“ජවිපෙ/ජාජබ පාලනයේ දෙ වසර” සසප රැස්වීම

ජවිපෙ/ජාජබ පාලනය යටතේ තම ජීවිත වඩාත් දුෂ්කර වී ඇතැයි කම්කරුවෝ හා තරුනයෝ පවසති

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් “ජවිපෙ/ජාජබ පාලනයේ දෙ වසර: මහව්‍යාපාරිකයන්ගේ සහ අයිඑම්එෆ් කප්පාදුවේ ආන්ඩුවක්” යන මාතෘකාව යටතේ නොවැම්බර් 10 දා කොලඹ මහජන පුස්තකාලයේ දී පවත්වන ප්‍රසිද්ධ රැස්වීම ගොඩනැගීම සඳහා වැඩබිම්, විශ්වවිද්‍යාල, නිවහන් ප්‍රදේශ ආශ්‍රිත ව, සසප සහ සසජාතශි සාමාජිකයෝ උද්ඝෝෂනයක නිරත වී සිටිති.  

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු රැස්වීම් නිවේදනයේ සිංහල සහ දෙමල පිටපත් කම්කරුවන් සහ තරුනයන් අතර බෙද‌ා හරිමින් කල මෙම උද්ඝෝෂනයේ දී, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය පාලනයේ දෙ වසර තක්සේරු කිරීම සහ කම්කරු පන්තිය ඉදිරියේ ඇති මාවත පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා උක්ත රැස්වීමට සහභාගි වීමේ වැදගත්කම, සසප සහ සසජාතශි සාමාජිකයෝ, කම්කරුවන්ට, තරුනයන්ට සහ අනෙකුත් පීඩිත කොටස්වලට පැහැදිලි කලහ. 

2022 මහජන නැගිටීමට හේතු වූ දැවැන්ත ජීවන වියදම, විරැකියාව, ආහාර සහ ඖෂධ හිඟය ඇතුලු දැවෙන ප්‍රශ්න කිසිවක් විසඳී නොමැති බවත්, ඒ වෙනුවට එම ප්‍රශ්න වඩාත් තීව්‍ර වී ඇති බවත් කම්කරුවෝ සහ තරුනයෝ ප්‍රකාශ කලහ. විශේෂයෙන් ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 දී ලබාගත් අයිඑම්එෆ් ඇප නය වෙනුවෙන් පැන වූ කප්පාදු වැඩපිලිවෙල වෙනස් කරන බවට ජවිපෙ/ජාජබ දුන් පොරොන්දුව කුනු කූඩයට දමා, එම කප්පාදු අකුරට ම ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, තම උර මත පැටවී ඇති දැවැන්ත බදු බර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා තුල උග්‍ර වී ඇති අර්බුදයන්, දිනෙන් දින දුෂ්කර වන රැකියා කොන්දේසි සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනයෙන් සිදු වන නිශේධනීය බලපෑම ගැන කම්කරුවෝ සහ තරුනයෝ උනන්දුවෙන් කතා කලහ.  

එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් යෙදී සිටින ලෝක යුද ධාවනය ගැන කෙරුනු සාකච්ඡාවන්හි දී, යුද්ධය සඳහා බිලියන ගනන් මහජන මුදල් වැය කිරීමට හා අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුලු සමාජ අයිතීන් කප්පාදුවට එරෙහි ව ජාත්‍යන්තර පරිමාන ව වැඩෙන පන්ති අරගලය, ලංකාවේත් දකුනු ආසියානු කලාපයේත් යලි විප්ලවවාදී සටන් අවුලුවාලීමේ කොන්දේසි නිර්මානය කෙරෙමින් පවතින බව අවධානයට ලක් විය. 

ඒ තත්වය තුල, සසප/සසජාතශි උද්ඝෝෂකයෝ, කප්පාදුවට, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරයට සහ ලෝක යුද ධාවනයට එරෙහි ව සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ විප්ලවවාදී නායකත්වයක් මත ජාත්‍යන්තර කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසිභාවය සාකච්ඡාවන් තුල ඉස්මත්තට ගත්හ.  

කොලඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු වන රධික අභිලාෂ් ප්‍රකාශ කලේ, 2022 මහජන නැගිටීම අවසානයේ දී මහජනයාට අත් වූ ජයග්‍රහනයක් නොමැති බවයි. “ගෝඨාභය රාජපක්ෂගෙන් පසු රනිල් වික්‍රමසිංහ බලයට පැමිනීමයි සිද්ධ වුනේ. අපි මෙච්චරකල් දැකලා තිබුනේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල පාලනයක්. අනුර කුමාර දිසානායක බලයට එද්දි අපි අලුත් සමාජ දේශපාලනයක් දකින්න ආසාවෙන් හිටියේ. මිනිස්සු හිතන මතන විදිහ පවා වෙනස් වෙයි කියලා මම හිතුවේ. නමුත් ඒ කිසිවක් වෙනස් වෙලා නෑ.” 

නේවාසිකාගාරවල 15'X15' වපසරියක් ඇති අධ්‍යයන කාමරයක සිසුන් අටක්, නවයක් එක්වර අධ්‍යයන කටයුතුවල යෙදී සිටින බව අභිලාෂ් පැවසීය. “ස්ටඩි රූම්ස් දෙකක් තිබුනා දැන් එයින් එකකටත් ඇඳන් දාලා. අධ්‍යයනය කරන්න තත්වයක් නෑ. ගෑනු ලමයිට මේ තත්වය දරා ගන්න ම බෑ. කැන්ටින්වල ආහාර අපිරිසිදුයි. දවල් ආහාර වේල රුපියල් 190 ක් වෙනවා.”

අභිලාෂ්ගේ මාසික වියදම රුපියල් 35000 ක් පමන වේ. දෙමාපියන්ට බරක් වීමට නොහැකි නිසා ඔහු සති අන්තයේ අමතර රැකියාවල නිරත වෙයි. 

නේවාසිකාගාරවල අධික තදබදයට හා ආපනශාලාවල ආහාර මිල ගනන් ඉහල යෑමට එරෙහි ව පසුගිය සතියේ ශිෂ්‍යයන්ගේ විරෝධතාවයට ඉහල ශිෂ්‍ය සහභාගීත්වයක් පැවති බව අභිලාෂ් කියා සිටියේ ය. ආචාර්යවරු බඳවා නොගැනීම ඇතුලු ගැටලුවලට එරෙහි ව පසුගිය සතියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොලඹ දී විරෝධතා දැක්වූ නමුත්, මෙම අරගල සහ කම්කරුවන්ගේ අනෙකුත් අරගල ඒකාබද්ධ නොකරන්නේ ඇයි ද යන්න ඔහුට ප්‍රශ්නයක් විය. වෘත්තීය සමිති ධනපති ක්‍රමයට මුලුමනින් ම බැඳී ඇති බැවින්, එවන් ඒකාබද්ධ අරගලයක් ධනපති ක්‍රමයට ම අභියෝග කෙරෙනු ඇතැයි යන බියෙන් එම අරගල එම සමිති විසින් දැනුවත් ව ඒකාබද්ධ නො‌කරන බව සසප/සසජාතශි සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලහ. 

