ප්‍රංශ සිසු නැගිටීම්වල සැබෑ අර්ථය විකෘති කිරීම සඳහා ලංකාවේ ව්‍යාජ-වාම සංවිධාන පෙරට එයි

අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන කප්පාදු කිරීමෙන්, ඉහල යන විරැකියාවෙන් සහ අධික බදු බරෙන්  පීඩනයට පත් ව සිටින ප්‍රංශයේ උසස් පෙල පාසල් සිසුන් විසින් අරඹන ලද විරෝධතා උද්ඝෝෂන ව්‍යාපාරය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ කම්කරුවන් ද ආකර්ශනය කර ගනිමින් මාසයක් ඉක්මවා ඉදිරියට යමින් තිබේ. 

2026 ඔක්තෝබර් 24 ප්‍රංශයේ විරෝධතා

දැන් එම අරගල රැල්ලට යුරෝපයේ අනෙකුත් රටවල ද ශිෂ්‍යයෝ හා තරුනයෝ එක් වෙමින් සිටිති.

ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය, ග්‍රීසිය, බෙල්ජියම, ඇල්බේනියාව හා සර්බියාව හරහා වැඩුනු සටන්වලට සෙනසුරාදා එක් වූ ජර්මනියේ ලක්ෂ සංඛ්‍යාත තරුනයෝ, “බෝම්බ එපා-අධ්‍යාපනය දෙනු!, යුද ඝෝෂකයන්ට එරෙහි ව තරුනයන්ගේ හඬ!, ඔබලා පැහැරගන්නේ අපේ අනාගතයයි! ප්‍රන්සයේ මෙන් අරගලයට එන්න! ඉතිහාසය අපේ පැත්තේ!” ආදී සටන්පාඨ හඬ නැඟූහ. 

චිලිය, මෙක්සිකෝව වැනි ලතින් ඇමරිකානු රටවල ද උතුරු ඇමරිකාවේ කැනඩාවේ සහ ඉන්දියාවේ ද ශිෂ්‍ය-කම්කරු විරෝධතා ව්‍යාප්ත වී තිබේ. මෙම සෑම රටක ම තරුනයින් සහ කම්කරුවන් කප්පාදුවට, පොලිස් මර්දනයට, මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහි ව එක ම සටන්පාඨ හා ඉල්ලීම් ඉදිරිපත් කිරීම පෙන්නුම් කරන්නේ,  ලෝක ධනවාදයේ අර්බුදය විසින් ජනනය කරන ලද අධිරාජ්‍යවාදී යුද ධාවනය, සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාර ඇතුලු සමාන ප්‍රශ්න වලින් ඔවුන් සියලු දෙනා පීඩාවට පත් ව සිටින බවයි.  

ප්‍රංශයේ සහ යුරෝපයේ වෘත්තීය සමිති නායකයෝ සහ ව්‍යාජ-වාම පක්ෂ, මෙම ව්‍යාපාරය සීමා කොට පක්ෂඝාත කිරීමටත් පාවා දීමටත් උත්සාහ කරති. ප්‍රංශයේ විශාල ත ම සහ පැරැනි ත ම වෘත්තීය සමිති සංවිධානය වන පොදු කම්කරු සම්මේලනයේ (සීජීටී) නායක සොෆී බිනේ, ජනාධිපති මැක්‍රොන් අවසානයේ දී  අරගලවල පීඩනයට යටත් වනු ඇතැයි යන මිථ්‍යාව පෝෂනය කරයි. ව්‍යාජ-වාම නව මහජන පෙරමුනු පක්ෂයේ නායක ජීන්-ලූක් මෙලෙන්ෂොන් පැන නැගී ඇති අරගල ගැන පුච්චානම් දොඩවන නමුත් යුද්ධයට, කතිපයාධිකාරී ධනපති කල්ලියට එරෙහි ව අරගලය වර්ධනය  කිරීම හා එය යුරෝපය පුරා ව්‍යාප්ත කිරීම ගැන කිසිවක් නොකියයි. 

