.html

[43]

Melton and West, “Why This Book, Why Now, Why These Authors.”

[44]

https://www.wsws.org/en/articles/2025/05/23/lxnt-m23.html

[45]

Melton and West, “Why This Book, Why Now, Why These Authors.”

[46]

Melton and West, endnotes, chapter 16, nn. 21, 22 (“Ibid.”), 23; Select Bibliography, entry 58.

[47]

https://www.wsws.org/en/articles/2019/12/31/scfi-d31.html

[48]

https://www.wsws.org/en/articles/2025/11/01/2558-n01.html; https://www.wsws.org/en/articles/2021/02/09/sylv-f09.html

[49]

Melton and West, p. 243. The same words are also used as the epigraph to chapter 22, p. 237.

[50]

Melton and West, endnotes, chapter 22, n. 21.

[51]

Trotsky’s Assassin At Large (New York: Labor Publications, 1977) p. 16

[52]

https://www.wsws.org/en/articles/2016/12/08/secu-d08.html

[53]

Melton and West, endnotes, chapter 4, nn. 1, 2, 6, 8, 9; see also chapter 3, nn. 12, 15.

[54]

https://www.wsws.org/en/articles/2025/05/23/lxnt-m23.html

[55]

https://www.wsws.org/en/articles/2023/09/21/qixz-s21.html; https://www.wsws.org/en/articles/2025/11/01/2558-n01.html

[56]

https://www.wsws.org/en/special/library/da1b7d2a-85d0-4791-b920-cf2a6516c331.html

[57]

https://www.wsws.org/en/articles/2025/11/06/quol-n06.html; https://www.wsws.org/en/articles/2022/10/17/hene-o17.html

[58]

https://www.wsws.org/en/articles/2025/11/25/bsbh-n25.html

[59]

https://www.wsws.org/en/articles/2025/11/11/lodg-n11.html

[60]

Melton and West, p. 30

[61]

https://www.wsws.org/en/articles/2015/11/10/weis-n10.html

[62]

https://www.wsws.org/en/articles/2015/11/10/weis-n10.html

[63]

Melton and West, endnotes, chapter 7, n. 58.

[64]

https://www.wsws.org/en/articles/2015/11/10/weis-n10.html

[65]

https://www.wsws.org/en/articles/2015/11/10/weis-n10.html

[66]

https://www.wsws.org/en/articles/2015/11/10/weis-n10.html; https://www.wsws.org/en/articles/2025/12/10/jopu-d10.html

[67]

https://www.wsws.org/en/articles/2015/11/10/weis-n10.html

[68]

Melton and West, Select Bibliography, entry 86; endnotes, chapter 20, n. 31; chapter 33, n. 30.

[69]

Melton and West, p. 379.

[70]

Melton and West, p. 379 (epigraph, quoting Kronenbitter).

[71]

Rita T. Kronenbitter, “Leon Trotsky, Dupe of the NKVD,” Studies in Intelligence 16, no. 1 (1972), https://www.cia.gov/resources/csi/studies-in-intelligence/archives/vol-16-no-1/

[72]

Melton and West, p. 380.

[73]

https://www.marxists.org/archive/trotsky/1937/11/hightime.htm

[74]

https://www.marxists.org/archive/trotsky/1937/09/reiss.htm

[75]

https://www.marxists.org/archive/trotsky/1940/05/stalin.htm

Loading