රාජපක්ෂ ආන්ඩු හා වෙනත් ආන්ඩු සමග සන්සන්දනය කලවිට ජවිපෙ/ජාජබ ආන්ඩුවට “සමාජවාදී ලක්ෂන තිබෙනවා” යයි තමා සිතූ බව අභිලාෂ් කියා සිටියේ ය. සමාජවාදය යනු කම්කරු පන්තිය බලය අත්පත්කර ගනිමින්, ධනපතියන් සූරාකෑමෙන් උපයා ගත් ධනය අස්වාමික කිරීම සහ බැංකු හා දැවැන්ත සංගත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන ඒම බව ද, ජවිපෙ/ජාජබ එයට මුලුමනින්ම විපරීත ව ධනේශ්වර පද්ධතිය සහ මහ ධනපතියන් ආරක්ෂා කිරීමට කැප වූ ආන්ඩුවක් බව ද උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. එවිට අභිලාෂ් මෙසේ කියා සිටියේ ය: “ඇත්තෙන්ම මම ඒ අර්ථයෙන් නෙවෙයි මේ ආන්ඩුව සමාජවාදී යැයි කිවුවෙ. ජවිපෙ සමාජවාදී පක්ෂයක් ලෙස තමන් ම හඳුන්වා ගන්නා නිසා.”

ලංකාවේ සමාජ, ආර්ථික අර්බුදය ධනේශ්වර ක්‍රමයේ ලෝක පරිමාන අර්බුදයේ කොටසක් නොව, “දූෂනය සහ වංචාවේ” ප්‍රතිඵලයක් ‍ය යනුවෙන් ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන, සුමිත් චාමින්ද, නිර්මාල් රංජිත් දේවසිරි වැනි විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලිකයන් පතුරුවා ඇති මිථ්‍යාව අභිලාෂ් ද දරා සිටියේ ය.  

ධනපති ක්‍රමයේ අභ්‍යන්තර පරස්පර විරෝධයන් ගැඹුරු වීමෙන් ලෝක පරිමාන ව ආර්ථික අර්බුදය ගැඹුරු වී ඇති ආකාරය, එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 40 ක රාජ්‍ය නය කන්දරාව ඇතුලු අනෙක් ප්‍රධාන රටවල රාජ්‍ය නය ප්‍රමානයන් ඉදිරිපත් කරමින් ලංකාවේ ප්‍රකාශයට පත් වන්නේ එම ලෝක ධනපති අර්බුදය ම බව සසප/සසජාතශි සාමාජිකයෝ ඔහුට පෙන්වා දුන්හ.

එවිට අභිලාෂ් මෙසේ පැවසී ය. “අපි හුරු වෙලා ඉන්නේ ලංකාවේ දේශ සීමාව ඇතුලේ තත්වයන් වලින් හිතන්න. වැඩි ම වුනොත් දකුනු ආසියාවේ තත්වයෙන් හිතන්න. මේක ලෝක අර්බුදයක්, ලෝක ධනවාදයේ අර්බුදයක් කියන වැටහීම අපිට නෑ. ඇත්තට ම අනික් සංවිධාන මේ ප්‍රශ්නය ඒ විදිහට පෙන්වලා දෙන්නේ නෑ. ලෝකය පුරා යුද්ධය වැඩෙනවා. ප්‍රංශයේ සටන් ඇවිලිලා තියෙනවා. නමුත් මේ සියලු ප්‍රශ්න එක ම අර්බුදයකින් ගලා එනවා කියන වැටහීම මට තිබුනේ නෑ. මේ ගැන වැඩිදුර දැන ගන්න මම සසප/සසජාතශි රැස්වීමට සම්බන්ධ වෙනවා.”

සාකච්ඡාවට සම්බන්ධ වූ කොලඹ විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකු වන චාමර සමග කල සාකච්ඡාවකින් පසු, යුද්ධයේ සහ කප්පාදුවල මූලය ධනවාදයේ අර්බුදය බව ඔහු පිලිගත්තේ ය. නමුත්, ශිෂ්‍ය සංගම් සහ වෘත්තීය සමිති, ආන්ඩුවලට බලපෑම් යොදා මේ ප්‍රශ්න විසඳිය හැකි බව කියා සිටින්නේ “ඔවුන් මේ ප්‍රහාර ධනවාදයේ අර්බූදයෙන් ගලා එන බව නොදන්න නිසා” යැයි ද, “දන්නවා නම් ඔවුන් මේ අරගල කරන්නේ වෙනත් විදියකට” යැයි ද ඔහු කියා සිටියේ ය.