ප්‍රංශයේ ව්‍යාජ වාම කල්ලියක් වන රෙවොලූසියොන් පෙර්මානොන්ට් සංවිධානය, “උසස් පාසල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය දැන් අවධානය යොමු කල යුත්තේ, “රතු සතියක්” ගොඩනැගීම” කෙරෙහි යැයි උපදෙස් දෙයි. වැඩ කරන ජනතාව සමඟ ඒකාබද්ධ ව “ක්‍රියාකාරීත්වයේ සතියක්” මගින් “මැක්‍රෝන්ට පසු බැසීමට බල කරමින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉල්ලීම් දිනා ගැනීමේ සන්ධානයක් අත්‍යවශ්‍ය” බව එය අවධාරනය කරයි. 

ප්‍රංශය ඇතුලු රටවල දිග හැරෙන සිසු-කම්කරු අරගල, ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව උත්සන්න කර ඇති ප්‍රහාරවලට මුහුන දී සිටින ලංකාවේ කම්කරුවන්ට හා තරුනයන්ට ඉමහත් පාඩම් සම්පාදනය කරයි. එහෙත්, ලංකාවේ ව්‍යාජ වාම සංවිධාන ඉදිරිපත් ව ඇත්තේ, මෙම පාඩම් මඩ කිරීමට ය. 

එයින් එක කන්ඩායමක් වන්නේ සමාජවාදී ජනතා සංසදය (සජස) යි. එය, දශක හත හමාරකට පෙර ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගිය පැබ්ලෝවාදී කන්ඩායමේ අනුප්‍රාප්තිකයන්ගේ ලංකාවේ සංවිධානයයි. 

සජසයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි සිය වෙබ් අඩවිය වන janalk.com හි ඔක්තෝබර් 12 දා “ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය 2026: අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය පරම්පරාගත සමාජ කැරැල්ලක් ද?” යන මාතෘකාව යටතේ ලිපියක් පල කලේ ය. ලංකාපේලී මෙම ලිපිය සඳහා ප්‍රධාන මූලාශ්‍ර ලෙස යොදා ගෙන තිබුනේ ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේඛන, ප්‍රංශ පාලක පන්තියේ උපකරනයක් වන Le Monde, ජාත්‍යන්තර මාධ්‍යයන් වන රොයිටර්ස් සහ ඒපී පලකල වාර්තාවන් ය. 

ගුරුවරුන් හා අධ්‍යාපන උපකරන හිඟය ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ ප්‍රශ්න විරෝධතාවන්හි කේන්ද්‍රයේ පවතින බව එහි දී පවසන ලංකාපේලී, “ප්‍රංශය තම නව පරම්පරාව වෙනුවෙන් කොපමන ආයෝජනය කිරීමට සූදානම් ද?” යන ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒත්තු ගැන්වීමට වෑයම් කරන්නේ, මැක්‍රොන්ගේ දක්ෂිනාංශික ආන්ඩුවට හැකියාව තිබිය දී අධ්‍යාපනය සඳහා ආයෝජනය නොකරන බවයි.  ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්, “සාකච්ඡා මාර්ගයකට ගමන් කල හැකි ය” යන්න සජස නායකයාගේ නිගමනයයි. 

ඒ සමග ම, ධනපති පන්ති නියෝජිතයෙකුගේ භාෂාවෙන් කතා කරමින් ඔහු ප්‍රංශ ධනපති පන්තියට අනතුරු අඟවන විලාසයෙන් කියා සිටිනේ, “එයට [සිසුන්ගේ ප්‍රශ්නවලට ආන්ඩුවෙන්] ලැබෙන පිලිතුර, 2026 ශිෂ්‍ය අරගලය තාවකාලික විරෝධතාවක් ද නැතහොත් ප්‍රංශ දේශපාලනය වෙනස් කරන පරම්පරාගත ව්‍යාපාරයක ආරම්භයක් ද යන්න තීරනය කල හැකි ය”යන්නයි. 