ශිෂ්‍ය සංගම්වලට හා වෘත්තීය සමිතිවලට නායකත්වය දෙන පෙසප ද, ජවිපෙ හා අනෙකුත් ධනපති පක්ෂ ද මේ අර්බුදයේ මූලය ධනවාදය බව නොදන්නවා නොවේ. ඔවුහු එය දැනුවත් ව වසන් කරති.  

කොලඹ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන මහීෂ වරුසවිතාන සාකච්ඡාවට අවතීර්න වූයේ, ඔක්තෝබර් 30 දා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අධ්‍යයන කාර්ය මන්ඩල හිඟයට, දරාගත නොහැකි වැඩ බරට, ප්‍රමානවත් භෞතික හා මානව සම්පත් නොමැතිකමට, වැටුප් විෂමතාවලට, දීමනා කප්පාදුවලට සහ ගුරුවරුන්ගේ සොච්චම් ආදායම් මත පටවා ඇති දැවැන්ත බදු බරට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා කල වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඔහු මෙසේ පැවසී ය: 

“අපි වැඩවර්ජනයට,  එදා කොලඹ පැවති විරෝධතා පා ගමනට සහ සම්මන්ත්‍රනයට සහභාගි වුනේ දැඩි උනන්දුවකින්. ඒත් ඒ සියල්ලෙන් පස්සෙ මම කල්පනා කරමින් සිටියෙ අපේ සටන ඉදිරියට ගෙන යන්නෙ කොහොමද කියල. මොකද, ඒ සම්මන්ත්‍රනයෙන් අපි‌ට නිශ්චිත වැඩපිලිවෙලක් ඉදිරිපත් වුනේ නෑ. දැන් ඔවුන් කියන්නෙ, අධ්‍යාපනයට දල ජාතික නිශ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කිරීමේ ඉල්ලීම වෙනුවට, ඒ ඉල්ලීම කොටස් වසයෙන් ඉටු කිරීමේ මාර්ග සිතියමක් ආන්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවයි.”

මෙය, ආර්ථිකය ශක්තිමත් වෙන තුරු අමතර වියදම් කල නොහැකි බවට ආන්ඩුව ඉදිරිපත් කරන ව්‍යාජ තර්කයට යටත් වෙමින් ඉහත ඉල්ලීම කප්පාදු කිරීමක් බවත්, මුදල් නැතැයි කියන ආන්ඩුව, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සේවාවන් කප්පාදු කරමින් සහ විවිධ බදු හරහා කම්කරු-පීඩිත මහජනතාවගෙන් භාන්ඩාගාරයට ඇද ගන්නා මුදල්, ධනපති අවශ්‍යතා වෙනුවෙන් ධනපති ආන්ඩු ලබා ගත් නය ආපසු ගෙවීමට යොදා ගන්නා බවත් සසප/සසජාතශි සාමාජිකයෝ ඔහුට පෙන්වා දුන්හ.  

“ඇත්තට ම, වර්ජනය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපිය කියෙවුවාට පස්සෙ තමයි මට වැටහුනෙ, සමිති නායකයන් හැම තිස්සෙ ම උත්සාහ කරන්නෙ අප ආන්ඩුවට බලපෑම් යෙදීමේ වැඩකටයුතුවල හිර කරන්න කියල. ඒ ලිපියෙන් පැහැදිලි කරල තියෙන විදියට මේ ආන්ඩුවේ පිලිවෙත් බලපෑම් දාල වෙනස් කරන්න බෑ. මොකද අපිට සටන් කරන්න වෙලා තියෙන්නෙ ආන්ඩුවත් එක්ක විතරක් නෙවෙයි, මේ ප්‍රහාරවලට විධානය දෙන අයිඑම්එෆ් එකත් එක්ක.”