ලංකාපේලිගේ හා සජසයේ මේ ප්‍රකාශ පෙන්නුම් කරන්නේ, ව්‍යාජ වාම කන්ඩායම් වල ධනපති ගැති දේශපාලනයයි. ඔවුහු සිසු අරගල ධනපති ක්‍රමය තුල සිර කිරීමේ උගුල් ඇටවීම් වල යෙදෙන අතර, එම අරගලවලට කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය ලබා දීම හා සමාජවාදී පිලිවෙත්වලින් සන්නද්ධ කිරීමට එරෙහි ව සිටිති.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන පුබුදු ජයගොඩ ඔක්තෝබර් 20දා සිරස රූපවාහිනී නාලිකාවේ “පැතිකඩ” වැඩසටහනේ දී ප්‍රංශයේ ශිෂ්‍ය අරගල සම්බන්ධ ව තම මතය පල කලේ ය. සිරස මාධ්‍යවේදී අශෝක ඩයස්ට පිලිතුරු දෙමින් ජයගොඩ කීවේ, ගෝලීය ආර්ථික අර්බුදයත් සමාජ සුභසාධන කප්පාදුවත් වත්මන් ශිෂ්‍ය-කම්කරු අරගල රැල්ලට හේතු වී ඇති බැවින් “ගෝලීය පරිමාන විසඳුමක් අවශ්‍යයි” යනුවෙනි. “තනි ජාතික රටවල් ඇතුලේ (ප්‍රශ්න) විසඳගන්න බැහැ” යයි ඔහු ප්‍රකාශ කලේය.

පෙසප නායකයා කියන මේ “ගෝලීය පරිමාන විසඳුම” කුමක් ද? ලෝක කම්කරු පන්තිය බලමුලු ගන්වමින් ධනේශ්වර ක්‍රමය ලෝක පරිමාන ව පෙරලා දමන සමාජවාදී විප්ලවය ද? නැත. කුමන වැඩපිලිවෙලක් අවශ්‍ය ද යන්න ඔහු කීවේ නැත. 

එහෙත් 2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමේ දී “ඊට නායකත්වයක් ලබා දීමට සංවිධිත ව්‍යාපාරවලට පුලුවන් වූ බවත්” ප්‍රංශයේ “මේ සමහර දේවල් පාලනය කිරීමට තරම්වත් දේශපාලන නායකත්වයක් නැති” වීම ගැනත් පුරසාරම් දෙඩවූයේ ය. 2022 හා සමාන “නායකත්වයක්” ප්‍රංශයේ හා අනෙකුත් රටවල තිබුනා නම් තත්වය වෙනස් කර ගත හැකි ව තිබුනි. පෙසප ප්‍රංශයේ සිටියා නම්! 

2022 ලංකාවේ මහජන අරගලයට නායකත්වය දුන් සංවිධිත කන්ඩායම් ලෙස ජයගොඩ හඳුන්වන්නේ කවුද? එනම්, සිවිල් ක්‍රියාකාරී මධ්‍යම පන්තික කන්ඩායම්, පෙසප සහ එයට සම්බන්ධ සංවිධාන හා ඔවුන්ගේ සහයට එක් වූ වෘත්තීය සමිතිවල නායක නිලධරයයි. ඔවුන් අරගලයට ආ කම්කරුවන්ට තරුනයන්ට හා අනෙකුත් ජන කොටස්වලට කීවේ කුමක් ද? පාර්ලිමේන්තුවේ පක්ෂවල මංත්‍රින්ගෙන් සමන්විත “අන්තර්වාර ආන්ඩුවකින්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විස්ථාපනය කර තාවකාලික ව පාලනයක් අටවා, ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරනයකට ගොස් අලුත් ආන්ඩුවක් පිහිටුවිය යුතු බවයි. 

මෙම අන්‍ර්තර්වාර ආන්ඩුව පිලිබඳ ඉල්ලීම ඔවුන් ප්‍රවර්ධනය කලේ, ජවිපෙ/ජාජබ හා සමගි ජන බලවේගයේ ඉල්ලීම අනුව යමිනි. ලංකාවේ ධනපති පාලක පන්තියට, ඇමරිකානු ගැති රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට සහ ඊලඟට ජවිපෙ ආන්ඩුව බලයට ගෙන ඒමට ඉඩ සැලසුනේ මෙම උපාමාරු මගිනි. 