අයිඑම්එ‌ෆ් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ විධානයන් වෙනස් කල නොහැකි බව ලෝසවෙඅ විශ්ලේෂනයෙන් පැහැදිලි වන බව පැවසූ ඔහු, “ඒ නිසා අපේ සටන අනිවාර්යයෙන් ම අයිඑම්එෆ් වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ආන්ඩුවටත්, ධනවාදයටත් එරෙහි දේශපාලන සටනක් වෙන්න ඕන. ඔවු ඒක සමාජවාදය සදහා සටනක්” යැයි කීවේ ය.

“ඒ සටන වෘත්තීය සමිතිත් එක්ක කරන්න බැරි බවත් පැහැදිලියි. මම දන්නවා මේ සමිති නායකයන්ගෙන් බහුතරයක් මේ ආන්ඩුව බලයට ගේන්න වැඩකල අය. ඒ සියල්ලටමත් වඩා, ලොව පුරා වෘත්තීය සමිති ධනපති උපකරන බවට ඓතිහාසික ව පරිවර්තනය වූ ආකාරය ගැන ඔබ කල පැහැදිලි කිරීම අනුව අපේ සටන් ඉදිරියට ගෙන යාමට ඒ සමිති වලින් ස්වාධීන ව කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන සංවිධාන හදා ගන්න ඕන. ඔබ යෝජනා කරන ක්‍රියාකාරී කමිටු ඒ සදහා සුදුසුයි කියල මම හිතනව.”

“ඒ වගේ ම, අධ්‍යාපනයට එල්ල වෙන ප්‍රහාරය ලංකාවට සීමා වුන එකක් නොවන බව, ප්‍රංශයෙන් ඇවිලිල දැන් යුරෝපය පුරා පැතිරෙන සටන් රැල්ලෙන් පේනවා. අපි ඔවුන් සමග එකතු වෙන්න ඕන. මේ කරුනු ගැන සාකච්ඡා කරන්න මම 10 වෙනි දා රැස්වීමට සහභාගි වෙනවා.”

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟය හේතුවෙන් හදිසි අවස්ථාවකට පවා නිවාඩුවක් ලබා ගැනීම අතිශය දුෂ්කර වී ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් සහායක තනතුරේ වසර 30ක් සේවයේ නිරත තැපැල් සේවකයෙක් ප්‍රකාශ කලේ ය. 

“මම අපේ වෘත්තීය සමිතියේ කොලඹ නියෝජිතයෙකුට කතා කෙරුවා අලුතින් බඳවා ගන්නේ නැද්ද, මේ පවතින තත්වයට විරුද්ධත්වය පලකරන්නේ නැද්ද අහන්න. එතකොට ඔහු කිව්වේ ආන්ඩුව අරන් තියෙන මේ තීන්දුවලට විරුද්ධත්වය පල නොකරන බවයි. මේ විදිහට තව ටික කාලයක් යමු කියලයි. අපි තීරනය කලේ මොකට ද මේ සමිතිවල ඉඳලා, සාමාජික මුදල් ගෙවලා කියලා. මට පසුගිය අයවැය දෙකෙන් ම වැටුප් වැඩිවුනේ රුපියල් 4000 ක් විතරයි. මගේ දරුවෝ දෙන්න ම තව ම ඉගෙන ගන්නවා. ජීවත් වෙන්න අමාරුයි.”

සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය, වතු, දුම්රිය ආදි ක්ෂේත්‍රවල දැනටමත් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇති බවත් ඒවා සටන් කරන්නේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා බවත් සසප/සසජාතශි පෙන්වා දුන්නේ ය.  

දැනට වසර 12 කට ආසන්න කාලයක් තිස්සේ දුම්රිය සනීපාරක්ෂක සේවකයෙකු ලෙස සේවය කරන රත්මලානේ අජිත් මෙසේ කීවේ ය. “අප තාමත් ස්ථිර කලේ නෑ. බලයට එන්න කලින් ජවිපෙ වෘත්තිය සමිති නායකයො අප ස්ථිර කරන්න පොරොන්දු දුන්නා. අපි ලව්වා පෝස්ටර් ගහගත්තා ඒ පොරොන්දු උඩ. දැන් මේ අවුරුදු දෙකක් තිස්සේ තාම චක්‍රලේඛන හොයනවා කියනවා. පත්වීම් හරියට නෑ කිය කිය වැඩේ අතගානවා,” යනුවෙන් ඔහු කෝපයෙන් සඳහන් කලේ ය.

මෙතෙකුදු ස්ථිර සේවකයෙකු නොවන නිසා තමාට ලැබෙනුයේ දවස් පඩි බව ඔහු කීවේ ය. එම නිසා දිනයක් නිවාඩු ගතහොත් එම දිනයේ පඩිය අහිමි වේ. දිනයකට ගෙවන්නේ රුපියල් 1600 කට ආසන්න සොච්චම් වැටුපකි. මෙම තත්වය තුල තමන්ට සෑහෙන දුෂ්කරතාවයන්ට මුහුන දීමට සිදු ව ඇති බව ඔහු කීවේ ය. මේ වන විට මේ හා සමාන තත්වයකට මුහුන දෙන සනීපාරක්ෂක කම්කරුවන් 48 දෙනෙකු සිටින බව අජිත් කීවේ ය.

තම රෝගී සැමියා සහ දරුවන් තිදෙනෙකු නඩත්තු කිරීමට වෙහෙසෙන මීගමුව මුන්නක්කරයේ පදිංචි වයස අවුරුදු 54 ක් වයස කාන්තාවක් සාකච්ඡාවට සම්බන්ධ වූවා ය.

වැඩිමහල් දුවක පෙර පාසලක ඉගැන්වීමේ කටයුතුවලින් ලැබෙන්නේ සුලු මුදලක් බව ඇයි ප්‍රකාශ කලා ය. “මම ගෙවල්වල කුලී වැඩ කරනවා. රජයේ රෝහල්වල රෝගීන් බලන්න යනවා. මම අද මාරවිල රෝහලටත් ගියා ඒ සඳහා අවස්ථාවක් ගන්න, නමුත් මට එක රෝගියෙකුවත් ලැබුනේ නැත්තේ මම වගේ තවත් ‍කිහිප දෙනෙක් ම ඒ සඳහා ඇවිත් හිටපු නිසා. අනික කාන්තා වාට්ටුවේ ගොඩක් ඉන්නේ දුප්පත් මිනිස්සු. ලෙඩෙක් බලනවාට මට දවසකට රුපියල් 3000 ක් ලැබෙනවා. එහෙම තමයි ජීවත් වෙන්නේ” යැයි ඇය ප්‍රකාශ කලා ය.

දරුවන්ගේ අධ්‍යාපන වියදම් හා පවුලේ අවම ආහාර වියදම් සඳහා දිනකට රුපියල් 2000 ක් පමන වැය වන තත්වය තුල මසකට තම පවුලට රුපියල් 60 000 ක් පමන වැය වන බව ඇය පෙන්වා දුන්නා ය.

“මම කීප වතාවක් ම අස්වැසුම ඉල්ලුවා නමුත් ලැබුනේ නෑ. මහත්තයා ඔත්පල වෙලා අවුරුදු 5 ක් විතර. දැනට අවුරුදු දහයකට කලින් තිබුන තත්වය වඩා අපේ ජීවිත කඩා වැටිලා. 2022 මහජනයා පාරට බැස්සට ඒ ප්‍රශ්න කිසි දෙයක් විසඳිලා නෑ” ඇය කියා සිටියා ය.

ජාමූඅ කප්පාදු යටතේ ජවිපෙ/ජාජබ ආන්ඩුව අස්වැසුම ප්‍රතිලාභ ලක්ෂ 5 න් පමන කප්පාදු කර තිබේ. 2023 වසරේ දී රට පුරා ප්‍රතිලාභීන් 1,773,445 ක් සිටියත් 2026 වන විට එය 1,251,522 ක් දක්වා කප්පාදු කර ඇත.

Loading