මෙය වනාහි, විප්ලවවාදී විභවයකින් යුක්ත වූ මහජන නැගිටීමට කම්කරු පන්ති නායකත්වය ලබා දෙමින් පාර්ලිමේන්තුව ඇතුලු ධනපති පන්ති පාලනය පෙරලා දමා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ආධාරය ඇති ව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට හා සමාජවාදය සඳහා සටන් කිරීම වැලැක්වීමේ උපක්‍රමයකි. ජයගොඩ වත් ලංකාපේලි වත් තම දෙඩවිලිවල දී නිකමට හෝ “සමාජවාදය” යන වචනය පවා භාවිතා නොකලේ අත්වැරැද්දකින් නොවේ. දැන් පෙසප නායකයෝ ජවිපෙ ආන්ඩුවට උපදෙස් දෙමින් හා එයට පීඩනය දමා සහන ලබා ගැනීමේ මිථ්‍යාව තුල කම්කරුවන් සහ අනෙකුත් දුගී ජනයා සිරකර තැබීමේ උද්ඝෝෂන වල යෙදී සිටිති.

සිසුන් හා කම්කරුවන් ධනපති ක්‍රමය තුල කොටු කිරීමේ ද්‍රෝහී දේශපාලනයට එරෙහි ව, යුරෝපයේ හා අනෙකුත් රටවල සමාජවාදී සමානතා පක්ෂ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සිසු අරගල වලට කම්කරු පන්ති නායකත්වය හා සමාජවාදී වැඩපිලිවෙල ලබා දීමට සටන් කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය ඔක්තෝබර් 23දා පල කල කර්තෘ මන්ඩල ප්‍රකාශනය පහත කරුනු අවධාරනය කලේ ය: 

“අද දින පන්ති අරගලය ද යුද්ධයේ සහ සමාජ අර්බුදයේ බලපෑම යටතේ වෛෂයික ව වර්ධනය වෙමින් පවතී. සමාජවාදීන්ගේ කාර්යභාරය වන්නේ,  තමන්ගේ ම අරගලයේ වෛෂයික තර්කනය පිලිබඳ ව කම්කරුවන් දැනුවත් කිරීමත්, ඉදිරියේ දී එලඹීමට නියමිත තත්ත්වයන්ට ඔවුන් සූදානම් කිරීමත් බව මාක්ස්වාදයේ මූලික සිද්ධාන්තයකි. එම තර්කනයෙන් පෙන්වා දෙන්නේ ධනපති පක්ෂවලින් සහ වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් ස්වාධීන ව පාසල්, වැඩපොලවල් සහ නිවහන් ප්‍රදේශ තුල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවයි. නිලධාරිවාදීන් විසින් පනවනු ලබන කාලසටහන් සහ ජාතික දේශසීමා බිඳ දමා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී) හරහා දේශසීමා ඉක්මවා එක්සත් වීමටත්, යුද්ධයට, ආඥාදායකත්වයට සහ සමාජ විනාශයට එරෙහි මහා වැඩවර්ජනයක් සඳහා සූදානම් කිරීමටත් හැකියාව පවතින බව ද එම තර්කනයෙන් පෙන්වා දෙයි.

“දැනට අරගලයේ නිරත ව සිටින තරුනයන්ගේ සහ කම්කරුවන්ගේ ඉල්ලීම් වන, ගුනාත්මක පාසල් පහසුකම්, නිවාස සහ වැටුප් ලබා ගැනීම මෙන් ම අනිවාර්ය හමුදා සේවය අවසන් කිරීම යන ඉල්ලීම්, තම නය හිමියන්ට බැඳී සිටින සහ යුද්ධයට කැපවී සිටින ආන්ඩුවලින් දිනා ගත නොහැකි ය. ඒ සඳහා මූල්‍ය කතිපයාධිකාරය සතු දේපල පවරා ගැනීමත්, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත බලය කම්කරු පන්තිය වෙත මාරු කිරීමටත් අවශ්‍ය වේ.” 

ලංකාවේ සිසුන්, තරුනයන් හා කම්කරුවන් සටන් කල යුතු වන්නේ මෙම විප්ලවවාදී වැඩපිලිවෙල මත ය. 

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ දෙ වසර සම්බන්ධයෙන් නොවැම්බර් 10දා සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශාලාවේ දී සසප පවත්වන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන්න.

Loading